Skip to content

පටුනට යන්න

යේසුස් පැමිණෙන්නේ ඇයි?

යේසුස් පැමිණෙන්නේ ඇයි?

යේසුස් පැමිණෙන්නේ ඇයි?

සාඕ පවුලෝ නගරය බියෙන් වෙලී යයි.” සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් බ්‍රසීලයේ විශාලතම හා ධනවත්ම නගරය වන සාඕ පවුලෝ නගරයට 2006 මැයි මාසයේ එල්ල කළ දැවැන්ත ප්‍රහාරය ගැන එක් සඟරාවක (Veja) විස්තර කළේ එලෙසයි. “පැය 100කට වඩා ත්‍රාසය පැවති කාලය” තුළදී නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් 150දෙනෙක්ද, අපරාධකරුවන්ද සාමාන්‍යය වැසියන්ද ජීවිතක්ෂයට පත් වුණා.

ලෝකයේ නන් දෙසින් වාර්තා වන අපරාධ ගැන පුවත් සිරස්තලවල නිතරම දැකිය හැකියි. අපරාධ වැළැක්වීමට පාලකයන්ට හැකි වී තිබෙන බවක් පෙනෙන්න නැහැ. මේ ලෝකය ජීවත් වීමට නොහැකි වන තරමට භයානක තැනක් වී තිබෙනවා. සෑම දවසකම අසන්න ලැබෙන්නේ දුක්දායක ආරංචි නිසා ඔබ තුළ කලකිරීමක් පවා ඇති වෙන්න පුළුවන්. කෙසේවෙතත් මේ ලෝකයේ සැබෑ වෙනසක් සිදු වන කාලය වැඩි ඈතක නෙවෙයි.

දෙවිගේ රාජ්‍යය පැමිණෙන්න කියාද ඔහුගේ කැමැත්ත “ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද” සිදු වෙන්න කියාද යාච්ඤා කරන්න යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්වූවා. (මතෙව් 6:9, 10) දේවරාජ්‍යය සැබෑ ආණ්ඩුවක් වන අතර දෙවි එහි රජ ලෙස යේසුස්ව පත් කර තිබෙනවා. ඒ ආණ්ඩුව මගින් මිනිසුන්ගේ සෑම ප්‍රශ්නයක්ම විසඳනවා නියතයි. කෙසේවෙතත් දේවරාජ්‍යය මගින් මේ ලෝකයේ සැබෑ වෙනසක් ඇති කිරීම සඳහා අද තිබෙන පාලන යේසුස්ගේ අතට පත් විය යුතුයි. ඇත්තෙන්ම යේසුස් පැමිණීමට මූලික හේතුව වන්නෙත් මුළු මහත් ලෝකයේම පාලනය තම අතට ගැනීමයි.

එය සිදු වන්නේ සාමකාමීවද?

මේ ලෝකයේ පාලකයන් යේසුස්ගේ පාලනයට සාමකාමීව යටත් වෙයිද? මෙයට පිළිතුරු දැනගැනීමට යොහන් දර්ශනයකදී දුටු දෙයක් ගැන ලියූ මෙම වචන සලකා බලමු. “අශ්වයා පිට ඉඳගෙන සිටින තැනැත්තාටද [එනම් යේසුස්ටද] ඔහුගේ සේනාවටද විරුද්ධව යුද්ධ කරන පිණිස, වන මෘගයා [එනම් මේ ලෝකයේ පවතින සමස්ත දේශපාලනික ක්‍රමය] හා පොළොවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාද රැස්ව සිටිනවාත් මම දුටිමි.” (එළිදරව් 19:19) මේ යුද්ධයේදී පොළොවේ රජවරුන්ට සිදු වන්නේ කුමක්ද? යෙහෝවා දෙවි පත් කර තිබෙන රජ වන යේසුස් “ඔවුන් යදණ්ඩකින් බිඳින්නෙහිය. කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් කැබලි කොට දමන්නෙහිය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 2:9) ලෝකයේ පවතින සමස්ත දේශපාලනික ක්‍රමය සම්පූර්ණයෙන්ම පහ කර දමනු ලබනවා. දේවරාජ්‍යය “මේ සියලු රාජ්‍යයන් [එනම් මිනිසුන්ගේ සියලුම පාලන] කැබලි කොට නාස්ති කර, සදාකාලේටම පවත්නේය.”—දානියෙල් 2:44.

