Skip to content

පටුනට යන්න

දේවදූතයන් මිනිසුන්ට උපකාර කරන අයුරු

දේවදූතයන් මිනිසුන්ට උපකාර කරන අයුරු

දේවදූතයන් මිනිසුන්ට උපකාර කරන අයුරු

“මේ දේවල්වලට පසු, තවත් දේවදූතයෙකු මහත් අධිකාරියක් ඇතිව ස්වර්ගයෙන් බැස එනවා මම දුටිමි. ඔහු බලවත් හඬින් කෑගසමින් මෙසේ කීවේය: ‘ඈ වැටුණාය! මහ බැබිලෝනිය වැටුණාය.’”—එළිදරව් 18:1, 2.

1, 2. දෙවි තම කැමැත්ත ඉටු කිරීම සඳහා දේවදූතයන්ව යොදාගන්නා බව පැහැදිලි වන්නේ කුමකින්ද?

පැට්මොස් දූපතේ සිරගත වී සිටි මහලු යොහන්ට පුදුමාකාර දර්ශන දකින්න ලැබුණා. ඒ අනාවැකිමය දර්ශන ඔහුට ලැබුණේ දෙවිගේ “ආත්මයේ” හෙවත් බලයේ උපකාරයෙනුයි. ඒ දර්ශනවලින් ‘ස්වාමීන්ගේ දවසේ’ සිදුවන විස්මිත සිදුවීම් රාශියක් දැක ගන්න ඔහුට හැකි වුණා. යේසුස් රජ වූ 1914න් පටන් ගත් ඒ දවස ඔහුගේ දහස් අවුරුදු පාලනය අවසානය දක්වා දිව යනවා.—එළිදරව් 1:10.

2 එම සිදුවීම් යෙහෝවා දෙවි කෙළින්ම යොහන්ට එළිදරව් කළේ නැහැ. මේ ගැන එළිදරව් 1:1හි පවසන්නේ මෙසේයි. “යේසුස් ක්‍රිස්තුස් විසින් කළ එළිදරව්වකි. තව කෙටි කලකින් සිදුවීමට නියමිත දේවල් දෙවි තම දාසයන්ට පෙන්වන පිණිස ඔහුට මෙය දෙන ලදි. ඔහුද තම දූතයාව යවා, ඒ දූතයා මාර්ගයෙන්, තම දාසයා වූ යොහන්ට සංකේතාත්මක ලෙස එය දැන්වූයේය.” යෙහෝවා දෙවි ‘ස්වාමීන්ගේ දවසේ’ සිදුවන මවිතකර දේවල් මුලින්ම දැනුම් දුන්නේ යේසුස්ටයි. යේසුස් එම පණිවිඩය දේවදූතයෙකු මාර්ගයෙන් යොහන්ට දැනුම් දුන්නා. යොහන් දුටු ඒ දර්ශනයේදී “තවත් දේවදූතයෙකු මහත් අධිකාරියක් ඇතිව ස්වර්ගයෙන් බැස එනවා” ඔහු දැක්කා. මේ දේවදූතයා “බලවත් හඬින් කෑගසමින් මෙසේ කීවේය: ‘ඈ වැටුණාය! මහ බැබිලෝනිය වැටුණාය.’” (එළිදරව් 18:1, 2) සත්‍යය උගන්වන්නේ නැති සියලුම ආගම් නියෝජනය කරන මහ බැබිලෝනියේ වැටීම නිවේදනය කිරීමේ මහත් වරප්‍රසාදය ලැබී තිබුණේ ඒ බලවත් දේවදූතයාටයි. යෙහෝවා දෙවි තම කැමැත්ත ඉටු කිරීම සඳහා දේවදූතයන්ව යොදාගන්නා බව දැන් අපට පැහැදිලියි. යෙහෝවා දෙවිගේ අරමුණ තුළ දේවදූතයන්ට ඇති කාර්යය හා ඔවුන් අපිට උපකාර කරන ආකාර ගැන සොයාබැලීමට පෙර ඔවුන්ගේ මූලාරම්භය ගැන අපි සලකා බලමු.

දේවදූතයන්ගේ මූලාරම්භය

3. දේවදූතයන් ගැන බොහෝදෙනෙකුට තිබෙන වැරදි මතය කුමක්ද?

