Skip to content

පටුනට යන්න

දේවගරුබිය පෙන්වීමෙන් සන්තෝෂය අද්දකින්න

දේවගරුබිය පෙන්වීමෙන් සන්තෝෂය අද්දකින්න

දේවගරුබිය පෙන්වීමෙන් සන්තෝෂය අද්දකින්න

“යෙහෝවා දෙවිගේ ශුද්ධ තැනැත්තෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතිව සිටින්න. මන්ද ඔහු කෙරෙහි ගරුබිය ඇති අයට කිසිවකින් හිඟයක් නොවන්නේය.”—ගීතාවලිය 34:9, නව ලොව පරිවර්තනය, NW.

1, 2. (අ) ක්‍රිස්තියානියයි කියාගන්නාවු ආගම් දේවභය ගැන උගන්වන්නේ කුමක්ද? (ආ) අපි සලකා බලන්න යන ප්‍රශ්න මොනවාද?

බොහෝ පල්ලිවල පූජකයන් උගන්වන්නේ දුෂ්ට මිනිසුන්ව දෙවි සදහටම ගින්නෙන් දැවෙන නිරයකට හෙළා දඬුවම් කරන බවයි. ඒ නිසා සමහර මිනිසුන් තුළ දෙවි කෙරෙහි මහත් බියක් ඇති වී තිබෙනවා. නමුත් ඒ ඉගැන්වීම බයිබලයට සම්පූර්ණයෙන්ම පටහැනියි. බයිබලයේ පෙන්වන්නේ දෙවි ප්‍රේමය දක්වමින් යුක්තිය ඉෂ්ට කරන දෙවි කෙනෙක් බවයි. (උත්පත්ති 3:19; ද්විතීය කතාව 32:4; රෝම 6:23; 1 යොහන් 4:8) අනෙක් අතට එවැනි ආගම්වල සිටින තවත් පූජකයන් කියන්නේ, මිනිසුන් කුමක් කළත් දෙවි ඔවුන්ව පිළිගන්නා බවයි. එයද බයිබලයට පටහැනි ඉගැන්වීමක්.—ගලාති 5:19-21.

2 එහෙත් බයිබලය සෝදිසි කර බලද්දී දෙවිට යම් බියක් දැක්වීමේ අවශ්‍යතාව එහි කාවද්දවා තිබෙනවා. (එළිදරව් 14:7) ඒ සම්බන්ධයෙන් අපට ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා. එය කුමන ආකාරයේ බියක්ද? දෙවි ප්‍රේමණීය කෙනෙක් නම් ඔහුට යම් අකාරයකින් බියක් දක්වන්න කියා අපෙන් ඉල්ලන්නේ ඇයි? එසේ කිරීමෙන් අපිට ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේද? මෙම ලිපියේ 34වන ගීතිකාව සාකච්ඡා කරන විට එම ප්‍රශ්නවලට පිළිතුරු සලකා බලමු.

දේවගරුබිය දැක්විය යුතු හේතු

3. (අ) දේවගරුබිය දක්වන්න යන ආඥාව ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? (ආ) දේවගරුබිය දක්වන්නන් ප්‍රීතියෙන් සිටින්නේ ඇයි?

