Skip to content

පටුනට යන්න

‘දරුවෙනි ඔබේ දෙමාපියන්ට කීකරු වන්න’

‘දරුවෙනි ඔබේ දෙමාපියන්ට කීකරු වන්න’

‘දරුවෙනි ඔබේ දෙමාපියන්ට කීකරු වන්න’

“දරුවෙනි, ස්වාමීන් තුළ ඔබේ දෙමාපියන්ට කීකරු වන්න. මන්ද, මෙය ධර්මිෂ්ඨය.”—එෆීස 6:1

1. කීකරු වීම ඔබට ආරක්ෂාවක් විය හැක්කේ කෙසේද?

අද අපි ජීවතුන් අතර ඉන්නේ අපට ලැබුණු අනතුරු ඇඟවීම්වලට කීකරු වූ නිසා විය හැකියි. උදාහරණයකට අපව ‘පුදුමාකාර ලෙස සාදා තිබෙන’ නිසා යම් යම් දේවල් ගැන අපේ ශරීරය අපට අනතුරු අඟවනවා. (ගීතාවලිය 139:14) අහස අඳුරු වළාකුළුවලින් වෙලා ගෙන තිබෙනවා අපේ ඇස්වලින් දකින විට හා ගිගුරුම් හඬ අපේ කන්වලට ඇසෙන විට අප දන්නවා අකුණු සැර වදින්න පුළුවන් කියා. අපේ ශරීරය මගින් දෙන මෙම අනතුරු ඇඟවීමට කීකරු වෙනවා නම් ආරක්ෂා සහිත තැනක් කරා යෑමට අප ඉක්මණින් පියවර ගන්නවා. මේ නිසා අපේ ජීවිත පවා බේරා ගන්න හැකියි.

2. දෙමාපියන් දරුවන්ට අනතුරු ඇඟවීම් දෙන්නේ ඇයි? දරුවන් දෙමාපියන්ට කීකරු විය යුත්තේ ඇයි?

2 දරුවෙනි ඔබේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහාත් ඔබේ දෙමාපියන් ඔබට යම් යම් අනතුරු ඇඟවීම් දී ඇති. උදාහරණයකට “ගින්දර එක්ක සෙල්ලම් කරන්න එපා.” “වතුර වැඩි නිසා ගඟේ නාන්න යන්න එපා.” “පාර මාරු වෙද්දී දෙපැත්ත හොඳට බලලා මාරු වෙන්න.” මෙවැනි අනතුරු ඇඟවීම් කොතෙක් නම් ඔබේ දෙමාපියන් ඔබට දී ඇද්ද? කනගාටුවට කාරණය නම් දෙමාපියන්ට අකීකරු වීම නිසා බොහෝ දරුවන් අනතුරුවලට ගොදුරු වී තිබීමයි. සමහර දරුවන්ගේ ජීවිත පවා නැති වී තිබෙනවා. ඒ නිසා දෙමාපියන්ට කීකරු වීම ‘ධර්මිෂ්ඨ’ මෙන්ම ඥානවන්තම දෙයයි. (හිතෝපදේශ 8:33) තවත් බයිබල් වගන්තියක පවසන්නේ එය අපේ ස්වාමීන් වන යේසුස්ට “ඉතා ප්‍රසන්න” දෙයක් බවයි. ඒ විතරක් නෙවෙයි දෙමාපියන්ට කීකරු වෙන්න කියා ආඥා කර තිබෙන්නේ අපේ දෙවි වන යෙහෝවායි.—කොලොස්සි 3:20; 1 කොරින්ති 8:6.

කීකරුකම සදාකාලික ආශිර්වාද ගෙනදෙයි

3. අපෙන් බොහෝදෙනෙකුට “සැබෑ ජීවිතය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? දරුවන්ට එය භුක්ති විඳින්න හැක්කේ කෙසේද?

