Skip to content

පටුනට යන්න

සැබෑ නමස්කාරයට අත හිත දුන් සාමුවෙල්

සැබෑ නමස්කාරයට අත හිත දුන් සාමුවෙල්

සැබෑ නමස්කාරයට අත හිත දුන් සාමුවෙල්

මේ සිද්ධිය සිදු වුණේ තිරිඟු කපන කාලයකදීයි. සාමාන්‍යයෙන් ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශයට වැස්ස ලැබෙන්නේ නැහැ. නමුත් එක් අනාගතවක්තෘවරයෙක් තමන් ඇත්තටම දෙවිගේ අනාගතවක්තෘ බව අන් අයට ඔප්පු කර පෙන්වන්න ගිගුරුම් සහිත වැසි වස්සන්න කියා යෙහෝවා දෙවිගෙන් ඉල්ලනවා. දෙවි එකවරම ගිගුරුම් සහිත වැසි වස්සවා මේ අනාගතවක්තෘවරයාගේ ඉල්ලීම ඉටු කරනවා. මෙය දුටු මිනිසුන් දෙවි කෙරෙහි මෙන්ම ඔහුගේ මෙම අනාගතවක්තෘවරයා කෙරෙහි ඇති කරගන්නේ මහත් බියක්. ඔහු රජෙක් ඉල්ලූ සෙසු නමස්කාරකයන්ට දෙවිට කීකරු වෙන්න කියා මේ අවස්ථාවේදී උපදෙස් දෙනවා. අපි මේ කතා කරමින් සිටින්නේ සාමුවෙල් නම් අනාගතවක්තෘවරයා ගැනයි.—1 සාමුවෙල් 12:11-19.

සාමුවෙල් අනාගතවක්තෘවරයෙක් වගේම හොඳ ලේඛකයෙක්. අවුරුදු 330ක කාල වකවානුවක් පුරා සිදු වූ උනන්දුව දනවන සිද්ධීන් රාශියක් ඔහු වාර්තා කළා. ඊශ්‍රායෙලයේ විනිශ්චයකරුවන්ගේ කාලයේ සිදුවීම් ගැන ඔහු ලියූ වාර්තා බොහෝ දෙනෙකුගේ මතකයේ තවමත් රැඳී තිබෙනවා. ඒවාට මිනිසුන් කොතරම් ප්‍රිය කරනවාද කියනවා නම් ඉතිහාසයේ මෙතෙක් ජීවත් වූ ශක්තිමත්ම මිනිසා වන සැම්සොන්ගේ ජීවිතය ගැන ඔහු ලියූ වාර්තාව අලලා බොහෝ කවි, නාට්‍යයන් හා චිත්‍රපටි රාශියක් නිර්මාණය කර තිබෙනවා. (විනිශ්චයකාරයෝ පොතේ13 සිට 16 පරිච්ඡේද) ලස්සන අවසානයකින් යුත් කතා පුවතක් වන දුප්පත් වැන්දඹුවන් වූ රූත් සහ නයෝමි පිළිබඳ වාර්තාව ලියා තිබෙන්නේද සාමුවෙල්.—රූත් 1-4 පරිච්ඡේද.

සාමුවෙල් විසින් රචිත මෙම වාර්තාවලින් හා ඔහුගේ ජීවිත කතාවෙන් අපට ඉගෙන ගන්න පුළුවන් මොනවාද? ඔහු සැබෑ නමස්කාරයේ වර්ධනයට අත හිත දුන්නේ කොහොමද? මේ ගැන අපි දැන් සොයා බලමු.

ළමා කාලය

සාමුවෙල්ගේ පියා වූ එල්කානා යෙහෝවා දෙවිට නමස්කාර කළ කෙනෙක්. ඔහු ආදරණීය සැමියෙක්. ඔහුගේ බිරිඳ වූ හන්නාට දරුවන් සිටියේ නැහැ. ඒත් ඇයට යෙහෝවා දෙවි කෙරෙහි නොසැලෙන ඇදහිල්ලක් තිබුණා. ෂීලෝ නම් නුවර පිහිටි යෙහෝවා දෙවිගේ මණ්ඩපයට ගිය ඇය ඉතා ඕනෑකමින් යාච්ඤා කරමින් පැවසුවේ “සේනාවන්ගේ යෙහෝවා, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහි කර ඔබගේ මෙහෙකාරී සිහියෙන් තොර නොකොට ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙකු දෙන්න” කියායි. එලෙස දරුවෙක් ලැබුණොත් ඔහුව යෙහෝවා දෙවිගේ සේවය සඳහා කැප කරන බව ඇය මෙලෙස පොරොන්දු වුණා. “ජීවිතයේ සියලු දවස්වල යෙහෝවාට ඔහු දෙන්නෙමි. ඔහුගේ හිසට දැළි පිහියක් ළං නොවන්නේය.”—1 සාමුවෙල් 1:1-11.

