Skip to content

පටුනට යන්න

යෙසායා පොතෙන් විශේෂාංග—2වන කොටස

යෙසායා පොතෙන් විශේෂාංග—2වන කොටස

යෙහෝවාගේ වචනය ජීවමානයි

යෙසායා පොතෙන් විශේෂාංග—2වන කොටස

යෙසායා අනාගතවක්තෘවරයෙකු හැටියට සේවය කිරීම සඳහා තමන්ට ලැබුණු පැවරුම විශ්වාසවන්තව ඉටු කළා. ඔහු ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයට අත් වන විනාශය ගැන පැවසූ අනාවැකි එලෙසම ඉටු වුණා. ඉන්පසු ඔහු පැවසුවේ යෙරුසලමට අත් වන දෙය ගැනයි. දැන් අපි ඒ ගැන සලකා බලමු.

සතුරන් යෙරුසලම නගරය විනාශ කර එහි වැසියන්ව වහලුන් හැටියට ගෙන යන බව යෙසායා අනාවැකි පැවසුවා. කෙසේවෙතත් යෙරුසලම සැමදා විනාශ වූ තත්වයක තිබුණේ නැහැ. කාලයකට පසු සැබෑ නමස්කාරය යළිත් එහි පිහිටවනු ලැබුවා. ඉහත සඳහන් කාරණා යෙසායා 36:1–66:24 දක්වා සඳහන් මූලික පණිවිඩයට අයත් වෙනවා. * මේ කොටසේ සඳහන් අනාවැකිවලින් බොහොමයක අවසන් ඉටු වීම මේ කාලයේ සිදුවන නිසත් ඇතැම් අනාවැකි නුදුරු අනාගතයේදී අනිවාර්යෙන්ම ඉටු වන නිසත් ඒ අනාවැකි සලකා බැලීම අපට ප්‍රයෝජනවත්. ගැලවුම්කරු පිළිබඳ සිත්ගන්නාසුලු අනාවැකිද යෙසායා පොතේ මේ කොටසේ සඳහන් වෙනවා.

‘බලව දවස් පැමිණෙන්නේය’

(යෙසායා 36:1–39:8)

හෙසකියා රජුගේ පාලනයේ 14වන අවුරුද්දේදී (ක්‍රි.පූ. 732) ඇසිරියානුවන් යූදා දේශය ආක්‍රමණය කළා. කෙසේවෙතත් එහි අගනුවර වූ යෙරුසලම ආරක්ෂා කරන බවට යෙහෝවා දෙවි පොරොන්දු වුණා. ඔහු එවූ එක් දේවදූතයෙක් ඇසිරියානු හමුදාවේ 1,85,000ක්ව මරා දැමීමත් සමඟ යෙරුසලම සතුරන් අතට පත් වීමේ බිය පහ වී ගියා.

පසු කලෙක හෙසකියා රජ අසනීප වුණා. ඔහු කළ යාච්ඤාවට යෙහෝවා දෙවි සවන් දී ඔහුව සුව කළා පමණක් නොව ඔහුගේ ආයූ කාලයට තවත් අවුරුදු 15ක්ද එක් කළා. හෙසකියාට ශුභ පැතීම සඳහා බැබිලෝනියේ රජ සිය නියෝජිතවයන්ව එවූ අවස්ථාවේදී හෙසකියා අනුවණ ලෙස ඔහු සතු සියලුම වස්තුව ඔවුන්ට පෙන්නුවා. මේ නිසා යෙහෝවා දෙවි යෙසායා මාර්ගයෙන් හෙසකියාට මෙසේ පැවසුවා. “බලව, ඔබගේ ගෙයි සෑම දේත් අද දක්වා ඔබගේ පියවරුන් රැස්කළ දේත් කිසිවක් ඉතිරි නොකොට බැබිලෝනියට ගෙන යන දවස් පැමිණෙන්නේය.” (යෙසායා 39:5, 6) අවුරුදු 100ක් පමණ ගත වූ පසු එම අනාවැකිය ඉටු වුණා.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

