Skip to content

පටුනට යන්න

අපේ අද්විතීය සෞරග්‍රහ මණ්ඩලයේ උපත සිදු වූයේ කෙසේද?

අපේ අද්විතීය සෞරග්‍රහ මණ්ඩලයේ උපත සිදු වූයේ කෙසේද?

අපේ අද්විතීය සෞරග්‍රහ මණ්ඩලයේ උපත සිදු වූයේ කෙසේද?

අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා තිබෙන්නේ ක්ෂීර පථ මන්දාකිණියේ වෙනත් ප්‍රදේශ තරම් තාරකා එතරම් බහුලව නොමැති ප්‍රදේශයකයි. රාත්‍රි අහසේ අපට දැකිය හැකි තරු සියල්ලම පාහේ පිහිටා තිබෙන්නේ කොතරම් දුරකින්ද කියනවා නම් විශාලතම දුරේක්ෂයකින් බැලුවත් ඒවා දිස්වන්නේ කනා මැදිරි එළිය තරම් කුඩාවටයි. අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා තිබෙන්නේ සුවිශේෂ තැනකයි කියා පැවසිය හැකියි. අපි මෙසේ පැවසීමට හේතු දැන් අපි සලකා බලමු.

අපේ සෞරග්‍රහ මණ්ඩලය ක්ෂීර පථ මන්දාකිණියේ මැද හරියට වෙන්න තිබුණා නම් , එහි තරු බහුලව ළඟින් ළඟ පිහිටා තිබෙන නිසා එයට විවිධ හානි සිදු වීමට ඉඩ තිබෙනවා. උදාහරණයක් හැටියට පෘථිවියේ ගමන් මඟට බාධා පැමිණ අපේ ජීවිතවලට අහිතකර බලපෑම් ඇති වීමට ඉඩ තිබුණා. එහෙත් එවැනි දෙයක් සිදු නොවන්නේ සෞරග්‍රහ මණ්ඩලය නිසි තැන පිහිටා තිබෙන නිසයි. මෙම සුවිශේෂි පිහිටීම නිසා විස සහිත වායු අතරින් ගමන් කිරීමේදී අධික රස්නයට ගොදුරු වීමෙන් වැළකීමටත් තාරකා පිපිරෙන විට ඒවායින් ආරක්ෂා වී සිටීමටත් මාරාන්තික විකිරණවලට හසු නොවී සිටීමටත් අපේ සෞරග්‍රහ මණ්ඩලයට හැකි වී තිබෙනවා.

හේතු කිහිපයක් නිසා අපේ සෞරග්‍රහ මණ්ඩලයට විශ්වයේ සුවිශේෂි තැනක් හිමි වෙනවා. අපට ආලෝකය සපයන හිරු අසමසම තරුවක්. එය සැමවිටම දැවෙමින් පවතින අතර ඇතැම් තරු මෙන් කලකට පසු නැති වී යන්නේ නැහැ. එහි විශාලත්වය හා උෂ්ණත්වය නිසි මට්ටමක පවතිනවා. අපේ මන්දාකිණියේ තිබෙන තරුවලින් බොහොමයක් සූර්යාට වඩා බෙහෙවින් කුඩායි. එමෙන්ම පෘථිවිය හා සමාන වෙනත් ග්‍රහලෝකවල ජීවයේ පැවැත්මට අවශ්‍ය ආලෝකය හා උෂ්ණත්වය ඒ තරු මගින් සපයන්නේ නැහැ. බොහෝ තරු ගුරුත්වාකර්ෂණ බලයේ ආධාරයෙන් වෙනත් තරුවක් හෝ තරු කිහිපයක් සමඟ බැඳී තිබෙන අතර එකිනෙකා වටා ගමන් කරයි. එහෙත් අපේ සූර්යයා ඊට වඩා වෙනස්. එය වෙනත් තරු මත රඳා පවතින්නේ නැහැ. සූර්යයාට එය හා සමාන තවත් තරුවක හෝ තරු කිහිපයක ගුරුත්වාකර්ෂණ බලය මත රඳා සිටීමට සිදු වූවා නම් අපේ සෞරග්‍රහ මණ්ඩලය දැන් මෙන් ස්ථිරව පිහිටා තිබෙයි කියා සිතිය නොහැකියි.

