Skip to content

පටුනට යන්න

බයිබලයේ ඉගැන්වීම් නිවැරදිව තේරුම් කර දෙමු

බයිබලයේ ඉගැන්වීම් නිවැරදිව තේරුම් කර දෙමු

බයිබලයේ ඉගැන්වීම් නිවැරදිව තේරුම් කර දෙමු

“ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, . . . ඔවුන්ට උගන්වන්න.”—මතෙ. 28:19, 20.

1. බයිබලය මෙතරම් ප්‍රචලිත වීමට හේතුව කුමක්ද?

ලෝකයේ තිබෙන පැරණිතම පොත් අතරින් එකක් වන්නේ යෙහෝවා දෙවිගේ වචනය අඩංගු ශුද්ධ බයිබලයයි. ලෝකයේ වැඩියෙන්ම බෙදාහරින පොත වන්නෙත් බයිබලයයි. එය සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් භාෂා 2,300කට වැඩි ගණනකට පරිවර්තනය කර තිබෙනවා. ලෝක ජනගහනයෙන් සියයට 90කට වඩා වැඩි පිරිසකට තමන්ගේම භාෂාවෙන් බයිබලය කියවීමට හැකි වී තිබෙන්නේ ඒ නිසයි.

2, 3. (අ) බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන විවිධ මත තිබෙන්නේ ඇයි? (ආ) අපි සලකා බලන ප්‍රශ්න මොනවාද?

2 බොහෝදෙනෙක් හැම දවසකම බයිබලයෙන් කොටසක් කියවනවා. එය මුල සිට අග දක්වා බොහෝ වතාවක් කියවා තිබෙන අයත් සිටිනවා. තමන් උගන්වන දේවල් පදනම් වී තිබෙන්නේ බයිබලය මත කියා බොහෝ ආගමික කණ්ඩායම් පැවසුවත් බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන ඔවුන් අතර එකඟතාවක් නැහැ.ඒ විතරක් නෙමෙයි එකම ආගමේ අය අතර පවා බයිබලයේ ඉගැන්වීම් සම්බන්ධයෙන් දැඩි මත භේද තිබෙනවා. බයිබලය මුලින්ම ලියනු ලැබූ ආකාරය ගැනත් ඉන් ලැබෙන ප්‍රයෝජන ගැනත් බොහෝ අය තුළ විවිධ සැකයන් තිබෙනවා. සමහරු හිතන්නේ මෙය දිවුරුම් දීම වැනි අවස්ථාවලදී පාවිච්චි කරන ශුද්ධ පොතක් හැටියට පමණයි.

3 නමුත් බයිබලයේ මුළු මිනිස් වර්ගයා සඳහා දෙවි දී තිබෙන ප්‍රබල පණිවිඩයක් ඇතුළත් වෙනවා. (හෙබ්‍රෙව් 4:12) මේ නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට අපේ ආශාව වන්නේ බයිබලයේ ඉගැන්වීම් අන් අයට කියා දීමයි. ‘ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න, ඔවුන්ට උගන්වන්න’ කියා යේසුස් තම ගෝලයන්ට දුන් පැවරුම අද අපි ඉටු කරන්නේ මහත් ආශාවෙන්. (මතෙව් 28:19, 20) විවිධ ආගම් එකම කාරණය ගැන විවිධ මත ඉගැන්වීමෙන් ඇති වී තිබෙන වියවුල නිසා කලකිරීමට පත්ව සිටින අවංක මිනිසුන්ව අපට දේවසේවයේදී හමු වෙනවා. මැවුම්කරු ගැන සත්‍යය දැනගන්නත් ජීවිතයේ අරමුණ ගැන බයිබලයේ සඳහන් දේ නිවැරදිව තේරුම්ගන්නත් ඔවුන් කැමතියි. හුඟදෙනෙක් කල්පනා කර බලන කාරණා තුනක් ගැන ආගමික නායකයන් වැරදි ලෙස උගන්වන දේවල් සහ ඒවා ගැන බයිබලයේ නිවැරදිව උගන්වා තිබෙන දේවල් ගැන දැන් අපි සලකා බලමු. ඒවා නම් (1) දෙවි අපි ගැන ඇත්තටම සැලකිලිමත් වෙනවාද? (2) ජීවිතයේ අරමුණ කුමක්ද? (3) මරණයේදී අපිට සිද්ධ වෙන්නේ කුමක්ද?

