Skip to content

පටුනට යන්න

භාර්යාවෙනි ඔබේ ස්වාමිපුරුෂයන්ට ගැඹුරු ගෞරවයක් දක්වන්න

භාර්යාවෙනි ඔබේ ස්වාමිපුරුෂයන්ට ගැඹුරු ගෞරවයක් දක්වන්න

භාර්යාවෙනි ඔබේ ස්වාමිපුරුෂයන්ට ගැඹුරු ගෞරවයක් දක්වන්න

“භාර්යාවෙනි . . . [ඔබේ] ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න.”—එෆීස 5:22.

1. ස්වාමිපුරුෂයෙකුට ගෞරවය දීමට භාර්යාවකට බොහෝ විට අපහසු වී තිබෙන්නේ ඇයි?

විවාහ වන අවස්ථාවේදී, මනාලිය තමාගේ ස්වාමිපුරුෂයා වීමට යන තැනැත්තාට ගැඹුරු ගෞරවයක් පෙන්වීමට පොරොන්දු වෙනවා. එහෙත් එයට එකඟව ජීවත් වීම ඇයට පහසු දෙයක් හෝ අපහසු දෙයක් වන්නේ තම ස්වාමිපුරුෂයා තමන්ට සලකන ආකාරය මතයි. විවාහයේ මූලාරම්භයේදී තිබුණේ අදට වඩා වෙනස් තත්වයක්. දෙවි පළමු මිනිසා වන ආදම්ගෙන් ඉල ඇටයක් ගෙන ස්ත්‍රීයව සෑදු අවස්ථාවේදී ආදම්ට ඇති වූ ප්‍රීතිය “මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය” කියා ඔහු පැවසූ වචනවලින් පැහැදිලියි.—උත්පත්ති 2:19-23.

2. මෑත කාලවලදී විවාහ ජීවිතයේ තමන්ට හිමි තැන ගැන කාන්තාවන්ගේ ආකල්ප වෙනස් වී තිබෙන්නේ කෙසේද?

2 එක්සත් ජනපදයේ 1960 ගණන්වල මුල් භාගයේදී පුරුෂ ආධිපත්‍යයට විරුද්ධව නැඟී සිටීම සඳහා කාන්තා විමුක්ති සංවිධානය බිහි වුණා. මෙය බිහි වූ මුල් කාලයේදී පුරුෂයන් 300දෙනෙක් තම පවුල් අත් හැර දමා යන විට කාන්තාවන් එසේ කළේ එක් කෙනෙක් පමණයි. ඒත් එම සංවිධානය පිහිටුවා වසර දහයක් ගත වීමටත් පෙර පවුල් අත හැර යන කාන්තාවන්ගේ ගණන 3දෙනෙක් දක්වා වැඩි වුණා. දැන් දැන් කාන්තාවන් පුරුෂයන් වගේම පරුෂ වචනවලින් බැන වැදීමට, බීමට, දුම්පානය කිරීමට හා අනාචාරයේ යෙදීමට පුරුදු වී සිටිනවා. මෙවැනි ජීවිතයකින් කාන්තාවන් ප්‍රීතියක් ලබනවාද? කොහෙත්ම නැහැ. සමහර රටවල විවාහයන් වලින් අඩක්ම අවසන් වන්නේ දික්කසාදයෙන්. සමහර කාන්තාවන් තමන්ගේ විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට උත්සාහ දැරුවත් එය සාර්ථක වී තිබෙනවාද නැත්නම් එය තවත් නරක අතට හැරී තිබෙනවාද කියා කල්පනා කළ යුතුයි.—2 තිමෝති 3:1-5.

3. විවාහයේ ගැටලුවලට බලපාන ප්‍රධාන හේතුව කුමක්ද?