3 යෙහෝවා කොහෙත්ම කෲර දෙවි කෙනෙක් නම් නොවෙයි. එමනිසා ඔහුට අධික ලෙස බියවීමට කිසිම පදනමක් නැහැ. එනමුත් හේතු කිහිපයක් නිසා ඔහුට ගැඹුරු ගෞරවයක් දක්වන්න අපි පෙලඹෙනවා. ඔහු අපගේ මැවුම්කරුයි. ඒ වගේම මුළු විශ්වයේ යුක්තිසහගත පාලකයාණෝයි. (1 පේතෘස් 2:7) යෙහෝවා දෙවිව අසතුටට පත් කිරීමෙන් වැළකී සිටින්නත් අපි උත්සාහ කරනවා. එමනිසා දෙවි ගැන භයක් තිබෙනවාට වඩා අපට තිබෙන්නේ ගරුබියක්. දේව ගරුබිය කියන්නේ ඉතා යහපත් දෙයක්. එයින් අප තුළ දුකක් හෝ බියක් ඇති වන්නේ නැහැ. ඇත්තටම අපගේ දෙවි “සන්තෝෂවත් දෙවි” වන නිසා අප ජීවිතය ප්‍රීතියෙන් භුක්ති විඳිනවාට දෙවි කැමතියි. (1 තිමෝති 1:11) එය අද්දකින්න නම් අපගේ ජීවිත දෙවිගේ ප්‍රමිතිවලට එකඟ කරගත යුතුයි. තම ජීවිතවල එවැනි වෙනස්කම් කරන සියලුදෙනාටම ගීතිකාකරුගේ මෙම වචනවල සත්‍යය අද්දකින්න පුළුවන්. “ජනයෙනි, යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න. ඔහුගේ රැකවරණය පතන තැනැත්තා සන්තෝෂවත්ය. යෙහෝවා දෙවිගේ ශුද්ධ තැනැත්තෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතිව සිටින්න. මන්ද ඔහු කෙරෙහි ගරුබිය ඇති අයට කිසිවකින් හිඟයක් නොවන්නේය.” (ගීතාවලිය 34:8, 9, NW) යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති අයට ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබෙනවා. එමනිසා ඔහු පොරොන්දු කර තිබෙන දේවලින් කිසිවක් ඔවුන්ට අහිමි වන්නේ නැහැ.

4. දාවිත් සහ යේසුස් දුන් සහතිකය කුමක්ද?

4 දාවිත්ගේ කාලයෙත් එය සත්‍යයක් බව ඔප්පු වුණා. ඔහු තමා සමඟ සිටි මිනිසුන්ව ගෞරවාන්විතව ඇමතුවේ “ශුද්ධ තැනැත්තෙනි” කියායි. ඊට හේතුව ඔවුන් දෙවිගේ ශුද්ධ ජාතියේ කොටසක්ව සිටි නිසයි. එමෙන්ම ඔවුන් තම ජීවිත අවදානම නොතකා දාවිත් සමඟ සිටියා. ඔවුන් සාමුවෙල්ගෙන් පලා යමින් සිටියත් යෙහෝවා දෙවි ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරන බවට දාවිත්ට දැඩි විශ්වාසයක් තිබුණා. ඒ ගැන ඔහු කිව්වේ මෙසේයි. “තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විඳිති. එහෙත් යෙහෝවා සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නැත.” (ගීතාවලිය 34:10) යේසුස්ද තම අනුගාමිකයන්ට එවන් සහතිකයක් දුන්නා.—මතෙව් 6:33.

5. (අ) යේසුස්ව අනුගමනය කළ බොහෝදෙනෙකුගේ තත්වය කුමක්ද? (ආ) බියවීම සම්බන්ධයෙන් යේසුස් දුන් උපදෙස කුමක්ද?

5 එදා යේසුස්ට ඇහුම්කන් දීමට පැමිණි අයගෙන් වැඩිදෙනෙක් දිලිඳු අයයි. ඒ නිසා යේසුස් “ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළේය” කියා බයිබලය පවසනවා. (මතෙව් 9:36) එවැනි අයට යේසුස්ව අනුගමනය කිරීමට තරම් ධෛර්යයක් ලැබුණේ ඔවුන් යෙහෝවා දෙවිට ගරුබිය ඇතිව සිටි නිසයි. ඒ නිසා ඔවුන් මිනිසුන්ට තිබූ බියෙන් යටපත් වුණේ නැහැ. යේසුස් මෙසේද පැවසුවා. “ශරීරය නැසුවත් ඊට වැඩි දෙයක් කළ නොහැකි අයට බිය නොවන්නැයි මම ඔබට කියමි. නමුත් ඔබ බිය විය යුත්තේ කාටද කියා මම ඔබට පෙන්වන්නෙමි: මරණයට පත් කර, පසුව ගෙහෙන්නාවට හෙළීමට අධිකාරිය ඇති තැනැත්තාට බිය වන්න. එසේය, මම ඔබට කියමි, ඒ තැනැත්තාට බිය වන්න. ගේ කුරුල්ලන් පස්දෙනෙකු සුළු වටිනාකමක් ඇති කාසි දෙකකට විකුණනවා නොවේද? එහෙත් උන්ගෙන් එකෙකුවත් දෙවි අමතක කරන්නේ නැත. මන්ද ඔබේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ. බිය නොවන්න. ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටින්නහුය.”—ලූක් 12:4-7.

