Skip to content

පටුනට යන්න

සෝතැවුල් මැද සන්සුන්ව සිටි හන්නා

සෝතැවුල් මැද සන්සුන්ව සිටි හන්නා

සෝතැවුල් මැද සන්සුන්ව සිටි හන්නා

ඇදහිලිවන්ත කාන්තාවක් හඬ නඟා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරයි. දෙවි දූවිලි ගොඩක සිටි තමන්ව එයින් ඔසවා උසස් තත්වයක් ලබා දුන්නා යන හැඟීම නිසා ඇය ප්‍රීතියට පත් වෙයි.

මේ හන්නා නම් කාන්තාවයි. ඇයට මෙලෙස දැනුණේ ඇයි? ඇය මෙතරම් ප්‍රීතියෙන් සිටින්නේ ඇයි? ඇගෙන් අපට ඉගෙන ගන්න පුළුවන් පාඩම කුමක්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීම සඳහා අප හන්නාගේ කතන්දරයට අවධානය දෙමු.

සිත් වේදනා අත් විඳි පවුලක්

එෆ්‍රායිම් කඳුකරයේ එල්කානා නම් ලෙවී ගෝත්‍රයට අයත් පුරුෂයෙකුට භාර්යාවන් දෙදෙනෙක් සිටියා. හන්නා ඉන් කෙනෙක්. (1 සාමුවෙල් 1:1, 2; 1 ලේකම් 6:33, 34) විවාහය සම්බන්ධයෙන් දෙවිගේ මුල් අරමුණ වූයේ එක් කෙනෙක් පමණක් විවාහ කරගැනීම වූවත් කිහිපදෙනෙක්ව විවාහ කරගැනීම මෝසෙස්ගේ නීතිය යටතේ තහනම් කර තිබුණේ නැහැ. ඒත් මෙවැනි විවාහයන් සම්බන්ධයෙන් එහි විවිධ නීති පනවා තිබුණා. එල්කානාගේ පවුලේ අය යෙහෝවා දෙවිට නමස්කාර කළ අය වුණත් ඔහු භාර්යාවන් දෙදෙනකුව විවාහ කරගැනීම නිසා ඔහුගේ පවුලේ යම් ප්‍රශ්න ගැටලු තිබුණා.

එල්කානාගේ අනිත් භාර්යාව වූ පෙනින්නාට දරුවන් කිහිපදෙනෙක් සිටියත් හන්නාට දරුවන් සිටියේ නැහැ. මේ හේතුව නිසා පෙනින්නාගේ නින්දා අපහාසවලට නිතරම ලක්වෙන්න හන්නාට සිදු වුණා.—1 සාමුවෙල් 1:2.

යම් කාන්තාවකට දරු පල නැත්නම් ඊශ්‍රායෙල් සෙනඟ අතර එය සැලකුවේ අවමානයක් ලෙසයි. ඒ වගේම ඇයව සැලකුවේ දෙවිගේ ආශිර්වාද නොලැබුණු කෙනෙක් ලෙසයි. ඒත් හන්නාට දරුවන් නැති වුණේ දෙවිගේ ආශිර්වාද නොලැබුණු නිසා බව කිසිම තැනක සඳහන් වන්නේ නැහැ. දරුවන් නොමැතිව දුකින් සිටින හන්නාව සනසනවා වෙනුවට පෙනින්නා දරුවන් ඉපදවීමට තමන්ට තිබෙන හැකියාව ගැන පවසමින් ඇයව නිතරම රිදෙව්වා.