3 මෙයට ප්‍රධාන හේතුව කුමක්ද? මෙය අද ඊයේ ඇති වූ තත්වයක් නෙවෙයි. මෙය ‘යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුල් සර්පයා’ ඒවව රැවටු කාලයේ පටන්ම යම්තාක් දුරකට පැවතමින් තිබූ ප්‍රශ්නයක්. (එළිදරව් 12:9; 1 තිමෝති 2:13, 14) සාතන්ට අවශ්‍යය වී තිබෙන්නේ දෙවිගේ ඉගැන්වීම් බාල කිරීමටයි. උදාහරණයක් ලෙස විවාහය සීමා තහංචිවලින් පිරුණු බැඳීම්වලින් වට වුණු එකක් බව සාතන් පෙන්වනවා. විවාහය ගැන දෙවි දී ඇති උපදෙස් අසාධාරණ බවත් ඒවා හණ මිටි අදහස් බවත් ප්‍රචාරය කිරීමට සාතන් ඔහුගේ පාලනය යටතේ තිබෙන මේ ලෝකයේ මාධ්‍ය යොදාගන්නවා. (2 කොරින්ති 4:3, 4) නමුත් විවාහයක් තුළ කාන්තාවකට දෙවි දී තිබෙන තැන ගැන විවෘත මනසකින් කල්පනා කරන ඕනම කෙනෙකුට බයිබලයේ තිබෙන්නේ කොතරම් ප්‍රඥාවන්ත හා ප්‍රායෝගික උපදෙස්ද කියා වැටහේවි.

විවාහ වීමට සිටින්නන්ට අවවාදයක්

4, 5. (අ) විවාහය ගැන සිතන කාන්තාවක් තේරුම් ගත යුත්තේ කුමක්ද? (ආ) විවාහ වීමට පෙර කාන්තාවක් සිතා බැලිය යුත්තේ කුමක්ද?

4 මේ ලෝකය සාතන්ගේ පාලනය යටතේ තිබෙන නිසා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන අයට පවා යම් “දුක්” පීඩාවලට මුහුණ දීමට සිදු වන බව බයිබලයේ පවසනවා. විවාහය දෙවි ඇති කළ දෙයක් වුණත් විවාහ වීමට සිටින්නන්ටත් එහි යම් අවවාද දී තිබෙනවා. තමන්ගේ සැමියා මිය ගොස් නැවත විවාහ වීමට නිදහස්ව සිටින කාන්තාවන් ගැන එක් බයිබල් ලේඛයෙක් පැවසුවේ “ඇය සිටින ලෙසම දිගටම සිටිනවා නම්, ඇය වඩා සන්තෝෂවත් වන්නීය” කියායි. තනිකඩව සිටීම ගැන යේසුස් පවා පැවසුවේ “එම තත්වයට ඉඩ සලසාගත හැකි” නම් එසේ කරන්න කියායි. කෙසේවෙතත් යම් කෙනෙක් විවාහ වීමට බලාපොරොත්තු වෙනවා නම් එසේ කළ යුත්තේ “ස්වාමීන් තුළ පමණි.” එනම් ඔහු කැප වී බව්තීස්ම වූ කෙනෙක් විය යුතු බවයි.—1 කොරින්ති 7:28, 36-40; මතෙව් 19:10-12.

5 තමන් විවාහ වීමට බලාපොරොත්තු වන පුද්ගලයා ගැන කාන්තාවක් බැරෑරුම්ව සිතා බැලිය යුතුයි. මීට හේතුව ලෙස බයිබලයේ දක්වන්නේ “විවාහක ස්ත්‍රියක් ඇගේ ස්වාමිපුරුෂයා ජීවත්ව සිටින තෙක්, ඔහුට නීතියෙන් බැඳී සිටින්නීය” කියායි. “ස්වාමිපුරුෂයාගේ නීතියෙන් නිදහස්ව” සිටින්න ඇයට හැකි වන්නේ ඔහු මිය ගියහොත් හෝ ඔහු අනාචාරයේ යෙදීම නිසා දික්කසාද වූවොත් පමණයි. (රෝම 7:2, 3) දුටු සැණින් කෙනෙක් කෙරෙහි ඇති කරගන්න ආලය ආදරවන්තයන් ලෙස කල් ගෙවීමට ප්‍රමාණවත් වූවද සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට නම් එය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අවිවාහක කාන්තාවක් ‘මා විවාහ වෙන්න යන මේ තැනැත්තාගේ නීතිය යටතේ මට ජීවත් වෙන්න පුළුවන්ද?’ යන කාරණය ගැන හොඳින් සිතා බැලිය යුතුයි. නමුත් ඒ ගැන සිතා බැලිය යුත්තේ විවාහ වීමට පෙර මිස විවාහ වූවාට පසුව නෙවෙයි.

6. අද බොහෝ කාන්තාවන්ට ගත හැකි තීරණය කුමක්ද? එම තීරණය ඉතා වැදගත් වන්නේ ඇයි?

