Skip to content

පටුනට යන්න

භූතයන්ගෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද?

භූතයන්ගෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද?

භූතයන්ගෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද?

“තම මුල් ස්ථානයෙහි නොපැවත, තමන්ගේ නියම වාසස්ථානය අත්හැරියාවූ දේවදූතයන්ව, ඔහු [දෙවි] මහත් දවසේ විනිශ්චය සඳහා ඝන අන්ධකාරය යට සදාකාල බැඳුම්වලින් බැඳ වෙන් කර තබා ඇත.”—යූද් 6.

1, 2. සාතන් සහ ඔහුගේ භූතයන් ගැන පැන නඟින ප්‍රශ්න මොනවාද?

“සිහිකල්පනාව ඇතිව සිටින්න. සෝදිසියෙන් සිටින්න.” පේතෘස් අපි සියලුදෙනාටම එසේ අනතුරු අඟවන්නේ අපේ “විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන්, කවරෙකුව හෝ ගිල දමන්න සොයමින් ඔබ මොබ [ඇවිදිමින්]” සිටින නිසයි. (1 පේතෘස් 5:8) භූතයන් ගැන පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. “ඔබ භූතයන් සමඟ පංගුකාරයන් වනවාට මා කැමති නැත. ඔබට යෙහෝවාගේ කුසලානයෙනුත් භූතයන්ගේ කුසලානයෙනුත් බීමට නොහැක. ‘යෙහෝවාගේ මේසයටද’ භූතයන්ගේ මේසයටද පංගුකාරයන් වන්න ඔබට නොහැක.”—1 කොරින්ති 10:20, 21.

2 යක්ෂයා සහ භූතයන් කියන්නේ කාටද? ඔවුන් බිහි වුණේ කෙසේද? කවදාද? ඔවුන්ව නිර්මාණය කළේ දෙවිද? ඔවුන්ට මිනිසුන් කෙරෙහි කොතරම් බලපෑමක් ඇති කරන්න පුළුවන්ද? අපිට ඔවුන්ගෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද?

සාතන් සහ භූතයන්ගේ මූලාරම්භය

3. දේවදූතයෙක් යක්ෂයා බවට පත් වූයේ කෙසේද?

3 මිනිස් ඉතිහාසය ආරම්භයේදී පළමු මිනිස් යුවළ ජීවත් වුණේ ඒදන් නම් ලස්සන උයනකයි. මේ කාලයේදී එක් දේවදූතයෙක් දෙවිගේ ස්වර්ගික සංවිධානයේ ඔහුට හිමි වී තිබූ තත්වය ගැන සෑහීමට පත් නොවී දෙවිට විරුද්ධව කැරැල්ලක් ගැසුවා. ඔහුට අවශ්‍ය වුණේ ආදම් සහ ඒව දෙවිට දැක්වූ කීකරුකම හා ඔවුන්ගේ නමස්කාරය ඔහුට ලබා ගන්නයි. ඒ දේවදුතයා දෙවිට විරුද්ධව කැරලි ගැසීමෙන් හා පළමු මිනිස් යුවලව දෙවිට විරුද්ධව පව් කිරීමට පොළඹා ගැනීමෙන් යක්ෂයා බවට පත් වුණා. කාලයත් සමඟ තවත් දේවදූතයෝ ඔහුගේ කැරැල්ලට හවුල් වුණා. එය සිදු වුණේ කෙසේද?—උත්පත්ති 3:1-6; රෝම 5:12; එළිදරව් 12:9.

4. නෝවාගේ ජලගැල්මට පෙර සමහර දේවදූතයන් කළේ කුමක්ද?

4 නෝවාගේ දවස්වලදී සිදු වූ ජලගැල්මට ටික කාලයකට පෙර ස්වර්ගයේ සිටි සමහර දේවදූතයන් පොළොවේ සිටි ස්ත්‍රීන් කෙරෙහි වැරදි ආකල්පයකින් බැලූ බව බයිබලයේ වාර්තා වෙනවා. ඔවුන් තුළ ඇති වූ එම වැරදි ආශාව නිසා “දෙවිගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තම තමන් කැමති සියල්ලන් අතරෙන් භාර්යාවන් පාවාගත්තෝය” කියා බයිබලයේ වාර්තා වෙනවා. මේ අසාමාන්‍යය සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ දරුවන් නෙෆිලිම්වරු කියා හැඳින්වුවා. (උත්පත්ති 6:2-4) මෙලෙස දෙවිට අකීකරු වූ දේවදූතයන් සාතන්ට එකතු වූණා.