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තවත් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ සූර්යයාට බොහෝ දුරින් පිහිටි බාහිර ග්‍රහ වස්තු කියා හඳුන්වනු ලබන අතිවිශාල ග්‍රහයන්ගේ පිහිටීමයි. මේවා ගමන් කරන්නේ බොහෝදුරට කවාකාර කක්ෂවල වන අතර ඒවායේ තිබෙන ගුරුත්වාකර්ෂණ බලය මගින් සූර්යයාට ආසන්නව පිහිටි ඇතුළත ග්‍රහ වස්තු කියා හඳුන්වනු ලබන ග්‍රහයන්ට හානියක් ඇති නොකරයි.  *මෙම බාහිර ග්‍රහයන් මගින් ඇතුළත ග්‍රහයන්ට ඇදී එන අනතුරුදායක වස්තු වෙනත් දිශාවකට යොමු කරවයි. “ග්‍රාහංශු හා උල්කාපාත පෘථිවිය කරා විටින් විට ඇදී ආවත් ඒවායින් විශාල හානියක් අපට ඇති නොවන්නේ බොහෝ ඈතින් පිහිටි බ්‍රහස්පති වැනි විවිධ වායු බහුලව අඩංගු විශාල ග්‍රහයන් නිසයි” කියා විද්‍යාඥයන් දෙදෙනෙකු වන පීටර් ඩී. වෝඩ් සහ ඩොනල්ඩ් බ්‍රවුන්ලි රචනා කළ පොතක සඳහන් වෙනවා. (Rare Earth—Why Complex Life Is Uncommon in the Universe) විශාල ග්‍රහයන්ගෙන් යුත් වෙනත් සෞරග්‍රහ මණ්ඩල සොයාගෙන තිබෙනවා. එහෙත් මෙම ග්‍රහයන්ගෙන් බොහොමයක් ගමන් කරන ආකාරය පෘථිවිය වැනි කුඩා ග්‍රහයන්ට අනතුරුදායකයි.

සඳෙන් ඉටුවන කාර්යයන්

ඈත අතීතයේ පටන් මිනිසුන් තුළ මහත් විස්මිත හැඟීම් ඇති කර තිබෙන සඳ බොහෝ කවිවලට හා ගීතවලට තේමාව වී තිබෙනවා. උදාහරණයක් හැටියට පුරාණයේ විසූ හෙබ්‍රෙව් ජාතික කවියෙකු සඳ ගැන පැවසුවේ ‘එය සදාකල් ආකාශයෙහි විශ්වාස සාක්ෂිය මෙන් පිහිටුවා තිබෙනවා’ කියායි.—ගීතාවලිය 89:37.

සඳ පෘථිවියට බලපාන එක් වැදගත් ආකාරයක් වන්නේ එහි ගුරුත්වාකර්ෂණ බලය මගින් සාගරයේ ජල මට්ටම කෙරෙහි ඇති කරන බලපෑමයි. වඩදිය හා බාදිය ඇති වීමට හේතු වන්නේද එම බලපෑමයි. සාගරයේ ඇති වන මෙම වෙනස්කම් කාලගුණික රටාවේ වෙනස්කම් ඇති වීමටද බලපානවා.

අපේ සඳ මගින් ඉටු කරන තවත් වැදගත් කාර්යයක් වන්නේ එය සතු ගුරුත්වාකර්ෂණ බලය මගින් පෘථිවිය එහි අක්ෂයේ නොවෙනස්වන ලෙස ඇද බැඳ තබාගැනීමයි. එක් විද්‍යාත්මක සඟරාවක සඳහන් වන ආකාරයට සඳ නොතිබුණා නම් දැනට අංශක 23.5ක් ඇල වී පිහිටා තිබෙන පෘථිවියේ අක්ෂය දිගුකාලයක් පුරා ‘අංශක 0 සිට අංශක 85 අතර ප්‍රමාණයක් දක්වා’ වෙනස්කම්වලට ලක් වීමට ඉඩ තිබුණා. (Nature) පෘථිවි අක්ෂය ඇල නොවී කෙලින් පිහිටා තිබුණා නම් ඇති වීමට තිබූ තත්වය ගැන සිතා බලන්න. විවිධ ඍතුවල චත්මකාරජනක අද්දැකීම භුක්ති විඳීමට නොහැකි වන අතර වර්ෂාව හිඟ වීමෙන්ද නොයෙක් දුෂ්කරතාවලට මුහුණ දීමට අපට සිදු වෙනවා. අපිට ජීවත් විය නොහැකි ලෙස පෘථිවිය අධික ලෙස උණුසුම් නොවී තිබීමට එක් හේතුවක් වන්නේද එය ඇලයට පිහිටා තිබීමයි. “දේශගුණික රටාව ස්ථාවර මට්ටමක පත්වාගැනීමට හැකි වී තිබෙන්නේ සඳ නිසයි” කියා තාරකා විද්‍යාඥයෙකු වන ෂාක් ලාස්කාර් පවසනවා. තම කාර්යය මැනවින් ඉටු කිරීමට සඳට හැකි වී තිබෙන්නේ එය වෙනත් ග්‍රහයන් සතු සඳවලට වඩා විශාල නිසයි.