දෙවි අපි ගැන ඇත්තටම සැලකිලිමත්ද?

4, 5. දෙවි අප ගැන සලකන්නේ නැහැයි කියා මිනිසුන් සිතන්නේ ඇයි?

4 අපි දැන් පළමුවන ප්‍රශ්නය ගැන සලකා බලමු. දෙවි අපි ගැන ඇත්තටම සැලකිලිමත් වෙනවාද? කනගාටුදායක දේ නම් බොහෝදෙනෙක් ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ දෙවි සැලකිලිමත් වෙන්නේ නැහැයි කියායි. එයට එක හේතුවක් නම් මුළු ලෝකයම යුද්ධයෙන්, වෛරයෙන් හා දුක් වේදනාවලින් පිරී තිබෙන නිසයි. ‘දෙවි ඇත්තටම අපි ගැන සැලකිලිමත් වෙනවා නම් ඔහු ඒ වගේ නරක දේවල් වෙන්න ඉඩහරින්නේ නැහැ’ කියා ඔවුන් කියනවා.

5 දෙවි මිනිසුන් ගැන සලකන්නේ නැහැයි කියා බොහෝදෙනෙක් සිතන්න තවත් හේතුවක් වන්නේ ආගමික නායකයන් උගන්වන දේවල් නිසයි. මිනිසුන් විපත්තිවලට මුහුණ දෙන බොහෝ අවස්ථාවලදී පූජකයන් කියන්නේ කුමක්ද? එක් ස්ත්‍රියකගේ කුඩා දරුවන් දෙදෙනා වාහන අනතුරකින් මිය ගිය විට ඇගේ ආගමේ පූජකයෙක් ඇයට කිව්වේ මෙහෙමයි “ඒක දේවකැමැත්ත. දෙවියන්ට තවත් දේවදූතයන් දෙන්නෙක් ඕන වෙලයි තිබුණේ.” පූජකයන් ඒ වගේ දේවල් පවසද්දී ඔවුන් ඇත්තටම කරන්නේ නපුරු දේවලට දෙවිට දොස් කීමයි. ඒත් යාකොබ් පවසන්නේ “පරීක්ෂා කරනු ලබද්දී, ‘දෙවි විසින් මාව පරීක්ෂා කරනු ලබන්නේය’යි කිසිවෙක් නොකියාවා! මන්ද, නපුරු දෙයින් දෙවිව පරීක්ෂා කළ නොහැක. ඔහුද නපුරු දෙයින් කිසිවෙකුව පරීක්ෂා කරන්නේ නැත” කියායි. (යාකොබ් 1:13) යෙහෝවා දෙවි නම් කවදාවත් නපුරක් කරන්නේ නැහැ. යෝබ් 34:10හි පවසා තිබෙන්නේ කොහොමටවත් ‘දෙවි දුෂ්ටකම්’ නොකරන බවයි.

6. මේ ලෝකයේ තිබෙන දුක් පීඩාවලට වග කිව යුත්තේ කවුද?

6 එහෙමනම් ඇයි මේ තරම් දුක් පීඩා? එක හේතුවක් නම් මිනිස් වර්ගයාගෙන් බහුතරයක් පාලකයා හැටියට දෙවිව පිළිනොගැනීම හා දෙවි දී තිබෙන ධර්මිෂ්ඨ නීති හා ප්‍රතිපත්තිවලට යටත් වීමට කැමැත්තක් නොදැක්වීමයි. එසේ කිරීමෙන් ඔවුන් නොදැනුවත්වම දෙවිගේ සතුරා වන සාතන්ට යටත් වී ඇති අතර ඒ නිසා “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්” වී තිබෙනවා. (1 යොහන් 5:19) මෙය දැන සිටීමෙන් අපි දුක් පීඩා අත් විඳින්නේ ඇයි කියා තේරුම් ගැනීමට අපට පහසුයි. සාතන් කියන්නේ වෛරයෙන් පිරුණු, අන් අයව රවටන දුෂ්ටයෙකුටයි. ඒ නිසා අපිට මේ ලෝකයේ දකින්න ලැබෙන්නේ එහි පාලකයා වන සාතන්ගේ ගතිලක්ෂණ විදහාපාන අයවයි. එසේනම් අද මේ ලෝකයේ මේ තරම් දුක් කරදර දකින්න තිබීම පුදුමයක්ද!