ඇය දෙවිට එසේ යාච්ඤා කළේ නිහඬවයි. “ඇගේ තොල් පමණක් සෙලවුණු” බව දුටු උත්තම පූජක ඒලී ඈ බීමත්ව සිටිනවා කියා සිතා ඇයට අවවාද කළා. ඒත් හන්නා ඇගේ තත්වය යටහත් පහත් ලෙස පැහැදිලි කර දීමෙන් පසු ඒලී පැවසුවේ “සමාදානයෙන් යන්න. ඊශ්‍රායෙල්ගේ දෙවිගෙන් ඔබ ඉල්ලූ ඉල්ලීම ඔහු ඔබට දේවා” කියායි. යෙහෝවා දෙවි හන්නාගේ යාච්ඤාවට සවන් දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස “කාලය පැමිණි කල හන්නා ගර්භිණීව පුත්‍රයෙකු වැදුවාය. ඈ ‘මම යෙහෝවාගෙන් ඔහු ඉල්ලාගතිමියි’ කියා ඔහුට සාමුවෙල් යයි නම් තැබුවාය.” (1 සාමුවෙල් 1:12-20) සාමුවෙල් යන නමෙහි අර්ථය දෙවිගෙන් ඉල්ලා ගත්තා යන්නයි.

සාමුවෙල්ගේ දෙමාපියන් “යෙහෝවාගේ හික්මවීමෙන්ද, දෙවි සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද” ඔහුව ඇති දැඩි කළා. (එෆීස 6:4) සාමුවෙල් මව් කිරි බීම නතර කළ පසු හන්නා ඔහුව ෂීලෝහි පිහිටි දෙවිගේ ගෘහය වෙත ගෙනැවිත් ඒලීට බාර දුන්නා. ඒලීගේ රැකවරණය යටතේ සාමුවෙල් දෙවිගේ ගෘහයේ “යෙහෝවාට සේවය කළේය.” මේ ගැන හන්නා කොතරම් ප්‍රීති වෙන්න ඇද්ද! ඇය ප්‍රීතිය පළ කළ ආකාරය ගැන සාමුවෙල් විසින්ම පසු කාලයකදී වාර්තා කළා.—1 සාමුවෙල් 2:1-11.

දෙමාපියනි, ඔබත් ඔබේ දරුවාව පූර්ණ කාලීනව දෙවිට සේවය කරන්න උනන්දු කරනවාද? සැබෑ නමස්කාරයේ වර්ධනය වෙනුවෙන් අත හිත දෙමින් තම ජීවිතයම එය වෙනුවෙන් වැය කිරීම තරම් වටිනා දෙයක් කෙනෙකුගේ ජීවිතයේ තවත් තිබෙනවාද?

දෙවිගේ ගෘහය තුළ ගත කළ ජීවිතයට සාමුවෙල් හොඳින් හුරු වුණා. “යෙහෝවාට ප්‍රසන්න ලෙස හැදී වැඩුණු” ඔහු දෙවිගේ ගුණාංග විදහා පෙන්වීම නිසා “යෙහෝවා හා මනුෂ්‍යයන් ඉදිරියේ ප්‍රසාදය ලබමින් වැඩුණේය.”—1 සාමුවෙල් 2:21, 26. නව ලොව පරිවර්තනය, NW.