3 මිලියන ගණනක් මිනිසුන් දේවදූතයන් සිටින බව විශ්වාස කරනවා. ඒත් ඔවුන් ගැන හා ඔවුන්ගේ ආරම්භය ගැන බොහෝදෙනෙකුට තිබෙන්නේ වැරදි චිත්‍රයක්. උදාහරණයක් හැටියට තමන් ප්‍රේම කරන කෙනෙක් මිය ගිය විට සමහර ආගම්වල අය විශ්වාස කරන්නේ ඒ තැනැත්තාව ස්වර්ගයට කැඳවා ගත් බවයි. ඉන් පසු ඔහු දේවදූතයෙක් වන බවත් ඔවුන් විශ්වාස කරනවා. නමුත් දේවදූතයන්ගේ මූලාරම්භය, පැවැත්ම හා ඔවුන් සඳහා දෙවිගේ අරමුණ ගැන දේවවචනයේ පවසන්නේ කුමක්ද?

4. දේවදූතයන්ගේ මූලාරම්භය ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

4 දේවදූතයන් අතරින් වැඩිම බලයක් හා අධිකාරියක් සතු ප්‍රධානතම දේවදූතයාව හඳුන්වන්නේ අග්‍ර දේවදූත මිකායෙල් කියායි. (යූද් 9) මේ දේවදූතයා යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසිවෙක් නෙවෙයි. (1 තෙසලෝනික 4:16) අපට ගණනය කළ නොහැකි තරම් ඈත අතීතයේදී යෙහෝවා දෙවි පළමුවෙන්ම නිර්මාණය කළේ ඒ අග්‍ර දේවදූතයා වන යේසුස් ක්‍රිස්තුස්වයි. (එළිදරව් 3:14) පසුව දෙවි අන් සියලුම දේවදූතයන්ව නිර්මාණය කළේ ඒ කුලුඳුල් පුත්‍රයා මාර්ගයෙනුයි. (කොලොස්සි 1:15-17) යෙහෝවා දෙවි තමන්ගේ පුත්‍රයන් ලෙස සලකන එම දේවදූතයන් ගැන යෝබ්ගෙන් මෙසේ ඇසුවා. “මා විසින් පොළොවේ අත්තිවාරම් තැබූ කල ඔබ කොතැන සිටියෙහිද? ඔබට තේරුම ඇත්නම් කියන්න. පහන් තාරකාවන් එකතුව ගීතිකා කී කල්හිද දෙවිගේ සියලු පුත්‍රයන් ප්‍රීති නාද පැවැත්වූ කල්හිද . . . එහි එහි කොනේ ගල තැබුවේ කවුද?” (යෝබ් 38:4, 6, 7) දේවදූතයන්ව දෙවි විසින් මවන ලද බවත් ඔවුන් මිනිසුන්ව මැවීමට බොහෝ කාලයකට පෙර සිටම පැවත එන බවත් ඉන් පැහැදිලියි.

5. දෙවි දේවදූතයන්ව සංවිධානය කර තිබෙන්නේ කෙසේද?

5 “දෙවි, අවුල්සහගත දෙවි කෙනෙකු නොව, සමාදානයේ දෙවි කෙනෙක්” කියා 1 කොරින්ති 14:33හි පවසා තිබෙනවා. මේ අනුව යෙහෝවා දෙවි පහත දැක්වෙන ආකාරයට ඔහුගේ මහත් දේවදූත සමූහය කාණ්ඩ තුනකට සංවිධානය කර තිබෙනවා. (1) සෙරාප්වරුන්: ඔවුන් සේවය කරන්නේ දෙවිගේ සිංහාසනය අසලයි. ඔවුන් දෙවිගේ ශුද්ධකම ප්‍රකාශ කරන අතර ඔහුගේ අනුමැතිය ලැබෙන තත්වයක සිටීමට දෙවිගේ සෙනඟට උපකාර කරනවා. (2) කෙරුබ්වරුන්: ඔවුන් යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය කියාපානවා. (3) වෙනත් දේවදූතයන්: දෙවිගේ කැමත්ත කිරීමට නිතර සෑදී පැහැදී සිටිනවා. (ගීතාවලිය 103:20; යෙසායා 6:1-3; එසකියෙල් 10:3-5; දානියෙල් 7:10) මේ මහත් දේවදූත සමූහය මිනිසුන්ට උපකාර කරන සමහර පැති මොනවාද?—එළිදරව් 5:11.