38:8—මෙහි සඳහන් සෙවනැල්ල වැටුණු පැය යන්ත්‍රය කුමක්ද? මෙය ක්‍රිස්තු පූර්ව අටවන සියවසේදී පමණ ඊජිප්තුවේ හා බැබිලෝනියේ කාලය මැනීමට තිබූ යම් උපකරණයක් විය හැකියි. මෙවැනි උපකරණයක් හෙසකියාගේ පියා වූ ආහාස්ට තිබෙන්න ඇති. එසේත් නැත්නම් හෝරා යන්ත්‍රය සඳහා තිබෙන හෙබ්‍රෙව් වචනයේ අර්ථය “පඩි පේළි” වන නිසා රජ මාළිගාවේ පඩි පේළියක් අසල තිබූ කණුවක් මත හිරු එළිය වැටී ඇති වූ සෙවණැල්ල ඇදෙන ආකාරය අනුව කාලය මැනගනු ලැබුවා විය හැකියි.

අපට ගත හැකි පාඩම්:

36:2, 3, 22. ගබඩාකරුවෙකු ලෙස සේවය කිරීමෙන් ෂෙබ්නාව පහ කළත් ඔහුගේ තනතුරට පත් වූ තැනැත්තාගේ ලේකම් හැටියට සේවය කරමින් රජ මාලිගාවේ දිගටම සේවය කිරීමට ඔහුට අවසර දෙනු ලැබුවා. (යෙසායා 22:15, 19) යම් හේතුවක් නිසා අපව යෙහෝවාගේ සංවිධානයේ යම් වගකීමකින් ඉවත් කළොත් දෙවි ඉඩ හරින ඕනෑම කාර්යයක නියැලෙමින් අපිත් දිගටම ඔහුට සේවය කළ යුතු නැද්ද?

37:1, 14, 15; 38:1, 2. දුෂ්කරතාවලට මුහුණ දෙන විට යෙහෝවා දෙවිට යාච්ඤා කරමින් ඔහු කෙරෙහි අපේ පූර්ණ විශ්වාසය තැබීම නැණවත්ම දෙයයි.

37:15-20; 38:2, 3. යෙරුසලම ඇසිරියානුවන්ගේ තර්ජනයට ලක් වූ අවස්ථාවේදී හෙසකියා වැඩියෙන්ම සැලකිලිමත් වූයේ යෙරුසලම ඔවුන් අතට පත් වුවහොත් එයින් යෙහෝවා දෙවිගේ නාමයට ඇති විය හැකි නින්දාව ගැනයි. තමන්ට වැළදී තිබෙන අසනීපය නිසා තමන් මිය යන බව දැනගත් විට හෙසකියා සිතුවේ ඔහු ගැනම පමණක් නොවෙයි. ඔහු හුඟාක් සැලකිලිමත් වූයේ දාවිත්ගේ පෙළපතට හිමිකම් කියන උරුමක්කාරයෙක් නොලබා මිය යන්න සිදු වීම ගැනයි. එමෙන්ම ඇසිරියානුවන්ට එරෙහිව කරන සටනට නායකත්වය දෙන්නේ කවුද කියන කාරණය ගැනත් ඔහු බොහෝ සේ සිතුවා. හෙසකියා මෙන් අපත් වඩා වැදගත් දෙය ලෙස සැලකිය යුත්තේ අපේම ගැලවීම නොව යෙහෝවා දෙවිගේ නාමය ගෞරවයට පත් වීම හා ඔහුගේ අරමුණ ඉටු වීම ගැනයි.

38:9-20. යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට වඩා වෙනත් වැදගත් දෙයක් අපේ ජීවිතයේ තවත් නැති බව හෙසකියා රචනා කළ මේ ගීතිකාවේ අපට උගන්වනවා.

