Skip to content

පටුනට යන්න

වෙසල් ඥාන්ස්ෆෝර්ට් දේවවචනයට ගරු කළ මිනිසෙක්

වෙසල් ඥාන්ස්ෆෝර්ට් දේවවචනයට ගරු කළ මිනිසෙක්

වෙසල් ඥාන්ස්ෆෝර්ට් දේවවචනයට ගරු කළ මිනිසෙක්

ලූතර්, ටින්ඩේල් සහ කැල්වින් යන නාමයන් රෙපරමාදු ප්‍රතිසංස්කරණය, නැතහොත් 1517දී බිහි වූ රෙපරමාදු ආගම ගැන හදාරණ අයට හොඳින් හුරු පුරුදුයි. නමුත් වෙසල් ඥාන්ස්ෆෝර්ට් කියන නම අසා ඇත්තේ ස්වල්පදෙනෙක් පමණයි. ඔහුව හැඳින්වූයේ “රෙපරමාදු ප්‍රතිසංස්කරණයට මඟ පෑදූ තැනැත්තෙකු” ලෙසයි. මෙතැන් සිට ඔහුගේ ජීවිතයෙන් බිඳක් සොයා බලමු.

ඔහු මෙලොව එළිය දුටුවේ 1419 නෙදර්ලන්තයේ ග්‍රෝනින් නම් නගරයේයි. ඒ කාලයේදී පාසල් අධ්‍යාපනය හැදෑරීමට තරම් වත්කමක් තිබුණේ අතළොස්සකට පමණයි. වෙසල් ඉගෙනීමට විශේෂ දස්කමක් දැක්වුවත් වයස අවුරුදු නවයේදී ඔහුගේ පාසල් ගමන ඇනහිටියා. ඊට හේතුව ඔහුගේ පවුලේ දිලිඳුකමයි. වෙසල් ඉගෙනගැනීමට අතිදක්ෂයි කියා දැනගත් එක් වැන්දඹු කාන්තාවක් ඔහුගේ පාසල් ගාස්තු ගෙවීමට ඉදිරිපත් වූ නිසා තම පාසල් දිවිය නැවතත් ඇරඹීමට ඔහුට හැකි වුණා. කාලයක් ගතවූවාට පසුව කලාව පිළිබඳ විශාරද උපාධියකින් ඔහු පිදුම් ලැබූ අතර පසුව දේවධර්මාචාර්ය යන පදවිය ඔහුටත් ලැබුණා.

වෙසල් තව තවත් දේවල් ඉගෙනගැනීමට දැඩි ඇල්මක් දැක්වුවා. කෙසේනමුත් ඔහුගේ කාලයේ තිබුණේ ඉතාමත් සීමිත පුස්තකාල සංඛ්‍යාවක් පමණයි. ඒ කාලයේ චල අකුරු මුද්‍රණ ක්‍රමය සොයාගෙන තිබුණත් බොහෝ පොත් පත් ලියැවුණේ අතින්මයි. ඒ විතරක් නෙවෙයි ඒවා ඉතාමත් මිල අධික වුණා. වෙසල්, විද්වතුන්ගෙන් සමන්විත එක් කණ්ඩායමකට අයත්ව සිටි අතර මොවුන්, පුරාණ ලියවිලි සහ අභාවයට යමින් තිබූ පොත් පත් සොයමින් පුස්තකාල සහ පූජකාරාම ගානෙ ගමන් කළා. ඔවුන් අලුතින් සොයාගත් දේ එකිනෙකා සමඟ බෙදාගත්තා. මෙලෙස ඔහු දැනුම් සම්භාරයක් රැස්කරගත් අතර ඔහුගේ පෞද්ගලික සටහන් පොතේ නොයෙකුත් සාහිත්‍ය කෘතිවලින් උපුටා ගත් දේ ඇතුළත් කළා. ඔහුට තිබූ මහත් දැනුම නිසා අනෙකුත් දේව ධර්මාචාර්යවරුන් ඔහු දෙස වපර ඇසින් බැලුවා. ඊට හේතුව ඔවුන් කිසි දිනක අසා නොතිබූ දේවල් වෙසල් දැන සිටි නිසයි. එමනිසා ඔවුන් ඔහුව හැඳින්වූයේ පරස්පර විරෝධියා යන අරුත ඇති නමකිනුයි.

“ක්‍රිස්තුස් වෙතට ඔබ මාව මඟ පෙන්වන්නේ නැත්තේ ඇයි?”