ඒත් ඒලීගේ පුතුන් දෙදෙනා වන හොප්නී හා පීනෙහාස් සාමුවෙල්ට වඩා හාත්පසින්ම වෙනස් පුද්ගලයන් වුණා. කිසි කමකට නැති ඔවුන් “යෙහෝවාට කොහෙත්ම ගෞරව කළේ නැත.” (1 සාමුවෙල් 2:12, NW) දුරචාරයේ යෙදුණු ඔවුන් දෙවිට පූජා කරන්න මිනිසුන් ගෙනා දේවලින් හොඳම කොටස පවා ලබා ගත්තා. ඒ වැරදිවලට දඬුවම් ලෙස ඔවුන් මිය යන බව මේ වන විටත් දෙවි අනාගතවක්තෘ කෙනෙකු යවා ඒලීට දැනුම් දී තිබුණා. (1 සාමුවෙල් 2:12, 15-17, 22-25, 27, 30-34) පසුව යෙහෝවා දෙවි සාමුවෙල් ලවාත් ඔවුන්ට ලැබෙන දඬුවම ගැන පැවසීමට කටයුතු කළා.

අනාගතවක්තෘවරයක් ලෙස

“ඔහුගේ පුත්‍රයන් දෙවිට නින්දා කළ නමුත් [ඒලී] ඔවුන්ට තරවටු නොකළ නිසා මම ඔහුගේ වංශය විනිශ්චය කරන බව ඔබ ඔහුට කියන්න” කියා දෙවි සාමුවෙල්ට පැවසුවා. මෙම පණිවිඩය ඒලීට පැවසීම සාමුවෙල්ට එතරම් පහසු දෙයක් වුණේ නැහැ. ඒත් ඒලී තමාට කිසිවක් සඟවන්නේ නැතුව දෙවි කිවූ සියල්ල කියන මෙන් සාමුවෙල්ගෙන් ඉල්ලා සිටි නිසා සාමුවෙල් සියලු දේ ඒලීට පැවසුවා. මේ සඳහා ඔහුට ලොකු ශක්තියක් අවශ්‍ය වෙන්න ඇති.—1 සාමුවෙල් 3:10-18.

සාමුවෙල් වයසින් වැඩෙද්දී ඔහු දෙවිගේ අනාගතවක්තෘවරයෙක් බව මුළු ඊශ්‍රායෙලයම තේරුම් ගත්තා. (1 සාමුවෙල් 3:19, 20) සාමුවෙල් පුරෝකථනය කළ විනිශ්චය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ පිලිස්තියන් අතින් ඊශ්‍රායෙලය පරාජය වූ අවස්ථාවේ සිටයි. හොප්නී සහ පීනෙහාස් මේ යුද්ධයෙන් මිය ගිය අතර යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය පිලිස්තිවරු අත් පත් කර ගත්තා. තමන්ගේ පුතුන් දෙදෙනා පමණක් නොව ගිවිසුම් පෙට්ටියද අහිමි වූ බව ආරංචි වූ ඒලී පුටුවෙන් ආපස්සට වැටී බෙල්ල කැඩී මිය ගියා.—1 සාමුවෙල් 4:1-18.

ඉන් වසර 20කට පසු සාමුවෙල් බොරු නමස්කාරයෙන් ඉවත් වෙන්න කියා ඊශ්‍රායෙල්වරුන්ගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියා. තමන් නමස්කාර කළ රූප ඉවත් කිරීමෙන්, නිරාහාරව සිටීමෙන් හා තමන්ගේ වැරදි පිළිගැනීමෙන් ඔවුන් ඊට ප්‍රතිචාරය දැක්වුවා. පසුව සාමුවෙල් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කර දෙවිට දවන පූජාවක් ඔප්පු කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස පිලිස්තිවරුන් ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටන් කිරීමට පැමිණි විට යෙහෝවා දෙවි ඔවුන්ව වියවුල් සහගත තත්වයකට පත් කිරීම නිසා ඊශ්‍රායෙල්වරුන්ට ඔවුන්ව පරාජය කරන්න හැකි වුණා. යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව ඊශ්‍රායෙල්වරුන්ගේ තත්වය හොඳ අතට හැරුණු අතර පිලිස්තිවරුන් කලින් අත්පත් කරගත් දේශ නැවතත් ඊශ්‍රායෙල්වරුන්ට ලබා ගැනීමට හැකි වුණා.—1 සාමුවෙල් 7:3-14.

