Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රියා අගය කරන දෙවි යෙහෝවා

යහපත් ක්‍රියා අගය කරන දෙවි යෙහෝවා

යහපත් ක්‍රියා අගය කරන දෙවි යෙහෝවා

“ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත.”—හෙබ්‍රෙව් 6:10.

1. යෙහෝවා දෙවි මෝවබ් ජාතික රූත්ගේ යහපත් ක්‍රියාව අගය කළේ කෙසේද?

යෙහෝවා දෙවි තමන්ට අවංකවම සේවය කරන්න වෑයම් කරන අයව අගය කරන අතර ඔවුන්ට ආශීර්වාද කරනවා. (හෙබ්‍රෙව් 11:6) ඒ බව බෝවස් නැමැති විශ්වාසවන්ත මිනිසා දැන සිටියා. තම නැන්දම්මාව ආදරයෙන් රැකබලා ගත් මොවබ් ස්ත්‍රිය වූ රූත්ට ඔහු කියූ දෙයින් එය පැහැදිලියි. “යෙහෝවා ඔබේ ක්‍රියාවට විපාක දේවා. . . . යෙහෝවාගෙන් ඔබට සම්පූර්ණ විපාකයක් ලැබේවයි ඇයට කීය.” (රූත් 2:12) ඇගේ යහපත් ක්‍රියාව අගය කරමින් දෙවි ඇයට ආශීර්වාද කළාද? ඇත්තෙන්ම ඔව්! ඇය ගැන බයිබලයේ වාර්තා වී තිබීමෙන් එය පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇය බෝවස් සමඟ විවාහ වී දාවිත්ගේ සහ යේසුස්ගේ මිත්තණියක් බවටද පත් වුණා. (රූත් 4:13, 17; මතෙව් 1:5, 6, 16) එය යෙහෝවා දෙවි තම සේවකයන්ගේ යහපත් ක්‍රියාවලට අගය පෙන්වා ඇති අවස්ථාවලින් එකක් පමණයි.

2, 3. (අ) යෙහෝවා දෙවි දක්වන අගය කිරීම කැපීපෙනෙන දෙයක් වන්නේ ඇයි? (ආ) යෙහෝවා දෙවිට අපගේ යහපත් ක්‍රියා අගය කරන්න පුළුවන් ඇයි? උදාහරණයකින් පැහැදිලි කරන්න.

2 තම සේවකයන්ගේ ක්‍රියා අගය නොකිරීම දෙවි සලකන්නේ තමා අතින් සිදු වන අධර්මිෂ්ඨ ක්‍රියාවක් හැටියටයි. ඒ ගැන හෙබ්‍රෙව් 6:10හි කියන්නේ මෙසේයි. “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත. මන්ද ඔබ ශුද්ධ තැනැත්තන්ට උපස්ථාන කළහුය. එසේම කරමින්ද සිටින්නහුය.” ඒ පදයේ කැපීපෙනෙන දෙය නම් දෙවිට කැපවූ සේවකයන් ඔහුගේ තේජසින් ඈත් වී සිටියත් පව්කාරයන් වුණත් දෙවි ඔවුන්ගේ යහපත් ක්‍රියා අගය කිරීමයි.—රෝම 3:23.

3 නමුත් අප පව්කාරයන් නිසා අප කරන යහපත් ක්‍රියා දෙවි අගය කරනවාද කියා සමහරවිට අපට සිතෙන්න පුළුවන්. අප සිටින තත්වය සහ අපගේ චේතනා හොඳින්ම දන්නේ දෙවියි. එමනිසා අපි මුළු හදවතින්ම කරන සේවය දෙවි අගය කරනවා. (මතෙව් 22:37) එය තේරුම්ගැනීමට අපි මේ උදාහරණය සලකා බලමු. කවුරුන් හෝ මේසය මත තමාට පොඩි තෑග්ගක් තබා ඇති බව එක් මවක් දකිනවා. එය එතරම් වටින්නේ නැති පබළු මාලයක්. ඒ නිසා අවශ්‍ය නම් ඒක පැත්තකට දාන්නත් ඇයට තිබුණා. නමුත් ඒත් සමඟම තිබූ කුඩා සටහන කියවීමෙන් පසු, එය තම සිඟිති දියණියගෙන් බවත් ඇය එය මිල දී ගෙන ඇත්තේ මෙතෙක් කල් එකතු කළ කාසිවලින් බවත් මව තේරුම්ගන්නවා. ඇයටත් නොදැනීම ඇගේ දෙනෙතේ සතුටු කඳුළු පිරිලා. දැන් ඒ මවට තම දියණිය දුන් තෑග්ග හුඟක් වටිනවා. ඇය ඒ ගැන කොතරම් සතුටු වෙනවාද කිව්වොත් ඇයව දෑතින් තුරුළු කරගෙන ඇගේ අගය පෙන්වනවා.

