Skip to content

පටුනට යන්න

ඔබේ ආගම තෝරාගැනීම එතරම්ම වැදගත්ද?

ඔබේ ආගම තෝරාගැනීම එතරම්ම වැදගත්ද?

ඔබේ ආගම තෝරාගැනීම එතරම්ම වැදගත්ද?

අපි කවුරුත් කැමතියි හොඳින් තෝරා බේරා දේවල් මිල දී ගන්න. උදාහරණයකට වෙළඳ සැලක විවිධ වර්ගයේ එළවළු හා පලතුරු බොහොමයක් තිබෙනවාට අපි කැමතියි. එවිට අපිට හොඳින් තෝරා බේරා හොඳම දේ මිල දී ගැනීමට හැකි වෙනවා. ඇඳුම් පැළඳුම් මිල දී ගැනීමේදීත් එය සැබෑවක්. සාප්පුවේ විවිධ වර්ණයේ සහ විවිධ විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම් පැළඳුම් බොහොමයක් තිබෙනවාට අපි කැමතියි. එවිට අපිට වඩාත් හොඳින් ගැළපෙන ඇඳුම් පැළඳුම් තෝරාගැනීමට හැකි වෙනවා. ඉන් පෙනෙන්නේ අප තෝරාගන්නා සමහර දේවල් අපගේම පෞද්ගලික මනාපයට අනුව සිදු කරන බවයි. නමුත් අප කරන තවත් සමහර තේරීම් අපගේ ජීවිතයට කෙළින්ම බලපානවා. උදාහරණයකට අපගේ ශරීර සෞඛ්‍යයට බලපාන දේවල් සහ ආශ්‍රිතයන් තෝරාගැනීම සඳහන් කළ හැකියි. ඒ හා සමානව අපි අදහන ආගම තේරීම ගැන කුමක් කියන්න පුළුවන්ද? අපි එය තෝරාගත යුත්තේ අපගේ පෞද්ගලික මනාපයට අනුවද? නැතිනම් එය අපගේ ජීවිතයට කෙලින්ම බලපාන නිසා, හොඳින් සිතා බලා තෝරාගත යුතුද?

වර්තමානයේ අප්‍රමාණ ආගම් සංඛ්‍යාවක් බිහි වී තිබෙන නිසා තමන් කැමති ආගමක් තෝරාගැනීමට මිනිසුන්ට හැකියි. බොහෝ රටවල ඒ සඳහා නීතියෙන් අවසර තිබෙන නිසා, තමන්ට උපතින් ලැබුණු ආගම වෙනස් කර වෙනත් ආගමක් තෝරාගැනීමේ නිදහස ඔවුන් භුක්ති විඳිනවා. අමෙරිකා එක්සත් ජනපදයේ කළ එක් සමීක්ෂණයකදී, එහි ජනයාගෙන් සියයට 80ක්ම “විශ්වාස කළේ ඕනෑම ආගමක් ඇදහීමෙන් තමන්ට ගැලවීම අත් කරගන්න පුළුවන් කියායි.” තවදුරටත් එම සමීක්ෂණයෙන් ඔප්පු වුණේ සෑම පුද්ගලයන් පස්දෙනෙකුගෙන් එක්කෙනෙක් “තමන් වැඩිහිටියෙක් වූ පසුව වෙනත් ආගමක් තෝරාගෙන ඇති බවයි.” බ්‍රසීලයේ වෙසෙන ජනයාගෙන් සියයට 25කට ආසන්න සංඛ්‍යාවක් තමන්ට උපතින්ම උරුම වූ ආගම වෙනස් කර ඇති බව තවත් සමීක්ෂණයකින් සනාථ වුණා.

