Skip to content

පටුනට යන්න

යෙරෙමියා පොතෙන් විශේෂාංග

යෙරෙමියා පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානයි

යෙරෙමියා පොතෙන් විශේෂාංග

යෙරෙමියා ඔහුගේම ජාතියේ ජනයාට ප්‍රකාශ කළ විනාශය පිළිබඳ පණිවිඩ මොනතරම් තැතිගන්වනසුලු වන්න ඇද්ද! සියවස් තුනකට වඩා වැඩි කාලයක් නමස්කාරයේ මධ්‍යස්ථානය වී තිබූ තේජශ්‍රියෙන් බැබලුණු දේවමාලිගාව යම් දවසක ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර දමයි. යූදා දේශය හා එහි අගනුවර වන යෙරුසලම කිසිවෙක් වාසය නොකරන පාළු තැනක් වෙයි. එහි වැසියන්ව වහල්භාවයට රැගෙන යයි. මෙම පණිවිඩ ඇතුළුව දෙවිගේ තවත් විනිශ්චමය පණිවිඩ යෙරෙමියා පොතේ දැකිය හැකියි. බයිබලයේ දෙවන විශාලතම පොත ලෙස සැලකෙන්නේ මේ පොතයි. යෙරෙමියා වසර 67ක් විශ්වාසවන්තව දෙවිට කළ සේවයේදී ඔහු අද්දුටු දේවල් ගැනත් එහි විස්තර කරනවා. මෙහි තොරතුරු වාර්තා කර තිබෙන්නේ සිද්ධීන් සිදු වූ කාලයට අනුව නොව එක් එක් විෂයට අනුවයි.

යෙරෙමියා පොතේ සඳහන් කරුණු ගැන අපි උනන්දුවෙන් සොයා බැලිය යුත්තේ ඇයි? යෙහෝවා දෙවි යම් දෙයක් කරනවා කියා පැවසුවොත් එය අනිවාර්යෙන්ම කරනවා. (යෙසායා 55:10, 11) යෙරෙමියා පොතේ සඳහන් අනාවැකි ඉටු වී තිබීමෙන් එය තහවුරු වන අතර දෙවි කෙරෙහි තිබෙන අපේ විශ්වාසයද එමගින් තවත් ශක්තිමත් වෙයි. අනාගතවක්තෘවරයෙකු හැටියට යෙරෙමියා කළ කාර්යයට සමාන කාර්යයක් මේ කාලයෙත් දෙවිගේ සෙනඟ කරනවා. එයට ජනයා දක්වන ප්‍රතිචාරය ඒ කාලයේ මිනිසුන් යෙරෙමියාට දැක්වූ ප්‍රතිචාරයට සමානයි. (1 කොරින්ති 10:11) එමෙන්ම යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ සමඟ ක්‍රියා කළ ආකාරය ගැන යෙරෙමියා පොතේ සඳහන් වාර්තාව මගින් ඔහුගේ ගුණාංග හොඳින් දැකිය හැකි අතර එය අපේ සිත්වලට තදින් කාවැදිය යුතුයි.—හෙබ්‍රෙව් 4:12.

“මාගේ සෙනඟ නපුරු දෙකක් කළෝය”

(යෙරෙමියා 1:1–20:18)