ප්‍රතිසංස්කරණයට අවුරුදු 50කට පෙර වෙසල්ට ටොමස් එ කැම්පිස්ව හමු වුණා. (1379-1471 අතර කාලයේදී පමණ) එවකට ජනප්‍රිය කෘතියක්ව තිබූ ඩී ඉමිටේෂනී ක්‍රිස්ටි (ඉමිටේෂන් ඔෆ් ක්‍රයිස්ට්) යන පොතේ කර්තෘ ඔහුයි. ඔහු ‘බ්‍රැතරන් ඔෆ් ද කොමන් ලයිෆ්’ නමැති ආගමට අයත් වී සිටි අතර භක්තිමත් ජීවිතයක් ගත කරන්න කියා එහි නිතරම අවධාරණය කළා. වෙසල්ගේ ජීවිත කතාව ලියූ තැනැත්තෙක් වාර්තා කරන්නේ ටොමස් එ කැම්පිස් අවස්ථා කිහිපයකදීම මරියාට යාච්ඤා කිරීමට වෙසල්ව උනන්දු කළා කියායි. නමුත් ඊට වෙසල් ප්‍රතිචාරය දැක්වූයේ මෙසේයි. “වෙහෙස වූ බරින් පීඩිත සියල්ලෙනි, මා වෙතට එන්න කියා කාරුණිකව ආරාධනා කරන ක්‍රිස්තුස් වෙතට ඔබ මාව මඟ පෙන්වන්නේ නැත්තේ ඇයි?”

වෙසල්, පූජකයෙක් වීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා. සාමාන්‍යයෙන් පූජකයන්ගේ හිස මුදුන මුඩුකර තිබුණා. එය ඔවුන්ට ආරක්ෂාවක් වුණා වගේම වරදක් කළ විට නීතියේ දඬුවමින් බේරීමට විතරක් නොවෙයි මරණ දණ්ඩනයෙන් පවා බේරීමට ඒ නිසා ඔවුන්ට හැකි වුණා. එලෙස හිස මුදුන මුඩුකර පූජකයෙක් වීම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියා විමසූ විට වෙසල් පැවසුවේ, ස්වාධීනව තීරණයක් ගැනීමට තමන්ට හැකි නිසා වරදක් කළොත් ඊට දඬුවම් විඳීමට හෝ මරණයට තමන් බිය නොවන බවයි. ඒ විතරක් නොවෙයි එදා පොදුවේ පිළිගැණුන සමහර ආගමික වත් පිළිවෙත්ද ඔහු ප්‍රතික්ෂේප කළා. උදාහරණයක් හැටියට, එකල ජනප්‍රිය පොතක් වූ ඩයලෝගස් මිරැකියුලෝරම් යන පොතේ සඳහන් ආශ්චර්යයන් ඔහු විශ්වාස කළේ නැහැ. ඒ වෙනුවට ඔහු කිව්වේ මෙහෙමයි. “ඊට වඩා හොඳයි ශුද්ධ ලියවිලි කියවන එක.” ඒ නිසා සමහරු ඔහුව විවේචනය කළා.

“අහන තරමටයි දැනගන්න ලැබෙන්නේ!”

වෙසල්, හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාව හොඳින් අධ්‍යයනය කළ නිසා මුල් සභා පියවරුන්ගේ ලියවිලි සම්බන්ධයෙන් තම දැනුම පුළුල් කරගැනීමට ඔහුට හැකි වුණා. ඔහු ජීවත් වුණේ ඉරාස්මස් සහ රොයික්ලන්ට කලින් වුණත් බයිබලය මුලින්ම ලියවුණු භාෂාව කෙරෙහි ඔහු පුදුමාකාර ඇල්මක් දැක්වුවා. * ප්‍රතිසංස්කරණයට කලින් ග්‍රීක භාෂාව ගැන දැනුමක් තිබුණේ අතලොස්සකට පමණයි. ජර්මනියේ ග්‍රීක භාෂාව ගැන අවබෝධයක් තිබුණේ ප්‍රවීණයන් සුළුතරයකට පමණක් වූ අතර භාෂා ඉගෙනගැනීමට පහසුකම්ද තිබුණේ නැති තරම්. වර්ෂ 1453දී කොන්ස්තන්තිනෝපල්ගේ වැටීමත් සමඟ බටහිරට පලා ගිය ග්‍රීක පූජකයන්ව මුණගැසුණු වෙසල් ඔවුන්ගෙන් ග්‍රීක භාෂාව පිළිබඳ මූලික අවබෝධය ලබාගත්තා. ඒ කාලයේදී හෙබ්‍රෙව් භාෂාව කතා කළේ යුදෙව්වන් කිහිපදෙනෙක් පමණක් වූ අතර වෙසල් හෙබ්‍රෙව් භාෂාව ඉගෙනගන්න ඇත්තේ යුදෙව් ආගමට හැරුණු අයගෙන් බව පෙනෙන්න තිබෙනවා.

