Skip to content

පටුනට යන්න

අපි එක්ව යෙහෝවා දෙවිගේ නාමය උසස් කරමු

අපි එක්ව යෙහෝවා දෙවිගේ නාමය උසස් කරමු

අපි එක්ව යෙහෝවා දෙවිගේ නාමය උසස් කරමු

“මා සමඟ යෙහෝවා වර්ණනා කරන්න. අපි එක්ව ඔහුගේ නාමය උසස් කරමු.”—ගීතාවලිය 34:3.

1. යේසුස් මිහිපිට කළ සේවයේදී තැබූ ආදර්ශය කුමක්ද?

එය ක්‍රි.ව. 33 නීසාන් මස 14වෙනිදායි. යේසුස් සහ ඔහුගේ ගෝලයන් සිටින්නේ යෙරුසලමේ නිවසක උඩු මහල් කාමරයකයි. එය ඔහු තම ගෝලයන් සමඟ රැස් වී සිටින අවසාන අවස්ථාවයි. යේසුස් එම රැස්වීම අවසන් කළේ යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගැයීමෙනුයි. (මතෙව් 26:30) ඇත්තෙන්ම ඔහුගේ භූමික සේවය පුරාම දෙවිගේ නාමය අන් අයට දැනුම් දෙමින් ඔහු දෙවිට ප්‍රශංසා කළා. (මතෙව් 4:10; 6:9; 22:37, 38; යොහන් 12:28; 17:6) එසේ කිරීමෙන් යේසුස් අනුකරණය කළේ ගීතිකාකරුගේ මෙම ආදර්ශයයි. “මා සමඟ යෙහෝවා වර්ණනා කරන්න. අපි එක්ව ඔහුගේ නාමය උසස් කරමු.” (ගීතාවලිය 34:3) එය අපට මොන තරම් හොඳ ආදර්ශයක්ද!

2, 3. (අ) තිස්හතරවන ගීතිකාවේ ඇති අනාවැකිමය වැදගත්කම කුමක්ද? (ආ) මෙම ලිපියෙන් සහ ඊළඟ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නේ මොනවාද?

2 යේසුස් සමඟ දෙවිට ප්‍රශංසා ගී ගැයීමෙන් පැය කිහිපයකට පසු යොහන් දැන් දකින්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ තම නායකයා වන යේසුස්ව අපරාධකාරයන් දෙදෙනෙකු සමඟ වධකණුවක ඇණ ගසා තිබෙන ආකාරයයි. ඔවුන්ගේ මරණය ඉක්මන් කරන පිණිස රෝම සොල්දාදුවන් ඒ අපරාධකරුවන් දෙදෙනාගේ කකුල් කඩනවා. නමුත් සොල්දාදුවන් යේසුස් ළඟට පැමිණෙන විට ඔහු මිය ගොස් සිටි නිසා යේසුස්ගේ කකුල් කඩන්නේ නැහැ. එයින් 34වන ගීතිකාවේ සඳහන් “[ඔහුගේ] ඇට . . . එකක්වත් නොබිඳේ” යන අනාවැකිය ඉටු වූ ආකාරය තේරුම්ගන්නා යොහන් එය තම සුවිශේෂයේ වාර්තා කරයි.—යොහන් 19:32-36; ගීතාවලිය 34:20.

3 ක්‍රිස්තියානීන්ට ප්‍රයෝජනවත් වන තවත් බොහොමයක් තොරතුරු 34වන ගීතිකාවේ සඳහන් වෙනවා. දාවිත් එම ගීතිකා රචනා කරන විට ඔහු මුහුණ දෙමින් සිටියේ කුමන තත්වයන්ටද කියාත් එහි ඇති දිරිගන්වනසුලු තොරතුරු මොනවාද කියාත් අපි මෙම ලිපියෙන් සහ ඊළඟ ලිපියෙන් සලකා බලමු.

දාවිත්, සාවුල් වෙතින් පලා යයි

4. (අ) ඊශ්‍රායෙලයේ අනාගත රජ හැටියට දාවිත්ව අභිෂේක කළේ ඇයි? (ආ) සාවුල්, දාවිත්ට එතරම් ‘ආදරේ කළේ’ ඇයි?