අනාගතවක්තෘවරයෙකු හැටියට සේවය කිරීමේ පැවරුම යෙරෙමියාට ලැබුණේ යූදාහි රජ වූ යොෂියාගේ පාලනයේ 13වන අවුරුද්දේදීයි. වෙනත් ආකාරයකින් කියනවා නම් ක්‍රි.පූ. 607දී සිදු වූ යෙරුසලමේ විනාශයට අවුරුදු 40කට කලිනුයි. (යෙරෙමියා 1:1, 2) යොෂියාගේ පාලනයේ අවසන් වසර 18 පුරා යෙරෙමියා ප්‍රකාශ කළ පණිවිඩ බොහොමයකින් යූදාවරුන් කළ නපුරු දේවල් හෙළි කළ අතර ඔවුන්ට එරෙහිව යෙහෝවා දෙවිගේ විනිශ්චයද ඒ පණිවිඩවලට ඇතුළත් වුණා. “මාගේ සෙනඟ නපුරු දෙකක් කළෝය” කියා යෙහෝවා දෙවි පැවසුවා. (යෙරෙමියා 2:13) මේ නිසා “මම යෙරුසලම ගොඩවල්ද සිවලුන්ට වසන තැන්ද කරන්නෙමි. මම යූදාහි නුවරවල් වැසියෙක් නැති පාළුවක් කරන්නෙමි” කියා යෙහෝවා දෙවි ප්‍රකාශ කළා.—යෙරෙමියා 9:11.

පසුතැවිලි වන පිරිසක් යළි තම මව් බිමට පැමිණෙන බවත් එම පණිවිඩයේ සඳහන් වෙනවා. (යෙරෙමියා 3:14-18; 12:14, 15; 16:14-21) කෙසේවෙතත් ජනයා යෙරෙමියාව පිළිගත්තේ නැහැ. “යෙහෝවාගේ ගෘහයෙහි . . . ප්‍රධාන මුලාදෑනියා” යෙරෙමියාට පහර දී ඔහුව මුළු රැයක් පුරා දඬු කඳේ ගසා තබයි.—යෙරෙමියා 20:1-3.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:11, 12—යෙහෝවා දෙවි ඔහුගේ වචනය ඉටු කිරීමට අවදිව සිටීම, ‘කොට්ටම්බා අත්තකට’ (පැරණි අනුවාදය) සම්බන්ධ කර දක්වන්නේ ඇයි? කොට්ටම්බා ගස වසන්ත සමයේ මුලින්ම මල් හටගන්න ගස්වලින් එකක්. යෙහෝවා දෙවි ‘අති උදය නැඟිට’ ඔහුගේ විනිශ්චයන් ගැන ඔහුගේ සෙනඟට දැනුම් දීමට ‘ඔහුගේ මෙහෙකරුවන්ව [අනාගතවක්තෘවරුන්ව] පිටත් කර හැරියා’ කියාත් එම විනිශ්චයන් ඉටු වන තෙක් ‘අවදිව සිටියා’ කියාත් උපමාලංකාර භාෂාවෙන් පැවසිය හැකියි.—යෙරෙමියා 7:25.

2:10, 11—දෙවිව අත් හැරිය ඊශ්‍රායෙල්වරුන් කළේ එදා සිටි කිසිවෙක් නොකළ දේවල් කියා පැවසිය හැක්කේ ඇයි? බටහිර දෙසින් පිහිටි කිත්තීම්හි වැසියන් හා නැඟෙනහිරින් පිහිටි කේදාර් වැසියන් වෙනත් ජාතීන් ඇදහු දෙවිවරුන්ගේ පිළිම ගෙනැවිත් ඔවුන්ගේ දෙවිවරුන් සමඟ තැබුවත් ඔවුන් කවදාවත් ඔවුන්ගේ දෙවිවරුන්ව සම්පූර්ණයෙන්ම ඉවත් කර වෙනත් ජාතීන්ගේ දෙවිවරුන්ව තබා ගත්තේ නැහැ. කෙසේවෙතත් ඊශ්‍රායෙල්වරුන් ජීවමාන දෙවි වන යෙහෝවා අත් හැර ඔහුට දිය යුතු ගෞරවය අප්‍රාණික පිළිවලට පිරිනැමුවා.

