Skip to content

පටුනට යන්න

ක්‍රිස්තුස්ට සහ ඔහුගේ විශ්වාසවන්ත දාසයාට පක්ෂපාත වන්න

ක්‍රිස්තුස්ට සහ ඔහුගේ විශ්වාසවන්ත දාසයාට පක්ෂපාත වන්න

ක්‍රිස්තුස්ට සහ ඔහුගේ විශ්වාසවන්ත දාසයාට පක්ෂපාත වන්න

“ඔහුගේ ස්වාමියා . . . තමන් සන්තක සියල්ල කෙරෙහි ඔහුව පත් කරන්නේය.”—මතෙව් 24:45-47.

1, 2. (අ) බයිබලයේ පවසන්නේ අපේ නායකයා කවුරු කියාද? (ආ) ක්‍රිස්තුස් ඔහුගේ සභාවට මඟ පෙන්වන බව පෙනෙන්නේ කුමකින්ද?

‘“නායකයන්” කියා කියවා නොගන්න. මන්ද ඔබට ඉන්නේ එකම නායකයෙකි. ඒ ක්‍රිස්තුස්ය.’ (මතෙව් 23:10) එම වචනවලින් යේසුස් පැහැදිලිව අදහස් කළේ මේ පොළොවේ කිසිම මනුෂ්‍යයෙක් තම අනුගාමිකයන්ගේ නායකයා නොවන බවයි. ඔවුන්ගේ එකම නායකයා වන්නේ ස්වර්ගයේ සිටින යේසුස් ක්‍රිස්තුස් පමණක් වන අතර ඒ සඳහා ඔහුව පත් කළේ යෙහෝවා දෙවි විසින්මයි. යෙහෝවා දෙවි “ක්‍රිස්තුස්ව මළවුන්ගෙන් නැඟිටුවා . . . සභාවේ සියලු දේ කෙරෙහි ඔහුව හිස ලෙස පත් කළේය. ඒ සභාව නම් . . . ඔහුගේ ශරීරයය.”—එෆීස 1:20-23.

2 ක්‍රිස්තුස්ව ‘සියලු දේ කෙරෙහි හිස’ ලෙස පත් කර තිබෙන නිසා ක්‍රිස්තියානි සභාව තුළ සිදු වන සෑම දෙයක් කෙරෙහිම ඔහු සිටින්නේ හොඳ සෝදිසියකිනුයි. එමනිසා තමා යටතේ පවතින සෑම ක්‍රිස්තියානි සභාවක්ම දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියාත්මක වෙනවාද කියා ඔහු සොයා බලනවා. එය සැබෑවක් බව පළමු සියවසේ අගභාගයේදී යොහන්ට කළ එළිදරව්ව තුළින් පැහැදිලි වෙනවා. සභා හතට ලියූ ලිපිවලදී යේසුස් පස් වතාවක්ම පැවසුවේ තමා ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන හොඳින් දැන සිටි බවයි. ඒ වගේම ඔවුන්ගේ යහපත් ගුණාංග, අඩුපාඩුකම් යේසුස් පෙන්වා දුන් අතර ඔවුන්ට අවශ්‍ය උපදෙස් සහ දිරිගැන්වීම්ද ඔහු ලබා දුන්නා. (එළිදරව් 2:2, 9, 13, 19; 3:1, 8,15) කුඩා ආසියාවේ පිහිටි පිලිස්තියාව, සිරියාව, බැබිලෝනිය, ග්‍රීසිය, ඉතාලිය වැනි තවත් සභාවන් සම්බන්ධයෙන්ද යේසුස් හොඳ අවධානයෙන් සිටියා කියා සිතන්න අපට පුළුවන්. (ක්‍රියා 1:8) අද දිනත් එසේමද?

විශ්වාසවන්ත දාසයා

3. ක්‍රිස්තුස්ව හිසකට සමාන කිරීමත් ඔහුගේ සභාව ශරීරයකට සමාන කිරීමත් උචිත ඇයි?