3 ඔබ ඔබේ දෙමාපියන්ට කීකරු වෙනවා නම් “දැන් තිබෙන ජීවිතය” ආරක්ෂා වෙනවා පමණක් නොව “මතු පැමිණෙන” “සැබෑ ජීවිතය” ප්‍රීතියෙන් භුක්තිවිඳීමේ ප්‍රස්තාවත් ඔබට හිමි වෙනවා. (1 තිමෝති 4:8; 6:19) අපෙන් බොහෝ දෙනෙකුට මෙම සැබෑ ජීවිතය යන්නෙන් අදහස් කරන්නේ පරාදීස පොළොවේ සදාකාල ජීවිතයටයි. මෙය ලැබෙන්නේ දෙවිගේ නීතිවලට කීකරුවන අයටයි. මෙම නීති අතරින් එක් ප්‍රධාන නීතියක් ගැන මෙසේ සඳහන් වෙනවා. “පොරොන්දුවක් ඇති පළමුවන ආඥාව මෙයයි: ‘ඔබේ පියාට සහ මවට ගෞරව කරන්න.’ එසේ කිරීමෙන්, ‘ඔබට ශුභසිද්ධ වනු ඇත. ඔබ පොළොවෙහිදී බොහෝ කල් ජීවත් වනු ඇත.’” ඔබ ඔබේ දෙමාපියන්ට කීකරු වෙනවා නම් ඔබට සතුටින් සිටින්න පුළුවන්. එයින් ඔබේ අනාගතය සුරක්ෂිත වෙනවා පමණක් නොව පාරාදීස පොළොවේ සදාකල් ජීවිතයද භුක්ති විඳින්න පුළුවන්.—එෆීස 6:2, 3.

4. දෙවිව ගෞරවයට පත් කරන්න දරුවන්ට හැක්කේ කෙසේද? එසේ කිරීමෙන් දරුවන් ලබන ප්‍රයෝජන මොනවාද?

4 ඔබ ඔබේ දෙමාපියන්ට කීකරු වෙමින් ඔවුන්ට ගෞරව කරන විට එසේ කරන්න කියා පවසා තිබෙන්නේ දෙවි නිසා ඔබ යෙහෝවා දෙවිවත් ගෞරවයට පත් කරනවා. එසේ කිරීමෙන් ඔබ ප්‍රයෝජන ලබන බව ‘ඔබේ ප්‍රයෝජනය පිණිස ඔබට උගන්වන්නාවූ ඔබේ දෙවි වූ යෙහෝවා මම’ කියා බයිබලයේ පවසා තිබීමෙන් පැහැදිලියි. (යෙසායා 48:17; 1 යොහන් 5:3) කීකරු වීම තුළින් ඔබට ලැබෙන්නේ මොනවගේ ප්‍රයෝජනද? එක අතකින් ඔබේ දෙමාපියන් සතුටු වෙනවා. ඔවුන් එය අගය කරනවා දකින ඔබත් ඉන් සතුටක් ලබනවා. (හිතෝපදේශ 23:22-25) වඩාත්ම වැදගත් දේ වන්නේ ඔබේ කීකරුකම නිසා ඔබේ ස්වර්ගීක පියා සතුටු වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවි ඔබට බහුල ලෙස ආශිර්වාද කරනවා නියතයි. “සැමවිටම ඔහුට [පියාණන්ට] ප්‍රසන්න දේවල්” කළ යේසුස්ට යෙහෝවා දෙවි ආශිර්වාද කරමින් ඔහුව ආරක්ෂා කළ ආකාරය ගැන දැන් අපි සොයා බලමු.—යොහන් 8:29.

වෙහෙසී වැඩ කළ දක්ෂ කෙනෙක් ලෙස

5. යේසුස් වෙහෙස මහන්සි වී වැඩ කළ කෙනෙක් බව කිව හැක්කේ ඇයි?