6. (අ) ක්‍රිස්තියානීන්ව ශක්තිමත් කර තිබෙන්නේ යේසුස්ගේ කුමන වචනද? (ආ) දේවගරුබිය පෙන්වීම සම්බන්ධයෙන් යේසුස් හොඳම ආදර්ශය වන්නේ ඇයි?

6 දෙවිට කරන සේවය නතර කරන්න කියා දේවගරුබිය දක්වන්නන්ට ඔවුන්ගේ සතුරන් තර්ජනය කරන විට ඔවුන් යේසුස්ගේ මෙම වචන සිහියට නඟාගන්නවා. “යමෙක් මිනිසුන් ඉදිරියෙහිදී, මා සමඟ එක්සත්ව සිටින බව ප්‍රකාශ කරන්නේද, දෙවිගේ දූතයන් ඉදිරියෙහිදී මනුෂ්‍ය පුත්‍රයාද ඔහු සමඟ එක්සත්ව සිටින බව ප්‍රකාශ කරන්නේය. එහෙත් මිනිසුන් ඉදිරියෙහිදී මාව ප්‍රතික්ෂේප කරන තැනැත්තාව දෙවිගේ දූතයන් ඉදිරියෙහිදී ප්‍රතික්ෂේප කරනු ලබන්නේය.” (ලූක් 12:8, 9) විශේෂයෙන්ම සැබෑ නමස්කාරය තහනම් කර තිබෙන රටවල සිටින ක්‍රිස්තියානීන්ට එම වචන විශාල ශක්තියක් වී තිබෙනවා. එමනිසා ඔවුන් එවැනි තත්වයන් යටතේ පවා කල්පනාකාරීව ශුභාරංචිය දේශනා කරමින් සහ ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙමින් දෙවිට ප්‍රශංසා ගෙන දෙමින් සිටිනවා. (ක්‍රියා 5:29) ‘දේවගරුබිය’ පෙන්වීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තබන්නේ යේසුස්. (හෙබ්‍රෙව් 5:7) ඔහු ගැන එක් අනාවැකියක සඳහන් වුණේ මෙසේයි. “යෙහෝවාට භයවීමේ [ගරුබිය දැක්වීමේ, NW] ආත්මයද ඔහු කෙරේ පිහිටන්නේය. ඔහුගේ ප්‍රීතිය යෙහෝවා කෙරෙහි භයින් [ගරුබියෙන්, NW] සිටීම වන්නේය.” (යෙසායා 11:2, 3) දෙවි කෙරෙහි ගරුබිය දැක්වීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන ඉගැන්වීමට සුදුසුම තැනැත්තා ඔහුයි.

7. (අ) දාවිත් කළා හා සමාන ආරාධනයකට ක්‍රිස්තියානීන් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? (ආ) දාවිත් තැබූ කදිම ආදර්ශය අනුගමනය කරන්න දෙමාපියන්ට හැක්කේ කෙසේද?