7. අප අද්දකින දුක් වේදනාවලට බලපාන තවත් හේතු මොනවාද?

7 මිනිසුන් දුක් විඳින්න තවත් හේතුවක් නම් නපුරු දේ කරන්න මිනිසුන් තුළම තිබෙන සහජ පෙලඹීමයි. ඒ පෙලඹීම නිසා මිනිසුන් සැමවිටම උත්සාහ කරන්නේ අන් අයව කුරිරු ලෙස පාලනය කිරීමටයි. යුද්ධ, පීඩා හා දුක් කරදර ඇති වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. මේ තත්වය ගැන දේශනාකාරයා 8:9හි පවසන්නේ “මනුෂ්‍යයෙකු විසින් අනිකෙකුට අන්තරාය සිදු කරන පිණිස බලය පවත්වන්ට කාලයක් ඇත” කියායි. තවත් හේතුවක් වන්නේ ‘විපත්ති සහ බලාපොරොත්තු නොවූ සිදුවීම්’ වලට මුහුණ දීමට ඔවුන්ට සිදු වීමයි.(දේශනාකාරයා 9:11 නව ලොව පරිවර්තනය, NW) ‘වැරදි වෙලාවේ වැරදි තැනක සිටීම’ එනම් බලාපොරොත්තු නොවූ මොහොතක විපත්ති සිදු වන ස්ථානවල සිටීම නිසාත් මිනිසුන් විපත්ති අද්දකිනවා.

8, 9. දෙවි අප ගැන ඇත්තටම සලකන බව අප දන්නේ කෙසේද?

8 දෙවි දුක් වේදනා පමුණුවන්නේ නැති බව දැනගැනීම සහනයක්. ඒත් දෙවි අපි ගැනත් මේ ලෝකයේ සිදු වන දේවල් ගැනත් ඇත්තටම සැලකිල්ලක් දක්වනවාද? ඇත්තෙන්ම ඔව්! දෙවි දුක් වේදනාවලට ඉඩ හැර තිබීමට හේතු ගැන බයිබලයේ පවසා තිබීමෙන් පෙනී යන්නේ ඔහු අප ගැන සලකන බවයි. දෙවි එසේ ඉඩ හැර තිබීමට හේතු දෙකක් තිබෙනවා. ඒවා නම් දෙවිට පාලනය කිරීමට තිබෙන අයිතිය ගැන සහ මිනිසුන් දෙවිට විශ්වාසවන්තව සිටීම ගැන සාතන් විසින් මතු කරන ලද ප්‍රශ්නයි. මේ ගැන සිතා බලන්න. සර්වපරාක්‍රම මැවුම්කරු හැටියට එම හේතු අපට පැහැදිලි කරන්න යෙහෝවා දෙවි බැඳී නැහැ. ඒත් ඔහු එම හේතු අපට පැහැදිලි කර දෙනවා. ඒ ඔහු අපි ගැන ඇත්තටම සැලකිලිමත් වන නිසා නෙවෙයිද?

9 දෙවි අප ගැන සැලකිලිමත් වන බවට තවත් කරුණක් සලකා බලමු. නෝවාගේ කාලයේදී පොළොව දුෂ්ටකම්වලින් පිරී තිබීම ගැන දෙවි “හෘදයෙන් ශෝක” වූ බව බයිබලයේ අපට පවසා තිබෙනවා. (උත්පත්ති 6: 5, 6) යෙහෝවා දෙවි කවදාවත් වෙනස් වෙන කෙනෙක් නෙවෙයි. (මලාකි 3:6) දෙවි අදත් සෑම ආකාරයේම අයුක්තිය හෙළාදකින අතර මිනිසුන් දුක් වේදනා විඳිනවා දකින්නත් කොහෙත්ම කැමති නැහැ. මිනිසුන්ගේ පාලනය සහ සාතන්ගේ බලපෑම්වල ප්‍රතිඵලයක් හැටියට සිදු වී තිබෙන සෑම හානියක්ම දෙවි ළඟදීම නැති කර දමනවා කියා බයිබලයේ සඳහන් වෙනවා. දෙවි අපි ගැන සැලකිල්ලක් දක්වන බව ඉන් පැහැදිලි වෙන්නේ නැද්ද?