“ඇය ගොඩ නඟනු ලබන්නීය”

(යෙසායා 40:1–59:21)

යෙරුසලම විනාශ වීම ගැනත් එහි වැසියන්ව බැබිලෝනියේ වහල්භාවයට රැගෙන යෑම ගැනත් පුරෝකථනය කිරීමත් සමඟම වාගේ යෙසායා තවත් අනාවැකියක් පැවසුවා. එය යෙරුසලම නැවත යථා තත්වයට පත් කිරීම ගැනයි. (යෙසායා 40:1, 2) “ඇය [යෙරසලම] ගොඩ නඟනු ලබන්නීය” කියා යෙසායා 44:28හි සඳහන් වෙනවා. බැබිලෝනිවරුන් ඇදහූ දෙවිවරුන්ව කරත්ත මත පටවා ‘ඔබ මොබ ගෙන යන’ බඩු මුට්ටු වගේ ගෙන යන බවද පුරෝකථනය කළා. (යෙසායා 46:1) බැබිලෝනියේ විනාශය ගැන පැවසූ අනාවැකි අවුරුදු දෙසීයකට පසු ඉටු වුණා.

යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ව ‘අන්‍ය ජාතීන්ට එළියක් කොට’ දෙන බව පවසනු ලැබුවා. (යෙසායා 49:6) බැබිලෝනියේ “අහස” හෙවත් පාලකයන් “දුම මෙන් නොපෙනී” ගොස් එහි වැසියන් ‘මදුරුවන් මෙන් නසින [නව ලොව පරිවර්තනය, NW]’ නමුත් “වාලියක් වූ සියොන් දුව, ඔබේ බෙල්ලේ බැඳුම් මුදා ගන්න” බව පුරෝකථනය කරනු ලැබුවා. (යෙසායා 51:6; 52:2) තමන් ළඟට පැමිණ සවන් දෙන අයට යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. “මම ඔබ සමඟ දාවිත්ගේ සැබෑ වූ කරුණාවල් වන සදාකාල ගිවිසුමක් [ඔබ සමඟ] කරන්නෙමි.” (යෙසායා 55:3) දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමෙන් ඉමහත් ‘ප්‍රීතියක්’ ලැබෙනවා නිසැකයි. (යෙසායා 58:14) එහෙත් සෙනඟ කළ වැරදිවල ප්‍රතිඵලය වූයේ ‘ඔවුන් දෙවිගෙන් වෙන් වීමයි.’—යෙසායා 59:2.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

40:27, 28—“මාගේ මාර්ගය යෙහෝවාගෙන් සැඟවී තිබේය කියාත් මාගේ විනිශ්චය [යුක්තිය, NW] මාගේ දෙවිගෙන් අහක ගියේය” කියාත් ඊශ්‍රායෙල්වරුන් පැවසුවේ ඇයි? තමන් අද්දකින අයුක්තිය යෙහෝවා දෙවිට පේන්නේ නැහැ කියා බැබිලෝනියේ සිටි ඇතැම් යුදෙව්වන් සිතන්න ඇති. එහෙත් බැබිලෝනියට ඕනෑම දෙයක් කරන්න වෙහෙස නොවන ක්ලාන්ත නොවන මැවුම්කරු වන යෙහෝවා දෙවිට හැකි බව ඒ යුදෙව්වන්ට මතක් කර දෙනු ලැබුවා.