දේවරාජ්‍යයට විරුද්ධ වන අයට සිදු වන්නේ කුමක්ද? ‘ස්වාමීන් වන යේසුස් තම බලවත් දූතයන් සමඟ ස්වර්ගයෙන් ගිනි ජාලාවක් ඇතිව එළිදරව් වී දෙවිව නොදන්නා අයගෙන්ද ශුභාරංචියට කීකරු නොවන අයගෙන්ද පළිගන්නේය’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (2 තෙසලෝනික 1:7, 8) එමෙන්ම දුෂ්ටයන්ට සිදු වන දෙය ගැන හිතෝපදේශ 2:22හි අපට කියවීමට තිබෙන්නේ මෙසේයි. “දුෂ්ටයෝ දේශයෙන් සිඳ දමනු ලබන්නෝය. ද්‍රෝහි ලෙස ක්‍රියා කරන්නෝද උදුරනු ලබන්නෝය.”

යේසුස්ගේ පැමිණීම ගැන බයිබලයේ තවදුරටත් මෙසේද සඳහන් වෙනවා. “ඔහු වලාකුළුවල එන්නේය. සියලු ඇස්ද . . . ඔහුව දකින්නෝය.” (එළිදරව් 1:7) මෙයින් අදහස් කරන්නේ වචනාර්ථයෙන්ම මිනිසුන් ඔවුන්ගේ ඇස්වලින් යේසුස්ව දකින බව නොවෙයි. යේසුස් ස්වර්ගයට ගිය දා සිට “ඔහු කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි වසන්නේය. කිසි මිනිසෙකු ඔහුව දැක නැති අතර, කිසි මිනිසෙකුට ඔහුව දකින්නත් බැරිය.”—1 තිමෝති 6:16.

මිනිසුන්ට ‘දකින්න’ පුළුවන් වන ආකාරයට යේසුස් මිනිසෙක් මෙන් පෙනී සිටින්න අවශ්‍ය නැහැ. මේ බව මෝසෙස්ගේ කාලයේ සිදු වූ දෙයකින් පැහැදිලි කරගත හැකියි. ඒ කාලයේදී යෙහෝවා දෙවි ඊජිප්තුවේ වැසියන් පිට පීඩා දහයක් ගෙනා විට, ඒ බව විශ්වාස කිරීම සඳහා දෙවි මිනිසුන් ඉදිරියෙහි පෙනී සිටින්න අවශ්‍ය වූයේ නැහැ. ඒ පීඩා ගෙන ආවේ යෙහෝවා දෙවි බවට ඒ කාලයේ සිටි මිනිසුන්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. යෙහෝවා දෙවිට මිස වෙන කිසිම දෙවි කෙනෙකුට එවැනි දෙයක් කළ නොහැකි බව පිළිගැනීමට ඔවුන්ට සිදු වුණා. (නික්මයාම 12:31) එලෙසම යේසුස් දුෂ්ටයන් පිට විනාශය ගෙනෙන කාලයේදී, තමන්ව විනිශ්චය කරන්න දෙවි යේසුස්ව යොදා ගනිමින් සිටින බව ‘දකින්න’ නැතහොත් තේරුම්ගන්න දුෂ්ටයන්ට සිදු වෙනවා. ඔවුන් ඒ බව දන්නේ කල් ඇතිව මිනිසුන්ට ඒ ගැන අනතුරු අඟවා තිබෙන නිසයි. මේ අනුව බලන කළ ‘සියලු ඇස් ඔහුව [එනම් යේසුස්ව] දකින බවත් ඔහු නිසා ශෝකයෙන් පපුවට ගසාගන්න බවත්’ පැවසිය හැකියි.—එළිදරව් 1:7.

මේ ලෝකයට සැබෑ සාමය උදා කර සමෘද්ධිමත් තත්වයක් ඇති කිරීමට කලින් දුෂ්ටයන්ව මෙන්ම දුෂ්ට පාලන ක්‍රමද පහ කර දැමිය යුතුයි. යේසුස් අනාගතයේදී කරන්නේ එයයි. එය කළ පසු යේසුස් මුළු ලෝකයේම පාලනය බාරගෙන විශාල වෙනස්කම් සිදු කරනවා නිසැකයි.