5 යෝසෙප් සහ මරියාගේ පවුලේ වැඩිමලා වූයේ යේසුස්. තම සුරැකී පියා වූ යෝසෙප්ගේ රැකියාව වඩු වැඩ වූ නිසා යේසුස්ද වඩු වැඩ ඉගෙන ගත්තා. (මතෙව් 13:55; මාර්ක් 6:3; ලූක් 1:26-31) යේසුස් වඩු කර්මාන්තයේ යෙදුනේ කොහොමද? ඔහු මේ පොළොවට පැමිණීමට පෙර ස්වර්ගයේ ඔහු කළ ක්‍රියාවන් ගැන විස්තර කරමින් පවසා තිබුණේ මෙසේයි. මම ඔහු වෙත ප්‍රධාන කර්මාන්තකාරයාව සිටියෙමි. සැමකල්හි ඔහු ඉදිරියෙහි නිතර සන්තෝෂවෙමින්, දවසින් දවස ඔහුගේ ප්‍රීතිය වීමි.” යේසුස් දක්ෂ ලෙස ඒ වැඩවල නිරත වූ නිසා දෙවි බොහෝ සේ සතුටු වුණා. පොළොවේ සිටින කාලයේදීත් යේසුස් වෙහෙස මහන්සි වී දක්ෂ ලෙස වැඩ කෙරුවාද?—හිතෝපදේශ 8:30 (පැරණි අනුවාදය), කොලොස්සි 1:15, 16.

6. (අ) යේසුස් දරුවෙක් හැටියට ගෙදර දොරේ වැඩ කළා කියා කිව හැක්කේ ඇයි? (ආ) දරුවන්ට යේසුස්ව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

6 බයිබල් කාලවලදීද දරුවන් නොයෙක් ක්‍රීඩාවල යෙදුනු බව වාර්තා වෙනවා. යේසුස්ද තමන්ගේ කුඩා කාලයේදී යම් යම් ක්‍රීඩාවල යෙදුණාට කිසිම සැකයක් නැහැ. (සෙකරියා 8:5; මතෙව් 11:16, 17) ඒත් එතරම් වත් පොහොසත්කමක් නොතිබුණු ලොකු පවුලක වැඩිමල් දරුවා හැටියට යේසුස්ට තම පියාගෙන් වඩු කර්මාන්තය ඉගෙන ගන්නවාට අමතරව ගෙදර දොරේ වැඩ කටයුතුද තිබුණු බව සිතිය හැකියි. නමුත් පසු කාලයකදී යේසුස් තමන්ගේ සැප පහසුව නොතකා මුළු කාලයම දේශනා සේවය සඳහා වැය කළා. (ලූක් 9:58; යොහන් 5:17) යේසුස්ව අනුකරණය කරන්න ඔබටත් පුළුවන් කොහොමද? ඔබේ දෙමාපියන් ඔබට ඔබේ කාමරය අස් පස් කරන්න එහෙමත් නැත්නම් ගෙදර දොරේ වෙනත් වැඩක් කරන්න පවරනවාද? ක්‍රිස්තියානී රැස්වීම්වලට සහභාගීවීමට හා දේවසේවයේ යෙදීමට ඔබේ දෙමාපියන් ඔබට උනන්දු කරනවාද? යේසුස් දරුවෙක් හැටියට සිටි කාලයේදී මෙවැනි දේවල් ඔහුගෙන් ඉල්ලා සිටි විට ඔහු ක්‍රියා කරන්න ඇත්තේ කොහොමද?

දක්ෂ ශිෂ්‍යයෙක් මෙන්ම ගුරුවරයෙක් ලෙස

7. (අ) යේසුස් පාස්කු මංගල්‍යයට ගියේ කවුරුන් සමඟ විය හැකිද? (ආ) අන් අය ආපසු එන විට යේසුස් සිටියේ කොහේද? ඔහු එහි නැවතී සිටියේ ඇයි?