10. මිනිසුන් විඳින දුක් වේදනා ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද?

10 අද අපි අද්දකින විපත්ති දෙවිගේ කැමැත්ත අනුව සිදු වන දේවල් කියා ආගමික නායකයන් පැවසීම නිසා දෙවි ගැන මිනිසුන් තුළ ඇති වී තිබෙන්නේ සම්පූර්ණ වැරදි වැටහීමක්. නමුත් සැබෑ තත්වය නම් යෙහෝවා දෙවි මිනිසුන්ගේ දුක් වේදනා නැති කර දැමීමට ආශාවෙන් බලා සිටිනවා යන්නයි. පළමුවන පේතෘස් 5:7හි පවසන්නේ “ඔහු ඔබ ගැන සලකන” බවයි. බයිබලයේ නිවැරදිව උගන්වා තිබෙන සත්‍යය එයයි.

ජීවිතයේ අරමුණ කුමක්ද?

11. මේ පොළොවේ ජීවිතය ගැන බොහෝ ආගම් උගන්වන්නේ කුමක්ද?

11 බොහෝදෙනෙක් කල්පනා කරමින් සිටින දෙවන ප්‍රශ්නය වන ජීවිතයේ අරමුණ කුමක්ද යන්න ගැන අපි දැන් සලකා බලමු. මේ ප්‍රශ්නයට ආගම් දෙන පිළිතුර වන්නේ මිනිසුන් පොළොවේ ජීවත් වන්නේ කෙටි කාලයකට පමණක් බවයි. මේ පොළොවේ ගත කරන ජීවිතය ඔවුන් දකින්නේ වෙන ස්ථානයකට යන තුරු කෙටි කාලයකට නතර වී සිටින නවාතැන් පොළක් ලෙසයි. සමහර පූජකයන් උගන්වන්නේ යම් දවසක මේ පොළොව සම්පූර්ණයෙන්ම දෙවි විනාශ කර දමනවා කියායි. මෙවැනි ඉගැන්වීම් නිසා බොහෝදෙනෙක් තීරණය කර තිබෙන්නේ තමන් ජීවත් වෙලා ඉන්න මේ ටික කාලයේදී ජීවිතය උපරිමයෙන් භුක්ති විඳින්නයි. අපේ ජීවිතයේ අරමුණ ගැන බයිබලයේ නිවැරදිව උගන්වා තිබෙන සත්‍යය කුමක්ද?

12-14. මේ පොළොව සහ මිනිසුන් සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ ගැන බයිබලයේ පවසා තිබෙන්නේ කුමක්ද?

12 බයිබලයේ පවසන්නේ මුළු මිනිස් වර්ගයා සඳහා මෙන්ම මේ පොළොව සඳහාත් දෙවිට උදාර අරමුණක් තිබෙන බවයි. “ඔහු [පොළොව] පාළු තැනක් වීමට නොව විසීමට තැනුවේය.” (යෙසායා 45:18) ඒ වගේම දෙවි “සදාකල්ම නොසෙල්වන ලෙස පොළොවේ අත්තිවාරම් ලූවේය.” (ගීතාවලිය 104:5) දෙවි මිනිස් වර්ගයා සඳහා මෙන්ම පොළොව සඳහා මුලින්ම අරමුණ කළ දේ දැනගැනීම ජීවිතයේ අරමුණ තේරුම්ගැනීමට අපට උපකාරවත් වෙනවා.