7 අද දිනත් යේසුස්ගේ ඉගැන්වීම්වලට කීකරු වී ඔහුව අනුගමනය කරන අය, එදා දාවිත් කළ මෙම ආරාධනයට කීකරු වෙනවා හා සමානයි. ඔහු තම සෙනඟට පැවසුවේ, “දරුවෙනි, එන්න, මට කන් දෙන්න. යෙහෝවා කෙරෙහි භයවීම උගන්වන්නෙමි” කියායි. (ගීතාවලිය 34:11) දාවිත් ඔවුන්ව ඇමතුවේ “දරුවෙනි” කියායි. එසේ පැවසීම සුදුසුයි. හේතුව, ඔවුන්ගේ පෙරමුණගන්නා හැටියට දෙවි කෙරෙහි ගරුබියක් ඇති කරගැනීමට දාවිත් ඔවුන්ට උපකාර කළ නිසයි. ඒ තුළින් ඔවුන්ට දෙවිගේ අනුමැතිය ලබන්න හැකි වෙනවා. එය ක්‍රිස්තියානි දෙමාපියන්ට මොන තරම් කදිම ආදර්ශයක්ද! තම දරුවන්ව “යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි” කිරීමට දෙවි ඔවුන්ට පවරා තිබෙනවා. (එෆීස 6:4) දරුවන් සමඟ ඇදහිල්ල වර්ධනය කරන දේවල් ගැන කතා කිරීමෙන් සහ නොකඩවා ඔවුන් සමඟ බයිබලය පාඩම් කිරීමෙන්, දෙවි කෙරෙහි ගරුබියක් ඇතිව ජීවිතය සතුටින් භුක්ති විඳින්න උපකාර කිරීමට දෙමාපියන්ට හැකියි.—ද්විතීය කතාව 6:6, 7.

දේවගරුබිය ක්‍රියාවෙන් පෙන්වීම

8, 9. (අ) දේවගරුබිය ඇතිව ජීවත් වීම සන්තෝෂයට මඟ පාදන්නේ කෙසේද? (ආ) අපගේ දිව පාලනය කරගැනීමේදී ඊට ඇතුළත් වන්නේ කුමක්ද?

8 මෙහි කලින් සඳහන් කළ ලෙස දේවගරුබිය කිසිවිටෙකත් අපගේ ප්‍රීතිය සොරා ගන්නේ නැහැ. ඒ බව දාවිත් ස්ථිර ලෙස පැවසුවේ මෙසේයි. “ජීවිතයට කැමති වූ, යහපත දක්නා පිණිස බොහෝ දවස්වලට ප්‍රිය වූ මනුෂ්‍යයා කවරේද?” (ගීතාවලිය 34:12) සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට දේවගරුබිය අත්‍යවශ්‍ය දෙයක් බව මනාව පැහැදිලියි. “මට දෙවි කෙරෙහි ගරුබියක් තියෙනවා” කියා පැවසීම පහසු දෙයක් වුණත් එය අපගේ හැසිරීමෙන් පෙන්වීම අභියෝගයක් විය හැකියි. එමනිසා දේවගරුබිය පෙන්විය හැකි ආකාරය ගැන දාවිත් විස්තර කරන්නේ මෙසේයි.

9 “ඔබේ දිව නපුරෙන්ද ඔබේ කට වංචා කතාවෙන්ද වළක්වාගන්න.” (ගීතාවලිය 34:13) සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට සලකන්න කියා පේතෘස් උපදෙස් දීමෙන් පසු, 34වන ගීතිකාවේ ඉහත සඳහන් කොටස උපුටා දක්වන්නට දෙවිගේ බලයෙන් ඔහුට හැකි වුණා. (1 පේතෘස් 3:8-12) අපගේ දිව නපුරෙන් වළක්වාගන්නවා කියන්නේ, අන් අයට හානි කළ හැකි ඕපාදූප පැතිර වීමෙන් වැළකීමයි. ඒ වෙනුවට අපි නිතරම උත්සාහ කරන්නේ එකිනෙකාව ශක්තිමත් කරන ආකාරයෙන් අපගේ දිව හැසිරවීමටයි. තවදුරටත් අපි නිර්භයව සැමවිටම සත්‍යය කතා කිරීමට වෑයම් කළ යුතුයි.—එෆීස 4:25, 29, 31; යාකොබ් 5:16.

10. (අ) නපුරෙන් ඉවත් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) අපට කළ හැකි යහපත් ක්‍රියා මොනවාද?