4, 5. අගය පෙන්වීම සම්බන්ධයෙන් යේසුස් යෙහෝවා දෙවිව අනුකරණය කළේ කෙසේද?

4 අපගේ සීමාවන් සහ සිතුවිලි යෙහෝවා දෙවි හොඳින් දන්නා නිසා අප ඔහුට කරන සේවයේ ප්‍රමාණය කුමක් වුණත් එය අපගේ උපරිමය නම් දෙවි එය පිළිගන්නවා. යෙහෝවා දෙවිගේ ඒ අනගි ගුණාංගය යේසුස්ද කදිමට නිරූපණය කළා. බයිබලයේ ඇති දිලිඳු වැන්දඹුවගේ වාර්තාව සලකා බලන්න. “ඔහු ඇස් ඔසවා බැලූ විට, ධනවතුන් තම පඬුරු මුදල් බඳුන්වලට දමනවා දුටුවේය. ඉන්පසු, එක්තරා දිලිඳු වැන්දඹුවක් ඉතා සුළු වටිනාකමක් ඇති කුඩා කාසි දෙකක් එහි දමනවා ඔහු දැක, මෙසේ කීවේය: ‘සැබවින්ම මම ඔබට කියමි, මේ වැන්දඹුව දුප්පත් වුවත් ඈ මේ සියල්ලන්ටම වඩා දැම්මාය. මන්ද, මේ සියලුදෙනාම පඬුරු දැම්මේ තමන්ට වැඩිපුර තිබූ දෙයිනි. නමුත් මේ ස්ත්‍රියට අග හිඟකම් තිබියදීත් තම ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ල දැම්මාය.’”—ලූක් 21:1-4.

5 ඇය වැන්දඹුවක් බවත් දිලිඳු බවත් දැන සිටි යේසුස් ඇය දැමූ කුඩා කාසි දෙක ඉතා වටිනා දෙයක් ලෙස සැලකුවා. යෙහෝවා දෙවිත් එය සැලකුවේ ඒ ආකාරයටමයි. (යොහන් 14:9) අප කුමන තත්වයක සිටියත් යෙහෝවා දෙවි සහ යේසුස් අප කරන සේවය බෙහෙවින් අගය කරන බව දැන සිටීම මොන තරම් සහනයක්ද!

යෙහෝවා දෙවි අගය කළ තැනැත්තෙක්

6, 7. යෙහෝවා දෙවි ඒබෙද්-මෙලෙක් කෙරෙහි තම අගය පෙන්වූයේ ඇයි? සහ කෙසේද?