වෙසල් බයිබලයට අතිශයින්ම ඇලුම් කළ පුද්ගලයෙක්. ඔහු එය සැලකුවේ දෙවිගේ බලයේ මඟ පෙන්වීම යටතේ ලියැවුණු ග්‍රන්ථයක් හැටියටයි. එමෙන්ම එහි සෑම පොතක්ම එකිනෙකට සම්පූර්ණ එකඟත්වයකින් තිබෙනවා කියාද ඔහු විශ්වාස කළා. එමනිසා බයිබලයේ පදයක් විස්තර කිරීමේදී එය අවට ඇති පද සහ අනෙකුත් පොත් සමඟ එකඟතාවකින් තිබිය යුතු වුණා. එහි අදහස් විකෘති කිරීම ඔහු සැලකුවේ ඉතා බරපතළ වරදක් ලෙසයි. ඔහු බොහෝසෙයින් ප්‍රිය කළ බයිබල් පදයක් වූයේ මතෙව් 7:7යි. එහි මෙසේ සඳහන් වෙනවා. “නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වේ.” එය පදනම් කරගෙන වෙසල් පැවසුවේ මෙසේයි. “අහන තරමටයි දැනගන්න ලැබෙන්නේ!” ඒ නිසා ඔහු දැඩි ලෙස විශ්වාස කළේ දැනගැනීම සඳහා අපි ප්‍රශ්න ඇසිය යුතු බවයි.

නොසිතූ ඉල්ලීමක්

වර්ෂ 1473දී වෙසල් රෝමයට ගියා. එහිදී ඔහුට හතරවන සික්ස්ටස් පාප්වරයාව හමු වී ඔහු සමඟ කතා කිරීමට අවස්ථාවක් උදා වුණා. රෙපරමාදු ප්‍රතිසංස්කරණයට හේතු පාදක වුණේ පාප්වරුන් හයදෙනෙකුගේ දුරාචාරමය හැසිරීම් රටාවයි. හතරවන සික්ස්ටස් පාප් කියන්නේ එම හයදෙනාගෙන් දුරාචාර ජීවිතයක් ගත කළ පළමුවැන්නායි. ඉතිහාසඥවරියක් වන බාබරා ඩබ්. ටච්මන් ඔහු ගැන කියන්නේ හතරවන සික්ස්ටස් “කිසිම ලජ්ජාවක් නැතිව, එළිපිටම වැරදි දේවල් කරමින් තම බලය ඉතා කෲර ලෙස යොදාගනිමින් තමන්ටම රිසි ලෙස දේවල් කිරීමට” පටන්ගත්තා කියායි. ඔහු තම පල්ලියේ සාමාජිකයන්ව සහ සෙසු ජනයාව කම්පනයට පත් කරමින් තම ඥාතීන්ට සහ කිට්ටු මිතුරන්ට අනිසි අනුග්‍රහයක් දැක්වුවා. එක් ඉතිහාසඥයෙක් පවසන ආකාරයට පාප් ධූරය හා සම්බන්ධ කටයුතු මෙහෙයවීමට ඔහුගේම නෑදෑයන්ව පත් කරගත්තා. ඔහුගේ ක්‍රියාමාර්ගය හෙළා දැක්කේ එදා සිටි කිහිපදෙනෙක් පමණයි.