3 යේසුස්ගේ නැවත නැඟිටීමට පසුව සහ ස්වර්ගයට යෑමට පෙර තම ගෝලයන්ට ඔහු මෙසේ පැවසුවා. “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. . . . බලන්න! සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි.” (මතෙව් 28:18-20) ඔහු තම ගෝලයන්ගේ නායකයා හැටියට දිගටම ක්‍රියා කිරීමට නියමිතයි. එෆීස සහ කොලොස්සිය යන සභාවන්ට ලියූ තම ලිපි තුළ පාවුල් ක්‍රිස්තියානි සභාව ක්‍රිස්තුස් හිසව සිටින ‘ශරීරයකට’ සමාන කළා. (එෆීස 1:22, 23; කොලොස්සි 1:18) එක් පොතක ඒ ගැන පවසන්නේ මෙසේයි. “ශරීරය හිස සමඟ එක්සත්ව සිටිනවා පමණක් නොවෙයි, හිස මගින් එහි සාමාජිකයන්ට මඟ පෙන්වීම්ද දෙනු ලබනවා. යේසුස් තම මාධ්‍යය හැටියට යොදාගන්නේ එම සාමාජිකයන්වයි.” (ද කේම්බ්‍රිජ් බයිබල් ෆෝර් ස්කූල්ස් ඇන්ඩ් කොලෙජස් නම් පොත) වර්ෂ 1914දී තම රාජ්‍ය බලය ලැබීමත් සමඟම යේසුස් මේ පොළොව මත තමාගේ මාධ්‍යය හැටියට යොදාගෙන ඇත්තේ කාවද?—දානියෙල් 7:13, 14.

4. මලාකිගේ අනාවැකියට අනුව, දෙවිගේ “ගෘහය” වන සැබෑ නමස්කාරය විනිශ්චය කිරීම සඳහා පැමිණි යෙහෝවා දෙවි සහ යේසුස් දුටුවේ කුමක්ද?

4 “සැබෑ ස්වාමීන්” වන යෙහෝවා දෙවි තමාගේ “ගෘහය” වන සැබෑ නමස්කාරය විනිශ්චය කිරීම සඳහා, තමා අලුතින් පත් කළ “ගිවිසුමේ පණිවිඩකරු” වන යේසුස් ක්‍රිස්තුස් සමඟින් පැමිණෙන බව මලාකිගේ අනාවැකියේ පවසනවා. ‘දෙවිගේ ගෘහය විනිශ්චය කිරීමට’ “නියම කරන ලද කාලය” ආරම්භ වුණේ 1918දී බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. * (මලාකි 3:1, නව ලොව පරිවර්තනය; 1 පේතෘස් 4:17) ඒ අවස්ථාවේදී තමන් දෙවිට සැබෑ ලෙස නමස්කාර කරනවායයි පැවසූ අයව දැඩි සෝදිසියකට ලක් කළා. එහිදී යෙහෝවා දෙවි ක්‍රිස්තියානි ලෝකයේ ආගම් ප්‍රතික්ෂේප කළා. ඊට හේතුව ඔහුගේ නාමයට නින්දා ගෙන දෙන ඉගැන්වීම් පැතිරවීම සහ පළමුවන ලෝක මහා යුද්ධයේදී විශාල වශයෙන් මිනිස් ජීවිත විනාශ කිරීමට ඔවුන් හවුල් වීමයි. නමුත් ඊට වෙනස්ව විශ්වාසවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් ඉතිරිව සිටි කොටසක් ගින්නෙන් මෙන් හොඳින් පරීක්ෂා කර, පිරිසිදු කරනු ලැබුවේ යෙහෝවා දෙවිට ‘ඔවුන් විසින් ධර්මිෂ්ඨකමින් පූජා ඔප්පු කරන’ පිණිසයි.—මලාකි 3:3.

5. යේසුස්ගේ අනාවැකියට අනුව, ඔහුගේ ‘පැමිණ සිටීමේදී’ විශ්වාසවන්ත “දාසයා” ලෙස ඔප්පු වූයේ කාවද?