සාමුවෙල් සැබෑ නමස්කාරයේ වර්ධනය වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළ කෙනෙක්. යුද්ධයෙන් අත් පත් කර ගත් දේවල් දෙවිගේ ගෘහය අලුත්වැඩියා කරන්න උපයෝගී කර ගත් ඔහු නැවත පාස්කු මංගල්‍යය සංවිධානය කිරීමටත් ලෙවීවරුන්ව දොරටු පාලකයන් ලෙස ඔවුන්ගේ නියම තනතුරුවලට පත් කිරීමටත් මුල් වී ක්‍රියා කළා. (1 ලේකම් 9:22; 26:27, 28; 2 ලේකම් 35:18) තමන් ජීවත් වූ රාමාහි සිට සාමුවෙල් අවුරුදු පතා විවිධ නගරවලට ගොස් යම් කාරණා විනිශ්චය කළා. අවංක මෙන්ම සාධාරණව කටයුතු කළ කෙනෙක් ලෙස අන් අයගේ ගෞරවයට පාත්‍ර වුණ ඔහුට මිනිසුන් ගෞරවයෙන් සැලකුවා. ඒ නිසා ඔවුන්ට තව තවත් යෙහෝවා දෙවිට ළං වීමට උපකාර කරන්නත් ඔහුට හැකි වුණා. (1 සාමුවෙල් 7:15-17; 9:6-14; 12:2-5) යෙහෝවා දෙවි සමඟ සාමුවෙල්ට තිබූ මිත්‍රකම හා ඔහුගේ අවංකකම දුටු බොහෝ දෙනෙක් ඔහුව අනුකරණය කරන්න පෙළඹුණා. සාමුවෙල්ගේ ජීවිතය ගැන හොඳින් අධ්‍යයනය කිරීමෙන් ඔබ තුළත් එවැනි පෙළඹීමක් ඇති වන්නේ නැද්ද?

ඊශ්‍රායෙල්වරුන් රජෙක්ව ඉල්ලයි

සාමුවෙල්ගේ මහලු කාලයේදී ඔහු තමන්ගේ පුත්‍රයන් වූ යෝවෙල්ව සහ අබියාව විනිශ්චයකරුවන් ලෙස පත් කළා. නමුත් ඔවුන් “ඔහුගේ මාර්ගවල නොහැසිර ලාභ අනුව මුළාව ගොස් අල්ලස් ගෙන විනිශ්චය පෙරළුවෝය.” ඔවුන්ගේ මේ ක්‍රියා කලාපය නිසා ඊශ්‍රායෙලයේ වැඩිමහල්ලෝ තමන් වෙනුවෙන් රජෙක්ව පත් කරන්න කියා සාමුවෙල්ගෙන් ඉල්ලා සිටියා. (1 සාමුවෙල් 8:1-5) මේ ගැන දුකට පත් වූ ඔහු ඒ සම්බන්ධයෙන් යෙහෝවා දෙවිට යාච්ඤා කළ අතර දෙවි ඔහුට මෙසේ පැවසුවා. “ඔවුහු ඔබ එපා නොකළෝය. එහෙත් මා ඔවුන් කෙරෙහි රජ නොවන පිණිස ඔවුහු මා එපා කළෝය.” (1 සාමුවෙල් 8:6, 7) සෙනඟගේ ඉල්ලීමට සවන් දෙන්න කියා සාමුවෙල්ට පැවසූ දෙවි ඔවුන්ගේ එම තීරණය නිසා රජෙකුගේ පාලනය යටතේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් හා නිදහස යම් ප්‍රමාණයට අහිමිවන බවට අනතුරු අඟවන්න කියා පැවසුවා. මේ ගැන ගණන් නොගත් සෙනඟ තමන්ට රජෙක් පත් කර දෙන්න කියා එක හෙළාම කියා සිටිය නිසා යෙහෝවා දෙවි සාවුල්ව රජ ලෙස ආලේප කරන්න කියා සාමුවෙල්ට දැන්වුවා.—1 සාමුවෙල් 8:6-22; 9:15-17; 10:1.

