Skip to content

පටුනට යන්න

නිර්මාතෘගෙන් ලැබුණු සදාකාලික තෑග්ගක්

නිර්මාතෘගෙන් ලැබුණු සදාකාලික තෑග්ගක්

නිර්මාතෘගෙන් ලැබුණු සදාකාලික තෑග්ගක්

ග්‍රහ ලෝකයක ජීවීන් ඇති වීමට අත්‍යවශ්‍යයි කියා විද්‍යාඥයන් විශ්වාස කරන සාධක ගැන බයිබලයේ මුල්ම පරිච්ඡේදයේ ඍජුව හෝ වක්‍රව සඳහන් වී තිබීම ගැන ඔබ මවිත වේවි. එම සාධක මොනවාද කියා අපි දැන් සලකා බලමු.

ජීවින්ගේ අඛණ්ඩ පැවතීම සඳහා ඇති තරම් ජලය තිබිය යුතුයි. මේ ගැන උත්පත්ති 1:2හි සඳහන් වෙනවා. එමෙන්ම ජලය ද්‍රව තත්වයෙන් තිබීමට නම් උෂ්ණත්වය නියමිත ප්‍රමාණයෙන් තිබිය යුතුයි. මේ සඳහා ග්‍රහ ලෝකයක් හිරුගේ සිට නිශ්චිත දුරකින් පිහිටා තිබීම අවශ්‍යයි. හිරු ගැනත් එය පෘථිවියට බලපාන ආකාරය ගැනත් උත්පත්ති වාර්තාවේ තැන් කිහිපයක සඳහන් වෙනවා.

මිනිසුන්ට වාසය කිරීම සඳහා ග්‍රහ ලෝකයක වායූන් නියමිත ප්‍රමාණයෙන් මිශ්‍ර වී තිබෙන වායූ ගෝලයක් තිබිය යුතුයි. මෙම අත්‍යවශ්‍ය සාධකය ගැන උත්පත්ති 1:6-8හි සඳහන් වෙනවා. ඔක්සිජන්වලින් විශාල ප්‍රමාණයක් ලබා දීමට දායක වන්නේ උත්පත්ති 1:11, 12හි විස්තර කර තිබෙන වෘක්ෂලතායි. විවිධ සතුන්ට වාසය කිරීම සඳහා පල දරන ගස්වැල් වැවෙන වියළි භූමියකින් යුත් මහාද්වීප තිබිය යුතුයි. මහාද්වීප ඇති වූ ආකාරය ගැන උත්පත්ති 1:9-12 සඳහන් වෙනවා. යෝග්‍ය මට්ටමේ දේශගුණයක් තිබීමට නම් ග්‍රහ ලෝකයක් නියමිත අංශක ප්‍රමාණයකින් ඇලව නොවෙනස්ව පිහිටා තිබිය යුතුයි. පෘථිවිය මෙලෙස පිහිටා තිබෙන්නේ සඳ මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය නිසයි. සඳ ගැන උත්පත්ති 1:14, 16හි සඳහන් වෙනවා.

නවීන විද්‍යාවෙන් සොයාගෙන තිබෙන දේවල් ගැන නොදැන සිටි මෝසෙස්ට ඉහත සඳහන් සාධක ගැන උත්පත්ති වාර්තාවේ ලිවීමට හැකි වූයේ කෙසේද? ඒවා ගැන තේරුම්ගැනීමට ඔහුගේ කාලයේ විසූ අයට වඩා අසාමාන්‍යය බුද්ධියක් මෝසෙස්ට තිබුණාද? ඔහුට එම සාධක ගැන ලිවීටම හැකි වූයේ අහසේ හා පොළොවේ නිර්මාර්තෘ ඔහුට මඟ පෙන්වූ නිසයි. මේ බව උත්පත්ති වාර්තාව විද්‍යාව සමඟ එකඟ වීමෙන් පෙනී යනවා.

විශ්වයේ අපි දකින දේවල් බිහි වී තිබෙන්නේ යම් අරමුණක් සඳහා බව බයිබලයේ පෙන්වා දෙනවා. “ස්වර්ගය වනාහි යෙහෝවාගේ ස්වර්ගයය. එහෙත් ඔහු පොළොව මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්නේය” කියා ගීතාවලිය 115:16හි සඳහන් වෙනවා. තවත් ගීතාවලියක අපට මෙසේ කියවීමට තිබෙනවා. දෙවි “සදාකල්ම නොසෙල්වන ලෙස පොළොවේ අත්තිවාරම් ලූවේය.” (ගීතාවලිය 104:5) විශ්වය හා අපේ අලංකාර පෘථිවි ග්‍රහයාව බුද්ධිමත් කෙනෙක් නිර්මාණය කර තිබෙනවා නම් විශ්වයේ හා පෘථිවියේ අඛණ්ඩ පැවැත්ම සඳහා යම් දේවල් කිරීමේ හැකියාව ඔහුට තිබෙනවා කියා සිතීම සාධාරණයි. මින් පෙනී යන්නේ “ධර්මිෂ්ඨයෝ දේශය උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් වාසය කරන්නෝය” කියා බයිබලයේ සඳහන් ප්‍රීතිමත් පොරොන්දුව ඉටු වන කාලයක් දෙස ඔබට විශ්වාසයෙන් බලා සිටිය හැකි බවයි. (ගීතාවලිය 37:29) මේ අනුව දෙවි ‘පොළොව මැව්වේ පාළු තැනක් වීමට නොව,’ ඔහු සෑම දෙයකම නිර්මාර්තෘ බව පිළිගනිමින් ඔහුගේ කැමැත්ත කරන අයට සදහටම “විසීමට” බව නිසැකයි.—යෙසායා 45:18.

බයිබලයේ සඳහන් ආකාරයට යේසුස් ස්වර්ගයේ සිට මේ ලෝකයට පැමිණියේ දෙවි ගැනත් කීකරු මිනිසුන්ට සදාකාල ජීවනය ලබා දීම සඳහා වන දෙවිගේ අරමුණ ගැනත් ජනයාට ඉගැන්වීමටයි. (යොහන් 3:16) දෙවි “පොළොව විනාශ කරන අයව විනාශ කර” දමන කාලය ළඟ බව බයිබලයේ අපට පෙන්වා දෙනවා. ගැලවීම සඳහා දෙවි පවසා තිබෙන දේවලට එකඟව ක්‍රියා කරන සියලු ජාතීන්ට අයත් සාමයට ලැදි ජනයා ඒ විනාශයේදී බේරී ජීවත් වෙන බව ස්ථීරයි. (එළිදරව් 7:9, 14; 11:18) දෙවිගේ විස්මිත නිර්මාණ ප්‍රීතියෙන් භුක්ති විඳිමින්ද ඒවා ගැන දිගටම තොරතුරු අනාවරණය කරගනිමින්ද දිවි ගෙවන ඒ කාලයේදී ජීවත්වීම මොනතරම් අපූර්ව අද්දැකීමක් වේවිද!—දේශනාකාරයා 3:11; රෝම 8:21.

[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

NASA photo