Skip to content

පටුනට යන්න

සැබෑ ආගම හඳුනාගන්නා ආකාරය

සැබෑ ආගම හඳුනාගන්නා ආකාරය

සැබෑ ආගම හඳුනාගන්නා ආකාරය

බොහෝ ආගම් පවසන්නේ ඔවුන්ගේ ඉගැන්වීම් දෙවිගේ කැමැත්තට එකඟ බවයි. එමනිසා අපි යේසුස්ගේ ගෝලයෙක් වූ යොහන්ගේ මෙම අවවාදයට කීකරු වීම ඥානවන්ත දෙයක්. “ප්‍රේමණීය තැනැත්තෙනි, ආනුභාව ලත් සෑම ප්‍රකාශයක්ම විශ්වාස නොකර, ඒ ආනුභාව ලත් ප්‍රකාශයන් පැමිණෙන්නේ දෙවිගෙන්දැයි පරීක්ෂා කර බලන්න. මන්ද, බොරු අනාගතවක්තෘවරු බොහෝදෙනෙක් ලෝකයට පැමිණ සිටිති.” (1 යොහන් 4:1) යම් දෙයක් දෙවිගේ කැමැත්තට එකඟද කියා පරීක්ෂා කරන්නේ කෙසේද?

දෙවිගෙන් ලැබෙන සෑම යහපත් දීමනාවක් තුළම, ඔහු කුමනාකාරයේ පුද්ගලයෙක්ද කියාත් විශේෂයෙන්ම ඔහුගේ ප්‍රධානතම ගුණාංගය වන ප්‍රේමයත් දැකගත හැකියි. උදාහරණයකට අපට ලැබී ඇති හැකියාවන් ගැන සලකා බලන්න. විවිධ පැළෑටිවලින් සහ මල්වලින් හමන මිහිරි සුවඳත් නැවුම් හාලේ බතක් ඉදෙන විට එයින් නැඟෙන සුවඳත් විඳගැනීමට අපට තිබෙන හැකියාව මොන තරම්ද! ඒ වගේම, අලංකාර සැන්දෑ අහසක්, පාට පාට සමනළයන්, කුඩා දරුවෙකුගේ සුරතල් සිනහව වැනි සුන්දර දේ දැකගැනීමේ හැකියාවත් දෙවිගේ ප්‍රේමයේ සාක්ෂියක්. ඒ විතරක් නෙවෙයි, කුරුල්ලන්ගේ ඉමිහිරි නාදයන්, මියුරු සංගීතය සහ අපි ආදරය කරන කෙනෙකුගේ කටහඬ ඇසීමට ඇති හැකියාව පවා දෙවිගේ ප්‍රේමයේ ප්‍රකාශයක්. දැන් අපි පව්කාර මිනිසුන් වුණත් අපිව නිර්මාණය කර ඇති ආකාරයෙන් පවා දෙවිගේ මහත් ප්‍රේමය පිළිබිඹු වෙනවා. යේසුස් පැවසූ මෙම වදන්වල ඇති සත්‍යතාව අපි බොහෝවිට අද්දකින්නේ ඒ නිසයි. ඔහු පැවසුවේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” කියායි. (ක්‍රියා 20:35) “දෙවි තම ස්වරූපයෙන්” හෙවත් ඔහුගේ ගුණාංග ඇතිව අපව නිර්මාණය කර ඇති නිසා එකිනෙකාට ප්‍රේම කිරීමෙන් අප ලබන්නේ ඉමහත් ප්‍රීතියක්. (උත්පත්ති 1:27, නව ලොව පරිවර්තනය) යෙහෝවා දෙවිට තවත් බොහෝ ගුණාංග තිබෙන අතර ඔහුගේ කැපීපෙනෙනම ගුණාංගය වන්නේ ප්‍රේමයයි.

දෙවිගේ මඟ පෙන්වීම ඇතිව ලියා තිබෙන ලියවිලි තුළින් ඔහුගේ ප්‍රේමය පැහැදිලිව දැකගත හැකි විය යුතුයි. ලෝකයේ තිබෙන ආගම්වල ඊට අදාළ පුරාණ ලියවිලි තිබෙනවා. ඒවා තුළ දෙවිගේ ප්‍රේමය කොතරම් දුරට ඉස්මතු කර තිබෙනවාද?

