Skip to content

පටුනට යන්න

දෙවිගේ දීමනා කිසිදා අමතක නොකරන්න

දෙවිගේ දීමනා කිසිදා අමතක නොකරන්න

දෙවිගේ දීමනා කිසිදා අමතක නොකරන්න

“දෙවි, ඔබගේ කල්පනා මට කොපමණ අනර්ඝද! එහි ගණන කොපමණ මහත්ද!”—ගීතාවලිය 139:17.

1, 2. අප දෙවිගේ වචනය අගය කළ යුත්තේ ඇයි? ගීතිකාකරු ඒ සඳහා තම අගය පළ කළේ කෙසේද?

ය සම්බවූ විට ඔවුන් ප්‍රීතියෙන් ඉපිල ගියා! යෙරුසලමේ දේවමාලිගාව අලුත්වැඩියා කරන විට “මෝසෙස් විසින් දුන් යෙහෝවාගේ ව්‍යවස්ථා පොත” උත්තම පූජක හිල්කියාට සම්බ වුණා. එය අවුරුදු 800කට පමණ පෙර ලියා අවසන් කළ මුල් පිටපත බවට නම් කිසිම සැකයක් නැහැ. එම ලියවිල්ල දේවගරුබිය ඇති යොෂියා රජු ඉදිරියට ගෙන ආ විට ඔහුට හැඟුණු ආකාරය ඔබට සිතාගන්න පුළුවන්ද? රජු එය කොතරම් අගය කළාද කියනවා නම් වහාම එය ශබ්ද නඟා කියවීමට ලේකම්ව සිටි ෂාපාන්ට ඔහු අණ කළා.—2 ලේකම් 34:14-18.

2 අද දින දෙවිගේ වචනය වන බයිබලය කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම කියවීමට බිලියන ගණනකට හැකි වී තිබෙනවා. එමනිසා එහි අගය අඩු වී තිබෙනවාද? කොහෙත්ම නැහැ! ඊට හේතුව වන්නේ අපගේම ප්‍රයෝජනය සඳහා යෙහෝවා දෙවිගේ අදහස් එහි ඇතුළත් කර තිබීමයි. (2 තිමෝති 3:16) ගීතිකාකාර දාවිත්ට දෙවිගේ වචනය ගැන හැඟුණු ආකාරය මෙසේ විස්තර කළා. “දෙවි, ඔබගේ කල්පනා මට කොපමණ අනර්ඝද! එහි ගණන කොපමණ මහත්ද!”—ගීතාවලිය 139:17.

3. දෙවි සමඟ තිබූ කිට්ටු මිත්‍රත්වය තමා අගය කළ බව දාවිත් පෙන්වූයේ කෙසේද?

3 යෙහෝවා දෙවි කෙරෙහිත් ඔහුගේ වචනය සහ සැබෑ නමස්කාරය සඳහා දෙවි ඇති කළ සැලසුම් කෙරෙහිත් දාවිත්ට තිබූ අගය කෙදිනකවත් අඩු වූයේ නැහැ. ඒ බව ඔහු විසින් රචනා කළ බොහෝ ගීතිකාවලින් මනාව පැහැදිලි වෙනවා. උදාහරණයකට එක් ගීතිකාවක ඔහු පැවසු දේ බලන්න. “මම යෙහෝවා දෙවිගෙන් ඉල්ලන්නේ එකම එක දෙයකි. මම ඒ දේ ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි. ඒ මාගේ ජීවිතයේ සියලු දවස්වලදී යෙහෝවා දෙවිගේ ගෘහයේ සිටින්නට ලැබීමය. එවිට මම යෙහෝවා දෙවිගේ යහපත අද්දකින්නෙමි. ඔහුගේ මාලිගාව දෙස මහත් අගයකින් බලන්නෙමි.” (ගීතාවලිය 27:4, නව ලොව පරිවර්තනය) මුල් හෙබ්‍රෙව් භාෂාවේ “මහත් අගයකින් බලන්නෙමි” යන්නෙන් අදහස් වුණේ ගැඹුරින් සිතා බැලීම, පරෙස්සමින් සෝදිසි කිරීම, සතුටක් සහ තෘප්තියක් ලැබීම යන්නයි. දාවිත් යෙහෝවා දෙවි ලබා දුන් සෑම දීමනාවකින්ම සතුටක් ලැබූ අතර දෙවි සමඟ තිබූ කිට්ටු මිත්‍රත්වය ඉතා ඉහළින් අගය කළා. දෙවි සපයා ඇති දේවල් අගය කිරීම සම්බන්ධයෙන් දාවිත් මොන තරම් කදිම ආදර්ශයක්ද!—ගීතාවලිය 19:7-11.

