Skip to content

පටුනට යන්න

දෙවිව සතුටු කරන පූජා

දෙවිව සතුටු කරන පූජා

දෙවිව සතුටු කරන පූජා

“ජීවිතයේ උල්පත මරණයයි කියා විශ්වාස කළ මෙසෝඅමෙරිකාවල විසූ ඇස්ටෙක්වරුන්, විශාල වශයෙන් මිනිස් ජීවිත පූජාවන් සිදු කළා” කියා එක් පොතක සඳහන් වෙනවා. (The Mighty Aztecs නම් පොත) එහි තවදුරටත් පවසන්නේ මෙසේයි. “අධිරාජ්‍යය බලවත් වීමත් සමඟම එය ශක්තිමත් කරගැනීමට තව තවත් ලේ වැගිරවිය යුතු බව ඔවුන් විශ්වාස කළා.” තවත් පොතක සඳහන් වන්නේ ඔවුන් සෑම වර්ෂයකම මිනිස් ජීවිත 20,000කට ආසන්න සංඛ්‍යාවක් පූජා කළ බවයි.

ඉතිහාසය පුරාම බලන විට මිනිසුන් බිය නිසා හෝ වරදසහගත හැඟීම් නිසා ඔවුන්ගේ දෙවිවරුන්ට විවිධාකාරයේ පුද පූජා ඔප්පු කර තිබෙනවා. ඊට වෙනස්ව මහෝත්තම යෙහෝවා දෙවි විසින් නියම කළ යම් පූජාවන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එමනිසා මෙවන් ප්‍රශ්න සලකා බැලීම යෝග්‍යයි. දෙවිව ප්‍රසන්න කරන පූජාවන් මොනවාද? අද දිනත් පූජා ඔප්පු කිරීම අපගේ නමස්කාරයට ඇතුළත් දෙයක්ද?

සැබෑ නමස්කාරය තුළ සිදු කළ පූජාවන්

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතිය තෝරාගත් විට, ඔවුන් ඔහුට නමස්කාර කළ යුතු ආකාරය ගැන පැහැදිලි උපදෙස් දුන් අතර ඊට පූජා ඔප්පු කිරීම්ද ඇතුළත් වුණා. (ගණන් කතාව 28 සහ 29 පරිච්ඡේද) ඊට භූමියේ පලදාවෙන් කළ පූජාවන් මෙන්ම ගොනුන්, බැටළුවන්, එළුවන්, පරවියන් සහ කොබෙයියන් වැනි සතුන්ව පූජා කිරීමද ඇතුළත්. (ලෙවී කතාව 1:3, 5, 10, 14; 23:10-18; ගණන් කතාව 15:1-7; 28:7) තවත් පූජා මුළුමනින්ම ගින්නෙන් දවන ලද පූජාවක් ලෙස ඔප්පු කළා. (නික්මයාම 29:38-42) ශාන්ති පූජා හෙවත් හවුල් පූජා ලෙස හැඳින්වූ වෙනත් පූජාවන් තිබුණා. එහිදී පූජාව ඔප්පු කළ අය එය අනුභව කිරීමෙන් ඊට හවුල් වුණා.—ලෙවී කතාව 19:5-8.

දෙවි මෝසෙස්ට දුන් නීතිය යටතේ ඔප්පු කළ සියලුම පූජාවන් දෙවිට ඔවුන්ගේ නමස්කාරය පුද කිරීමේ ක්‍රමයක් වුණා. එමගින් මුළු විශ්වයේම පාලකයා හැටියට යෙහෝවා දෙවිව ඔවුන් පිළිගත්තා. තවදුරටත් ඊශ්‍රායෙල්වරුන් දෙවිගෙන් අද්දැක්ක ආශීර්වාද සහ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ ස්තුතිවන්තභාවය පෙන්වීමටත් ඔවුන්ගේ පව්වලට සමාව ලබාගැනීමටත් එම පූජාවන් මගින් හැකි වුණා. එම සෙනඟ දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ විධිවිධානයට විශ්වාසවන්තව සිටි තාක් කල් ඔවුන් මහත් ආශීර්වාද භුක්ති වින්ඳා.—හිතෝපදේශ 3:9, 10.

