පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
හර්–මගෙදොන්හි සිදු වන “සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ යුද්ධය” යනු කුමක්ද? ඉන්පසු සිදු වන්නේ කුමක්ද?—එළිදරව් 16:14, 16.
දෙවිගේ අභිෂේක ලත් රජු වන යේසුස් ක්‍රිස්තුස් විසින් මුළු ලෝකය පුරාම සිටින දෙවිගේ සතුරන්ව සම්පූර්ණයෙන් විනාශ කිරීමට කරන සටන හර්–මගෙදොන් යුද්ධය කියා බයිබලයේ හඳුන්වනවා. එය මුළු පොළොවටම බලපාන යුද්ධයක්. දෙවිගේ සතුරන් වන “මුළු ලොව පුරාම සිටින රජුන්ව” දෙවිට විරුද්ධ වීමට පොලඹවන්නේ “භූතානුභාවයෙන් දෙන ලද . . . ප්‍රකාශයන්” හෙවත් සාතන් සිදු කරන ප්‍රචාරයන් මගිනුයි. ඒ ආකාරයට ඔවුන්ව “සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ යුද්ධයට” හෙවත් “හෙබ්‍රෙව් බසින් හර්–මගෙදොන් ලෙස හඳුන්වන ස්ථානයට” රැස් කරන බව බයිබලයේ සඳහන් වෙනවා.—එළිදරව් 16:14, 16.
මේ යුධ සේනා දෙක රැස්වන ස්ථානය සැබෑ එකක් නොවේ. හර්–මගෙදොන් කියා හඳුන්වන එය සමහර බයිබල් පරිවර්තනවල “අර්මගෙදොන්” ලෙසද පරිවර්තනය කර තිබෙන අතර එහි තේරුම ලෙස දක්වා තිබෙන්නේ “මෙගිද්දෝ කන්ද” යන්නයි. (එළිදරව් 16:16) නමුත් එම නමින් හඳුන්වන සැබෑ කන්දක් නැහැ. ඒ වගේම එය සැබෑ ස්ථානයක් නොවන බව තවදුරටත් පැහැදිලි වන්නේ මෙවැනි තැනක ‘පොළොවේ සිටින සියලුම රජවරුන්ට සහ ඔවුන්ගේ මුළු සේනාවන්ටත්’ රැස්ව සිටීමට තරම් ප්‍රමාණවත් ඉඩක් නැති නිසයි. (එළිදරව් 19:19) ඒ වෙනුවට ‘ස්ථානය’ කීමෙන් අදහස් කරන්නේ ඇති වන යම් තත්වයක්. එනම් යෙහෝවා දෙවිට සහ “ස්වර්ගයේ සිටි සේනා” මෙහෙයවන හමුදා සෙන්පති වන “රජවරුන්ගේ රජුය, ස්වාමිවරුන්ගේ ස්වාමියා” කියා හඳුන්වන යේසුස් ක්‍රිස්තුස්ට එරෙහිව ලෝකයේ සියලු ජාතීන් නැඟී සිටින විට ඇති වන තත්වයි.—එළිදරව් 19:14, 16.
“හර්–මගෙදොන්” යන වචනය පුරාණ ඊශ්‍රායෙල්හි නගරයක් වූ මෙගිද්දෝ කියන නගරයට සම්බන්ධයි. එය කර්මෙල් කන්දට නැඟෙනහිරින් පිහිටා තිබුණු අතර වෙළඳ සහ හමුදාමය කටයුතුවලට යෝග්‍ය ස්ථානයක්ව තිබුණා. එමෙන්ම එහි සිදු වූ සටන්වලදී එක් සේනාවක් අනිවාර්යයෙන්ම ජය ගත්තා. උදාහරණයකට විනිශ්චයකාර බාරාක් සිසෙරාගේ නායකත්වය යටතේ පැමිණි බලවත් කානානිවරුන්ව පරාජය කළේද “මෙගිද්දෝ ජල ධාරා ළඟ” බව වාර්තා වෙනවා. (විනිශ්චයකාරයෝ 4:12-24; 5:19, 20) විනිශ්චයකාර ගිඩියොන්ද මිදියන්වරුන්ගෙන් ජය ගත්තේ එම ස්ථානය අසලදීමයි. (විනිශ්චයකාරයෝ 7:1-22) ළඟදීම සිදු වන යුද්ධයට මෙගිද්දෝ යන නම සම්බන්ධ කිරීමෙන් අඟවන්නේ, දෙවි ඔහුගේ පුත්‍රයා මාර්ගයෙන් එම එදිරිවන සේනාව සහමුලින්ම විනාශ කර ජය ගන්න බවයි.
ඉන්පසු සිදු වන්නේ කුමක්ද? එම හර්–මගෙදොන් යුද්ධය මගින් පොළොවේ සිදු වන සියලුම දුෂ්ට ක්‍රියා නැතිකර දමයි. මනුෂ්‍ය ඉතිහාසයේ මෙතෙක් අත් නොදුටු රන්වන් යුගයක ආරම්භය ඉන් සනිටුහන් වෙනවා. (එළිදරව් 21:1-4) දෙවිගේ ප්‍රේමණීය රාජ්‍ය පාලනය යටතේදී මේ පොළොව ධර්මිෂ්ඨ මිනිසුන් සදාකාලයටම ජීවත් වන පාරාදීසයක් බවට පත් කරනු ලබනවා.—ගීතාවලිය 37:29.