පැරණිතම පොතක් වන බයිබලයේ උත්පත්ති වාර්තාවේ ලේඛකයා සඳහන් කළ පරිදි සඳෙන් ඉටුවන තවත් කාර්යයක් වන්නේ රාත්‍රි කාලයේදී ආලෝකය සැපයීමයි.—උත්පත්ති 1:16.

අහඹු සිදු වීමක්ද නැත්නම් බුද්ධිමත් නිර්මාණයක්ද?

මිහිතලය මත හුදෙක් ජීවිතය පවත්වාගෙන යෑමට පමණක් නොව එය ප්‍රීතියෙන් භුක්ති විඳීමට ඉවහල්වන සාධක සියල්ල ඇති වීමට හේතුව යමෙකුට පැහැදිලි කළ හැක්කේ කෙසේද? මේ සඳහා තිබෙන්නේ ක්‍රම දෙකයි. එක් ක්‍රමයක් නම් අහම්බෙන් මේ සියල්ල සිදු වූවා කියා පැවසීමයි අනිත් ක්‍රමය වන්නේ මේ සෑම දෙයක්ම බුද්ධිමත් නිර්මාණයක් බවත් එයට නිර්මාතෘවරයෙක් සිටින බවත් පහදා දීමයි.

විශ්වය නිර්මාණය කළ තැනැත්තෙක් සිටින බව මීට අවුරුදු දහස් ගණනකට පෙර ශුද්ධ වූ බයිබලයේ සඳහන් කර තිබෙනවා. මින් පෙනී යන්නේ අප මෙතෙක් සඳහන් කළ සෞරග්‍රහ මණ්ඩලයේ පවතින විවිධ තත්වයන් අහඹු ලෙස ඇති වූ බව නොව බුද්ධිමත් නිර්මාණයක් මගින් ඇති වූ බවයි. සර්වබලධාරී දෙවි වන්නේ ඔහුයි. තමන් මිහිතලය මත ජීවය ඇති කළේ කෙසේද කියා නිර්මාර්තෘවරයාණන් අපට ලිඛිතව පහදා දී තිබෙනවා. මෙම වාර්තාව අවුරුදු 3,500ක් පමණ පැරණි වූවත් විශ්වය පිළිබඳව එහි සඳහන් තොරතුරු විද්‍යාඥයන් විශ්වාස කරන තොරතුරුත් සමඟ සමස්තයක් ලෙස එකඟ වෙනවා. මෙම වාර්තාව අඩංගු වන්නේ බයිබලයේ උත්පත්ති පොතේයි. දැන් අපි එහි සඳහන් කාරණා කිහිපයක් සලකා බලමු.

මැවීම පිළිබඳව උත්පත්ති වාර්තාව

“පටන්ගැන්මෙහිදී දෙවි අහසත් පොළොවත් මැව්වේය.” (උත්පත්ති 1:1) බයිබලයේ එම ආරම්භක වදන්වලින් කියවෙන්නේ අපේ පෘථිවිය ඇතුළුව සෞරග්‍රහ මණ්ඩලය මෙන්ම බිලියන ගණනක් වන මන්දාකිණිවල තිබෙන තරු යනාදියෙන් සමන්විත අපේ මුළු මහත් විශ්වයේම නිර්මාණය ගැනයි. බයිබලයේ සඳහන් වන පරිදි එක් කාලයක පෘථිවිය “පාළුව හිස්ව” තිබුණා. ඒ කාලයේදී පෘථිවිය මහාද්වීපවලට වෙන් වී තිබුණේ නැහැ. විද්‍යාඥයන් පවසන ආකාරයට මිහිතලය මත ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍යම දෙයක් වන ජලය ගැන ඊළඟ වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. “දෙවිගේ බලය ජලය මතුපිට ක්‍රියාත්මක වෙමින් තිබුණේය”—උත්පත්ති 1:2, NW නව ලොව පරිවර්තනය.