7 අවුරුද්දකට තුන් වතාවක් දේවමාලිගාවේ පැවති යුදෙව් මංගල්‍යවලට ඊශ්‍රායෙලයේ සිටි සියලුම පවුල්වල පිරිමි සහභාගී විය යුතු වුණා. (ද්විතීය කතාව 16:16) යේසුස්ට වයස අවුරුදු 12දී පාස්කු මංගල්‍යය සඳහා යෙරුසලමට ගිය ගමනට ඔහුගේ නංගිලා මල්ලිලාද හවුල් වෙන්න ඇති. යේසුස්ගේ පවුලේ අය සමඟ ඔවුන්ගේ නෑදෑයන්ද ඒ ගමනට එක් වුණා. ඔවුන් අතර මරියාගේ සහෝදරී වූ සලෝමිද ඇගේ සැමියා වන සෙබදීද පසුව යේසුස්ගේ ගෝලයන් බවට පත් වූ ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන යාකොබ් සහ යොහන්ද සිටින්න ඇති. * (මතෙව් 4:20, 21; 13:54-56; 27:56; මාර්ක් 15:40; යොහන් 19:25) ආපසු එන ගමනේදී යේසුස් නැහැයි කියා යොසෙප්ට සහ මරියාට දැනුනේ නැහැ. යේසුස් තම නෑදෑයන් සමඟ ඇතැයි කියා ඔවුන් සිතන්න ඇති. යේසුස් නැහැයි කියා දැනගත් ඔවුන් ඔහුව සොයාගත්තේ දවස් තුනකට පසුවයි. ඔහු “දේවමාලිගාවෙහි ගුරුවරුන් අතරෙහි ඉඳගෙන ඔවුන්ට සවන් දෙමින් සහ ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින් සිටිනවා ඔවුහු දුටූහ.”—ලූක් 2:44-46.

8. යේසුස් දේවමාලිගාවේ කරමින් සිටි දේ ගැන මිනිසුන් පුදුම වුණේ ඇයි?

8 යේසුස් මෙහිදී “ප්‍රශ්න අසමින්” සිටියේ කුතුහලය නිසාවත් තොරතුරු දැනගැනීමට තිබෙන ආශාව නිසාවත් නෙවෙයි. මෙහිදී යොදාගෙන තිබෙන ප්‍රශ්න ඇසීම යන්නෙහි ග්‍රීක අර්ථය වන්නේ නඩු විභාගයකදී මෙන් හරස් ප්‍රශ්න ඇසීමයි. මින් පැහැදිලි වන්නේ දරුවෙක් ලෙස සිටිය කාලයේදී පටන්ම යේසුස් බයිබලය ගැන දැනුමක් තිබූ දක්ෂ ශිෂ්‍යයෙක් වූ බවයි. උගත් ආගමික ගුරුවරුන්ව පුදුම කරවන තරම් දැනුමක් ඔහුට තිබුණා. බයිබලයේ පවසන්නේ “ඔහුට සවන් දෙමින් සිටි සියල්ලෝ ඔහුගේ තේරුම්ගැනීම හා ඔහු දුන් පිළිතුරු ගැන විස්මයට පත්ව සිටියහ” කියායි.—ලූක් 2:47.

9. බයිබලය ගැන ඉගෙන ගැනීමේදී ඔබට යේසුස්ගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද?

9 එතරම් අඩු වයසකදී අද්දැකීම් ලත් ගුරුවරුන්ව පවා මවිතයට පත් කිරීමට තරම් දැනුමක් යේසුස්ට ලැබුණේ කොහොමද? දේවභක්තික දෙමාපියන්ගෙන් හොඳ පුහුණුවක් යේසුස්ට ළදරු කාලයේ පටන්ම ලැබී තිබූ බව නම් නිසැකයි. (නික්මයාම 12:24-27; ද්විතීය කතාව 6:6-9; මතෙව් 1:18-20) ශුද්ධ ලියවිලි කියවා එය පැහැදිලි කර දුන් සිනගෝගවලට යෝසෙප් අනිවාර්යයෙන්ම යේසුස්ව රැගෙන යන්න ඇති. ඔබට ඉන්නේත් මේ වගේ දෙමාපියන්ද? ඔවුන් ඔබ සමඟ බයිබලය පාඩම් කරන හා ඔබව රැස්වීම්වලට රැගෙන යන ප්‍රේමණීය දෙමාපියන්ද? එසේනම් යේසුස් තම දෙමාපියන් දැරූ වෙහෙස අගය කළා හා සමානව ඔබත් ඔබේ දෙමාපියන්ව අගය කරනවාද? යේසුස් වගේ ඔබත් ඔබ ඉගෙන ගත් දේවල් අනිත් අයත් එක්ක කතා කරනවාද?

කීකරු දරුවෙකු ලෙස

10. (අ) යේසුස් සිටිය යුතු තැන ගැන ඔහුගේ දෙමාපියන් දැනගෙන සිටිය යුතු වුණේ ඇයි? (ආ) යේසුස් දරුවන්ට තැබූ ආදර්ශය කුමක්ද?