5. දෙවි ජලගැල්ම ගෙනා විට කැරලිකාර දේවදූතයන්ට සිදු වූයේ කුමක්ද?

5 යෙහෝවා දෙවි සියලුම දුෂ්ට මිනිසුන් නැති කර දැමීමට ගෙනා ජලගැල්මෙන් නෙෆිලිම්වරු හා ඔවුන්ගේ මව්වරුන් විනාශ වුණා. තවදුරටත් මේ පොළොවේ ජීවත් වීමට නොහැකි තත්වයක් උදා වූ නිසා ඒ කැරලිකාර දේවදූතයන්ට ඔවුන් මූර්තිමත් කරගත් මනුෂ්‍ය ශරීර අත හැර දමා ස්වර්ගයට යෑමට සිදු වුණා. ඒත් ඔවුන්ට ස්වර්ගයේ තිබූ ඔවුන්ගේ ‘මුල් ස්ථානය’ අහිමි වුණා. එනම් දෙවි සමඟ තිබූ ඔවුන්ගේ සබඳතාවය නැති වූ අතර ඔවුන් දැන් සිටින්නේ ටාටරස් කියා හඳුන්වන “ඝන අන්ධකාර” තත්වයකයි.—යූද් 6; 2 පේතෘස් 2:4.

6. භූතයන් මිනිසුන්ව නොමඟ යවන්නේ කෙසේද?

6 මෙම දේවදූතයන්ටට තමන්ගේ ‘මුල් ස්ථානය’ අහිමි වූ දා පටන් ඔවුන් සාතන්ට එකතු වී ඔහුට සහයෝගය දක්වමින් සිටිනවා. එතැන් පටන් භූතයන්ට නැවතත් මනුෂ්‍ය ශරීර මූර්තිමත් කරගැනීමේ හැකියාව නැහැ. කෙසේවෙතත් ඔවුන්ට මිනිසුන්ව වැරදි ලිංගික ක්‍රියාවන් සඳහා පොලඹවන්න පුළුවන්. ඒ වගේම ඔවුන් යන්ත්‍ර මන්ත්‍ර, වශී ගුරුකම් හා මළවුන්ගෙන් විචාරීම වැනි භූතවාදය හා සම්බන්ධ දේවල් යොදාගනිමින් මිනිසුන්ව රවටනවා. (ද්විතීය කතාව 18:10-13; 2 ලේකම් 33:6) භූතයන්ට අත් වන්නේත් සාතන්ට අත්වන දේමයි. එනම් සදාකාලික විනාශයයි. (මතෙව් 25:41; එළිදරව් 20:10) එතෙක් අපි ස්ථිරව සිටිමින් සාතන්ගෙන් හා ඔහුගේ භූතයන්ගෙන් ආරක්ෂා විය යුතුයි. සාතන් කොතරම් බලවත්ද කියාත් ඒ වගේම ඔහුගෙන් හා ඔහුගේ භූතයන්ගෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද කියාත් සොයා බැලීම අපිට ප්‍රයෝජනවත් වෙනවා නිසැකයි.

සාතන් කොතරම් බලවත්ද?

7. සාතන්ට කොතරම් බලයක් තිබෙනවාද?