බොහෝ ආගම්වලට අයත් පුරාණ ලියවිලිවල දෙවි අපිට ප්‍රේම කරන ආකාරය ගැනවත් අපි දෙවිට ප්‍රේම කළ යුතු ආකාරය ගැනවත් වැඩි සඳහනක් කර නැහැ. “මැවිල්ල තුළ දෙවිගේ ප්‍රේමය බහුලව දකින්න තිබියදීත් මෙතරම් දුක් වේදනා පවතින්නේ ඇයි” කියන ප්‍රශ්නයට පිළිතුරක් බොහෝදෙනෙකුට ලැබී නැහැ. නමුත් ඊට වෙනස්ව දෙවිගේ ප්‍රේමය වඩාත් පුළුල් ආකාරයෙන් විස්තර කරන එකම ලියවිල්ල වන්නේ බයිබලය පමණයි. අපගේ ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වන්නේ කෙසේද කියාත් එහි අපට උගන්වනවා.

ප්‍රේමය ගැන ලියැවුණු පොතක්

දෙවිගේ වචනය වන බයිබලයේ යෙහෝවා දෙවිව හඳුන්වා ඇත්තේ “ප්‍රේමයේ . . . දෙවි” හැටියටයි. (2 කොරින්ති 13:11) පළමු මිනිස් යුවළට අසනීප සහ මරණයෙන් තොර ජීවිතයක් ලබා දීමට දෙවි පෙලඹුණේ ප්‍රේමය නමැති ඔහුගේ ප්‍රධාන ගුණාංගය නිසා බව බයිබලයේ පවසනවා. නමුත් මිනිසුන් දුක් විඳින්න පටන්ගත්තේ ඔවුන් දෙවිගේ පාලනයට විරුද්ධව කටයුතු කළ නිසයි. (ද්විතීය කතාව 32:4, 5; රෝම 5:12) කොහොමවුණත් මිනිසුන්ට අහිමි වූ දේ නැවතත් ලබා දෙන්න යෙහෝවා දෙවි සැලසුම් කළා. බයිබලයේ ඒ ගැන පවසන්නේ මෙසේයි. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) තමන්ට කීකරු මිනිසුන්ට නැවතත් සාමකාමී ජීවිතයක් ලබා දීමට දෙවි යේසුස් මාර්ගයෙන් පාලනය වන දේවආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. එම ක්‍රියාවත් දෙවිගේ ප්‍රේමයේ ප්‍රකාශයක් බව බයිබලයේ හෙළි කර තිබෙනවා.—දානියෙල් 7:13, 14; 2 පේතෘස් 3:13.

දෙවි මිනිසුන්ගෙන් බලාපොරොත්තු වන දේ ගැන බයිබලයේ මෙසේ සඳහන් කරනවා. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කරන්න.’ මෙය උතුම්ම සහ පළමුවන ආඥාවය. දෙවැන්නද ඒ හා සමානය. එනම්, ‘ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න.’ මේ ආඥා දෙක මත මුළු නීතිය . . . රඳා පවතී.” (මතෙව් 22:37-40) බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණු පොතක්ද කියා සමහරුන් කල්පනා කරනවා. නමුත් බයිබලය තුළ දෙවිගේ පෞද්ගලිකත්වය ගැන පැහැදිලිව විස්තර කර තිබෙන නිසා එය ‘ප්‍රේමයේ දෙවිගෙන්’ ලැබී තිබෙන බව අපට නිසැකයි.—2 තිමෝති 3:16.

බයිබලය දෙවිගේ ප්‍රේමය හොඳින් ඉස්මතු කර තිබෙන නිසා ලෝකයේ තිබෙන අනෙකුත් පුරාණ ආගමික ලියවිලිවලට වඩා වෙනස්ව බයිබලය පමණක් දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියවුණු බව පැහැදිලියි. එමෙන්ම ප්‍රේමය තුළින් සැබෑ ආගම අදහන්නන්වද හඳුනාගත හැකියි. ඒ ඔවුන් ප්‍රේමය පෙන්වීම තුළින් දෙවිව අනුකරණය කරන නිසයි.

දෙවිට ප්‍රේම කරන අයව හඳුනාගනිමු

අපි ජීවත් වන මේ කාලයේ මිනිසුන් එන්න එන්නම “තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන . . . දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය” බව පැහැදිලියි. එමනිසා මෙම “අන්තිම දවස්වල” දෙවිට අවංකව ප්‍රේම කරන ජනයා කවුද කියා පැහැදිලිව හඳුනාගන්න පුළුවන්.—2 තිමෝති 3:1-4.