එවන් පූජා ඔප්පු කිරීමේදී යෙහෝවා දෙවි ඉතා වැදගත් කොට සැලකුවේ පූජා ඔප්පු කරන්නා තුළ තිබූ ආකල්පයයි. තම අනාගතවක්තෘ හොෂෙයා මාර්ගයෙන් දෙවි පැවසුවේ මෙසේයි. “මක්නිසාද මම යාගයට නොව කරුණාවටත් දවන යාගවලට වඩා දෙවි ඇඳිනගැන්මටත් ආශා ඇත්තෙමි.” (හොෂෙයා 6:6) ඊශ්‍රායෙල්වරුන් සැබෑ නමස්කාරය අත්හැර ගොස් නින්දිත හැසිරීමේ යෙදෙමින් අහිංසක ජීවිත විනාශ කරමින් දෙවිගේ පූජාසනය මත පූජා ඔප්පු කළ විට දෙවි ඒවාට කොහෙත්ම ප්‍රසන්න වුණේ නැහැ. යෙසායා මගින් දෙවි එම සෙනඟට මෙලෙස පැවසුවේ ඒ නිසයි. “ඔබ මට පුදන පූජා රාශිය කුමටද? . . . දවන බැටළු පූජාවලින්ද තර වූ සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි. ගොනුන්ගේද බැටළු වස්සන්ගේද එළුවන්ගේද ලෙයට ප්‍රිය නොවෙමි.”—යෙසායා 1:11.

‘මා විසින් අණ නොකළාවූ දේ’

ඊශ්‍රායෙල් සෙනඟ කළ පූජාවන්වලට සම්පූර්ණයෙන්ම වෙනස්ව කානානිවරුන් ඔවුන්ගේ දෙවි දේවතාවුන්ට පූජා කළේ සිතාගන්නවත් බැරි දෙයක්. ඔවුන් තම දරුවන්ව පූජාවක් හැටියට අම්මෝනියයන්ගේ දෙවියෙක් වූ මොලෙක්ට පූජා කළා. ඔහුව මිල්කොම් හෝ මෝලොක් කියාද හඳුන්වනවා. (1 රාජාවලිය 11:5, 7, 33; ක්‍රියා 7:43) එක් අත්පොතක ඒ ගැන සඳහන් වෙන්නේ මෙසේයි. “කානානිවරුන්, ඔවුන්ගේ නමස්කාරයේ අංගයක් හැටියට තමන්ගේ දෙවිවරුන් ඉදිරියේ ලිංගික දුරාචාරයේ යෙදුණා. ඉන්පසු ඔවුන්ගේ කුළුඳුල් දරුවන්ව මරා එම දෙවිවරුන්ට පූජාවක් හැටියට ඔප්පු කළා.”— Halley’s Bible Handbook නම් පොත.

එවැනි පූජාවන්ට යෙහෝවා දෙවි ප්‍රසන්න වුණාද? කිසිසේත්ම නැහැ. ඊශ්‍රායෙල්වරුන් කානාන් දේශයට ඇතුල් වෙන්න සූදානමින් සිටිද්දී යෙහෝවා දෙවි ලෙවී කතාව 20:2, 3හි සඳහන් නියෝගය ඔවුන්ට දුන්නා. එහි සඳහන් වෙන්නේ මෙසේයි. “නැවත ඊශ්‍රායෙල් පුත්‍රයන්ට කතා කරමින් මෙසේ කියන්න: ඊශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් හෝ ඊශ්‍රායෙල්හි විදේශීව වසන අන් රටක වැසියන්ගෙන් හෝ තමාගේ දරුවන්ගෙන් කෙනෙකු මොලෙක්ට දෙන කවරෙක් නමුත් සැබවින් මරනු ලබන්නේය. දේශයෙහි වැසියෝ ඔහුට ගල් ගසන්නෝය. ඔහු මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කරන්ටත් මාගේ ශුද්ධ නාමයට නින්දා කරන්ටත් ඔහු තමාගේ වංශයෙන් මොලෙක්ට දුන් බැවින් ඔහුට විරුද්ධව මාගේ මුහුණ යොමු කොට ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු සිඳ දමන්නෙමි.”