6 තමන්ට ගෙනෙන විවාහ යෝජනාවලට කැමති වෙන්න හෝ අකමැති වෙන්න අද බොහෝ කාන්තාවන්ට නිදහස තිබෙනවා. ඒත් විවාහයෙන් බැඳෙන්න හා ආදරය ලබන්න තිබෙන දැඩි කැමැත්ත නිසා කාන්තාවකට ඥානවන්ත තීරණයක් ගැනීම ඉතා අසීරු විය හැකියි. එක්තරා පුද්ගලයෙක් මෙසේ පැවසුවා. ‘යමක් කරන්න අප තුළ තියෙන ආශාව වැඩි වෙන්න වැඩි වෙන්න එහි අනතුරුදායක පැත්ත නොපෙනී යන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි කැමති වෙන්නෙත් අපි ආස දෙය විතරක් අනිත් අය කියනවා අහන්නයි.’ ඒ නිසා විවාහ වීම වැනි වැදගත් තීරණයක් හිතන්නේ බලන්නේ නැතිව ගන්නවා නම් මුළු ජීවිතයම අඳුරේ වැටිය හැකියි.

7. විවාහ වීමට කෙනෙක් තෝරාගැනීම සම්බන්ධයෙන් දී තිබෙන උපදෙස කුමක්ද?

7 තමන් විවාහ වීමට බලාපොරොත්තු වන පුරුෂයාගේ නීතියට අයත් වන්නේ කුමන කාරණාද කියා කාන්තාවක් බැරෑරුම්ව සිතා බැලිය යුතුයි. එක් ඉන්දියානු තරුණියක් නිහතමානීව මෙසේ පැවසුවා. “මම තනියම තීරණයක් ගත්තොත් නම් මට වරදින්න පුළුවන්. ඒත් මගේ දෙමව්පියන්ට ජීවිතයේ ගොඩාක් අද්දැකීම් තියෙන නිසා ඔවුන් තීරණ ගන්නේ හොඳට හිතලා මතලායි. ඔවුන්ව නම් ලේසියෙන් රවටන්න බැහැ.” දෙමාපියෝ ඇතුළු වෙනත් අයගේ උපකාරත් බොහෝ සේ වැදගත්. විවාහ වීමට බලාපොරොත්තු වන තැනැත්තාගේ හෝ තැනැත්තියගේ දෙමාපියන්ව හොඳින් හඳුනා ගන්න කියාත් ඔහු හෝ ඇය පවුලේ අයට සලකන ආකාරය ගැන හොඳින් නිරීක්ෂණය කරන්න කියාත් එක් අද්දැකීම්ලත් පුද්ගලයෙක් තරුණ අයට උපදෙස් දුන්නා.

යේසුස්ගේ යටහත්කමින් ඉගෙන ගන්න

8, 9. (අ) යේසුස් දෙවිට යටත්වීම සැලකුවේ කෙසේද? (ආ) යටත් වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

8 කෙනෙකුට යටත්ව සිටීම එතරම් පහසු දෙයක් නොවූවද එය තමන්ට ගෞරවය ලැබෙන දෙයක් ලෙස කාන්තාවන් සැලකිය යුතුයි. යේසුස්ද යටත්ව සිටීම සැලකුවේ ගෞරවය ලැබෙන දෙයක් ලෙසයි. දෙවිට යටත්ව සිටීමේදී දුක් පීඩාවලට පමණක් නොව වධ කණුවක මරණයට පවා මුහුණ දීමට සිදු වුණත් යේසුස් දෙවිට යටත් වීමෙන් ප්‍රීතියක් ලැබුවා. (ලූක් 22:41-44; හෙබ්‍රෙව් 5:7, 8; 12:3) යේසුස් එසේ දෙවිට යටත් වුණේ ඔහුගේ “හිස දෙවි” වන නිසයි. එසේ තමන්ගේ “හිස පුරුෂයා” බව පිළිගන්න කාන්තාවන්ද යේසුස්ව ආදර්ශයට ගනිමින් තමන්ගේ පුරුෂයාට යටත්ව සිටිනවා. (1 කොරින්ති 11:3) එහි කතා කරන්නේ විවාහයේදී පෙන්විය යුතු යටත්කම ගැන වූවද වෙනත් අවස්ථාවලදීද ක්‍රිස්තියානී කාන්තාවක් මූලිකත්වයට යටත් විය යුතුයි.