දෙවිට අවංකව ප්‍රේම කරන අයව හඳුනාගන්නේ කෙසේද? ඒ ගැන බයිබලයේ පවසන්නේ “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය” කියායි. (1 යොහන් 5:3) දෙවිට ප්‍රේම කරන අය ඔහු දී ඇති සදාචාර ප්‍රමිති පවත්වනවා. නිදසුනකට, ලිංගික කාරණා සහ විවාහය ගැන නීති බයිබලයේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව ලිංගික සබඳතා පැවැත්වීමට අවසර දී ඇත්තේ විවාහ සහකරුවන් දෙදෙනා අතර පමණයි. එමෙන්ම විවාහය යනු සදාතනික බැඳීමක්. (මතෙව් 19:9; හෙබ්‍රෙව් 13:4) ස්පාඤ්ඤයේ ජීවත් වන, ආගම් ගැන අධ්‍යයනය කරන එක් කාන්තාවකගේ අද්දැකීම ගැන සලකා බලන්න. දිනක් ඇය බයිබලයේ ඇති සදාචාර ප්‍රමිති ගැනද උගන්වන, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට සහභාගි වුණා. ඇය මෙහෙම කියනවා. “මම ඒ රැස්වීමෙන් ලොකු දිරිගැන්වීමක් ලැබුවා. ඒ බයිබලයේ තොරතුරු පැහැදිලි කරමින් දුන් කතාවලින් විතරක් නෙවෙයි. ඔවුන් එකිනෙකා අතර තිබුණ එකමුතුකම, ඔවුන්ගේ උසස් සදාචාර ප්‍රමිති වගේම යහපත් හැසිරීම නිසයි.”

සැබෑ ක්‍රිස්තියානීන් දෙවිට ප්‍රේම කරනවාට අමතරව තම අසල්වාසීන්ට දක්වන ප්‍රේමයෙන්ද ඔවුන්ව හඳුනාගන්න පුළුවන්. මේ කාලයේ ඔවුන්ගේ ජීවිතේ මුල් තැන දෙන්නේ මිනිසුන්ට බලාපොරොත්තුව තැබිය හැකි එකම ආණ්ඩුව වන දේවරාජ්‍යය ගැන දැනුම් දීමටයි. (මතෙව් 24:14) තම අසල්වාසීන්ගේ යහපත වෙනුවෙන් කළ හැකි හොඳම දේ වන්නේ දෙවි පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීමට ඔවුන්ට උපකාර කිරීමයි. (යොහන් 17:3) නමුත් ප්‍රේමය පෙන්වීම ඔවුන් එයට පමණක් සීමා කරගෙන නැහැ. අවස්ථාවට අනුව අවශ්‍ය උපකාර කිරීමට ඔවුන් නිතරම සූදානම්. උදාහරණයකට ඉතාලියේ භූමිකම්පාවක් නිසා සිදු වූ විපතකදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උපකාර කළ ආකාරය ගැන එක් පුවත්පතක පළ වුණේ මෙසේයි. “විපතට පත් වී සිටි අයගේ ආගම කුමක් වුණත් ඔවුන් යුහුසුලුව අත හිත දෙමින් අවශ්‍ය උපකාර සැපයුවා.”

දෙවිට සහ තම අසල්වාසියාට ප්‍රේම කරනවාට අමතරව ඔවුන්ගේ ආගමේ සිටින සෙසු අයටද ඔවුන් ප්‍රේම කරනවා. යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. “මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.”—යොහන් 13:34, 35.

