Skip to content

පටුනට යන්න

ජීවිතයට අනර්ඝ උපදෙස්!

ජීවිතයට අනර්ඝ උපදෙස්!

ජීවිතයට අනර්ඝ උපදෙස්!

අද දින උපදෙස් අඩංගු බොහෝ පොත් පත්වල අරමුණ වන්නේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ පාන අයට ඉන් ගොඩ ඒමට උපකාර කිරීමයි. බයිබලයේ දී ඇති උපදෙස් මගින්ද එවැනි අයට සහනයක් ලබන්න පුළුවන් වුණත් ඉන් ඊටත් වඩා වැඩි යමක් සිදු කරනවා. එනම් කෙනෙකුව යම් කරදරයකට වැටීමට පෙර, ඉන් ඔහුව වැළැක්වීමට එයට හැකියි.

‘අද්දැකීම් අඩු අයට බුද්ධිමත්ව කටයුතු කිරීමේ හැකියාවත් තරුණයෙකුට දැනුම සහ හොඳින් සිතීමේ හැකියාවත් ලබා දෙන්න’ බයිබලයට හැකියි. (හිතෝපදේශ 1:4, නව ලොව පරිවර්තනය, NW) ඉතින් ඔබ බයිබලයේ ඇති උපදෙස් පිළිපදිනවා නම් “හොඳින් සිතීමේ හැකියාව ඔබව රක්ෂා කරන්නේය. වටහාගැනීමේ හැකියාවද ඔබව සුරකින්නේය. එවිට ඒවා නපුරු මාර්ගයෙන් . . . ඔබව බේරාගන්නේය” යන වචනවල සත්‍යතාව ඔබට අද්දකින්න පුළුවන්. (හිතෝපදේශ 2:11, 12, NW) සෞඛ්‍ය සම්පන්නව සිටීම, පවුලේ සන්තෝෂය වැඩි කරගැනීම සහ රැකියා ස්ථානයේ හොඳ සේවකයෙක් ලෙස කටයුතු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන්, බයිබලයේ දී ඇති උපදෙස් අදාළ කරගැනීම කොතරම් වටිනවාද කියා මේ නිදසුන් කිහිපයෙන් සලකා බලන්න.

සීමාව ඉක්මවා මත්පැන් ගැනීමෙන් වළකින්න

සීමාවක් ඇතිව මත්පැන් භාවිත කිරීම බයිබලය හෙළා දකින්නේ නැහැ. එක් අවස්ථාවකදී බයිබලයේ ලේඛකයෙක් වූ පාවුල්, තිමෝති නම් තරුණයෙකුට උපදෙස් දෙන විට වයින්වල ඇති ඖෂධීය ගුණය ගැන මෙසේ පැවසුවා. “ඔබේ උදරය සඳහාත්, නිතර ඇති වන ඔබේ අසනීප නිසාත් වයින් ටිකක් භාවිත කරන්න.” (1 තිමෝති 5:23) බයිබලයේ තවත් ස්ථානවල වයින්, ඖෂධයක් ලෙස පමණක් නොව “මනුෂ්‍යයාගේ සිත සතුටු කරන” දෙයක් හැටියටත් විස්තර කර තිබෙනවා. (ගීතාවලිය 104:15) ඒ වුණත් “වයින් පානයට වහල්” වීමට එරෙහිව බයිබලයේ අනතුරු අඟවා තිබෙනවා. (තීතස් 2:3) තවදුරටත් ඒ ගැන පවසන්නේ මෙසේයි. “වයින් බීමට ලොල් වූ කෙනෙකුවත් කෑදර ලෙස මස් කන්නෙකුවත් නොවන්න. මන්ද, බේබද්දාද කෑදරයාද දිලිඳුකමට පැමිණෙන්නෝය.” (හිතෝපදේශ 23:20, 21, NW) බයිබලයේ දී ඇති එම සමබර උපදෙස් නොසලකා හැරියොත් කුමක් සිදුවෙයිද? රටවල් කිහිපයකින් වාර්තා වන මෙම උදාහරණ සලකා බලන්න.