43:18-21—“පුරාතන දේ ගැන කල්පනා නොකරන්න” කියා යළි තම මව්බිමට පැමිණෙමින් සිටි යුදෙව්වන්ට පවසනු ලැබුවේ ඇයි? යෙහෝවා දෙවි අතීතයේදී ගැලවීම ලබා දෙමින් කළ ක්‍රියාවන් යුදෙව්වන් අමතක කර දැමීම එයින් අදහස් කළේ නැහැ. දෙවිට වුවමනා වූයේ ඔවුන් අද්දකින “අලුත් දෙයක්” මගින් ඔවුන් තමන්ට ප්‍රශංසා කරනවා දකින්නයි. එම අලුත් දේවලට යෙරුසලමට ආරක්ෂාරීව ආපසු පැමිණීම හෝ ඇතැම්විට කාන්තාරයේ කෙළින් වැටී තිබූ මාර්ගයක් ඔස්සේ පැමිණීම වැනි දෑ අයත් වෙන්න ඇති. නුදුරු අනාගතයේදී “මහත් පීඩාවෙන්” ගැල වී එන ‘මහත් සමූහයටද’ යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම සඳහා අලුත් හේතු තිබේවි.—එළිදරව් 7:9, 14.

49:6—ගැලවුම්කරු වන යේසුස් පොළොවට පැමිණ කළ සේවය ඊශ්‍රායෙල්වරුන්ට පමණක් සීමා වූ නිසා ඔහු ‘අන්‍ය ජාතීන්ට එළියක්’ වන්නේ කෙසේද? එසේ පවසා තිබෙන්නේ යේසුස්ගේ මරණින් පසු සිදු වූ දෙය නිසයි. යෙසායා 49:6හි සඳහන් වදන් අදාළ වන්නේ යේසුස්ගේ ගෝලයන්ටයි. (ක්‍රියා 13:46, 47) වර්තමානයේ සිටින අභිෂේකලත් ක්‍රිස්තියානීන් දෙවිට නමස්කාර කරන මහත් සමූහයකගේ උපකාරය ඇතිව “පොළොවේ කෙළවර දක්වා” සිටින මිනිසුන්ට සත්‍යය පහදා දෙන නිසා ඔවුන් ‘අන්‍ය ජාතීන්ට එළියක්’ වී තිබෙනවා.—මතෙව් 24:14; 28:19, 20.

53:10—තම පුත්‍රයාව පොඩි කරනවා දකින්න දෙවි කැමති වූවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? අන් අයගේ දුක දැනෙන සානුකම්පිත තැනැත්තෙකු වන යෙහෝවා දෙවිට ඔහුගේ ප්‍රේමණීය පුත්‍රයා වේදනා විඳිනවා දුටු විට ඔහුත් මහත් සේ වේදනාවට පත් වූ බවට සැකයක් නැහැ. එසේ වුණත්, යේසුස් සිය කැමැත්තෙන්ම කීකරුවීම නිසත් ඔහු අද්දුටු වේදනා හා මරණය නිසත් ඉටු වන දෙය ගැන සිතීමෙන් යෙහෝවා දෙවි ප්‍රීති වුණා. තම පුත්‍රයා දුක් විඳිනවා දකිනවාට දෙවි කැමති වුයේ ඒ නිසයි.—හිතෝපදේශ 27:11; යෙසායා 63:9.

53:11—ගැලවුම්කරු “බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨ කරන” දැනුම කුමක්ද? මේ දැනුම වන්නේ යේසුස් පොළොවට පැමිණ මිනිසෙකු හැටියට ගත කළ ජීවිතයෙන් හා මරණය දක්වා අසාධාරණ ලෙස වින්ද දුක් පීඩාවලින් ඉගෙනගත් දෙයයි. (හෙබ්‍රෙව් 4:15) අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට මෙන්ම මහත් සමූහයටද දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ තත්වයක් ලබාගැනීම සඳහා යේසුස් ඔහුගේ ජීවිතය පූජා කළා.—රෝම 5:19; යාකොබ් 2:23, 25.