4 දාවිත් යෞවනයෙක්ව සිටි කාලයේ ඊශ්‍රායෙලයේ රජකම් කළේ සාවුල්. නමුත් අකීකරුකම නිසා රජට දෙවිගේ අනුමැතිය අහිමි වුණා. එමනිසා අනාගතවක්තෘ සාමුවෙල් ඔහුට මෙසේ පැවසුවා. “යෙහෝවා අද ඊශ්‍රායෙල් රාජ්‍යය ඔබෙන් පැහැරගෙන ඔබට වඩා උතුම් වූ ඔබේ අසල්වාසියෙකුට දුන්නේය.” (1 සාමුවෙල් 15:28) පසුව යෙහෝවා දෙවි, යෙස්සේගේ බාල පුත්‍ර දාවිත්ව රජකමට ආලේප කරන්න කියා සාමුවෙල්ට පැවසුවා. මේ අතර කාලයේ දෙවි සාවුල් තුළ වියවුල්සහගත තත්වයක් ඇතිවීමට සැලැස්වූ නිසා ඔහු සිටියේ ඉතාමත් කෝපයෙනුයි. ඔහුගේ මනස සන්සුන් කිරීම සඳහා දක්ෂ වීණා වාදකයෙක් වූ දාවිත්ව ගෙබාවලට ගෙන්වනු ලැබුවා. සාවුල් ඇත්තටම ඉන් ලැබුවේ මහත් සහනයක්. ඒ නිසා ඔහු දාවිත්ට ‘ඉතා ආදරේ කළා.’—1 සාමුවෙල් 16:11, 13, 21, 23.

5. සාවුල්ට දාවිත් කෙරෙහි තිබූ ආකල්පය වෙනස් වුණේ ඇයි? ඒ නිසා දාවිත්ට කිරීමට සිදු වූයේ කුමක්ද?

5 එසේ කාලය ගත වෙද්දී යෙහෝවා දෙවි දාවිත් සමඟ සිටිමින් ඔහුට උපකාර කළා. පිලිස්තීය යෝධයා වූ ගොලියත්ව පරාජය කිරීමටත් එම ජයග්‍රහණය තුළින් ඔහුට මහත් කීර්තියක් ලබා දීමටත් දෙවි ක්‍රියා කළා. නමුත් දෙවි දාවිත්ට ආශීර්වාද කරනවා දුටු විට සාවුල් ඔහුට ඊර්ෂ්‍යා කරමින් වෛර බැන්ඳා. අවස්ථා දෙකකදීම දාවිත්, රජ මාලිගාවේ තම වීණාව වයමින් සිටි විට, සාවුල් හෙල්ලයෙන් දමා ගසමින් ඔහුව මරන්න උත්සාහ කළා. එහෙත් ඒ අවස්ථා දෙකේදීම දාවිත් ඔහුගෙන් බේරුණා. තුන්වන වතාවටත් ඔහුව මැරීමට සාවුල් උත්සාහ කළ විට තම ජීවිතය බේරාගැනීමේ අරමුණින් ඔහුගෙන් පලා යන්න දාවිත් තීරණය කළා. සාවුල් දිගින් දිගටම තමා පසුපස ලුහුබඳින බව දැනගත් දාවිත් ආරක්ෂාව පතා ඊශ්‍රායෙල් දේශයෙන් පලා ගියා.—1 සාමුවෙල් 18:11; 19:9, 10.

6. සාවුල් නොබ්හි සිටි සියල්ලන්වම මරණයට පත් කරන්න අණ කළේ ඇයි?