සැබෑ ක්‍රිස්තියානි ආගමේ සාමාජිකයන් අතර තිබෙන ප්‍රේමය එතරම්ම කැපීපෙනෙන එකක්ද? ගෘහසේවිකාවක් වන ඊමා ඊට එකඟයි. ඇය සේවය කරන්නේ බොලීවියාවේ ලා පාස් නම් නගරයෙයි. එය වාර්ගික භේද නිසා දුප්පත් පොහොසත් පරතරය පවතින රටක්. ඇය මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගිය පළමුවෙනි දවසේ මම දැක්කා, හොඳට ඇඳ පැළඳ සිටි මහත්මයෙක් දුප්පත් ඉන්දියානු කාන්තාවක් එක්ක සුහදව කතා කර කර ඉන්නවා. හැබැයි මම ඒ වගේ දෙයක් නම් මීට පෙර කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඒ වෙලාවෙම මට තේරුණා, මේ අය නම් දෙවියන්ව හරියටම අදහන මිනිස්සු වෙන්න ඕනේ කියලා.” බ්‍රසීලයේ ජීවත් වන යෞවනියක් වන මීරීයාම්ද ඒ වගේ අදහසක් පළ කරනවා. “මගේ ජීවිතයේ ආදරය කියන්නේ මොකද්ද කියලවත් මම දැනගෙන හිටියේ නැහැ. අඩුම තරමේ අපේ පවුලෙවත් ඒක තිබුණේ නැහැ. එකිනෙකා සමඟ ආදරයෙන් කටයුතු කරනවා මුල් වතාවට මම දැක්කේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරයි.” අමෙරිකා එක්සත් ජනපදයේ එක් මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙක් මෙහෙම කියනවා. “ඔබේ සංවිධානයේ සාමාජිකයන් ප්‍රේමයෙන් සහ මැවුම්කරු කෙරෙහි දැඩි විශ්වාසයෙන් කටයුතු කරන බව වාර්තාකරුවෙකු හැටියට මම දැකලා තියෙනවා. ඉතින් හැම කෙනෙක්ම ඔයගොල්ලන්ගේ ආගමට අනුව ජීවත් වෙනවා නම් මේ රට මේ වගේ තත්වයකට වැටෙන්නේ නැහැ.”

සැබෑ ආගම සොයන්න

සැබෑ ආගමේ කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ ප්‍රේමයයි. එය සොයාගැනීම යේසුස් සමාන කළේ හරි පාර සොයා, එහි ගමන් කිරීමට තීරණය කිරීම ලෙසයි. සදාකල් ජීවත් වීමට එකම මඟ එය බව සඳහන් කරමින් ඔහු මෙසේ පැවසුවා. “පටු දොරටුවෙන් ඇතුල් වන්න. මන්ද විනාශය කරා යන පාර පළල්ය, බොහෝ ඉඩ කඩද ඇත. එයින් ඇතුල් වන්නෝද බොහෝය. නමුත් ජීවනය කරා යන පාර අවහිරය, එහි දොරටුව පටුය. එය සොයාගන්නේ ස්වල්පදෙනෙකුය.” (මතෙව් 7:13, 14) සැබෑ ආගම නමැති එම මාර්ගයේ දෙවිගේ කැමැත්ත කරමින් ගමන් කරන්නේ එකම එක ක්‍රිස්තියානි කණ්ඩායමක් පමණයි. ඒ අනුව බලද්දී ඔබේ ආගම තෝරාගැනීම ඇත්තෙන්ම වැදගත් දෙයක්. එම ආගම සොයාගෙන එහි ගමන් කිරීමට ඔබ තීරණය කරනවා නම් ඔබට යහපත ගෙන දෙන හොඳම මාර්ගය එය බව ඔබම වටහාගනීවි. එයට හේතුව එය ප්‍රේමය මත පදනම් වී තිබීමයි.—එෆීස 4:1-4.

ඔබ සැබෑ ආගම නමැති මාර්ගයේ ගමන් කරද්දී මොන තරම් ප්‍රීතියක් අද්දැකීමට හැකි වේදැයි කියා සිතා බලන්න! එය හරියට දෙවි හා සමඟ ගමන් කිරීම වගෙයි. එකිනෙකා සමඟ යහපත් සබඳතා ඇති කරගෙන එය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රඥාවත් ප්‍රේමයත් දෙවිගෙන් ඉගෙනගැනීමට ඔබට හැකියි. ඒ විතරක් නෙවෙයි ජීවිතයේ අරමුණ ගැනත් දෙවිගෙන් ඉගෙනගන්න පුළුවන්. දෙවි දී ඇති පොරොන්දු ගැන ඔබට නිවැරදි අවබෝධයක් ලැබෙන අතර අනාගතය ගැන ස්ථිර බලාපොරොත්තුවක් ඇතිව සිටින්නත් ඔබට හැකි වේවි. සැබෑ ආගම සෙවීමට ඔබ දැරූ උත්සාහය ගැන ඔබ කිසිදිනක කනගාටු නොවන බව නම් නිසැකයි.

[5වන පිටුවේ පින්තූරය]

පුරාණ ආගමික ලියවිලි අතරින් දෙවිගේ ප්‍රේමය හෙළි කරන්නේ බයිබලය පමණයි

[7වන පිටුවේ පින්තූර]

ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වන නිසා සැබෑ ක්‍රිස්තියානීන්ව පහසුවෙන් හඳුනාගත හැකියි