10 නැති වූ යේසුස්ව තුන් දිනකට පසු දේවමාලිගාවේදී හමු වූ විට මරියාට හා යෝසෙප්ට කෙසේ හැඟෙන්න ඇද්ද? ඔවුන්ට ලොකු සහනයක් දැනෙන්න ඇති. නමුත් තමන් සිටි තැන ගැන දෙමාපියන් නොදැන සිටීම ගැන යේසුස් පුදුම වුණා. යේසුස් දෙවිගේ පුත්‍රයා බව ඔවුන් හොඳටම දැනගෙන සිටියා. සියලුම තොරතුරු නොදැන සිටියත් ඔහු අනාගත ගැලවුම්කරු හා දේවරාජ්‍යයේ රජු හැටියට කරන්න යන දේවල් ගැන යම්තාක් දුරකට හෝ ඔවුන් දැනගෙන සිටින්න ඇති. (මතෙව් 1:21; ලූක් 1:32-35; 2:11) “මාව සෙව්වේ ඇයි? මගේ පියාණන්ගේ ගෘහයේ මා සිටිය යුතු බව දැන සිටියේ නැද්ද?” කියා යේසුස් ඇසුවේ ඒ නිසයි. කෙසේවෙතත් යේසුස් තම දෙමාපියන්ට කීකරු වී ගෙදර යෑම සඳහා නාසරෙත් බලා පිටත් වුණා. ඉන්පසුව ඔහු දිගටම “ඔවුන්ට යටත්ව සිටියේය” කියා බයිබලයේ වාර්තා වෙනවා. තවද “ඔහුගේ මව මේ සියලු වදන් ඇගේ සිතෙහි රඳවා තබාගත්තාය.”—ලූක් 2:48-51.

11. කීකරුකම ගැන යේසුස්ගෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩම කුමක්ද?

11 යේසුස් වගේ හැම විටම දෙමාපියන්ට කීකරුව සිටින එක පහසු දෙයක්ද? එසේත් නැත්නම් නවීන කාලය ගැන දෙමාපියන්ට එතරම් තේරුමක් නැති බවත් ඔබ ඔවුන්ට වඩා දන්න බවත් ඔබට හැඟෙනවාද? සමහරවිට පරිගණක, ජංගම දුරකතන වැනි නවීන උපකරණ ගැන ඔබ ඔවුන්ට වඩා දන්නවා ඇති. නමුත් යේසුස් ගැන සිතන්න. ඔහුගේ “තේරුම්ගැනීම හා ඔහු දුන් පිළිතුරු” ගැන දක්ෂ ගුරුවරුන් පවා විස්මයට පත් වුණා. යේසුස් එක්ක සසඳද්දී ඔබ දන්නේ කොතරම් අල්පයක්ද කියා සිතා බලන්න! යේසුස්ට කොතරම් දැනුමක් තිබුණත් ඔහු දෙමාපියන්ට කීකරු වුණා. මින් අදහස් කරන්නේ ඔවුන්ගේ හැම තීරණයකටම ඔහු එකඟ වුණා කියා නෙවෙයි. නමුත් වැඩිහිටියෙක් වන තුරුම ඔහු දිගටම ඔවුන්ට “යටත්ව සිටියේය.” යේසුස්ගේ ආදර්ශයෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන් පාඩම කුමක්ද?—ද්විතීය කතාව 5:16, 29.

කීකරුකම අභියෝගයක්

12. කීකරුකම ජීවිතය ආරක්ෂා කරන්නේ කෙසේද?