5 මලාකිගේ අනාවැකියට සමානව යේසුස්, තමාගේ “පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” හඳුනාගැනීමටද හැකි වන පිණිස යම් අංගයන් ඇතුළත් ලකුණක් තම අනුගාමිකයන්ට දුන්නා. එයට “දාස” පන්තිය හඳුනාගැනීමේ තොරතුරුද ඇතුළත් වුණා. යේසුස් ඒ ගැන කිව්වේ මෙසේයි. “ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර දෙන පිණිස, ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද? ඔහුගේ ස්වාමියා ආ කල, ඔහු එසේ කරනවා දකී නම්, ඒ දාසයා සන්තෝෂවත්ය! සැබවින්ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමන් සන්තක සියල්ල කෙරෙහි ඔහුව පත් කරන්නේය.” (මතෙව් 24:3, 45-47) වර්ෂ 1918දී තම ‘දාසයාව’ සෝදිසි කිරීමට ‘පැමිණි කල’ “නියම වේලාවට ආහාර” සපයන විශ්වාසවන්ත අභිෂේක ලත් ඉතිරි කොටසක් වෙත යේසුස්ගේ අවධානය යොමු වුණා. වර්ෂ 1879 සිට “නියම වේලාවට ආහාර” ලබා දීමට ඔවුන් යොදාගත්තේ මුරටැඹ සඟරාව ඇතුළු තවත් බයිබලය මත පදනම් ප්‍රකාශනයි. එමනිසා 1919 සිට යේසුස්, ඔවුන්ව පොළොව මත සිටින තමාගේ “දාසයා” හෙවත් දාස පන්තිය ලෙස පිළිගෙන පොළොවේ තමා සන්තක සියල්ල ඔවුන්ට විශ්වාසයෙන් යුතුව භාර දුන්නා.

පොළොවේ ක්‍රිස්තුස්ට අයිති දේවල් බලාගැනීම

6, 7. (අ) යේසුස් ඔහුගේ විශ්වාසවන්ත ‘දාසයාව’ හැඳින්වූයේ තවත් කුමන ආකාරයෙන්ද? (ආ) යේසුස්, ඔවුන්ව “සේවකයා” කියා හැඳින්වීමෙන් අඟවනු ලැබුවේ කුමක්ද?

6 යේසුස්, තමාගේ පැමිණ සිටීම සහ මේ පොළොව මත තමාව නියෝජනය කරන ‘දාසයෙක්’ පිළිබඳ ලකුණ ප්‍රකාශ කරන්න පෙර එම ‘දාසයාව’ ටිකක් වෙනස් ආකාරයකින් හැඳින්වුවා. එමගින් ඔහුගේ වගකීම් මොනවාද කියා තේරුම්ගන්න අපිට හැකියි. ඒ ගැන යේසුස් පැවසුවේ මෙයයි. “ස්වාමියා විසින් තම සේවක පිරිසට නියම වේලාවට නොකඩවා ආහාර කොටස දීමට ඔවුන් කෙරෙහි පත් කරන නුවණ ඇති විශ්වාසවන්ත සේවකයා කවුද? සැබවින්ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමා සන්තක සියල්ල කෙරෙහි ඔහුව පත් කරන්නේය.”—ලූක් 12:42, 44.

7 ඉහත පදයේ එම දාසයාව හඳුන්වා තිබෙන්නේ සේවකයෙක් හැටියටයි. ග්‍රීක භාෂාවෙන් සේවකයා යන වචනයේ අර්ථය වන්නේ “නිවසක් හෝ වතු යායක් බලාගන්නා” යන්නයි. මෙම සේවක කණ්ඩායම තම බුද්ධිය යොදාගනිමින් බයිබලයේ සඳහන් සිත් ගන්නා කරුණු සොයා බලන පිරිසක් නොවෙයි. ඔවුන් “නියම වේලාවට” ඇදහිල්ල ශක්තිමත් කරවන බයිබලය මත පදනම් ප්‍රකාශන සපයනවා. ඊට අමතරව මෙම “විශ්වාසවන්ත සේවකයා” පොළොව මත ‘ඔහු සන්තක සියල්ල’ එනම්, ක්‍රිස්තුස්ගේ සභාව සහ එහි ක්‍රියාකාරකම් බලාගන්නවා. ඊට අයත් වන්නේ මොනවාද?

8, 9. දාසයාව පත් කර තිබෙන්නේ ක්‍රිස්තුස් “සන්තක” කුමන දේවල් අධීක්ෂණය කිරීමටද?

8 ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් සඳහා යේසුස්ගේ අනුගාමිකයන් භාවිත කරන පහසුකම් අධීක්ෂණය කිරීම දාසයාගේ වගකීම්වලට ඇතුළත්. ඒවාට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය සහ ශාඛා කාර්යාල මෙන්ම ලොව පුරා තිබෙන ඔවුන්ගේ නමස්කාර ස්ථාන වන රාජ්‍ය ශාලා සහ එක්රැස්වීම් ශාලාත් අයත් වෙනවා. ඔවුන් විශේෂ අවධානයක් දෙන්නේ ඇදහිල්ල ශක්තිමත් කරවන වැඩසටහන්වලටයි. සතිපතා පවත්වන රැස්වීම්, එක්රැස්වීම් සහ සමුළු ඒවාට අයත් වෙනවා. එවැනි රැස්වීම් තුළදී බයිබලයේ සඳහන් අනාවැකි ඉටු වන ආකාරයත් එදිනෙදා ජීවිතයේදී එහි සඳහන් ප්‍රමිති අදාළ කරගන්නේ කෙසේද කියාත් පහදා දෙයි.