9 විවාහ වී සිටියත් නැතත් ක්‍රිස්තියානී කාන්තාවක් දෙවිගේ රැළ රැක බලා ගන්නා එඬේරුන්ගේ මූලිකත්වයට යටත්ව සිටිය යුතු බව බයිබලයේ පවසා තිබෙනවා. (1 තිමෝති 2:12, 13; හෙබ්‍රෙව් 13:17) එයින් ඔවුන් දේවදූතයන්ට පවා කදිම ආදර්ශයක් සපයනවා. එසේ වන්නේ දේවදූතයන්ද දෙවිගේ මූලිකත්වයට යටත් විය යුතු නිසයි. (1 කොරින්ති 11:8-10) ඒ වගේම වයස්ගත ස්ත්‍රීන්ටද තමන්ගේ යහපත් හැසිරීමෙන් හා ප්‍රායෝගික උපදෙස්වලින් තරුණ කාන්තාවන්ට ‘ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ට යටත් විය හැකි’ ආකාර ගැන කියා දිය හැකියි.—තීතස් 2:3-5.

10. යේසුස් යටත්කම සම්බන්ධයෙන් ආදර්ශයක් තැබුවේ කෙසේද?

10 දෙවිගේ නීති උල්ලංගනය නොවන තාක් කල් මිනිස් නීතිවලට යටත් වීමේ තිබෙන වටිනාකම යේසුස් දැනගෙන සිටියා. උදාහරණයක් ලෙස එක් අවස්ථාවකදී යේසුස් තමා හා පේතෘස් ගෙවිය යුතු බඳු මුදල් ගෙවන්න කියා පේතෘස්ට පවසමින් ඊට අවශ්‍යය මුදල්ද ඔහුට ලබා දුන්නා. පේතෘස් පසු කාලකයදී පැවසුවේ. “මිනිසුන් ඇති කළ සියලු දේට ස්වාමීන් නිසා යටත් වන්න” කියායි. (1 පේතෘස් 2:13; මතෙව් 17:24-27) යේසුස් යටත්කම පෙන්වූ විශිෂ්ටතම ආකාරය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔහු සියල්ල අත්හැර, දාසයෙකුගේ ස්වරූපය ගෙන මිනිසුන්ගේ සමානත්වයට පැමිණියේය. තවද ඔහු, තමා මිනිස් ස්වරූපයට පත් වූ පසු, මරණය දක්වා, එනම් වධකණුවක මරණය දක්වාම යටහත් වී කීකරු වූයේය.”—පිලිප්පි 2:5-8.

11. දෙවිට නමස්කාර නොකරන පුරුෂයන්ට පවා යටත් වෙන්න කියා පේතෘස් භාර්යාවන්ව දිරිගැන්වූයේ ඇයි?

11 සමහර අවස්ථාවලදී කුරිරු අසාධාරණ අධිකාරීන්ට පවා යටත් වෙන්න සිදු වුණත් එසේ කරන්න කියා පේතෘස් ක්‍රිස්තියානීන්ව මෙසේ දිරිගැන්වූවා. “ඇත්තෙන්ම ඔබව කැඳවනු ලැබුවේ මේ මඟෙහි ගමන් කිරීමටය. මන්ද, ක්‍රිස්තුස් ඔබ උදෙසා දුක් විඳ, ඔබ ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, ඔබට ආදර්ශයක් දුන්නේය.” (1 පේතෘස් 2:21) යේසුස් කොතරම් දුක් පීඩා වින්දත් ඒවා යටත්ව විඳදරාගත් ආකාරය ගැන කතා කළ පේතෘස් පසුව දෙවිට නමස්කාර නොකරන පුරුෂයන් සිටින භාර්යාවන්ට මෙසේ උනන්දු කළා. “එලෙසම භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එමගින්, ඔවුන්ගෙන් සමහරෙකු වචනයට කීකරු නොවී සිටියත්, වචනයක්වත් නොපවසා ඔබේ හැසිරීම මාර්ගයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ. මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම සහ ගැඹුරු ගෞරවය දකින්නෝය.”—1 පේතෘස් 3:1, 2.

12. යේසුස්ගේ යටහත් පහත්කමෙන් ලැබුණු ප්‍රතිඵල මොනවාද?