12 තම දෙමාපියන්ට කීකරු වීම දරුවන්ට සෑම විටම ලේසි දෙයක් නෙවෙයි. උදාහරණයක් ලෙස බොහෝ දරුවන් ගඟක හෝ මුහුදක නාන්න, පාරක් අයිනේ සෙල්ලම් කරන්න, බෝට්ටු පදින්න වැනි දේවල් කරන්න ආසයි. ඒත් දෙමාපියන් ඔබට මේවා ගැන අනතුරු අඟවා තිබෙන්න පුළුවන්. ඔබ ආසම දෙයක් නොකර ඉන්න කියා යම් කෙනෙක් කියනවා නම් එය නොකර ඉන්න එක එතරම් ලේසි දෙයක් නෙවෙයි. එපමණක් නෙවෙයි ඒවා නොකර ඉන්න විට ඔබේ මිතුරන්ගේ උසුළු විසුළුවලට ලක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමයි කියා එම අනතුරු ඇඟවීම් ගණන් නොගෙන ඒ දෙවල් කළොත් ඔබේ ජීවිතය පවා නැති වෙන්න පුළුවන්. මෙවැනි සිද්ධීන් ගැන ඔබ කොතෙකුත් අසා ඇති. ඒ නිසා කොතරම් අමාරු වුණත් දෙමාපියන් කියන දේවලට කීකරු වෙනවා නම් ඉන් ඔබේ ජීවිතය පවා ආරක්ෂා වෙනවා.

13. (අ) ඔබ දෙමාපියන්ට කීකරු විය යුත්තේ ඇයි? (ආ) දරුවෙක් දෙමාපියන් පවසන දේවල් නොකළ යුත්තේ කුමන අවස්ථාවලදීද?

13 ‘දරුවෙනි ඔබේ දෙමාපියන්ට කීකරු වන්න’ කියා දෙවි පවසා තිබෙන්නේ ඇයි? ඔබ දෙමාපියන්ට කීකරු වෙනවා නම් ඔබ ඇත්තටම කීකරු වෙන්නේ දෙවිටයි. ඒ වගේම ඔබට වඩා දෙමාපියන්ට ජීවිතයේ අද්දැකීම් තිබෙන බවත් මතක තබා ගන්න. ඔබේ දෙමාපියන්ට කීකරු වෙන එක හැම විටම ලෙහෙසි දෙයක් නොවන බව ඇත්තයි. ඒත් ඔබ ඔවුන්ට කීකරු විය යුතුයි කියලා දෙවි කියනවා. නමුත් ඔබේ දෙමාපියන් වුණත් ඔබට බොරු කියන්න සොරකම් කරන්න හෝ දෙවිව අසතුටු කරන ඕනෑම දෙයක් කරන්න කියා කියනවා නම් ඔබ “කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.” මේ නිසයි “දරුවෙනි, ස්වාමීන් තුළ ඔබේ දෙමාපියන්ට කීකරු වන්න” කියා බයිබලයේ පවසා තිබෙන්නේ. මින් අදහස් කරන්නේ ඔබේ දෙමාපියන්ට ඔබ සම්පූර්ණයෙන්ම කීකරු විය යුත්තේ දෙවිගේ නීති කඩ නොවන තාක්කල් පමණක් බවයි.—ක්‍රියා 5:29.

14. කිසිම පාපයක් උරුම වී නැති කෙනෙකුට කීකරු වීම පහසු වන්නේ ඇයි? ඒත් යේසුස්ට කීකරුකම ඉගෙන ගැනීම අවශ්‍යය වුණේ ඇයි?

14 ‘මමත් යේසුස් වගේ “දූෂ්‍ය නොවූ, පව්කාරයන්ගෙන් වෙන් වූ” කෙනෙක් නම් දෙමාපියන්ට කීකරු වීම අමාරු දෙයක් නෙවෙයි’ කියා ඔබට සිතෙන්න පුළුවන්. (හෙබ්‍රෙව් 7:26) ඇත්තයි, ඔබට උපතින් කිසිම පාපයක් උරුම වී නැත්නම් දැන් වගේ වැරදි දේවල් කිරීමේ නැඹුරුවාවක් ඔබ තුළ තිබෙන්නේ නැහැ. (උත්පත්ති 8:21; ගීතාවලිය 51:5) ඒත් කිසිම පාපයක් උරුම නොවූ කෙනෙක් වූ යේසුස්ට පවා කීකරුකම ඉගෙන ගන්න සිදු වූ බව මතක තබාගන්න. බයිබලයේ පවසන්නේ “ඔහු [දෙවිගේ] පුත්‍රයෙකුව සිටියත්, තමන් වින්ද දේවල්වලින් ඔහු කීකරුකම ඉගෙනගත්තේය” කියායි. (හෙබ්‍රෙව් 5:8) පොළොවේදී වින්ද දේවලින් ඔහු කීකරුකම ඉගෙන ගත්තේ කොහොමද?

