Skip to content

පටුනට යන්න

කුඩා දරුවන්ගෙන් ඉගෙනගනිමු

කුඩා දරුවන්ගෙන් ඉගෙනගනිමු

කුඩා දරුවන්ගෙන් ඉගෙනගනිමු

“ඔයා නිකං පොඩි ළමයෙක් වගේනෙ!” ඔබ කැමතිද කවුරුහරි ඔබට එහෙම කියනවට? සාමාන්‍යයෙන් කුඩා දරුවන් හරි සුරතල්, ඒ වගේම ප්‍රියමනාප අය බවත් ඇත්තයි. නමුත් ඔවුන්ට ජීවිතයේ අද්දැකීම් අඩු නිසාත්, දැනුම් තේරුම් නැති නිසාත් අපිව ඔවුන්ට සමාන කරනවාට අපි කවුරුත් කැමති නැහැ.—යෝබ් 12:12.

ඒ වුණත් යේසුස් තම ගෝලයන්ට පැවසුවේ මෙහෙමයි. “සැබවින්ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවුණොත්, කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නහුය.” (මතෙව් 18:3) යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද? වැඩිහිටියන්ට කුඩා දරුවන්ගෙන් ඉගෙනගන්න පුළුවන් යමක් තිබෙනවාද? ඒ මොනවාද?

දරුවන් යටහත් පහත්

එවැනි දෙයක් කීමට යේසුස් පෙලඹුණේ ඇයි? කපර්ණවුමේ සිට පැමිණි දිගු ගමනෙන් පසු යේසුස් තම ගෝලයන්ගෙන් මෙහෙම ඇසුවා. “ඔබ මඟදී වාද කළේ කුමක් ගැනද?” වඩා උතුම් කෙනා කවුද කියා වාදයක් හට ගෙන තිබූ නිසා ඒ ප්‍රශ්නයෙන් ඔවුන් තිගැස්සුණා. කෙසේවෙතත් ධෛර්යය උපදවාගත් ඔවුන් යේසුස්ගෙන් මෙසේ ඇසුවා. “ස්වර්ග රාජ්‍යයේ උතුම්ම තැනැත්තා කවුද?”—මාක් 9:33, 34; මතෙව් 18:1.

අවුරුදු තුනකට කිට්ටු කාලයක් පුරා යේසුස්ගෙන් ඉගෙනගෙනත් ඔවුන් අතරේ එවැනි වාදයක් ඇතිවීම එක අතකින් පුදුමයට කරුණක්. නමුත් ඊට එක් හේතුවක් වුණේ ඔවුන් හැදී වැඩුණු යුදෙව් ආගමික පසුබිමයි. එම සමාජයේ වඩා වැදගත්කොට සැලකුවේ නිලයන් සහ තනතුරුයි. ඒ හේතුවත් ඔවුන්ගේ පව්කාර ස්වභාවයත් එසේ සිතීමට ඔවුන්ව පෙලඹුවා.

දැන් යේසුස් තම ගෝලයන්ව කැඳවා මෙසේ පවසනවා. “යමෙකු පළමුවැන්නා වන්න කැමති නම් ඔහු සියල්ලන් අතරින් අන්තිමයාද සියල්ලන්ගේ සේවකයාද විය යුතුය.” (මාක් 9:35) උතුම්කම ගැන යුදෙව්වන් දැරූ මතයත් ඒ ගැන යේසුස් පැවසූ දේත් අතර තිබුණේ මොන තරම් වෙනසක්ද! එය හරියට අහසට පොළොව වගෙයි. ඒ වචන ගෝලයන්ව පුදුමයෙන් පුදුමයට පත් කළා. ඉන්පසු යේසුස් කුඩා පිරිමි දරුවෙකුව කැඳවා, ඔහුව ආදරයෙන් තමා වෙතට ළං කරගෙන ගෝලයන්ට මෙසේ පැවසුවා. “සැබවින්ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවුණොත්, කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නහුය. එබැවින්, කවුරු නමුත් මේ කුඩා දරුවා මෙන් යටහත් වනවා නම්, ඔහු ස්වර්ග රාජ්‍යයේ උතුම්ම තැනැත්තා වන්නේය.”—මතෙව් 18:3, 4.

