Skip to content

පටුනට යන්න

මිනිසුන්ව ගෝලයන් කිරීමේ ප්‍රීතිය මම අද්දැක්කා

මිනිසුන්ව ගෝලයන් කිරීමේ ප්‍රීතිය මම අද්දැක්කා

ජීවිත කතාව

මිනිසුන්ව ගෝලයන් කිරීමේ ප්‍රීතිය මම අද්දැක්කා

පැමලා මෝස්ලි

ඒ කාලයේ එංගලන්තය පුරාම යුද්ධයේ ගිනි දැල් ඇවිළෙමින් තිබුණා. වර්ෂ 1941දී ලයිසෙස්ටර් නගරයේ පැවැත්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට මගේ අම්මා මාව අරගෙන ගියා. සහෝදර ජෝසෆ් රතර්ෆඩ් ළමයින් ගැන විශේෂ කතාවක් ඉදිරිපත් කළා. මමයි අම්මයි බව්තීස්ම වුණෙත් ඒ සමුළුවේදීමයි. අපිට සත්‍යය තුළ දියුණු වෙන්න උදව් කළ අය ඒ ගැන කොයි තරම් සන්තෝෂ වුණාද කියලා මම එදා දැක්කා. නමුත් මිනිසුන්ව යේසුස්ගේ ගෝලයන් කිරීමෙන් මොන තරම් ප්‍රීතියක් ලැබෙනවාද කියන එක ගැන ඒ වෙනකොට මම තේරුම් අරගෙන තිබුණේ නැහැ.

අපි සත්‍යය තුළ වර්ධනය වෙන්න පටන්ගත්තේ 1940දීයි. දෙවන ලෝක මහා යුද්ධය පටන්ගත් 1939 සැප්තැම්බර් මාසය මට අද වගේ මතකයි. මගේ දෙමාපියන් පළමු ලෝක මහා යුද්ධ කාලයේ හමුදාවේ සේවය කර තිබූ නිසා ඔවුන් යුද්ධයේ භයානකම හොඳට අද්දැකලා තිබුණා. “ඇයි මේ මිනිස්සුන්ට සාමයෙන් ඉන්න බැරි?” කියා අසමින් මගේ අම්මා හැඬූ කඳුලින් ඉන්නවා මම දැකලා තියෙනවා. මගේ අම්මාට තිබුණු ඒ ප්‍රශ්නය දවසක් ඇය එංගලන්ත පල්ලියේ පූජකයෙක්ගෙන් ඇහුවා. එතකොට ඔහු කිව්වේ “ඕක ඉතින් අලුත් දෙයක් නෙමෙයිනේ. හැමදාම යුද්ධ තිබිල තියනවනේ” කියලයි.

ඊට ටික කාලයකට පස්සේ තරමක් වයසක, යෙහෝවාගේ සාක්ෂිකාරියක් අපේ ගෙදරට ආවා. අපේ අම්මා ඇයගෙනුත් ඇහුවේ “ඇයි මේ මිනිස්සුන්ට සාමයෙන් ඉන්න බැරි?” කියන ප්‍රශ්නෙමයි. යුද්ධ කියන්නේ මේ දුෂ්ට සමාජයේ අවසානය ළඟ බවට දී ඇති ලකුණේ කොටසක් කියා ඇය පිළිතුරු දුන්නා. (මතෙව් 24:3-14) වැඩි කල් යන්න කලින් ඇගේ දුව අපිට බයිබලය ගැන කියලා දුන්නා. එදා අපි බව්තීස්ම වෙන අවස්ථාවේ සතුටු වුණ අය අතර ඒ දෙන්නත් සිටියා. මිනිසුන්ව ගෝලයන් කිරීමෙන් මෙතරම් ප්‍රීතියක් ලැබෙන්නේ ඇයි? ඒකට උත්තරේ මට පස්සේ ලැබුණා. අවුරුදු 65කට වැඩි කාලයක් පුරා මිනිසුන්ව ගෝලයන් කිරීමෙන් මට ඉගෙනගන්න පුළුවන් වුණ දේවල් මම ඔබට කියන්නම්.

