ඇත්ත කතා කරන්න අවශ්‍ය අනිත් අය විතරද?
ඇත්ත කතා කරන්න අවශ්‍ය අනිත් අය විතරද?
“මට නම් බොරුව වංචාව කියන දේ පෙන්නන්න බැහැ.” එහෙම පැවසුවේ අවුරුදු 16ක ගැහැනු ළමයෙක්. අපි හැමෝම ඇය සමඟ එකඟ වෙනවාට කිසිම සැකයක් නැහැ. අන් අය අපට ලබා දෙන තොරතුරු කටින් කිව්වත් ලිඛිතව ලබා දුන්නත් ඒවා සත්‍යය තොරතුරු වෙනවාටයි අපි කැමති. නමුත් අනෙක් අතට අපිත් අන්‍යයන්ට එසේම කරනවාද?
ජර්මනියේ කළ සමීක්ෂණයකදී ඒ ගැන වැඩි පිරිසකගේ අදහස වුණේ මෙයයි. “තමන්ට යම් කරදරයකින් හෝ පාඩු වෙන දෙයකින් බේරෙන්න, එසේත් නැතිනම් අන් අයව එවැනි තත්වයකින් බේරගන්න පොඩි බොරුවක් කිව්වට කමක් නැහැ. අනිත් අයත් එක්ක හොඳ හිත තියාගන්න පොඩි පහේ බොරුවක් කිව්වට මොකද වෙන්නේ?” එක් වාර්තාවක මෙවැනි දෙයක් සඳහන් වුණා. “හැමතිස්සේම ඇත්ත කතා කරන එක කොයි තරම් හොඳ දෙයක්ද! හැබැයි ඉතිං ඉඳල හිටලා පොඩි බොරුවකුත් කියන්න ඕන. නැත්නම් වැඩක් නැහැ.”
අන් අය නිතරම ඇත්ත කතා කරනවාට අපි කැමති වුණත් යම් සාධාරණ හේතු නිසා අපි බොරු කිව්වට කමක් නැහැ කියා අපිට සිතෙනවාද? අපි බොරු කිව්වට කමක් නැද්ද? ඉන් ඇති වන ප්‍රතිඵල මොනවාද?
බොරුවේ බරපතළකම
බොරුව නිසා සිදු විය හැකි හානි සලකා බලන්න. එකිනෙකාට බොරු කිරීම විවාහක යුවළක් අතර සහ පවුලේ සාමාජිකයන් අතර ඇති විශ්වාසය පලුදු කරයි. බොරු ප්‍රචාර මගින් කෙනෙකුගේ හොඳ නමට කැළැලක් ඇති වෙයි. රැකියා ස්ථානයේදී සේවකයන් කරන වංචා නිසා නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල ඉහළ යයි. ව්‍යාපාරිකයන් බදු ගෙවීමේදී සිදු කරන වංචා නිසා අත්‍යවශ්‍ය පොදු සේවාවන් සැපයීමට රජයන්ට නොහැකි වෙයි. බොරු චෝදනාවක් නිසා සේවකයෙකුට තම වටිනා රැකියාව අහිමි විය හැකියි. එමෙන්ම යම් ආයතනයක් උපයාගෙන තිබූ හොඳ නාමයට අපකීර්තියක් ගෙන දීමටද බොරු චෝදනාවකට හැකියි. ඉක්මනින් පොහොසත් වීමට හැකි වන වංක ක්‍රමවලට රැවටීම නිසා බොහෝදෙනෙක් හරි හම්බ කරගත් දේ ඔවුන්ට අහිමි වෙනවා. එපමණක් නෙවෙයි ඊටත් වඩා කටුක තත්වයන්ට මුහුණ පාන්න ඔවුන්ට සිදු වෙනවා. බොරු කීම යෙහෝවා දෙවි සලකන්නේ කොහොමද? බයිබලය ඒ ගැන පැහැදිලිව පවසන්නේ ‘බොරු කියන දිවට’ සහ ‘මුසාවාද කියන බොරු සාක්ෂිකාරයාට’ දෙවි ද්වේෂ කරන බවයි.—හිතෝපදේශ 6:16-19.
සුළුතරයක් එකඟ නොවුණත් ලෝකයේ පුළුල්ව පැතිර තිබෙන බොරුව මුළු මහත් සමාජයටම බොහෝ හානි සිදු කරනවා යන්න සත්‍යයක්. එසේනම් මිනිසුන් හිතාමතාම බොරු කියන්නේ ඇයි? සත්‍යය නොපැවසීම බොරු කීමක්ද? එම ප්‍රශ්නවලට සහ තවත් ප්‍රශ්නවලට පිළිතුරු අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.
[3වන පිටුවේ පින්තූර]
සත්‍යය වසං කිරීම විවාහක යුවළක් අතර ඇති විශ්වාසය පලුදු කරයි