යටහත් පහත්කම ගැන මොන තරම් කදිම පාඩමක්ද! එම වැඩිහිටියන් කණ්ඩායමට මැදිවී සිටින කුඩා දරුවාව සිතින් මවාගන්න. සියලුදෙනාගේම නෙත් යොමුවී තිබෙන්නේ ඔහු දෙසටයි. ඔවුන් ඉදිරියේ සිටින මේ දරුවා කොතරම් අහිංසකද! තැන්පත්ද! ඒ වගේම කොතරම් කීකරුද! නිහතමානීද! ඇත්තෙන්ම ඒ දරුවා යෙහෝවා දෙවිගේ ගුණාංගයක් වන යටහත් පහත්කම කදිමට නිරූපණය කළා.

යේසුස් පවසන දේ ඉතා පැහැදිලියි. දේවරාජ්‍යයට ඇතුල්වීමට නම් අපි සියලුදෙනාම ඒ කුඩා දරුවා මෙන් යටහත් පහත්කම වර්ධනය කරගත යුතුයි. යෙහෝවා දෙවිගේ සැලැස්ම තුළ තරඟකාරීත්වයට හෝ උඩඟුකමට කිසිම තැනක් නැහැ. (ගලාති 5:26) සාතන් වන යක්ෂයා පවා යෙහෝවා දෙවිට විරුද්ධව කැරලි ගැසීමට පෙලඹුණේ ඔහු තුළ තිබූ උඩඟුකම නිසයි. යෙහෝවා දෙවි ඒ ගුණාංගයට ද්වේෂ කරන හේතුව අපිට එයින් පැහැදිලියි.—හිතෝපදේශ 8:13.

සැබෑ ක්‍රිස්තියානීන් එකිනෙකාට සේවය කරන්නන් මිස අන් අය කෙරෙහි බලය පාන අය නොවේ. සමහරවිට අපට කිරීමට තිබෙන්නේ අප පෞද්ගලිකව එතරම් කැමති නැති වැඩක් වුණත් අප සේවය කරන්නේ සමාජයේ පහත්යයි සලකන කෙනෙකුට වුණත් අපි යටහත් පහත් නම් ඔවුන්ට සේවය කරනවා. එවැනි යටහත් පහත්කමක් ඇතිව සිටීමෙන් මහත් ආශීර්වාද ලැබෙයි. ඒ ගැන යේසුස් පැවසුවේ “යමෙකු මෙවැනි කුඩා දරුවෙකුව මාගේ නාමයෙන් පිළිගන්නවා නම්, ඔහු මාවද පිළිගන්නේය. මාව පිළිගන්නා, මා පමණක් නොව, මාව එවූ තැනැත්තාවත් පිළිගන්නේය” කියායි. (මාක් 9:37) කුඩා දරුවෙක් හා සමානව අපත් යටහත් පහත්වී අන් අයට සේවය කිරීමට කැමැත්තෙන් සිටිනවා නම් අපි යෙහෝවා දෙවි සහ යේසුස් සමඟ එකඟව සිටිනවා. (යොහන් 17:20, 21; 1 පේතෘස් 5:5) එමෙන්ම දීමෙන්ද අපිට සන්තෝෂය අත් කරගත හැකියි. (ක්‍රියා 20:35) දෙවිගේ සෙනඟ අතර ඇති සාමයට දායක වීමෙන්ද අපි මහත් තෘප්තියක් අද්දකිනවා.—එෆීස 4:1-3.

