Skip to content

පටුනට යන්න

ප්‍රීතියෙන් යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින්න

ප්‍රීතියෙන් යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින්න

ප්‍රීතියෙන් යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින්න

ඔබ කවදා හෝ පලතුරක් ඉදෙන්න කලින් එය රස බලා තිබෙනවාද? එහි නියම රසය දැනුණේ නැති නිසා ඔබ ඊට ප්‍රිය වුණේ නැති බව නම් නිසැකයි. පලතුරක් ඉදෙන්න යම් කලක් ගත වෙන බව ඇත්තයි. එහෙත් ඒ වන තෙක් බලා සිටීමෙන් එහි නියම රසය භුක්ති විඳින්න ඔබට පුළුවන්. බලා සිටීමෙන් බොහෝ ප්‍රතිඵල අත් කරගත හැකි තවත් පැති අපගේ ජීවිතයේ තිබෙනවා. ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “යෙහෝවාගෙන් ලැබෙන ගැලවීම ගැන පතමින් නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට යහපත.” (විලාප ගී 3:26; තීතස් 2:13) ක්‍රිස්තියානීන්ට යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටීමට සිදු වන්නේ කුමන අවස්ථාවලදීද? එසේ කිරීමෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

දෙවි කෙරෙහි බලා සිටීමට ඇතුළත් වන්නේ කුමක්ද?

ක්‍රිස්තියානීන් වශයෙන් අපි “යෙහෝවාගේ දවස පැමිණීම බලා සිටිමින්, එය මනසෙහි ප්‍රමුඛව” තබාගෙන සිටිනවා. එමෙන්ම ‘අභක්තික මිනිසුන්ගේ විනාශයෙන්’ පසු දෙවි දෙන සැනසීම දෙසද අපි බලා සිටිනවා. (2 පේතෘස් 3:7, 12) අභක්තියන් මත විනාශය ගෙනෙන්න යෙහෝවා දෙවි සිටින්නේ ඉතාමත් උනන්දුවෙන්. නමුත් තමාගේ නාමයට මහිමය පැමිණෙන ආකාරයෙන් තම සෙනඟව ගලවාගැනීමට යෙහෝවා දෙවි කැමති වන නිසා, ඒ වන තෙක් ඔහුද බලා සිටිනවා. බයිබලයේ ඒ ගැන තහවුරු කරන්නේ මෙසේයි. “දෙවි, තමාගේ උදහස පෙන්වන්නද තමාගේ බලය ප්‍රකාශ කරන්නද කැමති වූ නමුත් විනාශය ලැබීමට සුදුසු උදහසේ භාජන ගැන විඳදරාගනිමින් බොහෝ සෙයින් ඉවසුවේය. ඔහු එසේ කළේ, තේජස සඳහා තමා කලින් සූදානම් කළ දයාවේ භාජන කෙරෙහි තම තේජසේ සම්පත ප්‍රකාශ කිරීමටය.” (රෝම 9:22, 23) එදා නෝවාගේ දවසේදී මෙන් තම සේවකයන්ව ගලවාගැනීමට සුදුසුම කාලය කුමක්ද කියා දෙවි හොඳින්ම දන්නවා. (1 පේතෘස් 3:20) යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටීමෙන් අදහස් කරන්නේ, ඔහු ක්‍රියාත්මක වන කාලය පැමිණෙන තෙක් බලා සිටීමයි.

යෙහෝවා දෙවිගේ දවස කෙරෙහි බලා සිටින අතරතුර මේ ලෝකයේ පිරිහුණු සදාචාරය නිසා අපි කලකිරෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී දෙවිගේ අනාගතවක්තෘ මීකාගේ මෙම වචන සලකා බැලීම අපිට දිරිගැන්වීමක් වෙනවා. “භක්තිවන්තයා පොළොවෙන් නැති වී ගියේය. මනුෂ්‍යයන් අතරේ ඇද නැති කෙනෙක් නැත.” නමුත් ඔහු මෙසේද පැවසුවා. “මම වනාහි යෙහෝවා දෙස බලන්නෙමි. මාගේ ගැලවීමේ දෙවි බලා සිටින්නෙමි.” (මීකා 7:2, 7) අපි සෑමදෙනාම ඇති කර ගත යුතු ‘බලා සිටීමේ ආකල්පය’ කුමක්ද? බලා සිටීමට සිදුවීම බොහෝවිට කනස්සල්ලට හේතු විය හැකියි. එහෙත් දෙවි කෙරෙහි බලා සිටිමින් අපගේ ප්‍රීතිය පවත්වාගත හැක්කේ කෙසේද?

