Skip to content

පටුනට යන්න

‘ඇය අපිට එන්න කියා පෙරැත්ත කළා’

‘ඇය අපිට එන්න කියා පෙරැත්ත කළා’

‘ඇය අපිට එන්න කියා පෙරැත්ත කළා’

ආසියාතිකයන් ආගන්තුක සත්කාරයට ලැදි පිරිසක් බව කවුරුත් දන්නවා. උදාහරණයකට ඉන්දියාවේ බොහෝ පවුල් තමන් නොකා නොබී හෝ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සලකනවා. සාමාන්‍යයෙන් ඉරානයේ ගෘහණියන් තම ශීතකරනය නිතරම කෑම බීමවලින් පුරවාගෙන සිටින්නේ ඕනෑම වේලාවක තම ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කිරීමටයි.

එවැනි ත්‍යාගශීලී පුද්ගලයන් රාශියක් ගැන බයිබලයේ පවා සඳහන් වෙනවා. ලිදියා ඉන් එක්කෙනෙක්. මැසිඩෝනියාවේ අගනගරය වූ ෆිලිප්පියේ ජීවත් වූ ඇය යුදෙව් ආගමට හැරුණු තැනැත්තියක් බව පෙනෙනවා. එක්තරා සබත් දවසක ලිදියා තවත් කාන්තාවන් කිහිපදෙනෙක් සමඟ ෆිලිප්පි නගරයෙන් පිටත තිබූ ගඟ අසල සිටිද්දී පාවුල් සහ ඔහු සමඟ සංචාරය කරමින් සිටි පිරිසට මුණ ගැසුණා. එදා පාවුල් පවසමින් සිටි දේට අවධානය දීමට යෙහෝවා දෙවි ඇගේ හෘදය විවෘත කළා. ඇයත් ඇගේ ගෙදර අයත් දෙවිට කැපවී බව්තීස්ම වුණේ එහි ප්‍රතිපලයක් ලෙසයි. ඉන්පසු ඇය පාවුල් සහ පිරිසගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ “මා යෙහෝවාට විශ්වාසවන්තව සිටින කෙනෙකු කියා ඔබ සලකනවා නම්, මාගේ ගෙට ඇතුල් වී නැවතී සිටින්න” කියායි. එදා පාවුල් සමඟ සිටි ලූක් එය මතක් කරමින් මෙසේ පැවසුවා. ඇය “අපට එහි පැමිණෙන ලෙස පෙරැත්ත කළාය.”—ක්‍රියා 16:11-15.

ලිදියා හා සමානව අද සිටින ක්‍රිස්තියානීන්ද සංචාරක අවේක්ෂකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් ඇතුළු සෙසු නමස්කාරකයන්ට ආගන්තුක සත්කාරය පෙන්වීමට දක්වන්නේ මහත් ආශාවක්. ඇත්තෙන්ම ඔවුන්ගේ නිවෙස්වලට එන්න කියා එවැනි අයට ඔවුන් ‘පෙරැත්ත’ කරනවා. එසේ කිරීමෙන් ඔවුන් මහත් දිරිගැන්වීමක් ලබනවා වගේම එකිනෙකාගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්නත් හැකි වී තිබෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වැඩිදෙනෙක් යමක් කමක් තිබෙන පොහොසත් අය නොවුනත් “ආගන්තුක සත්කාරය දැක්වීමෙහි යෙදී සිටින්න” ඔවුන් නිතරම උත්සහ කරනවා. (රෝම 12:13; හෙබ්‍රෙව් 13:2) එයින් ඔවුන් මහත් සතුටක් ලබනවා. මෙයින් පෙනී යන්නේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” කියා යේසුස් පැවසූ වචන සත්‍යයක් බවයි.—ක්‍රියා 20:35.