12 දොස් කියන විට හෝ සමච්චල් කරන විට යටහත්ව සිටීම බොහෝදෙනෙක් සලකන්නේ දුර්වලකමක් ලෙසයි. ඒත් යේසුස් එසේ සිතුවේ නැහැ. ‘ඔහුට නිග්‍රහ කරද්දී, ඔහු නිග්‍රහ කළේ නැත. ඔහු වධ විඳිද්දී, තර්ජනය කළේ නැත.’ (1 පේතෘස් 2:23) යේසුස්ගේ දුක් විඳීම දුටු හමුදා නිලධාරියා සහ යේසුස්ගේ දකුණු පැත්තේ සිටි කොල්ලකාරයා වැනි සමහර අය ඔහු කෙරෙහි ඇදහිල්ලක් ඇති කර ගත්තා. (මතෙව් 27:38-44, 54; මාර්ක් 15:39; ලූක් 23:39-43) පේතෘස් පෙන්නුවේ ඒ හා සමානව දෙවිට නමස්කාර නොකරන දරුණු ස්වාමිපුරුෂයන් පවා තමන්ගේ භාර්යාවන්ගේ යටහත් පහත් හැසිරීම නිසා ඇදහිලිවන්තයන් විය හැකි බවයි. මෙවැනි අද්දැකීම් අදත් අසන්න ලැබෙනවා.

ස්වාමිපුරුෂයන්ව දිනා ගන්නා අයුරු

13, 14. දෙවිට නමස්කාර නොකරන ස්වාමිපුරුෂයන්ට යටත් වීම ප්‍රයෝජනදායක වී තිබෙන්නේ කෙසේද?

13 දෙවිට නමස්කාර කිරීමට තෝරාගෙන තිබෙන භාර්යාවන්ට පවා යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් තමන්ගේ ස්වාමිපුරුෂයන්ව දිනා ගැනීමට හැකි වී තිබෙනවා. මෑතකදී පවත්වනු ලැබූ දිස්ත්‍රික් සමුළුවකදී ස්වාමිපුරුෂයෙක් තමන්ගේ අද්දැකීම විස්තර කළේ මෙහෙමයි. “මම මගේ බිරිඳට සැලකුවේ හරිම දරුණු විදිහටයි. ඒත් එයා මට කවදාවත් අගෞරවයක් වෙන විදිහට සැලකුවේ නැහැ. මට එයා සැලකුවේ හරිම ආදරයෙන්. ඇය විශ්වාස කළ දේවල් මට බලෙන් පොවන්න හැදුවේ නැහැ. ඇය සමුළුවලට යන දවස්වල වේලාසනින්ම නැඟිටලා ගෙදර දොරේ වැඩ ඔක්කොම ඉවර කළා. ඒ වගේම මට අවශ්‍යය කෑම බීමත් හදලා තියලයි ගියේ. ඇය මේ වගේ දෙවල් කරපු නිසා තමයි මට බයිබලය ගැන උනන්දුවක් ඇති වුණේ. අද මම මෙතන ඉන්නේ ඇය නිසයි.” මෙයින් පෙනී යන්නේ “වචනයක්වත් නොපවසා” තමන්ගේ හැසිරීමෙන් ඔහුව දිනා ගැනීමට ඇයට හැකි වූ බවයි.