අතීතයේදී මිනිසුන්ට තිබූ වෙනස් ආගමික විශ්වාසයන් ගැන ඔවුන් බොහෝ සේ වාද විවාද කළා. නමුත් දැන් මිනිසුන් දරන පොදු මතය වන්නේ මෙයයි. ‘ඔබ අදහන ආගම කුමක් වුණත් ප්‍රශ්නයක් නැහැ.’ නමුත් එම අදහස නිවැරදිද? ඇත්තෙන්ම ඔබ තෝරාගන්නා ආගම ඔබට බලපානවාද? ඔබගේ ආගම තෝරාගැනීම එතරම්ම වැදගත්ද?

යම් දේවල් මිල දී ගැනීමේදී අද්දැකීම් තිබෙන නුවණක්කාර අය කරන දෙයක් වන්නේ, ඒ පිළිබඳ විස්තර විමසීමයි. ඒ හා සමානව අද ලෝකයේ පවතින ආගම් ගැනත් එසේ විමසීම නුවණක්කාර දෙයක්. ‘මේ ලෝකයට මෙතරම් ආගම් ප්‍රමාණයක් බිහි වුණේ කොහොමද? කුමන හේතුවක් නිසාද?’ ඊට නිවැරදි පිළිතුරු බයිබලයේ සපයා තිබෙනවා.

ආගම්වල ආරම්භය

යේසුස් ක්‍රිස්තුස් මේ පොළොවට පැමිණීමට අවුරුදු දහසකට පමණ පෙර, පුරාණ ඊශ්‍රායෙලයේ යෙරොබොවම් නමැති රජ අලුත් ආගමක් පිහිටෙව්වා. ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යයේ පළමු රජ වුණේ ඔහුයි. සාමාන්‍යයෙන් ඊශ්‍රායෙල් ජනයා ඔවුන්ගේ නමස්කාරය සඳහා පුරුද්දක් හැටියට ගියේ යෙරුසලෙමටයි. එමනිසා තම ජනයාව තමාගේ රාජ්‍යය තුළම රඳවාගැනීමට මේ රජුට අවශ්‍ය වුණා. ඒ සඳහා ඔහු ඉතාමත් කූට ප්‍රයත්නයක් යෙදුවා. ඒ ගැන බයිබලයේ වාර්තා වෙන්නේ මෙසේයි. “රජු මේ ගැන අදහස් විමසුවේය. . . . ඔහු රන් වස්සන් දෙදෙනෙක් සාදා ජනතාවට මෙසේ කීවේය: ඔබට යෙරුසලමට යන්න අමාරුයි. ඉතින් ඊශ්‍රායෙල්වරුනි, මෙන්න, . . . ඔබේ දෙවි.” (1 රාජාවලිය 12:28, නව ලොව පරිවර්තනය) මින් පැහැදිලිවම පෙනෙන්නේ තම රාජ්‍ය බලය ශක්තිමත්ව තබාගැනීම සඳහා යෙරොබොවම් අලුත් ආගමක් හඳුන්වා දුන් බවයි. එම රජ ආරම්භ කළ ආගම වසර සිය ගණනක් පුරා පැවතුණු අතර ඔවුන් සත්‍ය ආගම අත්හැරීම නිසා දෙවි ඔවුන්ට දඬුවම් කළා. යෙරොබොවම් හඳුන්වා දුන් ආගම ඇත්තෙන්ම දේශපාලන වාසි තකා බිහිවූවක්. අදටත් සමහර රටවල තිබෙන ආගම් දේශපාලන බලය තර කරගැනීමේ අරමුණින් බිහි වූ ඒවායි.

නව ආගම් බිහිවීමට තවත් හේතුවක් ගැන බයිබලයේ ලේඛකයෙක් වූ පාවුල් විස්තර කළේ මෙයාකාරයටයි. “මාගේ පිටත්ව යෑමෙන් පසු රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණ, රැළට ආදරෙන් සලකන්නේ නැති බව මම දනිමි. ඔබ අතරින්ම මිනිස්සු නැඟිට, තමුන් අනුව යෑමට ගෝලයන් ඇදගන්නා පිණිස, විකෘති වූ දේවල් පවසන්නෝය.” (ක්‍රියා 20:29, 30) තවත් අය අලුත් ආගම් හඳුන්වා දෙන්නේ තමන් වෙතට මිනිසුන් රැස් කරගැනීමේ අරමුණ ඇතිවයි. එමෙන්ම ක්‍රිස්තියානීන්යයි කියා ගන්නා වූ පල්ලිවල තිබෙන බෙදීම් නිසාද විවිධ නිකායන් බිහි වී තිබෙනවා.