15, 16. යේසුස් කීකරුකම ඉගෙන ගත්තේ කොහොමද?

15 යේසුස්ව කුඩා කාලයේදී අනතුරුවලින් ආරක්ෂා කරගන්න යෝසෙප්ට සහ මරියාට හැකි වුණේ යෙහෝවා දෙවිගේ උපකාරය ලැබුණු නිසයි. (මතෙව් 2:7-23) නමුත් පසු කාලයකදී දෙවි එම ආරක්ෂාව ඉවත් කළා. අපි මේ බව දන්නේ බොහෝ දුක් පීඩාවලට මුහුණ දෙන්න යේසුස්ට සිදු වූ නිසයි. ඔහු වින්ද මානසික හා ශාරීරික වේදනා කොතරම් දරුණු වූවාද කියනවා නම් ඔහු “බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්තව කන්නලව් සහ ඉල්ලීම් ඔප්පු කළේය” කියා බයිබලයේ වාර්තා වෙනවා.—හෙබ්‍රෙව් 5:7.

16 මෙය සිදු වුණේ මිනිසෙකු ලෙස යේසුස් ජීවත් වූ අවසාන පැය කිහිපය තුළයි. යේසුස් දෙවි කෙරෙහි දැක් වූ විශ්වාසවන්තකම නැති කරන්න සාතන් හැකි සැම දෙයක්ම කළා. යම් ලෙසකින් දෙවිට ද්‍රෝහි වූ කෙනෙක් ලෙස මිය යන්න තමන්ට සිදු වුණා නම් එය තම පියාට කොතරම් කැලලක් වෙයිද යන සිතුවිල්ල යේසුස්ට කොතරම් වද දුන්නාද කියනවා නම් ගෙත්සෙමන උයනේදී ‘ඔහු වඩාත් ඕනෑකමින් යාච්ඤා කරන්නට වූ අතර ඔහුගේ දහඩිය ලේ බිංදු මෙන් වී බිම වැටුණා.’ ඉන් පැය කිහිපයකට පසු වද කණුවක් මත ඔහු අද්දුටු මරණය මොනතරම් වේදනාකාරී වුණාද කියනවා නම් ඔහු ‘කඳුළින් යුක්තව බලවත් ලෙස හැඬුවා’. (ලූක් 22:42-44; මාක් 15:34) මෙසේ “වින්ද දේවල්වලින් ඔහු කීකරුකම ඉගෙනගත්” අතර එමගින් තම පියාගේ සිත සතුටු කිරීමටද ඔහුට හැකි වුණා. කීකරු වීමට දරන වෑයමේදී අපිට අද්දකින්න සිදු වන වේදනාව ගැන යේසුස්ට හොඳින්ම තේරුම් ගන්න හැකි වී තිබෙන්නේ ඔහුත් එය අද්දැක තිබෙන නිසයි.—හිතෝපදේශ 27:11; හෙබ්‍රෙව් 2:18; 4:15.

කීකරුකම ඉගෙනගන්න

17. අපි හික්මවීම සැලකිය යුත්තේ කෙසේද?

17 ඔබට ඇති ආදරය නිසා ඔබේ දෙමාපියන් කැමති වන්නේ ඔබට යහපතක් වෙනවා දකින්නයි. ඔවුන් ඔබව හික්මවන්නෙත් ඔබට අවවාද කරන්නේත් ඒ නිසයි. “පියෙකු විසින් හික්මවනු නොලබන පුත්‍රයෙක් සිටීද?” කියා බයිබලයෙත් පවසා තිබෙනවා. ඔබේ දෙමාපියන් ඔබට තිබෙන ප්‍රේමය නිසා කුඩා කාලයේදී ඔබව නිවැරදි කරන්න දැරූ වෑයම් ගැන අද ඔබ සතුටු වන්නේ නැද්ද? ඒ හා සමානව යෙහෝවා දෙවි ඔබව නිවැරදි කරන්නේ ඔබට තිබෙන ප්‍රේමය නිසයි. “හික්මවීමක් ලැබෙද්දී, එය දුකට මිස ප්‍රීතියට හේතුවක් ලෙස නොහැඟෙන බව සැබෑය. එහෙත් පසුව, එමගින් පුහුණු වූ අයට සමාදානයේ පලය වන ධර්මිෂ්ඨකම ලැබෙන්නේය.”—හෙබ්‍රෙව් 12:7-11.

