Skip to content

පටුනට යන්න

බයිබලයේ ඉගැන්වීම්වලට කීකරු වීමට අන් අයට උපකාර කරමු

බයිබලයේ ඉගැන්වීම්වලට කීකරු වීමට අන් අයට උපකාර කරමු

බයිබලයේ ඉගැන්වීම්වලට කීකරු වීමට අන් අයට උපකාර කරමු

“සරු පසෙහි තිබෙන ඒවා නම්, අවංක යහපත් සිතකින් වචනය අසා, එය සිතෙහි තබාගෙන විඳදරාගනිමින් පල දරන අයය.”—ලූක් 8:15.

1, 2. (අ) බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ අරමුණ කුමක්ද?(ආ) යේසුස්ගේ අණට කීකරු වීමට ඔහුගේ සෙනඟ දරන වෑයමට යෙහෝවා දෙවි මෑත කාලවලදී ආශිර්වාද කර තිබෙන්නේ කොහොමද?

“ඒ පොත නම් හරිම අපූරු පොතක්. මම විතරක් නෙවෙයි මාත් එක්ක බයිබලය පාඩම් කරන අයත් ඒ පොතට හරිම ආසයි. ගෙදරක දොරකඩ ඉඳන්ම වුණත් මේ පොතෙන් බයිබල් පාඩමක් පටන් ගන්න පුළුවන්” කියා පූර්ණ කාලීනව සේවය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් පැවසුවා. තවත් මහලු ප්‍රචාරකයෙක් මෙහෙම කිව්වා. “මම දැන් අවුරුදු 50ක විතර කාලයක ඉඳන් යෙහෝවා දෙවි ගැන දැන ගන්න බොහෝ දෙනෙකුට උපකාර කර තිබෙනවා. ඒත් මේ පොත තරම් ගෙහිමියාගේ මනසේ පහසුවෙන් චිත්‍රයක් ඇඳෙන ආකාරයෙන් ලියා තිබෙන ඒ වගේම ලස්සන පින්තූරුවලින් පිරුණු පොතක් නම් මට මතක ඇති කාලයක මම දැකලා නැහැ.” මේ දෙදෙනාම කතා කරමින් සිටින්නේ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොත * ගැනයි. ඔබටත් ඒ පොත ගැන හැඟෙන්නේ ඒ ආකාරයටද? මේ පොත සකස් කිරීමේ අරමුණ වන්නේ “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. . . . මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න” කියා යේසුස් දුන් අණට කීකරු වෙමින් සාර්ථකව බයිබල් පාඩම් පැවැත්වීමට ඔබට උපකාර කිරීමයි.—මතෙව් 28:19, 20.

2 ලොව පුරා ලක්ෂ 66ක් පමණ වන සාක්ෂිකරුවන් යේසුස්ගේ එම අණ දැනටමත් ඉටු කරමින් සිටිනවා දැකීමෙන් යෙහෝවා දෙවි කොපමණ සතුටු වනවා ඇද්ද! (හිතෝපදේශ 27:11) දෙවි ඔවුන්ගේ එම වෑයමට ආශිර්වාද කරන බවට සාක්ෂි ලොව පුරා දැක ගත හැකියි. උදාහරණයකට වසර 2005දී රටවල් 235ක ශුභාරංචිය දේශනා කර තිබෙන අතර සාමාන්‍යයක් වශයෙන් බයිබල් පාඩම් 60,61,500කට වඩා වැඩි සංඛ්‍යාවක් පවත්වා තිබෙනවා. මෙයින් පෙනී යන්නේ ‘දෙවිගේ වචනය අසන්නට ලැබුණු විට, ඔවුන් එය පිළිගත්තේ මිනිසුන්ගේ වචනය ලෙස නොව දෙවිගේම වචනය ලෙසයි.’ (1 තෙසලෝනික 2:13) මෙසේ යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලට එකඟව තමන්ගේ ජීවිත වෙනස් කර ගත් ලක්ෂ පහකටත් වැඩි පිරිසක් පසු ගිය අවුරුදු දෙක ඇතුළත ඔවුන්ගේ ජීවිත දෙවිට කැප කර තිබෙනවා.