ඉගැන්වීමෙන් ලැබෙන ප්‍රීතිය මම අද්දැක්කා

මම මුලින්ම දේශනා සේවයේ යන්න පටන්ගත්තේ මට වයස අවුරුදු 11දීයි. ඒ බ්‍රිස්ටල් නගරයේයි. දේවරාජ්‍යය ගැන කෙටි පණිවිඩයක් සඳහන් කාඩ් එකක් සහ තැටිගත කරන ලද බයිබලය මත පදනම් කතාවක් ඇතුළත් ශබ්ද වාහිනියක් මට දීලා එක් සහෝදරයෙක් මෙහෙම කිව්වා. “ඔයා අර පාරෙ අන්න අර පැත්තෙ ගෙවල්වලට යන්න.” ඉතින් මම තනියෙන්ම ගියා. එදා මට ගොඩක් බය හිතුණා. ඒ පටිගත කරපු තැටිය මම ගෙවල්වල හිටපු අයට අහන්න සැලැස්සුවා. පස්සෙ මම බයිබල් පොත් පත් ලබාගන්න කියා සඳහන් කර තිබූ කාඩ් එක ඔවුන්ට පෙන්නුවා.

ගෙයින් ගෙට සේවයේ යද්දී බයිබලයෙන්ම ඔවුන්ට ඇසෙන්න කියවන්න කියා 1950 ගණන්වල මුල් භාගයේදී සංවිධානයෙන් උනන්දු කළා. මම ටිකක් ලජ්ජ කෙනෙක් නිසා නාඳුනන අය එක්ක කතා කරන එකත් බයිබල් පද පැහැදිලි කර දෙන එකත් ටිකක් අමාරු වුණා. නමුත් මම ටිකෙන් ටික ඒකෙන් ජය ගත්තා. එතකොට තමයි මම දේවසේවයේ නියම සතුට ලබන්න පටන්ගත්තේ. සමහරු හිතුවේ අපි පොත් විකුණන අය කියලයි. නමුත් අපි බයිබලය කියවා ඔවුන්ට ඒක පැහැදිලි කර දුන්නට පස්සේ ඔවුන් තේරුම්ගත්තා අපි බයිබලය ගැන උගන්වන අය කියලා. මම එයින් කොතරම් සතුටක් ලැබුවද කියනවා නම් මට ඕන වුණා මේ සේවයේ තවත් වැඩියෙන් හවුල් වෙන්න. ඒ නිසා මම 1955 සැප්තැම්බර් මාසයේදී පූර්ණ කාලීන දේවසේවකයෙක් හැටියට පුරෝගාමී සේවය පටන්ගත්තා.

අධිෂ්ඨානය මල්පල ගැන්වෙයි

දිගටම අධිෂ්ඨානයක් ඇතිව සිටීම හොඳ ප්‍රතිඵල ගෙන දෙන බව මම ඉගෙනගත්තා. දවසක් මම මුරටැඹ කලාපයක් ස්ත්‍රියකට දුන්නා. ඇගේ නම වයිලට් මොරිස්. මම ඇයව නැවත බලන්න යන හැම අවස්ථාවකම ඇය කරන්නේ දොර ඇරලා අත් දෙක බැඳගෙන, මම බයිබල් පද තේරුම් කරලා දෙද්දී හොඳින් අහගෙන ඉන්න එකයි. ඒ හැම වෙලාවකම පේන විදිහට ඇය හොඳ උනන්දුවක් දැක්වුවා. නමුත් මම බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා ඇහුවාම ඇය කිව්වේ මෙහෙමයි. “ළමයි ටිකක් ලොකු වුණාම බලමුකො.” මගේ බලාපොරොත්තු සුන් වුණා වගේ දැනුණා. බයිබලයේ තියෙන මේ පදය එනම් “සොයන්න කාලයක්ද සෙවීම නතර කර දමන්න කාලයක්ද” තියෙනවා කියන එක එතකොට මට මතක් වුණා. (දේශනාකාරයා 3:6) නමුත් මම තීරණය කළා උත්සාහය අත් නොහරින්න.