කල්පවතින ප්‍රයෝජන ගෙනෙන සැබෑ වෙනසක්

“දෙවි පුරාණ කාලයේ විසූ තම ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ මුවින් පැවසූ ලෙස, සියල්ල නැවත පිහිටුවන” කාලයක් ගැන යේසුස්ගේ ගෝලයෙකු වූ පේතෘස් පැවසුවා. (ක්‍රියා 3:21) මෙහි සඳහන් නැවත පිහිටු වීම සිදු වන්නේ යේසුස් මේ ලෝකය පාලනය කරන කාලයේදීයි. ඒ කාලයේදී ලෝකයේ සැබෑ වෙනසක් සිදු වෙයි. ‘සියල්ල නැවත පිහිටුවීම’ ගැන කතා කිරීමට දෙවි යොදාගත් අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙක් වන්නේ යෙසායායි. ඔහු ජීවත් වූයේ ක්‍රි.පූ. අටවන සියවසේදීයි. “සමාදානයේ කුමාරයා” කියා හඳුන්වනු ලබන යේසුස් මේ ලෝකයට සැබෑ සාමයක් උදා කරන බව යෙසායා පුරෝකථනය කළා. එමෙන්ම “ඔහුගේ ආණ්ඩුවේ වැඩිවීමටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය” කියාද යෙසායා යේසුස්ගේ පාලනය ගැන පැවසුවා (යෙසායා 9:6, 7) යේසුස් ඒ කාලයේදී මිනිසුන්ට සමාදානයෙන් ජීවත් වන ආකාරය ගැන උගන්වනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ලෝකයේ සෑම තැනකම ජීවත් වන ජනයා “මහත් සමාදානයෙන් ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:11.

යේසුස් මේ ලෝකය පාලනය කරන කාලයේදී දුප්පත්කම හා කුසගින්න කොහොමටවත් දකින්න නැති බව යෙසයා පුරෝකථනය කළ මේ වදන්වලින් පැහැදිලියි. “සේනාවන්ගේ යෙහෝවා මේ කන්දේදී සැම වර්ගයන්ට සාර වූ දෙයින් මංගල්‍යයක්, එනම් උතුම් මිදියුසින්ද තෙලින් පිරුණු සාර වූ දෙයින්ද හොඳට පෙරූ උතුම් මිදියුසින්ද මංගල්‍යයක් සාදන්නේය.” (යෙසායා 25:6) “පොළොව ධාන්‍යවලින් පිරී යාවා. කඳු මුදුන්ද ධාන්‍යවලින් පිරී ඉතිරී යත්වා” කියා ගීතිකාකරුවෙක් පැවසුවා. (ගීතාවලිය 72:16, නව ලොව පරිවර්තනය) ඒ විතරක් නොවෙයි, යේසුස්ගේ පාලනය යටතේ ජීවත් වන මිනිසුන් ගැන අපට මෙසේද කියවීමට තිබෙනවා. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි වසන්නෝය. මිදි වතු වවා එහි පල කන්නෝය; අනිකෙකු වාසය කරන්ට ඔවුහු ගොඩනොනඟන්නෝය. අනිකෙකු විසින් කන්ට ඔවුහු නොවවන්නෝය. මක්නිසාද මාගේ සෙනඟගේ දවස් ගසක දවස් මෙන් වන්නේය. මාගේ තෝරා ගත්තෝ බොහෝකල් තමන් අත්වල වැඩ භුක්ති විඳින්නෝය.”—යෙසායා 65:21, 22.

ඒ කාලයේදී සියලුම අසනීප හා මරණය පවා නැති වන බව යෙසායා පුරෝකථනය කළා. දෙවි යෙසායා මාර්ගයෙන් මෙසේ පවසා තිබෙනවා. “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය. බිහිරන්ගේ කන් ඇරෙන්නේය. එකල කොරා මුවකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය.” (යෙසායා 35:5, 6) ඒ කාලයේදී “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.” (යෙසායා 33:24, පැරණි අනුවාදය) දෙවි ‘මරණය සදාකාලයටම ගිල දමන්නේය. ස්වාමි වූ යෙහෝවා සියලු මුහුණුවලින් කඳුළු පිස දමන්නේය.’—යෙසායා 25:8.

“සොහොන් ගෙවල්වල සිටින” මිය ගිය අයට බලාපොරොත්තුවක් තිබෙනවාද? (යොහන් 5:28, 29) යෙසායා ඔවුන් ගැන මෙසේ පුරෝකථනය කර තිබෙනවා. “මළ ගිය අය නැවත ජීවත් වනු ඇත. ඔවුන්ගේ මළ සිරුරු නැවත පණ ගැන්වෙනු ඇත.” (යෙසායා 26:19, නව අනුවාදය ) මරණ නින්දේ සැතපී සිටින අයට නැවත ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා.

“දෙවි ඔබේ සිංහාසනය වන්නේය”

යේසුස් පැමිණෙන්නේ මේ ලෝකයේ සම්පූර්ණ වෙනසක් ඇති කරන්නයි. ඒ කාලයේදී මුළු ලෝකයම පාරාදීසයක් බවට පත් කරනු ලබන අතර සියලුම මිනිසුන් එක්සත්ව නමස්කාර කරන්නේ එකම සැබෑ දෙවිටයි. මේ ලෝකයෙන් දුෂ්ටකම් තුරන් කර දමා ධර්මිෂ්ඨ සමාජයක් පිහිටුවන්න යේසුස්ට හැකියි කියා විශ්වාස කරන්න අපිට පුළුවන්ද?

යේසුස්ට බලතල දී තිබෙන්නේ කවුද කියා දැනගත් විට එය විශ්වාස කරන්න අපිට පුළුවන්. දෙවිගේ පුත්‍රයා වන යේසුස් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සදාකාලයෙන් සදාකාලයට, දෙවි ඔබේ සිංහාසනය වන්නේය. ඔබේ රාජ්‍යයේ රාජ යෂ්ටිය ඍජුකම නමැති රාජ යෂ්ටිය වන්නේය. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රේම කර, නීති විරෝධීකමට වෛර කළෙහිය.” (හෙබ්‍රෙව් 1:8, 9) යේසුස්ගේ සිංහාසනය හෙවත් ඔහු සතු බලතල ඔහුට දී තිබෙන්නේ යෙහෝවා දෙවියි. යේසුස්ට විසඳන්න බැරි ප්‍රශ්නයක් නැහැ. ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න තරම් බලයක් දෙවි යේසුස්ට දී තිබෙනවා.

යේසුස් නැවත නැඟිටීමෙන් පසු ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසුවා. “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ.” (මතෙව් 28:18) “දේවදූතයන්ද බලධාරීන්ද බලයන්ද ඔහුට යටත් කරන ලදි” කියා 1 පේතෘස් 3:22හි සඳහන් වෙනවා. යේසුස්ට එරෙහිව නැඟී සිටින්න තරම් බලයක් කිසි කෙනෙකුට නැහැ. මිනිසාට සාදාකාලික සාමය ඇතුළු තව බොහෝ ආශීර්වාද ගෙන දීමෙන් යේසුස්ව වළක්වන්න කිසිවෙකුට නොහැකියි.

යේසුස්ගේ පැමිණීම මිනිසුන්ට බලපාන අයුරු

පාවුල් තෙසලෝනිකවරුන්ට ලියූ ලිපියේදී මෙසේ සඳහන් කළා. “ඔබේ ඇදහිල්ල නිසා ඔබ කරන ක්‍රියාවන්ද ඔබේ ප්‍රේමය නිසා ඔබ ගන්නා වෙහෙසද අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇති ඔබේ බලාපොරොත්තුව නිසා ඔබ පෙන්වන විඳදරාගැනීමද අපි අපේ දෙවිද පියාණන්ද වන තැනැත්තා ඉදිරියෙහි නොකඩවා මතක් කරන්නෙමු.” (1 තෙසලෝනික 1:3) මෙහිදී පාවුල් විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් දරන වෙහෙස හා ඔවුන්ගේ විඳදරාගැනීම යේසුස් කෙරෙහි ඇති බලාපොරොත්තුවට සම්බන්ධ කර දැක්වුවා. මෙම බලාපොරොත්තුවට යේසුස්ගේ පැමිණීම ගැනත් ඉන්පසු ලෝකයේ ඇති වන සැබෑ වෙනස ගැනත් විශ්වාසයෙන් බලා සිටීම අයත් වෙනවා. එම බලාපොරොත්තුව මගින් සැබෑ ක්‍රිස්තියානීන්ට ඕනෑම දුෂ්කර තත්වයක් මැද පවා විඳදරාගනිමින් දෙවිට සේවය කිරීමට මහත් ශක්තියක් ලැබෙනවා.

ඒ බව බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරයේ කාලොස්ගේ මේ අද්දැකීමෙන් පෙනී යනවා. තමන්ට පිළිකාවක් වැළඳී තිබෙන බව ඔහු දැනගත්තේ 2003 අගෝස්තු මාසයේදීයි. එදා පටන් ඔහුව අටවතාවක් වේදනාකාරී සැත්කම්වලට භාජන කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ඔහු බොහෝ අපහසුතාවන්ට මුහුණ දෙනවා. එහෙත් ඔහු වෙනදා මෙන් අන් අයව දිරිගැන්වීම නතර කළේ නැහැ. දවසක් ඔහු විශාල රෝහලක් ඉදිරිපිට පාරේ ශුභාරංචිය දේශනා කරමින් සිටි අවස්ථාවේදී තවත් යෙහෝවාගේ සාක්ෂිකාරියක්ව හමු වුණා. ඇගේ ස්වාමිපුරුෂයා පිළිකාවට ප්‍රතිකාර ගනිමින් සිටියා. ඒ යුවළට දිරිගැන්වීමක් මෙන්ම සහනයක් ලබා දීමට පිළිකාවේ වේදනාව බොහෝ සේ අද්දැක තිබූ කාලොස්ට හැකි වුණා. කාලොස් සමඟ කළ කතා බහෙන් මහත් ශක්තියක් ලැබුවා කියා ඒ යුවළ පැවසුවා. “අපි දෙවිගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන්වන පිණිස ඔහු අපේ සියලු පීඩාවලදී අප සනසන්නේය” කියා පාවුල් පැවසූ වදන්වල සත්‍යයතාව කාලොස් අද්දැක්කා.—2 කොරින්ති 1:4, පැරණි අනුවාදය.