සාමුවෙල් රජෙක්ව පත් කිරීම ගැන එතරම් කැමත්තක් දැක් වූයේ නැතත් ඔහු එම සැලැස්මට සහයෝගය දුන්නා. ඊශ්‍රායෙල්වරුන් අම්මොන්වරුන්ව පරාජය කිරීමෙන් පසු සාමුවෙල් ඊශ්‍රායෙල් ජනයාව ගිල්ගාල්වලට රැස් කර සාවුල්ව රජ ලෙස පත් කර තිබෙන බව පැවසුවා. (1 සාමුවෙල් 10:17-24; 11:11-15) ඊශ්‍රායෙල්වරුන්ට ඔවුන්ගේ අතීතය මතක් කර දුන් සාමුවෙල් දෙවිට කීකරු වෙන්න කියා රජුට සහ මිනිසුන්ට උපදෙස් දුන්නා. අපි ලිපියේ මුලින් සඳහන් කළ සිද්ධිය සිදු වුණේ මේ අවස්ථාවේදීයි. යෙහෝවා දෙවි එලෙස අසාමාන්‍ය ලෙස ගිගුරුම් සහිත වැසි එව්වේ සාමුවෙල්ගේ යාච්ඤාවට පිළිතුරක් හැටියටයි. රජෙක්ව ඉල්ලීමෙන් තමන් දෙවිට විරුද්ධව කළ වරද ගැන මේ ලකුණු දුටු ඊශ්‍රායෙල්වරුන් තේරුම් ගත්තා. තමන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියා ඔවුන් සාමුවෙල්ගෙන් ඉල්ලා සිටිය විට ඔහු මෙසේ පිළිතුරු දුන්නා. “මා වනාහි ඔබ උදෙසා යාච්ඤා කිරීම නැවැත්වීමෙන් යෙහෝවාට විරුද්ධව පව් කිරීම මාගෙන් දුරු වේවා. එහෙත් ඔබට යහපත් වූ සුදුසු වූ මාර්ගය උගන්වමි.” යෙහෝවා දෙවිට සහ මනුෂ්‍යයන්ට සාමුවෙල් දැක් වූයේ මොනතරම් අවංක ප්‍රේමයක්ද! (1 සාමුවෙල් 12:6-24) ඔබත් එලෙස දෙවි දෙන මඟ පෙන්වීම්වලට සහය දැක්වීමට හා අපේ සෙසු නමස්කාරකයන් වෙනුවෙන් යාච්ඤා කිරීමට කැමත්තෙන් සිටිනවාද?

ඊශ්‍රායෙලයේ මුල්ම රජවරුන් දෙදෙනා

රජ ලෙස සාවුල්ව පත් කළ කාලයේ ඔහු ඉතා යටහත් පහත් පුද්ගලයෙක්ව සිටියා. (1 සාමුවෙල් 9:21; 11:6) නමුත් කාලය ගත වෙද්දී ඔහු දෙවිගේ මගපෙන්වීම්වලට අවනත වුණේ නැහැ. එක අවස්ථාවකදී පූජාව ඔප්පු කිරීමට සාමුවෙල් එන තුරු බලා සිටින්න කියා පැවසුවත් සාවුල් ඉක්මන් වී ඔහුගේ හිතු මතේට පූජාව ඔප්පු කළා. මේ අවස්ථාවේදී සාමුවෙල් සාවුල්ට අවවාද කළා. (1 සාමුවෙල් 13:10-14) යෙහෝවා දෙවි සියලුම අමලෙක්වරුන්ව විනාශ කිරීමට අණ කළද සාවුල් අමලෙක්වරුන්ගේ රජ වන ආගග්ව මැරුවේ නැහැ. මේ සම්බන්ධයෙන් සාමුවෙල් සාවුල්ට මෙසේ පැවසුවා. “යෙහෝවා අද ඊශ්‍රායෙල් රාජ්‍යය ඔබෙන් පැහැරගෙන ඔබට වඩා උතුම් වූ ඔබේ අසල්වාසියෙකුට දුන්නේය.” පසුව සාමුවෙල් ආගග්ව මරා දැමූ අතර සාවුල් ගැන බොහෝ සේ දුක් වුණා.—1 සාමුවෙල් 15:1-35.

යෙහෝවා දෙවි අවසානයේදී සාමුවෙල්ගෙන් මෙසේ ඇසුවා. “මා විසින් සාවුල් ඊශ්‍රායෙල් කෙරෙහි රජකමින් පහ කළ බව දැන දැන ඔහු ගැන කොපමණ කල් ශෝක වන්නෙහිද?” ඉන් පසු යෙහෝවා දෙවි සාමුවෙල්ව බෙත්ලෙහෙමේ යෙස්සේගේ පුතෙකුව රජ හැටියට ආලේප කිරීමට පිටත් කර ඇරියා. සාමුවෙල් යෙස්සේගේ පුතුන් සියලු දෙනාව වෙන වෙනම සෝදිසි කර බැලුවත් යෙහෝවා දෙවි රජ ලෙස තෝරා ගත්තේ යෙස්සේගේ බාල පුත් දාවිත්වයි. “මනුෂ්‍යයා බලන්නාක් මෙන් දෙවි නොබලන්නේය. මනුෂ්‍යයා පිටතින් පෙනෙන දේ බලයි. එහෙත් යෙහෝවා හෘදය බලන්නේය” යන වැදගත් පාඩම සාමුවෙල් එදා ඉගෙන ගත්තා.—1 සාමුවෙල් 16:1-13.