9 “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කිරීමේ කාර්යය සහ “සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන්” කිරීමේ වැදගත් කාර්යයද මේ සේවකයාගේ වගකීම්වලට ඇතුළත්. මෙම අවසාන කාලයේ, සභාවේ හිස වන ක්‍රිස්තුස් කිරීමට අණ කළ දේවල් පැවැත්වීමට ජනයාට ඉගැන්වීම එයට ඇතුළත් වෙනවා. (මතෙව් 24:14; 28:19, 20; එළිදරව් 12:17) දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ කාර්යය මගින් අභිෂේක ලත් ඉතිරි සාමාජිකයන්ට පක්ෂපාතව සහයෝගය දක්වන “මහත් සමූහයක්” එක් වී තිබෙනවා. විශ්වාසවන්ත දාසයාගේ අධීක්ෂණය යටතේ තිබෙන ක්‍රිස්තුස් “සන්තක” දේවල්වලට “සියලු ජාතීන් ආශා කරන දේ” වන එම ජනයාද ඇතුළත් බව ස්ථිරයි.—එළිදරව් 7:9; හග්ගයි 2:7.

විශ්වාසවන්ත දාසයාව නියෝජනය කරන පාලක මණ්ඩලය

10. මුල් සියවසේදී තීරණ ගැනීම සඳහා පත් කරනු ලැබුවේ කාවද? එමගින් සභාව ප්‍රයෝජන ලැබුවේ කෙසේද?

10 විශ්වාසවන්ත දාසයාට පැවරී තිබෙන බරපතළ වගකීමක් වන්නේ තීරණ ගැනීමයි. මුල් සියවසේදී ක්‍රිස්තියානි සභාව වෙනුවෙන් තීරණ ගනු ලැබුවේ විශ්වාසවන්ත දාසයාව නියෝජනය කළ පාලක මණ්ඩලයයි. ඔවුන් යෙරුසලමේ සිටි වැඩිමහල්ලන්ගෙන් සමන්විත වුණා. (ක්‍රියා 15:1, 2) එදා පාලක මණ්ඩලය විසින් ගත් තීරණ සභාවලට දැනුම් දුන්නේ ලිපි මගින් සහ සභාවන් බැහැදැකීමට පත් කළ සංචාරක නියෝජිතයන් මගිනුයි. එම සභාවල සිටි ක්‍රිස්තියානීන් පාලක මණ්ඩලයෙන් ලැබූ පැහැදිලි මඟ පෙන්වීම්වලට කීකරු වීම නිසා සාමය සහ එකමුතුකම වැඩි වර්ධනය වුණා.—ක්‍රියා 15:22-31; 16:4, 5; ෆිලිප්පි 2:2.

11. තම සභාවට මඟ පෙන්වීම සඳහා ක්‍රිස්තුස් යොදාගන්නේ කාවද? එම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව අපි සැලකිය යුත්තේ කෙසේද?