7 සාතන් මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිටම යෙහෝවා දෙවිට නින්දා අපහාස කර තිබෙනවා. (හිතෝපදේශ 27:11) ඒ විතරක් නෙවෙයි මිනිසුන් බොහෝදෙනෙකුට බලපෑම් කිරීමටත් ඔහුට හැකි වී තිබෙනවා. “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්” වී තිබෙන බව 1 යොහන් 5:19හි පවසනවා. “ලොව පුරා ඇති සියලු රාජ්‍යයන්” කෙරෙහි අධිකාරියද තේජසද දෙන බව පවසමින් යේසුස්ව පරීක්ෂා කිරීමට සාතන්ට හැකි වුණේ ඒ නිසයි. (ලූක් 4:5-7 ) සාතන් ගැන පාවුල්ද මෙසේ පැවසුවා. “අප ප්‍රකාශ කරන ශුභාරංචිය වැසී තිබෙනවා නම්, එය වැසී තිබෙන්නේ විනාශ වන්නන් අතරේය. දෙවිගේ ස්වරූපය වන ක්‍රිස්තුස් ගැන තේජාන්විත ශුභාරංචියේ ආලෝකය ඔවුන් වෙත නොබැබළෙන පිණිස මේ සමාජ ක්‍රමයේ දෙවි නොඇදහිලිකරුවන්ගේ මනස් අන්ධ කර ඇත.” (2 කොරින්ති 4:3, 4) සාතන් “බොරුකාරයෙකි. බොරුවේ පියාය” නමුත් ඔහු ‘ආලෝකයේ දූතයෙකුගේ’ වෙස් ගනියි. (යොහන් 8:44; 2 කොරින්ති 11:14) මේ ලෝකයේ පාලකයන්ගේ හා ඔවුන්ගේ යටත්වැසියන්ගේ මනස් අන්ධ කිරීමට ඔහු තම බලය පාවිච්චි කරමින් විවිධ උපායන් යොදනවා. ඔහු වැරදි තොරතුරු, මිථ්‍යා ආගමික මත හා බොරු යොදාගෙන මිනිසුන්ව රැවටීමට සමත් වී තිබෙනවා.

8. සාතන් සතු බලය ගැන බයිබලයේ පවසා තිබෙන්නේ කුමක්ද?

8 යේසුස් ඉපදීමට සියවස් පහකට පමණ පෙර විසූ දානියෙල්ගේ කාලයේදී සාතන් තම බලය පෙන්වූ අවස්ථාවක් ගැන සලකා බලමු. යෙහෝවා දෙවි දානියෙල්ව දිරිගැන්වීම සඳහා දේවදූතයෙක්ව යැවූ අවස්ථාවේදී ඒ දේවදූතයාට “පර්සියා රාජ්‍යයේ අධිපතියා” ලෙස හැඳින්වූ භූතයෙක් සමඟ පොරබැදීමට සිදු වුණා. එම දේවදූතයාට “ප්‍රධාන අධිපතීන්ගෙන් කෙනෙක් වූ මිකායෙල්” පැමිණ උපකාර කරන තුරු දවස් 21ක් එසේ භූතයාට විරුද්ධව සටන් කරන්න සිදු වුණා. එම වාර්තාවේම “ග්‍රීසියේ අධිපතියා” කියා හැඳින්වෙන භූතයෙක් ගැනත් කතා කර තිබෙනවා. (දානියෙල් 10:12, 13, 20) ඒ වගේම එළිදරව් 13:1, 2හි සාතන්ව ‘මකරෙකුට’ සමාන කර තිබෙන අතර ඔහු “තමාගේ බලයත් තමාගේ සිංහාසනයත් මහත් අධිකාරියත්” සියලුම දේශපාලන ක්‍රම නියෝජනය කරන මෘගයාට බාර දෙන බව පවසා තිබෙනවා.

9. ක්‍රිස්තියානීන්ට පොරබැදීමට සිදු වී තිබෙන්නේ කාට විරුද්ධවද?

9 “අපට තිබෙන පොරබැදීම රුධිරයටවත් මාංසයටවත් විරුද්ධව නොව, ආණ්ඩුවලට විරුද්ධවය. අධිකාරවලට විරුද්ධවය. මේ අන්ධකාරයේ ලෝක පාලකයන්ට විරුද්ධවය. ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ට ආත්ම සමූහයන්ට විරුද්ධවය” කියා පාවුල් පැවසූවේ හොඳ හේතු ඇතුවයි. (එෆීස 6:12) සාතන්ගේ බලය යටතේ සිටින භූතයන්, පාලකයන් හා මිනිස් වර්ගයා කෙරෙහි ලොකු බලපෑමක් කරන බව අද සිදු වන සමූලඝාතන, ත්‍රස්තවාදය හා මිනිමැරුම් ආදියෙන් පෙනී යනවා. අපට මේ බලවත් භූතයන්ගෙන් ආරක්ෂා විය හැකි ආකාරය ගැන දැන් සොයා බලමු.