3:11-22; 11:10-12, 17—සමාරිය ක්‍රි.පූ. 740දී වැටී තිබුණත් යෙරෙමියා පැවසූ විනිශ්චය පණිවිඩවලට ඊශ්‍රායෙල් දස ගෝත්‍ර රාජ්‍යයත් ඇතුළත් කළේ ඇයි? මෙයට හේතුව ක්‍රි.පූ. 607දී සිදු වූ යෙරුසලමේ විනාශය යූදා රාජ්‍යයට පමණක් නොව සමස්ත ඊශ්‍රායෙල් ජාතියටම ගෙනා යෙහෝවාගේ විනිශ්චයක් වූ නිසයි. (එසකියෙල් 9:9, 10) ඒ වන විට ඊශ්‍රායෙල් ගෝත්‍ර දහය වැටී තිබුණත් දෙවිගේ අනාගතවකෘවරුන් ඔවුන් ගැන සැලකිලිමත් වුණා. ඒ බව යෙරුසලම පිළිබඳව පැවසූ දේවල් ඔවුන්ටත් අදාළ කිරීමෙන් පෙනී යනවා.

4:3, 4—මෙහි සඳහන් ආඥාවේ අර්ථය කුමක්ද? දෙවිට අවිශ්වාසවන්ත වූ යුදෙව්වන් පසට සමාන කර තිබෙන ඔවුන්ගේ සිත් සූදානම් කර, මෘදු කර, පවිත්‍ර කරගත යුතු වුණා. ඔවුන්ගේ සිත් “චර්මච්ඡේද්‍ය” කරගන්නත් අවශ්‍ය වුණා. ඉන් අදහස් කරන්නේ ඔවුන්ගේ අපවිත්‍ර සිතුවිලි හා චේතනා පහ කර දැමීමයි. (යෙරෙමියා 9:25, 26; ක්‍රියා 7: 51) මේ සඳහා ඔවුන් නරක දේවල් කිරීම අත්හැර දමා දෙවිගේ ආශීර්වාද ලැබීමට හේතු වන දේවල් කරමින් තමන්ගේ ජීවිතය ගත කරන ආකාරය වෙනස් කරගත යුතු වුණා.

4:10; 15:18—තමන්ට එරෙහිව ක්‍රියා කළ සෙනඟව යෙහෝවා දෙවි රැවටුවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? යෙරෙමියාගේ කාලයේදී සිටි අනාගතවක්තෘවරුන් ‘බොරු අනාවැකි’ පැවසුවා. (යෙරෙමියා 5:31; 20:6; 23:16, 17, 25-28, 32) යෙහෝවා දෙවි ඔවුන්ව වැළැක්වූයේ නැහැ.

16:16—යෙහෝවා දෙවි ‘බොහෝ මසුන් අල්ලන්නන්’ හා “බොහෝ දඩයක්කාරයන්” ගෙනෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? යෙහෝවා දෙවි ඔහුගේ විනිශ්චය ක්‍රියාත්මක කරන්න යන අවිශ්වාසවන්ත යුදෙව්වන්ව සොයාගැනීම සඳහා සතුරු හමුදාවන් ඔවුන් වෙත යැවීම ඉන් අදහස් කළ හැකියි. එහෙත් යෙරෙමියා 16:15හි සඳහන් දෙයින් පෙනී යන ආකාරයට පසුතැවිලි වූ ඊශ්‍රායෙල්වරුන්ව සෙවීමත් එයින් අදහස් කළ හැකියි.

20:7—යෙහෝවා දෙවි යෙරෙමියාට එරෙහිව ඔහුගේ ‘සවිය’ යොදාගත්තෙත් ඔහුව රැවටුවෙත් කෙසේද? යෙරෙමියා යෙහෝවා දෙවිගේ විනිශ්චය ගැන ප්‍රකාශ කරද්දී ජනයා එය ප්‍රතික්ෂේප කළා. ඔහුට හිංසා පීඩා කළා. මේ නිසා තවදුරටත් තමන්ගේ පැවරුම ඉටු කරගෙන යෑමට තමන්ට ශක්තියක් නැහැ කියා යෙරෙමියාට හැඟෙන්න ඇති. එහෙත් එවැනි සිතුවිලිවලට එරෙහි වී ඔහුගේ පැවරුම දිගටම කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවි ඔහුට ලබා දුන්නා. තමන්ට කළ නොහැකියි කියා යෙරෙමියා සිතූ කාර්යය ඉටු කිරීමට ඔහුව යොදාගැනීමෙන් දෙවි ඔහුව රැවටුවා කියා පැවසිය හැකියි.