56:6—“ආගන්තුකයන්” හෙවත් විදේශීන් කවුද? ඔවුන් ‘යෙහෝවා දෙවිගේ ගිවිසුම පවත්වන්නේ’ කෙසේද? විදේශීන් වන්නේ ‘වෙනත් බැටළුවන්.’ (යොහන් 10:16) ඔවුන් අලුත් ගිවිසුමට අයත් නීතිවලට කීකරු වීමෙන්ද, එමගින් ඇති කර තිබෙන සැලසුම්වලට සම්පූර්ණ සහයෝගය දීමෙන්ද, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ලැබෙන පෝෂණයම ලැබීමෙන්ද, දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කිරීමෙන් හා ගෝලයන් කිරීමේ කාර්යයේදී ඔවුන්ට සහය වීමෙන්ද, වෙනත් බැටළුවන් අලුත් ගිවිසුම පවත්වනවා කියා පැවසිය හැකියි.

අපට ගත හැකි පාඩම්:

40:10-14, 26, 28. යෙහෝවා දෙවිට අසීමිත බලයක් තිබෙනවා. ඔහු මෘදු දයාන්විත දෙවි කෙනෙක්. අපි කිසිවෙකුට දැන ගත නොහැකි තරම් වූ මහත් දැනුමක් ඔහු සතුයි.

40:17, 23; 41:29; 44:9; 59:4. දේශපාලනික සංවිධාන හා පිළිම යන සියල්ල ‘නිෂ්ඵලයි.’ ඒවා මත විශ්වාසය තැබීමෙන් කිසිම පලක් නැහැ.

42:18, 19; 43:8. දේවවචනයේ සඳහන් දේවල් නොසලකා හැරීම ඇස් වසාගැනීම හා සමානයි. එමෙන්ම “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මගින් අපිට ලැබෙන මඟ පෙන්වීම් හා උපදෙස්වලට සවන් දෙන්නේ නැත්නම් අපි බිහිරන්ට සමානයි කියා කිව හැකියි.—මතෙව් 24:45.

43:25. යෙහෝවා දෙවි අපේ පාප මකා දමන්නේ ඔහුගේ නාමය ගැන ඔහු සිතන නිසයි. අප පාපයේ හා මරණයේ වහල්භාවයෙන් මිදී සදාකාල ජීවනය ලබාගැනීමට වඩා වැදගත්ම දෙය වන්නේ යෙහෝවා දෙවිගේ නාමය ගෞරවයට පත් වීමයි.

44:8. පර්වතයක් මෙන් නොසැලී සිටින යෙහෝවා දෙවි අපිට උපකාර කිරීමට සූදානමින් සිටිනවා. මේ නිසා අපි ඔහු ගැන සාක්ෂි දැරීමට කිසිවිටක බිය විය යුතු නැහැ.—2 සාමුවෙල් 22:31, 32.

44:18-20. පිළිම නමස්කාරය සිත දූෂ්‍ය වී තිබෙන බවට ලක්ෂණයක්. අපේ සිතේ යෙහෝවා දෙවිට හිමි තැන ගැනීමට වෙන කිසිම දෙයකට ඉඩ නොදිය යුතුයි.

46:10, 11. යෙහෝවා සැබෑ දෙවි බවට තිබෙන ප්‍රබලතම සාක්ෂියක් වන්නේ ‘තමාගේ මන්ත්‍රණය පැවැත්වීමට’ එනම් තමන් අරමුණ කළ දෙය අනිවාර්යෙන්ම ඉටු කිරීමට ඔහුට තිබෙන හැකියාවයි.

48:17, 18; 57:19-21. අපි ගැලවීම සඳහා යෙහෝවා දෙවි මත රඳා සිටිනවා නම්, ඔහුට ළංව සිටිනවා නම්, ඔහුගේ අණ පනත්වලට කීකරු වෙනවා නම් අපේ සමාදානය ගංගාවක තිබෙන ජලය මෙන් බොහෝ වන අතර අප කරන ධර්මිෂ්ඨ ක්‍රියා මුහුදේ රැළ මෙන් බහුල වෙයි. දේවවචනයේ සඳහන් දේවල් නොසලකා හරින අයව සමාන කර තිබෙන්නේ ‘කැලඹුණු මුහුදටයි.’ ඔවුන්ට සමාදානයක් නැහැ.