අපට ආරක්ෂා විය හැකි අයුරු

10, 11. අපට සාතන්ගෙන් හා ඔහුගේ භූතයන්ගෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද?

10 සාතන් සහ ඔහුගේ භූතයන්ට එරෙහිව සිටින්න අපේ මානසික ශක්තියෙන්වත් ශාරීරික ශක්තියෙන්වත් අපට නොහැකියි. “ස්වාමීන් තුළද ඔහුගේ ශක්තියේ බලය තුළද වඩ වඩාත් බලවත් වන්න” කියා පාවුල් අපට උපදෙස් දී තිබෙන්නේ ඒ නිසයි. ආරක්ෂාව පතා අපි දෙවිගේ උපකාරය පැතිය යුතුයි. පාවුල් තවදුරටත් මෙසේද උපදෙස් දුන්නා. “යක්ෂයාගේ උපායවලට විරුද්ධව ස්ථිරව සිටින්න ඔබට පුළුවන් වන පිණිස, දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න. මේ නිසා, දුෂ්ට දවසේදී විරෝධය දැක්වීමට ඔබට හැකි වන පිණිසත් ඔබ සියල්ල සම්පූර්ණ ලෙස කළායින් පසු ස්ථිරව සිටීමට හැකි වන පිණිසත් දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.”—එෆීස 6:10, 11, 13.

11 “දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න” කියා පාවුල් තම සෙසු නමස්කාරකයන්ව දෙවරක්ම දිරිගැන්නුවා. මුළු” හෙවත් සම්පූර්ණ කීමෙන් අදහස් කරන්නේ සාතන්ගෙන් හා ඔහුගේ භූතයන්ගෙන් ආරක්ෂා වීමට නම් අප හොඳ සූදානමකින් සිටිය යුතු බවයි. එවැනි සූදානමක් සඳහා ක්‍රිස්තියානීන් පැළඳ ගත යුතු යුද්ධායුධ කට්ටලයේ අත්‍යවශ්‍ය දේවල් මොනවාද?

‘ස්ථිරව’ සිටිය හැක්කේ කෙසේද?

12. ක්‍රිස්තියානීන්ට සත්‍යය නමැති බඳ පටිය බැඳ ගත හැක්කේ කෙසේද?

12 ‘ස්ථිරව සිටින්න. ඔබේ ඉඟටිය සත්‍යය නමැති පටියෙන් බැඳගෙන ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම ඇඳගන්න’ කියා පාවුල් පැවසුවා. (එෆීස 6:14) මෙහි සඳහන් කර තිබෙන්නේ යුද්ධායුධ කට්ටලයට අයත් දේවල් දෙකක් වනඉඟටි පටිය හා ළය වැස්ම ගැනයි. සොල්දාදුවෙකුට තමන්ගේ ඉඟටිය ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමට හා කඩුව හොඳින් රඳවා ගැනීමට බඳ පටිය තදින් බැඳ තබාගත යුතුයි. ඒ හා සමානව අපේ ජීවිතයට බයිබල් සත්‍යයන් තදින් බැඳි තිබෙනවා නම් අපි එයට අනුව ජීවිත හැඩ ගස්වා ගන්න යනවා. දිනපතා බයිබලය කියවීම සඳහා කාල සටහනක් අපි සකස් කරගෙන තිබෙනවාද? එයට පවුලේ සියලුදෙනාම හවුල් වෙනවාද? පවුලක් හැටියට දිනපදය සාකච්ඡා කිරීම අපේ දින චර්යාවේ අංගයක් වී තිබෙනවාද? ඊට අමතරව “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” අපට සපයන ප්‍රකාශන ලැබූ සැණින් කියවීමට අප කාලය ගන්නවාද? (මතෙව් 24:45) එසේ කරනවා නම් අපි පාවුල්ගේ උපදෙස පිළිගන්නවා කියා කිව හැකියි. දෙවිගේ වචනයේ මඟ පෙන්වීම් ලබා දෙන වීඩියෝ හා DVD තැටිද අපට සපයා තිබෙනවා. අප සත්‍යය තදින් අල්ලා ගෙන සිටිනවා නම් අපට ප්‍රඥාවන්ත තීරණ ගත හැකි අතර වැරදි දේවල් කිරීමෙන්ද වැළකී සිටිය හැකියි.