14 පේතෘස් පැවසූ ආකාරයට ස්වාමිපුරුෂයන්ට වඩාත්ම බලපෑමක් කරන්නේ භාර්යාවක් කියන දේවල් නෙවෙයි නමුත් ඇය කරන දේවලුයි. බයිබල් සත්‍යයන් ඉගෙන ගෙන ක්‍රිස්තියානී රැස්වීම්වලට සහභාගී වීමට දැඩි අධිෂ්ඨානයක් ගත් එක් භාර්යාවකගේ අද්දැකීමෙන් එය කදිමට පැහැදිලි වෙනවා. දවසක් ඇග්නස් රැස්වීම්වලට යෑමට පිටත් වන වේලාවේ ඇගේ ස්වාමිපුරුෂයා ඇයට මෙසේ සැරෙන් පැවසුවා. “ඇග්නස් ඔයා අර දොරෙන් පිට වුණොත් ආයේ එන්න එපා.” ඇය ඔහු පෙන්වූ දොරෙන් පිට නොවී වෙනත් දොරකින් පිට වී ගියා. ඊළඟ දවසේ ඔහු ඇයට මෙසේ තර්ජනය කළා. “ඔයා ආයේ ගියොත් ඔයා ගෙදර එන කොට මම ගෙදර නැති වෙයි.” ඔහු කියූ ලෙසම ඇය ගෙදර එන විට ඔහු ගෙදර සිටියේ නැහැ. ඔහු දින තුනකට පසු පැමිණි විට ඇය කාරුණික ලෙස “ඔයාට කන්න මොකුත් ලෑස්ති කරන්නද?” කියා ඇසුවා. ස්වාමිපුරුෂයාගේ විරුද්ධවාදිකම් මැද පවා ඇය යෙහෝවා දෙවි කෙරෙහි තිබූ භක්තිය පලුදු වීමට ඉඩ හැරියේ නැහැ. කාලයාගේ ඇවෑමෙන් බයිබලය පාඩම් කර ඔහුගේ ජීවිතය යෙහෝවා දෙවිට සේවය කිරීමට කැප කළා. ඉන් කලකට පසු ඔහු සභාවේ අවේක්ෂකයෙක් බවට පත් වී බොහෝ වගකීම් දැරුවා.

15. ක්‍රිස්තියානී භාර්යාවකට තිබිය යුතු “අලංකාරය” කුමක්ද?

15 කලින් සඳහන් කළ භාර්යාවන්ගේ අද්දැකීමෙන් පෙනෙන්නේ ඔවුන්ට ඇත්තෙන්ම ස්ත්‍රියක් තුළ තිබිය යුතු “අලංකාරය” තිබුණු බවයි. ඔවුන් එය ලබා ගන්න උත්සහ කළේ ‘කොණ්ඩය ගෙතීම හා ඇඳුම් පැළඳුම්’ වැනි බාහිර දේවල් ගැන සැලකිලිමත් වීමෙන් නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් සැලකිලිමත් වුණේ පේතෘස් පැවසූ පරිදි “දෙවිගේ ඇස් ඉදිරියෙහි බොහෝ සේ වටිනා, තැන්පත් වූ මෘදු වූ ගතිය නමැති දිරා නොයන වස්ත්‍රය පැළඳ සිටින සිතේ අභ්‍යන්තර පුද්ගලයා . . . අලංකාර” කරගන්නයි. භාර්යාවක් ඇගේ ස්වාමිපුරුෂයා සමඟ කතා කරන විලාසයෙන් හා ක්‍රියා කරන ආකාරයෙන් එම ගුණාංග දකින්න තිබිය යුතුයි.—1 පේතෘස් 3:3, 4.

කදිම ආදර්ශ

16. සාරා ක්‍රිස්තියානි භාර්යාවන්ට ආදර්ශයක් වන්නේ කුමන ආකාරවලින්ද?

16 කාන්තාවන්ට කදිම ආදර්ශ බයිබලයේ සඳහන් වෙනවා. “අතීතයේ දෙවි කෙරෙහි බලාපොරොත්තු තැබූ ශුද්ධ ස්ත්‍රීහුද, තමුන්ගේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටිමින් මෙසේ අලංකාර” වූ බව පේතෘස් පැවසුවා. (1 පේතෘස් 3:5) යෙහෝවා දෙවිගේ උපදෙස්වලට කීකරු වීමෙන් තමන්ගේ පවුල තුළ ප්‍රීතිය භුක්ති විඳිය හැකි බවත් අවසානයේදී සදාකාල ජීවනය නැමති ත්‍යාගය ලැබෙන බවත් මේ ස්ත්‍රීන් දැන ගෙන සිටියා. ආබ්‍රහම්ගේ ප්‍රියකරු භාර්යාව වන සාරා ගැන පේතෘස් පැවසුවේ ඇය “ආබ්‍රහම්ට ‘ස්වාමිනි’ යයි කියමින් ඔහුට කීකරු වූවාය” කියායි. දෙවි ආබ්‍රහම්ට වෙනත් ප්‍රදේශයකට යන්න කියා පැවසූ විට සාරා තම දේවභක්තික සැමියාට සම්පූර්ණ සහයෝගය දුන්නා. ඒ වෙනුවෙන් ඇය ගත කරමින් සිටි සැප පහසු ජීවිතය අත හැර දැමීමට විතරක් නෙවෙයි ඇගේ ජීවිතයට අනතුරක් විය හැකි තත්වයන්ට පවා මුහුණ දීමට ඇය කැමති වුණා. (උත්පත්ති 12:1, 10-13) ඇගේ නිර්භීතකම අනුකරණය කරන්න කියා දිරිගන්වමින් පේතෘස් මෙසේ පවසනවා. “ඔබත් යහපත කරමින්, බිය උපදවන කිසිදු කාරණයක් නිසා භය නොවී සිටිනවා නම්, ඔබ ඇගේ දරුවෝ වන්නහුය.”—1 පේතෘස් 3:6.