52:5,6. සැබෑ දෙවි දුර්වල කෙනෙක් බව බැබිලෝනිවරුන් වැරදි ලෙස සිතුවා. ඊශ්‍රායෙල්වරුන් වහල්කමට ගෙන යෑමට තමන්ට හැකි වී තිබෙන්නේ යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ ගැන උදහස් වූ නිසා බව ඔවුන් තේරුම් ගත්තේ නැහැ. අන් අය විපත්ති දුෂ්කරතා අද්දකින විට, ඊට හේතු ගැන ඉක්මනින් නිගමනවලට එලඹීම නැණවත් දෙයක් නොවෙයි.

52:7-9; 55:12, 13. මේ වගන්තිවලට අනුව රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ හා ගෝලයන් කිරීමේ කාර්යයේ ප්‍රීතියෙන් හවුල් වීම සඳහා අපිට අඩුම තරමින් හේතු තුනක්වත් තිබෙනවා. සැබෑ දෙවිව දැනගැනීමට අවංක උනන්දුවක් දක්වන නිහතමානි අය ඉදිරියේ අපේ පාද අලංකාරයි. අපිට යෙහෝවා දෙවිව “ඇසට ඇස දකින්න” එනම්, ඔහු සමඟ කිට්ටු මිත්‍රයක්වයක් ඇති කරගන්න පුළුවන්. එමෙන්ම අපි දෙවි පිළිබඳ දැනුම අතින් බලද්දී සිටින්නේ සමෘද්ධිමත් තත්වයකයි.

52:11, 12. ‘යෙහෝවා දෙවිගේ භාජන’ දැරීමට එනම් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල හවුල් වෙමින් ඔහුට පරිශුද්ධ සේවය පිරිනැමීම සඳහා අපි සෑම අතින්ම පිරිසිදුව සිටිය යුතුයි.

58:1-14. තමන් භක්තිමත් හා ධර්මිෂ්ඨ කෙනෙක් බව මවා පෙන්වන්න කරන දේවල් නිෂ්ඵලයි. සැබෑ නමස්කාරකයන් තුළ අව්‍යාජ භක්තියක් හා සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි අවංක ප්‍රේමයක් තිබිය යුතුයි.—යොහන් 13:35; 2 පේතෘස් 3:11.

59:15-19: යෙහෝවා දෙවි මිනිසුන්ගේ කාරණා නිරීක්ෂණය කරන අතර නිසි කාලයේදී ඒවාට මැදිහත් වෙයි.

ඇය “යෙහෝවාගේ අතේ අලංකාර ඔටුන්නක්” වෙයි

(යෙසායා 60:1–66:24)

පුරාණ කාලයේදී මෙන්ම නවීන කාලයේදීද සැබෑ නමස්කාරය යළි පිහිටුවීම ගැන සඳහන් කරමින් යෙසායා 60:1හි මෙසේ පවසා තිබෙනවා. “නැඟිට බබළවන්න. මක්නිසාද ඔබේ එලිය පැමිණ තිබේ. යෙහෝවාගේ තේජස ඔබ කෙරෙහි උදා විය.” සියොන් “යෙහෝවාගේ අතේ අලංකාර ඔටුන්නක්” වෙයි.—යෙසායා 62:3.

බැබිලෝනියේ වහල්භාවයේ සිටි කාලයේදී පසුතැවිලි වූ තම රටවැසියන් වෙනුවෙන් යෙසායා යෙහෝවාට යාච්ඤා කළා. (යෙසායා 63:15–64:12) සැබෑ නමස්කාරකයන් සහ බොරු නමස්කාරකයන් අතර තිබෙන වෙනස පෙන්වා දීමෙන් පසු යෙහෝවා දෙවි ඔහුට සේවය කරන අයට ආශීර්වාද කරන ආකාරය යෙසායා විස්තර කළා.—යෙසායා 65:1–66:24.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

61:8, 9—මෙහි සඳහන් “සදාකාල ගිවිසුම” කුමක්ද? “පැවත එන්නෝ” කවුද? මේ ගිවිසුම වන්නේ යෙහෝවා දෙවි අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සමඟ ඇති කරගත් අලුත් ගිවිසුමයි. “පැවත එන්නෝ” වන්නේ ඔවුන්ගේ පණිවිඩය පිළිගන්න මිලියන ගණනක් වන ‘වෙනත් බැටළුවෝයි.’—යොහන් 10:16.