13. අපේ සිතුවිලි අපට ආරක්ෂා කරගත හැක්කේ කෙසේද?

13 සොල්දාදුවෙකුගේ ළය වැස්මෙන් ඔහුගේ හෘදය හා ඒ අවට අනිකුත් ප්‍රධාන ඉන්ද්‍රියන් ආරක්ෂා වෙනවා. ඒ හා සමානව ක්‍රිස්තියානියෙකුට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලී සිටීමෙන් තම සංකේතාත්මක හෘදය හෙවත් සිතුවිලි ආරක්ෂා කරගන්න පුළුවන්. අපි සංකේතාත්මක ළයවැස්ම පැළඳ සිටිනවා නම් දේවවචනය සතු බලය සුළුකොට තකන්නේ නැහැ. අපි ‘නපුරට ද්වේෂ කර, යහපතට ප්‍රේම කරනවා’ නම් ‘සියලු නපුරු මාර්ගවලින්’ වැලකෙන්න අපට හැකි වෙනවා.—ආමොස් 5:15; ගීතාවලිය 119:101.

14. “සමාදානයේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා සූදානමින් සිටීම නමැති වහන් පැළඳ සිටින්න” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

14 රෝම අධිරාජ්‍යය පුරා තිබුණු මහමාර්ගවල පා ගමනින් යෑම රෝම සොල්දාදුවන්ගේ දෛනික කාර්යයක් වුණා. ඔවුන්ට මෙය අමාරු කාර්යයක් නොවූයේ ඒ සඳහා සුදුසු පාවහන් ඔවුන් පැළඳ සිටි නිසයි. “සමාදානයේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා සූදානමින් සිටීම නමැති වහන් පැළඳ සිටින්න” යන්නෙන් ක්‍රිස්තියානීන්ට අදහස් කරන්නේ කුමක්ද? (එෆීස 6:15) ඉන් අදහස් කරන්නේ අපට ලැබෙන සෑම යෝග්‍ය අවස්ථාවකදීම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය අන් අය සමඟ කතා කිරීමට සූදානමින් සිටීමයි. (රෝම 10:13-15) අප දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙනවා නම් එය සාතන්ගේ ‘උපායවලින්’ ආරක්ෂා වීමට අපිට මහත් උපකාරයක් වෙනවා.—එෆීස 6:11.

15. (අ) ඇදහිල්ල නමැති විශාල පලිහ වැදගත් දෙයක් බව පෙනී යන්නේ කුමකින්ද? (ආ) අපේ ඇදහිල්ලට හානි කළ හැකි “ගිනිමය ඊතල” මොනවාද?