13 උත්පත්ති පළමුවන හා දෙවන පරිච්ඡේදවල දැක්වෙන පරිදි දෙවි මිනිස් වාසය සඳහා මේ පොළොව හොඳින් සූදානම් කළා. මැවීමේ අවසානයේදී මේ පොළොව “ඉතා යහපත්” බව ඔහු පැවසුවේ ඒ නිසයි. (උත්පත්ති 1:31) පළමු පුරුෂයා සහ ස්ත්‍රියව අවශ්‍ය තරම් ආහාර තිබූ ලස්සන උයනක පදිංචි කළ දෙවි “සපලව බෝ වෙමින් පොළොව පුරා පැතිර ඒක යටත් කරන්න” කියා ඔවුන්ට පැවසුවා. ඔවුන් මෙන් කිසිම පාපයක් නැති පරිපූර්ණ දරුවන් බිහි කරන්නත්, මුළු පොළොවම ඔවුන් සිටි උයන බඳු තැනක් කරන්නත් සතුන්ව හොඳින් බලාගන්නත් ඔවුන්ට පවරනු ලැබුවා.—උත්පත්ති 1:26-28.

14 කිසිම පාපයකින් තොර වූ මිනිස් සමාජයක් පාරාදීස පොළොවක සැමදා ජීවත් වෙනවා දැකීම තවමත් දෙවිගේ අරමුණයි. දෙවිගේ වචනයේ පවසන්නේ “ධර්මිෂ්ඨයෝ දේශය උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් වාසය කරන්නෝය” කියායි (ගීතාවලිය 37:29) දෙවි මුලින්ම අරමුණු කළ ආකාරයට මිනිසුන් සතුටින් පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වේවි. දෙවිගේ අරමුණ වුණේ එයයි. බයිබලයේ නිවැරදිව උගන්වන්නේත් එයයි.

මරණයේදී අපිට සිද්ධ වෙන්නේ කුමක්ද?

15. කෙනෛක් මිය ගිය විට සිදු වන දේ ගැන බොහෝ ආගම්වල උගන්වන්නේ මොනවාද?

15 දැන් අපි බොහෝදෙනෙක් කල්පනා කරන තුන්වෙනි ප්‍රශ්නය වන මරණයේදී අපිට සිද්ධ වෙන්නේ කුමක්ද යන්න ගැන සලකා බලමු. කෙනෙක් මැරුණාට පසු ඔහුගේ ශරීරයෙන් නොමියෙන දෙයක් ඉතිරි වී පවතින බව අද ලෝකයේ බොහෝ ආගම්වල උගන්වනවා. තවත් ආගම්වල උගන්වන්නේ දෙවි දුෂ්ට මනුෂ්‍යයන්ව නිරයක දමා සදාකල් දුක් විඳීමට සලස්වන බවයි. මෙම ඉගැන්වීම් ඇත්තක්ද? මරණය ගැන බයිබලයේ නිවැරදිව උගන්වන්නේ කුමක්ද?

16, 17. බයිබලයේ උගන්වන ආකාරයට මිය ගිය කෙනෙකුගේ තත්වය කුමක්ද?

16 මරණයේදී ඇත්තටම සිදු වන දේ ගැන බයිබලයේ පවසන්නේ “ජීවත් වන්නෝ තමන් නසින බව දනිති. එහෙත් මළාහු කිසිවක් නොදනිති. ඔවුන්ට තවත් විපාකයක් නැත” කියායි. මෙහි “මළාහු කිසිවක් නොදනිති” කියා සඳහන් වී තිබෙනවා ඔබ දුටුවාද? එයින් අඟවන්නේ ඔවුන්ට කිසිම දෙයක් අහන්න, දකින්න, කතා කරන්න, කල්පනා කරන්න හෝ දැනෙන්නේවත් නැති බවයි. ඔවුන් මිය ගොස් ඇති නිසා තමන් වෙනුවෙන් දෙයක් උපයන්නවත් කිසිම වැඩක් කරන්නවත් ඔවුන්ට බැහැ. “ඔවුන්ගේ ප්‍රේමය මෙන් ඔවුන්ගේ ද්වේෂයද ඊර්ෂ්‍යාවද දැන් නැති වී තිබේ” කීමෙන් අදහස් කරන්නේ ඔවුන්ට එවැනි හැඟීම් ප්‍රකාශ කරන්න බැරි බවයි.—දේශනාකාරයා 9:5, 6, 10.