මාසයකට විතර පස්සේ මම ආයෙත් ගිහිල්ලා වයිලට් එක්ක බයිබලයෙන් තවත් තොරතුරු සාකච්ඡා කළා. වැඩි කල් යන්න කලින් දොරකඩ ළඟ ඉඳලම බයිබල් පාඩමක් පටන්ගන්න පුළුවන් වුණා. පසුව ඇය මට මෙහෙම කිව්වා. “මම හිතන්නේ අපි ගේ ඇතුළේ මේ පාඩම කෙරුවොත් හොඳයි කියලයි.” අන්තිමේදී ඇය මට හොඳ මිතුරියක් වගේම සහෝදරියක්ද වුණා. ඇය දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්.

එක දවසක් වයිලට්ට ලොකු වේදනාත්මක දෙයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ, ඇගේ ස්වාමිපුරුෂයා හොර රහසේම ගේත් විකුණලා ඇයවත් අත් හැර දමා ගිහින් තිබීමයි. නමුත් එදිනම හවස තවත් සාක්ෂිකරුවෙක්ගේ උදව් ඇතිව ගෙයක් හොයාගන්න ලැබුණු එක සන්තෝෂයට හේතුවක් වුණා. ඇය ඒ සම්බන්ධයෙන් යෙහෝවා දෙවිට කොතරම් ස්තුතිවන්ත වුණාද කියනවා නම් ඇගේ ජීවිතයේ ඉතිරි කාලය පුරාම පුරෝගාමි සේවය කිරීමට ඇය තීරණය කළා. දෙවිගේ බලය නිසා සැබෑ නමස්කාරය වෙනුවෙන් ඇය දැක්වූ උද්‍යෝගය පුදුමාකාරයි. ඇයව දැක්කාම මම තේරුම්ගත්තා මිනිසුන්ව ගෝලයන් කිරීම මොන තරම් තෘප්තිමත් වැඩක්ද කියන එක. ඔව්, මගේ මුළු ජීවිත කාලයෙම මම කරන්න යන්නෙත් ඒ වැඩේම තමයි!

මටත් මේරි රොබින්සන් කියලා තවත් සහෝදරියකටත් 1957දී පුරෝගාමීන් හැටියට ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ රතග්ලෙන් ප්‍රදේශයේ සේවය කිරීමට පැවරුමක් ලැබුණා. එම ප්‍රදේශයට වැස්ස, හිම, මීදුම වගේම තද හුළංවලින් බලපෑම් තිබුණත් අපි නොකඩවා සේවයේ ගියා. ඒ වුණත් එහි හුඟක් ප්‍රතිඵල තිබුණා. එක් දවසක් මට ජෙසී කියලා කාන්තාවක් මුණගැහුණා. ඇය සමඟ බයිබලය පාඩම් කිරීමෙන් මම ලොකු ප්‍රීතියක් ලැබුවා. ඇගේ ස්වාමිපුරුෂයා වන වොලී කොමියුනිස්ට් වාදියෙක්. ඔහු මුලින් මාව මඟ හරින්න උත්සාහ කළා. නමුත් මිනිසුන්ට යහපත් කාලයක් ගෙනදිය හැක්කේ දේවරාජ්‍යයට පමණක් බව ඔහු බයිබලයෙන් ඉගෙනගත්තට පස්සේ ඒ ගැන පුදුම වුණා. පසුව ඔවුන් දෙදෙනාත් මිනිසුන්ව ගෝලයන් කරන්නන් බවට පත් වුණා.

මුල් ප්‍රතිචාරයෙන්ම තීරණය කරන්න එපා

පසුව අපිට ස්කොට්ලන්තයේ පේස්ලේ නගරයේ සේවය කිරීමට පැවරුමක් ලැබුණා. දිනක් එහි සේවය කරද්දී එක් කාන්තාවක් මාව දැක්ක ගමන් දොර වැහුවා. නමුත් ඒ කාන්තාව මගෙන් සමාව ඉල්ලන්න පසුව මාව හොයාගෙන ඇවිල්ලා තිබුණා. ඊළඟ සතියේ ඇයව මුණගැසුණ විට ඇය මෙහෙම කිව්වා. “මට හිතුණේ මම දෙවියන්ට පිටුපෑවා වගේ කියලයි. ඉතින් ඒ නිසයි එදා මම ඔයාව හොයාගෙන ගියේ.” ඇයගෙ නම පර්ල්. ඇය ඇගේ යාළුවෝ ගැන සහ නෑදෑයන් ගැන හොඳටම කලකිරිලයි හිටියේ. හොඳ යාළුවෙක්ව හොයලා දෙන්න කියලා ඇය දෙවිට යාච්ඤා කරලා තියෙනවා කියලත් පර්ල් මාත් එක්ක කිව්වා. “එතකොට තමයි ඔයා මාව හමුවෙන්න ආවෙ. දැන් මට තේරෙනවා මම දෙවිගෙන් ඉල්ලපු ඒ යාළුවා ඔයා තමයි කියලා” ඇය කිව්වා.