6 යෙහෝවා දෙවිගේ කැමැත්ත කළ සේවකයන්ව අගය කරමින් ඔවුන්ට ආශීර්වාද කළ ආකාරය ගැන සඳහන් වාර්තා බොහොමයක් බයිබලයේ තිබෙනවා. දේවගරුබිය පෙන්වූ ඉතියෝපිය ජාතික ඒබෙද්-මෙලෙක් ඊට එක් උදාහරණයක්. ඔහු ජීවත් වුණේ යෙරෙමියාගේ කාලයේ වූ අතර ඔහු සේවය කළේ දෙවිට නමස්කාර නොකළ ශෙදකියා රජගේ මාළිගාවෙයි. යූදාහි අධිපතීන් යෙරෙමියාව බොරු චෝදනා මත අත්අඩංගුවට ගත් බවත් කෑම බීම කිසිවක් නොදී මඩ වලකට දමා මිය යාමට ඉඩ හැර ඇති බවත් ඔහු දැනගත්තා. (යෙරෙමියා 38:1-7) යෙරෙමියාව අත්අඩංගුවට ගත්තේ ඔහු දේශනා කළ පණිවිඩය නිසා බව දැනගත් ඒබෙද්-මෙලෙක් තම ජීවිතය අනතුරේ හෙළමින් රජගෙන් මෙසේ අයැද සිටියා. “මාගේ ස්වාමි වූ රජ්ජුරුවෙනි, මේ මනුෂ්‍යයන් විසින් ඇඳිරිගෙයි දැමූ අනාගතවක්තෘ යෙරෙමියාට කළ සියල්ල නපුරුය. කෑම හානිය නිසා ඔහු තමන් සිටින ස්ථානයෙහි මැරෙන්ට වාගේ සිටියි.” රජුගේ අණ පරිදි ඒබෙද්-මෙලෙක් තවත් මිනිසුන් තිස්දෙනෙකු සමඟ ගොස් යෙරෙමියාව බේරාගත්තා.—යෙරෙමියා 38:8-13.

7 ඒබෙද්-මෙලෙක් තමන් කෙරෙහි ඇදහිල්ල පෙන්වමින් නොබියව ක්‍රියා කළ ආකාරය යෙහෝවා දෙවි දුටුවා. එය අගය කරමින් යෙහෝවා දෙවි යෙරෙමියා මාර්ගයෙන් ඔහුට පැවසුවේ මෙසේයි. “මම මේ නුවරට යහපත පිණිස නොව නපුර පිණිස මාගේ වචන පමුණුවන්නෙමි. . . . එහෙත් මම ඔබ ඒ දවසේ ගලවන්නෙමි, . . . යම් මනුෂ්‍යයන්ට ඔබ භයව සිටින්නෙහිද ඔවුන් අතට පාවා දෙනු නොලබන්නෙහිය. මක්නිසාද සැබෑවට මම ඔබ ගලවන්නෙමි. . . . ඔබේ ජීවිතය ඔබට කොල්ලයක් වන්නේය. මක්නිසාද ඔබේ විශ්වාසය මා කෙරේ තැබුවෙහිය.” (යෙරෙමියා 39:16-18) ඇත්තෙන්ම යෙහෝවා දෙවි යෙරෙමියාවත් ඒබෙද්-මෙලෙක්වත් යූදාහි දුෂ්ට අධිපතීන්ගෙනුත් පසුව යෙරුසලෙම විනාශ කළ බබිලෝනිවරුන්ගෙනුත් බේරාගත්තා. ගීතාවලිය 97:10හි සඳහන් වන්නේ මෙසේයි. “[යෙහෝවා] ස්වකීය ශුද්ධවන්තයන්ගේ ආත්මයන් ආරක්ෂා කරන්නේය. දුෂ්ටයන්ගේ අතින් ඔවුන් ගලවන්නේය.” ඒ වචන කොතරම් සැබෑවක්ද!

“රහසින් බලා සිටින ඔබේ පියාණන් ඔබට විපාක දෙන්නේය”

8, 9. යේසුස් පෙන්වූ ලෙස යෙහෝවා දෙවි අගය කරන්නේ කුමනාකාරයේ යාච්ඤාද?