අපට ගත හැකි පාඩම්:

1:8. යෙහෝවා දෙවි ඇතැම් අවස්ථාවලදී ඔහුගේ සෙනඟව හිංසා පීඩාවලින් මුදවාගැනීම සඳහා මැදිහත් විය හැකියි. ඔහු එසේ කරන්නේ අපක්ෂපාත විනිසුරුන් මගින් හෝ තම සෙනඟට සතුරුකම් පාන නිලධාරීන්ගේ තනතුරු දැරීමට සාධාරණ ලෙස කටයුතු කරන නිලධාරීන්ට ඉඩ ලබා දීමෙන් හෝ පීඩා විඳදරාගැනීමට තම නමස්කාරකයන්ව ශක්තිමත් කිරීමෙනුයි.—1 කොරින්ති 10:13.

2:13, 18. නොඇදහිලිවන්ත ඊශ්‍රායෙල්වරුන් වැරදි දේවල් දෙකක් කළා. එකක් නම් ඔවුන් තමන්ට ආශීර්වාද කරන, මඟ පෙන්වීම හා ආරක්ෂාව සපයන දෙවි වන යෙහෝවාව අත් හැරීමයි. අනිත් වරද නම් යුධ ආධාර ලබාගැනීමේ අරමුණින් ඊජිප්තුව හා ඇසිරියාව සමඟ මිත්‍ර වීමයි. මෙය තමන්ටම කියා කටාරම් කපාගැනීමට සමාන කර තිබෙනවා. මේ කාලයේදීත් සැබෑ දෙවිව අත් හැර දමා බුද්ධිමත් මිනිසුන්ගේ අදහස්වලට එකඟව ක්‍රියා කිරීම හා දේශපාලනය පසු පස යෑම, හරියට “ජීවනදායක වතුර ඇති උල්පත” ඉවත දමා “බිඳුණු කටාරම්” කපාගැනීමට සමාන කළ හැකියි.

6:16. යෙහෝවා දෙවි ඔහුව අත් හැරිය සෙනඟට අවවාද කරන්නේ ටිකකට නතර වී තමන් ගැන හොඳින් සෝදිසි කර බලා, තමන්ගේ ඇදහිලිවන්ත පියවරුන්ගේ “මාර්ගවල” ආපසු ගමන් කරන්න කියායි. යෙහෝවා දෙවි පෙන්වා තිබෙන මාර්ගයේ අපි ඇත්තටම ගමන් කරමින් සිටිනවාද කියා කලින් කලට අපිත් සෝදිසි කර බැලීම නැණවත් දෙයක් නොවේද?

7:1-15. දේවමාළිගාව නිසා තමන්ට ආරක්ෂාවක් ලැබෙයි කියා යුදෙව්වන් සිතුවත් එය ඔවුන්වම රවටාගැනීමක් වුණා. අපි ගමන් කළ යුත්තේ පෙනීමෙන් නොව ඇදහිල්ලෙනුයි.—2 කොරින්ති 5:7.

15:16, 17. යෙරෙමියා වගේ අපිටත් පුළුවන් අධෛර්ය කරවන සිතුවිලිවලට එරෙහිව සිටින්න. අපිට මෙය කළ හැක්කේ අර්ථවත් ලෙස බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා දේවසේවයේදී යෙහෝවාගේ නාමය මහිමයට පත් කිරීමෙන් හා නරක ආශ්‍රයෙන් වැළකී සිටීමෙනුයි.

17:1, 2. යූදා වැසියන් කළ පාප නිසා යෙහෝවා දෙවි ඔවුන් ඔප්පු කළ පූජා පිළිගත්තේ නැහැ. දෙවි පිළිකුල් කරන ක්‍රියාවල නිතර වෙනවා නම් අපි කරන ප්‍රශංසාව නමැති පූජා දෙවි පිළිගන්නේ නැහැ.