ආගම් සතුටු කරන්නේ කාවද?

වැඩිදෙනෙකුව සතුටු කිරීමට තිබෙන කැමැත්ත නිසාද සමහරුන් අලුතින් ආගමික කණ්ඩායම් බිහි කර තිබෙනවා. එක් සඟරාවක අමෙරිකා එක්සත් ජනපදයේ සුවිසල් පල්ලි ගැන මෙසේ සඳහන් කරනවා. (ඉකොනොමිස්ට් නම් සඟරාව) ඒවායේ සාමාජිකයන් පිරී ඉතිරි යන්නේ “ව්‍යාපාර දියුණු වීම සඳහා අනුගමනය කරන පිළිවෙත වන ‘පාරිභෝගිකයාව සතුටු කිරීම’ මෙම ආගම්ද අනුගමනය කරන නිසයි. ඔවුන්ගේ ආගමික මෙහෙයන්වල බැතිමතුන්ව පිනවීමට වීඩියෝ දර්ශන, නාට්‍යයන් සහ සජීවි සංගීත ප්‍රසංග” ඇතුළත් කර තිබෙනවා. එලෙස පල්ලි විනෝදකාමී දේවමෙහෙයන් සහ ව්‍යාපාරවල හවුල් වන නිසා විවේචනයට ලක් වී තිබෙනවා. “එම පල්ලි කරමින් සිටින්නේ තම සාමාජිකයන් කැමති දේවල් බවත් ආගම සහ ව්‍යාපාර හවුලේ කටයුතු කිරීම එහි සාර්ථකත්වයේ රහස” බවත් එම සඟරාව පවසනවා.

වෙනත් ආගම් එවැනි ව්‍යාපාරවල ප්‍රසිද්ධියේ හවුල් නොවුණත් ඔවුන් කරන්නෙත් “තම සාමාජිකයන් කැමති දේවලුයි.” ඉන් අපට පාවුල්ගේ මෙම අනතුරු ඇඟවීම සිහිගන්වනවා. “ඔවුන් සුවදායී ඉගැන්වීම පිළි නොගන්නා කාල පරිච්ඡේදයක් පැමිණෙන්නේය. ඔවුහු ඔවුන්ගේම ආශාවලට අනුව, තමුන් කැමති දේවල් අසාගන්නා පිණිස තමන්ටම ගුරුවරුන් රැස් කරගන්නෝය. ඔවුහු සත්‍යයට කන් නොදී, අසත්‍ය කතාවලට හැරී යන්නෝය.”—2 තිමෝති 4:3, 4.

මේ අනුව බොහෝ ආගම් මතු වී තිබෙන්නේ දේශපාලනික බලය, කීර්තිය සහ ජනප්‍රිය වීමට තිබෙන ආශාව නිසා මිස දෙවිගේ කැමැත්ත කිරීමට නම් නොවන බව පැහැදිලියි. එමනිසා එවැනි ආගම් ළමා අපචාරය, වංචාව, යුද්ධය සහ ත්‍රස්තවාදය වැනි අන්ත පහත් ක්‍රියාවල යෙදීම පුදුමයක් නොවෙයි. බොහෝවිට ආගම මිනිසුන්ව රවටා තිබෙනවා. ඊට අසු නොවීමට ඔබ කළ යුත්තේ කුමක්ද?

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බොහෝ ආගම් මතු වී තිබෙන්නේ දේශපාලනික බලය, කීර්තිය සහ ජනප්‍රිය වීමට තිබෙන ආශාව නිසා මිස දෙවිගේ කැමැත්ත කිරීමට නොවන බව නම් පැහැදිලියි