8 යෙහෝවා දෙවි අගය කරන තවත් වටිනා දෙයක් තිබෙනවා. එය නම් දේවභක්තියෙන් යුතුව අප කරන යාච්ඤායි. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “ඇද නැත්තාගේ යාච්ඤාව [දෙවිට] ප්‍රිය වේ.” (හිතෝපදේශ 15:8) යේසුස්ගේ කාලයේ සිටි ආගමික නායකයන් ප්‍රසිද්ධියේ යාච්ඤා කළේ මිනිසුන්ගේ අවධානය තමුන් වෙත ලබාගැනීමේ අරමුණ ඇතිවයි. ඒ නිසා යේසුස් ඔවුන් ගැන මෙසේ පැවසුවා. “ඔවුන්ගේ විපාකය ඔවුන්ට සම්පූර්ණයෙන්ම ලැබී තිබේ.” නමුත් තම අනුගාමිකයන්ට ඔහු උපදෙස් දුන්නේ මේ ආකාරයටයි. “ඔබ යාච්ඤා කරන විට, ඔබේ පෞද්ගලික කාමරයට ගොස් දොර වසාගෙන රහසිගතව සිටින ඔබේ පියාණන්ට යාච්ඤා කරන්න. එවිට රහසින් බලා සිටින ඔබේ පියාණන් ඔබට විපාක දෙන්නේය.”—මතෙව් 6:5, 6.

9 එහිදී යේසුස් ප්‍රසිද්ධියේ කරන යාච්ඤා හෙළා දැක්කේ නැහැ. ඔහුද සමහර අවස්ථාවලදී එසේ කළා. (ලූක් 9:16) යෙහෝවා දෙවි අවංක හදවතකින් කරන යාච්ඤා බෙහෙවින් අගය කරන නමුත් අන් අයගේ අවධානය ඇදගැනීමට කරන යාච්ඤාවලට ඔහු ප්‍රසන්න නැහැ. අප පෞද්ගලිකව කරන යාච්ඤා මගින් දෙවි කෙරෙහි ඇති අපගේ ගැඹුරු ප්‍රේමය සහ අපි ඔහුව කොතරම් විශ්වාස කරනවාද කියා පෙන්නුම් කරනවා. යේසුස් පවා බොහෝවිට තනිවම යාච්ඤා කිරීමට හුදෙකලා ස්ථානයක් තෝරාගත්තේ ඒ නිසයි. එක් අවස්ථාවක ඔහු “පාන්දරින්ම, එළිය වැටෙන්නත් පෙර” යාච්ඤා කිරීම සඳහා පිටත් වුණා. තවත් දවසක යේසුස් “යාච්ඤා කරන පිණිස තනිව කන්දට නැංගේය” කියා බයිබලයේ පවසනවා. එමෙන්ම ඔහුගේ ප්‍රේරිතයන් 12දෙනා තෝරාගැනීමට පෙරත් මුළු රැයක් පුරා ඔහු තනිව යාච්ඤා කළා.—මාක් 1:35; මතෙව් 14:23; ලූක් 6:12, 13.

10. අපගේ ඇතුළාන්ත හැඟීම් අවංකව දෙවිට ප්‍රකාශ කරන විට අපට සහතික විය හැක්කේ කුමක් ගැනද?

10 තම පුත්‍රයාගේ එම හෘදයාංගම යාච්ඤාවලට යෙහෝවා දෙවි කොතරම් සාවධානව ඇහුම්කන් දෙන්න ඇද්ද කියා සිතා බලන්න! බයිබලයේ පවසන්නේ සමහර අවස්ථාවලදී යේසුස් “බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්තව කන්නලව් සහ ඉල්ලීම් ඔප්පු කළේය. ඔහුගේ දේවභය නිසා ඔහුට සවන් දෙන ලදි” කියායි. (හෙබ්‍රෙව් 5:7; ලූක් 22:41-44) අපගේ ඇතුළාන්ත හැඟීම් අවංකව යෙහෝවා දෙවිට හෙළි කරන විට ඔහු ඒවාට ඉතා ඕනෑකමින් සවන්දෙන අතර එවන් යාච්ඤා ඔහුට ඉතා අනර්ඝයි. ඇත්තෙන්ම “යෙහෝවා තමන්ට අඬගසන සියල්ලන්ට එනම් සැබවින් ඔහුට අඬගසන සියල්ලන්ට ළංව සිටින්නේය.”—ගීතාවලිය 145:18.

11. අප තනියෙන් සිටින විට හැසිරෙන ආකාරය ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කෙසේද?