යෙරුසලමට ගිය ගමන්

මොන තරම් ප්‍රශ්න ගැටලු තිබුණත් අවුරුදු පතා එල්කානාගේ පවුලේ අය යෙහෝවා දෙවිට පූජා ඔප්පු කිරීම සඳහා ෂීලෝවලට ගියා. * ඔවුන්ට ෂීලෝවලට ගොස් ආපසු පැමිණීමට කිලෝ මීටර් 60ක් පමණ යාමට සිදු වුණා. මෙම පූජාවලට සහභාගී වූ අවස්ථාවලදී පවා හන්නා නොයෙක් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. මෙහිදී පෙනින්නාට හා ඇගේ දු දරුවන්ට පූජාවෙන් විශාල කොටසක් ලැබුණු අතර හන්නාට ලැබුණේ සුළු කොටසක් පමණයි. පෙනින්නා මෙවැනි අවස්ථාවලදීත් හන්නාට රිදෙවූ අතර මේ නිසා යෙහෝවා දෙවි “ඇගේ ගර්භය පියෙවූ” බවක් හන්නාට හැඟුණා. සෑම අවුරුද්දකම මෙවැනි තත්වයකට මුහුණු දීමට හන්නාට සිදු වූණා. ඇය එවැනි අවස්ථාවලදී නොකා නොබී හඬමින් කල් ගෙව්වා. ප්‍රීතියෙන් සිටිය යුතු මෙවැනි අවස්ථා ඇයට මහත් දුකක් ගෙන දුන්නා. නමුත් ඇය යෙහෝවා දෙවිගේ නමස්කාරය සඳහා යන ගමන අතපසු කළේ නැහැ.—1 සාමුවෙල් 1:3-7.

හන්නාගේ එම කදිම ආදර්ශයෙන් අපට ගත හැකි පාඩම කුමක්ද? ප්‍රශ්න ගැටලු නිසා මානසිකව වැටී සිටින වේලාවක ඔබ ක්‍රියා කරන්නේ කෙසේද? ඔබ සෙසු නමස්කාරකයන්ගෙන් ඈත් වී තනි වෙනවාද? හන්නා නම් එසේ කළේ නැහැ. යෙහෝවා දෙවිගේ නමස්කාරකයන් සමඟ සිටීම ඇය පුරුද්දක් කර ගත්තා. එවැනි දුෂ්කර අවස්ථාවලදී අපිත් හන්නා මෙන් ක්‍රියා කරමු.—ගීතාවලිය 26:12, 122:1; හිතෝපදේශ 18:1; හෙබ්‍රෙව් 10:24, 25.

එල්කානා නිතරම ඇයව සනසන්න උත්සාහ කළ අතර ඇගේ සිතේ ඇති දේ නොසඟවා පවසන්න ඇයට දිරිගැන්වුවා. “ඔබ කුමක් හෙයින් හඬන්නෙහිද? කුමක් හෙයින් නොකා සිටින්නෙහිද? කුමක් හෙයින් ඔබේ සිත ශෝක වන්නේද? මම ඔබට පුත්‍රයන් දහදෙනෙකුට වඩා හොඳ නොවෙම්දැයි” කියා ඔහු ඇයගෙන් ඇසුවා (1 සාමුවෙල් 1:8) සමහරවිට එල්කානා පෙනින්නාගේ නපුරකම් ගැන දැන නොසිටින්න ඇති. ඒ වගේම හන්නාත් ඒවා නිහඬව විඳදරාගැනීමට කැමති වූවා විය හැකියි. කෙසේවෙතත් දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් තිබූ හන්නා ඇගේ සෑම දුක් කරදරයක්ම යෙහෝවා දෙවිට යාච්ඤාවෙන් දැන්වුවා.

හන්නාගේ භාරය

සමඟි කිරීමේ පූජාවෙන් පසු පූජා කළ සත්වයාගේ මාංස ඊට හවුල් වූ අය ආහාරයට ගත්තා. මෙය අනුභව කළ ස්ථානයෙන් පිටව ගිය පසු හන්නා දෙවිට යාච්ඤා කළා. (1 සාමුවෙල් 1:9, 10) “සේනාවන්ගේ යෙහෝවා, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහි කර ඔබගේ මෙහෙකාරී සිහියෙන් තොර නොකොට ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙකු දෙන්නේ නම් ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල යෙහෝවාට ඔහු දෙන්නෙමි; ඔහුගේ හිසට දැළි පිහියක් ළං නොවන්නේයයි” කියා ඇයට දෙවිට කන්නලව් කළා.—1 සාමුවෙල් 1:11.

හාන්නා ඇගේ යාච්ඤාවේදී ඇගේ අවශ්‍යතාව නිශ්චිතව සඳහන් කළා. ඇය ඉල්ලුවේ පිරිමි දරුවෙක්. ඇය ඔහුව ජීවිත කාලය පුරාම නසරීතවරයෙක් ලෙස යෙහෝවා දෙවිගේ සේවයට කැප කරන බව පවසමින් දෙවිට භාරයක් වුණා. (ගණන් කතාව 6:1-5) ඇය වූ මේ භාරයට ඇගේ ස්වාමිපුරුෂයා වූ එල්කානාගේ අනුමැතිය තිබූ බව පසු කාලයකදී ඔහු ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලියි.—ගණන් කතාව 30:6-8.

හන්නා යාච්ඤා කළ ආකාරය නිසා උත්තම පූජක ඒලී සිතුවේ ඇය බීමත්ව සිටිනවා කියායි. හන්නාගේ තොල් සෙලවුණ නමුත් ඇගේ කටහඬ ඇසුනේ නැත්තේ ඇය සිතින් යාච්ඤා කරමින් සිටි නිසයි. ඇය කළ යාච්ඤාව ඉතා ඕනෑකමින් හා හැඟීම්බරව කළ යාච්ඤාවක්. (1 සාමුවෙල් 1:12-14) ඒලී ඇය බීමත්ව සිටිනවා කියා පැවසූ විට ඇයට කෙසේ හැඟෙන්න ඇද්ද? ඒත් ඇය ඒලීට කතා කළේ ගෞරවනීය ලෙසයි.එය මොන තරම් කදිම ආදර්ශයක්ද! ඇය යාච්ඤා කරමින් සිටියේ ඇත්තටම ඇගේ “අධික වැලපීම සහ කරදරය නිසා” බව දැන ගත් ඒලී පැවසුවේ මෙසේයි. “සමාදානයෙන් යන්න; ඊශ්‍රායෙල්ගේ දෙවිගෙන් ඔබ ඉල්ලූ ඉල්ලීම ඔහු ඔබට දේවා.” (1 සාමුවෙල් 1:15-17) ඉන් පසු ඇය කෑම කා ප්‍රීතියෙන් සිටි අතර “ඇගේ මුහුණ තවත් දුක්ඛිත නොවීය.”—1 සාමුවෙල් 1:18.

සිදු වූ දෙයින් අපිට ඉගෙන ගන්න පුළුවන් මොනවාද? අපි දෙවිට යම් දෙයක් ගැන යාච්ඤා කරන විට අපිට ඒ ගැන හැඟෙන්නේ කොහොමද කියා දෙවිට පැවසිය හැකියි. යම් කාරණයක් විසඳා ගැනීම සඳහා අපේ පැත්තෙන් කළ හැකි සියල්ල කළ පසු අප ඒ දෙය දෙවිට බාර දිය යුතුයි. අපට කළ හැකි ඥානවන්තම දෙය එයයි.—හිතෝපදේශ 3:5, 6.

තමන්ගේ හදවතේ තිබෙන දේ වගුරවමින් යාච්ඤා කරනවා නම් දෙවිගේ සේවකයන්ටත් හන්නා මෙන් මනසේ සාමය අද්දකින්න හැකි වෙනවා. යාච්ඤාව සම්බන්ධයෙන් පාවුල් මෙසේ පැවසුවා. “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.” (ෆිලිප්පි 4:6, 7) අපි අපේ කරදර යෙහෝවා දෙවිට භාර දුන් පසු දෙවි ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියා මාර්ගයක් ගනියි යන නිසැකකම අපට තිබිය යුතුයි. එවිට අපටත් හන්නා මෙන් ඒ ප්‍රශ්නය ගැන තවදුරටත් දුක් වෙන්න අවශ්‍යය නැහැ.—ගීතාවලිය 55:22.

පුත්‍රයාව යෙහෝවා දෙවිට දෙයි

දෙවි ඔහුගේ කරුණාව හන්නාට පෙන්වූ නිසා ඇයට පුත්‍රයෙක් ලැබුණා. ඒ සාමුවෙල්. (1 සාමුවෙල් 1:19, 20) යෙහෝවා දෙවිගේ සේවකයෙක් වීම සඳහා ඔහුගේ ආශිර්වාදය ඇතුව බිහි වූ දරුවන් ගැන බයිබලයේ කතා කර ඇත්තේ කිහිපදෙනෙක් ගැන පමණයි. සාමුවෙල් ඉන් කෙනෙක්. එල්කානා සහ හන්නාගේ පුත්‍රයා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වීමට නියමිතව තිබුණා. ඒ වගේම ඊශ්‍රායෙල් ජාතියේ මුල්වරට රජවරුන්ව පත් කිරීමේදී ඔහු වැදගත් කාර්යයක් ඉටු කළා.

සාමුවෙල් ළදරු කාලයේ පටන්ම හන්නා ඔහුට යෙහෝවා දෙවි ගැන උගන්වන්න ඇති. ඒ වගේම යෙහෝවා දෙවිට වූ භාරයත් ඇය අමතක කළේ නැහැ. “මම දරුවා කිරි වරන තෙක් නොයන්නෙමි. එවිට ඔහු යෙහෝවා ඉදිරියෙහි පෙනෙන්ටත් එහි නිතරම නවතින්ටත් ගෙන යන්නෙමියි කීවාය.” දරුවා මව් කිරි බීම නතර කළ පසු ඒ කියන්නේ සාමුවෙල්ගේ වයස අවුරුදු තුනක් හෝ ඊට ටිකක් වැඩි වූ විට හන්නා ඇගේ භාරය ඔප්පු කිරීම සඳහා ඔහුව දේවමාලිගාවට රැගෙන ගියා.—1 සාමුවෙල් 1:21-24; 2 ලේකම් 31:16.

යෙහෝවා දෙවිට පූජාවක් ඔප්පු කිරීමෙන් පසු එල්කානා සහ හන්නා සාමුවෙල්ව ඒලීට භාර දුන්නා. හන්නා තම පුතු සාමුවෙල්ගේ අත අල්ලාගෙන ඒලීට මෙසේ පැවසුවා. “අහෝ මාගේ ස්වාමීනි, ඔබගේ ප්‍රාණය ජීවත් වන්නේ නම් මාගේ ස්වාමි වූ ඔබ ළඟ මෙහි සිටගෙන යෙහෝවාට යාච්ඤා කළ ස්ත්‍රිය මමය. මේ ළදරුවා ගැන යාච්ඤා කළෙමි. යෙහෝවාද ඔහුගෙන් ඉල්ලූ මාගේ ඉල්ලීම මට දුන්නේය. එබැවින් මමත් ඔහු යෙහෝවාට දුනිමි. ඔහු ජීවත්ව සිටින තෙක් යෙහෝවාට දෙන ලද්දේය.” එතැන් පටන් සාමුවෙල් යෙහෝවා දෙවිට විශේෂ සේවයක් කිරීමට පටන් ගත්තා.—1 සාමුවෙල් 1:25-28; 2:11.

සාමුවෙල්ව දේවමාලිගාවට භාර දුන්නත් හන්නාට කවදාවත් තමන්ගේ පුතාව මතක නැති වුණේ නැති බව මේ බයිබල් වගන්තියෙන් පැහැදිලියි. “ඇගේ පුරුෂයා සමඟ අවුරුදුපතා යාගය පුදන පිණිස එන කල පුංචි සැට්ටයක් සාදා ඔහුට අවුරුද්දෙන් අවුරුද්ද ගෙනාවාය.” (1 සාමුවෙල් 2:19) හන්නා දිගටම සාමුවෙල් වෙනුවෙන් යාච්ඤා කළ බව ස්ථිරයි. හන්නා තම පුතුව බැහැදැකීමට ගිය අවස්ථාවලදී දෙවිට දිගටම විශ්වාසවන්තව සේවය කරන මෙන් ඔහුව දිරිගන්වන්න ඇති.

එක් අවස්ථාවකදී උත්තම පූජක ඒලී සාමුවෙල්ගේ දෙමාපියන්ට ආශිර්වාද කර එල්කානාට මෙසේ පැවසුවා. “යෙහෝවාට දුන්නාවූ දීමනාව නිසා යෙහෝවා ඔබට මේ ස්ත්‍රියගෙන් වංශයක් දේවා.” එම වචන සැබෑවක් කරමින් හන්නාට සහ එල්කානාට තවත් පුතුන් තුන්දෙනෙක් සහ දූවරුන් දෙදෙනෙක් ලැබුණා.—1 සමුවෙල් 2:20, 21.

ක්‍රිස්තියානී දෙමාපියන්ට හන්නා සහ එල්කානා කොතරම් කදිම ආදර්ශද? බොහෝ මවුවරුන් හා පියවරුන් තමන්ගේ දරුවන්ව යෙහෝවා දෙවිගේ සේවයට කැප කිරීමට කැමති වී තිබෙන අතර පවුලේ අයගෙන් වෙන්වී පූර්ණ කාලීන සේවයේ විවිධ කාර්යයන්වල නිරත වීමට ඔවුන් තම දරුවන්ව දිරිගන්වා තිබෙනවා. එවැනි කැපවීම් කරන දෙමාපියන් ඇත්තෙන්ම ප්‍රසංශනීයයි. දෙවිගේ ආශිර්වාදය ඔවුන්ට ලැබෙනවා නියතයි.

හන්නා ප්‍රීතියෙන් කළ යාච්ඤාව

කලක් දරුවන් නොමැතිව සිටි හන්නා පසුව කොතරම් ප්‍රීතියක් අද්දකින්න ඇද්ද! කාන්තාවන් කළ යාච්ඤා ගැන බයිබලයේ එතරම් සඳහන් වී නැහැ. ඒත් එහි හන්නා කළ යාච්ඤා දෙකක් ගැන වාර්තා වෙනවා. ඉන් පළමුවැන්න ඇය දුකින් කළ කන්නලව්වක්. දෙවෙනි එක ප්‍රීතියෙන් ඉපිලෙමින් දෙවිට කළ ස්තුති යාච්ඤාවක්. “මාගේ සිත යෙහෝවා කෙරෙහි ප්‍රීති වෙයි” කියමින් ඇය තමන් ගැනම පැවසුවේ “වඳ ස්ත්‍රියට දැන් දරුවන් . . . සිටියි” කියායි. “ඔහු දුප්පතුන්ව දූවිලි ගොඩෙන් නැඟිටුවන්නේය” කියා දෙවිට ප්‍රශංසා කළ ඇය දෙවි “අළු ගොඩෙන් ඔවුන්ව ඔසවා ගන්නේය” කියා පැවසුවා.—1 සාමුවෙල් 2:1-10.

හන්නාගේ වාර්තාවෙන් අප ඉගෙන ගන්නේ අන් අයගේ දුර්වලකම් හෝ අඩුපාඩුකම් නිසා අපටද යම් දුකක් ඇති විය හැකි වුනත් අප යෙහෝවා දෙවිට කරන සේවයෙන් ලබන ප්‍රීතිය නැති කරදැමීමට එවැනි තත්වයන්වලට ඉඩ නොදිය යුතු බවයි. යාච්ඤා අසන එකම තැනැත්තා යෙහෝවා දෙවියි. තම විශ්වාසවන්ත සේවකයන්ගේ මොරගැසීම්වලට කන්දී සියලු දුක්වලින් ඔවුන්ව ගලවා ගන්නේත් ඔහුට ආශිර්වාද කරන්නේත් යෙහෝවා දෙවියි.—ගීතාවලිය 22:23-26; 34:6-8; 65:2.

[පාදසටහන]

^ 9 ඡේ. ඒ කාලයේ දෙවිගේ සෙනඟ සැබෑ නමස්කාරය සඳහා රැස් වූ ස්ථානය බයිබලයේ හඳුන්වන්නේ යෙහෝවාගේ “මාළිගාව” කියායි. නමුත් කාලයේදී ගිවිසුම් පෙට්ටිය තිබුණේ මණ්ඩපයෙයි. මෙහිදී යෙහෝවා දෙවිගේ මාලිගාව කියා හැඳින්වූයේ එම මණ්ඩපයයි. යෙහෝවා දෙවිට මුලින්ම මාලිගාවක් තැනුවේ සාලමොන් රජුගේ කාලයේදීයි.—1 සාමුවෙල් 1:9; 2 සාමුවෙල් 7:2, 6; 1 රාජාවලිය 7:51; 8:3, 4.

[17වන පිටුවේ පින්තූරය]

හන්නා සාමුවෙල්ව යෙහෝවා දෙවිට දෙයි