බයිබලයේ සත්‍යය අගය කරන්න

4. යේසුස් දෙවිගේ බලය තුළින් “අතිශයින් ප්‍රීතිමත්” වුණේ ඇයි?

4 දෙවිගේ වචනයේ සඳහන් සත්‍යය තේරුම්ගැනීමට මේ ලෝකයේ උගතුන්ගේ ප්‍රඥාවෙන් බැහැ. එවන් ප්‍රඥාවක් නිසා කෙනෙකු උඩඟු විය හැකියි. ඒ වෙනුවට බයිබලයේ සත්‍යය තේරුම්ගැනීමට හැකියාව ලැබෙන්නේ යෙහෝවා දෙවිගේ ලබන්නට නොවටිනා කරුණාව නිසයි. ඒ සඳහා කෙනෙක් යටහත් පහත් විය යුතු අතර දෙවිට නමස්කාර කිරීමට සෑබෑ වුවමනාවක්ද ඔහුට තිබිය යුතුයි. (මතෙව් 5:3; 1 යොහන් 5:20) පව්කාර මිනිසුන්ගේ නම්ද ස්වර්ගයේ ලියවී තිබීම නිසා ඒ ගැන යේසුස්ට දැනුණු ආකාරය බයිබලයේ මෙසේ විස්තර කරනවා. “ඔහු ශුද්ධාත්මය [එනම් දෙවිගේ බලය] තුළින් අතිශයින් ප්‍රීතිමත් වී මෙසේ කීවේය: ‘ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන පියාණෙනි, ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් සඟවා, බිලිඳුන්ට හෙළි කර තිබෙන බැවින් මම ඔබට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරමි.’”—ලූක් 10:17-21.

5. ගෝලයන්ට රාජ්‍යය පිළිබඳ සත්‍යයන් හෙළි කර තිබීම ඔවුන් සැහැල්ලුවට නොගත යුතුව තිබුණේ ඇයි?

5 යේසුස් එම යාච්ඤාව අවසන් කිරීමෙන් පසු තම ගෝලයන් දෙස බලා මෙසේ පැවසුවා. “ඔබ දකින දේ දකින ඇස් සන්තෝෂවත්ය. මන්ද, බොහෝ අනාගතවක්තෘවරුන් සහ රජුන් ඔබට පෙනෙන දේ දකින්නද ඔබට ඇසෙන දේ අසන්නද ආශා කළත් ඒවා දුටුවේවත් ඇසුවේවත් නැතැයි මම ඔබට කියමි.” යේසුස් පොළොවට පැමිණීමට පෙර සිටි දෙවිගේ සේවකයන්ට දේවරාජ්‍යය පිළිබඳ සත්‍යය හෙළි කර තිබුණෙත් නැහැ. එමෙන්ම ඔහුගේ කාලයේ සිටි ‘ප්‍රඥාවන්තයන්ට සහ බුද්ධිමතුන්ටත්’ එය එළිදරව් කර තිබුණෙත් නැහැ. නමුත් එම රාජ්‍යය සම්බන්ධ අනගි සත්‍යය ඔහුගේ අනුගාමිකයන්ට හෙළි කර තිබූ නිසා එය සැහැල්ලුවට නොගන්න කියා යේසුස් ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.—ලූක් 10:23, 24.

6, 7. (අ) බයිබලයේ ඇති සත්‍යය අගය කරන්න අපිට තිබෙන හේතු මොනවාද? (ආ) සැබෑ නමස්කාරය සහ අසත්‍ය උගන්වන ආගම් අතර ඇති වෙනස කුමක්ද?