10 “නපුරෙන් ඉවත්ව යහපත්කම් කරන්න. සමාදානය සොයමින් එය අනුව යන්න.” (ගීතාවලිය 34:14) ලිංගික දුරාචාරය, කාමුක දර්ශන ඇතුළත් දේවල් නැරඹීම, සොරකම, භූතයන් සමඟ සම්බන්ධ වී කරන ක්‍රියා, සැහැසියාව, බේබදුකම සහ මත්ද්‍රව්‍ය භාවිතය වැනි යෙහෝවා දෙවි හෙළා දකින දේවලින් අපි සම්පූර්ණයෙන්ම වැළකී සිටිනවා. ඒ විතරක් නොවෙයි එවැනි පිළිකුල් දේවල් ඇතුළත් විනෝදාංශවල යෙදෙන්නේද නැහැ. (එෆීස 5:10-12) ඒ වෙනුවට අපගේ කාලය යහපත් ක්‍රියා සඳහා යොදවනවා. අපට කළ හැකි වඩා යහපත්ම ක්‍රියාව වන්නේ නොකඩවා රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින් මිනිසුන්ව ගෝලයන් කර ඔවුන්ට ගැලවීම ලබාගැනීමට උපකාර කිරීමයි. (මතෙව් 24:14; 28:19, 20) යහපත් ක්‍රියාවලට ඇතුළත් වන තවත් දේවල් නම් රැස්වීම්වලට සූදානම් වී සහභාගි වීම, ලෝක ව්‍යාප්ත සේවය සඳහා සම්මාදම් ඉදිරිපත් කිරීම, අපගේ රාජ්‍ය ශාලා හොඳ තත්වයකින් පවත්වාගෙන යාමට සහය වීම සහ අවශ්‍යතා ඇති සෙසු ක්‍රිස්තියානීන් ගැන සැලකිලිමත් වීමයි.

11. (අ) සමාදානය ගැන දාවිත් දුන් උපදෙස් ඔහුම ක්‍රියාවට නැංවූයේ කෙසේද? (ආ) සභාව තුළ ‘සමාදානයෙන් ගමන්’ කළ හැක්කේ කෙසේද?

11 සෙසු අය සමඟ සමාදානයෙන් සිටීම සම්බන්ධයෙන්ද දාවිත් කැපීපෙනෙන ආදර්ශයක්. තමාට සතුරුකම් කළ සාවුල්ව මරා දැමීමට දාවිත්ට අවස්ථා දෙකක්ම උදා වුණා. නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඔහු සාවුල්ට ඉතාමත් ගෞරවණීය ලෙස අමතමින් ඔහු සමඟ සමාදාන වීමට උත්සාහ කළා. (1 සාමුවෙල් 24:8-11; 26:17-20) අද දිනත් ක්‍රිස්තියානි සභාව තුළ ඇති සාමයට බාධා කළ හැකි ගැටලුවක් පැනනැඟුණොත් අපිට කළ හැක්කේ කුමක්ද? ‘සමාදානය සොයා ඒ අනුව ගමන්’ කළ යුතුයි. සෙසු ක්‍රිස්තියානියෙකුට අප සමඟ යම් අමනාපයක් තිබෙන බව අපට හැඟෙනවා නම් තත්වය කුමක්ද? එවිට අපි “පළමුවෙන් ඔබේ සහෝදරයා හා සමාදාන වන්න” කියා යේසුස් දුන් ආඥාවට කීකරු වෙනවා. එවිට යෙහෝවා දෙවිට අප කරන නමස්කාරය, ඔහුට පිළිගත හැකි තත්වයක තිබෙයි.—මතෙව් 5:23, 24; එෆීස 4:26.

දේවගරුබිය ආශීර්වාද ගෙන දෙයි

12, 13. (අ) දේවගරුබිය පෙන්වීමෙන් අපි දැන් අද්දකින ප්‍රයෝජන මොනවාද? (ආ) සැබෑ නමස්කාරකයන් ඉතා ඉක්මනින් අද්දකින්න යන මහත් ආශීර්වාද මොනවාද?

