Skip to content

පටුනට යන්න

ගෙහාසී

ගෙහාසී

ගෙහාසී

අනාගතවක්තෘ එලිෂාගේ සේවකයෙක්.

තමන්ට ආගන්තුක සත්කාරය පෙන්වූ ෂුනෙම්මිය ස්ත්‍රියට ප්‍රතිඋපකාර කළ හැකි ආකාරය ගැන එලිෂා කල්පනා කරමින් සිටියා. ඇයට දරුවන් නැති බවත් ඇගේ ස්වාමිපුරුෂයා මහලු බවත් එලිෂාට මතක් කර දුන්නේ ගෙහාසීයි. එවිට එලිෂා ඇයට පොරොන්දුවක් දෙමින් කිව්වේ ඇයට පුත්‍රයකු උපදින බවයි. ඔහු කීවේ පුදුම දෙයක් වුණත් එය ඉෂ්ට වුණා. නමුත් වසර කිහිපයකට පසුව එක් දිනක් ඒ දරුවා අසනීපව මිය ගියා. එවිට කර්මෙල් කන්දේ සිටින එලිෂාව හමුවීමට වහාම කොටළුවෙකු පිට ගමන් ගත් ෂුනෙම්මිය ස්ත්‍රිය එලිෂාව දුටු විගස, ඔහුගේ පා මුළ වැටී ඔහුගේ දෙපා අල්ලාගත්තා. එය දුටු ගෙහාසී ඇයව තල්ලු කර දමන්න උත්සාහ කළත් එසේ නොකරන ලෙස එලිෂා ඔහුට අවවාද කළා. සිදු වූ දේ ගැන ෂුනෙම්මිය ස්ත්‍රිය විස්තර කීවායින් පසුව එලිෂා විගස ඒ දරුවා ළඟට ගෙහාසීව පිටත් කර යැව්වා. ඒත් එක්කම එලිෂා සහ ෂුනෙම්මිය ස්ත්‍රියද පිටත් වුණා. ගෙහාසී ආපසු හැරී එද්දී එලිෂාවත් ස්ත්‍රියවත් මුණගැසුණු අතර ඔහු කිව්වේ එලිෂාගේ සැරයටිය දරුවාගේ මුහුණ මත තැබුවත් “ළමයා පිබිදුණේ නැත” කියායි. කොහොමනමුත් එලිෂා දරුවා ළඟට ගිය පසු මළ දරුවා නැවත ජීවත් වුණා.—2 රාජාවලිය 4:12-37.

පසුව, වසර හතක සාගතයක් පැමිණීමට නියමිත බව එලිෂා ෂුනෙම්මිය ස්ත්‍රියට පැවසුවා. ඒ නිසා ඇයත් ඇගේ ගෙදර අනිත් අයත් වෙනත් දේශයක පදිංචියට යෑම සුදුසු බවද ඔහු කියා සිටියා. සාගතය පැවති කාලයේ පිලිස්තියාවේ ජීවත් වූ ඇය, නැවතත් ඊශ්‍රායෙලයට පැමිණියා. එහිදී තමන්ගේ නිවසත් ඉඩමත් යළි ලබා දෙන ලෙස ඇය රජුගෙන් අයැද සිටියා. එලිෂා මේ ස්ත්‍රියගේ පුත්‍රයාව මළවුන්ගෙන් නැවත නැඟිටවූ ආකාරය ගැන විස්තරය ඒ අවස්ථාවේදී රජුට විස්තර කරමින් සිටියේ ගෙහාසීයි. ඒ ගැන ෂුනෙම්මිය ස්ත්‍රියගෙන් විමසීමෙන් පසුව, ඇය නැති අතර ඇගේ ඉඩමෙන් ලැබූ මුළු ආදායමත් ඇතුළු සියල්ල නැවත දෙන ලෙස රජ අණ කළා.—2 රාජාවලිය 8:1-6.

තමාටම දේවල් ලබාගැනීමේ කෑදරකමක් ගෙහාසීට තිබුණා. මේ නිසා ඔහුගේ වටිනා වරප්‍රසාදය ඔහුට අහිමි වුණා. ඒ බව සිරියාවේ නාමන්ගේ රෝගය සුව කිරීම හා සම්බන්ධ සිද්ධියෙන් පැහැදිලි වෙනවා. තමාගේ ලාදුරු රෝගය සුව කිරීම නිසා නාමන්, එලිෂාට තෑග්ගක් දුන්නත් ඔහු එය ප්‍රතික්ෂේප කළා. (2 රාජාවලිය 5:14-16) නමුත් ගෙහාසීට ඒ තෑග්ග ලබාගැනීමට දැඩි ආශාවක් ඇති වූ අතර එලෙස තෑග්ගක් ගැනීමේ වරදක් නැහැයි කියා සිතීමටත් හේතු සොයාගත්තා. ඒ නිසා ඔහු නාමන් පිටුපස දුව ගොස්, රිදී තලෙන්තයකුත් (වටිනාකම රුපියල් 6,60,600 වඩා) එෆ්‍රායිම් කඳු රටෙන් පැමිණි අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන් එවූ තරුණයන් දෙදෙනෙකුට ඇඳුම් කට්ටල දෙකකුත් රැගෙන එන්න කියා එලිෂා කියූ බව කිව්වා. නාමන් හද පිරි සතුටින් එක රිදී කාසියක් විතරක් නෙවෙයි ඒ වෙනුවට රිදී කාසි දෙකකුත්, ඇඳුම් කට්ටල දෙකකුත් ඒවා රැගෙන යාමට රජගේ සේවකයන් දෙදෙනෙකුත් දුන්නා. ගෙහාසී ඕෆෙල් නම් ප්‍රදේශයට පැමිණි පසු ඒ සේවකයන් අතින් තෑගි ටික අරගෙන ඔවුන්ව පිටත් කර යැව්වා. ගෙහාසී ඒවා තමන්ගේ ගෙයි තබා හිස් අතින් එලිෂාව මුණ ගැසෙන්න ගියා. “ගෙහාසී, ඔබ කොතැනින් ආවෙහිද?” කියා එලිෂා ඇසූ විට තමා කොහේවත් ගිය නැහැ කියා ඔහු එකහෙළාම පැවසුවා. ඔහු කළ ඒ ක්‍රියාවට දඬුවම් වශයෙන් ගෙහාසීට ලාදුරු රෝගය වැලඳුණා. කෑදරකම සහ බොරුව නිසා එලිෂාගේ සේවකයෙක් ලෙස සේවය කිරීමට ඔහුට තිබූ අනගි වරප්‍රසාදය අහිමි වූ අතර ගෙහාසීටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත් උරුම වුණේ ඒ ලාදුරු රෝගයයි.—2 රාජාවලිය 5:20-27.