හැබැයි පර්ල්ගෙ යාළුවා වෙන එක, හිතන තරම් ලේසි වුණේ නැහැ. හේතුව, ඇගේ ගේ තිබුණේ ලොකු කන්දක් මුදුනෙ නිසා යන්න වුණේ ඇවිදගෙනමයි. මම එයාව පළමුවෙනි රැස්වීමට එක්කගෙන එන්න ගිය දවසේ හොඳටම වහිනවා, හුළඟත් සැරයි. එදා මම වැටෙන්න ගිහිල්ලා නූලෙන් බේරුණේ. ඒකෙන් මගේ කුඩේත් ඉරුණා. කොහොමවුණත් එදා මට දොර වහපු පර්ල් මාස හයක් ඇතුළත දෙවිට කැපවී බව්තීස්ම වුණා.

ඉන් වැඩි කලක් යන්න පෙර ඇගේ ස්වාමිපුරුෂයාත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඒ වගේම ඉතාමත් ඉක්මනින්ම ඔහු මාත් එක්ක සේවයේ හවුල් වුණා. වෙනදා වගේම එදත් හොඳටම වැස්ස. එදා ඔහු මෙහෙම කිව්වා. “ඕක මොකක්ද, මම මේ වගේ වැස්සේ තෙමීගෙන කොච්චර නම් පාපන්දු තරඟ බලලා ඇද්ද. ඉතින් යෙහෝවා දෙවි වෙනුවෙනුත් මට ඒකම කරන්න බැරිද!” කියලයි. ස්කොට්ලන්ත ජාතිකයන් අධිෂ්ඨානපූර්වක අයයි. ඒක මම හුඟක් අගය කරනවා.

අවුරුදු ගණනකට පස්සෙත් මම මුලින්ම බයිබලය පාඩම් කළ අයගෙන් වැඩි හරියක් තවමත් සත්‍යය තුළ විශ්වාසවන්තව සිටිනවා දැකීම මොන තරම් ආශීර්වාදයක්ද! ඒක තමයි මිනිසුන්ව ගෝලයන් කිරීමෙන් අද්දකින ප්‍රීතිය. (1 තෙසලෝනික 2:17-20) ස්කොට්ලන්තයේ අවුරුදු අටකට වැඩි කාලයක් සේවය කිරීමෙන් පසු, 1966දී වෙනත් රටක සේවය කිරීම සඳහා ගිලියද් මුරටැඹ බයිබල් පාසලෙන් පුහුණුව ලැබීමට මට ආරාධනයක් ලැබුණා.

වෙනත් රටක සේවය කිරීම

සාමාජිකයන් 50ක් පමණ සිටි බොලීවියාවේ සාන්ත කෲස් නගරයේ සභාවක සේවය කිරීමට මට පැවරුමක් ලැබුණා. මම කළ සේවය තුළ හුඟක් දරුණු දුෂ්කරතාවන්වලට මුහුණ දෙන්න මට සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ මට කවදාවත් කිඹුලන්ගෙන් හෝ නපුරු මිනිසුන්ගෙන් කරදරයක් වෙලා නැහැ. ඒ වගේම කාන්තාරයේ අතරමංවෙලාවත් නැව් මුහුදුබත් වීමකට මුහුණ දීලවත් නැහැ. නමුත් මිනිසුන්ව ගෝලයන් කිරීමෙන් මම ලබන්නේ පුදුම තෘප්තියක්.