12 “යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ.” (ගීතාවලිය 34:15) යෙහෝවා දෙවි දාවිත් සමඟ ක්‍රියා කළ ආකාරයෙන් එම වචන සත්‍යයක් බව ඔප්පු වෙනවා. අපට අවශ්‍ය කුමක්ද කියා යෙහෝවා දෙවි දන්නවා. අපි දැඩි දුෂ්කරතා යටතේ සිටියත් ඒ වෙලාවට අවශ්‍ය දේ ඔහු සපයන බව නම් අපට ස්ථිරයි. එය දැනසිටීම නිසා අපි මනසේ සාමය සහ මහත් ප්‍රීතියක් අද්දකිනවා. ඉතාමත් ළඟදීම මාගොග් දේශයේ ගොග් සියලුම සැබෑ නමස්කාරකයන්ට විරුද්ධව එල්ල කරන ප්‍රහාරයට සහ ‘යෙහෝවා දෙවිගේ මහත්, භය උපදවන දවසට’ අපි මුහුණ දෙනවා. (යෝවෙල් 2:11, 31; එසකියෙල් 38:14-18, 21-23) එදාට අප මුහුණ දෙන තත්වය කුමක් වුණත් දාවිත්ගේ මෙම වචන අපිටත් අදාළයි. ඔහු පැවසුවේ මෙයයි. “ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය. යෙහෝවා අසා සියලු දුක්වලින් ඔවුන් ගැලෙව්වේය.”ගීතාවලිය 34:17.

13 එදාට යෙහෝවා දෙවි තම තේජවත් නාමය මහිමවත් කරන ආකාරය දැකීම මොන තරම් ප්‍රීතිමත් එකක් වේවිද! එයින් අපගේ හදවත් වෙන කවරදාකටත් වඩා මහත් ගරුබියකින් සහ භක්තියකින් පිරී යනවා නොඅනුමානයි. නමුත් දුෂ්ටයන්ට අත්වන්නේ මොන තරම් ලජ්ජාසහගත විනාශයක්ද! “නපුරුකම් කරන්නන් ගැන සිහිවීම පොළොවෙන් සිඳ දමන පිණිස යෙහෝවාගේ මුහුණ ඔවුන්ට විරුද්ධ වේ.” (ගීතාවලිය 34:16) දෙවිගේ ගැලවීම අද්දකිමින් ධර්මිෂ්ඨ මිනිසුන් වාසය කරන සමාජයකට ඇතුල්වීමට ලැබීම මොන තරම් ආශීර්වාදයක්ද!

විඳදරාගැනීමට උපකාර කරන පොරොන්දු

14. පීඩා යටතේ පවා විඳදරාගැනීමට අපට හැක්කේ කෙසේද?

14 ඒ අතරතුර මෙම වෛරසහගත දුෂ්ට ලෝකය තුළ යෙහෝවා දෙවිට දිගටම කීකරු වීමට නම් අපිට විඳදරාගැනීම අවශ්‍යයි. ඒ සඳහා දේවගරුබිය අපිට මහඟු උපකාරයක්. ජීවත් වීමට අසීරු මේ කාලයේ, දෙවිගේ සේවකයන්ගෙන් සමහරදෙනෙක් දරාගත නොහැකි තරම් වේදනාකාරී තත්වයන්ට මුහුණ දෙනවා. නමුත් ඔවුන් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබනවා නම් විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය ඔහු දෙන බවට නිසැක විය හැකියි. දාවිත්ගේ මෙම වචන ඇත්තෙන්ම එවැනි අයට සහනයක්. “යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින්නේය. තැළුණු ආත්ම ඇත්තන් ගලවන්නේය.” (ගීතාවලිය 34:18) තවදුරටත් නිසැකකමින් ඔහු කිව්වේ “ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. එහෙත් යෙහෝවා ඒ සියල්ලෙන් ඔහු ගලවන්නේය” කියායි. (ගීතාවලිය 34:19) අපට මොන තරම් පීඩා ආවත් ඉන් අපිව ගලවාගැනීම යෙහෝවා දෙවිට සුළු දෙයක්.