6 අද දින සිටින අපිට යෙහෝවා දෙවි කෙරෙහි අපගේ අගය පෙන්වීමට ඊටත් වඩා හේතු තිබෙනවා. ඒවායින් එකක් නම් දෙවි “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මගින් බයිබලයේ සත්‍යය පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් අපට ලබා දී තිබීමයි. (මතෙව් 24:45; දානියෙල් 12:10) මේ අවසාන කාලයේ සිදුවීමට නියමිත දෙයක් ගැන අනාගතවක්තෘ දානියෙල් පැවසුවේ “බොහෝදෙනෙක් ඔබ මොබ දුව යන්නෝය. දැනගැන්මද වැඩි වෙන්නේය” කියායි. (දානියෙල් 12:4) අද දින දෙවිගේ සේවකයන්ගේ ඇදහිල්ල වර්ධනය කිරීමට අවශ්‍ය පෝෂණය නොඅඩුව ලැබෙන බවටත් දෙවි පිළිබඳ ‘දැනගැන්මද වැඩි වී’ තිබෙන බවටත් ඔබ එකඟ වන්නේ නැද්ද?

7 දෙවිගේ සේවකයන් අද්දකින සමෘද්ධිය හා අසත්‍ය උගන්වන ආගම් අතර අප දකින්නේ මොන තරම් පැහැදිලි වෙනසක්ද! ඊට හේතුව වන්නේ දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් සැබෑ නමස්කාරකයන්ට ඇති පුළුල් අවබෝධයයි. එම ආගම්වල සිදු වන ක්‍රියා නිසා කලකිරී සිටින බොහෝදෙනා සැබෑ නමස්කාරය වෙතට ඇදී එනවා. ඔවුන් ‘ඇගේ [මහා බබිලෝනියේ] පාපවලට හවුල් වන්න’ හෝ ‘ඇගේ පීඩාවලට අසු වන්න’ අකමැති බැටළු ගුණැති අයයි. යෙහෝවා දෙවි සහ ඔහුගේ සේවකයන් එවැනි අයට සැබෑ නමස්කාරයේ හවුල් වන්න කියා ආරාධනා කරනවා.—එළිදරව් 18:2-4; 22:17.

බයිබලයේ සත්‍යය අගය කරන අයව එක්රැස් කිරීම

8, 9. හග්ගයි 2:7හි සඳහන් අනාවැකිය අද දින ඉටු වන්නේ කෙසේද?

8 සැබෑ නමස්කාරය ගැන යෙහෝවා දෙවි මෙවැනි දෙයක් පුරෝකථනය කළා. “සියලු ජාතීන්ද සොලවන්නෙමි. සියලු ජාතීන් ආශා කරන දේ පැමිණෙන්නේය. මේ ගෘහය තේජසින් පුරවන්නෙමියි සේනාවන්ගේ යෙහෝවා කියන්නේය.” (හග්ගයි 2:7) වහල්භාවයේ සිට නැවත පැමිණි යුදෙව්වන් දේවමාලිගාව නැවත ගොඩනැඟූ විට එම අනාවැකිය යම් ආකාරයකින් ඉටු වුණා. නමුත් ඊට අපේ කාලයට අදාළ ඉටුවීමක්ද තිබෙනවා.

9 දැනටමත් මිලියන ගණනක් දෙනා දෙවිගේ සංකේතාත්මක මාලිගාව වන සැබෑ නමස්කාරය වෙතට එක් රොක් වී තිබෙනවා. ඒ දෙවිට “ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද” නමස්කාර කිරීමටයි. එමෙන්ම “සියලු ජාතීන් ආශා කරන දේ” වන සියදහස් ගණනක් මනුෂ්‍යයන් ඒ සඳහා වැල නොකැඩී පැමිණෙමින් සිටිනවා. (යොහන් 4:23, 24) උදාහරණයකට පසුගිය සේවා වසරේ 2,48,327දෙනෙක් යෙහෝවා දෙවිට වූ තම කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළා. ඒ බව 2006 සේවා වසරේ වාර්තාවෙන් ඔප්පු වෙනවා. එය සාමාන්‍යයක් ලෙස ගත් විට දිනකට 680දෙනෙක් බව්තීස්ම වෙනවා. ඔවුන් රාජ්‍යය ප්‍රකාශකයන් ලෙස සේවය කිරීමට දක්වන කැමැත්තෙන් සහ සත්‍යය නමස්කාරයට ඔවුන් දක්වන ඇල්මෙන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි විසින් ඔවුන්ව ඇදගෙන ඇති බවයි.—යොහන් 6:44, 65.