ග්‍රහ ලෝකයක් මතු පිට තිබෙන ජලය ද්‍රව තත්වයෙන් තිබීමට නම් සූර්යයාගේ සිට නියමිත දුරකින් එම ග්‍රහයා පිහිටිය යුතුයි. “අඟහරු අධික ශිතලයෙන් යුක්තයි. සිකුරු අධික රස්නයෙන් යුක්තයි. නමුත් පෘථිය එවන් තත්වයක නොතිබෙන්නේ එය සූර්යාගේ සිට නිමියත දුරකින් පිහිටා තිබෙන නිසයි” කියා ග්‍රහලෝක ගැන අධ්‍යනය කරන විද්‍යාඥයෙකු වන ඇන්ඩෲ ඉංගසෝල් පවසනවා. ගස් වැල් හා පැළැටි වැඩීමට ප්‍රමාණවත් ආලෝකයක් තිබිය යුතුයි. දෙවි මේ පොළොව ජීවින්ගේ වාසය සඳහා නිර්මාණය කළ මූල් යුගයේදී පෘථිවියට ඉහළින් තිබූ ජල බින්දුලින් සමන්විත ඝන අඳුරු වලාකුළු අතරින් සූර්යාලෝකය පොළොවට වැටෙන්න සැලැස්සුවා. සාගරය වෙලාගෙන තිබූ එම වලා පටලය දිස් වූයේ හරියට බිළිඳෙකුව ඔතා තිබෙන ‘වෙළන පටියක්’ වගෙයි.—යෝබ් 38:4, 9; උත්පත්ති 1:3-5.

උත්පත්ති වාර්තාවේ ඊළඟ වගන්තිවල අපට කියවීමට තිබෙන්නේ දෙවි “අවකාශය” නිර්මාණය කළ බවයි. (උත්පත්ති 1:6-8) පෘථිවියේ වායූගෝලය සකස් වී තිබෙන්නේ එම අවකාශයේ තිබෙන විවිධ වායූ වර්ග එක් වීමෙනුයි.

ඊළඟට උත්පත්ති වාර්තාවේ පැහැදිලි කරන්නේ ජලයෙන් පිරී පාළුව තිබූ පෘථිවියේ වියළි භූමිය දෙවි ඇති කිරීම ගැනයි. (උත්පත්ති 1:9, 10) දෙවි එය කළේ භූ චලයනක් ඇති වීමට සලස්වා කියා සිතිය හැකියි. සාගර හා මහාද්වීප ඇති වූයේ එහි ප්‍රතිඵලයක් හැටියට විය හැකියි.—ගීතාවලිය 104:6-8.

යම් කාලයකදී දෙවි සාගරවල වෙසෙන අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි ඇල්ගී ජීවි විශේෂය නිර්මාණය කළා. ස්වයං ප්‍රජනන ඒක සෛලී ජීවි විශේෂයක් වන ඇල්ගී සූර්ය ශක්තිය යොදාගනිමින් කාබන්ඩයොක්සයිඩ් ආහාර බවට පත් කරගැනීමට පටන් ගත්තා. මේ ක්‍රියාවලිය අතරේදී ඇල්ගී වායූ ගෝලයට ඔක්සිජන්ද මුදා හැරියා. මෙම විස්මිත ක්‍රියාවලිය දෙවි පෘථිවිය ජීවය සඳහා නිර්මාණය කිරීමේ තුන්වන කාලපරිච්ඡේදයේදී මහා පරිමාණයෙන් සිදු වීමට සැලැස්සුවා. දෙවි පොළොව පුරා විවිධ ගස් වැල් හා පැළැටි නිර්මාණය කළේ එම කාලපරිච්ඡේදයේදීයි. ගස් වැල් මගින් සිදු කරන එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට වායූ ගෝලයේ ඔක්සිජන් ප්‍රමාණය වැඩි වූ අතර මිනිසාට හා සතුන්ට එය ආස්වාස කරමින් ජීවිතය අඛණ්ඩව පත්වාගත හැකි පරිසරයක් ඇති වුණා.—උත්පත්ති 1:11, 12.

