Skip to content

පටුනට යන්න

නාමන්

නාමන්

නාමන්

ඔහු ක්‍රිස්තු පූර්ව 10වන ශතවර්ෂයේ සිරියානු හමුදාවේ සිටි සෙන්පතියෙක්. නාමන් තම රාජකාරිය කළේ ඊශ්‍රායෙලයේ රජ වූ යෙහෝරාම් සහ සිරියාවේ දෙවන බෙන්හදද්ගේ පාලන සමයේදීයි. “නාමන් ලවා යෙහෝවා සිරියවරුන්ට ජය දුන් නිසා” ඔහු ‘උත්තමයෙක්ද, ගරුකටයුතු කෙනෙක්ද, බලසම්පන්න වික්‍රමාන්විත කෙනෙක්ද විය.’ (2 රාජාවලිය 5:⁠1) නමුත් සිරියාවට ජය ගෙන දීමේදී යෙහෝවා දෙවි නාමන්ව යොදාගත්තේ කෙසේද කියාවත්, ඔහුව තෝරාගැනීමට හේතුව කුමක්ද කියාවත් බයිබලයේ සඳහන් කර නැහැ. කොහොමනමුත් සිරියාව අල්ලාගැනීමට ඇසිරියානු රජ වූ තුන්වන ශල්මනෙසර් රජ ගත් උත්සාහය බිඳ හෙළීමට, නාමන් තම හමුදාව සාර්ථක ලෙස මෙහෙය වූවා. සිරියාව ස්වාධීන රාජ්‍යයක් ලෙස ඊශ්‍රායෙලය හා ඇසිරියාව අතර බාධකයෙක් මෙන් පිහිටා තිබුණා. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් උතුරු රාජ්‍යය වහල්භාවයට යැවීම සඳහා යම් කාලයක් නියම කළා. නමුත් ඊට පෙර ඇසිරියානුවන් පැමිණ ඔවුන්ව ආක්‍රමණය කිරීම වැළැක්වීම සඳහා දෙවි සිරියාව බාධකයක් ලෙස යොදා ගත්තා විය හැකියි.

ලාදුරු රෝගය සුව කිරීම

නාමන් ලාදුරු රෝගියෙක්. යෙහෝවා දෙවි දුන් නීතියට අනුව ඊශ්‍රායෙල්වරුන් අතර එවැනි රෝගීන් සිටියා නම් ඔවුන් වෙන්ව සිටිය යුතු වුණා. නමුත් නාමන් එසේ වෙන්ව සිටිය යුතුයි කියා සිරියවරුන් ඔහුට බල කළේ නැහැ. ඒ වුණත් ලාදුරු රෝගය සුව කරගත හැකියි කියා දැනගත් විට එය ඔහුට සතුටුදායක ආරංචියක් වුණා. ඔහු එය දැනගත්තේ තම බිරිඳ ළඟ වහල් සේවයේ යෙදී සිටි ඊශ්‍රායෙල් දැරියකගෙනුයි. ලාදුරු රෝගය සුව කළ හැකි අනාගතවක්තෘවරයෙක් සමාරියේ සිටින බව ඇය කියා සිටියා. දෙවන බෙන්හදද් රජගෙන් ලිපියක් ඉල්ලාගත් නාමන් වහාම සමාරියට පිටත්ව ගියා. නමුත් ඊශ්‍රායෙල් රජ වූ යෙහෝරාම් ඔහුව පිළිගත්තේ සැකයෙන් යුතුවයි. කොහොමනමුත් ඔහුව එලිෂා ළඟට යැව්වත් එලිෂා, නාමන්ව මුණගැහෙන්න ආවේ නැහැ. ඒ වෙනුවට එලිෂා තමාගේ සේවකයෙක් අතේ පණිවිඩයක් එවමින් කිව්වේ යොර්දාන් ගඟෙන් හත් වතාවක් ස්නානය කරන්න කියායි. එය ඇසු නාමන් කෝපයෙන් දැවුණා. ඔහුගේ මහන්තත්වය නිසාත් ඔහුට ගරුබුහුමන් නොලැබුණු නිසාත් ඔහු හිතුවේ තමන් ආ ගමනේ කිසි පලක් නැහැ කියායි. ඒ නිසා ලාදුරු රෝගියෙක් ලෙසම ආපයින් යෑමට ඔහු සැරසුණත් ඔහුගේ සේවකයෝ ඔහුට කරුණු කාරණා පැහැදිලි කර දුන්නා. එය පිළිගත් ඔහු යොර්දාන් ගඟෙන් හත් වතාවක් ස්නානය කළ පසු ආශ්චර්යවත් ලෙස සුවය ලැබුවා. එලිෂා විසින් ලාදුරු රෝගියෙක්ව සුවවීමට සැලැස්වූ එකම අවස්ථාව එය පමණයි.—2 රාජාවලිය 5:1-14; ලූක් 4:27.