සාන්ත කෲස්වල මම මුලින්ම බයිබලය පාඩම් කළ කාන්තාවන්ගෙන් කෙනෙක් වුණේ ආන්ටෝන්යායි. ස්පාඤ්ඤ භාෂාවෙන් උගන්වන එක මට ලෙහෙසි වුණේ නැහැ. මට නිතරම භාෂාව වරදින නිසා දවසක් ආන්ටෝන්යාගේ පොඩි පුතා මෙහෙම ඇහුවා. “අම්මේ මෙයා අපිව හිනාගස්සන්න හිතාගෙනද වරද්දන්නේ?” ටික කාලයකට පසුව ආන්ටෝන්යාත් ඇගේ දුව යොලාන්ඩාත් බව්තීස්ම වුණා. යොලාන්ඩාට විශ්ව විද්‍යාලයේ නීතිය හැදෑරූ ඩිටෝ කියලා යාළුවෙක් හිටියා. ඔහුත් බයිබලය පාඩම් කරමින් අපේ රැස්වීම්වලට එන්න පටන්ගත්තා. ඔහුට බයිබලයේ ඇති සත්‍යය ඉගැන්වීමේදී මම තවත් දෙයක් ඉගෙනගත්තා. ඒ තමයි සමහර අයට කාරණා ඍජුව කියන්න අවශ්‍යයි කියන එක.

කල් යද්දී ඩිටෝ බයිබල් පාඩම අතපසු කරන්න පටන්ගත්තා. එතකොට මම කිව්වා “ඩිටෝ, දේවරාජ්‍යයට සහයෝගය දෙන්න කියලා යෙහෝවා දෙවි ඔයාට බල කරන්නේ නැහැ. නමුත් ඒක තීරණය කරන්න ඕන ඔයයි.” දෙවිට සේවය කරන්න ඔහුට ඕනෙ කියලා ඩිටෝ මට කිව්වාම මම එයාගෙන් මෙහෙම ඇහුවා. “දැන් බලන්න ඔයා ළඟ තියෙන මේ පින්තූර. මේවා ඔක්කොම විප්ලවවාදී නායකයන්ගේ පින්තූර නේද? මේවා දකින කෙනෙක් හිතයිද ඔයා දේවරාජ්‍යය වෙනුවෙන් වැඩ කරන කෙනෙක් කියලා?”

ඊට සති දෙකකට පස්සේ විප්ලවයක් පටන්ගත්තා. ඒත් එක්කම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හා පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදු වුණා. “අපි මෙතනින් ඉක්මනට පැනගමු” කියා ඩිටෝ එයාගේ යාළුවෙකුට කෑගහල කිව්වා. “කොහේ යන්නද? අපි බලාගෙන හිටියේ මේ දවස එනකං” කියා තුවක්කුවක් අතට ගෙන විශ්ව විද්‍යාලයේ වහලයට නැග්ග ඒ යාළුවා කිව්වා. එදා සටනින් මිය ගිය යාළුවන් අටදෙනා අතර ඒ යාළුවත් සිටියා. ක්‍රිස්තියානියෙක් නොවුණා නම් ඩිටෝට සිද්ධ වෙන්නත් අනිත් අය වගේම මිය යන්නයි. නමුත් එසේ නොවුණ එක ගැන මම කොයි තරම් සතුටු වුණාද කියා ඔබට හිතාගන්න පුළුවන්ද?

යෙහෝවා දෙවි දේවල් හසුරුවන ආකාරය මම දැක්කා

දවසක් මම එක් නිවසක් පසු කරගෙන ගියා. මම හිතුවේ අපි ඒ ගෙදරට දේශනා කළා කියලයි. නමුත් එකපාරටම කාන්තාවක් ඒ ගෙදරින් මට කතා කළා. ඇයගේ නම ඉග්නාසියා. ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව දැන ගෙන සිටියත් ස්වාමිපුරුෂයාගෙන් පැමිණි දැඩි විරුද්ධවාදීකම් නිසා සත්‍යය තුළ දියුණු වීමට ඇයට බැරි වුණා. ඒ වගේම ඇයට බයිබලයේ මූලික ඉගැන්වීම් ගැන පැහැදිලි අවබෝධයක් තිබුණෙත් නැහැ. හැඩි දැඩි සිරුරක් ඇති පොලිස් නිලධාරියෙක් වූ ඇගේ ස්වාමිපුරුෂයාගේ නම ආඩාල්බර්ටෝ. ඔහු මේ බයිබල් පාඩම නතර කරන්න උත්සාහ කළත් මම ඔහු සමඟ වෙන වෙන විෂයන් ගැන ටිකක් වැඩියෙන් කතා කළා. ඔහුත් එක්ක මිත්‍රත්වයක් ඇතිකර ගන්න ඒක උපකාර වුණා.