17:5-8. මිනිසුන් සහ ඔවුන්ගේ සංවිධාන කෙරෙහි අපට විශ්වාසය තැබිය හැක්කේ ඔවුන් දෙවිගේ කැමැත්තට හා ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කරනවා නම් පමණයි. ගැලවීම, සැබෑ සාමය හා සුරක්ෂිතභාවය වැනි කාරණාවලදී අපි විශ්වාසය තැබිය යුත්තේ යෙහෝවා දෙවි කෙරෙහි පමණයි.—ගීතාවලිය 146:3.

20:8-11. දේශනා සේවය සඳහා ගින්නක් මෙන් ඇවිලෙන අපේ උද්‍යෝගය නිවා දැමීමට මිනිසුන්ගේ උදාසීන ප්‍රතිචාරවලට, විරුද්ධවාදීකම් හා හිංසා පීඩාවලට අපි ඉඩ නොදිය යුතුයි.

‘බැබිලෝනියේ රජුගේ වියගහට කර දෙන්න’

(යෙරෙමියා 21:1–51:64)

යෙරෙමියා යූදා දේශය පාලනය කළ අවසන් රජවරුන් හතරදෙනාට මෙන්ම එහි සිටි බොරු අනාගතවක්තෘවරුන්ටද, තම වගකීම් ඉටු නොකළ එඬේරුන්ටද දූෂිත පූජකයන්ටද එරෙහිව දෙවිගේ විනිශ්චය ප්‍රකාශ කරයි. තමන්ට විශ්වාසවන්තව සිටින අයව හොඳ අත්තික්කා ගෙඩිවලට සමාන කරමින් යෙහෝවා දෙවි මෙසේ පවසනවා. ‘මම යහපත පිණිස මාගේ ඇස් ඔවුන් දෙස යොමු කරන්නෙමි.’ (යෙරෙමියා 24:5, 6) විසිපස්වන පරිච්ඡේදයේ සඳහන් අනාවැකි තුන මගින් ඊළඟ පරිච්ඡේදවල විස්තර කරන විනිශ්චය පණිවිඩ සාරාංශ කර දක්වයි.

යෙරෙමියාව මරා දැමීමට පූජකයන් සහ අනාගතවක්තෘවරුන් එක්ව කුමන්ත්‍රණයක් කරයි. ඔවුන් බැබිලෝනියේ රජට සේවය කළ යුතුයි කියා යෙරෙමියාගේ පණිවිඩයේ සඳහන් වෙනවා. ‘බැබිලෝනියේ රජුගේ වියගහට කර දෙන්න’ කියා යෙරෙමියා ශෙදකියා රජට පවසනවා. (යෙරෙමියා 27:12) කෙසේවෙතත් ‘ඊශ්‍රායෙල් විසිරෙවූ තැනැත්තා ඔහුව [ඊශ්‍රායෙල්වරුන්ව] එකතු කරන්නේය.’ (යෙරෙමියා 31:10) රේකාබ්වරුන්ට ආශීර්වාද කරන බවට දෙවි පොරොන්දු වෙයි. යෙරෙමියාව රජ මාළිගාවේ “මුරකාරයන්ගේ මළුවේ හිර කොට” දමා තිබෙනවා. (යෙරෙමියා 37:21) යෙරුසලම විනාශ වන අතර එහි වැසියන් බොහෝදෙනෙකුව වහල්භාවයට රැගෙන යයි. මෙසේ රැගෙන නොගිය ටිකදෙනා අතර යෙරෙමියා සහ බාරුක්ද සිටියි. ඊජිප්තුවට යන්න එපා කියා යෙරෙමියා අනතුරු ඇඟෙව්වත් බියට පත් අය එහි යයි. අවට ජාතීන් ගැන යෙරෙමියා පැවසූ පණිවිඩය ගැන 46 සිට 51 දක්වා පරිච්ඡේදවල සඳහන් වෙයි.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