වෙසල් ඥාන්ස්ෆෝර්ට් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. එක් දිනක් සික්ස්ටස් පාප්වරයා ඔහුගෙන් මෙහෙම ඇහුවා. “දරුව, කියන්න ඔබට මොනවද ඕනෙ කියලා. ඔබ ඉල්ලන ඕනෑම දෙයක් ලබා දීමට අපි සූදානම්.” එවිට වෙසල් විගස මෙහෙම පැවසුවා. “ශුද්ධ වූ පියාණෙනි, . . . ඔබ දෙවිගේ නියෝජිතයාණෝ සහ අපගේ එඬේරාණෝයි. බැටළුවන්ගේ ශ්‍රේෂ්ඨ එඬේරාණෝ පැමිණ . . . ‘යහපත් විශ්වාසවන්ත දාසය, ඉතා අගෙයි! ඔබගේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුළු වෙන්න’ කියා ඇසීමට හැකි වන පිණිස ඔබගේ වගකීම් . . . ඉටු කරන්නට ලැබේවා කියා මම පතනවා.” එය තමාගේ වගකීමක් කියා පැවසූ සික්ස්ටස් පාප්වරයා, වෙසල්ට කිව්වේ ඔහුටම කියා යමක් ඉල්ලන්න කියායි. එවිට වෙසල් ඉල්ලුවේ පාප්වරයා කොහෙත්ම නොසිතූ දෙයක්. ඔහු කිව්වේ “එසේනම් මට වතිකානු පුස්තකාලයෙන් ග්‍රීක සහ හෙබ්‍රෙව් බයිබලයක් ලබා දෙන්න” කියායි. වෙසල්ගේ ඉල්ලීම හරි අඥාන එකක් බවත් ඔහුට ඉල්ලන්න තිබුණේ බිෂොප් පදවියක් බවත් ඔහු සඳහන් කළා. කෙසේනමුත් වෙසල්ගේ ඉල්ලීම ඔහු ඉටු කළා.

“ප්‍රෝඩාවක් සහ වරදක්”

වර්තමානයේ ප්‍රසිද්ධ දේවස්ථානයක් වන සිස්ටයින් දෙව් මැදුර ගොඩනැඟීම සඳහා අරමුදල්වල දැඩි අවශ්‍යතාවක් තිබුණා. ඊට පිළියමක් හැටියට සික්ස්ටස් පාප්වරයා, මුදල් සහ වෙනත් වටිනා දේවල් පල්ලියට ලබා දීමෙන් මළවුන්ව ශුද්ධ ගිනි ස්ථානයෙන් නිදහස් කර ස්වර්ගයට යැවීම සඳහා යම් ක්‍රමයක් හඳුන්වා දුන්නා. පාප්වරයා පැවසූ දේ සත්‍යයක් කියා බොහෝදෙනෙක් තරයේ විශ්වාස කළා. එමනිසා එම ක්‍රමය පල්ලි සාමාජිකයන් අතර පුදුමාකාර ලෙස ජනප්‍රිය වුණා. එක් පොතක ඒ ගැන සඳහන් වුණේ මෙයාකාරයටයි. “වැන්දඹු ස්ත්‍රීන් සහ පුරුෂයන් මෙන්ම වියෝදුකින් පෙළෙන දෙමාපියන්, තම මිය ගිය ප්‍රේමණීයයන්ව ඉක්මනින් ස්වර්ගයට යැවීම සඳහා ඔවුන්ගේ මුළු සේසතම වැය කළා.”—Vicars of Christ—The Dark Side of the Papacy නම් පොත.

ඊට වෙනස්ව වෙසල් විශ්වාස කළේ, පාප්වරයා ඇතුළු කතෝලික පල්ලියට පව් කමා කිරීමේ හැකියාවක් නොමැති බවයි. පාප්වරයා හඳුන්වා දුන් මළවුන් සම්බන්ධ එම ක්‍රමය “ප්‍රෝඩාවක් සහ වරදක්” කියා පවසමින් වෙසල් ප්‍රසිද්ධියේම තම අප්‍රසාදය පළ කළා. එමෙන්ම තම පාපවලට සමාව ලබාගැනීම සඳහා පූජකයන් ඉදිරියේ පාපොච්චාරණය කිරීමත් පලක් නැති බව ඔහු පැවසුවා.

පාප්වරයාට තිබෙනවායයි කියන නොවරදිනසුලුභාවය ගැනත් වෙසල් ප්‍රශ්න කළා. හැමවිටම පාප්වරුන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීම පල්ලි සාමාජිකයන්ගේ ඇදහිල්ල දුර්වල කළ හැකි බව වෙසල් පැවසුවා. ඊට හේතුව පාප්වරුන් අතින්ද වැරදි සිදු වන නිසයි. වෙසල් වරක් ලිව්වේ මෙසේයි. “පූජකයන් දෙවිගේ ආඥා පැත්තකට දමා ඔවුන්ගේ ආඥා පිළිපදින්න කියා මිනිසුන්ට අණ කරනවා නම් . . . ඔවුන් කරන කියන දේවල් නිෂ්ඵලයි.”