17. ක්‍රිස්තියානි භාර්යාවන්ට ආදර්ශයට ගත හැකි කාන්තාවක් ලෙස අබීගායිල්වත් පේතෘස්ගේ මතකයේ තිබෙන්න ඇත්තේ ඇයි?

17 දෙවි කෙරෙහි විශ්වාසය තැබූ තවත් නිර්භීත කාන්තාවක් අබීගායිල්. ඇය ගැනත් පේතෘස්ගේ මතකයේ තිබෙන්න ඇති. ඇය ‘බුද්ධිමත් ස්ත්‍රියක්’ නමුත් ඇගේ ස්වාමිපුරුෂයා වන නාබල් ‘කුහක නපුරු ක්‍රියා කරන තැනැත්තෙක්.’ දාවිත් සහ ඔහුගේ පිරිසට උපකාර කිරීමට ප්‍රතික්ෂේප කිරීම නිසා දාවිත් නාබල්ව හා ඔහුගේ ගෙයිවැසියන් විනාශ කිරීමට තීරණය කළත් අබීගායිල් නිසා එය වැලකුණා. අවශ්‍ය තරම් ආහාර කොටළුවන් පිට පටවා ගත් ඇය දාවිත් සහ පිරිස එන පෙර මඟට ගියා. දාවිත්ව දුටු විගස ඇය කොටළුවා පිටින් බැස ඔහුට මුණින් වැටී ආචාර කර ඔවුන්ට සමාව දෙන්න කියා ඉල්ලා සිටියා. දාවිත්ට ඇය කෙරෙහි ලොකු අනුකම්පාවක් දැනී ඇයට මෙසේ පැවසුවා. “අද ඔබ මා සම්බ වන්ට එවූ ඊශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවාට ආශීර්වාද වේවා.” ඒ වගේම “ඔබේ ඥානයටත් ඔබටත් ආශීර්වාද වේවා.”—1 සාමුවෙල් 25:2-33.

18. ස්වාමිපුරුෂයා හැර වෙනත් කෙනෙක් තමන්ගේ ආදරය දිනා ගන්න උත්සහ කරනවා නම් භාර්යාවකට ආදර්ශයට ගත හැක්කේ කාවද? ඇය ආදර්ශයක් වන්නේ ඇයි?

18 තමන් විවාහ වීමට සිටි එඬේර තරුණයාට දිගටම විශ්වාසවන්තව සිටි ෂූලම්මීය තරුණියද කාන්තාවන්ට කදිම ආදර්ශයක්. බොහෝ ධන සම්පත්වලින් පොහොසත් රජෙක් ඇගේ ආදරය දිනා ගැනීමට කොතරම් උත්සාහ කළත් ඉන් පලක් වුණේ නැහැ. එඬේර තරුණයා කෙරෙහි ඇයට තිබුණු නොසැලෙන ආදරය ගැන ඇය පැවසුවේ මෙසේයි. ‘ඔබේ හිතේ මා හැර අන් කිසිවෙකුට ඉඩ නොදෙන්න. ප්‍රේමය මරණය මෙන් බලවත්ය. මහා දිය දහරින් ප්‍රේමය නිවිය නොහැකිය. මහා ගං වතුරට එය යට කළ නොහැකිය.’ (සාලමොන්ගේ ගීතිකාව [ප්‍රේම ගී] 8:6, 7, නව අනුවාදය) එලෙසම විවාහ වීමට පොරොන්දු වී සිටින සෑම කාන්තාවක්ම තමන්ගේ අනාගත ස්වාමිපුරුෂයාට විශ්වාසවන්තව සිටීමටත් ඔහුට ගැඹුරු ගෞරවයක් දැක්වීමටත් දැඩි අධිෂ්ඨානයෙන් සිටිය යුතුයි.