22:30—මේ නියෝගය මගින් දාවිත්ගේ සිංහාසනය උරුම කරගැනීමට යේසුස්ට තිබෙන අයිතිය අවලංගු වුණාද? (මතෙව් 1:1, 11) නැහැ. එම නියෝගයෙන් වළක්වනු ලබන්නේ යෙහෝයාකිම්ගෙන් පැවතෙන්නෙක් “දාවිත්ගේ සිංහාසනයේ හිඳ යූදාහි ආණ්ඩු” නොකරන බවයි. යේසුස් පාලනය කරන්නේ යූදාහි සිංහසනයක හිඳ ගෙන නොව ස්වර්ගයේ සිටයි.

31:33—සිත්වල ලියන දෙවිගේ ව්‍යවස්ථාව හෙවත් නීතිය කුමක්ද? පුද්ගලයෙක් දෙවිගේ නීතියට තිබෙන ඉමහත් ඇල්ම නිසා දෙවිගේ කැමැත්ත කරන්න අසීමිත ආශාවකින් පසු වන විට ඒ තැනැත්තාගේ සිතේ දෙවිගේ නීතිය ලියා තිබෙනවා කියා පැවසිය හැකියි.

32:10-15—එක ගනුදෙනුවක් වෙනුවෙන් ලියවිලි දෙකක් සකස් කළේ ඇයි? මෙහි සඳහන් මුද්‍රා නොකළ ඔප්පුව තිබුණේ අවශ්‍ය වූ විට බැලීම සඳහායි. තවත් ඔප්පුවක් මුද්‍රා කර තිබුණේ මුද්‍රා නොකළ ඔප්පුවේ නිරවද්‍යතාව සහතික කරන ලියවිල්ලක් ලෙසයි. ඥාතියෙක් සමඟ හෝ සෙසු නමස්කාරකයෙක් සමඟ පවා කරන ගනුදෙනුවකදී නීතියෙන් පිළිගන්න ලිඛිත ලියවිලි තබාගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් යෙරෙමියා අපට ආදර්ශයක් සපයනවා.

33:23, 24—මෙහි සඳහන් “පවුල් දෙක” කවුද? එක් පවුලක් වන්නේ දාවිත්ගේ පෙළපතින් පැමිණෙන රාජකීය පවුල වන අතර අනිත් පවුල ආරොන්ගෙන් පැවතෙන්නන්ගෙන් සමන්විත පූජක පවුල වෙයි. යෙරුසලමේ සහ දේවමාළිගාවේ විනාශයෙන් පසු යෙහෝවා දෙවි ඒ පවුල් දෙක ප්‍රතික්ෂේප කළ බව පැවසිය හැකියි. ඉන්පසු තවදුරටත් යූදෙව්වන්ගේ රාජ්‍යයක් තිබුණේ නැහැ. එමෙන්ම ජනයා කලින් මෙන් දෙවිගේ නමස්කාරයේ ක්‍රියාශීලීව හවුල් වුණේද නැහැ.

46:22—ඊජිප්තුවේ ශබ්දය සර්පයෙකුගේ ශබ්දයට සමාන කර තිබෙන්නේ ඇයි? මෙසේ සමාන කර තිබෙන්නේ ඊජිප්තුව අද්දුටු මහත් විනාශය නිසා එය වැටී තිබූ පහත් තත්වය විස්තර කිරීමටයි. මෙයින් පෙනී යන්නේ ඊජිප්තුවේ පාරාවෝවරුන් ඔවුන්ගේ හිස් වැසුම්වල ශුද්ධ ලෙස සැලකූ සර්පයෙකුගේ රූපය තිබීම කොතරම් නිෂ්ඵල දෙයක්ද කියායි. උවාට්චිට් කියා හැඳින්වූ සර්පයන්ට අධිපති දේවතාවිය තමන්ව ආරක්ෂා කරයි කියා ඔවුන් සිතුවා.