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන ආකාරයට “මත්පැන් නිසා ඇති වන ගැටලුවලින් අයර්ලන්තය, වසරකට අමෙරිකානු ඩොලර් බිලියන තුනක පාඩුවක් විඳිනවා.” ඒ අතර “සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් මිලියන 350ක්, මාර්ග අනතුරු වෙනුවෙන් මිලියන 380ක්, අපරාධ හේතුවෙන් මිලියන 126ක් සහ සේවකයන් රැකියාවට වාර්තා නොකිරීම හේතුවෙන් නිෂ්පාදනය පහත වැටීම නිසා මිලියන 1300ක” පාඩුවක් විඳීමට සිදු වී ඇති බව එහි තවදුරටත් වාර්තා කරනවා.—Global Status Report on Alcohol 2004.

ඊටත් වඩා එයින් සිදු කරන විශාලතම හානිය වන්නේ මිනිසුන් දුක් විඳීමයි. උදාහරණයකට ඕස්ට්‍රේලියාවේ වසරක් ඇතුළත මිලියන භාගයකට අධික සංඛ්‍යාවක් ශාරීරික වධ හිංසාවලට ලක් වී තිබෙන්නේ මත්පැන් භාවිත කරන්නන් අතිනුයි. ප්‍රංශය තුළ සිදු වන ගෘහස්ථ සැහැසියාවන්ගෙන් සියයට 30ක් පමණ සිදු වන්නේ මත්පැන් භාවිතය නිසයි. බයිබලයේ මත්පැන් සම්බන්ධව දී ඇති සමබර උපදෙස් කොතරම් සාධාරණද කියා එම උදාහරණවලින් ඔබට පැහැදිලි වෙනවාද?

ශරීරයට හානි කරන පුරුදුවලින් වළකින්න

වර්ෂ 1942 තරම් ඈත කාලයේදී දුම්පානය ජනප්‍රිය දෙයක්ව පැවතුණා. නමුත් ඒ කාලයේ පවා, දුම්කොළ භාවිතයෙන් සිදු වන්නේ බයිබලයේ ප්‍රතිපත්ති උල්ලංගනය කිරීමක් බව තේරුම්ගැනීමට මෙම මුරටැඹ සඟරාව එහි පාඨකයන්ට උපකාර කළා. ඒ විතරක් නොවෙයි, ඉන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු බවත් පෙන්වා දුන්නා. ඒ වසරේම පළ වූ තවත් මුරටැඹ සඟරාවක, දෙවිව සතුටු කිරීමට අවශ්‍ය අය ‘මාංසය සහ ආත්මය දූෂ්‍ය කරවන සෑම දෙයකින්ම තමන්ව පවිත්‍ර කරගන්න’ යන බයිබලයේ සඳහන් ආඥාවට කීකරු විය යුතු බව පහදා දුන්නා. (2 කොරින්ති 7:1) එදා සිට අවුරුදු 65ක් පමණ ගත වී තිබුණත් බයිබලය මත පදනම් එම උපදෙස අදටත් කොතරම් වටිනවාද!

“මේ ලෝකයට මිනිස් ජීවිත විශාල වශයෙන් අහිමි කරවන දෙවන හේතුව” දුම්කොළ භාවිතය බව වර්ෂ 2006දී ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නා. සෑම වසරකම මිලියන පහක් පමණ මිය යන්නේ ඒ හේතුව නිසයි. ඒ හා සසඳද්දී ඒඩ්ස් රෝගයෙන් මිය යන්නේ මිලියන තුනක පමණ සංඛ්‍යාවක්. එක් ගණන් බැලීමකට අනුව විසිවන ශතවර්ෂය තුළ දුම්පානය හේතුවෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව මිලියන 100ක් බව පැහැදිලි වී තිබෙනවා. එය, විසිවන ශතවර්ෂයේ සිදු වූ සියලුම යුද්ධවලින් මිය ගිය සංඛ්‍යාවට බොහෝදුරට සමානයි. මේ අනුව බලද්දී දුම්කොළ භාවිතයෙන් වැළකී සිටීම ඥානවන්ත දෙයක් කියා බොහෝදෙනා පිළිගන්නවා.