17 බයිබලයේ මේ ගැන පවසා තිබෙන දේ ඉතා සරලයි, පැහැදිලියි. මරණයේදී කිසිම දෙයක් අපේ ශරීරයෙන් පිට වෙලා දිගටම පවතින්නේ නැහැ. පුනරුප්පත්තිය නමැති සංකල්පයේදී විශ්වාස කරන්නාක් මෙන් තවත් කෙනෙකු ලෙස ඉපදීමට මිය ගිය කෙනෙකුගෙන් පිට වන කිසිම දෙයක් නැහැ. මීට හේතුව මරණයේදී කිසිවක් ඉතිරි වන්නේ නැති නිසයි. අපිට මෙය මේ ආකාරයට නිදර්ශනය කරන්න පුළුවන්. අපේ ජීවිතය හරියට ඉටිපන්දමක දැල්ල වගෙයි. දැල්ල නිවී යන විට එය කොහේවත් යන්නේ නැහැ. ඔව්, මරණයේදී කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැහැ.

18. මිය ගිය කෙනෙකුට කිසිම හැඟීමක් දැනීමක් නොදැනෙන බව බයිබලය ගැන ඉගෙනගන්න කෙනෙක් දැනගත් විට ඔහු තේරුම්ගන්නේ කුමක්ද?

18 මෙම සරල නමුත් ප්‍රබල සත්‍යතාව අපට බලපාන හැටි සිතා බලන්න. මිය ගිය කෙනෙකුට කිසිම හැඟීමක් දැනීමක් නොදැනෙන බව බයිබලය ගැන ඉගෙනගන්න කෙනෙක් දැනගත් විට ජීවත්ව සිටියදී තමන් සමඟ කොතරම් අමනාපයකින් සිටි කෙනෙකුට වූවත් මිය ගිය පසු තමන්ට කිසි හිරිහැරයක් කළ නොහැකි බව ඔහු තේරුම්ගන්නවා. එමෙන්ම තමන් ප්‍රේම කළ කෙනෙක් මිය ගියත් ඔහුටද අහන්න, දකින්න, කතා කරන්න, හිතන්න බැරි බවත් හැඟීම් දැනීම් නැති බවත් ඔහු තේරුම්ගන්නවා. මේ අනුව ඔවුන් ශුද්ධ ගිනි ස්ථානයක හෝ නිරයක වැනි තැනක දුක් විඳින්නේ නැති බව පැහැදිලියි. කොහොම වුණත් මිය ගියත් දෙවිගේ මතකයේ සිටින කෙනෙකුට නැවත නැඟිටීමක් ලැබෙන බව බයිබලේ පවසනවා. මෙය මොන තරම් කදිම බලාපොරොත්තුවක්ද!—යොහන් 5:28, 29.

අලුත් පොතක්

19, 20. ක්‍රිස්තියානීන් හැටියට අපගේ වගකීම කුමක්ද? එය සාර්ථකව ඉටු කිරීම සඳහා අපට සපයා දී තිබෙන්නේ කුමක්ද?

19 අපි මෙහිදී සලකා බැලුවේ ප්‍රශ්න තුනක් ගැන විතරයි. මේවාට බයිබලයේ සරල මෙන්ම ඍජු පිළිතුරු දී තිබෙන බව පැහැදිලියි. බයිබලයේ සඳහන් මෙම සත්‍යයන් දැනගන්න කැමති අය සමඟ ඒවා බෙදාගන්න ලැබීම ගැන අප කොතරම් සතුටු වෙනවාද! අවංකව සත්‍යය සොයා බැලීමට කැමති අයට තව බොහෝ ප්‍රශ්නවලට සෑහීමට පත් විය හැකි පිළිතුරු ලබාගැනීමට අවශ්‍ය විය හැකියි. එවැනි ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න මිනිසුන්ට උපකාර කිරීම ක්‍රිස්තියානීන් හැටියට අපගේ වගකීමයි.