දේවදූතයන් ඉටු කරන කාර්යයන්

6. දෙවි කෙරුබ්වරුන්ට ඒදන් උයනේ කිරීමට පැවරූ කාර්යය කුමක්ද?

6 බයිබලයේ දේවදූතයන් ගැන ඍජුවම සඳහන් කර තිබෙන මුල්ම අවස්ථාව ඇත්තේ උත්පත්ති 3:24යි. “දෙවි මනුෂ්‍යයා පිටතට එළවා ජීවනදායක ගසට යන මාර්ගය රැකවල් කරන පිණිස ඒදන් උයනට නැඟෙනහිරෙන් කෙරුබ්වරුද හැම අතටම කරකැවෙන්නාවූ ගිනිදැල්ල ඇති කඩුවක්ද තැබුවේය” කියා එහි සඳහන් වෙනවා. ආදම් සහ ඒවට නැවතත් ඔවුන් සිටි උයනට ඇතුල් වීම වැලැක්වූයේ මේ කෙරුබ්වරුනුයි. එය සිදු වුණේ මිනිස් ඉතිහාසය ආරම්භයේදීයි. එතැන් පටන් ඔවුන් කර තිබෙන කාර්යයන් මොනවාද?

7. මුල් භාෂාවට අනුව “දේවදූතයා” යන වචනයේ අර්ථයට එකඟව ඔවුන් ඉටු කරන එක් කාර්යයක් කුමක්ද?

7 බයිබලයේ දේවදූතයන් ගැන අවස්ථා 400කට ආසන්න ගණනක සඳහන් කර තිබෙනවා. හෙබ්‍රෙව් හා ග්‍රීක භාෂාවෙන් “දේවදූතයා” යන වචනය “පණිවිඩකාරයා” ලෙසද හැඳින්විය හැකියි. යෙහෝවා දෙවි සහ මිනිසුන් අතර පණිවිඩ හුවමාරු කරන්නන් ලෙස දේවදූතයන් සේවය කර තිබෙනවා. මේ ලිපියේ පළමු ඡේද දෙකේ කතා කළා හා සමානව යොහන්ට පණිවිඩ දීම සඳහා දෙවි යොදාගත්තේ දේවදූතයෙකුවයි.

8, 9. (අ) මානෝවා සහ ඔහුගේ බිරිඳට දේවදූතයාගේ පැමිණීමෙන් ලැබුණු ප්‍රයෝජනය කුමක්ද? (ආ) මානෝවා දේවදූතයාගෙන් ඉල්ලා සිටි දෙයින් දෙමාපියන්ට ගත හැකි පාඩම කුමක්ද?

8 දේවදූතයන් සතු තවත් කාර්යයක් වන්නේ දෙවිගේ සේවකයන්ට අවශ්‍යය සහය සහ දිරිගැන්වීම ලබා දීමයි. ඊශ්‍රායෙලයේ විනිශ්චයකාරයන් සිටි කාලයේදී සිදු වූ දෙයක් සලකා බලමු. දරුවන් නොමැතිව සිටි මානෝවා සහ ඔහුගේ බිරිඳ දරුවෙක් ලැබීමට මහත් ආශාවෙන් බලා සිටියා. මානෝවාගේ බිරිඳ පුත්‍රයෙකු බිහිකරන බව ඇයට දැනුම් දීමට දෙවි දේවදූතයෙකුව පිටත් කර හැරියා. ඒ ගැන බයිබලයේ වාර්තා කර තිබෙන්නේ මෙසේයි. “බලන්න ඔබ ගර්භිණීව පුත්‍රයෙකු වදන්නීය. ළදරුවා ගර්භයෙහි පටන් දෙවිට නාසරීයයෙකු වන බැවින් දැළි පිහියක් ඔහුගේ හිසේ තබනු නොලැබේ. ඔහු පිලිස්තියයන්ගේ අතින් ඊශ්‍රායෙල් ගලවන්ට පටන්ගන්නේය.”—විනිශ්චයකාරයෝ 13:1-5.