වෙසල් ප්‍රතිසංස්කරණයට මඟ පාදයි

වෙසල් 1489දී මිය ගියා. කතෝලික පල්ලියේ සිදු කළ යම් වැරදි ක්‍රියා හෙළා දැක්කත් ඔහු මිය ගියේ කතෝලික භක්තිකයෙක් හැටියටමයි. නමුත් පල්ලිය විසින් කෙදිනකවත් ඔහුව මිථ්‍යා දෘෂ්ටිකයෙක් හැටියට හංවඩු ගැසුවේ නැහැ. කෙසේනමුත් ඔහුගේ අභාවයෙන් පසු සමහර කතෝලික අන්තවාදී පූජකයන් ඔහුගේ ලියවිලි පල්ලියේ ඉගැන්වීම් සමඟ එකඟ නොවූ නිසා ඒවා විනාශ කිරීමට උත්සාහ කළා. ඉන් කලකට පසු එනම්, ලූතර්ගේ කාලයේදී වෙසල් පිළිබඳ මතකය බොහෝදුරට වැළලී ගොස් තිබුණා. ඔහුගේ කෘතීන් කිසිවක් මුද්‍රණය කර නොතිබූ නිසා, ඉතිරි වුණේ අත් පිටපත් කිහිපයක් පමණයි. නමුත් වෙසල්ගේ පළමුවෙනි සංස්කරණය 1520ත් 1522ත් අතර කාලයේදී එළිදැක්වූවා. වෙසල්ගේ එම සංස්කරණය තමා පෞද්ගලිකව අනුමත කරන බව සඳහන් කරමින් ලූතර් විසින්ම ලියූ ලිපියක්ද එම කෘතියේ ඇතුළත් කර තිබුණා.

වෙසල්, ලූතර් මෙන් රෙපරමාදු ප්‍රතිසංස්කරණයට කෙලින්ම සම්බන්ධ නොවුණත් ඔහු පල්ලියේ සමහරක් වැරදි එළි පිට හෙළා දැක්ක නිසා, එය එම ප්‍රතිසංස්කරණයට අඩිතාලම දැමුවා. එක් විශ්වකෝෂයක වෙසල් ගැන පවසන්නේ “ජර්මානුවන් අතරින් එම ප්‍රතිසංස්කරණයට මඟ පෑදු වැදගත්ම පුද්ගලයෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්” කියායි.—McClintock and Strong’s Cyclopedia නම් විශ්වකෝෂය.

ලූතර්, වෙසල්ව සැලකුවේ ඔහු හා සමාන අදහස් ඇති කෙනෙකු ලෙසයි. කර්තෘ සී. ඔකස්ටයින් ලිව්වේ මෙසේයි. “ලූතර් තමාව එලියාට සමාන කළා. එලියා හිතුවේ දෙවිගේ පැත්ත ගනිමින් වැරදි දේට එරෙහිව තනිවම නැඟී සිටින්න තමාට සිදු වී ඇති බවයි. ඒ හා සමානව ලූතර්ටත් හැඟුණේ, පල්ලියේ වැරදි ක්‍රියා හමුවේ තමාටත් තනිව නැඟී සිටීමට සිදු වී ඇති බවයි. නමුත් වෙසල්ගේ කෘතිය කියවීමෙන් පසු ලූතර්, තමාට සහය වීම සඳහා ස්වාමීන් ‘ඊශ්‍රායෙල්ගේ ඉතිරි අයගෙන්’ කෙනෙක්ව ලබා දී ඇති බව තේරුම්ගත්තා.” “ලූතර් මෙසේ කීමට තරම් නිර්භීත වුණා. ‘මම වෙසල්ගේ කෘති මීට කලින් කියවා තිබුණා නම් මගේ විරුද්ධවාදීන් හිතයි මම අනුගමනය කරන්නේ වෙසල්ගේ ප්‍රතිපත්ති කියලා. හේතුව අපි දෙන්නාගෙම අදහස් ඒ තරමටම ගැලපෙනවා.’” *

“ඔබට සම්බ වේ”

රෙපරමාදු ආගමික ප්‍රතිසංස්කරණය ක්ෂණිකව ඇති වූවක් නොවේ. එය අළු යට තිබූ ගිනි පුපුරක් මෙන් කාලයක් පුරා දැවෙමින් තිබුණා. පාප්වරුන්ගේ දූෂිත ක්‍රියා පිළිවෙත කෙදිනක හෝ විශාල වෙනසකට මඟ පාදන බව වෙසල් වටහාගත්තා. එක් අවස්ථාවකදී ඔහු ශිෂ්‍යයෙකුට මෙසේ පැවසුවා. “දරුව, සැබෑ ක්‍රිස්තියානීන් විසින් . . . බොරු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන කාලය ඔබටම දකින්න පුළුවන් වේවි.”