“වේශ්‍යාකම වෙතින් පලා දුවන්න”

බයිබලයේ ලිංගික කාරණා ගැන දී තිබෙන උපදෙස්වලට බොහෝ මිනිසුන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. තවත් බොහෝදෙනාට ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ගැන වෙනස් මත උගන්වා තිබෙනවා. නමුත් බයිබලයේ සෑම ලිංගික ආශාවක්ම හෙළා දකින්නේ නැහැ. ඒ වෙනුවට තම ලිංගික ආශාවන් සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි උපදෙස් බයිබලයේ සපයනවා. එහි උගන්වන්නේ ලිංගික සම්බන්ධතා පැවැත්විය යුත්තේ විවාහක යුවළක් අතර පමණක් බවයි. (උත්පත්ති 2:24; මතෙව් 19:4-6; හෙබ්‍රෙව් 13:4) විවාහක යුවළක් අතර සිදු වන ලිංගික සම්බන්ධතා මගින් ඔවුන් අතර තිබෙන බැඳීම වැඩි වන අතර එකිනෙකා කෙරෙහි ප්‍රේමය පෙන්වන්නත් ඉන් හැකි වෙනවා. (1 කොරින්ති 7:1-5) එවැනි සම්බන්ධතාවකින් බිහි වන දරුවන්ට සිටින්නේ එකිනෙකාට ප්‍රේම කරන දෙමාපියන්. එය දරුවන්ගේ ශුභ සිද්ධියට හේතු වෙයි.—කොලොස්සි 3:18-21.

ලිංගික දුරාචාරය ගැන බයිබලයෙහි සඳහන් ආඥාව මෙයයි. “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න.” (1 කොරින්ති 6:18) එසේ කළ යුත්තේ ඇයි? එම බයිබල් වගන්තියේම තවදුරටත් මෙසේද සඳහන් වෙනවා. “මිනිසෙකු කරන අන් සියලුම පාප ඔහුගේ ශරීරයෙන් පිටතය. නමුත් වේශ්‍යාකමෙහි නියැලී සිටින්නා තමාගේම ශරීරයට විරුද්ධව පව් කරන්නේය.” ඒ උපදෙස නොසලකා හැරීමෙන් අත් විය හැකි හානිකර ප්‍රතිඵල මොනවාද?

උදාහරණයකට එක්සත් ජනපදයේ මෙම වාර්තාව සලකා බලන්න. එහි සෑම වසරකම 8,50,000ක සංඛ්‍යාවක් නහඹර වියේදීම ගැබ්ගන්නවා. ඒ සම්බන්ධයෙන් ඉහළම සංඛ්‍යාව වාර්තා වන්නේත් එම රටෙන්මයි. ඒ අතර ගබ්සා නොකිරීම නිසා උපන් දරුවන් බොහොමයකගේ මව්වරුන් විවාහ නොවූ අයයි. එම මව්වරුන් තම දරුවන් හොඳින් පුහුණු කර ආදරයෙන් රැකබලා ගන්න ඔවුන්ගේ උපරිමය කරන බව සත්‍යක්. සමහර අයගේ එම උත්සාහයන් සාර්ථක වී තිබෙනවා. කොහොමවුණත් බොහෝ අය අද්දකින්නේ එහි අමිහිරි පැත්තයි. එම නහඹර වියේ මව්වරුන්ට උපදින පුතුන් බොහෝවිට අපරාධවලට හවුල් වී හිරගෙයි ලගින අතර ඔවුන්ගේ දූවරුන් නහඹර වියේදීම ගැබ්ගැනීමේ ප්‍රවණතාවක් තිබෙනවා. පසුගිය දශක කිහිපය පුරා කළ සමීක්ෂණයකින් පසුව රොබට් ලර්මන් නම් තැනැත්තා මෙසේ වාර්තා කළා. “වැඩිවෙමින් පවතින තනි මාපිය පවුල්, බොහෝ සමාජීය ප්‍රශ්නවලට හේතු පාදක වී තිබෙනවා. දරුවන් තමන්ගේ පාසැල් අධ්‍යාපනය කඩාකප්පල් කරගැනීම, මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට පුරුදු වීම, නහඹර වියේදීම ගැබ්ගැනීම සහ බාල කාලයේදීම අපරාධවලට හවුල් වීම ඊට අයත් වෙනවා.”