දෙවිගෙන් තවත් උපදෙස්

19, 20. (අ) භාර්යාවන් ස්වාමිපුරුෂයන්ට යටත් විය යුත්තේ ඇයි? (ආ) භාර්යාවන්ට දී තිබෙන කදිම ආදර්ශය කුමක්ද?

19 අවසාන වශයෙන් “භාර්යාවෙනි, තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න” යන තේමා බයිබල් පදය වෙත අපේ අවධානය යොමු කරමු. (එෆීස 5:22) මෙවැනි යටත්කමක් දැක්වීම අවශ්‍ය වන්නේ ඇයි? එසේ කළ යුතු වීමට හේතුව ඊළඟ බයිබල් පදයේ මෙසේ පෙන්වනවා. “ක්‍රිස්තුස් සභාව වන ශරීරයේ ගැලවුම්කාරයාද හිසද වන්නාක් මෙන් ස්වාමිපුරුෂයා තම භාර්යාවගේ හිස වන්නේය.” මේ නිසා බයිබලයේ භාර්යාවන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ “සභාව ක්‍රිස්තුස්ට යටත්ව සිටින්නාක් මෙන්, භාර්යාවන්ද තම ස්වාමිපුරුෂයන්ට සියලු කාරණාවලදී යටත් විය යුතුය” කියායි.—එෆීස 5:23, 24, 33.

20 මේ අණට කීකරු වීමට නම් භාර්යාවන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ක්‍රියා කරන ආකාරය අධ්‍යයනය කර එය අනුකරණය කළ යුතුයි. භාර්යාවෙනි 2 කොරින්ති 11:23-28 දක්වා කියවා ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් වූ පාවුල් සභාවේ හිස වන යේසුස්ගේ මූලිකත්වයට යටත් වීම සඳහා බොහෝ දේ විඳදරාගත් ආකාරය ගැන කල්පනා කර බලන්න. පාවුල් හා සමානව භාර්යාවන් මෙන්ම සභාවේ සියලු දෙනාම යේසුස්ගේ මූලිකත්වයට යටත් විය යුතුයි. භාර්යාවන් මෙය පෙන්වන්නේ තමන්ගේ පුරුෂයන්ට යටත් වීමෙනුයි.

21. තම ස්වාමිපුරුෂයන්ට යටත්කම දක්වන භාර්යාවන්ට ලැබෙන ආශිර්වාද මොනවාද?

21 අද බොහෝ භාර්යාවන් යටත්ව සිටීම සලකන්නේ කරදරයක් ලෙසයි. ඒත් ඥානවන්ත භාර්යාවක් ඉන් ලැබෙන ප්‍රයෝජන ගැන සලකා බලයි. උදාහරණයකට දෙවිට නමස්කාර නොකරන ස්වාමිපුරුෂයෙකුට දෙවිගේ ප්‍රමිති උල්ලංගණය නොවන තාක් කල් යටත්කම පෙන්වීම තුළින් ඇයට ඔහුව “ගලවාගැනීමට” හැකි වෙනවා. මෙය ඇය ලබන මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! (1 කොරින්ති 7:13, 16) එපමණක්ද නොව තමන් ක්‍රියා කරන ආකාරයෙන් දෙවිගේ සිත සතුටු වන බවත් තම පුත්‍රයාගේ ආදර්ශය අනුකරණය කිරීම නිසා ඇයට දෙවි ආශිර්වාද කරන බවත් දැන සිටීමෙන් ඇය ලබන්නේ ඉමහත් සතුටක්.

ඔබට මතකද?

• භාර්යාවකට තමන්ගේ ස්වාමිපුරුෂයාට ගෞරවය පෙන්වීම අභියෝගයක් විය හැක්කේ ඇයි?

• විවාහ යෝජනාවක් ගැන බැරෑරුම් සිතා බැලිය යුත්තේ ඇයි?

• යේසුස් භාර්යාවන්ට ආදර්ශයක් වන්නේ කෙසේද? ඔහුගේ ආදර්ශය අනුකරණය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[19වන පිටුවේ පින්තූරය]

විවාහ යෝජනාවක් ගැන බැරෑරුම්ව සිතා බැලිය යුත්තේ ඇයි?

[21වන පිටුවේ පින්තූරය]

අබීගායිල් වැනි බයිබල් චරිතවලින් භාර්යාවන්ට උගත හැකි පාඩම් මොනවාද?