බලා සිටින අතරතුර ප්‍රීතිය ලබන්න

බලා සිටීමේ ආකල්පය ගැන අපිට යෙහෝවා දෙවිගෙන් ඉගෙනගන්න පුළුවන්. “සන්තෝෂවත් දෙවි” වශයෙන් ඔහු කිසි දිනක තම ප්‍රීතිය අහිමි කරගත්තේ නැහැ. (1 තිමෝති 1:11) යෙහෝවා දෙවි බලා සිටින අතරතුර ප්‍රීතියෙන් සිටින්නේ ඔහුගේ මුල් අරමුණ ක්‍රියාත්මක කිරීම සඳහා නොකඩවා වැඩ කරමින් සිටින නිසයි. එනම්, තමන් ප්‍රේම කරන මිනිසුන්ව පරිපූර්ණත්වයට ගෙන ඒමටයි. (රෝම 5:12; 6:23) එහි ප්‍රතිඵලයක් හැටියට මිලියන ගණනක් මිනිසුන් තමාගේ නමස්කාරකයන් බවට පත්වෙනවා දැකීම දෙවිට මහත් ප්‍රීතියක් ගෙන දෙනවා. යේසුස්ද ඒ බව සනාථ කළේ මෙසේයි. “මාගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටින්නේය. මමත් වැඩ කරමින් සිටිමි.” (යොහන් 5:17) අන් අය වෙනුවෙන් යහපත් දේවල් කිරීම ප්‍රීතිය ගෙන දෙන ප්‍රධාන මාර්ගයක්. (ක්‍රියා 20:35) සැබෑ ක්‍රිස්තියානීන්ද දෙවිගේ දවස එන තෙක් කාලය අපතේ යවමින් බලා සිටින්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ පිළිබඳව අන්‍යයන්ට ඉගැන්වීමට වෙහෙස නොබලා වැඩ කරමින් සිටිනවා.

දෙවි කෙරෙහි බලා සිටින අතරතුර ඔහුට ප්‍රශංසාව ගෙන දෙන දේවල්වල හවුල් වීම, කවදත් දෙවිගේ සේවකයන්ගේ ප්‍රීතිය වී තිබෙනවා. ඊට ගීතිකාකාර දාවිත් හොඳ උදාහරණයක්. ඔහුට තමාගේම රජු අතින් පීඩා විඳින්න සිදු වුණා. එමෙන්ම තමා කිට්ටුවෙන්ම ආශ්‍රය කළ අයම ඔහුට ද්‍රෝහි වුණා. ඒ විතරක් නොවෙයි, ඔහුගේම පුත්‍රයාත් ඔහුට විරුද්ධව ක්‍රියා කළා. ඒ සෑම අවස්ථාවකදීම යෙහෝවා දෙවි තමා වෙනුවෙන් ක්‍රියා කරන තෙක් බලා සිටීම නිසා ඔහුට තම ප්‍රීතිය පවත්වාගන්න හැකි වුණා. හැත්තෑ එක්වන ගීතිකාවේ ඇති අදහස්වලට අනුව, එය ඔහු රචනා කළා කියා අපට හිතන්න පුළුවන්. එහි කියන්නේ “මම නිතරම බලාපොරොත්තු වෙමින් වඩ වඩා ඔබට ප්‍රශංසා කරන්නෙමි. මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබගේ ධර්මිෂ්ඨකම හා ගැලවීම ගැන කියා දෙන්නේය” කියායි. (ගීතාවලිය 71:14, 15) සිදු වූ දේවල් ගැන සිතමින් කලකිරෙනවා වෙනුවට ඔහු තම ප්‍රීතිය පවත්වාගත්තා. ඒ කෙසේද? යෙහෝවා දෙවිට ප්‍රශංසාව ගෙන දීමටත් අන් අයව සැබෑ නමස්කාරය තුළ ශක්තිමත් කිරීමටත් කඩිසරව කටයුතු කිරීමෙනුයි.—ගීතාවලිය 71:23.

යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටීම, ප්‍රමාද වූ බස් එකක් එන තෙක් බලා සිටිනවා හා සමාන දෙයක් නොවෙයි. එය හරියට තම කුඩා දරුවා ලොකු මහත් වී සාර්ථක වෙනවා දකින්න, බලාපොරොත්තු දල්වාගෙන මහත් ආශාවෙන් බලා සිටින දෙමාපියන්ට සමානයි. ඒ අතරතුර කාලයේ ඔවුන් කොතරම් කාර්ය බහුලද! තම කුඩා දරුවාට නිසි පුහුණුව දෙන්න, ගුරුහරුකම් දෙන්න සහ හික්මවන්න යන මේ සියලු වෙහෙස දරන්නේ තම බලාපොරොත්තු මල් පල ගැන්වීමටයි. ඒ හා සමානව දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින අපි උත්සාහ කරන්නෙත් දෙවිට ළංවීමට අන් අයට උපකාර කිරීමටයි. අපේ ආශාව වන්නෙත් දෙවිගේ අනුමැතිය ලබාගෙන අවසානයේදී ගැලවීම අත් කරගැනීමටයි.

බලාපොරොත්තු අත් නොහරින්න

යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටීමට ඇතුළත් වන තවත් දෙයක් තිබෙනවා. එය නම් බලාපොරොත්තු අත් නොහැර දිගටම දෙවිට ප්‍රේම කිරීම සහ සේවය කිරීමයි. නමුත් එය අභියෝගයක් විය හැකියි. හේතුව නම් දෙවි දී තිබෙන පොරොන්දු කෙරෙහි විශ්වාසය තබමින් ඒ අනුව ජීවත් වන අයව අද සිටින බොහෝ මිනිසුන් සමච්චලයට ලක් කිරීමයි. ඇදහිලිවන්ත ඊශ්‍රායෙල්වරුන් අවුරුදු 70ක් පුරා වහල්භාවයේ සිටියත් තමන්ගේ බලාපොරොත්තු සුන් කරගත්තේ නැහැ. ඒ සඳහා ඔවුන්ට උපකාර වුණේ කුමක්ද? ගීතාවලියේ සඳහන් ඇදහිල්ල ශක්තිමත් කරවන තොරතුරු කියවීම ඔවුන්ට මහත් රුකුලක් වන්නට ඇති. පෙනෙන විදිහට පහත සඳහන් ගීතිකාව ලියනු ලැබුවේ ඔවුන් වහල්භාවයේ සිටි විටයි. “ඔහුගේ වචනය කෙරෙහි බලාපොරොත්තු වෙමි. අලුයම බලා සිටින මුරකාරයන්ට වඩා එසේය, අලුයම බලා සිටින මුරකාරයන්ට වඩා මාගේ ආත්මය යෙහෝවා බලා සිටියි. එම්බා ඊශ්‍රායෙල්, යෙහෝවා කෙරෙහි බලාපොරොත්තු වෙන්න.”—ගීතාවලිය 130:5-7.

එම යුදෙව්වන්ට තිබූ බලාපොරොත්තුව ඔවුන් දීප්තිමත්ව තබාගත්තේ ඒ ගැන කියවීමෙන් සහ එකිනෙකා සමඟ කතා කිරීමෙනුයි. එහි ප්‍රතිඵලයක් හැටියට බබිලෝනියේ වහල්භාවයෙන් මිදී නැවතත් යෙරුසලෙමට යාමට ඔවුන්ට හැකි වුණා. ඒ ප්‍රීතිය ගැන ඔවුන්ට දැනුණේ මෙසේයි. “සියොන් කෙරෙන් වාලට ගෙනගියවුන් යෙහෝවා ආපසු ගෙනා කල . . . අපේ කට සිනාවෙන්ද . . . පිරුණේය.” (ගීතාවලිය 126:1, 2) එම යුදෙව්වන් දෙවිට ප්‍රශංසා ගීතිකා ගයමින් ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරන දේවල නොකඩවා හවුල් වුණා.

මේ “සමාජ ක්‍රමයේ අවසාන” කාලයේ දෙවි කෙරෙහි බලා සිටින දෙවිගේ සේවකයන්ද ඔවුන්ගේ බලාපොරොත්තුව දීප්තිමත්ව තබාගැනීමට නොකඩවා වෑයම් කරනවා. ඒ සඳහා ඔවුන් නිතිපතා දේවවචනය අධ්‍යයනය කිරීමේ, එකිනෙකාව දිරිගැන්වීමේ සහ රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමේ කඩිසරව නිරත වෙනවා.—මතෙව් 24:3, 14.