ලිංගික දුරාචාරයේ යෙදෙන අය ශාරීරිකව පමණක් නොව මානසික වශයෙන්ද බොහෝ අනතුරුවලට නිරාවරණය වෙනවා. එක් සඟරාවක මෙවැනි දෙයක් වාර්තා කරනවා. “වාර්තාවලින් පෙනී යන පරිදි නිරතුරුවම ලිංගිකව හැසිරෙන නහඹරයන් සිටින්නේ කාන්සාව සහ සිය දිවි නසාගැනීමේ අවධානම් සහිත තත්වයකයි.” තවත් අවධානමක් වන සෞඛ්‍ය ගැටලු ගැන අමෙරිකාවේ සෞඛ්‍ය ආයතනයක් පැවසුවේ “[එක්සත් ජනපදයේ] ජනගහනයෙන් හරි අඩකටත් වඩා ප්‍රමාණයකට ඔවුන්ගේ ජීවිතයේ කුමන හෝ අවධියක ලිංගිකව බෝ වන රෝග වැළඳිය හැකි” බවයි. ලිංගික කාරණා ගැන බයිබලයේ දෙන මඟ පෙන්වීම් පිළිපැදීමෙන් මඟහරවා ගත හැකි එවැනි කටුක අද්දැකීම් ගැන මොහොතක් සිතා බලන්න!

ශක්තිමත් පවුල් බැඳීමක් ඇති කරගන්න

බයිබලය, නරක පුරුදු ගැන අනතුරු අඟවනවා පමණක් නොවෙයි. පවුල් ජීවිත සතුටින් පවත්වා ගැනීමට උපකාරවත් වන මඟ පෙන්වීම්ද ලබා දී තිබෙනවා. ඒ ගැනත් සලකා බලන්න.

බයිබලයේ මෙසේ පවසනවා. “ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට තමුන්ගේ ශරීරවලට මෙන් ප්‍රේම කළ යුතුය.” (එෆීස 5:28) තම භාර්යාවගේ වටිනාකම අඩු තක්සේරු නොකර “දැනගැන්මට අනුව ඔවුන් සමඟ වාසය කරමින්, වඩා දුර්වල භාජනයකට මෙන් ස්ත්‍රියට ගෞරවය දෙන්න” කියා ස්වාමිපුරුෂයන්ට උනන්දු කර තිබෙනවා. (1 පේතෘස් 3:7) දෙදෙනා අතර යම් මත ගැටුම් ඇති විය හැකි වුණත් ස්වාමිපුරුෂයන්ට උපදෙස් දී තිබෙන්නේ “ඔබේ භාර්යාවන් කෙරෙහි අධික ලෙස කෝප නොවී ඔවුන්ට දිගටම ප්‍රේම කරන්න” කියායි. (කොලොස්සි 3:19) එසේ කටයුතු කරන ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවගේ ගෞරවය සහ ආදරයට පාත්‍ර වන්නේ නැද්ද?

භාර්යාවන්ට බයිබලයේ ලබා දෙන්නේ මෙවැනි උපදෙසක්. ‘භාර්යාවෙනි, ස්වාමීන්ට මෙන් තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. මන්ද, ක්‍රිස්තුස් සභාවේ . . . හිස වන්නාක් මෙන් ස්වාමිපුරුෂයා තම භාර්යාවගේ හිස වන්නේය. . . . භාර්යාව තම ස්වාමිපුරුෂයා කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇතිව සිටිය යුතුය.’ (එෆීස 5:22, 23, 33) එම උපදෙස පිළිපදින භාර්යාවකට ආදරයෙන් සැලකීමට ඇගේ ස්වාමිපුරුෂයා පෙලඹෙන්නේ නැද්ද?