6 දාවිත් ඊශ්‍රායෙලයෙන් පලා යමින් සිටියදී යෙහෝවා දෙවිගේ මණ්ඩපය තිබූ නගරය වන නොබ්හි මදකට නතර වුණා. පෙනෙන ආකාරයට ඒ තමාටත් තමා සමඟ පලා යමින් සිටි තරුණයන්ටත් කෑමට යමක් සොයාගැනීමටයි. එහි උත්තම පූජකයා, දාවිත්ට සහ ඔහුගේ සහයකයන්ට කෑම ලබා දී ගොලියත්ගෙන් ගත් කඩුවද ඔවුන්ට දුන්නා. නමුත් පසුව ඒ බව සාවුල්ට දැනගන්න ලැබුණු විට ඔහු අතිශයෙන් කෝපයට පත් වී, එම නගරය පුරා සිටි පූජකයන් 85දෙනා ඇතුළු නගර වැසියන් සියල්ලන්වම මරණයට පත් කළා.—1 සාමුවෙල් 21:1, 2; 22:12, 13, 18, 19; මතෙව් 12:3, 4.

නැවතත් මරණයෙන් ගැලවීම

7. දාවිත් ආරක්ෂාව පතා ගාත්වලට යෑම අවදානම් දෙයක් වූයේ ඇයි?

7 නොබ් වෙතින් පලා ආ දාවිත් කිලෝමීටර් 40ක් පමණ ඈතින් පිහිටි ආඛීෂ් රජව සිටි පිලිස්තීය නගරයක් වූ ගාත් නුවරට ළඟා වුණේ ආරක්ෂාව ලබාගැනීමටයි. ගාත් යනු දාවිත් විසින් මරා දැමූ ගොලියත්ගේ උපන් ගමයි. එමනිසා තමාව සොයමින් කෙදිනකවත් සාවුල් එහි නොපැමිණෙයි කියා සිතා දාවිත් එහි ආරක්ෂාව පතන්න ඇති. පිලිස්තීය රජුගේ සේවකයන් දාවිත්ව හඳුනාගත්තා. එය තේරුම්ගත් දාවිත් ‘ගාත්හි ආඛීෂ් රජ්ජුරුවන්ට ඉතා භය වුණා.’—1 සාමුවෙල් 21:10-12.

8. (අ) ගාත්හි දාවිත් මුහුණ දුන් දේවල් ගැන 56වන ගීතිකාවේ සඳහන් වන්නේ කුමක්ද? (ආ) දාවිත්ගේ ජීවිතය තවත් අවස්ථාවකදී බේරුණේ කෙසේද?

8 කෙසේනමුත් ඔවුන් දාවිත්ව අල්ලාගත්තා. යෙහෝවා දෙවිට ඔහු කළ මෙම ආයාචනාත්මක ගීතිකාව රචනා කිරීමට එම සිදුවීම පදනම් වුණා. “මාගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මැනව.” (ගීතාවලිය 56:8) තමා අද්දකින ශෝකය යෙහෝවා දෙවි හොඳින් තේරුම්ගන්නා බවටත් තමාව සලකමින් ආරක්ෂා කරන බවටත් දාවිත්ට තිබූ විශ්වාසය ඔහු ප්‍රකාශ කළා. ඒ විතරක් නොවෙයි ආඛීෂ් රජුගෙන් ගැලවෙන්න උපාය මාර්ගයක් හැටියට දාවිත් ඔහු ඉදිරියේ පිස්සෙකු මෙන් හැසිරුණා. ඒ ගැන කෝපයට පත් රජ තමා වෙතට “පිස්සෙක්” ගෙන ඒම සම්බන්ධයෙන් තම සේවකයන්ට බැණ වැදුණා. පසුව ඔවුන් දාවිත්ව නගරයෙන් එළවා දැමුවා. මේ අවස්ථාවේදීත් ඔහුට ජීවිතය බේරාගන්න හැකි වුණේ යෙහෝවා දෙවි ඔහු ගත් ක්‍රියාමාර්ගයට ආශීර්වාද කළ නිසයි.—1 සාමුවෙල් 21:13-15.

9, 10. තිස්හතරවන ගීතිකාව රචනා කරන්න දාවිත් පෙලඹුණේ ඇයි? එසේ කිරීමේදී ඔහුගේ මනසේ තිබුණේ කා ගැනද?