15, 16. (අ) තිස් හතරවන ගීතිකාව රචනා කිරීමෙන් අනතුරුව දාවිත්ට අසන්න ලැබුණු කනගාටුදායක ආරංචිය කුමක්ද? (ආ) විපත් දරාගන්න අපිට උපකාර කරන්නේ කුමක්ද?

15 තිස් හතරවන ගීතිකාව රචනා කර වැඩි කල් යන්න පෙර නොබ්හි සිදු වූ සමූල ඝාතනය ගැන දාවිත්ට දැනගන්න ලැබුණා. සාවුල්ගේ කෝපයට ඔවුන් ලක් වුණේ තමන් එහි ගිය නිසා බව දැනගත් දාවිත් මොන තරම් කනගාටු වෙන්න ඇද්ද! (1 සාමුවෙල් 22:13, 18-21) ඒ අවස්ථාවේදී දාවිත් යෙහෝවා දෙවිගෙන් උපකාර පැතූ නිසාත් “ධර්මිෂ්ඨයන්ගේ” නැවත නැඟිටීම ගැන ඔහු දැන සිටි නිසාත් සහනයක් ලැබූ බව නම් නිසැකයි.—ක්‍රියා 24:15.

16 නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අද දින සිටින අපිටත් මහත් ශක්තියක් ගෙන දෙනවා. දෙවි පොරොන්දු වී ඇති සදාකාල ජීවිතය අහිමි කිරීමට අපේ සතුරන්ට කොහෙත්ම බැහැ. (මතෙව් 10:28) දාවිත්ටත් එවැනිම නිසැකකමක් තිබුණා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “ඔහු [ධර්මිෂ්ඨයන්ගේ] ඇට සියල්ල ආරක්ෂා කරන්නේය. එයින් එකක්වත් නොබිඳේ.” (ගීතාවලිය 34:20) එම වචන මුලින්ම ඉටු වුණේ යේසුස් සම්බන්ධයෙනුයි. යේසුස්ව කෲර ලෙස මරා දැමුවත් ඔහුගේ ශරිරයේ එක ඇටයක්වත් ‘බින්ඳේ’ නැහැ. (යොහන් 19:36) ගීතාවලිය 34:20හි පවසන අනාවැකියට පුළුල් අදාළ වීමකුත් තිබෙනවා. එනම් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සහ ‘වෙනත් බැටළුවන්’ කුමනාකාරයේ පීඩාවලට මුහුණ දුන්නත් සංකේතාත්මක අර්ථයෙන් ඔවුන්ගේ එක ඇටයක්වත් බිඳින්න හැකි වන්නේ නැහැ. (යොහන් 10:16) එනම් ඔවුන්ගේ ජීවිත සදාකාලයටම නැති කර දමන්න ඒවාට බැහැ.

17. පසුතැවිලි නොවී යෙහෝවා දෙවිගේ සෙනඟට විරුද්ධ වෙන අයට අත්වන්නේ කුමක්ද?

17 දුෂ්ටයන්ට මුහුණ දීමට සිදු වන්නේ ඊට වඩා වෙනස් තත්වයකටයි. තම වැරදිවල පලවිපාක විඳීමට ඔවුන්ට තව වැඩි දවසක් නැහැ. දාවිත් ඒ ගැන කිව්වේ මෙසේයි. “නපුර දුෂ්ටයා නසන්නේය. ධර්මිෂ්ඨයාට ද්වේෂ කරන්නෝ වරදට පත් කරනු ලබන්නෝය.” (ගීතාවලිය 34:21) දෙවිගේ සෙනඟට දිගින් දිගටම විරුද්ධවන්නන්ට අත් වෙන්නේ විනාශයයි. යේසුස් ක්‍රිස්තුස්ගේ එළිදරව් වීමේදී ඔවුන් “සදාකාල විනාශය නමැති යුක්තිසහගත දඬුවම විඳින්නෝය.”—2 තෙසලෝනික 1:9.