3. මේ ලිපියේදී අපි සලකා බලන්න යන්නේ කුමන ප්‍රශ්න තුන ගැනද?

3 කෙනෙක් සමඟ බයිබල් පාඩමක් පැවැත්වීමෙන් ලැබෙන තෘප්තිය අද්දකින්න ඔබටත් ළඟකදී අවස්ථාවක් ලැබුණාද? ලොව පුරා තවමත් ‘අවංක යහපත් සිත්’ ඇති අය සිටින අතර දෙවිගේ “වචනය අසා එය සිතෙහි තබාගෙන විඳදරාගනිමින් පල” දරන්න ඔවුන් කැමැත්තෙන් සිටිනවා. (ලූක් 8:11-15) මෙවැනි අයට බයිබලයේ ඉගැන්වීම් පොත යොදාගෙන උපකාර කළ හැකි ආකාර තුනක් ගැන අපි දැන් සලකා බලමු. (1) ඔබට බයිබල් පාඩමක් පටන් ගත හැක්කේ කෙසේද? (2) සාර්ථක ප්‍රතිඵල අත් කර දෙන ඉගැන්වීමේ ක්‍රම මොනවාද? (3) යම් කෙනෙකුට බයිබලය ගැන හොඳින් ඉගෙන ගන්න විතරක් නෙවෙයි, දක්ෂ ගුරුවරයෙක් වෙන්නත් උපකාර කරන්න පුළුවන් කොහොමද?

ඔබට බයිබල් පාඩමක් පටන් ගත හැක්කේ කෙසේද?

4. සමහරුන් බයිබලය පාඩම් කරන්න අදිමදි කරන්නේ ඇයි? එවැනි කෙනෙකුට උදව් කරන්න ඔබට පුළුවන් කොහොමද?

4 කවුරුන් හෝ ඔබට පළල් දොළ පාරකින් එක් වරම එහා පැත්තට පනින්න කියා කිව්වොත් ඔබ එයට කැමති වෙයිද? ඔබ එසේ කරන්න අදිමදි කරාවි. නමුත් ඒ දොළ පාර හරහා එගොඩවෙන්න තැනින් තැන ගල් දමා තිබුණා නම් ගලින් ගලට පැන අනිත් පැත්තට යන්න ඔබ බොහෝවිට කැමති වේවි. ඒ හා සාමානව කාර්ය බහුල පුද්ගලයෙක් බයිබලය පාඩම් කිරීමට බොහෝ කාලයක් හා වෑයමක් දරන්න වෙයි කියා සිතා එයට අදිමදි කරන්න පුළුවන්. නමුත් එවැනි කෙනෙකුට වුණත් උනන්දුවක් ඇති කරවන තොරතුරු අඩංගු කෙටි සාකච්ඡා කිහිපයක් කරන්න පුළුවන් නම් බයිබලයේ ඉගැන්වීම් පොතෙන් දිගටම පාඩමක් කරන්න ඔහු කැමති වේවි. ඔබ හොඳින් සුදානම් වෙනවා නම් ඔබ කරන ඒ සෑම කෙටි සාකච්ඡාවක්ම යෙහෝවා දෙවි වෙත ළං වෙන්න ඔහුට උපකාර කරන පඩි ගලක් බවට පත් කරන්න ඔබට හැකි වෙනවා නියතයි.

5. ඔබ බයිබලයේ ඉගැන්වීම් පොත හොඳින් කියවා තිබිය යුත්තේ ඇයි?