සාවුල්ගේ අකීකරුකම ගැන සාමුවෙල් දුක් වුණා නම් සාවුල් දාවිත් කෙරෙහි දැක් වූ වෛරය ගැන ඊටත් වඩා කොපමණ වැඩියෙන් සාමුවෙල් දුක් වෙන්න ඇද්ද! මෙවැනි පීඩා ප්‍රශ්න මැද පවා සාමුවෙල් ඔහුගේ මහලු කාලයේදී දෙවිගේ සේවයේ කඩිසරව යෙදී සිටිය අතර යෙහෝවා දෙවිගේ සේවයේදී තමන්ට කළ හැකි උපරිමය ඔහු කළා.—1 සාමුවෙල් 19:18-20.

සාමුවෙල්ගේ ආදර්ශය

සාමුවෙල් මිය ගිය විට ඊශ්‍රායෙල් ජනයා බොහෝ සේ දුක් වුණා. ඊට හේතුව මෙම නිර්භීත අනාගතවක්තෘවරයා එම ජනයාට යහ මඟට ඒමට බොහෝ සේ උපකාර කර තිබූ නිසයි. (1 සාමුවෙල් 25:1) සාමුවෙල්ද අපි වගේම සාමාන්‍ය මනුෂ්‍යයෙක් නිසා විනිශ්චයන් කළ සමහර අවස්ථාවලදී ඔහු අතින් වැරදි සිදු වුණා. කෙසේවෙතත් සාමුවෙල් තමන්ගේ මුළු ජීවිතයෙන්ම යෙහෝවා දෙවිට සම්පූර්ණ භක්තිය පුද කළ අතර අන් අයටත් දෙවි කෙරෙහි භක්තියාදරයක් වර්ධනය කර ගැනීමට උපකාර කිරීම සඳහා වෙහෙස නොබලා වැඩ කළා.

අද අපි ජීවත් වන කාලය සාමුවෙල්ගේ කාලය මෙන් නම් නෙවෙයි. ඒ වුණත් ඔහුගේ ජීවිත කතාවෙන් අදත් අපිට වැදගත් පාඩම් බොහෝමයක් ඉගෙන ගන්න පුළුවන්. සාමුවෙල් ඔහුගේ ජීවිතයේ මුල් තැන දුන්නේ යෙහෝවා දෙවිගේ සැබෑ නමස්කාරයේ නියැලීමට හා එහි වර්ධනයට අත හිත දීමටයි. ඔබ කරන්නෙත් ඒ දෙයමද?

[16වන පිටුවේ කොටුව]

සාමුවෙල්ගේ ජීවිතයෙන් ගත හැකි පාඩම්

• සාමුවෙල්ගේ දෙමාපියන් හා සමානව ඔබත් ඔබේ දරුවන්ව “යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න.”—එෆීස 6:4.

• ඔබත් ඔබේ දරුවන්ට සාමුවෙල් මෙන් යෙහෝවා දෙවිගේ සේවයේ පූර්ණ කාලීනව යෙදීමට උනන්දු කරන්න.

• සාමුවෙල් තුළ තිබුණාවූ දෙවිව ප්‍රසන්න කළ ගුණාංග නිසා අන් අය ඔහුට ප්‍රිය කළ අතර එය අපිට කදිම ආදර්ශයක්.

• සාමුවෙල් සැබෑ නමස්කාරයේ වර්ධනය සඳහා ඔහුට කළ හැකි සියල්ල කළා. අපත් කළ යුත්තේ එයම නොවේද!

[15වන පිටුවේ පින්තූරය]

සාමුවෙල් සැබෑ නමස්කාරයේ වර්ධනය සඳහා වැඩ කළ අතර දෙවිට කීකරු වීමට අන් අයට උපකාර කළා