දරුවන්ව හදා වඩා ගැනීම සම්බන්ධයෙන්ද ඉතාමත් වටිනා මඟ පෙන්වීම් බයිබලයේ සපයනවා. දෙමාපියන් වන ඔබට එහි උනන්දු කරන්නේ “ඔබ ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද සයනය කරන කලද නැඟිටින කලද” ඔවුන් සමඟ හොඳින් අදහස් හුවමාරු කරන්න කියායි. (ද්විතීය කතාව 6:7) පවුලේ පියාට විශේෂයෙන්ම උපදෙස් දී තිබෙන්නේ තම දරුවන්ට උසස් සදාචාර ප්‍රමිති උගන්වමින් ආදරයෙන් අවශ්‍ය හික්මවීම් ලබා දෙන්න කියායි. එය බයිබලයේ සඳහන් වන්නේ මෙයාකාරයටයි. “පියවරුනි, ඔබේ දරුවන්ව තරහ නොගස්වා යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න.” (එෆීස 6:4) අනෙක් අතට දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙයයි. “ඔබේ දෙමාපියන්ට කීකරු වන්න. . . . ඔබේ පියාට සහ මවට ගෞරව කරන්න.” *එෆීස 6:1, 2.

එම උපදෙස් ප්‍රයෝජනදායකයි කියා ඔබට සිතෙන්නේ නැද්ද? සමහරවිට ඔබ මෙහෙම කියන්න පුළුවන්. ‘ඔව්. ඒ උපදෙස් හරි හොඳයි, හැබැයි ඉතින් කවුද ඔය කියන ඒවා කරන්නේ?’ එය දැක බලා ගැනීම සඳහා දිනක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවකට එන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි. බයිබලයේ ඇති ඥානවන්ත උපදෙස් තම ජීවිතවලට අදාළ කරගැනීමට උත්සාහ කරන පවුල් බොහොමයක් ඔබට එහිදී හමුවේවි. ඔවුන් සමඟ කතා බහ කරන්න. එම පවුල්වල සාමාජිකයන් එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආකාරය නිරීක්ෂණය කරන්න. බයිබලය සපයන උපදෙස්වලට අනුව ජීවත් වීමෙන් කොතරම් සන්තෝෂයක් අත් වෙනවාද කියා තේරුම්ගන්නට ඔබට වැඩි වේලාවක් යන්නේ නැහැ.

අවංක කඩිසර සේවකයෙක් වන්න

තමන්ගේ රැකියාව රැකගන්නා ආකාරය සම්බන්ධයෙනුත් බයිබලයේ උපදෙස් දී තිබෙනවාද? ඔව්. එහි පවසන්නේ තමා යෙදෙන වෘත්තියේ දක්ෂ පුද්ගලයෙක් අන් අයගේ පැසසුමට ලක් වන අතර ඉන් මහත් ප්‍රයෝජනද ලබන බවයි. බයිබලයේ ලේඛකයෙක් සහ ප්‍රඥාවන්ත රජෙක් වූ සලමොන් වරක් මෙසේ පැවසුවා. “තමාගේ වැඩවල කඩිසර කෙනෙක් දකින්නෙහිද? ඔහු . . . රජුන් ඉදිරිපිට සිටින්නේය.” (හිතෝපදේශ 22:29) නමුත් අනෙක් අතට ‘අලසයාව’ නොහොත් කම්මැළි පුද්ගලයෙකුව දකින අයට, ඔහු ගැන ඇති වන්නේ කෝපයක්. එය හරියට “ඇස්වලට දුම්” යනවා හා සමානයි. (හිතෝපදේශ 10:26) එමනිසා යම් ස්ථානයක රැකියාවක් කරන කෙනෙකුට බයිබලය උනන්දු කරන්නේ අවංකව සහ කඩිසරව වැඩ කරන්න කියායි. ඒ ගැන බයිබලයේ උපදෙස් දෙන්නේ මෙසේයි. “සොරකම් කරන්නා තවදුරටත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට . . . වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කරන්න.” (එෆීස 4:28) සේවය කරන ස්ථානයේ වැඩ බලන නිලධාරීන් නැති අවස්ථාවලදී පවා මෙම උපදෙස අදාළයි. “ඔබේ මාංසික ස්වාමිවරුන්ට සියලු කාරණාවලදී කීකරු වන්න. මූණිච්චාවට මිනිසුන්ව සතුටු කරන්නන් මෙන් නොවී, අවංක සිතින් යෙහෝවා කෙරෙහි භය ඇතිව කීකරු වන්න.” (කොලොස්සි 3:22) ඔබ යටතේ සිටින සේවකයෙක් එම උපදෙස් පිළිපදිනවා නම් ඔබට ඒ සේවකයාව වටින්නේ නැද්ද?