5 බයිබලයේ ඉගැන්වීම් පොතෙන් අන් අයට උපකාර කරන්න පෙර එහි තිබෙන තොරතුරු ගැන ඔබට හොඳ වැටහීමක් තිබිය යුතුයි. ඔබ මේ පොත සම්පූර්ණයෙන්ම කියවා තිබෙනවාද? එක් යුවළක් නිවාඩුවක් ගත කරන්න ගිය විට මේ පොතත් රැගෙන ගියා. ඔවුන් මුහුදු වෙරලේ විවේකීව මේ පොත කියවමින් සිටිනවා සංචාරකයන්ට බඩු අලෙවි කරන එක්තරා කාන්තාවක් දුටුවා. බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම් ගනිමු යන්න එහි මාතෘකාව බව දුටු ඇය ඔවුන්ට පැවසුවේ මේ කාරණය ගැන ඇය පැය කිහිපයකට පෙර දෙවිගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කර තිබූ බවයි. මේ යුවල ඇයට පොතක් ලබා දුන්නේ බොහොම ආශාවෙන්. ඔබත් මේ පොත කියවීමට ‘කාලය මිලදි ගෙන’ තිබෙනවාද? දැනටමත් කියවා තිබෙනවා නම් දෙවෙනි වතාවටත් මෙය කියවීම සඳහා ඔබේ රැකියාවේ හෝ පාසැලේ ලැබෙන විවේක කාලය හෝ යමෙක් හමු වීමට බලා සිටීමට ගතවන කාලය යොදාගන්න ඔබ කැමතිද? (එෆීස 5:15, 16) ඔබ එසේ කරනවා නම් මේ පොතේ තොරතුරුවලට ඔබට හොඳින් හුරු විය හැකි අතර එහි තිබෙන දේවල් ගැන අන් අය සමඟ කතා කිරීමට අවස්ථාවක් පවා ඔබට උදා කර ගත හැකියි.

6, 7. බයිබලයේ ඉගැන්වීම් පොත යොදා ගෙන බයිබල් පාඩමක් පටන් ගන්න පුළුවන් කොහොමද?

6 සේවයේ යන විට මේ පොතේ 4වෙනි සහ 5වෙනි පිටුවල තිබෙන පින්තූර හා බයිබල් පදත් 6වෙනි පිටුවේ ඇති ප්‍රශ්නත් යොදා ගන්න. මෙවැනි ප්‍රශ්නයකින් සාකච්ඡාවක් ආරම්භ කරන්න ඔබට පුළුවන්. “අද මිනිසුන්ට හුඟාක් ප්‍රශ්න ගැටලු තියෙනවා. ඒවාට සාර්ථකව මුහුණ දෙන්න විශ්වාසවන්ත මඟ පෙන්වීම් ලබා ගන්න පුළුවන් කොහෙන් කියලද ඔබ හිතන්නේ?” ගෙහිමියා පවසන දෙයට හොඳින් සවන් දීමෙන් පසු 2 තිමෝති 3:16, 17 පෙරලා කියවා මිනිසුන්ගේ සෑම ප්‍රශ්නයකටම විසඳුම් බයිබලයේ තිබෙන බව පැහැදිලි කර දෙන්න. ඉන් පසු ගෙහිමියාට පොතේ 4වන සහ 5වන පිටු පෙන්වා “පොදුවේ මිනිසුන් මුහුණ පාන වේදනාකාරී තත්වයන් කිහිපයක් මෙහි පෙන්වා තියෙනවා. ඔයාට ලොකු දුකක් ඇති වෙන්නේ මේ වේදනාකාරී දේවලින් මොන දේ දකිද්දීද?” කියා අසන්න. ඔහු එයින් එකක් පෙන් වූ විට පොත ඔහු අතට දී ඒ පින්තූරය සමඟ තිබෙන පදය ඔහුට බයිබලයෙන් පෙරලා කියවන්න. ඉන්පසු 6වෙනි පිටුවේ තිබෙන තොරතුරු කියවා “මෙහි අසා තිබෙන ප්‍රශ්න හයෙන් ඔබ උත්තර දැන ගන්න කැමති මොන ප්‍රශ්නයටද?” කියා අසන්න. ඔහු එකක් තෝරා ගත් විට එම ප්‍රශ්නයට පිළිතුරු තිබෙන පරිච්ඡේදය පෙන්වා පසුව ඔහුට එය කියවා බැලීම සඳහා පොත දෙන්න. ඒත් නැවත වතාවක් පැමිණ ඔහු සමඟ ඒ ප්‍රශ්නය ගැන කතා කිරීමට නිශ්චිත දිනයක් යොදා ගන්න අමතක කරන්න එපා.