9 දාවිත් සමඟ පලා ආ යෞවනයන් ගාත් ප්‍රදේශයට පැමිණියාද එසේ නැතිනම් ඒ අසල ගමක සැඟවී, දාවිත්ට සිදු වන දේ බලා සිටියාද කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. කොහොමවුණත් දාවිත් නැවත ඔවුන්ව මුණගැසුණ විට, දෙවි තමාව ගලවාගත් ආකාරය ඔහුගේ මිත්‍රයන්ට පවසද්දී එය ප්‍රීතිමත් අවස්ථාවක් වූ බව නම් නිසැකයි. ඒ අනුව පිලිස්තිවරුන්ගෙන් දාවිත් ලැබූ ගැලවීම 34වන ගීතිකාව රචනා කිරීමට පසුබිම වූ බව පැහැදිලියි. එහි පළමු පද හතෙහි සඳහන් වන්නේ, තමාව ගලවාගැනීම ගැන දාවිත්, දෙවිට ප්‍රශංසා කරන ආකාරය සහ තම සෙනඟගේ ගැලවුම්කරු වූ දෙවිව මහිමවත් කරන්න ඔහු සමඟ එක්වන්න කියා තම මිත්‍රයන්ට කරන ආරාධනයයි.—ගීතාවලිය 34:3, 4, 7.

10 ගාත් සිට කිලෝමීටර් 15ක් පමණ නැඟෙනහිරින් ඊශ්‍රායෙල් කඳුකරයේ පිහිටා තිබූ අදුල්ලාම් නමැති ගුහාව ඔවුන්ට ආරක්ෂිත ස්ථානයක් වුණා. ඒ වන විට සාවුල්ගේ පාලනය ගැන කලකිරී සිටි අයත් පැමිණ දාවිත් සමඟ එක් වුණා. (1 සාමුවෙල් 22:1, 2) ගීතාවලිය 34:8-22හි අදහස් රචනා කරද්දී පීඩා වින්ඳ එවැනි අය ගැනද ඔහුගේ මනසේ තිබෙන්න ඇති. එම ගීතිකාවේ ඇති සිහිගැන්වීම් අද දින සිටින අපට වැදගත්කමින් යුක්ත නිසා, මෙම අලංකාර ගීතිකාවේ අඩංගු තොරතුරු සාකච්ඡා කිරීමෙන් අපිට ප්‍රයෝජන ලැබිය හැකියි.

ඔබට තිබෙන්නෙත් දාවිත්ගේ ආකල්පයමද?

11, 12. නිතරම යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට අපිට තිබෙන හේතු මොනවාද?

11 “සැම කල්හිම යෙහෝවාට ආශීර්වාද කරන්නෙමි. ඔහුගේ ප්‍රශංසාව මාගේ මුඛයෙහි නිතරම පවත්නේය.” (ගීතාවලිය 34:1) තම ජීවිතය බේරාගැනීමේ අරමුණින් පලායන්නෙක් හැටියට දාවිත් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් පවා ලබාගැනීම ඔහුට අභියෝගයක් වූ බව සිතිය හැකියි. නමුත් ඔහු එවැනි දේවල් ගැන සිතමින් දෙවිට කරන තම ප්‍රශංසාව අතපසු කළේ නැහැ. අපිත් දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට අනුකරණය කිරීමට මොන තරම් කදිම ආදර්ශයක්ද! පාසැලේදී, රැකියා ස්ථානයේදී, සෙසු ක්‍රිස්තියානීන්ව ඇසුරු කරන විට හෝ දේවසේවයේදී වැනි ඕනෑම අවස්ථාවක අපගේ එකම ආශාව විය යුත්තේ දෙවිට ප්‍රශංසා කිරීමයි. යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම සඳහා අපට තිබෙන අසීමිත හේතු ගැන කල්පනා කර බලන්න! උදාහරණයකට, දෙවිගේ මැවිල්ලෙන් ඉගෙනගැනීමට අපට මොන තරම් දේවල් තිබෙනවාද? ඉන් අප ලබන සන්තෝෂයටද නිමක් නැහැ. අනෙක් අතට තම භූමික සංවිධානය යොදාගෙන දෙවි කර ඇති මහත් දේවල් ගැන ටිකක් සිතා බලන්න. එහි සිටින මිනිසුන් දුර්වල, පව්කාර අය වුණත් යෙහෝවා දෙවි පුදුමාකාර ලෙස ඔවුන්ව තම සේවය වෙනුවෙන් යොදාගෙන තිබෙනවා. යෙහෝවා දෙවිගේ බලවත් ක්‍රියා සමඟ ලෝකයා ශ්‍රේෂ්ඨයයි සලකන මිනිසුන් කර ඇති දේවල් සැසඳිය හැකිද? එමනිසා දාවිත් රචනා කළ මේ වචනවලට අපි සියලුදෙනාම එකඟ වන බවට කිසිම සැකයක් නැහැ. “යෙහෝවා, දෙවිවරුන් අතරේ ඔබට සමාන කිසිවෙක් නැත. ඔබගේ ක්‍රියාවන්ට සමාන වූ ක්‍රියා නැත.”—ගීතාවලිය 86:8.