ඉගෙනගනියි, විශ්වාසය තබයි

වැඩිහිටියන්ට කුඩා දරුවන්ගෙන් ඉගෙනගත හැකි තවත් පාඩමක් ගැන යේසුස් පෙන්වනවා. “සැබවින්ම මම ඔබට කියමි, කුඩා දරුවෙකු මෙන් දෙවිගේ රාජ්‍යය පිළි නොගන්නා කිසිවෙක් කිසිසේත් ඊට ඇතුල් නොවන්නේය.” (මාක් 10:15) යටහත් පහත්කමට අමතරව දරුවන් සතු තවත් වටිනා ලක්ෂණයක් වන්නේ ඉගෙනගැනීමට දක්වන කැමැත්තයි. “ස්පොන්ජ් කැබැල්ලක් ඉක්මනින් වතුර උරාගන්නවා වගේ දරුවනුත් හරි ඉක්මනට දේවල් ඉගෙනගන්නවා” කියා එක් මවක් පැවසුවා.

අපිත් දේවරාජ්‍යය උරුමකර ගන්න නම් ශුභාරංචිය පිළිගෙන ඊට කීකරු විය යුතුයි. (1 තෙසලෝනික 2:13) එමෙන්ම අපිත් අලුත උපන් බිළිඳුන් මෙන් “ගැලවීම කරා වැඩෙන පිණිස . . . දෙවිගේ වචනයේ අමිශ්‍ර කිරිවලට දැඩි ආශාවක් වර්ධනය” කරගත යුතුයි. (1 පේතෘස් 2:2) බයිබලයේ සමහර ඉගැන්වීම් තේරුම්ගැනීමට අසීරු නම් අප කළ යුත්තේ කුමක්ද? “දරුවන් සාමාන්‍යයෙන් ඔවුන් අසන ප්‍රශ්නවලට හොඳ පිළිතුරක් ලැබෙන තෙක් දිගින් දිගටම ප්‍රශ්න අහනවා” කියා එක් ළමා සුරැකුම් ආයතනයක සේවිකාවක් පැවසුවා. ඒ හා සමානව අපිත් බයිබලය අධ්‍යයනය කිරීම නොකඩවාම කළ යුතුයි. අද්දැකීම් තිබෙන ක්‍රිස්තියානීන් සමඟ කතා කරන්න. යෙහෝවා දෙවිගෙන් ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරන්න. (යාකොබ් 1:5) එවැනි යාච්ඤාවලට දෙවි පිළිතුරු දෙන බවට කිසිම සැකයක් නැහැ.—මතෙව් 7:7-11.

කෙනෙකුට මෙහෙම සිතෙනවා විය හැකියි. ‘හැමදෙනාටම ඇහුම්කන්දී ඉගෙනගන්න ගියොත් කෙනෙක් නොමඟ යන්න බැරිද?’ පුළුවන්. නමුත් විශ්වාසවන්ත කෙනෙකුගෙන් මඟ පෙන්වීම් ලැබුණොත් එහෙම වෙන්නේ නැහැ. උදාහරණයකට දරුවන් දේවල් දැනගන්න ස්වභාවයෙන්ම යන්නේ ඔවුන්ගේ දෙමාපියන් වෙතටයි. ඒ ගැන එක් පියෙක් පැවසුවේ මෙහෙමයි. “දෙමව්පියන් දිනපතාම දරුවන්ගේ ඕනෑ එපාකම් ගැන සලකමින් ඔවුන්ව ආදරයෙන් රැකබලාගනිද්දී දරුවන්ට තම දෙමාපියන් කෙරෙහි ඉබේටම විශ්වාසයක් ගොඩනැඟෙනවා.” ඒ හා සමානව අපගේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවිව විශ්වාස කිරීමට අපිටත් හේතු බොහොමයක් තිබෙනවා. (යාකොබ් 1:17; 1 යොහන් 4:9, 10) යෙහෝවා දෙවි ඔහුගේ වචනය වන බයිබලය තුළින් අපට නොවරදින මඟ පෙන්වීම් ලබාදෙනවා. එමෙන්ම ඔහුගේ බලය තුළින් සහ සංවිධානය මගින් අවශ්‍ය සහනය ලබාදී අපව ශක්තිමත් කරනවා. (මතෙව් 24:45-47; යොහන් 14:26) එවැනි සැපයුම්වලින් ප්‍රයෝජන ගැනීම දෙවි සමඟ ඇති අපගේ කිට්ටු මිත්‍රත්වයට ආරක්ෂාවක්.—ගීතාවලිය 91:1-16.