63:5—දෙවිගේ උදහස ඔහු උසුලන්නේ කෙසේද? දෙවි තුළ උදහසක් ඇති වන්නේ ධර්මිෂ්ඨකමට තිබෙන දැඩි ඇල්ම නිසයි. ඒත් උදහස පාලනයකින් යුක්තයි. ඔහුගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් ක්‍රියාත්මක කිරීමට සහය දෙමින් ඔහු තුළ පෙලඹීමක් ඇති කරන්නේ ඔහුගේ උදහසයි.

අපට ගත හැකි පාඩම්:

64:6. පාපය උරුම කරගෙන සිටින මිනිසුන්ට තමන්වම ගලවාගත නොහැකියි. ඔවුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා ඔවුන්ගේ පාපවලට සමාව ලබාගැනීමට තරම් ප්‍රමාණවත් නැහැ. එම ක්‍රියා කිලුටු වස්ත්‍රයක් හා සමානයි.—රෝම 3:23, 24.

65:13, 14. යෙහෝවා දෙවි විශ්වාසවන්ත සේවකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සෑම දෙයක්ම බහුලව සැපයීමෙන් ඔවුන්ට ආශීර්වාද කර තිබෙනවා.

66:3-5. යෙහෝවා දෙවි කුහකකම හෙළා දකිනවා.

“සතුටුව ප්‍රීති වන්න”

යළි පිහිටුවීම ගැන යෙසායා පැවසූ අනාවැකි බැබිලෝනියේ වහල්භාවයේ සිටි ඇදහිලිවන්ත යුදෙව්වන්ට මොනතරම් සහනයක් වෙන්න ඇද්ද! “මා විසින් මවන දෙය ගැන නිතර සතුටුව ප්‍රීති වන්න. මක්නිසාද මම යෙරුසලම ප්‍රීතියක් සහ එහි සෙනඟ සතුටක් කොට මවන්නෙමි.”—යෙසායා 65:18.

අද අපි ජීවත් වන්නෙත් මුළු පොළොව අඳුරෙන්ද ජාතීන් තද අන්ධකාරයෙන්ද වැසි තිබෙන කාලයකයි. (යෙසායා 60:2) “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල්” දැන් අපි අද්දකිනවා. (2 තිමෝති 3:1) මේ නිසා යෙසායාගේ පොතේ අඩංගු ගැලවීම පිළිබඳ යෙහෝවා දී තිබෙන පණිවිඩයෙන් අපටත් මහත් දිරිගැන්වීමක් ලබන්න පුළුවන්.—හෙබ්‍රෙව් 4:12.

[පාදසටහන]

^ 2 ඡේ. යෙසායා 1:1–35:10 දක්වා වගන්ති ඇතුළත් කොටස, 2006 දෙසැම්බර් 1 මුරටැඹ සඟරාවේ “යෙහෝවාගේ වචනය ජීවමානයි—යෙසායා පොතෙන් විශේෂාංග 1වන කොටස” නමැති ලිපියේ සාකච්ඡා කර තිබෙනවා.

[8වන පිටුවේ පින්තූරය]

ඇසිරියානුවන්ගෙන් ගලවන්න කියා හෙසකියා යාච්ඤා කිරීමට ප්‍රධානතම හේතුව ඔබ දන්නවාද?

[11වන පිටුවේ පින්තූරය]

‘යහපත් ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තාගේ පාද කොපමණ අලංකාරද?’