11 එදා මෙන් අද දිනත් පාලක මණ්ඩලය සෑදෙන්නේ යේසුස්ගේ අභිෂේක ලත් අනුගාමිකයන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් මගිනුයි. මෙම විශ්වාසවන්ත මිනිසුන් දේවරාජ්‍යය හා සම්බන්ධ වැඩකටයුතු අධීක්ෂණය කරන විට, සභාවේ හිස වන ක්‍රිස්තුස් තම ‘දකුණතින්’ ඔවුන්ට මඟ පෙන්වනවා. (එළිදරව් 1:16, 20) මෑතකදී තම භූමික ජීවිතය අවසන් කළ, පාලක මණ්ඩලයේ බොහෝ කාලයක් පුරා සේවය කළ සහෝදර ඇල්බට් ෂ්‍රෝඩර්, තම ජීවිත කතාවෙහි මෙසේ සඳහන් කර තිබුණා. “සෑම බදාදා දිනකම රැස් වන පාලක මණ්ඩලයේ සහෝදරයන් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කරනවා. ඉන්පසු උපරිම උත්සාහයක් දරන්නේ හසුරුවන සෑම කාරණයක්ම සහ ගන්නා සෑම තීරණයක්ම බයිබලයට එකඟවම ගැනීමටයි.” * එමනිසා අපිට එවැනි ක්‍රිස්තියානීන් කෙරෙහි විශ්වාසය තබන්න පුළුවන්. විශේෂයෙන්ම ඔවුන් සම්බන්ධයෙන් පාවුල් දුන් මෙම උපදෙසට අපි කීකරු විය යුතුයි. “ඔබ අතරේ පෙරමුණ ගන්නාවූ අයට කීකරුව සිටින්න. යටත්ව සිටින්න. මන්ද ඔවුහු . . . ඔබව රැකබලා ගන්නෝය.”—හෙබ්‍රෙව් 13:17.

විශ්වාසවන්ත දාසයාට නිසි ගෞරවය පෙන්වීම

12, 13. දාස පන්තියට ගෞරවය දැක්වීම සඳහා තිබෙන ශුද්ධ ලියවිලිමය හේතු මොනවාද?

12 විශ්වාසවන්ත දාසයාට නිසි ගෞරවය පෙන්වීමට මූලිකම හේතුව වන්නේ, ඒ තුළින් අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ට අපි ගෞරවය පෙන්වන නිසයි. අභිෂේක ලත් සාමාජිකයන් ගැන පාවුල් ලිව්වේ මෙසේයි. “යමෙක් නිදහස් මිනිසෙකුව සිටියදී කැඳවනු ලැබුවේ නම්, ඔහු ක්‍රිස්තුස්ගේ දාසයෙකි. ඔබ මිලකට ගනු ලැබුවහුය.” (1 කොරින්ති 7:22, 23; එෆීස 6:6) විශ්වාසවන්ත දාසයා, පාලක මණ්ඩලය මගින් ලබා දෙන මඟ පෙන්වීම්වලට අපි පක්ෂපාත වීමෙන් පෙන්වන්නේ එම දාසයාගේ ස්වාමියාට අපි පක්ෂපාත බවයි. මේ පොළොවේ තමාට අයිති සියල්ල බලාගැනීමට යේසුස් විසින් පත් කර ඇති එම කණ්ඩායමට නිසි ගෞරවය දැක්වීමෙන් “පියාණන් වන දෙවිගේ තේජස සඳහා යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව . . . ප්‍රසිද්ධියේ පිළිගන්නා” බව අපි පෙන්වනවා.—ෆිලිප්පි 2:11.

13 අපි ඔවුන්ට ගෞරවය පෙන්විය යුතු තවත් ශුද්ධ ලියවිලිමය හේතුවක් වන්නේ දෙවිගේ “මාලිගාව” ලෙස හඳුන්වා තිබෙන අභිෂේක ලත් සාමාජිකයන් තුළ යෙහෝවා දෙවිගේ “ආත්මය” හෙවත් ඔහුගේ බලය ක්‍රියාත්මක වීමයි. එමෙන්ම ඔවුන් ‘ශුද්ධයි.’ (1 කොරින්ති 3:16, 17; එෆීස 2:19-22) යේසුස් පොළොවේ තමා සන්තක සියල්ල විශ්වාසයෙන් යුතුව භාර දී තිබෙන්නේ ශුද්ධ මාලිගාව ලෙස හඳුන්වා තිබෙන මෙම කණ්ඩායමටයි. ඉන් අදහස් කරන්නේ ක්‍රිස්තියානි සභාව තුළ තීරණ ගැනීම වැනි වගකීම් දැරීම ඔවුන් සතුව ඇති බවයි. එමනිසා ක්‍රිස්තියානි සභාවේ සිටින සියලු සාමාජිකයන් විශ්වාසවන්ත දාසයා ලබා දෙන මඟ පෙන්වීම්වලට අවනත වෙනවා. එසේ කීකරු වීම ඔවුන් සලකන්නේ වැදගත් දෙයක් හැටියටයි. එයාකාරයෙන් තම ස්වාමියා සතු දේවල් බලාගන්නා දාස පන්තියට පක්ෂපාතීව සහයෝගය දැක්වීම “වෙනත් බැටළුවන්” සලකන්නේ ඇත්තෙන්ම වටිනා වරප්‍රසාදයක් හැටියටයි.—යොහන් 10:16.