9 ඇයට සැම්සොන් නම් පුතෙක් ලැබුණා. ඔහු බයිබල් ඉතිහාසයේ සුප්‍රකට චරිතයක්. (විනිශ්චයකාරයෝ 13:24) මේ දරුවා ඉපදෙන්න පෙර මානෝවා එම දේවදූතයාගෙන් ඉල්ලා සිටියේ නැවත පැමිණ ඔහුව ඇති දැඩි කරන ආකාරය ගැන උපදෙස් දෙන්න කියායි. මානෝවා “දරුවා කෙබඳු කෙනෙක් වන්නේද? ඔහුට කළ යුත්තේ කිමෙක්දැයි ඇසීය.” එවිට දේවදූතයා මානෝවාගේ භාර්යාවට දුන් උපදෙස් නැවත ඔහුටත් පැවසුවා. (විනිශ්චයකාරයා 13:6-14) එයින් මානෝවාට කොතරම් දිරිගැන්වීමක් ලැබෙන්න ඇද්ද! එදා මෙන් අද දේවදූතයන් පෞද්ගලිකව හමු වී උපදෙස් ලබා දෙන්නේ නැහැ. ඒත් මානෝවා මෙන් තමන්ගේ දරුවන් ඇති දැඩි කිරීමේදී දෙමාපියන්ටත් දෙවිගේ මඟ පෙන්වීම ඉල්ලිය හැකියි.—එෆීස 6:4.

10, 11. (අ) තමන්ව වටලා සිටි සිරියානු හමුදාව දුටු එලිෂාට හා ඔහුගේ සේවකයාට එය බලපෑවේ කෙසේද? (ආ) අපට මෙයින් ඉගෙන ගත හැකි පාඩම කුමක්ද?

10 දේවදූතයන් දුන් උපකාරය ගැන ඉතාමත් කැපීපෙනන ආකාරයේ සිදුවීමක් එලිෂාගේ කාලයේදී සිදු වුණා. ඒ කාලය වන විට එලිෂා සිටියේ ඊශ්‍රායෙලයේ දෝතාන් නම් නගරයේයි. එක් දවසක් එලිෂාගේ සේවකයා උදේ පාන්දරින්ම අවදි වී පිටතට ගොස් බැලූ විට අශ්වයන්ද අශ්ව රථද ඇතිව සිටි මහත් හමුදාවක් නුවර වටලාගෙන සිටිනවා දුටුවා. සිරියාවේ රජුගේ මෙම හමුදාව පැමිණ සිටියේ එලිෂාව අල්ලා ගැනීමටයි. මෙය දුටු සේවකයා භයෙන් වෙවුලමින් මෙසේ ඇසුවා. “අහෝ ස්වාමීනි, අපි මක් කරමුද?” ඔහු හුඟාක් බිය වී සිටියා. ඒත් එලිෂා ඔහුට මෙසේ පැවසුවා. “භය නොවන්න, මක්නිසාද ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝයයි කීය.”—2 රාජාවලිය 6:11-16.

11 එලිෂා දැනගෙන සිටියා ඔහුගේ උපකාරයට දේවදූත හමුදාවක් පැමිණ සිටින බව. නමුත් ඔහුගේ සේවකයා එය දැක්කේ නැහැ. ඒ නිසා “එලිෂා යාච්ඤා කොට: යෙහෝවා, පෙනෙන පිණිස මොහුගේ ඇස් අරින ලෙස ඔබට යාච්ඤා කරමියි කීය. යෙහෝවා තරුණයාගේ ඇස් ඇරියේය. බලන්න, එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය.” (2 රාජාවලිය 6:17) අද දිනත් යෙහෝවා දෙවිගේ සහ යේසුස්ගේ මගපෙන්වීම යටතේ දේවදූතයන් දෙවිගේ සේවකයන්ට උපකාරය හා ආරක්ෂාව සපයනවා. ශක්තිමත් ඇදහිල්ලක් තිබෙනවා නම් අපිටත් එය අද්දකින්න පුළුවන්.

යේසුස්ගේ කාලයේදී දේවදූතයන් කළ උපකාර

12. ගාබ්‍රියෙල් දේවදූතයා මරියාට උපකාර කළේ කෙසේද?