තමාගේ වේදනාකාරී අසනීපය මැද පවා අන් අයව දිරිගැන්වීමට කාලොස්ට ශක්තියක් ලැබුණේ කොහෙන්ද? “යහපත කිරීම” අත් නොහරින්න කාලොස් තුළ පෙලඹීමක් ඇති කළේ යේසුස්ගේ පැමිණීම ගැනත් ඉන්පසු ඔහු මේ ලෝකයේ ඇති කරන සැබෑ වෙනස ගැනත් ඔහු තබා තිබූ විශ්වාසයයි.—ගලාති 6:9.

සැමුවෙල්ගේ අද්දැකීම ගැනද සලකා බලන්න. ඔහුගේ මල්ලිව වෙඩි තබා ඝාතනය කර තිබුණේ ඔවුන්ගේ මහගෙදරින් මීටර් 50ක් පමණ දුරකිනුයි. ඔහුගේ මල්ලිට වෙඩි උණ්ඩ දහයක් වැදී තිබුණා. පොලීසිය ඒ අපරාධය ගැන විභාග කරන අතරේදී මිනීය පැය අටක් පමණ තිබුණේ පාරේ අයිනෙයි. එදා සිදු වූ දෙය සැමුවෙල්ට අද වගේ මතකයි. ඒ ගැන මතක් වෙන විට ඔහුට දැනෙන්නේ ලොකු දුකක්. එහෙත්, ඒ දුක දරාගන්න ඔහුට පුළුවන් වෙලා තියෙන්නේ යේසුස් මේ ලෝකයෙන් සියලුම දුෂ්ටකම් තුරන් කර දමන බවටත් ඉන්පසු ඔහුගේ ධර්මිෂ්ට පාලනය යටතේ මිනිසුන් බොහෝ ආශීර්වාද ලබන බවටත් ඔහුට තිබෙන බලාපොරොත්තුව නිසයි. ඒ පාලන කාලයේදී නැවත නැඟිටින තම මල්ලිව තමන් වැළඳගනිමින් පිළිගන්න ආකාරය නිතරම සැමුවෙල්ට මැවිලා පේනවා.—ක්‍රියා 24:15.

ඔබ කළ යුත්තේ කුමක්ද?

යේසුස්ගේ පැමිණීම හා ඔහුගේ පාලනය මගින් ඉටු කරන දේවල් ගැන බලාපොරොත්තු තැබීමෙන් ඔබටත් මහත් සහනයක් ලබන්න පුළුවන්. මිනිසුන් මුහුණපාන ගැටලුවලට හා අපව වේදනාවට පත් කරන සියලුම නපුරු දේවලට හේතුකාරක සියල්ල නැති කර දමන්න යේසුස්ට පුළුවන්. ඒ ගැන කිසි සැකයක් නැහැ.

යේසුස්ගේ පාලනය මගින් මිනිසුන්ට බහුල ලෙස ලබාදෙන ආශීර්වාද භුක්ති විඳින්න ඔබටත් පුළුවන්. ඒ සඳහා ඔබ දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියා තිබෙන බයිබලය හොඳින් අධ්‍යයනය කිරීම අවශ්‍යයි. යේසුස් ඔහුගේ පියාට කළ යාච්ඤාවකදී මෙසේ සඳහන් කළා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) බයිබලයේ නිවැරදිව උගන්වන දේවල් සොයාබැලීමට හැකි සෑම වෑයමක්ම දරන්න. මේ සඳහා ඔබට උපකාර කරන්න ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටින් සිටිනවා. ඔවුන්ව හමුවීමට හෝ මේ සඟරාවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න කියා ඔබට ආරාධනා කරන්න අපි කැමතියි.

[7වන පිටුවේ පින්තූර]

යේසුස් පැමිණෙන්නේ මේ ලෝකයේ සම්පූර්ණ වෙනසක් ඇති කරන්නයි

[හිමිකම් විස්තර]

Inset, background only: Rhino and Lion Park, Gauteng, South Africa