Skip to content

පටුනට යන්න

කියවන්න නම් ලෙහෙසියි, ඒත් . . .

කියවන්න නම් ලෙහෙසියි, ඒත් . . .

කියවන්න නම් ලෙහෙසියි, ඒත් . . .

වර්ෂ 2005 සැප්තැම්බර් මාසයේදී එංගලන්ත සභාව විනාඩි 100කින් කියවා අවසන් කළ හැකි බයිබලයක් ප්‍රකාශයට පත් කළා. එය ඔවුන් හැඳින්වූයේ විනාඩි 100යේ බයිබලය ලෙසයි. එම බයිබලයේ හෙබ්‍රෙව් ලියවිල්ලේ ඇති තොරතුරු පිටු 17කටත් ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ ඇති තොරතුරු පිටු 33කටත් සාරාංශ කර තිබෙනවා. එක් පාඨකයෙක් ඒ ගැන කිව්වේ “කියවන්න එතරම් රුචියක් නැති කොටස් එයින් ඉවත් කර තිබෙනවා” කියායි. එය කියවන්න නම් ලෙහෙසියි, ඒත් එහි නිවැරදිභාවය ගැන කියන්න පුළුවන් මොනවාද?

එහි යෙහෝවා යන දෙවිගේ පෞද්ගලික නම ඉවත් කර තිබෙන අතර තවත් ස්ථාන බොහොමයක අර්ථය විකෘති කර ඇති බව බයිබලය ගැන උනන්දුවක් දක්වන අයගේ අවධානයට ලක් වී තිබෙනවා. (ගීතාවලිය 83:17) උදාහරණයකට, විනාඩි 100යේ බයිබලයේ උත්පත්ති 1:1හි අදහස සඳහන් කර තිබෙන්නේ දෙවි “අහසත් පොළොවත් දින හයකින් මැව්වා” කියායි. එයින් පාඨකයාට දෙන වැරදි අදහස නම් දෙවි පැය 24කට සීමා වූ දවස් හයකින් ඒවා මැවූ බවයි. නමුත් මුල් බයිබලයේ එසේ සඳහන් වෙන්නේ නැහැ. ඊට වෙනස්ව එහි පැහැදිලිව ප්‍රකාශ කරන්නේ “පටන්ගැන්මෙහිදී දෙවි අහසත් පොළොවත් මැව්වා” කියායි. එම දවස් හය පැය 24කට සීමා වූ දවස් නොවන බව එයින් පැහැදිලියි. තවදුරටත් උත්පත්ති 2:4හි සඳහන් “යෙහෝවා දෙවි අහසත් පොළොවත් සෑදූ . . . කාලයෙහි” කීමෙන්ද පැහැදිලි වෙන්නේ අහසත් පොළොවත් එහි ඇති සියල්ලත් මැවීම සඳහා යම් දීර්ඝ කාලයක් ගත වී ඇති බවයි.

විනාඩි 100යේ බයිබලයේ සඳහන් තවත් පටහැනි අදහසක් සලකා බලන්න. යෝබ් නම් ඒ නිර්දෝෂ මිනිසාව පරීක්ෂා කරනු ලැබුවේ “[දෙවිගේ] සේවකයෙක් වූ සාතන් විසින් බවත් . . . ඔහුගේ පැවරුම වුණේ මිනිසුන්ට චෝදනා කිරීම” බවත් එහි සඳහන් වෙනවා. මෙය මොන තරම් විකෘති අදහසක්ද! “සාතන්” යන නමේ තේරුම වන්නේ “විරුද්ධකාරයා” යන්නයි. ඉන් ඔප්පු වන්නේ ඔහු දෙවිගේ සේවකයෙක් නොව ඔහුගේ පරම සතුරා බවයි. එමෙන්ම මිනිසුන්ට චෝදනා කිරීමට සාතන්ව පත් කළේ දෙවි නොවෙයි. ඒ තත්වයට පත් වුණේ ඔහු විසින්මයි.එළිදරව් 12:7-10.

විනාඩි 100යේ බයිබලයේ ඇති ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි ගැන කියන්න පුළුවන් කුමක්ද? උදාහරණයකට එළුවන් සහ බැටළුවන් පිළිබඳ උපමාවෙහි සඳහන් මෙම කොටස බලන්න. යේසුස් තම අනුමැතිය ලබා දෙන්නේ “ඕනෑම සුළු තැනැත්තෙකුට” උපකාර කරන කෙනෙකුට බව එහි සඳහන් වෙනවා. නමුත් යේසුස් ඇත්තටම පැවසුවේ එය නොවෙයි. ඔහු කිව්වේ තම අනුමැතිය ලබා දෙන්නේ තමන්ව අනුගමනය කරන, එනම් තමාගේ “සහෝදරයන්ට” උපකාර කරන අයට බවයි. (මතෙව් 25:40) තවත් දෙයක් ගැන සලකා බලන්න. එහි එළිදරව් පොත සාරාංශ කර තිබෙන්නේ “මහා බැබිලෝනිය වන රෝමය සම්පූර්ණයෙන්ම විනාශ වීමට නියමිතයි” කියායි. නමුත් “මහා බැබිලෝනිය” ගැන එවැනි හැඳින්වීමක් නැති බව බයිබලය හොඳින් අධ්‍යයනය කරන අය දන්නවා.—එළිදරව් 17:15–18:24.

අපගේ මැවුම්කරුවත් ඔහුගේ අරමුණු ගැනත් දැනගැනීමට සම්පූර්ණ බයිබලයම අධ්‍යයනය කරනවා හැරෙන්න වෙන විකල්පයක් තවත් නැහැ. බයිබලය කියවීමට විනාඩි 100කට වඩා ගතවන බව ඇත්තයි. නමුත් ඒ වෙනුවෙන් වැය කරන කාලයෙන් ලැබෙන ආශීර්වාද සදාකාලිකයි. (යොහන් 17:3) එය කියවීමට වෑයමක් දරා ඉන් ලැබෙන ප්‍රයෝජන ඔබම අද්දකින්න!—2 තිමෝති 3:16, 17.