පක්ෂපාතව සහයෝගය දැක්වීම

14. යෙසායා පුරෝකථනය කළ ලෙස වෙනත් බැටළුවන් අභිෂේක ලත් සාමාජිකයන්ගේ පසුපසින් ගමන් කරන්නේ කෙසේද?

14 අභිෂේක ලත් සාමාජිකයන්ට වෙනත් බැටළුවන් දක්වන සහයෝගය ගැන යෙසායා අනාවැකියක් පළ කළා. “යෙහෝවා මෙසේ කියන්නේය: ඊජිප්තුවේ උත්සාහයද කුෂ්හි වෙළඳාමද උස මහත ඇති සබියයෝද ඔබ ළඟට පැමිණ ඔබට අයිතිව ඔබ පස්සේ යන්නෝය. ඔවුහු විලංගුවලින් බඳනා ලදුව ඔබ ළඟට ඇවිත් වැටී: සැබවින් දෙවි ඔබ තුළෙහිය. ඔහු මිස අන් දෙවි කෙනෙක් නැත කියා ඔබට කන්නලව් කියන්නෝයයි කීවේය.” (යෙසායා 45:14) සංකේතාත්මක ආකාරයකින් අද සිටින වෙනත් බැටළුවන්, අභිෂේක ලත් දාස පන්තිය සහ ඔවුන්ව නියෝජනය කරන පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම් අනුගමනය කරමින් ඔවුන් පසුපස ගමන් කරනවා. එයාකාරයෙන් වෙනත් බැටළුවන් කැමැත්තෙන්ම තමන්ගේ ශ්‍රමය සහ තමන් සතු දේවල් වැය කරමින් යේසුස් ක්‍රිස්තුස් අභිෂේක ලත් සාමාජිකයන්ට පැවරූ ලෝක ව්‍යාප්ත දේශනා කිරීමේ කාර්යයට සහයෝගය දෙනවා.—ක්‍රියා 1:8; එළිදරව් 12:17.

15. යෙසායා 61:5, 6හි දෙවිගේ ඊශ්‍රායෙල් සහ වෙනත් බැටළුවන් අතර ඇති බැඳීම පුරෝකථනය කරන්නේ කෙසේද?

15 අභිෂේක ලත් දාස පන්තිය සහ ඔවුන්ව නියෝජනය කරන පාලක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ යෙහෝවා දෙවිට සේවය කිරීමට ලැබීම ගැන වෙනත් බැටළුවන් මහත් සේ සතුටු වෙනවා. ඔවුන් අභිෂේක ලත් සාමාජිකයන්ව “දෙවිගේ ඊශ්‍රායෙල්” බව තේරුම්ගෙන තිබෙනවා. (ගලාති 6:16) සංකේතාත්මක ආකාරයකින් ඔවුන් “ආගන්තුකයෝ” සහ “විදේශියෝ” ලෙස දෙවිගේ ඊශ්‍රායෙල්ට සහයෝගය දෙමින් “යෙහෝවාගේ පූජකයෝ” සහ “දෙවිගේ සේවකයෝ” වන අභිෂේක ලත් සාමාජිකයන්ගේ මඟ පෙන්වීම යටතේ “සීසාන්නෝ” සහ “මිදි වැල් වවන්නෝ” ලෙස ප්‍රීතියෙන් සේවය කරයි. (යෙසායා 61:5, 6) රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ සහ සියලු ජාතීන්ව ගෝලයන් කිරීමේ ඔවුන් කඩිසරව හවුල් වෙනවා. බැටළු ගුණැති නවකයන්ව රැකබලා ගැනීමේදී දාස පන්තියට ඔවුන් පූර්ණ සහයෝගය දෙනවා.

16. විශ්වාසවන්ත සහ නුවණ ඇති දාසයාට වෙනත් බැටළුවන් තම සහයෝගය ලබා දෙන්නේ ඇයි?