15 “සියල්ලට පළමුවෙන් ඇදහිල්ල නමැති විශාල පලිහ ගන්න. මෙයින් ඔබට දුෂ්ටයාගේ සියලු ගිනිමය ඊතල නිවා දමන්න හැකි වන්නේය” කියා පාවුල් පැවසුවා. (එෆීස 6:16) යුද්ධායුධ කට්ටලය ගැන කතා කරද්දී පාවුල් ඇදහිල්ල නමැති පලිහ හඳුන්වා දෙමින් පැවසූවේ “සියල්ලට පළමුවෙන්” එය ගන්න කියායි. ඉන් පෙනී යන්නේ එය ඉතා වැදගත් දෙයක් බවයි. අපේ ඇදහිල්ලේ කිසිම අඩුවක් නොතිබිය යුතුයි. අපේ සතුරන් හා ඇදහිල්ල අත් හැර ගිය අය අපට විරුද්ධව කරන අපහස කිරීම්, බොරු ප්‍රචාර හා නොමඟ යවන තොරතුරු සැපයීම වැනි දේවල් සාතන් ගෙනෙන ‘ගිනිමය ඊතලවලට’ සමාන කළ හැකියි. එවැනි උපක්‍රමවලින් අපව ආරක්ෂා කරන්නේ විශාල පලිහක් හා සමාන අප සතු ඇදහිල්ලයි. පොහොසත් වීමට දැඩි ආශාවක් ඇතුව සිටීමද මේ ‘ඊතලවලින්’ අදහස් කරනවා. උදාහරණයක් හැටියට එවැනි අය තුළ දකින දකින දේ මිලට ගැනීමට ඇති ආශාවක් හෝ අන් අයගේ සුඛෝපභෝගී ජීවිත රටාව අනුකරණය කිරීමට නැඹුරුවාවක් දැකිය හැකියි. සුඛෝපභෝගී ජීවිත ගත කරන අය විශාල නිවෙස් හෝ මිල අධික යාන වාහන හෝ රන් ආභරණ මෙන්ම අලුත්ම පන්නයේ ඇඳුම් විලාසිතා ප්‍රදර්ශනය කිරීමට කැමති විය හැකියි. අන් අය ගත කරන ජීවිත රටාව කුමක් වූවත් එවැනි ‘ගිනිමය ඊතලවලින්’ අපව ආරක්ෂා කරගැනීමට අප තුළ ශක්තිමත් ඇදහිල්ලක් තිබිය යුතුයි. එවැනි ඇදහිල්ලක් ඇති කරගෙන එය පවත්වා ගත හැක්කේ කෙසේද?—1 පේතෘස් 3:3-5; 1 යොහන් 2:15-17.

16. අපට ශක්තිමත් ඇදහිල්ලක් ඇති කරගන්න කුමක් උපකාරවත් විය හැකිද?

16 නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා දෙවිට මුළු සිතින්ම යාච්ඤා කිරීමෙන් ඔහුට තව තවත් ළං වෙන්න අපිට පුළුවන්. ශක්තිමත් ඇදහිල්ලක් ඇති කරගැනීම සඳහා දෙවිගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කළ හැකියි. ඉන්පසු එයට එකඟව ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය පියවරගැනීම වැදගත්. උදාහරණයක් හැටියට අප මුරටැඹ සාකච්ඡාවේදී අදහස් දැක්වීමට හොඳින් සුදානම් වෙනවාද? බයිබලය හා බයිබලය මත පදනම් පොත් පත් සඟරා කියවනවා නම් අපේ ඇදහිල්ල ශක්තිමත් කරගත හැකියි.—හෙබ්‍රෙව් 10:38, 39; 11:6.

17. “ගැලවීම නමැති ආරක්ෂක හිස්වැස්ම” පැළඳ ගත හැක්කේ කෙසේද?

17 පාවුල් යුද්ධායුධ කට්ටලය ගැන කළ විස්තරය අවසන් කරන්නේ මෙසේ පවසමින්. “ගැලවීම නමැති ආරක්ෂක හිස්වැස්මද, ආත්මයේ කඩුව වන දෙවිගේ වචනයද ගන්න.” (එෆීස 6:17) හිස්වැස්ම මගින් සොල්දාදුවෙකුගේ හිස මෙන්ම ඔහුගේ කල්පනා ශක්තිය රැක දෙන මොළයද ආරක්ෂා වුණා. ඒ හා සමානව ගැලවීමට ඇති අපේ බලාපොරොත්තුව මගින් අපේ කල්පනා ශක්තිය ආරක්ෂා කරනවා. (1 තෙසලෝනික 5:8) ලෝකයේ ඉදිරිපත් කරන ඉලක්කවලින් මනස පුරවා ගැනීමෙන් හා සැප සම්පත් රැස් කිරීමට සිහින මැවීමෙන් වැළකී, දෙවි දී තිබෙන බලාපොරොත්තුව ගැන යේසුස් බලා සිටියාක් මෙන් අපත් බලා සිටිමු.—හෙබ්‍රෙව් 12:2.