12 යුදෙව් ජාතික කන්‍යාවක් වූ මරියාව දේවදූතයෙක් දිරිගැන්වූ ආකාරය ගැන සලකා බලන්න. “ඔබ පිළිසිඳගෙන පුතෙකු බිහි කරන්නෙහිය. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතුය” යන මවිතකර පණිවිඩය පවසන්න පෙර ගාබ්‍රියෙල් දේවදූතයා පැවසූ මේ වචන ඇයට ඇත්තෙන්ම ශක්තියක් වුණා. “මරියා, භය නොවන්න. මන්ද, දෙවි ඉදිරියේ ඔබට ප්‍රසාදය ලැබී ඇත.” (ලූක් 1:26, 27, 30, 31) ඇයට දෙවිගේ අනුමැතිය ලැබී තිබෙන බව දැනගැනීමෙන් මරියා කොතරම් දිරිගැන්වීමක් හා ශක්තියක් ලබන්න ඇද්ද!

13. දේවදූතයන් යේසුස්ට උපකාර කළේ කෙසේද?

13 දේවදූතයන්ගේ උපකාරය ලැබුණු තවත් අවස්ථාවක් සලකා බලමු. මෙය සිදු වුණේ පාළුකරයේදී සාතන් ගෙනා පරීක්ෂා තුනට යේසුස් සාර්ථකව මුහුණ දීමෙන් අනතුරුවයි. එම පරීක්ෂාවලට පසුව “යක්ෂයා ඔහු වෙතින් අහක්ව ගියේය. බලන්න! දේවදූතයෝ ඇවිත් යේසුස්ට උපස්ථාන කළහ” කියා බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 4:1-11) යේසුස් මිය යෑමට පෙර දින රාත්‍රියෙත් දේවදූතයන් ඒ හා සමානව ඔහුට උපකාර කළා. දැඩි මානසික පීඩනයකින් පසු වූ යේසුස් දණින් වැටී මෙසේ යාච්ඤා කළා. “‘පියාණෙනි, ඔබ කැමති නම්, මේ කුසලානය මා වෙතින් ඉවත් කරන්න. එහෙත් මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා’ යි කීවේය. එවිට ස්වර්ගයෙන් පැමිණි දේවදූතයෙක් ඔහුට පෙනී ඔහුව ශක්තිමත් කළේය.” (ලූක් 22:42, 43) දේවදූතයන් අදත් උපකාර කරනවාද? එසේ නම් ඒ කුමන ආකාරවලින්ද?

මේ කාලයේ දේවදූතයන්ගේ උපකාර

14. නවීන කාලයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට මුහුණ දීමට සිදු වූ සමහර පීඩා මොනවාද? එහි ප්‍රතිඵලය කුමක්ද?

14 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නවීන දින දේශනා සේවය ගැන සලකා බලද්දී දේවදූතයන්ගේ උපකාරය එයට ලැබී තිබෙන බව පැහැදිලියි. උදාහරණයක් ලෙස දෙවන ලෝක මහ යුද්ධයට පෙර හා එය පැවති කාලයේදී (1939-1945) ජර්මනියේ නාට්සිවරුන්ගෙන් හා බටහිර යුරෝපයෙන් පැමිණි දරුණු පීඩා දෙවිගේ සෙනඟට විඳදරාගන්න හැකි වූයේ දේවදූත උපකාරය නිසයි. කතෝලික ආගමේ බලපෑමට ලක් වූ ෆැසිස්ට් පාලනය යටතේ පැවති ඉතාලිය, ස්පාඤ්ඤය, හා පෘතුගාලය වැනි රටවලින් පැමිණි පීඩා ඊටත් වඩා වැඩි කාලයක් විඳදරාගන්න සාක්ෂිකරුවන්ට සිදු වුණා. සියවස් ගණනාවක් පුරා සෝවියට් දේශය හා එහි පාලනයට යටත් වී සිටි වෙනත් ජාතීන්ගේ පීඩාවලටද සාක්ෂිකරුවන් මුහුණ දුන්නා. අප්‍රිකානු රටවලින් පැමිණි පීඩාද අපි මෙහිදී අමතක නොකළ යුතුයි. * මෑත කාලවලදී ජෝජියාවේද යෙහෝවා දෙවිගේ සේවකයන් දරුණු පීඩාවලට මුහුණ දුන්නා. සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් නතර කර දැමීමට සාතන් තමන්ට හැකි උපරිමය කරමින් සිටිනවා. ඒත් සාක්ෂිකරුවන්ට එල්ල වී තිබෙන පීඩා හා විරුද්ධවාදිකම්වලට මුහුණ දී සාර්ථක වෙන්න සංවිධානයක් හැටියට ඔවුන්ට හැකි වී තිබෙනවා. ඔවුන්ගේ මෙම සාර්ථකත්වයට දේවදූතයන් සපයන ආරක්ෂාවත් යම් දුරකට හේතු වී තිබෙනවා කියා පැවසිය හැකියි.—ගීතාවලිය 34:7; දානියෙල් 3:28; 6:22.