කුඩා දරුවන් තම දෙමාපියන්ව විශ්වාස කරනවා. අපත් එයාකාරයට යෙහෝවා දෙවිව විශ්වාස කරනවා නම් මනසේ සාමය ඇතිව සිටින්න පුළුවන්. “අපි පොඩි කාලෙ දෙමව්පියන් එක්ක ගමන් යද්දී කොහොමද යන්නේ, කීයක් ගෙවන්න ඕනෙද, බහින්නේ කොහෙන්ද කියන දේවල් ගැන අපි කරදර වුණේ නැහැ. දෙමව්පියන් ඒ හැමදෙයක් ගැනම බලාගනියි කියන විශ්වාසය අපිට තිබුණා” කියා එක් බයිබල් විශාරදයෙක් පැවසුවා. අප යන ජීවිත ගමනේදීත් යෙහෝවා දෙවි කෙරෙහි එවැනිම විශ්වාසයක් අපටත් තිබෙනවාද?—යෙසායා 41:10.

අපි දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨකමටත් ජීවිතයේ පළමු තැන දෙනවා නම් යෙහෝවා දෙවි අපේ සියලුම අවශ්‍යතා ඉටු කරන බවට යේසුස් පොරොන්දු වුණා. අපිට එම පොරොන්දුව කෙරෙහි සම්පූර්ණ නිසැකකමක් තිබෙනවා නම් අපගේ නමස්කාරය හා සම්බන්ධ දේවල් අතපසු කරමින් සැප සම්පත් අත් කරගැනීමට පෙලඹෙන්නේ නැහැ. යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබීම අපේ ඇදහිල්ල දුර්වල කළ හැකි ආකල්ප සහ ක්‍රියාවන්වලින් අපිව ආරක්ෂා කරයි.—මතෙව් 6:19-34.

“අයහපත සම්බන්ධයෙන් බිලිඳුන් වන්න”

කුඩා දරුවන් පාපය උරුම කරගෙන ඉපදුණත් ඔවුන් නපුරු නැහැ. හරිම අහිංසකයි. “අයහපත සම්බන්ධයෙන් බිලිඳුන් වන්න” කියා බයිබලය ක්‍රිස්තියානීන්ට දිරිගන්වන්නේ ඒ නිසයි.—1 කොරින්ති 14:20.

අවුරුදු පහක් වයසැති මෝනීක් පුදුමයෙන් වගේ තම මවට මෙහෙම කිව්වා. “අම්මේ, මගෙ යාළුවා සාරාට තියෙන්නෙත් මගෙ වගේම බොකුටු කොණ්ඩයක්.” එහිදී මෝනීක් සාරාගේ හමේ පාට ගැන හෝ ජාතිය ගැන කිසිවක් කිව්වේ නැහැ. එක් මවක් පැවසුවේ “පොඩි අය අනිත් අයගේ හමේ පාට ගැනවත් ජාතිය ගැනවත් හිතලා පහත් හැඟීමක් ඇති කරගන්නේ නැහැ” කියායි. ඒ අනුව බලද්දී කුඩා දරුවන් යෙහෝවා දෙවිගේ කදිම ගුණාංගයක් වන තරාතිරම් නොබැලීම කොතරම් හොඳින් විදහා පෙන්වනවාද!—ක්‍රියා 10:34, 35.