11 අපි රහසිගතව, නැතහොත් පෞද්ගලිකව කරන යාච්ඤා දෙවි අගය කරනවා නම් අප තනිව සිටින අවස්ථාවලදී ඔහුට දක්වන කීකරුකමද ඔහු මහත් සේ අගය කරන බව නිසැකයි. අප පෞද්ගලිකව කරන සෑම දෙයක්ම දෙවි දන්නවා. (1 පේතෘස් 3:12) කවුරුත් අපිව නොදකින අවස්ථාවලදීත් දෙවිට විශ්වාසවන්තකම පෙන්වමින් කීකරු වෙනවා නම් ඉන් පැහැදිලි වෙන්නේ යෙහෝවා දෙවි කෙරෙහි අපිට ‘සම්පූර්ණ සිතක්’ තිබෙන බවයි. එවැනි සිතක චේතනා පවිත්‍ර වන අතර හරි දේ කිරීමට පසුබට වන්නේද නැහැ. (1 ලේකම් 28:9) එවන් හැසිරීමක් යෙහෝවා දෙවිගේ සිත මොන තරම් සතුටු කරනවාද!—හිතෝපදේශ 27:11; 1 යොහන් 3:22.

12, 13. අපිටත් මනස සහ සිත ආරක්ෂා කරගැනීමෙන් යේසුස්ගේ ගෝලයෙකු වූ නතානියෙල් මෙන් විය හැක්කේ කෙසේද?

12 මනස සහ සිත දූෂණය කරන රහසිගත පව්වලින් ක්‍රිස්තියානීන් වැළකී සිටිනවා. ඒවාට කාමුක දේවල් සහ සැහැසියාව ඇතුළත් දර්ශන නැරඹීම වැනි දේ අයත් වෙනවා. සමහර පාප මිනිසුන්ගෙන් සඟවන්න පුළුවන්. නමුත් බයිබලයේ පවසන මේ දෙය අපි මතක තබාගනිමු. “අප විසින් ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ [දෙවිගේ] ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.” (හෙබ්‍රෙව් 4:13; ලූක් 8:17) එමනිසා දෙවිව අසතුටු කරන දේවල්වලින් වැළකී සිටීමට අපි උත්සාහ කරමු. එයින් අපිට පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතිව සිටීමට හැකි අතර දෙවිගේ අනුමැතිය ඇති බව දැනගැනීම මගින් ප්‍රීතියද ලැබෙයි. ඇත්තෙන්ම “අවංක ලෙස හැසිරෙන්නාවූ ධර්මිෂ්ඨකම් කරන්නාවූ සිතින් සැබෑව කියන්නාවූ” තැනැත්තාව යෙහෝවා දෙවි අගය කරන බවට කිසිම සැකයක් නැහැ.—ගීතාවලිය 15:1, 2.

13 දූෂිත දේවලින් පිරුණු මේ දුෂ්ට ලෝකය තුළ අපගේ මනස සහ සිත ආරක්ෂා කරගත හැක්කේ කෙසේද? (හිතෝපදේශ 4:23; එෆීස 2:2) අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට ලබා දෙන සැපයුම්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් නරක දේ ප්‍රතික්ෂේප කර හරි දේ කිරීමට දැඩි වෑයමක් දැරිය යුතුයි. පාපයකට මඟ පාදන වැරදි ආශාවන් ඔබ තුළ මුල් ඇදගැනීමට පෙර ඉක්මනින් එය උදුරා දමන්න. (යාකොබ් 1:14, 15) එක් වතාවක් යේසුස් නතානියෙල් ගැන මෙසේ පැවසුවා. “මෙන්න, [මේ මිනිසා] තුළ කිසි වංචාවක් නැත.” යේසුස් ඔහුට පැවසූ ඒ වචනම ඔබටත් පැවසුවා නම් ඔබ කොතරම් සන්තෝෂ වෙයිද? (යොහන් 1:47) නතානියෙල්ව බාතොලමෙව් යන නමින්ද ඇමතූ අතර පසුව ඔහු යේසුස්ගේ ගෝලයන් 12දෙනාගෙන් කෙනෙක් වීමේ වරප්‍රසාදයද ලැබුවා.—මාක් 3:16-19.

“දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙක්”

14. අන් අයට වෙනස්ව මරියාගේ ක්‍රියාව යේසුස් සැලකුවේ කෙසේද?