10, 11. මිනිසුන් බයිබලයේ ඇති සත්‍යය අගය කරන බව අද්දැකීමක් මගින් පැහැදිලි කරන්න.

10 අද දින සිටින අවංක සිත් ඇති අය සත්‍යය නමස්කාරය වෙතට ආකර්ෂණය වී ඇත්තේ “ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවිට මෙහෙ කරන තැනැත්තා සහ ඔහුට මෙහෙ නොකරන තැනැත්තා අතරේද වෙනස” ඔවුන් දැක ඇති නිසයි. (මලාකී 3:18) රෙපරමාදු භක්තික විවාහක යුවළක් වන වේන් සහ වර්ජීන්යාගේ අද්දැකීම සලකා බලන්න. යුද්ධය හෙළා දුටු ඔවුන් තම ආගමේ පූජකයන් සොල්දාදුවන්ට සහ යුධ අවිවලට ආශීර්වාද කරනවා දැකීමෙන් දැඩි කලකිරීමකට පත් වුණා. එමෙන්ම ඔවුන්ට තිබූ බොහෝ ප්‍රශ්නවලට නිසි පිළිතුරු තම ආගමෙන් ලැබුණේද නැහැ. වර්ජීන්යා බොහෝ කලක් පල්ලියේ ඉරුදින පාසැලේ උගන්වා තිබුණා. නමුත් ඔවුන් වයස්ගත වන විට අන් අය එතරම් ඔවුන්ව සලකන්නේ නැති බව ඔවුන්ට දැනුණා. “අපේ දුක සැප බලන්නවත්, ටිකක් දිරිගන්වලා යන්නවත් කවුරුවත් ආවේ නැහැ. පල්ලියට ඕන වුණේ අපේ සල්ලි විතරයි. අපි අතරමං වෙලා කියලයි අපිට හිතුණේ” කියා ඔවුන් පවසනවා. නමුත් ඔවුන් ඊටත් වඩා කලකිරුණේ පල්ලිය සමලිංගික ඇසුර අනුමත කළ විටයි.

11 ඒ කාලයේදී මේ යුවළගේ මිණිපිරියත් පසුව ඔවුන්ගේ දියණියත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් වුණා. වේන් සහ වර්ජීන්යා මුලදී ඒ ගැන ටිකක් කලබල වුණත් පසුව ඔවුන් බයිබලය ඉගෙනගන්න කැමති වුණා. “අපිට අවුරුදු 70ක් තිස්සේ ඉගෙනගන්න බැරි වුණු දේවල් මාස තුනකින් ඉගෙනගන්න පුළුවන් වුණා. දෙවිගේ නම යෙහෝවා කියලා අපි කවදාවත් දැනගෙන හිටියේ නැහැ. ඒ විතරක් නෙවෙයි දේවරාජ්‍යය ගැනවත් පාරාදීස පොළොව ගැනවත් අපි දැනගෙන හිටපු දෙයක් නැහැ” කියා වේන් පවසනවා. වැඩි කල් යන්න පෙර මෙම අවංක සිත් ඇති යුවළ ක්‍රිස්තියානි රැස්වීම්වලට යන්නත් ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වෙන්නත් පටන්ගත්තා. වර්ජීන්යා ඒ ගැන කොතරම් උනන්දු වුණාද කිව්වොත් “මේ සත්‍යය ගැන හැමෝටම කියන්න අපිට ඕනේ” කියා ඇය පැවසුවා. වර්ෂ 2005දී ඔවුන් බව්තීස්ම වන විට ඔවුන් දෙදෙනාම 80වෙනි වියේ පසු වුණා. “දැන් අපි ඉන්නේ ප්‍රේමණීය ක්‍රිස්තියානි පවුලකයි” කියා ඔවුන් පවසනවා.

“සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව”

12. තම සේවකයන්ට යෙහෝවා දෙවි නොකඩවා ලබා දෙන්නේ මොනවාද? ඉන් ප්‍රයෝජන ලැබීමට නම් අප කුමක් කළ යුතුද?