පොළොවේ සශ්‍රීකව ගස් වැල් වැඩීමට සුදුසු පරිසරයක් සකස් කිරීම සඳහා දෙවි පස්වල ජීවත් වන ක්ෂුද්‍ර ජීවින් රාශියක් ඇති වීමට සැලැස්සුවා. (යෙරෙමියා 51:15) මෙම කුඩා ජීවීන් මිය ගිය සතුන් හා වෙනත් දේවල් දිරා පත් කිරීමට අවශ්‍ය ක්‍රියාවලියක නිරත වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ගස් වැල්වල වැඩීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙනවා. ගස් වැල්වල වර්ධනයට අත්‍යවශ්‍ය වන වායූගෝලයේ තිබෙන නයිට්‍රජන් ලබාගැනීමට පස්වල ජීවත් වන විශේෂ බැක්ටීරියා වර්ග උපකාර කරනවා. සාරවත් පස් මිටක ක්ෂුද්‍ර ජීවීන් බිලියන හයක් පමණ සිටිය හැකියි. ඇත්තෙන්ම මෙය විස්මය දනවන්නක් නොවේද!

දෙවි නිර්මාණයන් සිදු කළ හතරවන කාලපරිච්ඡේයේදී හිරු, සඳු හා තරු බිහි වූ බව උත්පත්ති 1:14-19හි සඳහන් වෙනවා. මෙම කොටස කියවන මුල් අවස්ථාවේදී පෙනී යන්නේ කලින් සඳහන් කොටස් සමඟ මෙය පටහැනි බවයි. මෙහිදී අපි මෙම කාරණය මතක තබාගත යුතුයි. එනම් උත්පත්ති වාර්තාවේ ලේඛකයා වූ මෝසෙස් දෙවිගේ නිර්මාණ ගැන සඳහන් කරන්නේ මිහිපිට සිට බලන කෙනෙකුට දේවල් පෙනෙන ආකාරයටයි. පෙනෙන විදිහට හිරු, සඳු හා තරු පෘථිවියේ වායූගෝලය හරහා දිස්වෙන්න පටන්ගත්තේ හතරවන කාලපරිච්ඡේදයේදීයි.

උත්පත්ති වාර්තාවේ සඳහන් වන පරිදි දෙවි මුහුදු ජීවින් ඇති කළේ පස්වන කාලපරිච්ඡේදීයි. භූමියේ වාසය කරන සතුන්ව හා ඉන්පසුව මිනිසාව දෙවි නිර්මාණය කළේ හයවන කාලපරිච්ඡේදයේදීයි.—උත්පත්ති 1:20-31.

දෙවි පොළොව නිර්මාණය කළේ ප්‍රීතියෙන් ජීවත් වීමටයි

උත්පත්ති වාර්තාවේ විස්තර කර තිබෙන ආකාරයට මිහිතලය මත ජීවය දෙවි නිර්මාණය කළේ අපට ජීවිතය ප්‍රීතියෙන් ගත කිරීමට බව පැහැදිලියි. ඔබ සුව නින්දකින් පසු අවදි වී ජනේලය ළඟට ගිය විට ඒ අතරින් වැටුණු අරුනළු හා මද පවන ගත දැවටුණු අවස්ථාවක් මතකද? තවත් දවසක් ජීවත් වෙන්න ලැබීම ගැන ඔබ ඒ අවස්ථාවේදී සතුටු වෙන්න ඇති. සමහරවිට ඔබ මල් වත්තක ඇවිදින විට ඒ මල්වල සුවඳින් මහත් ආස්වාදයක් ලබන්න ඇති. ගසකින් පලතුරක් කඩාගෙන එය රස බැලූ අවස්ථාවේදී ඔබේ රස නහර පිනා යන්න ඇති. එහෙත් ඇති තරම් ජලය, හිරුගේ උණුසුම හා ආලෝකය නිසි ප්‍රමාණයෙන් ලැබීම, අපේ වායුගෝලයේ වායූන් යෝග්‍ය ප්‍රමාණයෙන් තිබීම හා සාරවත් පස යනාදිය නොතිබුණා නම් ඔබට එවැනි ප්‍රීතිමත් අද්දැකීමක් ලබන්න බැහැ.