ඉග්නාසියා කල් යද්දී සභාවේ ක්‍රියාශීලී සාමාජිකාවක් හැටියට සේවය කරමින් අවශ්‍යතා ඇති අයට උපකාර කරමින් ඉන්නවා දැකීම මට මහත් සතුටක් ගෙන දුන්නා. පසුව ඇගේ ස්වාමිපුරුෂයාත් දරුවන් තුන්දෙනාත් සාක්ෂිකරුවන් බවට පත් වුණා. ශුභාරංචිය ආඩාල්බර්ටෝගේ සිතට කොතරම් තදින් කාවැදුණාද කියනවා නම් පොලීසියේ සේවය කළ අනිත් අයටත් ඔහු ඒ ගැන කතා කළේ හරිම උනන්දුවකිනුයි. එහිදී ඔහුට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා සඳහා දායක 200ක් දෙන්න පුළුවන් වුණා.

යෙහෝවා දෙවි වර්ධනය දෙයි

සාන්ත කෲස්වල අවුරුදු හයක් සේවය කළාට පස්සේ මට බොලීවියාවේ අගනුවර වන ලා පාස්වලට යන්න පැවරුමක් ලැබුණා. මගේ ජීවිතයේ ඊළඟ අවුරුදු 25 මම ගත කළේ එහෙයි. ඒ කාලේ, ඒ කියන්නේ 1970 මුල් භාගයේදී ශාඛා කාර්යාලයේ සේවය කළ 12දෙනාවත් එක්ක ශාඛා කාර්යාලය ලා පාසාවලට මාරු කළා. ශුභාරංචිය දේශනා කිරීම වර්ධනය වෙනවාත් සමඟම ඊට අවශ්‍ය පහසුකම්ද පුළුල් කිරීමට සිදු වුණා. ඒ නිසා වේගයෙන් දියුණු වෙමින් තිබුණ නගරයක් වන සාන්ත කෲස්වල අපගේ නව ශාඛා කාර්යාලය ඉදි කළා. ඒ 1998දීයි. එහි සේවය කිරීමට මටත් ආරාධනාවක් ලැබුණා. දැන් එහි සාමාජිකයන් 50කට වැඩියෙන් සිටිනවා.

මුලින්ම 1966දී සාන්ත කෲස්වල තිබුණේ එකම එක සභාවක් විතරයි. නමුත් දැන් සභා 50කට වැඩියෙන් තියෙනවා. ඒ කාලයේ හිටිය සාක්ෂිකරුවන් 640 දැන් 18,000කට ආසන්න ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙලා!

මම බොලීවියාවේ කළ සේවය ඇත්තෙන්ම හුඟක් ප්‍රතිඵලදායකයි. සෑම තැනම සිටින සාක්ෂිකරුවන්ගේ විශ්වාසවන්තකම දැක්කාම මට ඇති වෙන්නේ ලොකු දිරිගැන්වීමක්. ඒ විතරක් නෙවෙයි ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට යෙහෝවා දෙවි ආශීර්වාද කරන ආකාරය දකින විට අපි සියලුදෙනාටම ලොකු සන්තෝෂයක් ඇති වෙනවා. ඒ නිසා මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යයෙහි හවුල් වෙන්න ලැබීම ඇත්තෙන් ඉමහත් ප්‍රීතියක් ගෙන දෙනවා.—මතෙව් 28:19, 20.

[13වන පිටුවේ පින්තූරය]

ස්කොට්ලන්තයේ පුරෝගාමී සේවය කරමින්

[15වන පිටුවේ පින්තූර]

බොලීවියාවේ පිහිටි ශාඛා කාර්යාලයේ සේවය කරමින්; (රවුම් ඡායාරූපය) 42වන ගිලියද් පාසලේ පැවරුම් ලැබුණු දා