7 ඒ සාකච්ඡාවට ඔබට විනාඩි පහකට වඩා වැඩි කාලයක් ගත වන්නේ නැහැ. නමුත් ඒ කාලය තුළ ඔහු කැමැත්තක් දක්වන්නේ මොනවගේ විෂයන් ගැනද කියා වටහාගන්නත් බයිබල් පද දෙකක් කියවා අදාල වන හැටි පෙන්වන්නත් නැවත බැලීමක් සඳහා අඩිතාලමක් දාගන්නත් ඔබට හැකි වුණා නේද? ඔහුටත් එය කාලෙකින් සහභාගී වූ අර්ථාන්විත මෙන්ම සහනයක් ගෙන දුන් සාකච්ඡාවක් වුණා විය හැකියි. මෙවැනි සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස කාර්ය බහුල පුද්ගලයෙක් වුණත් තව ටිකක් වැඩි පුර කාලය යොදවා ඔබ සමඟ බයිබලය ගැන ඉගෙන ගන්න කැමති වේවි. මෙලෙස ‘ජීවනය කරා යන පාරෙහි’ යෑම සඳහා අවශ්‍ය ඊළඟ පියවර තැබීමට ඔහුට උපකාර කරන්න ඔබට හැකියි. (මතෙව් 7:14) කාලයත් සමඟම ගෙහිමියාගේ උනන්දුව වැඩි වන විට බයිබල් පාඩම සඳහා ගත කරන කාලය වැඩි කරන්න ඔබට පුළුවන් වේවි.

සාර්ථක ඉගැන්වීමේ ක්‍රම

8, 9. (අ) බාධාවලට හොඳින් මුහුණ දීමට ඔබේ බයිබල් ශිෂ්‍යයාට උපකාර කළ හැක්කේ කෙසේද?(ආ) ගිනි හා සමාන පීඩාවලට මුහුණ දීමට අවශ්‍යය ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනඟා ගැනීමට උපකාර ලබා ගත හැක්කේ කොහෙන්ද?

8 බයිබලයෙන් ඉගෙන ගන්න දේවලට අනුව කෙනෙක් තමන්ගේ ජීවිතය ගැඩ ගස්වා ගැනීමට උත්සාහ කරන විට ඔහුට බොහෝ බාධා ඇති විය හැකියි. “ක්‍රිස්තුස් යේසුස් තුළ දේවභක්තික ජීවිතයක් ගත කරන්න කැමති සියල්ලෝද පීඩා විඳින්නෝය” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. (2 තිමෝති 3:12) පාවුල් මෙවැනි පීඩා ගින්නකට සමාන කළා. සාමාන්‍යයෙන් ගින්නක් ඇති වූ විට ගොඩනැඟිල්ලක තිබෙන බාල ද්‍රව්‍යයන් ඉක්මණින් විනාශ වෙනවා. නමුත් රන්, රිදී හා අනර්ඝ ගල්වලින් සෑදු දේවල් විනාශ වන්නේ නැහැ. (1 කොරින්ති 3:10-13; 1 පේතෘස් 1:6, 7) ඔබේ ශිෂ්‍යයාටත් ගිනි හා සමාන පීඩාවලට මුහුණ දිය හැකි වන්නේ රන් රිදි හා අනර්ඝ ගල් වැනි ගුණාංග වර්ධනය කර ගත්තොත් පමණයි. ඒ සඳහා ඔහුට උපකාර කළ යුත්තේ ඔබයි.

9 එවැනි ගුණාංග වර්ධනය කර ගනිමින් ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය සියලුම අනර්ඝ උපදෙස් බයිබලයේ අඩංගු වෙනවා. (ගීතාවලිය 19:7-11; හිතෝපදේශ 2:1-6) ගීතිකාකරු ‘යෙහෝවා දෙවිගේ වචන උදුනක සත් වරක් පවිත්‍ර කළ රිදීවලට’ සමාන කළේ ඒ නිසයි. (ගීතාවලිය 12:6) ශිෂ්‍යයාට බයිබලයේ අඩංගු කාරණා ඔහුගේ සිතට කාවදින ආකාරයෙන් කියා දීමට බයිබලයේ ඉගැන්වීම් පොත ඔබට උපකාරවත් වෙනවා.