එම ලක්ෂණ කිසිවක් සිකුරු, අඟහරු හා සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහයන්වල දකින්න නැහැ. පෘථිවියේ පමණක් තිබෙන ඒ ලක්ෂණ කිසිවිටකත් අහම්බෙන් ඇති විය නොහැකියි. මිහිතලය මත ජීවිතය ප්‍රීතියෙන් භුක්ති විඳීමට හැකි වන පරිදි ඒ සියල්ල නියමිත ප්‍රමාණයෙන් තිබෙනවා. අපි ජීවත් වෙන මේ සුන්දර මිහිතලය දෙවි නිර්මාණය කළේ සඳහටම පැවතීමට බව බයිබලයේ සඳහන් වෙනවා. මේ ගැන ඊළඟ ලිපියේදී සලකා බලමු.

[පාදසටහන]

^ 5 ඡේ. බුධ, සිකුරු, පෘථිවි හා අඟහරු යන ග්‍රහයන් හතර ඇතුළත ග්‍රහ වස්තුවලට අයත් වන අතර මේවායේ මතු පිට පාෂාණවලින් යුක්තයි. බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහයන් බාහිර ග්‍රහයන්ට අයත් වන අතර ඒවායේ දක්නට තිබෙන්නේ වායුමය ස්වභාවයක්.

[6වන පිටුවේ කොටුව]

“භූ විද්‍යාඥයෙකු හැටියට පෘථිවියේ මූලාරම්භය හා ජීවීන් ඇති වූ ආකාරය ගැන පළ කර තිබෙන නූතන අදහස් උත්පත්ති වාර්තාව ලියූ කාලයේ සිටි ගෝත්‍රික ජන කොටස් වැනි ගම්බද ජනයාට කෙටියෙන් පැහැදිලි කරන්න කියා මගෙන් ඉල්ලා සිටියහොත් මට කළ හැකි හොඳම දෙය වන්නේ උත්පත්ති පළමු වන පරිච්ඡේදයේ සඳහන් භාෂා ශෛලයට සමාන භාෂාවක් යොදාගැනීමයි.”—භූ විද්‍යාඥ, වොලස් ප්‍රැට්.

[7වන පිටුවේ කොටුව⁄පින්තූර]

විශ්වය නිරීක්ෂණය කිරීමට හොඳම තැන

හිරු අපේ මන්දාකිණියේ වෙනත් ස්ථානයක පිහිටා තිබුණා නම් අපිට දැන් මෙන් තාරකා පැහැදිලිව දැකගැනීමට හැකි වන්නේ නැහැ. “අපේ සෞරග්‍රහ මණ්ඩලය විශ්වයේ පිහිටා තිබෙන්නේ අධික ආලෝකයෙන් යුත් දූවිලි සහිත ප්‍රදේශවලින් බොහෝ දුරස්ථව නිසා ළඟ තිබෙන තරු මෙන්ම විශ්වයේ ඈත පිහිටි ග්‍රහ වස්තුද දැක ගැනීමට අපට හැකි වී තිබෙනවා” කියා එක් පොතක සඳහන් වෙනවා.—The Privileged Planet.

පූර්ණ සූර්ය ග්‍රහණයකදී සූර්යාව සම්පූර්ණයෙන්ම වසාගැනීමට සඳට හැකි වී තිබෙන්නේ එහි ප්‍රමාණයත් එය පොළොවේ සිට පිහිටා තිබෙන දුර ප්‍රමාණයත් නිසයි. කලාතුරකින් සිදු වන එම විස්මිත ක්‍රියාව නිසා හිරු ගැන වඩාත් හොඳින් අධ්‍යයන කිරීමට තාරකා විද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා. එවැනි අධ්‍යයනවල ප්‍රතිඵලයක් හැටියට තරු බැබළීමට හේතුව ගැන කලින් නොදැන සිටි කරුණු බොහෝමයක් ඔවුන්ට අනාවරණය කරන්න හැකි වී තිබෙනවා.

[5වන පිටුවේ පින්තූරය]

පෘථිවි අක්ෂයේ ඇලය සැමදා එකම මට්ටමෙන් තිබීමට හැකි වී තිබෙන්නේ සඳේ විශාලත්වය නිසයි

[7වන පිටුවේ පින්තූර]

මිහිතලයේ ජීවය ඇති වීමට සුදුසු පරිසරයක් සකස් වී තිබෙන්නේ බහුල ලෙස ජලය තිබීම, ආලෝකය හා උණුසුම නිවැරදි ප්‍රමාණයෙන් තිබීම, සාරවත් පස හා වායූ ගෝලය යනාදිය නිසයි

[හිමිකම් විස්තර]

Globe: Based on NASA Photo; wheat: Pictorial Archive (Near Eastern History) Est.