12 යෙහෝවා දෙවි කර තිබෙන ශ්‍රේෂ්ඨ ක්‍රියා වෙනුවෙන් දාවිත් මෙන් අපත් ඔහුට ප්‍රශංසා කළ යුතුයි කියා අපිට හැඟෙනවා. එමෙන්ම දාවිත්ගේ සිංහාසනයේ සදාකාල උරුමකරු වන යේසුස්ගේ රාජ්‍ය පාලනය ළඟ බව දැනගැනීම අපට මහත් සතුටක්. (එළිදරව් 11:15) ඉන් අදහස් වන්නේ මේ දුෂ්ට සමාජ ක්‍රමයේ අවසානය ඉතා ආසන්න බවයි. එමනිසා පොළොව මත සිටින බිලියන හයකට වඩා වැඩි මනුෂ්‍යයන්ගේ ජීවිත තිබෙන්නේ අනතුරේයි. දේවරාජ්‍යය සහ එහි අරමුණු ගැන මිනිසුන්ට දැනුම් දීමත් අප සමඟ එක් වී යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම සඳහා ඔවුන්ට උපකාර කිරීමත් වෙන කවරදාකටත් වඩා හදිසි වැඩක්. එමනිසා අපගේ ජීවිතයේ ප්‍රධාන කාර්යය විය යුත්තේ අපට ලැබෙන සෑම අවස්ථාවකදීම “ශුභාරංචිය” පිළිගන්න අන් අයට උපකාර කිරීමයි.—මතෙව් 24:14.

13. (අ) දාවිත් ගෞරවයට පත් කළේ කාවද? ඊට ප්‍රතිචාරය දැක්වූයේ කවුද? (ආ) අද දින ක්‍රිස්තියානි සභාවට අවංක සිත් ඇති මිනිසුන් එක් රොක් වෙමින් සිටින්නේ ඇයි?

13 “මාගේ ආත්මය යෙහෝවාගේ ගුණ වර්ණනා කරන්නේය. මොළොක් ගුණ ඇත්තෝ ඒ අසා සන්තෝෂ වන්නෝය.” (ගීතාවලිය 34:2) දාවිත්, තමා කළ දේවල් ගැන පුරසාරම් දෙඩුවේ නැහැ. උදාහරණයකට ආඛීෂ් රජුගෙන් බේරීමට යෙදූ උපක්‍රමය ගැන ඔහු ඉතා ඉහළින් කතා කළේ නැහැ. ඒ වෙනුවට තමා ගැලවුණේ යෙහෝවා දෙවි ඔහුව ආරක්ෂා කළ නිසාත් දෙවිගේ උපකාරය තමන්ට තිබුණු නිසාත් කියා දාවිත් තේරුම්ගත්තා. (හිතෝපදේශ 21:1) දාවිත් තමාව නොව යෙහෝවා දෙවිව ගෞරවයට පත් කළා. ඔහු එසේ කළ නිසා අවංක සිත් ඇති බොහෝදෙනෙක් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පෙලඹුණා. ඒ හා සමානව යේසුස්ද, යෙහෝවා දෙවිගේ නාමය මහිමයට පත් කරද්දී යටහත් පහත් මනුෂ්‍යයන් බොහෝදෙනෙක් දෙවි වෙතට හැරුණා. අද දිනත් සියලු ජාතීන්ගෙන් පැමිණෙන අවංක සිත් ඇති මිනිසුන් යේසුස්ගේ නායකත්වය යටතේ පාලනය වන සභාවට එක් රොක් වෙමින් සිටිනවා. (කොලොස්සි 1:18) ඊට හේතුව කුමක්ද? දෙවිගේ සේවකයන් ඔහුගේ නාමය මහිමවත් කරන ආකාරය ඔවුන් දකින නිසයි. එමෙන්ම දෙවිගේ බලයේ උපකාර ඇතිව බයිබලයේ ඉගැන්වීම් තේරුම්ගැනීමට යටහත් පහත් අයට දෙවි හැකියාව ලබා දී තිබෙනවා.—යොහන් 6:44; ක්‍රියා 16:14.

අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන රැස්වීම්

14. (අ) දෙවිට පෞද්ගලිකව ප්‍රශංසා කිරීමෙන් පමණක් දාවිත් සෑහීමට පත් වුණාද? (ආ) නමස්කාර කිරීම සඳහා රැස්වීම සම්බන්ධයෙන් යේසුස් තැබූ ආදර්ශය කුමක්ද?

14 “මා සමඟ යෙහෝවා වර්ණනා කරන්න. අපි එක්ව ඔහුගේ නාමය උසස් කරමු.” (ගීතාවලිය 34:3) දාවිත් පෞද්ගලිකව දෙවිට ප්‍රශංසා කිරීමෙන් පමණක් සෑහීමට පත් වුණේ නැහැ. යෙහෝවා දෙවිගේ නාමය මහිමවත් කිරීමේ තමා සමඟ හවුල් වෙන්න කියා ඔහු අන් අයටත් ආරාධනා කළා. උතුම් දාවිත් වන යේසුස් ක්‍රිස්තුස්ද තම පියාව ප්‍රසිද්ධියේ ප්‍රශංසාවට ලක් කිරීමෙන් මහත් ප්‍රීතියක් ලැබුවා. සිනගෝගවලදී, යෙරුසලමේ දේවමාලිගාවේ පැවත්වූ උත්සවවලදී සහ තම ගෝලයන් සමඟ සිටි විටත් ඔහු දෙවිට ප්‍රශංසා කළා. (ලූක් 2:49; 4:16-19; 10:21; යොහන් 18:20) හැකි සෑම විටකදීම, සෙසු ක්‍රිස්තියානීන් සමඟ එක් වී යේසුස් මෙන් යෙහෝවා දෙවිව ප්‍රශංසාවට පත් කිරීමට ලැබීම මහත් වරප්‍රසාදයක්. විශේෂයෙන්ම “ඒ දවස ළං වන” මේ කාලයේදී එසේ කිරීම ප්‍රීතියක්.—හෙබ්‍රෙව් 10:24, 25.

15. (අ) දාවිත් අද්දුටු දේවල් ඔහුගේ මිත්‍රයන්ට බලපෑවේ කෙසේද? (ආ) ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