යෙහෝවා දෙවිගේ නමස්කාරකයෙක් වෙයි

රෝගයෙන් සම්පූර්ණ සුවයක් ලැබූ සිරියානු සෙන්පති නැවත කිලෝමීටර් 50ක් ආපසු යන්නේ එලිෂාට තම හද පිරි ස්තුතියත් සමඟ වටිනා ත්‍යාගයක් දීමටයි. නමුත් අනාගතවක්තෘවරයා එය එකහෙළාම ප්‍රතික්ෂේප කරනවා. ඉන්පසු නාමන්, ඊශ්‍රායෙල් දේශයෙන් “අශ්වතරයන් දෙදෙනෙකුගේ බරට” පස් දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ තම දේශයට ගොස් ඊශ්‍රායෙලයෙන් ගෙනා පස් මත යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා, පූජා ඔප්පු කරමින් දෙවිට නමස්කාර කිරීම සඳහායි. මින්මතු කිසිදාක වෙන දෙවි කෙනෙකුට වඳින්නේ නැතැයි කියාද නාමන් පොරොන්දු වෙනවා.—2 රාජාවලිය 5:15-17 සමඟ නික්මයාම 20:24, 25 සසඳන්න.

ඊළඟට නාමන් තවත් ඉල්ලීමක් කරනවා. ඔහු දෙවි යෙහෝවාගෙන් සමාව ඉල්ලා සිටිනවා. කුමකටද? තමාගේ මහලු සහ දුබල රජව, ඔහු නමස්කාර කරන රිම්මෝන් දෙවියා ළඟට ගෙන යාමටත් රජ නැමී නමස්කාර කරන විට තමාටද නැවෙන්න සිදු වෙන බවත් නාමන් පැවසුවා. මේ අවස්ථාවේදී ඔහු ඒ දෙවියා ඉදිරියේ නැවෙන්නේ ඔහුගේ රාජකාරියේ කොටසක් හැටියට පමණක් බව ඉන් පැහැදිලියි. එය නාමන් එම දෙවියාට පෞද්ගලිකව කරන නමස්කාරයක් නොවෙයි. ඔහුගේ එම අවංක ඉල්ලීම වටහාගත් එලිෂා, “සමාදානයෙන් යන්න” කියා ඔහුට කිව්වා.—2 රාජාවලිය 5:18, 19.

ඔහු පිටත් වූ පසු එලිෂාගේ සේවකයෙක් වූ ගෙහාසීට ඒ තෑගි ලබාගන්න තිබූ ගිජුකම නිසා හොර රහසේම නාමන්ව හමුවීමට ගියා. එලිෂා තමන්ගේ අදහස වෙනස් කරගත් බවත් තෑගි ගැනීමට ඔහු ආස බවත් පවසමින් ඔහු නාමන්ට බොරු ගොතා කිව්වා. එය විශ්වාස කළ නාමන් ඔහුට ඉතා සතුටින් රිදී සහ ඇඳුම් දුන්නා. ගෙහාසී ක්‍රියා කළේ ගිජුකමින් සහ බොරුවෙනුයි. එලිෂාගේ සේවකයෙක් හැටියට ඔහුට තිබූ තත්වයෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් යෙහෝවා දෙවිගේ බලයෙන් සිදු කළ ක්‍රියාවෙන් තමන්ටම වාසි ප්‍රයෝජන ලබාගන්න උත්සාහ කළා. ඊට දඬුවමක් හැටියට දෙවි, ගෙහාසීටත් ඔහුගෙන් පැවතෙන්නටත් ලාදුරු රෝගයෙන් පීඩා විඳීමට සැලැස්සුවා.—2 රාජාවලිය 5:20-27.