16 විශ්වාසවන්ත දාසයා විසින් නියම වෙලාවට සපයන ඇදහිල්ල ශක්තිමත් කරවන දේවල් මගින් තමන් ඉමහත් ප්‍රයෝජන ලබා ඇති බව වෙනත් බැටළුවන් තේරුම්ගෙන තිබෙනවා. විශ්වාසවන්ත හා නුවණ ඇති දාසයාගේ උපකාර නොතිබෙන්න තමන්ට පහත සඳහන් බයිබලයේ ඇති සත්‍යය වටහාගැනීමට කොහෙත්ම නොහැකි බව ඔවුන් ඉතාමත් යටහත්ව පිළිගන්නවා. ඒවා නම් සෑම දෙයක්ම පාලනය කිරීමට යෙහෝවා දෙවිට ඇති අයිතිය, ඔහුගේ නාමයට ඇති වී තිබෙන කැළල ඉවත් කිරීම, දේවරාජ්‍යය, අලුත් අහස සහ අලුත් පොළොව, මරණයේදී සිදු වන දේ, යෙහෝවා දෙවි කවුද, ඔහුගේ පුත්‍රයා කියන්නේ කවුද සහ දෙවිගේ බලය කියන්නේ කුමක්ද යනාදියයි. එමනිසා පක්ෂපාතකමින් සහ කෘතඥතාවකින් පිරි සිතකින් වෙනත් බැටළුවන් මෙම අවසාන කාලයේ පොළොව මත සිටින ක්‍රිස්තුස්ගේ ‘සහෝදරයන්ට’ තම නොමද සහයෝගය ලබා දෙනවා.—මතෙව් 25:40.

17. පාලක මණ්ඩලයට පෙනී ගොස් තිබෙන්නේ කුමක් කිරීම යෝග්‍යයයි කියාද? ඊළඟ ලිපියේ සලකා බලන්නේ කුමක්ද?

17 අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගණනින් එන්න එන්නම අඩුවන නිසා, සෑම සභාවකටම අයත් ක්‍රිස්තුස් සන්තක දේවල්වලට පෞද්ගලික අවධානයක් දීමට ඔවුන්ට නොහැකියි. ඒ හේතුව නිසා පාලක මණ්ඩලය විසින් ශාඛා කාර්යාල, දිස්ත්‍රික්ක, චාරිකා සහ සභාවන් අධීක්ෂණය කිරීම සඳහා වෙනත් බැටළුවන්ට අයත් සාමාජිකයන්ව පත් කර තිබෙනවා. ඔවුන් විසින් පත් කර ඇති එම එඬේරුන් කෙරෙහි අපට තිබිය යුතු ආකල්පය කුමක්ද? ඒ පිළිබඳව ඊළඟ ලිපියේදී සලකා බලමු.

[පාදසටහන්වල]

^ 4 ඡේ. වර්ෂ 2004 මාර්තු 1, මුරටැඹ 13-18 පිටු සහ 1992 දෙසැම්බර් 1, මුරටැඹ 13වන පිටුව (සිංහලෙන් නැත) බලන්න.

^ 11 ඡේ. වර්ෂ 1988 මාර්තු 1 මුරටැඹ කලාපයේ 10-17 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැත.

පුනරීක්ෂණ ප්‍රශ්න

• අපගේ නායකයා කවුද? සභාව තුළ සිදු වන සෑම දෙයක් ගැනම ඔහු හොඳ සෝදිසියෙන් සිටින බව පෙන්වන්නේ කුමකින්ද?

• සැබෑ නමස්කාරය නමැති “ගෘහය” පරීක්ෂා කරද්දී විශ්වාසවන්තව සේවය කරමින් සිටියේ කවුද? ඔවුන්ට විශ්වාසයෙන් යුතුව භාර දෙනු ලැබුවේ මොනවාද?

• විශ්වාසවන්ත දාසයාට පක්ෂපාතව සහයෝගය දැක්වීම සඳහා තිබෙන ශුද්ධ ලියවිලිමය හේතු මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූර]

විශ්වාසවන්ත “සේවකයා” විසින් අධීක්ෂණය කරන ක්‍රිස්තුස් ‘සන්තක සියල්ලට’ ඔවුන් භාවිත කරන සම්පත්, ඇදහිල්ල ශක්තිමත් කරවන වැඩසටහන් සහ දේශනා කිරීමේ ක්‍රියාකාරකම්ද ඇතුළත්

[25වන පිටුවේ පින්තූරය]

උද්‍යෝගයෙන් යුතුව ශුභාරංචිය දැනුම් දීම තුළින් වෙනත් බැටළුවන්, විශ්වාසවන්ත දාස පන්තියට සහයෝගය දක්වයි