12 දෙවිගේ කැමැත්ත සාර්ථකව ඉෂ්ට කිරීමට අවශ්‍ය උපකාර ඔහු නිතරම තම සේවකයන්ට ලබා දෙනවා. උදාහරණයකට විශාල නැව සෑදීමට නෝවාට දෙවි දුන් පැවරුම ගැන හිතන්න. එය ඉතාමත් නිවැරදිව සෑදිය යුතු වූ නිසා, අවශ්‍ය සියලුම උපදෙස් දෙවිම නෝවාට සැපයුවා. නෝවාට ඒ කාර්යය හරියටම කරන්න හැකි වුණේ කොහොමද? ‘දෙවි ඔහුට අණ කළ සියල්ල ලෙස ඔහු කළ’ නිසයි. (උත්පත්ති 6:14-22) අද දිනත් දෙවි අපට දී ඇති පැවරුම සාර්ථකව ඉෂ්ට කිරීමට අවශ්‍ය දේ නොඅඩුව සපයනවා. ඒ පැවරුම නම් දැනටමත් ස්වර්ගයේ පිහිටුවා ඇති දේවරාජ්‍යය ගැන දේශනා කරමින් අවංක සිත් ඇති අයට යේසුස්ගේ ගෝලයන් වීමට උපකාර කිරීමයි. නෝවා මෙන් අපගේ පැවරුමත් නියම ආකාරයට ඉෂ්ට කිරීමට හැකි වන්නේ ඒ සම්බන්ධයෙන් දෙවි දී ඇති මඟ පෙන්වීම් අපි ඒ විදිහටම අනුගමනය කළොත් පමණයි. ඒ සඳහා දෙවිගේ සංවිධානයෙන් සහ බයිබලයෙන් ඔහු ලබා දෙන මඟ පෙන්වීම්වලට අප කීකරු විය යුතුයි.—මතෙව් 24:14; 28:19, 20.

13. යෙහෝවා දෙවි අපව පුහුණු කරන්නේ කොහොමද?

13 එම පැවරුම සාර්ථකව ඉෂ්ට කිරීමට නම් අපි අපගේ ප්‍රධාන ආයුධය වන දෙවිගේ වචනය “හරියාකාරව හසුරුවන” ආකාරය ඉගෙනගත යුතුයි. එය “ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය. එමගින් දෙවිගේ මිනිසා පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව” සිටීමටත් හැකි කරවයි. (2 තිමෝති 2:15; 3:16, 17) පළමුවන සියවස හා සමානව අද දිනත් දෙවි තම ක්‍රිස්තියානි සභාව මගින් අපට අනර්ඝ පුහුණුවක් ලබාදෙනවා. ලොව පුරා ඇති 99,770ක් සභාවන්වල සතිපතා පවත්වන දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් සහ සේවා රැස්වීමෙන් ශුභාරංචිය දේශනා කිරීම සඳහා අපව පුහුණු කරනවා. එම ප්‍රයෝජනවත් රැස්වීම්වලට නොකඩවා සහභාගි වීමෙන් සහ ඉගෙනගන්නා දේවල් අදාළ කරගැනීමෙන් ඔබ ඒවා අගය කරන බව පෙන්වනවාද?—හෙබ්‍රෙව් 10:24, 25.

14. යෙහෝවා දෙවිට සේවය කිරීමේ වරප්‍රසාදය ඔහුගේ සේවකයන් අගය කරන බව පෙන්වන්නේ කෙසේද? (පිටු 27 සිට 30 දක්වා ඇති වාර්තාවේ සඳහන් තොරතුරුද ඇතුළත් කරන්න.)