18. බයිබලය නිතිපතා කියවීම අපි අතපසු නොකළ යුත්තේ ඇයි?

18 අපට සාතන්ගේ හා ඔහුගේ භූතයන්ගේ බලපෑම්වලින් ආරක්ෂා වීමට දේවවචනයෙන්ද මහත් ශක්තියක් ලැබෙනවා. අප නිතිපතා බයිබලය කියවීම පුරුද්දක් කර ගත යුත්තේ මේ හේතුව නිසයි. අපට දේවවචනය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා නම් සාතන් හා ඔහුගේ භූතයන්ගේද ඇදහිල්ල අත හැර ගිය අයගේද බොරු ප්‍රචාරවලට අප හසු වන්නේ නැහැ.

“නොකඩවා යාච්ඤා කරන්න”

19, 20. (අ) සාතන් සහ ඔහුගේ භූතයන්ට සිදු වන්නේ කුමක්ද?(ආ) දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය ආරක්ෂා කර ගත හැක්කේ කෙසේද?

19 සාතන් සහ ඔහුගේ භූතයන් මෙන්ම මේ දුෂ්ට සමාජයද විනාශ වන කාලය අත ළඟයි. “තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක්” බව දන්නා නිසා සාතන් මහත් උදහසින් යුතුව “දෙවිගේ ආඥා පිළිපදින, යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය” ඉටු කරන අයට විරුද්ධව යුද්ධ කරනවා. (එළිදරව් 12:12, 17) ඒ නිසා අපි සාතන්ට හා ඔහුගේ භූතයන්ට එරෙහිව සිටීම අත්‍යවශ්‍යය දෙයක්.

20 දෙවි සපයා දී තිබෙන යුද්ධායුධ කට්ටලය පැළඳගැනීමට දී තිබෙන උපදෙස් අප කොතරම් අගය කළ යුතුද! යුද්ධායුධ කට්ටලය ගැන කළ විස්තරය අවසන් කරමින් පාවුල් පැවසුවේ මෙසේයි. “සියලු ආකාරයේ යාච්ඤා සහ අයැදීම් ඔප්පු කරමින් ආත්මය මාර්ගයෙන් නොකඩවා යාච්ඤා කරන්න. ඒ සඳහා කිසිවිටකත් පසුබට නොවී, අවදිව සිට සියලු ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් අයැදින්න.” (එෆීස 6:18) දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය ආරක්ෂා කරගැනීමට මෙන්ම අවදිව සිටීමට යාච්ඤාව අපට බොහෝ සේ උපකාරවත් වෙනවා. ඒ නිසා අපි පාවුල්ගේ උපදෙස හොඳින් සිතට ගෙන නිතර යාච්ඤාවේ යෙදී සිටිමු. එවිට සාතන් සහ ඔහුගේ භූතයන්ගෙන් ආරක්ෂාවීමට අපට හැකි වෙනවා නොඅනුමානයි.

ඔබ ඉගෙනගත් දේ මතකද?

• සාතන් සහ භූතයන්ගේ මූලාරම්භය සිදු වූයේ කෙසේද?

• සාතන් කොතරම් බලවත්ද?

• සාතන් සහ ඔහුගේ භූතයන්ගෙන් අපට ආරක්ෂා විය හැක්කේ කෙසේද?

• දෙවි සපයා දී තිබෙන සම්පූර්ණ යුද්ධායුධ කට්ටලය පැළඳ සිටින බව අපට පෙන්විය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූර]

‘දෙවිගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක්කා’

[28වන පිටුවේ පින්තූරය]

අපේ යුද්ධායුධ කට්ටලයට අයත් දේවල් හය මොනවාද?

[29වන පිටුවේ පින්තූර]

මෙවැනි දේවල නිරත වීම අපට සාතන්ගෙන් සහ ඔහුගේ භූතයන්ගෙන් ආරක්ෂාවක් වන්නේ කෙසේද?