Skip to content

පටුනට යන්න

අවංකකමට ආදර්ශයක්

අවංකකමට ආදර්ශයක්

අවංකකමට ආදර්ශයක්

නෙල්මා බ්‍රසීලයේ කෘෂෙයිරෝ ඩො සූල් නම් නගරයේ කොණ්ඩා සැකසුම් ශිල්පිණියක් ලෙස රැකියාව කරන තැනැත්තියක්. ලඟදී එම ප්‍රදේශයට ඇති වූ ගංවතුර ඇයටත් බලපා තිබුණා. දිනක් ඇගේ ගනුදෙනුකාරියක් ආධාර වශයෙන් එවා තිබූ ඇඳුම් තොගයක් තොරමින් සිටි නෙල්මාට කලිසම් කිහිපයක සාක්කුවල තිබී රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් හමු වුණා. ක්‍රිස්තියානියෙකු වූ ඇයට මෙය අවංකකම පිළිබඳ පරීක්ෂණයක් වුණා.

ඇයට සම්බ වුණේ මාස හතක් රැකියාව කර ලබන වැටුපකට සමාන මුදලක්. ගංවතුර නිසා ඇගේ නිවසට මෙන්ම ඇගේ පවුලේ අයගේ නිවෙස්වලටත් හානි සිදු වී තිබූ නිසා ඇයට මේ කාලේ මුදල් අත්‍යවශ්‍ය වෙලයි තිබුණේ. ඇගේ නිවස අලුත් වැඩියා කරගන්න විතරක් නෙමෙයි පවුලේ අයටත් උදව් කරන්න මේ මුදල හොදටම ප්‍රමාණවත්. ඒ වුණත් ඇය බයිබලයෙන් ඉගෙනගෙන තිබූ දේවල් නිසා එම මුදල් තියාගන්න ඇගේ හෘදය සාක්ෂිය ඇයට ඉඩ දුන්නේ නැහැ.—හෙබ්‍රෙව් 13:18.

පසුදා උදෙන්ම ඇය ගොස් තමන්ට ඇඳුම් පරිත්‍යාග කළ ව්‍යාපාරික කාන්තාව හමු වුණා. නෙල්මා ඇයට ස්තුති කර තමන්ට හමු වූ මුදල් ඇයට බාර දුන්නා. ඒ කාන්තාව එම මුදල් වෙන් කර තිබුණේ ඇය යටතේ වැඩ කරන අයගේ වැටුප් ගෙවීමටයි. නෙල්මාගේ අවංකකම ගැන පුදුම වූ ඇය “ඔයා වගේ අවංක කෙනෙක්ව හම්බවෙන්නේ කලාතුරකින්” කියා පැවසුවේ ඉහවහා ගිය සතුටකින්.

අද කාලේ එතරම් අවංක වෙන්න ඕන නැහැ කියායි බොහෝදෙනෙක් හිතන්නේ. නමුත් යෙහෝවා දෙවිව සතුටු කිරීමට දැඩි වෑයමක් දරන අය අවංකකම සලකන්නේ බොහොම වටින ගුණාංගයක් ලෙසයි. (එෆීස 4:25, 28) නෙල්මා ඒ වගේ කෙනෙක්. ඇය පැවසුවේ “මම ඒ සල්ලි ගත්තනම් මට නින්ද යන එකකුත් නැහැ” කියායි.