14 දේවසේවය තුළ ඉමහත් උනන්දුවෙන් කටයුතු කරන ලොව වටා සිටින මිලියන ගණනක් දෙනා තමන් ලබන පුහුණුව දේවසේවය තුළ අදාළ කරගැනීමෙන් එය බෙහෙවින් අගය කරන බව පෙන්වමින් සිටිනවා. ඒ බව 2006 සේවා වසරේ වාර්තාවෙන් මනාව පැහැදිලියි. එම වසරේ රාජ්‍ය ප්‍රචාරකයන් 67,41,444ක් පැය 1,33,39,66,199ක් දේවසේවය වෙනුවෙන් කැප කළා. ඊට බයිබල් පාඩම් 62,86,618ක්ද ඇතුළත්. ඒවා ලෝක ව්‍යාප්ත වාර්තාවේ සඳහන් වී ඇති දේවලින් ස්වල්පයක් පමණයි. තවදුරටත් එම වාර්තාවට හොඳ අවධානයක් දෙන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි. පළමුවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ද දේවසේවයේදී ඔවුන් ලැබූ වර්ධනය දැක මහත් සේ දිරිගැන්වීමක් ලැබූ බව ස්ථිරයි.—ක්‍රියා 1:15; 2:5-11, 41, 47; 4:4; 6:7.

15. තමන් දෙවිට උපරිමයෙන් කරන සේවය ගැන කිසිකෙනෙක් අධෛර්ය නොවිය යුත්තේ ඇයි?

15 ලොව පුරා සිටින දෙවිගේ සේවකයන් සෑම වසරකම ඔහුට ගෙන දෙන්නේ මහත් ප්‍රශංසාවක්. ඉන් පැහැදිලි වන්නේ දෙවිව හොඳින් දැනසිටීම සහ ඔහු වෙනුවෙන් සාක්ෂි දැරීමට ලැබී ඇති වරප්‍රසාදය ඔවුන් අගය කරන බවයි. (යෙසායා 43:10) ඔවුන් අතර වයස්ගත වූ අය, අසනීප සහ දුබලතාවලින් පෙළෙන අයද සිටිනවා. ඔවුන් කරන සේවය එදා වැන්දඹු ස්ත්‍රිය දැමූ කුඩා සම්මාදමට සමාන කළ හැකියි. තමන්ට කළ හැකි උපරිමයෙන් සේවය කරන සියලුදෙනාවම යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත්‍රයා මහත් සේ අගය කරන බව අපි කිසිදා අමතක නොකරමු.—ලූක් 21:1-4; ගලාති 6:4.

16. මෑත කාලයේදී යෙහෝවා දෙවි සපයා ඇති ඉගැන්වීමේ ආධාරක මොනවාද?

16 අපව පුහුණු කරනවාට අමතරව යෙහෝවා දෙවි ඔහුගේ සංවිධානය මගින් සපයා ඇති තවත් වටිනා දෙයක් වන්නේ බයිබලයේ සත්‍යය තේරුම්ගැනීමට දී ඇති ප්‍රකාශනයි. සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම සහ මෑතකදී මුදාහරින ලද බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතද ඒ අතර වෙයි. එවන් සැපයුම් අගය කරන අය දේවසේවයේදී ඒවා හොඳින් යොදාගනියි.

බයිබලයේ ඉගැන්වීම් පොතෙන් උපරිම ප්‍රයෝජන ගන්න

17, 18. (අ) දේවසේවයේදී ඔබ වඩාත්ම කැමති වන්නේ බයිබලයේ ඉගැන්වීම් පොතේ කුමන කොටස් යොදාගන්නද? (ආ) එක් චාරිකා අවේක්ෂකයෙක් මේ පොත ගැන කිව්වේ කුමක්ද?

17 පරිච්ඡේද 19කින් යුත් බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ අවසානයේ යම් විෂයන් සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් උපග්‍රන්ථයක් අඩංගුයි. එමෙන්ම එය ලියා ඇති ආකාරය සරල නිසා තේරුම්ගැනීමටද ඉතාමත් පහසුයි. උදාහරණයකට “දෙවිව සතුටු කරන අයුරින් ජීවත් වන්න” යන මාතෘකාවෙන් යුත් 12වන පරිච්ඡේදය සලකා බලන්න. දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට සමහරුන් එතරම් උනන්දු වන්නේ නැති අතර තවත් සමහරුන් සිතන්නේ එම මිත්‍රත්වය අත් කරගත නොහැකි දෙයක් බවයි. නමුත් දෙවිගේ මිත්‍රයෙක් වන්නේ කෙසේද කියා එහි පැහැදිලි කරනවා. (යාකොබ් 2:23) එම පොතට ලැබී ඇත්තේ කුමන ආකාරයේ ප්‍රතිචාරයක්ද?