අපට ගත හැකි පාඩම්:

21:8, 9; 38:19. යෙහෝවා දෙවි යෙරුසලමේ විසූ පසුතැවිලි නොවී දිගටම වැරදි කළ වැසියන්ට ඒ විනාශයට කලින් ගැලවීම හෝ විනාශය තෝරාගැනීමේ අවස්ථාවක් දුන්නා. මින් පෙනී යන්නේ යෙහෝවාගේ “දයාව මහත්” බවයි.—2 සාමුවෙල් 24:14; ගීතාවලිය 119:156.

31:34. යෙහෝවා දෙවි සමාව දුන් අයට, ඔවුන් කලින් කළ වැරදි නැවත සිහි කර අනාගතයේදී දඬුවම් කරන්නේ නැති බව දැන සිටීමෙන් ලැබෙන්නේ මොනතරම් සහනයක්ද!

38:7-13; 39:15-18. යෙහෝවා දෙවි අපි ඔහුට විශ්වාසවන්තව කළ සේවය කවදාවත් අමතක කරන්නේ නැහැ. “ශුද්ධ තැනැත්තන්ට උපස්ථාන” කිරීමත් එම සේවයට ඇතුළත් වෙනවා.—හෙබ්‍රෙව් 6:10.

45:4, 5. යූදා දේශයේ අවසන් දවස්වලදී මෙන් මේ ‘අන්තිම දවස්වලදීද’ ධනය, තනතුරු හෝ මුදල් අතින් සුරක්ෂිතව සිටීම වැනි දේවල් ඇතුළත් “මහත් දේවල්” සොයන්න මෙය කාලය නොවෙයි.—2 තිමෝති 3:1; 1 යොහන් 2:17.

යෙරුසලමට ගිනි තබයි

(යෙරෙමියා 52:1-34)

ක්‍රිස්තු පූර්ව 607දී ශෙදකියා රජ ඔහුගේ පාලනයේ 11වන අවුරුද්ද පසු කළා විතරයි. ඒ වන විටත් බැබිලෝනියේ නෙබුකද්නෙශර් රජගේ හමුදා මාස 18ක් තිස්සේ යෙරුසලම වටාලාගෙන සිටිනවා. නෙබුකද්නෙශර්ගේ පාලනයේ 19වන අවුරුද්දේ පස්වන මාසයේ හත්වනදා ආරක්ෂක නිලධාරින්ගේ අධිපතියා වන නෙබුසරදාන් යෙරුසලමට පැමිණෙයි. (2 රාජාවලිය 25:8) ඔහු යෙරුසලමේ පවුරුවලින් පිටත තිබෙන ඔහුගේ කඳවුරේ සිට යෙරුසලමේ තත්වය සොයා බලා ඊට එරෙහිව ක්‍රියා මාර්ගයක් සැලසුම් කරන්න ඇති. දවස් තුනකට පසු ඔහු යෙරුසලමට ඇතුල් වී, එයට ගිනි තබයි.—යෙරෙමියා 52:12, 13.

යෙරෙමියා යෙරුසලමේ වැටීම ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ වාර්තාවේ සඳහන් වන්නේ මහත් ශෝකයක් ඇති කරන සිද්ධීන් ගැනයි. මේ ගැන බයිබලයේ ඊළඟ පොත වන විලාප ගී පොතේ දැකිය හැකියි.

[8වන පිටුවේ පින්තූරය]

යෙරෙමියා යෙරුසලම ගැන කළ ප්‍රකාශවලට යෙහෝවා දෙවිගේ විනිශ්චය පණිවිඩද ඇතුළත්

[9වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිගේ ‘සවිය’ යෙරෙමියාට එරෙහි වුණේ කෙසේද?

[10වන පිටුවේ පින්තූරය]

“යූදාහි වහල් කොට ගෙනයන ලද්දවුන් මේ හොඳ අත්තික්කා ගෙඩි මෙන් සලකන්නෙමි.”—යෙරෙමියා 24:5