එකිනෙකාට ඉක්මනින්ම සමාව දී ඒවා අමතක කර දැමීමට දරුවන්ට තිබෙන්නේ සුවිශේෂී හැකියාවක්. එක් පියෙක් ඒ ගැන කියන්නේ මෙහෙමයි. “අපේ පුතාලා දෙන්නා රණ්ඩු කරන කොට අපි කියනවා ‘දැන් දෙන්නට දෙන්නා සමාව ඉල්ලගන්න’ කියලා. වැඩිවෙලා යන්න ඉස්සරවෙලා මෙන්න දෙන්නා ආයෙත් එකට සෙල්ලම් කරනවා! ඒගොල්ලන් සිද්දවෙච්ච දේ ගැන එච්චර හිතන්නෙවත් ඒ ගැන ආයෙ මතක් කරන්නෙවත් නැහැ. සමාව දෙන්න යද්දී අදිමදි කරන්නෙත් නැහැ. ඒගොල්ලන් ආයෙමත් සෙල්ලම් කරන්නේ හරියට මුකුත්ම වුණේ නැති ගානටයි.” ඔවුන් වැඩිහිටියන්ට මොන තරම් හොඳ ආදර්ශයක්ද!—කොලොස්සි 3:13.

ඒ විතරක් නෙවෙයි කුඩා දරුවන් දෙවි සිටින බවත් පිළිගන්නවා. (හෙබ්‍රෙව් 11:6) දරුවන් හරිම විවෘතයි. ඒ නිසා දෙවි ගැන සාක්ෂි දරන්න ඔවුන් බිය වන්නේ නැහැ. (2 රාජාවලිය 5:2, 3) දැඩි හිත් තිබෙන අයව පවා වෙනස් කිරීමට ඔවුන් කරන අවංක යාච්ඤාවලට හැකියි. යම් වැරදි දෙයක් කිරීමට පෙලඹීමක් ඇති වූ විට ඊට විරුද්ධව සිටීමට තරම් ශක්තියක් ඔවුන්ට තිබෙනවා. අප අතර සිටින කුඩා දරුවන් යෙහෝවා දෙවිගෙන් අපට ලැබී තිබෙන වටිනා තෑග්ගක්.—ගීතාවලිය 127:3, 4.

අහිමිවූ දේ නැවතත්

‘කුඩා කළ තමන් තුළ තිබූ ඒ වටිනා ගුණාංග නැවතත් ඇති කර ගැනීමට හැකිදැයි’ කියා ඔබ කල්පනා කරන්න පුළුවන්. ඇත්තටම පුළුවන්! “කුඩා දරුවන් මෙන් වන්න” කියා යේසුස් කළ ඉල්ලීමෙන් එය කළ හැකි බව පැහැදිලියි.—මතෙව් 18:3.

එය තේරුම්ගැනීමට අපි මෙම නිදර්ශනය සලකා බලමු. ඉතාමත් වටිනා පැරණි බිතුසිතුවමක අලංකාරය කුණු, දූවිලි වැනි දෑ බැඳීම නිසා අවලක්ෂණ වී තිබෙනවා. නමුත් එක් කණ්ඩායමක් එය කලින් තිබූ තත්වයටම ගෙන එන්න දැඩි වෙහෙසක් දරනවා. අවසානයේදී ඔවුන්ගේ දැඩි වෑයමේ ප්‍රතිඵලයක් ලෙස ඒ සිතුවමේ මුලින් තිබූ අලංකාරය දැන් සියල්ලන්ටම දැකගන්න පුළුවන්. ඒ හා සමානව අප නොකඩවා දරන උත්සාහයත් යෙහෝවා දෙවිගේ බලය සහ ප්‍රේමණීය සහෝදරයන්ගේ උපකාරයත් ඇතිව, කුඩා කාලයේදී අප තුළ තිබූ ඒ අලංකාර ගුණාංග නැවතත් ඉස්මතු කරගත හැකියි.—එෆීස 5:1.

[9වන පිටුවේ පින්තූරය]

කුඩා දරුවන් ස්වාභාවයෙන්ම යටහත් පහත්

[10වන පිටුවේ පින්තූරය]

කුඩා දරුවන් තරාතිරම් බලන්නේ නැහැ. ඉක්මනින්ම සමාව දීලා අමතක කරනවා