18 ඕස්ට්‍රේලියාවේ සිටින එක් චාරිකා අවේක්ෂකයෙක් පැවසුවේ බයිබලයේ ඉගැන්වීම් පොත නිසා “ගේහිමියන් සමඟ ඉක්මනින්ම සංවාදයන් ඇති කරගන්න පුළුවන් වෙලා තියෙනවා” කියායි. තවදුරටත් ඔහු පැවසුවේ මෙහෙමයි. මේ පොත “ප්‍රචාරකයන්ට දේවසේවයේදී ලොකු ප්‍රීතියක් ගෙන දෙනවා වගේම විශ්වාසයකින් යුතුව දේශනා කිරීමටද උපකාරවත් වෙලා තියෙනවා. ඒ නිසාම මේ පොත අගනා මැණිකක් කියා සමහරුන් කියනවා.”

19-21. බයිබලයේ ඉගැන්වීම් පොතේ ඇති ප්‍රයෝජන ගෙනහැර දක්වන අද්දැකීම් සමහරක් විස්තර කරන්න.

19 “ඔයාලව එවලා තියෙන්නේ නම් දෙවියන්මයි” කියා ගයනාව නම් රටේ එක් ස්ත්‍රියක් අපගේ පුරෝගාමී සහෝදරයෙකුට පැවසුවා. එම ස්ත්‍රිය සමඟ එකට ජීවත් වූ තැනැත්තා මෑතකදී ඇයව දරුදෙදෙනාත් සමඟ අත්හැර දමා ගොස් තිබුණා. එවිට අපගේ සහෝදරයා බයිබලයේ ඉගැන්වීම් පොතේ 1වන පරිච්ඡේදයේ “අපට අයුක්තියක් සිදු වන විට දෙවිට හැඟෙන්නේ කොහොමද?” යන උපමාතෘකාව යටතේ ඇති 11වන ජේදය ඇයට ඇසෙන්න කියෙව්වා. “ඒ ඇසුණු දේ ඇගේ සිතට කොයි තරම් තදින් කාවැදුණාද කියනවා නම් ඇය ඇගේ සාප්පුව පිටිපස්සට ගිහිල්ලා හොඳටම ඇඬුවා” කියා මේ සහෝදරයා පවසනවා. ඇය දැන් අපගේ සහෝදරියක් සමඟ බයිබලය පාඩම් කරන අතර හොඳ ප්‍රගතියක් ලබමින් සිටිනවා.

20 ස්පාඤ්ඤයේ ජීවත් වන හෝසේට රිය අනතුරකින් තම බිරිඳව අහිමි වුණා. එම දුකෙන් මිදෙන්නට ඔහු මත්ද්‍රව්‍ය භාවිත කළා. පසුව ඔහු මනෝවෛද්‍යවරුන්ගේ උපකාරද පැතුවා. නමුත් “මගේ ආදරණීය බිරිඳ මැරෙනකං දෙවියන් බලාගෙන හිටියේ ඇයි?” කියන ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු ඔවුන් ළඟ තිබුණේ නැහැ. දිනක් ඔහුට තම ආයතනයේම සේවය කළ ෆ්‍රාන්චෙස්ක්ව හමු වුණා. බයිබලයේ ඉගැන්වීම් පොතේ “දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?” යන මාතෘකාවෙන් යුත් 11වන පරිච්ඡේදය ෆ්‍රාන්චෙස්ක් ඔහු සමඟ සාකච්ඡා කළා. එහි සඳහන් සිසුවා සහ ගුරුවරයා සම්බන්ධ නිදර්ශනය සහ බයිබලයේ ඒ පිළිබඳව පැහැදිලි කර තිබෙන ආකාරය හෝසේගේ සිත්ගත්තා. ඔහු බයිබලය උනන්දුවෙන් අධ්‍යයනය කරන්න පටන්ගත් අතර චාරිකා එක්රැස්වීමකටද සහභාගි වුණා. දැන් ඔහු දිගටම රැස්වීම්වලට සහභාගි වෙනවා.