15 “යෙහෝවා සෙවීමි. ඔහු මට උත්තර දී මා සියලු භයින් මිදුවේය.” (ගීතාවලිය 34:4) දාවිත් අද්දුටු දේවල් ඔහුට ඉතාවැදගත් වුණා. එමනිසයි ඔහු මෙසේ කීමට පෙලඹුණේ. “මේ දුප්පතා මොරගැසුවේය. යෙහෝවා ඔහුගේ බස් අසා සියලු දුක්වලින් ඔහු ගැලෙව්වේය.” (ගීතාවලිය 34:6) යෙහෝවා දෙවි අපට පෞද්ගලිකව උපකාර කර ඇති ආකාරය ගැන සෙසු ක්‍රිස්තියානීන් සමඟ කතා කිරීමෙන් එකිනෙකාව දිරිගැන්වීමට අපිටත් පුළුවන්. දෙවිගෙන් ලැබූ ආරක්ෂාව ගැන දාවිත් තම මිතුරන්ට පවසද්දී ඉන් ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් වුණා සේ අපගේ සෙසු නමස්කාරකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරන්නත් එමගින් හැකි වෙනවා. ඒ නිසා දාවිත් මෙසේ පැවසුවා. “ඔවුහු [යෙහෝවා දෙවි] දෙස බලා එළිය ලැබුවෝය. ඔවුන්ගේ මුහුණු කිසි කලකත් ලජ්ජා නොවන්නෝය.” (ගීතාවලිය 34:5) ඔවුන් සාවුල්ගෙන් පලායමින් සිටියත් ඒ ගැන ලජ්ජා වුණේ නැහැ. යෙහෝවා දෙවිගේ අනුමැතිය දාවිත්ට තිබෙන බව විශ්වාස කළ නිසා ඔවුන්ගේ මුහුණුවල එළියක් දිස් වුණා. එනම් ඔවුන් සිටියේ ප්‍රීතියෙන්. ඊට සමානව නවකයන් මෙන්ම දෙවිට කාලයක් පුරා සේවය කරන ක්‍රිස්තියානීන්ද උපකාරය පතා යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටිනවා. ඔවුන් දෙවිගේ උපකාර පෞද්ගලිකවම අද්දැක තිබෙන නිසා එවැනි අය සිටින්නේද ප්‍රීතියෙනුයි. දෙවිට දිගටම විශ්වාසවන්තව සිටීම ඔවුන්ගේ අධිෂ්ඨානයයි.

දේවදූත රැකවරණය ගැන ස්තුතිවන්ත වන්න

16. අප වෙනුවෙන් යෙහෝවා දෙවි දේවදූතයන්ව යොදාගෙන තිබෙන්නේ කෙසේද?

16 “යෙහෝවාගේ දූතයා ඔහුට භය ඇත්තන් වට කර කඳවුරු බැඳ ඔවුන් මුදාහරියි.” (ගීතාවලිය 34:7) යෙහෝවා දෙවි ගැලවීම ලබා දෙන්නේ ඔහුට පමණයි කියා දාවිත් සිතුවේ නැහැ. දාවිත් යෙහෝවා දෙවි විසින්ම පත් කළ ඊශ්‍රායෙලයේ අනාගත රජ බව සත්‍යයක්. නමුත් දෙවිට නමස්කාර කරන සියල්ලන්වම භේදයකින් තොරව රැකබලා ගැනීමට දෙවි, දේවදූතයන්ව යොදාගන්නා බව දාවිත් තේරුම්ගත්තා. අද දින සිටින දෙවිගේ සේවකයන්ද දේවදූත රැකවරණය අද්දැක තිබෙනවා. උදාහරණයක් හැටියට, නාට්සි පාලනය යටතේ තිබූ ජර්මනියේ මෙන්ම ඇන්ගෝලාව, මලාවි, මොසැම්බික් සහ තවත් රටවල් බොහොමයක පාලකයන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව සම්පූර්ණයෙන්ම නැති කර දමන්න බොහෝ උත්සාහයන් දරා තිබෙනවා. නමුත් ඒවා අසාර්ථක වී තිබෙන අතර සිදු වී ඇත්තේ වෙනස් දෙයක්. ඒ රටවල සිටින සාක්ෂිකරුවන් එක්ව දෙවිගේ නාමය මහිමයට පත් කරමින් වඩ වඩා දියුණු වෙමින් සිටිනවා. ඊට හේතුව කුමක්ද? යෙහෝවා දෙවි තම සෙනඟව ආරක්ෂා කිරීමට සහ ඔවුන්ට මඟ පෙන්වීමට දේවදූතයන්ව යොදාගැනීමයි.—හෙබ්‍රෙව් 1:14.

17. දේවදූතයන් අපිට උපකාර කරන්නේ කෙසේද?