20 අපිට තිබෙන අභියෝගය නම් බයිබල් සත්‍යයන් ඉගැන්වීමේදී ඒවා සරලව, පැහැදිලිව තේරුම් කර දෙන අතරේදී සිතට කාවදින ආකාරයටත් ඉගැන්වීමයි. මෙම අභියෝගය ජයගැනීමට “විශ්වාසවන්ත නුවණැති දාස” පන්තිය අපට අලුත් යමක් සපයා දී තිබෙනවා. (මතෙව් 24:45-47) එය නම් පිටු 224කින් යුත් බයිබලයේ ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතයි.

21, 22. බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ ඇති විශේෂ අංග මොනවාද?

21 “දෙවිට කීකරු සේවකයෝ” නම් 2005 වසරේ පැවති දිස්ත්‍රික් සමුළුවේදී මුදා හරින ලද මෙම පොතේ විශේෂ ලක්ෂණ කිහිපයක් අපි දැන් සලකා බලමු. මෙම පොතේ බයිබල් පාඩම් පටන්ගැනීමට උපකාරයක් වශයෙන් පිටු පහකින් යුත් හැඳින්වීමක් තිබෙනවා. එම හැඳින්වීමේ තිබෙන පින්තූර හා බයිබල් පද උපයෝගී කර ගනිමින් ගෙහිමියා සමඟ සාකච්ඡාවක් ඇරඹීමට ඔබට පහසු වේවි. මීට අමතරව මේ කොටසේ සඳහන් තොරතුරු යොදා ගෙන බයිබලයේ පරිච්ඡේද හා ඡේද පෙරළා බලන්නේ කෙසේද කියා පැහැදිලි කර දෙන්නත් ඔබට හැකි වේවි.

22 මෙම අලුත් පොත ලියා ඇත්තේ සරල, පැහැදිලි හා සිත් ගන්නා ආකාරයටයි. ශිෂ්‍යයාගේ හිතට කාවදින ලෙස එම තොරතුරු සකස් කර තිබීමෙන් බලාපොරොත්තු වන්නේ ඔහුවත් හැකි සෑම අවස්ථාවකදීම සාකච්ඡාවට හවුල් කර ගැනීමයි. සෑම පරිච්ඡේදයක් ආරම්භයේදීම එම පරිච්ඡේදයේ ප්‍රධාන කරුණු හඳුන්වා දීමට ප්‍රශ්න කිහිපයක් අසා තිබෙනවා. එම ප්‍රශ්නවලට බයිබලය මත පදනම් පිළිතුරු පරිච්ඡේදය අවසානයේ ඇති “බයිබලයේ උගන්වා තිබෙන ආකාරයට” යන කොටුවේ දැකිය හැකියි. මේ පොතේ විචිත්‍රවත් පින්තූරු හා ඒ සමඟ ඇති කුඩා විස්තරය මෙන්ම උදාහරණ ශිෂ්‍යයාට අලුත් කාරණා පහසුවෙන් තේරුම් ගැනීමට උපකාරවත් වෙනවා. පොතේ කරුණු සරලව ඉදිරිපත් කර තිබුණත් යම් ශිෂ්‍යයෙකුට යම් විෂයක් ගැන ගැඹුරින් සලකා බැලීමට අවශ්‍ය නම් මේ පොතේ උපග්‍රන්ථයේ වැදගත් විෂයන් 14ක් පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.

23. බයිබල් පාඩම් පැවැත්වීමට බයිබලයේ ඉගැන්වීම පොත යොදා ගත හැක්කේ කෙසේද?

23 බයිබලයේ ඉගැන්වීම් පොත සකස් කර තිබෙන්නේ විවිධ අධ්‍යාපන මට්ටම්වල හා විවිධ ආගමික පසුබිම්වල සිටින මිනිසුන්ට ඉගැන්වීම සඳහා අපට උපකාර කරන්නයි. ශිෂ්‍යයාට බයිබලය ගැන කිසිම දැනුමක් නැත්නම් එක පරිච්ඡේදයක් එක වතාවකදී සම්පූර්ණයෙන්ම නිම නොකර වතාවන් කිහිපයකදී එය සාකච්ඡා කළ හැකියි. ඔබේ ඉලක්කය විය යුත්තේ පරිච්ඡේදය ඉක්මණින් නිම කිරීම නොව ශිෂ්‍යයාගේ හදවත කා වදින ලෙස පාඩම කිරීමයි. පොතේ තිබෙන යම් උදාහරණයක් ඔහුට පැහැදිලි නැත්නම් එය පැහැදිලි කර දෙන්න. නැත්නම් ඔහුට හුරු පුරුදු එයට සමාන උදාහරණයක් යොදා ගන්න. හොඳින් සුදානම් වෙන්න. මේ පොතේ කරුණු බලපෑමෙන් යුක්තව පහදා දීමට ඔබට හැකි සෑම දෙයක්ම කරන්න. ඒ වගේම දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරන්න. ඔබ එසේ කරනවා නම් ඔබට ‘සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවන්න’ හැකි වේවි.—2 තිමෝති 2:15.