15, 16. සාක්ෂිකරුවන් ලොව පුරා කරන සේවයට දේවදූතයන්ගේ උපකාර ලැබී තිබෙන්නේ කෙසේද?

15 මුළු ලොව පුරාම රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමටත් බයිබලයේ සඳහන් සත්‍යය ඉගැන්වීමෙන් යේසුස්ගේ ගෝලයන්වීමට අන් අයට උපකාර කිරීමටත් ඔවුන්ට ලැබී තිබෙන පැවරුම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉතා බැරෑරුම් කොට සලකනවා. (මතෙව් 28:19, 20) ඔවුන් හොඳින්ම දන්නවා මේ පැවරුම දේවදූතයන්ගේ උපකාරය නොමැතිව තමන්ට තනිවම ඉෂ්ට කළ නොහැකි බව. ඒ නිසා එළිදරව් 14:6, 7හි සඳහන් දෙය ඔවුන්ගේ සේවය දිගටම කරගෙන යෑමට ඔවුන්ට දිරිගැන්වීමක් වී තිබෙනවා. එහි පවසා තිබෙන්නේ මෙසේයි. “[යොහන් වන] මම තවත් දේවදූතයෙකු දුටිමි. අහස මැද පියාසර කරමින් සිටි ඔහුට, පොළොවේ වාසය කරන අයටත්, සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ප්‍රීතිමත් පණිවුඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් තිබිණ. ඔහු මහත් හඬකින් මෙසේ කියන්නේය: ‘දෙවිට භය ඇතිව සිටින්න. ඔහුව මහිමයට පත් කරන්න. මන්ද, ඔහුගේ විනිශ්චයේ පැය පැමිණ තිබේ. එබැවින්, අහසද පොළොවද මුහුදද දිය උල්පත්ද සෑදූ තැනැත්තාට නමස්කාර කරන්න.’”

16 ඉහත වචනවලින් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා සිදු කරන දේශනා සේවයට දේවදූතයන්ගේ සහය හා මඟ පෙන්වීම ලැබෙන බවයි. ශුභාරංචියට කැමැත්තක් දක්වන හා මොළොක් ගුණය ඇති අය වෙතට සාක්ෂිකරුවන්ව මඟ පෙන්වීමට දෙවි දේවදූතයන්ව පාවිච්චි කරනවා. සමහර අය දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කර තිබූ බොහෝ අවස්ථාවලදී ඔවුන්ට සාක්ෂිකරුවන්ව හමු වී තිබුණේ එම දේවදූත මඟ පෙන්වීම නිසයි.

නුදුරු අනාගතයේදී දේවදූතයන් කරන විශේෂ කාර්යය

17. ඇසිරියානු හමුදාවට විරුද්ධව එක් දේවදූතයෙක් ක්‍රියා කළේ කෙසේද?

17 පණිවිඩකරුවන් හා දෙවිගේ සෙනඟව දිරිගන්වන්නන් ලෙස ඉටු කරන කාර්යයට අමතරව දේවදූතයන් තවත් විශේෂ කාර්යයක් ඉටු කරනවා. ඒ දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කිරීමයි. උදාහරණයක් ලෙස ක්‍රි.පූ.732දී ඇසිරියානු හමුදාව යෙරුසලමට විරුද්ධව නැඟි සිටි අවස්ථාවේදී යෙහෝවා දෙවි පැවසූ දෙය ගැන මෙසේ කියවීමට තිබෙනවා. “මා උදෙසාත් මාගේ මෙහෙකරු වූ දාවිත් උදෙසාත් මේ නුවර ගලවා රක්ෂා කරන්නෙමියි.” එහි ප්‍රතිඵලයක් ලෙස “ඒ රාත්‍රියේ යෙහෝවාගේ දූතයා පිටතට ගොස් අෂූරියයන්ගේ කඳවුරේ එක්ලක්ෂ අසූපන් දහසකට පහර දුන්නේය. උදයම මනුෂ්‍යයන් නැඟිටි කල බලන්න, ඔවුහු සියල්ලෝ මළකඳන්ව සිටියෝය.” (2 රාජාවලිය 19:34, 35) දෙවිගේ එක දේවදූතයෙකුගේ බලය හා සසඳද්දී මනුෂ්‍ය හමුදාවල ශක්තිය මොනතරම් අල්පද!