10. ශිෂ්‍යයාට බයිබලය කෙරෙහි උනන්දුවක් ඇති කළ හැක්කේ කෙසේද?

10 පාඩම් කරන පරිච්ඡේදයේ තිබෙන සියලුම බයිබල් පද ශිෂ්‍යයා සමඟ සාකච්ඡා කරන්න. ශිෂ්‍යයාට පාඩමේ ප්‍රධාන බයිබල් පද තේරුම්ගෙන ඒවා තමන්ටම අදාළ කරගත හැකි ආකාරය වටහාගැනීමට උපකාර කිරීම සඳහා ඔහුගෙන් ප්‍රශ්න අසන්න. ශිෂ්‍යයා කළ යුතු හා නොකළ යුතු දේ සම්බන්ධයෙන් ඔහුට තීරණ දෙනවා වෙනුවට යේසුස් මෙන් ක්‍රියා කරන්න. එක් අවස්ථාවකදී නීතිය ගැන හොඳ අවබෝධයක් තිබූ පුද්ගලයෙක් යේසුස්ගෙන් ප්‍රශ්නයක් ඇසූ විට “නීතියේ ලියා තිබෙන්නේ කුමක්ද? ඔබ එය තේරුම්ගන්නේ කෙසේද?” කියා යේසුස් ඔහුගෙන් නැවත ප්‍රශ්නයක් ඇසුවා. ඒ පුද්ගලයා නීතියේ සඳහන් දෙයට එකඟව පිළිතුරු දුන් විට එහි ප්‍රතිපත්තිය තමන්ටම අදාල කරගන්නේ කෙසේද කියා යේසුස් ඔහුට පෙන්වා දුන්නා. ඉන් පසු උපමාවක් යොදා ගත් යේසුස් ඔහු ඒ වන විටත් දැන සිටි දෙයට එකඟව ක්‍රියා කළ යුත්තේ කෙසේද කියා ඔහුට වටහාගන්න උපකාර කළා. (ලූක් 10:25-37) බයිබලයේ ඉගැන්වීම් පොත පුරා තිබෙන සරල උදාහරණ යොදා ගනිමින් බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති තමන්ට අදාළ කරගත හැකි ආකාරය ශිෂ්‍යයාටම වටහාගැනීමට ඔබත් උපකාර කරන්න.

11. එක් වතාවකදී කොපමණ ඡේද ප්‍රමාණයක් පියවිය යුතුද?

11 යේසුස් පහසුවෙන් වටහා ගැනීමට අපහසු කාරණා ඉතා සරල ආකාරයෙන් පහදා දුන්නා. ඒ හා සමානව මේ පොතෙත් දෙවිගේ වචනය සරලව පහදා දී තිබෙනවා. (මතෙව් 7:28, 29) ඉගැන්වීමේදී ඔබත් යේසුස් මෙන් කාරණා සරලව පැහැදිලිව හා නිවැරදිව තේරුම් කර දෙන්න. ඉක්මනින් කරුණු පියවනවා වෙනුවට කොපමණ ඡේද ප්‍රමාණයක් වතාවකට සාකච්ඡා කළ යුතුද කියා තීරණය කළ යුත්තේ ශිෂ්‍යයාගේ තත්වය හා ඔහුගේ හැකියාවන් ගැන සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. තම ගෝලයන්ගේ සීමාවන් හොඳින් දැන සිටි යේසුස් ඔවුන්ට දරන්නට පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියෙන් කාරණා පැවසුවේ නැහැ.—යොහන් 16:12.

12. උපග්‍රන්ථය යොදා ගත හැක්කේ කෙසේද?