18. (අ) දෙමාපියන් දරුවන්ව ප්‍රේමණීය ලෙස හික්මවන්නේ ඇයි? (ආ) එවැනි නිවැරදි කිරීම් නිසා තමන්ගේ ජීවිතය යහමඟට ගත් අය ගැන ඔබ දන්නවාද?

18 ප්‍රඥාවන්තයෙක් බව යේසුස් පවා සඳහන් කළ සාලමොන් රජ දෙමාපියන්ගේ ප්‍රේමණීය නිවැරදි කිරීම්වල තිබෙන අවශ්‍යතාව ගැන කතා කළා. “ඉපල නිකම් තබන්නා තමන් පුත්‍රයාට ද්වේෂ කරයි. එහෙත් ඔහුට ප්‍රේම ඇත්තා කල් ඇතුව දඬුවම් කරයි” කියා පැවසූ සාලමොන් මෙම නිවැරදිකිරීම් ලබන තැනැත්තාගේ ජීවිතය රැකෙනු ඇත කියාද පැවසුවා. (හිතෝපදේශ 13:24; 23:13, 14; මතෙව් 12:42) එක් ක්‍රිස්තියානී කාන්තාවක් ඇගේ ළමා කාලය ගැන සිහි කරමින් පැවසුවේ ඇය රැස්වීමේදී දඟ කළොත් ඇගේ පියා ඇයට ගෙදර ගොස් දඬුවම් කරන බවයි. ඇගේ ජීවිතය යහමඟට ගන්න හැකි වී තිබෙන්නේ පියා ඇයට දුන් එවැනි නිවැරදිකිරීම් නිසා බව ඇය අද මතක් කරන්නේ ආදරයෙන්.

19. දෙමාපියන්ට කීකරු විය යුතු විශේෂ හේතුව කුමක්ද?

19 ඔබ කෙරෙහි සැලකිල්ල දක්වමින් කාලය ගෙන ප්‍රේමණීය ලෙස ඔබව නිවැරදි කරන දෙමාපියන් ඔබටත් ඉන්නවා ඔවුන්ව මුළු සිතින්ම අගය කරන්න. යේසුස් ඔහුව රැක බලාගත් දෙමාපියන්ට කීකරු වුණා හා සමානව ඔබත් ඔබේ දෙමාපියන්ට කීකරු වෙන්න. ඔබ විශේෂයෙන්ම එසේ කළ යුත්තේ ඔබේ ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවි එසේ කරන්න කියා ඔබෙන් ඉල්ලන නිසයි. ඔබ එසේ කරනවා නම් ඔබ බොහෝ ප්‍රයෝජන ලබන අතර ‘ඔබට ශුභ සිද්ධ වෙයි. ඒ වගේම ඔබට පොළොවේ බොහෝ කල්ද ජීවත් විය හැකියි.’—එෆීස 6:2, 3.

[පාදසටහන]

^ 7 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන Insight on the Scriptures හි 2වන වෙළුමේ 841වන පිටුව බලන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දෙමාපියන්ට කීකරු වීමෙන් දරුවන් ලබන ප්‍රයෝජන මොනවාද?

• දෙමාපියන්ට කීකරු වීම සම්බන්ධයෙන් යේසුස් තැබූ කදිම ආදර්ශය කුමක්ද?

• යේසුස් කීකරුකම ඉගෙන ගත්තේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[24වන පිටුවේ පින්තූරය]

අවුරුදු 12ක් තරම් අඩු වයසකදී පවා යේසුස්ට ශුද්ධ ලියවිලි ගැන මනා දැනුමක් තිබුණා

[26වන පිටුවේ පින්තූරය]

යේසුස් තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙන ගත්තේ කොහොමද?