18. “මහත් සමූහය” දැනටමත් මිදීම ලබා ඇත්තේ කුමන අර්ථයෙන්ද? අනාගතයේදී ඔවුන් අද්දකින්නේ කුමක්ද?

18 දාවිත් තම ගීතිකාව අවසන් කරන්නේ මෙවන් සහතිකයක් ලබා දෙමිනුයි. “යෙහෝවා ස්වකීය මෙහෙකරුවන්ගේ ආත්මය මුදන්නේය. ඔහු කෙරෙහි විශ්වාස කරන කිසිවෙක්වත් දඬුවමට පත් කරනු නොලබන්නේය.” (ගීතාවලිය 34:22) තම වසර 40ක රාජ්‍යය පාලනය අවසානයේදී දාවිත් රජ පැවසුවේ ‘[දෙවි] සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය ගැලෙව්වා’ කියායි. (1 රාජාවලිය 1:29) දෙවි කෙරෙහි ගරුබිය ඇති අයට දාවිත් මෙන්, ළඟදීම තමන් පීඩාවලින් ලැබූ ගැලවීම සහ තමන් සිටි පව්කාර තත්වයෙන් මිදුණු ආකාරය ගැන සන්තෝෂ විය හැකියි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් වැඩිදෙනෙක් දැනටමත් ඔවුන්ට හිමි ස්වර්ගික ජීවිතය අත් කරගෙන අවසන්. “මහත් සමූහය” පොළොව මත සිටින යේසුස්ගේ සහෝදරයන් සමඟ එක් වී දෙවිට සේවය කරන නිසා යෙහෝවා දෙවි ඉදිරියේ පිළිගත හැකි තත්වයක සිටින්න හැකි වී තිබෙනවා. ඊට හේතුව ඔවුන් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමයි. ඔවුන් යේසුස්ගේ ජීවිත පූජාවේ සම්පූර්ණ ප්‍රයෝජන අද්දකිමින් පරිපූර්ණත්වයට පැමිණෙන්නේ දහස් අවුරුදු පාලනය තුළදීයි.—එළිදරව් 7:9, 14, 17; 21:3-5.

19. “මහත් සමූහය” අධිෂ්ඨාන කරගෙන සිටින්නේ කුමක් කිරීමටද?

19 දෙවිට නමස්කාර කරන ‘මහත් සමූහයේ’ සාමාජිකයන්ට එවන් ආශීර්වාද ලැබෙන්නේ ඇයි? මහත් අගය කිරීමකින් හා කීකරුකමකින් දෙවිට සේවය කරමින් ඔහුට ගරුබිය ඇතිව සිටීම ඔවුන්ගේ එකම අධිෂ්ඨානය වන නිසයි. යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමෙන් දැන් පවා අපගේ ජීවිතයේ සැබෑ සතුට අද්දකින්න පුළුවන්. එපමණක් නොවෙයි, ‘සැබෑ ජීවිතය තදින් අල්ලාගෙන’ පාරාදීස පොළොවේ සදාකාල ජීවනය ලැබීමටත් දේවගරුබිය අපිට උපකාර කරයි.—1 තිමෝති 6:12, 18, 19; එළිදරව් 15:3, 4.

ඔබට මතකද?

• අපි දෙවිට ගරුබිය පෙන්විය යුත්තේ ඇයි? ඉන් අදහස් කරන්නේ කුමක්ද?

• දේවගරුබිය අපගේ හැසිරීමට බලපෑ යුත්තේ කෙසේද?

• දේවගරුබිය ඇතිව සිටීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

• විඳදරාගැනීමට අපට උපකාරවත් වන පොරොන්දු මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

තහනම යටතේ පවා දේවගරුබිය ඇති අය කල්පනාකාරීව කටයුතු කරයි

[28වන පිටුවේ පින්තූරය]

අපගේ අසල්වාසීන් වෙනුවෙන් කළ හැකි හොඳම ක්‍රියාව වන්නේ ඔවුන්ට රාජ්‍යයේ ශුභාරංචිය ගැන දැනුම් දීමයි