12 මාතෘකා 14කින් යුත් උප ග්‍රන්ථයක් බයිබලයේ ඉගැන්වීම් පොතේ අඩංගු වෙනවා. පාඩම පවත්වන පුද්ගලයා හැටියට ශිෂ්‍යයාගේ අවශ්‍යතාවයට අනුව උපග්‍රන්ථය කොතෙක් දුරට භාවිත කළ යුතුද කියා තීරණය කළ යුත්තේ ඔබයි. ශිෂ්‍යයාට කලින් තිබූ ආගමික විශ්වාසයන් නිසා යම් කාරණයක් වටහා ගැනීමට අපහසු නම් හෝ යම් ප්‍රශ්නයක් මතු වෙනවා නම් ඒ ගැන තවත් විස්තර දැන ගැනීමට ඒ කාරණය ගැන උපග්‍රන්ථයේ ඇති කොටස ඔහුටම කියවා බැලීමට උනන්දු කරන්න. සමහරවිට ශිෂ්‍යයා එය පැහැදිලි කර දෙන්න කියා ඔබෙන් ඉල්ලා සිටියොත් ඔහු සමඟ එය සාකච්ඡා කරන්න. උපග්‍රන්ථයේ “මරණින් පසු ජීවිතයක් තිබේද?” සහ “මහ බැබිලෝනිය හඳුනා ගනිමු” වැනි ශුද්ධ ලියවිල්ල මත පදනම් විෂයන් අඩංගුයි. සමහර විට මේ කාරණා ශිෂ්‍යයා සමඟ සාකච්ඡා කිරීම උචිතයි කියා ඔබට සිතෙන්න පුළුවන්. උපග්‍රන්ථයේ තොරතුරු සාකච්ඡා කිරීමට ප්‍රශ්න දී නැති නිසා අර්ථවත් ප්‍රශ්න සකස් කරගැනීම සඳහා ඔබට ඒ තොරතුරු ගැන හොඳ අවබෝධයක් තිබීම අවශ්‍යයි.

13. ශිෂ්‍යයාගේ ඇදහිල්ල ශක්තිමත් වීමට යාච්ඤාව උපකාරවත් වන්නේ කෙසේද?

13 “යෙහෝවා ගෙය නොසාදන්නේ නම් සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති” කියා ගීතාවලිය 127:1හි පවසා තිබෙනවා. ඒ නිසා ඔබ බයිබල් පාඩමකට සුදානම් වන විට යෙහෝවා දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරන්න. පාඩමට කලින් හා පසුව කරන යාච්ඤාවෙන් දෙවි සමඟ ඔබට තිබෙන මිත්‍රත්වය ශිෂ්‍යයාට දැක ගත හැකි විය යුතුයි. දෙවිගේ වචනයේ සඳහන් තොරතුරු වටහා ගැනීමට අවශ්‍ය ප්‍රඥාවත් ඒවා ජීවිතයට අදාල කර ගැනීමට අවශ්‍ය ශක්තියත් ඉල්ලා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න කියා ශිෂ්‍යයාටත් දිරිගන්වන්න. (යාකොබ් 1:5) ඔබ එසේ ශිෂ්‍යයාට මඟ පෙන්වීම් ලබා දෙනවා නම් ඔහුට පීඩා දරා ගැනීමට ශක්තිය ලැබෙනවා වගේම ඔහුගේ ඇදහිල්ල වැඩි කර ගන්නත් හැකි වෙයි.

ශිෂය්‍යන්ට ගුරුවරුන් වෙන්න උපකාර කරන්න

14. ශිෂ්‍යයෙකුගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

14 ඔබේ බයිබල් ශිෂ්‍යයාටත් යේසුස් තම ගෝලයන්ට පවත්වන්න කියා අණ කළ “සියලු දේ” පවත්වන්න අවශ්‍යය නම් ඔහු දිගටම ශිෂ්‍යයෙක් නොවී ගුරුවරයෙක් විය යුතුයි. (මතෙව් 28:19, 20; ක්‍රියා 1:6-8) ඔබේ ශිෂ්‍යයාවත් එවැනි කෙනෙක් කරන්න නම් කුමක් කළ හැකිද?

15. ශිෂ්‍යයාට රැස්වීම්වලට සහභාගී වීමට දිරිගැන්විය යුත්තේ ඇයි?