18, 19. දේවදූතයන් නුදුරු අනාගතයේදී ඉටු කරන විශේෂ කාර්යය කුමක්ද? මෙය මිනිසුන්ට බලපාන්නේ කෙසේද?

18 නුදුරු අනාගතයේදී දෙවි තම විනිශ්චය ඉටු කිරීමේදී දුෂ්ටයන්ට දඬුවම් කිරීමට ඔහු තම දේවදූත සේනාව යොදා ගන්නවා. ලඟදීම යේසුස් “තම බලවත් දූතයන් සමඟ ගිනි ජාලාවක් ඇතිව” එන බව බයිබලයේ සඳහන් වෙනවා. ඔවුන්ගේ කාර්යය වන්නේ ‘දෙවිව නොදන්නා අයගෙන්ද අපේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අයගෙන්ද පළිගැනීමයි.’ (2 තෙසලෝනික 1:7, 8) ලොව පුරා දේශනා කරන දෙවිගේ රාජ්‍ය පිළිබඳ ශුභාරංචිය ප්‍රතික්ෂේප කරන සියලුදෙනාටම අත් වන්නේ විනාශයයි. “යෙහෝවාගේ උදහසේ දවසේදී සඟවනු” ලබන්නේ දෙවිගේ නීති පිළිපදින, ධර්මිෂ්ඨකම හා මොළොක්කම සොයන අයව පමණයි.—ශෙපනියා 2:3.

19 පොළොවේ සිටින තම සෙනඟට උපකාර කරන්නත් ඔවුන්ව ශක්තිමත් කරන්නත් යෙහෝවා දෙවි ඔහුගේ බලවත් දේවදූතයන්ව යොදා ගැනීම ගැන අප කොතරම් ඔහුට ස්තුතිවන්ත විය යුතුද! දෙවිගේ අරමුණ ඉෂ්ට කිරීම සඳහා දේවදූතයන් කරන සේවාවන් ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. ඒත් සමහර දේවදූතයන් දෙවිට විරුද්ධව කැරලි ගසා සාතන්ගේ පැත්ත ගෙන තිබෙනවා. සාතන් සහ මෙම භූතයන් ඇති කරන ප්‍රබල බලපෑම්වලින් ආරක්ෂාවීමට සැබෑ ක්‍රිස්තියානීන්ට ගත හැකි පියවර ගැන අපි මීළඟ ලිපියේ සාකච්ඡා කරමු.

[පාදසටහන]

^ 14 ඡේ. මෙම පීඩා සම්බන්ධයෙන් වැඩි විස්තර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්ෂික පොත්වල සඳහන් වෙයි. (මේවා සිංහලෙන් නැත) 1983 (ඇන්ගෝලා), 1982 (ඉතාලිය), 1992 (ඉතියෝපියාව), 2000 (චෙච් සමූහාණ්ඩුව), 1972 (චෙකොස්ලොවේකියාව), 1974 සහ 1999 (ජර්මනිය), 1983 (පෘතුගාලය), 1994 (පෝලන්තය), 1999 (මලාවි), 1996 (මොසැම්බික්), 2004 (මෝල්ඩෝවා), 2002 (යුක්රේනය), 2006 (සැම්බියාව) සහ 1978 (ස්පාඤ්ඤය).

ඔබ ඉගෙන ගත්තේ කුමක්ද?

• දේවදූතයන්ගේ මූලාරම්භය සිදු වුණේ කෙසේද?

• අතීතයේදී දේවදූතයන් ඉටු කළ සේවාවන් මොනවාද?

• අද දින දේවදූතයන් ඉටු කරන කාර්යය ගැන එළිදරව් 14:6, 7හි පවසන්නේ කුමක්ද?

• නුදුරු අනාගතයේදී දේවදූතයන් ඉටු කරන සුවිශේෂි කාර්යය කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22වන පිටුවේ පින්තූර]

මානෝවා සහ ඔහුගේ බිරිඳ දේවදූතයෙකුගෙන් මහත් දිරිගැන්වීමක් ලැබුවා

[23වන පිටුවේ පින්තූර]

“ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝය”