Skip to content

පටුනට යන්න

අනාවැකි විශ්වාස කිරීම ජීවිත ගලවයි

අනාවැකි විශ්වාස කිරීම ජීවිත ගලවයි

අනාවැකි විශ්වාස කිරීම ජීවිත ගලවයි

යේසුස්, අවසාන වතාවට දේවමාලිගාවට ගොස් පැමිණෙන විට එක ගෝලයෙක් ඔහුට මෙවැනි දෙයක් පැවසුවා. “ගුරුතුමෙනි, බලන්න! මේ ගල් දිහා! මේ ගොඩනැඟිලි දිහා!” යූදා ජාතියේ අභිමානය සහ ගෞරවය වුණේ ඔවුන්ගේ දේවමාලිගාවයි. ඊට යේසුස්ගේ ප්‍රතිචාරය වුණේ මෙයයි. “මේ මහත් ගොඩනැඟිලි ඔබට පෙනෙනවාද? මෙහි ගලක් පිට ගලක් කිසිසේත් ඉතිරි නොවන ලෙස ඒවා සියල්ලම බිම හෙළනු ලබන්නේය”.—මාක් 13:1, 2.

එය හිතාගන්නවත් බැරි දෙයක්! හේතුව, මේ දේවමාලිගාව සෑදීමට යොදාගත් සමහර ගල් ඉතා විශාල ඒවා වුණා. තවදුරටත් යුදෙව්වන්ගේ නමස්කාරයේ කේන්ද්‍රස්ථානය වූ දේවමාලිගාවේ විනාශය ගැන කීමෙන් යේසුස් අදහස් කළේ යෙරුසලම් නගරයේ සහ යූදා ජාතියේ විනාශයයි. ඒ ගැන මහත් කුතුහලයෙන් සිටි ගෝලයන් යේසුස්ගෙන් ඒ ගැන ප්‍රශ්න අහන්න පටන්ගත්තා. ඔවුන් ඇසුවේ “ඒ දේ සිදු වන්නේ කවදාද . . . මේ සියල්ල අවසන් වීමට නියමිත කාලයට ලකුණ කුමක්ද කියාත් අපට කියන්න” කියායි.—මාක් 13:3, 4.

නමුත් “අවසානය තවම පැමිණ නැත” කියා පවසන යේසුස්, ඔවුන්ට තවදුරටත් කියන්නේ, මුලින්ම සෑම තැනකම යුද්ධ, භූමිකම්පා, සාගත සහ වසංගත ගැන ඔවුන්ට අහන්න ලැබෙනවා කියායි. ඒත් එක්කම ඉතාමත් බියකරු සිදුවීම් පෙළකට මුහුණ දීමට යුදෙව් ජාතියට සිදු වෙනවා. එය නම් ‘මහත් පීඩාවයි.’ ඒ වුණත් තම “තෝරාගත් අය” වන සැබෑ ක්‍රිස්තියානීන්ව ගලවාගැනීම සඳහා දෙවි මැදිහත් වීමට නියමිතයි. ඒත් ඒ කොහොමද?—මාක් 13:7; මතෙව් 24:7, 21, 22; ලූක් 21:10, 11.

රෝමයට විරුද්ධව කැරැල්ල

එදා සිට අවුරුදු 28කුත් ගත වෙලා. යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන් තවමත් බලා සිටින්නේ ඒ විනාශය පැමිණෙන තුරුයි. දැන් රෝම අධිරාජ්‍යය පුරාම යුද්ධ, සාගත සහ වසංගත ගැන අහන්න ලැබෙනවා. (නවවන පිටුවේ ඇති කොටුව බලන්න.) යුදය, ජාතික සහ වාර්ගික අරගලවල තෝතැන්නක් බවට පත්වෙලා. ඒ වුණත් යෙරුසලම විශාල පවුරුවලින් වට වී තිබෙන නිසා එම නුවර තුළ සිටින අය, යම් ආකාරයක සාමයක් අද්දකිනවා. ඔවුන් සුපුරුදු පරිදි කමින් බොමින්, එදිනෙදා වැඩ කරමින්, විවාහ වෙමින් සහ දරුවන්ව ඇති දැඩි කරමින් කල් ගෙවනවා. එම නුවර තුළ පිහිටා තිබෙන තේජවත් දැවැන්ත දේවමාලිගාව දකින අය සිතන්නේ එම නුවර කෙදිනකවත් විනාශ නොවන එකක් කියායි.

මේ අතර කාලයේ එනම්, ක්‍රිස්තු වර්ෂ 61දී පමණ යෙරුසලමේ සිටින ක්‍රිස්තියානීන්ට පාවුල්ගෙන් ලිපියක් ලැබෙනවා. ඒ ලිපිය මගින් පාවුල් එම ක්‍රිස්තියානීන්ගේ විඳදරාගැනීම ගැන ප්‍රශංසා කළත් සමහරුන්ට කලින් තිබූ හදිසිතාවේ හැඟීම් අඩු වී ඇති බව ඔහු අවධාරණය කරනවා. ඒ වගේම ඔවුන් දෙවිට කරන නමස්කාරයට වැදගත් තැනක් දෙන්නේ නැති නිසා ඔවුන්ගේ ඇදහිල්ලද දුර්වල වී තිබෙනවා. (හෙබ්‍රෙව් 2:1; 5:11, 12) පාවුල් ඔවුන්ට උනන්දු කරන්නේ “ඔබේ කතා කිරීමේ නිදහස නැති කර නොගන්න. . . . මන්දයත් ‘ඉතා ස්වල්ප කාලයකින්,’ ‘එන්නාවූ තැනැත්තා ප්‍රමාද නොවී එන්නේය.’ ‘මගේ ධර්මිෂ්ඨ තැනැත්තා ඇදහිල්ල නිසා ජීවත් වන්නේය.’ ‘ඔහු පසුබට වන්නේ නම්, මම ඔහු ගැන ප්‍රසන්න නොවෙමි’” කියායි. (හෙබ්‍රෙව් 10:35-38) එය මොන තරම් කාලෝචිත උපදෙසක්ද! නමුත් ඔවුන් ඇදහිල්ලේ ස්ථිරව සිටිමින් යේසුස් දුන් අනාවැකියට කිට්ටු අවධානයක් දෙයිද? ඇත්තටම යෙරුසලමේ විනාශය ඉතා ළඟද?

ඊළඟ අවුරුදු පහ තුළ යෙරුසලමේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා. ක්‍රිස්තු වර්ෂ 66දී රෝමයට ගෙවිය යුතු “හිඟ බදු මුදල්” ලබාගැනීම සඳහා දූෂිත රෝම ආණ්ඩුකාරයෙක් වූ ෆ්ලෝරස් දේවමාලිගාවේ භාණ්ඩාගාරයට වැද තලෙන්ත 17ක් රැගෙන යයි. ඒ හේතුවෙන් වියරු වැටෙන යුදෙව්වන් කැරැල්ලකට මුල පුරනවා. මේ අතර කැරලිකාර යුදෙව් අන්තවාදීන් යෙරුසලමට කඩා වැද එහි සිටින රෝම සොල්දාදුවන්ව මරා දමයි. පසුව යුදය, රෝමයෙන් නිදහස් වූ ස්වාධීන රාජ්‍යයක් බව ඔවුන් ප්‍රකාශ කරනවා. එය යුදය සහ රෝමය අතර යුධ ගිනිදැල් අවුළුවන්නට හේතු වෙයි!

මාස තුනකට පසුව සිරියාව පාලනය කරන රෝම ආණ්ඩුකාර සෙස්ටියස් ගැලස් දකුණේ සිට 30,000ක සේනාවක් සමඟ යුදෙව්වන්ගේ කැරැල්ල මර්ධනය කිරීම සඳහා දැන් පියවර මනිනවා. ඔවුන් එහි පැමිණෙන විට එය යුදෙව්වන්ගේ කූඩාරම් මංගල්‍ය සමය වන අතර ඔවුන් ඉක්මනින්ම නගරය ආසන්නයට පැමිණෙයි. සුළු සංඛ්‍යාවකින් යුත් යුදෙව් අන්තවාදීන් දේවමාලිගාවේ පවුරු තුළ ආරක්ෂාව පතනවා. නමුත් මේ වන විට රෝම සොල්දාදුවන් දේවමාලිගාවේ පවුර බිඳ, ඊට ඇතුල් වීමට දරන්නේ දැඩි උත්සාහයක්. ඒ ගැන යුදෙව්වන් සිටින්නේ මහත් කම්පනයකින්. ඊට හේතුව, බොරු දෙවිවරු අදහන රෝම සොල්දාදුවන් යුදෙව්වරුන්ගේ පරිශුද්ධ ස්ථානය දූෂණය කිරීමට පැමිණ ඇති නිසයි. නමුත් නගරයේ සිටි ක්‍රිස්තියානීන්ට යේසුස්ගේ මෙම අනතුරු ඇඟවීම සිහියට නැඟෙයි. ‘පාළු කිරීම සිදු කරන පිළිකුල ශුද්ධ ස්ථානයක තිබෙනවා ඔබ දකින විට, යුදයේ සිටින අය කඳුවලට පලා යන්න.’ (මතෙව් 24:15, 16) ඔවුන් යේසුස් පැවසූ එම අනාවැකිය විශ්වාස කරමින් ඊට එකඟව ක්‍රියා කරයිද? එන්න එන්නම දේවල් නරක අතට හැරෙන නිසා ඔවුන්ගේ ජීවිත ගලවා ගන්න නම් ඔවුන් ඊට එකඟව ක්‍රියා කළ යුතුමයි. ඒත් ඔවුන් එය කරන්නේ කොහොමද?

ඒ සඳහා ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා. සිතාගත නොහැකි හේතුවක් නිසා සෙස්ටියස් ගැලස් නුවර අතහැර තම හමුදාවද රැගෙන වහාම මුහුදු තීරය දෙසට ගමන් කරනවා. යුදෙව් අන්තවාදීන්ද ඔවුන් පසුපස එළවා ගෙන යයි. පුදුමයට හේතු කරවමින් එම නුවර අද්දකින්නට ගිය පීඩාව කෙටි කරනු ලබනවා! ඒ අවස්ථාවේදී යේසුස් දුන් අනාවැකිය කෙරෙහි විශ්වාසය තබා ඊට එකඟව ක්‍රියා කළ අය, යොර්දාන් ගඟෙන් එහා පැත්තේ කඳුකරයේ පිහිටා තිබූ පෙල්ලා නමැති නගරයට පලා යනවා. ඔවුන් පලා ගියේ හරිම අවස්ථාවේදීයි. එයට හේතුව, නගරයට නැවත හැරී ආ යුදෙව් අන්තවාදීන් එහි ඉතිරිව සිටි අයට තමන් සමඟ එක්වන්න කියා බල කළ නිසයි. * මේ අතරතුර පෙල්ලා නගරයේ සුරක්ෂිතව සිටින ක්‍රිස්තියානීන් බලා සිටින්නේ ඊළඟට සිදුවීමට නියමිත දේවල් දෙසයි.

තත්වය භයානක අතට

මාස කිහිපයක් ඇතුළත වෙනත් රෝම හමුදාවක් යෙරුසලම වෙත ඇදෙමින් සිටිනවා. ඒ ක්‍රි.ව. 67දී ජෙනරාල් වෙස්පේසියන් සහ ඔහුගේ පුත් ටයිටස් යටතේ පැමිණෙන සෙබළුන් 60,000ක මහත් සේනාවයි. ඊළඟ අවුරුදු දෙක තුළ මෙම විනාශකාරී හමුදාව තමන් ඉදිරියේ ඇති සියලු බාධක බිඳ හෙළමින් යෙරුසලම දෙසට ඇදෙනවා. මේ අතරතුර යෙරුසලමේ සිටින කලහකාරී යුදෙව් කණ්ඩායම් අතර දරුණු ගැටුම් ඇති වෙයි. නගරයේ ගබඩා කර තිබුණු ධාන්‍ය විනාශ කරන ඔවුන් දේවමාලිගාව වටා තිබූ නිවෙස් සියල්ල පොළොවට සමතලා කර දමයි. යුදෙව්වන් 20,000කට වඩා වැඩි ගණනක්ව මරා දමනු ලබනවා. ඒ නිසා වෙස්පේසියන් තම සටන ප්‍රමාද කරමින් මෙසේ පවසනවා. ‘මගේ දෙවියෝ වැඩ සිද්ධ කරලා තියෙන්නේ හරියට රෝමානු සෙන්පතියෙක් වගේයි. මමවත් ඒ තරම් දක්ෂ නැහැ. අපේ සතුරෝ, ඔවුන් එකිනෙකා ඇනකොටා ගනිමින් ඔවුන්වම මරාගන්නවා.’

රෝම අධිරාජ්‍යයා වන නීරෝ මිය ගිය විට, තම සිහසුන ස්ථිර කිරීම සඳහා වෙස්පේසියන් නැවතත් රෝමය බලා ගමන් කරන අතර තම පුත් ටයිටස්ට එම සටන බාර දෙයි. මේ අතර ටයිටස්, යෙරුසලමට පැමිණෙන්නේ ක්‍රි.ව. 70 පාස්කු සමයේදීයි. නුවර වැසියන්ව හා නමස්කාරය සඳහා එහි පැමිණ සිටින අනෙකුත් අයවත් නුවර තුළම කොටු කරගන්නවා. ඊළඟට ඔහුගේ බළඇණිය ගම්බද ප්‍රදේශවලින් ගස් කපා, ඉන් උල් කළ කණු සාදා නුවර වටේටම කිලෝමීටර් හතක් දිග වැටක් ඉඳි කරයි. යේසුස් පැවසූ ලෙසම එය සිදු වුණා. ඔහු පැවසුවේ “ඔබේ සතුරන් ඔබ වටා උල් කළ කණුවලින් වැටක් සාදා ඔබව වටලා, සෑම පැත්තෙන්ම ඔබට පීඩා කරන” බවයි.—ලූක් 19:43.

සාගතයෙන් මුළු නගරයම ගිලගන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. මිය ගිය සහ මියැදෙමින් සිටින අයගේ නිවෙස්වලට කඩාවදින ආයුධ සන්නද්ධ පිරිස් ගෙවල් කොල්ල කනවා. එමෙන්ම ඒ අවස්ථාවේ තවත් අනාවැකියක් ඉටුවෙනවා. එනම් “වටලෑමේදී ඔබේ සතුරන් ඔබට ක්‍රියා කරන තද කම නිසා ඔබ ඔබේ ශරීර පලය වූද . . . ඔබේ පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් මාංස කන්නෙහිය” යන්නයි. (ද්විතීය කතාව 28:53-57) එම අනාවැකියට අනුව අඩුම තරමින් එක් මවක්වත් ඇගේම කුසින් උපන් දරුවාව මරාගෙන කනවා.

යෙරුසලම වටලා මාස පහක් ගත වූ පසුව එය පරාජය වෙනවා. එම නගරයත් තේජවත් දේවමාලිගාවත් කොල්ල කා, ගලක් පිට ගලක් ඉතිරි නොවන සේ එය බිඳ හෙළා ගිනිබත් කරනවා. (දානියෙල් 9:26) ඉන් විනාශ වූ ජීවිත සංඛ්‍යාව 11,00,000ක් වූ අතර තවත් 97,000ක් පමණ වහල්භාවයට විකුණනු ලැබුවා. * (ද්විතීය කතාව 28:68) යුදය සම්පූර්ණයෙන්ම ජන ශුන්‍ය දේශයක් බවට පත් වුණා. එය ඔවුන්ගේ දේශපාලන සහ ආගමික ඉතිහාසයේ පෙර කෙදිනකවත් අත් නොදුටු ආකාරයේ විනාශයක්.  *

මේ අතර පෙල්ලා නගරයේ වාසය කරන ක්‍රිස්තියානීන්, යෙහෝවා දෙවි තමන්ව ගලවාගැනීම ගැන ඔහුට ස්තුති කරනවා. එමෙන්ම බයිබලයේ සඳහන් අනාවැකි විශ්වාස කිරීම නිසා ඔවුන්ගේ ජීවිත ගැලවුණා!

එම අතීත සිදුවීම ගැන කල්පනා කරද්දී අපි අපෙන්ම මෙසේ අසා ගත යුතුයි. ‘පැමිණෙමින් තිබෙන මහත් පීඩාවෙන් ගැලවීම සඳහා බයිබලයේ සඳහන් අනාවැකි කෙරෙහි මම විශ්වාසය තබනවාද? මම “ජීවිතය රැකෙන ලෙස ඇදහිල්ල ඇති අයගේ ගණයට අයත්” කෙනෙක්ද?’—හෙබ්‍රෙව් 10:39; එළිදරව් 7:14.

[පාදසටහන්වල]

^ 10 ඡේ. යුදෙව් ඉතිහාසඥ ජොසිෆස් පවසන්නේ, යුදෙව් අන්තවාදීන් දින හතක් පුරා රෝම හමුදාව පසුපස එළවා ගෙන ගිය බවයි.

^ 15 ඡේ. එක් ගණන් බැලීමකට අනුව වහලුන් ලෙස රෝමයට ගෙන යනු ලැබූ සෑම වහලුන් හත්දෙනෙකුගෙන් එක්කෙනෙකුව මරා දමනු ලැබුවා.

^ 15 ඡේ. යුදෙව් බයිබල් විශාරදයෙක් වන ඇල්ෆ්‍රඩ් එඩෂයිම් වාර්තා කළේ මෙසේයි. “ඊශ්‍රායෙල්වරුන් මුහුණ දුන් එම පීඩාව ඔවුන් මින් පෙර මුහුණ දුන් දුක්ඛිත අද්දැකීම්වලටවත් ඉදිරියට ඔවුන් මුහුණ දෙන කිසිම දෙයකටවත් සමාන කරන්න බැහැ.”

[9වන පිටුවේ වගුව]

පළමුවන සියවසේදී ඉටු වූ ලකුණේ අංගයන්

යුද්ධ:

ගෝල් (ක්‍රි.ව. 39-40)

උතුරු අප්‍රිකාව (ක්‍රි.ව. 41)

බ්‍රිතාන්‍යය (ක්‍රි.ව. 43, 60)

ආර්මේනියාව (ක්‍රි.ව. 58-62)

යුදය තුළ පැවති ජාතික සහ වාර්ගීක ගැටුම් (ක්‍රි.ව. 50-66)

භූමිකම්පා:

රෝමය (ක්‍රි.ව. 54)

පොම්පෙයි (ක්‍රි.ව. 62)

කුඩා ආසියාව (ක්‍රි.ව. 53, 62)

ක්‍රීට් (ක්‍රි.ව. 62)

සාගත:

රෝමය, ග්‍රීසිය, ඊජිප්තුව (ක්‍රි.ව. 42 දී පමණ)

යුදය (ක්‍රි.ව. 46 දී පමණ)

වසංගත:

බැබිලෝනිය (ක්‍රි.ව. 40)

රෝමය (ක්‍රි.ව. 60, 65)

බොරු අනාගතවක්තෘවරු:

යුදය (ක්‍රි.ව. 56 දී පමණ )

[10වන පිටුවේ සිතියම/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

ක්‍රිස්තු වර්ෂ 67-70 දක්වා රෝමය විසින් පලස්තීනයේ දියත් කළ යුද්ධය

ටොලමැයිස්

ගලීල මුහු

පෙල්ලා

පෙරයාව

සමාරිය

යෙරුසලම

ලුණු මුහු

යුදය

සිසේරිය

[හිමිකම් විස්තර]

Map only: Based on maps copyrighted by Pictorial Archive (Near Eastern History) Est. and Survey of Israel

[11වන පිටුවේ පින්තූරය]

‘අපේ සතුරෝ, ඔවුන් එකිනෙකා ඇනකොටා ගනිමින් ඔවුන්වම මරාගන්නවා.’—වෙස්පේසියන්

[11වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තු වර්ෂ 70දී රෝම හමුදාව යෙරුසලම විනාශ කළා

[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Relief: Soprintendenza Archeologica di Roma; Vespasian: Bildarchiv Preussischer Kulturbesitz/Art Resource, NY