15 පාඩම පටන් ගත් දා සිටම රැස්වීම්වලට ඔහුට ආරාධනා කරන්න. දේවවචනයේ ගුරුවරුන් වීමට අපට පුහුණුව ලැබෙන්නේ රැස්වීම්වලින් බව ඔහුට පහදාදෙන්න. සති කිහිපයකදී පාඩමෙන් පසුව විනාඩි කිහිපයක් ගෙන අපේ රැස්වීම් හා එක්රැස්වීම් ගැනත් ඒවායින් ඔබ ලැබූ ප්‍රයෝජන ගැනත් උද්‍යෝගයෙන් කතා කරන්න. (හෙබ්‍රෙව් 10:24, 25) ශිෂ්‍යයා දිගටම රැස්වීම්වලට සහභාගී වන විට කාලයත් සමඟ දේවවචනයේ ගුරුවරයෙක් වෙන්න ඔහුට හැකි වෙයි.

16, 17. ශිෂ්‍යයාට තබා ගත හැක්කේ මොනවගේ ඉලක්කද?

16 ශිෂ්‍යයාට යම් ඉලක්ක අත් කර ගැනීමට උපකාර කරන්න. උදාහරණයකට ඉගෙන ගන්න දේවල් ඔහුගේ මිතුරෙක් හෝ නෑදෑයෙක් සමඟ කතා කරන්න ඔහුව දිරිගන්වන්න. බයිබලය සම්පූර්ණයෙන්ම කියවීමට ඉලක්කයක් ඔහුට දෙන්න. නිතිපතා බයිබලය කියවීමේ පුරුද්ද ඇති කර ගැනීමට ඔබ ඔහුට උපකාර කරනවා නම් බව්තීස්ම වූ පසුවත් ඔහු එය අත් නෑර කරාවි. බයිබලයේ ඉගැන්වීම් පොතේ එක් එක් පරිච්ඡේදයක මුලින් තිබෙන ප්‍රධාන ප්‍රශ්නයකට අදාළ පිළිතුර පදනම් වන බයිබල් පදයක් මතක තබා ගන්න කියා ඔහුට ඉලක්කයක් දීමත් හොඳයි. එසේ කිරීමෙන් “සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවන, ලජ්ජා වීමට හේතුවක් නැති වැඩකාරයෙකු ලෙස” දියුණු වෙන්න ඔහුට හැකි වෙයි.—2 තිමෝති 2:15.

17 ශිෂ්‍යයාට උනන්දු කළ යුත්තේ බයිබල් පද කට පාඩම් කිරීමටවත් නිකම්ම එහි අදහස කීමට පමණක්වත් නෙවෙයි. ඒ වෙනුවට යමෙක් ඔහුගේ ඇදහිල්ල සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් නැඟූ විට එයට පිළිතුරු දීම සඳහා එයට අදාල බයිබල් පද තොරාගෙන එය පැහැදිලි කර දෙන්නේ කෙසේද කියා දැනුවත් වීමට ඔහුව දිරිගන්වන්න. මේ සඳහා ඔබව මිතුරෙක් හෝ නෑදෑයෙක් ලෙස සලකා ඔහුගේ විශ්වාසයන් ඔබට පැහැදිලි කර දෙන්න කියා ඔහුට පවසන්න. මෙවැනි පෙරහුරු කිරීම්වලදී “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයෙන්” පිළිතුරු දෙන්නේ කෙසේද කියා පෙන්වා දෙන්නත් ඔබට පුළුවන්.—1 පේතෘස් 3:15.

18. ශිෂ්‍යයා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වූ පසුවත් ඔහුට උපකාර කළ හැක්කේ කෙසේද?