අමිල වරප්‍රසාද

24, 25. යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට දී තිබෙන අමිල වරප්‍රසාද මොනවාද?

24 යෙහෝවා දෙවි ඔහු ගැන සත්‍යය දැනගැනීමට අපට අවස්ථාව ලබා දීම ගැන අප සුළු කොට නොසැලකිය යුතුයි. යෙහෝවා දෙවි ඔහුගේ අරමුණු යටහත් පහත් අයට හෙළි කර තිබෙන අතර උඩඟු අයගෙන් එය සඟවා තිබෙනවා. මේ ගැන යේසුස් මෙසේ පැවසුවා. “ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන පියාණෙනි, ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන්ද බුද්ධිමතුන්ගෙන්ද සඟවා, බිලිඳුන්ට හෙළි කර තිබෙන බැවින් මම ඔබට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරමි.” (මතෙව් 11:25) මුළු විශ්වයේම පරමාධිපති දෙවිට සේවය කරන යටහත් පහත් අය අතරේ සිටීමට ලැබීම කොතරම් ගෞරවනීය දෙයක්ද කියා කියනවා නම් එය හැමෝටම නොලැබෙන වරප්‍රසාදයක්.

25 යෙහෝවා දෙවි ඔහු ගැන අන් අයට ඉගැන්වීමේ වරප්‍රසාදයද අපට දී තිබෙනවා. යෙහෝවා දෙවි ගැන බොරු උගන්වා ඇති ආගමික නායකයන් මිනිසුන්ට ඔහු ගැන දී ඇත්තේ වැරදි පින්තූරයක්. මේ නිසා බොහෝදෙනෙක් සිතන්නේ යෙහෝවා දෙවි මිනිසුන් කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ නැති, දුක දැනෙන්නේ නැති දෙවි කෙනෙක් කියායි. එවැනි වැරදි අදහස් නිවැරදි කිරීමට හවුල් වෙන්න ඔබත් ආශාවෙන් බලා සිටිනවාද? සෑම තැනකම සිටින අවංක සිත් ඇති අය යෙහෝවා දෙවි ගැන සත්‍යය දැනගන්නවාට ඔබ කැමතිද? එහෙමනම් දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයෙහි ඔබේ උපරිමයෙන් හවුල් වීමෙන් ඔබත් දෙවිට කීකරු සේවකයෙක් බව පෙන්වන්න. බයිබලයේ නිවැරදි ඉගැන්වීම් තේරුම්ගැනීමට උනන්දුවක් දක්වන අයට උදව් කළ යුතු බව අපි නිතරම මතක තබාගනිමු.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දෙවි අප සලකන බව අප දන්නේ කොහොමද?

• ජීවිතයේ අරමුණ කුමක්ද?

• යම් කෙනෙක් මිය ගිය විට සිදු වන්නේ කුමක්ද?

• බයිබලයේ ඉගැන්වීම් පොතේ ඔබේ සිත් ගත්තේ කුමන අංගයන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22වන පිටුවේ පින්තූර]

දුක් වේදනා නිම වන බව බයිබලයේ උගන්වා තිබෙනවා

[හිමිකම් විස්තර]

Top right, girl: © Bruno Morandi/age fotostock; left, woman: AP Photo/Gemunu Amarasinghe; bottom right, refugees: © Sven Torfinn/Panos Pictures

[23වන පිටුවේ පින්තූරය]

ධර්මිෂ්ඨ අය පාරාදීස පොළොවේ සාදාකල් ජීවත් වෙනවා