Skip to content

පටුනට යන්න

ආමොස් ඔහුගේ රැකියාව කුමක්ද?

ආමොස් ඔහුගේ රැකියාව කුමක්ද?

ආමොස් ඔහුගේ රැකියාව කුමක්ද?

ක්‍රිස්තු පූර්ව නවවෙනි සියවසේ සිටි වසු නමස්කාරයේ යෙදුණු පූජකයෙක් වූ අමශියා, ඊශ්‍රායෙල්ට අනාගතවචන නොකියන්න කියා අනාගතවක්තෘ ආමොස්ට තර්ජනය කළා. නමුත් ආමොස් නොබියව දිගටම එසේ කළේ එය යෙහෝවා දෙවිගෙන් ලද පැවරුමක් නිසයි. ඒ ගැන ආමොස් පැවසුවේ මෙසේයි. “මම . . . එඬේරෙක්ද අත්තික්කා ගස් වවන්නෙක්ද වීමි. තවද යෙහෝවා මා එළු බැටළු රැළ අනුව යද්දී කැඳවා ගත්තේය. යෙහෝවා මට කතා කොට: ගොස් මාගේ ඊශ්‍රායෙල් සෙනඟට අනාගතවචන කියන්නයයි කීය.” (ආමොස් 7:14, 15) මෙහිදී ආමොස් ඔහුගේ රැකියාව ගැන කිව්වේ තමා “අත්තික්කා ගස් වවන්නෙක්” කියායි. එහිදී ඔහු කළ කාර්යය කුමක්ද?

ඊට ඇතුළත් වුණේ අත්තික්කා ගෙඩි මැදින් ටිකක් ගැඹුරට කැපීමයි. ඒ බව එක් ප්‍රකාශනයක් මගින් තහවුරු කර තිබෙනවා. (Economic Botany) ආමොස්ගේ රැකියාව ගැන මුල් ලියවිල්ලේ සඳහන් වන්නේ එක් අවස්ථාවකදී පමණයි.

එලෙස අත්තික්කා ගෙඩිය ගැඹුරට කැපීමේ ක්‍රමය පුරාණ ඊජිප්තුවේ සහ සයිප්‍රසයේ බහුලව යොදාගැනුණා. ඔවුන් එසේ කළේ ඒවායේ ඉදවීම ඉක්මන් කිරීමටයි. ආමොස්ගේ කාලයේ ඊශ්‍රායෙල් දේශයේ වගා කළ අත්තික්කා ඊජිප්තුවට ආවේණික වර්ගයක් නිසා ඒවා ඉදවීමට ඊශ්‍රායෙලිතයන්ද එම ක්‍රමයම යොදාගත්තා. නමුත් දැන් ඊශ්‍රායෙලයේ එම ක්‍රමය යොදානොගන්නේ, වෙනත් වර්ගයක අත්තික්කා ගස් එහි තිබෙන නිසයි.

අත්තික්කා ගෙඩිය එලෙස කැපීම නිසා ජලය උරාගැනීමට ඊට හැකි වෙන අතර එහි යුෂ ගතිය වැඩි වෙනවා. ඒ නිසා එම පලතුරේ එතිලීන් නමැති වායුව නිපදවීම ඉහළ යන අතර ඒ හේතුවෙන් පලතුර ඉක්මනින්ම ඉදෙන්න පටන්ගනියි. ඒ විතරක් නෙවෙයි එයින් පලතුරේ ප්‍රමාණය විශාල වන අතර ඉන් වැඩි රසයක්ද ලැබෙනවා. මෙය ඉක්මනින්ම ඉදෙන නිසා පරපෝෂිත කෘමීන්ගෙන් පලතුරට හානිවීමද වළක්වාගන්න හැකි වෙනවා.

ආමොස් හැදී වැඩුණේ ධනවත් පවුලක නොවුණත් ඔහු එඬේරෙක් සහ අත්තික්කා වගා කරන්නෙක් වුණත් ඔහු තම සතුරන්ට බිය වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු නිර්භීතව යෙහෝවා දෙවිගේ විනිශ්චය පණිවිඩය ඊශ්‍රායෙල්ට දැනුම් දුන්නා. අද දින බහුතරයක් මිනිසුන් ඇසීමට සතුටු නැති පණිවිඩයක් රැගෙන යන දෙවිගේ සේවකයන්ට ආමොස් කදිම ආදර්ශයක්.—මතෙව් 5:11, 12; 10:22.