18 කාලයත් සමඟ ගෙයින් ගෙට දේශනා සේවයේ හවුල් වෙන්න ශිෂ්‍යයා සුදුසුකම් ලබයි. මෙම සේවයේ හවුල් වීමට ලැබී තිබීම මහඟු වරප්‍රසාදයක් බව පෙන්වා දෙන්න. (2 කොරින්ති 4:1,7) ඔහු බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් ලෙස සේවය කිරීමට සුදුසුයි කියා වැඩිමහල්ලන් තීරණය කළ විට ඔහුට කෙටි හැඳින්වීමක් සුදානම් කර දී ඔබත් ඔහු සමඟ සේවයේ හවුල් වෙන්න උත්සහ කරන්න. ගෙයින් ගෙට සාක්ෂි දැරීමට අමතරව සාක්ෂි දැරීමට ලැබෙන වෙනත් අවස්ථාවන්ටත් ඔහු සමඟ නිතිපතා හවුල් වන්න. හොඳින් සුදානම් වී උනන්දුව දක්වන අයව නැවත ගොස් හමු වීමෙන් සාර්ථක නැවත බැලීම් කරන ආකාරය ගැනත් කියා දෙන්න ඔබට පුළුවන්. ඔබේ ආදර්ශයෙන් ඔහු බොහෝ දේ ඉගෙන ගනීවි.—ලූක් 6:40.

‘ඔබවත් ඔබට සවන් දෙන්නන්වත් ගලවාගන්න’

19, 20. අපි තබා ගත යුතු ඉලක්කය කුමක්ද? එසේ කළ යුත්තේ ඇයි?

19 “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක්” යම් කෙනෙකුට ලබා දීමට මහත් වෑයමක් දැරිය යුතුයි. (1 තිමෝති 2:4) නමුත් වෙනත් බොහෝ දේවලින් ලබා ගන්න බැරි තරම් සතුටක් කෙනෙකුට බයිබල් සත්‍යය වටහා ගැනීමට උපකාර කිරීමෙන් අපිට ලැබෙනවා. (1 තෙසලෝනික 2:19, 20) ලෝ පුරා සිදු කරන මෙම ඉගැන්වීමේ කාර්යයේ “දෙවි සමඟ හවුල් වැඩකරුවෝ” වෙන්න ලැබීම මොනතරම් උතුම් වරප්‍රසාදයක්ද!—1 කොරින්ති 3:9.

20 යේසුස් හා දේවදූතයන් මාර්ගයෙන් ‘දෙවිව නොදන්නා අයවද අපේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අයවද’ යෙහෝවා දෙවි විනිශ්චය කරන කාලය අත ළඟයි. (2 තෙසලෝනික 1:6-8) අද ජීවිත තිබෙන්නේ අනතුරේ. ඒ නිසා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම් ගනිමු පොත යොදා ගෙන අඩුම තරමේ එක බයිබල් පාඩමක්වත් පැවැත්වීමට ඉලක්කයක් තබා ගන්න ඔබට පුළුවන්ද? එසේ කරනවා නම් “ඔබවත් ඔබට සවන් දෙන්නන්වත් ගලවාගන්න” අවස්ථාවක් ඔබට උදා වේවි. (1 තිමෝති 4:16) වෙන කවරදාටවත් වඩා බයිබලයේ තිබෙන ඉගැන්වීම්වලට කීකරු වීමට අන් අයට උපකාර කිරීමට කාලය මෙයයි.

[පාදසටහන]

^ 1 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

ඔබ ඉගෙන ගත්තේ කුමක්ද?

• බයිබලයේ ඉගැන්වීම් පොත සකස් කිරීමේ අරමුණ කුමක්ද?

• බයිබලයේ ඉගැන්වීම් පොත යොදා ගෙන බයිබල් පාඩම් ආරම්භ කළ හැක්කේ කෙසේද?

• සාර්ථක ඉගැන්වීමේ ක්‍රම මොනවාද?

• ශිෂ්‍යයෙකුට දේව වචනයේ ගුරුවරයෙක් වීමට උපකාර කළ හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

ඔබ මේ පොත හොඳින් ප්‍රයෝජනයට ගන්නවාද?

[27වන පිටුවේ පින්තූරය]

බයිබල් දැනුම ලබා ගැනීමට ආශාවක් ඇති කරන්න කෙටි සංවාදයකට හැකියි

[29වන පිටුවේ පින්තූරය]

ශිෂ්‍යයාට බයිබලය කෙරෙහි උනන්දුවක් ඇති කළ හැක්කේ කෙසේද?

[30වන පිටුවේ පින්තූරය]

ශිෂ්‍යයාට දියුණු වෙන්න උපකාර කරන්න