තමා ජීවත් වූ කාලයේ පැවති සමහර වැරදි ක්‍රියා සහ දූෂිත දේවල් ගැන වෙසල් දැන සිටියත් බයිබලයේ ඇති සත්‍යය මුළුමනින්ම තේරුම්ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ. කොහොමවුණත් ඔහු බයිබලය සැලකුවේ කියවා අධ්‍යයනය කළ යුතු පොතක් හැටියටයි. එක් පොතක සඳහන් වන ලෙස වෙසල් “ආගමික කාරණාවලදී මූලික පදනම හැටියට සැලකුවේ දෙවිගේ බලයෙන් ලියැවුණු පොත වන බයිබලයයි.” (A History of Christianity නම් පොත) වර්තමානයේ සිටින සැබෑ ක්‍රිස්තියානීන්ද බයිබලය සලකන්නේ දෙවිගේම බලයෙන් ලියැවුණු පොත හැටියටයි. (2 තිමෝති 3:16) වෙසල්ගේ කාලයේ මෙන් අද දින බයිබලයේ ඇති සත්‍යය තේරුම්ගැනීම අපහසු දෙයක් නොවෙයි. වෙන කවරදාකටවත් වඩා බයිබලයේ සඳහන් මෙම ප්‍රතිපත්තියේ ඇති සත්‍යතාව අපි අද්දකිනවා. “නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වේ.”—මතෙව් 7:7; හිතෝපදේශ 2:1-6.

[පාදසටහන්වල]

^ 9 ඡේ. බයිබලය මුලින්ම ලියැවුණු භාෂාව අධ්‍යයනය කිරීමට මෙම යුදෙව්වන් විශාල පිටුවහලක් වුණා. වර්ෂ 1506දී රොයික්ලන්, හෙබ්‍රෙව් ව්‍යාකරණ සම්බන්ධ පොතක් පළ කළා. එමෙන්ම ඉරාස්මස්, ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලි සම්බන්ධව ග්‍රීක භාෂාවෙන් පොතක් 1516දී ප්‍රකාශයට පත් කළා.

^ 21 ඡේ. Wessel Gansfort (1419-1489) and Northern Humanism නම් පොතේ 9 සහ 15 පිටු.

[14වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වෙසල් සහ දෙවිගේ නාමය

වෙසල්ගේ ලියවිලිවල දෙවිගේ නාමය සාමාන්‍යයෙන් සඳහන් කර තිබුණේ “ජොහාවා” ලෙසයි. කෙසේනමුත් “ජෙහෝවා” යන නාමය අඩුම තරමින් ස්ථාන දෙකකවත් වෙසල් සඳහන් කළා. වෙසල් දැරූ මත සම්බන්ධයෙන් කර්තෘ එච්. ඒ. ඕබර්මන් පවසන්නේ මෙසේයි. තෝමස් ඇක්වයිනස් සහ වෙනත් අයට හෙබ්‍රෙව් භාෂාව ගැන හොඳ අවබෝධයක් තිබුණා නම් “මෝසෙස්ට දෙවි හෙළි කළ තම නාමයේ අර්ථය ‘මම යම් සේ සිටිම්ද එසේම සිටිමි’ නොව නමුත් ‘මා කැමති ඕනෑම දෙයක් ඉටු කරන්නෙමි’ කියා ඔවුන් තේරුම් ගන්නවා.” * ඒ අනුව බලද්දී දෙවිගේ නාමයේ අර්ථය නව ලොව පරිවර්තනයේ නිවැරදිව දක්වා තිබෙන්නේ “කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි” ලෙසයි.—නික්මයාම 3:13, 14.

[පාදසටහන]

^ 30 ඡේ. Wessel Gansfort (1419-1489) and Northern Humanism, යන පොතේ 105වන පිටුව.

[හිමිකම් විස්තර]

Manuscript: Universiteitsbibliotheek, Utrecht

[15වන පිටුවේ පින්තූර]

හතරවන සික්ස්ටස් පාප්වරයා අනුමත කළ, මළවුන් වෙනුවෙන් හඳුන්වා දුන් ක්‍රමය ගැන වෙසල් ප්‍රශ්න කළා