තම සේවකයන්ට සැලකිය යුතු ආකාරය ගැන බයිබලයේ ස්වාමිවරුන්ටත් මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “වැඩ කරන්නා තම කුලිය ලැබීමට වටින්නේය.” (1 තිමෝති 5:18) පුරාණ ඊශ්‍රායෙලයේ සිටි ස්වාමිවරුන්ට දෙවි දුන් නීතියේ පවසා තිබුණේ ඔවුන්ගේ සේවකයන්ට සාධාරණ වැටුපක් ලබා දෙන්න කියායි. මෝසෙස් නමැති බයිබල් ලේඛකයා එය මෙසේ වාර්තා කළා. “ඔබේ ආශ්‍රිතයාට වංචාවක් නොකරන්න. ඔහුගේ දේ කොල්ලකෑමෙන් වළකින්න. කුලීකරුවෙකුගේ දවසේ වැටුප පහුවදා උදෑසන වන තෙක් ඔබ ළඟ තබා නොගන්න.” (ලෙවී කතාව 19:13, NW) එම උපදෙසට කීකරු වෙමින් ඔබගේ සේවයට සරිලන වැටුපක් ලබා දෙන ස්වාමියෙක් යටතේ ඔබ සේවය කරන්නේ සතුටින් නොවේද?

උසස් ගණයේ ප්‍රඥාවක්

මිනිස් ඉතිහාසයේ එතරම් ඈත අතීතයක ලියැවුණු පොතක් වන බයිබලයේ අඩංගු අනර්ඝ උපදෙස් අදටත් එක සේ ප්‍රයෝජනවත් බව දැනගැනීම ඔබගේ පුදුමයට හේතුවක් නොවේද? අනෙකුත් පොත් පත් ගණන් කළ නොහැකි සංඛ්‍යාවක් අභාවයට යද්දී බයිබලයේ ඇති උපදෙස් මේ දක්වා ජීවමානව පැවතීමට හේතුව කුමක්ද? එහි අඩංගු වී ඇත්තේ මිනිසුන්ගේ වචන නොව “දෙවිගේම වචනය” වන නිසයි.—1 තෙසලෝනික 2:13.

දෙවිගේ වචනය වන බයිබලයේ ඇති තොරතුරු හොඳින් අවබෝධ කරගැනීමට උත්සාහ කරන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමතියි. ඔබ එසේ කළොත් බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවි කෙරෙහි මහත් ලැදියාවක් ඔබ තුළ ඇති වේවි. දෙවි දී ඇති උපදෙස් පිළිපදින්න. එවිට හානි සිදු විය හැකි දේවලින් ඔබව ආරක්ෂා වන අතර ජීවිතය වඩාත් සාර්ථක වන ආකාරයද ඔබ දකීවි. එසේ කිරීමෙන් “දෙවිට ළං වන්න” ඔබට හැකි වන අතර ‘ඔහුද ඔබට ළං’ වෙයි. (යාකොබ් 4:8) ඔබට එසේ උපකාර කිරීමට බයිබලයට හැර වෙන කිසිම පොතකට නොහැකියි!

[පාදසටහන]

^ 20 ඡේ. ඔබගේ පවුලට ප්‍රයෝජනවත්, බයිබලයේ ඇති ප්‍රතිපත්ති ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත පවුලේ සන්තෝෂයට රහස යන පොත බලන්න.

[4වන පිටුවේ පින්තූරය]

මත්පැන් භාවිතය ගැන බයිබලයේ දී ඇති උපදෙස් ප්‍රයෝජනවත් කියා ඔබ සිතනවාද?

[5වන පිටුවේ පින්තූරය]

දුම්කොළ භාවිතයෙන් වැළකී සිටින්න කියා බයිබලයේ සපයා ඇති මඟ පෙන්වීමට ඔබ එකඟයිද?

[7වන පිටුවේ පින්තූර]

බයිබලයේ ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් පවුල් ජීවිතය සතුටින් ගත කළ හැකියි

[5වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Globe: Based on NASA photo