14 “අදෘශ්‍යමාන දෙවිගේ ස්වරූපයය” ඉතා කදිමට නිරූපණය කළ යේසුස් තම පියාට පිරිසිදු සිතකින් සේවය කළ අයව අගය කළා. (කොලොස්සි 1:15) ඒ බව මේ සිදුවීමෙන් පැහැදිලි වෙනවා. තම මරණයට දින පහකට පෙර එක් සැන්දෑවක සීමොන්ගේ නිවසේදී ආහාර වේලක් ගැනීමට යේසුස්ට සහ ඔහුගේ සමහරක් ගෝලයන්ට ආරාධනයක් ලැබුණා. ඒ අවස්ථාවේදී ලාසරුස්ගේ සහ මාර්තාගේ සහෝදරිය වූ මරියා “ඉතා මිල අධික, පිරිසිදු, සුවඳැති ජටාමාංස තෙල් රාත්තලක් ගෙන” (එහි වටිනාකම අවුරුද්දක වැටුපකට සමානයි) යේසුස්ගේ හිසේ සහ පාදවල එය ආලේප කළා. (යොහන් 12:3) එවිට “මේ නාස්තිය කරන්නේ මන්ද?” කියා සමහරු ඇයට චෝදනා කළා. නමුත් යේසුස් ඒ ක්‍රියාව බෙහෙවින් අගය කරමින් ඇයට ගෞරව කළා. එසේ කළේ එය තමාගේ මරණයට සහ භූමදානයට සූදානම් කිරීමක් හැටියට යේසුස් සැලකූ නිසයි. එමනිසා ඇයව අගය කරමින් ඔහු මෙසේ පැවසුවා. “ලොව පුරා මේ ශුභාරංචිය දේශනා කරන හැම තැනකදීම, මේ ස්ත්‍රියව සිහි කරන පිණිස ඇය කළ දෙයත් කියනු ලැබේ.”—මතෙව් 26:6-13.

15, 16. යේසුස් මනුෂ්‍යයෙකු ලෙස පොළොවට පැමිණ ගත කළ ජීවිතය සහ දෙවිට කළ සේවය අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

15 අප කරන යහපත් ක්‍රියා අගය කරන එවන් නායකයෙක් අපට සිටීම ගැන අප කොතරම් සතුටු විය යුතුද! මුලින්ම අභිෂේක ලත් අයගෙත් පසුව මුළු මනුෂ්‍ය වර්ගයාගෙත් රජු සහ උත්තම පූජකයා ලෙසත් යේසුස් සේවය කරනවා. ඒ පැවරුම සඳහා කලින් සූදානම් කිරීමක් හැටියට ඔහුව මනුෂ්‍යයෙකු ලෙස මේ පොළොවට එව්වා.—කොලොස්සි 1:13; හෙබ්‍රෙව් 7:26; එළිදරව් 11:15.

16 මේ පොළොවට පැමිණීමට පෙර සිටම යේසුස්ට මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මහත් ඇල්මක් සහ ලැදියාවක් තිබුණා. (හිතෝපදේශ 8:31) පීඩා යටතේ දෙවිට සේවය කිරීම මොන තරම් අභියෝගයක්ද යන්න මිනිසෙකු හැටියට ජීවත් වූ කාලයේදී යේසුස් හොඳින් තේරුම්ගත්තා. පාවුල් ඔහු ගැන පැවසුවේ “හැම අතින්ම තමන්ගේ ‘සහෝදරයන්’ හා සමාන වන්නට ඔහුට යුතුව” තිබුණු බවයි. එමෙන්ම “දෙවිට සම්බන්ධ කාරණාවලදී ඔහු දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙක් වීම සඳහා පරීක්ෂාවට ලක් වන විට ඔහු දුක් වින්ද නිසා, පරීක්ෂාවට ලක් වන අයගේ උපකාරයට පැමිණෙන්න ඔහුට” පුළුවන් බවයි. ඒ විතරක් නෙවෙයි යේසුස් “අප මෙන් හැම අතින්ම පරීක්ෂා කරනු ලැබූ පාප රහිත” කෙනෙක් නිසා, ඔහුට “අපේ දුර්වලකම් ගැන අනුකම්පාවක්” දැනෙනවා.—හෙබ්‍රෙව් 2:17, 18; 4:15, 16.