21 හතළිස් වියේ පසුවන රොමාන් ජීවත් වන්නේ පෝලන්තයේයි. ඔහු දෙවිගේ වචනයට දැක්වූයේ ඉමහත් ගෞරවයක්. නමුත් රැකියාවේ ඉතා කාර්ය බහුලව සිටි නිසා බයිබලය නොකඩවා පාඩම් කරන්න ඔහුට නොහැකි වුණා. කොහොමවුණත් දිස්ත්‍රික් සමුළුවකට සහභාගි වු ඔහුට බයිබලයේ ඉගැන්වීම් පොතේ පිටපතක් ලැබුණායින් පසුව ඔහු තුළ පැහැදිලි වෙනසක් දකින්න ලැබුණා. ඒ පොත ගැන රොමාන් කියන්නේ “බයිබලයේ තිබෙන මූලික ඉගැන්වීම් මේ පොතේ එකට කැටි කොට තිබෙන නිසා දෙවිගේ වචනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් එයින් ලබාගන්න පුළුවන්” කියායි. ඔහු දැන් නොකඩවාම බයිබලය පාඩම් කරන අතර හොඳ ප්‍රගතියක් ලබමින් සිටිනවා.

දිගටම අගය කරන්න

22, 23. අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව කෙරෙහි දිගටම අපගේ අගය පෙන්විය හැක්කේ කෙසේද?

22 “ගැලවීම අත ළඟයි!” යන දිස්ත්‍රික් සමුළුවේදී ඉගෙනගත් ලෙස සැබෑ ක්‍රිස්තියානීන් ආශාවෙන් බලා සිටින්නේ “සදාකාල මිදීම” ලැබීමටයි. එය යෙහෝවා දෙවිගේ පොරොන්දුවක්. එමෙන්ම එය අපට ලබාගැනීමට හැකි වන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. එම අනර්ඝ බලාපොරොත්තුව වෙනුවෙන් අගය පෙන්විය හැකි හොඳම ක්‍රමය නම් දිගටම “අප ජීවමාන දෙවිට පරිශුද්ධ සේවය පිරිනමන පිණිස . . . මළ ක්‍රියාවලින්” වැළකී සිටීමයි.—හෙබ්‍රෙව් 9:12, 14.

23 වෙන කවරදාකටත් වඩා තමන්ගේම ආශාවන් පමණක් ඉටු කරගැනීමට පොලඹවන මේ කාලයේදී මිලියන හයකටත් අධික සංඛ්‍යාවක් විශ්වාසවන්තව දෙවිගේ රාජ්‍යය අන්‍යයන්ට ප්‍රකාශ කිරීමේ හවුල් වීම ඇත්තෙන්ම පුදුමාකාරයි! දෙවිට සේවය කරන්න ලැබීම තමන් ඉතා අගනා වරප්‍රසාදයක් ලෙස සලකන බව ඔවුන් ඉන් පෙන්වනවා. ‘ස්වාමීන් තුළ දරන වෙහෙස නිෂ්ඵල නොවන බව’ ඔවුන්ට ස්ථිරයි. එමනිසා දෙවිගේ දීමනා කෙරෙහි ඇති ඔබගේ අගය කිසිදා අඩු නොවේවා!—1 කොරින්ති 15:58; ගීතාවලිය 110:3.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යෙහෝවා දෙවිට සහ ඔහු සපයා ඇති දේවල්වලට අගය පෙන්වීම සම්බන්ධයෙන් අපිට ගීතිකාකරුගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?

හග්ගයි 2:7හි සඳහන් දේ අද දින ඉටුවෙමින් තිබෙන්නේ කෙසේද?

• තමාට හොඳින් සේවය කිරීම සඳහා යෙහෝවා දෙවි තම සේවකයන්ව සූදානම් කර තිබෙන්නේ කෙසේද?

• යෙහෝවා දෙවිගේ යහපත්කම අගය කිරීමට ඔබට කළ හැකි දේවල් මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[27-30යන පිටුවල වගුව]

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2006 සේවා වසරේ ලෝක ව්‍යාප්ත වාර්තාව

(මුද්‍රිත පිටපත බලන්න)

[25වන පිටුවේ පින්තූර]

තම කැමැත්ත ඉටු කිරීමට අවශ්‍ය සෑම දේම යෙහෝවා දෙවි සපයනවා