හික්මවීමෙන් ප්‍රයෝජන ලබන්න

අනාගතවක්තෘ යෙරෙමියා ප්‍රකාශ කළේ “යෙහෝවාගෙන් ලැබෙන ගැලවීම ගැන පතමින් නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට යහපත” කියායි. (විලාප ගී 3:26) යෙරෙමියා ඉන් අදහස් කළේ, යෙරුසලෙමේ විනාශය තුළින් යෙහෝවා දෙවි ඔවුන්ව හික්මවූ ආකාරය ගැන චෝදනා කිරීම වැරදි බවයි. ඒ වෙනුවට ඔවුන්ට එවැනි දෙයක් අද්දකින්න සිදු වුණේ ඇයි කියා බැරෑරුම්ව කල්පනා කිරීමත් ඔවුන්ගේ ආකල්ප නිවැරදි කරගැනීමත් අවශ්‍ය වුණා. එසේ කිරීමෙන් ඔවුන්ට ප්‍රයෝජන ලැබිය හැකි බව යෙරෙමියා පැහැදිලි කළා.—විලාප ගී 3:40, 42.

පලතුරක් ඉදෙන්න යම් කාලයක් ගත වෙනවා හා සමානව, අද්දැකීම් ලත් ක්‍රිස්තියානියෙක් වීමටත් යම් කාලයක් ගත වෙනවා. යෙහෝවා දෙවි දෙන හික්මවීම ඒ සඳහා අපට මහත් උපකාරයක්. ඒ ගැන බයිබලය මෙසේ පවසනවා. “එමගින් පුහුණු වූ අයට සමාදානයේ පලය වන ධර්මිෂ්ඨකම ලැබෙන්නේය.” (හෙබ්‍රෙව් 12:11) යෙහෝවා දෙවි දෙන හික්මවීම් තුළින් අපේ ආකල්ප වෙනස් කරගැනීමටත් යම් කාලයක් ගත වෙනවා. උදාහරණයකට බයිබලයේ යම් ප්‍රතිපත්තියක් කඩ කිරීම නිසා සභාවේ අපි දරණ වගකීම් අහිමි විය හැකියි. එවැනි අවස්ථාවකදී අධෛර්ය වීමෙන් සහ බලාපොරොත්තු සුන් කරගැනීමෙන් අපව වළක්වන්නේ දෙවි කෙරෙහි බලා සිටීමයි. එවැනි තත්වයකට මුහුණ දීමේදී දාවිත් පැවසූ මෙම වචන අපිට දිරිගැන්වීමක් වෙනවා. “ඔහුගේ [දෙවිගේ] උදහස මොහොතකට පමණක්ය. ජීවිතය ඔහුගේ කරුණාවෙන්ය. රාත්‍රියේ හැඬීම පවතින නමුත් උදයෙහි ප්‍රීතිය පැමිණෙයි.” (ගීතාවලිය 30:5) අපි දෙවිගේ වචනයෙන් හා ඔහුගේ සංවිධානයෙන් ලැබෙන උපදෙස් අදාළ කරගනිමින් බලා සිටීමේ ආකල්පයක් ඇතිව සිටිනවා නම් නියමිත කාලයේදී අපට “ප්‍රීතිය” අත් කරගත හැකි බව නිසැකයි.

අද්දැකීම් ලත් ක්‍රිස්තියානියෙක් වීමට

ඔබ මෑතකදී බව්තීස්ම වූ කෙනෙක්ද? නැතිනම් ඔබ ළා බාල කෙනෙක්ද? ක්‍රිස්තියානි සභාව තුළ යම් වගකීම් දැරීමට ඔබ ආශාවෙන් සිටිනවා විය හැකියි. නමුත් වගකීම් දැරීමට සුදුසු ක්‍රිස්තියානියෙක් බවට පත්වීමට යම් කාලයක් ගත වන බව මතක තබාගන්න. එමනිසා ඔබ බව්තීස්ම වූ මුල් අවුරුදු කිහිපය තුළ එම සුදුසුකම් අත් කරගැනීමට අඩිතාලම දමාගන්න. උදාහරණයකට මුළු බයිබලයම කියවීම, ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගැනීම සහ මිනිසුන්ව ගෝලයන් කිරීමට ඉගැන්වීමේ කලාව වර්ධනය කිරීම වැනි දේවල්වලට කාලය ගන්න. (දේශනාකාරයා 12:1) ඔබ නිහතමානීව බලා සිටීමේ ආකල්පයක් ඇතිව සිටිනවා නම් යෙහෝවා දෙවිගේ නියමිත කාලයේදී තවත් වගකීම් දැරීමට ඔබට හැකි වෙයි.

මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යය සඳහාද අපට ඉවසිලිවන්තව බලා සිටීමට සිදු වෙනවා. බීජ වැපිරූ ගොවියෙක් දෙවි එහි වර්ධනය දෙන තෙක්, නොකඩවාම ඒවාට සාත්තු කළ යුතුයි. මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යයද ඒ හා සමානයි. (1 කොරින්ති 3:7; යාකොබ් 5:7) අන් අය තුළ යෙහෝවා දෙවි කෙරෙහි ඇදහිල්ලක් සහ ඔහු කෙරෙහි අගයක් ඇති කිරීම දවසෙන් දෙකෙන් කළ හැකි දෙයක් නොවෙයි. ඊට සති, මාස සමහරවිට අවුරුදු ගණනක් වුණත් ගත වෙන්න පුළුවන්. මුලදී ශිෂ්‍යයන් ඉගෙනගන්න දේට අනුව ක්‍රියා කිරීමට ප්‍රමාද කළත් දිගටම ඔවුන් සමඟ බයිබලය පාඩම් කිරීමද, දෙවි කෙරෙහි බලා සිටීමට ඇතුළත් වෙනවා. ඔවුන් යම් තරමක හෝ උනන්දුවක් පෙන්වනවා නම් එය යෙහෝවා දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වන බවට ලකුණක් විය හැකියි. ඔබ ඉවසීමෙන් යුතුව ශිෂ්‍යයාට උපකාර කළොත් යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඇතිව එම ශිෂ්‍යයා යේසුස්ගේ ගෝලයෙක් බවට පත් වෙද්දී එහි ප්‍රීතිය ඔබ අද්දකියි.—මතෙව් 28:20.

බලා සිටීමෙන් ප්‍රේමය පෙන්වන්න

බලා සිටීම, ප්‍රේමයේ සහ විශ්වාසයේ ප්‍රකාශයක් බව පෙන්වන මේ උදාහරණය සලකා බලන්න. අපගේ මේ වයසක සහෝදරිය ජීවත් වන්නේ දකුණු අමෙරිකාවේ ඇන්ඩීස් කියන කාන්තාර ප්‍රදේශයෙයි. එම ගමේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට සිටින්නේ ඇයත් තව සහෝදරියකුත් පමණයි. වෙනත් සාක්ෂිකරුවන් ඔවුන්ව බලන්න එන තෙක් ඔවුන් බලා සිටින්නේ මොන තරම් නොඉවසිල්ලෙන්ද කියා ඔබට සිතාගන්න පුළුවන්ද? දිනක් එක් සංචාරක අවේක්ෂකයෙක් ඔහුගේ පළමු බැහැදැකීම සඳහා එහි යන විට ඔහුට පාර වැරදුණා. ඔහු නැවතත් හරි පාර සොයාගෙන පැමිණියේ පැය කිහිපයක් ප්‍රමාද වෙලයි. කොහොමනමුත් ඔහු ගමට කිට්ටු වෙන විට හොඳටම රෑ බෝවෙලයි තිබුණේ. ඒ ගමේ විදුලි බලය තිබුණෙත් නැහැ. නමුත් ඈතින් එන කුප්පි ලාම්පුවක එළිය දුටු විට ඔහු පුදුම වුණා. ගමට ඇතුල් වෙනවාත් එක්කම ඒ කුප්පි ලාම්පුව අතැතිව සිටි එම වයසක සහෝදරියව දැක ඔහු කොතරම් සතුටට පත් වෙන්න ඇද්ද! එම සහෝදරයා අනිවාර්යයෙන්ම එන බව විශ්වාස කළ ඇය ඔහු එන තෙක් මඟ බලාගෙන සිටියා.

යෙහෝවා දෙවිගේ පොරොන්දු ඔහු ඉෂ්ට කරන බව අපට ස්ථීරයි. එමනිසා ඒ වයසක සහෝදරියට තිබුණා හා සමාන ඉවසීමකින් යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටීමට අපිත් සතුටුයි. කලින් සඳහන් කළ සංචාරක අවේක්ෂක මෙන්, අප වෙනුවෙනුත් ප්‍රේමණීය ලෙස බලා සිටින අයව අපි අගය කරනවා. ඒ හා සමානව යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින අය ගැන ඔහුත් ප්‍රසන්නයි. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙසේයි. “යෙහෝවා . . . තමන්ගේ කරුණාව ගැන බලා සිටිනවුන් කෙරෙහිත් ප්‍රසන්න වන්නේය.”—ගීතාවලිය 147:11.

[18වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමේ කාර්යයේ කඩිසරව යෙදෙන අය, ඔහු කෙරෙහි බලා සිටීමෙන් ප්‍රීතිය ලබනවා