17, 18. (අ) සභා සතේ සිටි සාමාජිකයන් කෙරෙහි යේසුස් තුළ තිබූ අගය එම ලිපිවලින් පැහැදිලි වන්නේ කෙසේද? (ආ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව සූදානම් කළේ කුමක් සඳහාද?

17 යේසුස් ස්වර්ගයට ගියාට පසුව තම අනුගාමිකයන් මුහුණ දෙන පීඩා කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්න පටන්ගත්තා. යොහන් මගින් යේසුස් සුළු ආසියාවේ තිබූ සභා සතට ලියූ ලිපිවලින් ඒ බව පැහැදිලි වෙනවා. ස්මර්ණාවෙහි පිහිටි සභාවට යේසුස් මෙසේ පැවසුවා. “ඔබේ පීඩාවද දිලිඳුකමද මම දනිමි.” එහිදී යේසුස් පවසමින් සිටියේ ‘ඔබ සිටින තත්වය මට හොඳට තේරෙනවා. ඒ වගේම ඔබ මුහුණ දෙන පරීක්ෂා ගැනත් මම හොඳින් දන්නවා’ කියායි. ඔහුද මරණය දක්වාම විඳදරාගත් නිසා යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “මරණය දක්වාම විශ්වාසවන්තව සිටින්න. එවිට මම ඔබට ජීවනය නමැති ඔටුන්න දෙන්නෙමි.”—එළිදරව් 2:8-10.

18 තම අනුගාමිකයන් මුහුණ දුන් පරීක්ෂා ගැන යේසුස් දැඩි අවධානයෙන් සිටි ආකාරයත් ඔවුන් දිගටම දෙවිට පෙන්වූ පක්ෂපාතකම ඔහු මහත් සේ අගය කළ ආකාරයත් සභා සතට ලියූ එම ලිපි පුරාම දැකගන්න පුළුවන්. (එළිදරව් 2:1–3:22) යේසුස් එම ලිපි මගින් ඇමතුවේ තමා සමඟ ස්වර්ගයේ හවුල් පාලකයන් වීමට සිටි අයවයි. ඔවුන් පීඩිත මිනිස් වර්ගයාට යේසුස්ගේ ජීවිත පූජාවේ ප්‍රයෝජන අත්කර දීම සඳහා සේවය කිරීමට නියමිතයි. යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරමින් ඔහු මෙන් කටයුතු කිරීමට ඒ මගින් ඔවුන්ව සූදානම් කළා.—එළිදරව් 5:9,10; 22:1–5.

19, 20. “මහත් සමූහය” යෙහෝවා දෙවිටත් ඔහුගේ පුත්‍රයාටත් තම අගය පළ කරන්නේ කෙසේද?

19 යේසුස් තම අභිෂේක ලත් සහෝදරයන්ට ප්‍රේම කරනවා වගේම මිලියන ගණනකින් යුත් ‘වෙනත් බැටළුවන්ට’ අයත්, එනම් “මහත් පීඩාවෙන් බේරී එන” “සියලු ජාතීන්ගෙන්” යුත් ‘මහත් සමූහයටද’ ප්‍රේම කරනවා. (යොහන් 10:16; එළිදරව් 7:9, 14) මොවුන් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහිත් තමන්ට ලැබී ඇති සදාකාල ජීවනයේ බලාපොරොත්තුව කෙරෙහිත් තම අගය පෙන්වනවා. ඔවුන් එය පෙන්වන්නේ කෙසේද? ‘දිවා රෑ දෙකෙහි [දෙවිට] පරිශුද්ධ සේවය පිරිනැමීමෙනුයි.’—එළිදරව් 7:15-17.