17 තම සෙනඟව බාධාවට පත් කරන අයව ක්‍රිස්තියානි සභාවෙන් ඉවත් කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට දේවදූතයන්ට හැකියාව තිබෙනවා. (මතෙව් 13:41; 18:6, 10) සමහර අවස්ථාවලදී දේවදූතයන් උපකාර කරන ආකාරය අපිට නොතේරෙන්න පුළුවන්. උදාහරණයකට යෙහෝවා දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වයට බාධා කරන දේවලින් දේවදූතයන් අපිව ආරක්ෂා කරනවා. නැතිනම් අපි දෙවිට කරන සේවය දුර්වල කළ හැකි දේවල් ඉවත් කිරීමටත් ඔවුන් පියවර ගන්නවා. ප්‍රධානතම දෙය වන්නේ විරුද්ධවාදීකම් තිබෙන ප්‍රදේශවල පවා සියලු මනුෂ්‍යයන් වෙත “සදාකාල ශුභාරංචිය” ගෙන යෑමට ඔවුන් අපට ලබා දෙන මඟ පෙන්වීමයි. (එළිදරව් 14:6) දෙවිගේ සේවකයන්ට දේවදූතයන් උපකාර කර ඇති ආකාරය ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනවල බොහෝවිට සඳහන් වී තිබෙනවා. ඒවා අහඹු සිදුවීම් කියා කොහෙත්ම සිතන්න බැහැ. *

18. (අ) දේවදූත රැකවරණය අද්දකින්න නම් අප කළ යුත්තේ කුමක්ද? (ආ) ඊළඟ ලිපියේ සාකච්ඡා කරන්නේ කුමක් ගැනද?

18 දේවදූතයන්ගේ මඟ පෙන්වීම සහ රැකවරණය ලැබීමට නම් අපි පීඩා හමුවේ පවා නොනවත්වාම දෙවිගේ නාමය ප්‍රශංසාවට පත් කළ යුතුයි. හේතුව, දේවදූතයන් ආරක්ෂාව ලබා දෙන්නේ ‘[යෙහෝවා දෙවිට] බිය ඇත්තන්ට’ පමණයි. දෙවි කෙරෙහි බියක් ඇතිව සිටීම කියන්නේ කුමක්ද? අපි එය ඇති කරගන්නේ කෙසේද? එමෙන්ම ප්‍රේමණීය දෙවි කෙනෙක් තමා කෙරෙහි බියක් ඇතිව සිටින්න කියා ඉල්ලා සිටින්නේ ඇයි? ඒ ප්‍රශ්නවලට පිළිතුරු ඊළඟ ලිපිය තුළ සාකච්ඡා කරනු ලබනවා.

[පාදසටහන]

^ 17 ඡේ. දේවරාජ්‍යය ප්‍රචාරය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ (ඉංග්‍රීසියෙන්), පිටු 550; 2005 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත (ඉංග්‍රීසියෙන්), පිටු 53-4; 2000 මාර්තු 1, මුරටැඹ පිටු 5-6; 1991 ජනවාරි 1, මුරටැඹ පිටු 27 (සිංහලෙන් නැත) සහ 1991 පෙබරවාරි 15, මුරටැඹ පිටු 26—සිංහලෙන් නැත.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• තරුණයෙක් හැටියට දාවිත්ට මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා මොනවාද?

• දාවිත් මෙන් අපගේ ජීවිතවලත් මූලික දෙය විය යුත්තේ කුමක්ද?

• ක්‍රිස්තියානි රැස්වීම් අපි සැලකිය යුත්තේ කෙසේද?

• අපට උපකාර කිරීමට යෙහෝවා දෙවි තම දූතයන්ව යොදාගන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

රාමා

ගාත්

ශික්ලග්

ගිබෙයා

නොබ්

යෙරුසලම

බෙත්ලෙහෙම

අදුල්ලාම්

කෙයිලා

හෙබ්‍රොන්

ශිප්

හෝරෙෂ්

කර්මෙල්

මායොන්

ඒන්-ගෙදී

ලුණු මුහුද

[හිමිකම් විස්තර]

Map: Based on maps copyrighted by Pictorial Archive (Near Eastern History) Est. and Survey of Israel

[21වන පිටුවේ පින්තූරය]

දාවිත් පලායන්නෙක් ලෙස දුෂ්කර ජීවිතයක් ගත කළත් යෙහෝවා දෙවිගේ නාමය උසස් කළා

[23වන පිටුවේ පින්තූරය]

සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කරන විට දිරිගන්වන අද්දැකීම්වලට සවන්දීමෙන් අපගේ ඇදහිල්ල ශක්තිමත් වෙයි