20 දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් ‘දිවා රෑ දෙකෙහි . . . ඔහුට [දෙවිට] පරිශුද්ධ සේවය පිරිනමන’ බව මෙම සඟරාවෙහි 27 සිට 30 දක්වා පිටුවල සඳහන් වී ඇති වර්ෂ 2006 සේවා වසරේ වාර්තාවෙන් පැහැදිලිව දැකගත හැකියි. ඉතා සුළු පිරිසක්ව සිටින අභිෂේක ලත් අය සමඟ හවුල් වී ඔවුන් එම වර්ෂයේ පමණක් පැය 1,33,39,66,199ක් ප්‍රසිද්ධ දේශනා සේවය වෙනුවෙන් කැප කර තිබෙනවා. එම පැය ප්‍රමාණය අවුරුදුවලින් සඳහන් කළොත් එය අවුරුදු 1,50,000ටත් වඩා වැඩියි.

දිගටම අගය ප්‍රකාශ කරන්න!

21, 22. (අ) අගය පළ කිරීමේදී අද දින ක්‍රිස්තියානීන් ආරක්ෂා විය යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද? (ආ) මීළඟ ලිපියේ සලකා බලන්නේ කුමක්ද?

21 යෙහෝවා දෙවි සහ යේසුස් අප වැනි පව්කාර මිනිසුන් කරන යහපත් ක්‍රියා මහත් සේ අගය කරන බව දැනගැනීම මොන තරම් සතුටක්ද! නමුත් අද සිටින වැඩිදෙනෙකුට දෙවි කෙරෙහි තිබෙන්නේ ඉතාමත් අඩු අගයක්. ඒ වගේම ඔවුන් තමුන්ගේම එදිනෙදා අවශ්‍යතා කෙරෙහි පමණක් මුල් තැන දීම කනගාටුවට හේතුවක්. මෙම “අන්තිම දවස්වල” ජීවත් වන එවැනි අය ගැන පාවුල් පැවසුවේ ඔවුන් “තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන . . . ස්තුතිවන්ත නොවන . . . අය වන්නෝය” කියායි. (2 තිමෝති 3:1-5) සැබෑ ක්‍රිස්තියානීන් ඔවුන්ට වඩා කොතරම් වෙනස්ද! දෙවි ඔවුන් වෙනුවෙන් කර ඇති සෑම දෙයක් සඳහාම තම අගය පෙන්වනවා. ඔවුන් එය කරන්නේ, අවංක සිතින් කරන යාච්ඤාවෙනුත්, දෙවිට කීකරු වීමෙනුත්, මුළු ජීවිතෙන්ම ඔහුට සේවය කිරීමෙනුත්ය.—ගීතාවලිය 62:8; මාක් 12:30; 1 යොහන් 5:3.

22 යෙහෝවා දෙවි අප වෙනුවෙන් ප්‍රේමණීයව ලබා දී ඇති ඇදහිල්ල ශක්තිමත් කරවන සැපයුම් ගැන අපි මීළඟ ලිපියේ සාකච්ඡා කරනවා. එවිට දෙවිගේ සෑම “යහපත් දීමනාවක්” කෙරෙහිම ඇති අපගේ අගය තව තවත් වැඩි වෙනවාට කිසිම සැකයක් නැහැ.—යාකොබ් 1:17.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• තමන් අගය ප්‍රකාශ කරන දෙවි කෙනෙකු බව යෙහෝවා දෙවි පෙන්වා ඇත්තේ කෙසේද?

• අප තනිව සිටින විටදී පවා යෙහෝවා දෙවිගේ සිත සතුටු කිරීමට අපට හැක්කේ කෙසේද?

• යේසුස් අගය ප්‍රකාශ කළේ කුමන ආකාරවලින්ද?

• කරුණාවන්ත සහ අගය ප්‍රකාශ කරන පාලකයෙකු වීමට මිනිසෙකු ලෙස ගත කළ ජීවිතය යේසුස්ට උපකාර කළේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූරය]

දරුවෙක් දෙන කුඩා තෑග්ගක් දෙමාපියෙක් හුඟක් අගය කරනවා වගේ යෙහෝවා දෙවිත් අපි අපේ උපරිමයෙන් ඔහුට සේවය කරන විට එය අගය කරයි