පුදුමයට හේතු කරවමින් සමහර ඊශ්‍රායෙල්වරුන්ද සැබෑ නමස්කාරය අත්හැර ගොස් භූතයන් හා සම්බන්ධ ක්‍රියාවක් වන බොරු දෙවිවරුන්ට තම දරුවන්ව පූජා කිරීමේ හවුල් වුණා. ඒ සම්බන්ධයෙන් ගීතාවලිය 106:35-38 පවසන්නේ මෙලෙසයි. “අන්‍යජාතීන් හා මිශ්‍රව ඔවුන්ගේ ක්‍රියා ඉගෙනගත්තෝය. ඔවුන්ගේ රූපවලට මෙහෙ කළෝය. ඒවාද ඔවුන්ට මලපතක් විය. එසේය, ඔවුහු තමන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද යක්ෂයින්ට පූජා කළෝය. ඔවුහු නිදොස් ලේ, එනම් කානාන්හි රූපවලට පූජා කරනු ලැබූ තමන්ගේ පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් ලේ වැගිරෙවූවෝය. දේශය ලේවලින් කිලුටු විය.”

එම පිළිකුල් ක්‍රියාවට තම දැඩි අප්‍රසාදය පළ කරමින් යෙහෝවා දෙවි තම අනාගතවක්තෘ යෙරෙමියා මගින් යූදාවරුන්ට පැවසුවේ මෙයයි. “ඔවුහු මාගේ නාමය දරන ගෘහය කිලුටු කරන්ට ඔවුන්ගේ පිළිකුල් දේ එහි තැබුවෝය. මා විසින් ඔවුන්ට අණ නොකළාවූ නොසිතුවාවූ දේ, එනම් තමන්ගේ පුත්‍රයන් සහ දූවරුන් ගින්නෙහි දවන්නට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතේ තෝපෙත් නම් උස් තැන් ගොඩනැඟුවෝය.”—යෙරෙමියා 7:30, 31.

ඊශ්‍රායෙල් ජාතිය එවැනි පිළිකුල් ක්‍රියා කළ නිසා, අවසානයේදී දෙවිගේ අනුමැතිය ඔවුන්ට අහිමි වුණා. එහි අගනුවර වූ යෙරුසලම විනාශ වූ අතර එහි සිටි සෙනඟව බැබිලෝනියේ වහල්භාවයට රැගෙන ගියා. (යෙරෙමියා 7:32-34) මිනිස් ජීවිත පූජා කිරීමේ ක්‍රියාව සැබෑ දෙවි යෙහෝවා නියම කළ දෙයක් නොවූ අතර එය සැබෑ නමස්කාරයේ කොටසක්ද නොවේ. ඕනෑම ආකාරයක මිනිස් ජීවිත පූජා කිරීමක් භූත ක්‍රියාවලට සම්බන්ධයි. ඒ නිසා දෙවිගේ නමස්කාරකයන් ඒ හා සම්බන්ධ සෑම ක්‍රියාවක්ම ප්‍රතික්ෂේප කරනවා.

ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව

කෙසේනමුත් සමහරුන් මෙසේ අසන්න පුළුවන්. ‘ඇයි එහෙනම් ඊශ්‍රායෙල්වරුන්ට දුන් දෙවිගේ නීතිය තුළ සතුන්ව පූජා කරන්න කියා නියම කළේ?’ එම ප්‍රශ්නයට පිළිතුරු පාවුල්ගේ මෙම වචන තුළින් සොයාගන්න පුළුවන්. “එසේනම්, නීතිය කුමකටද? එය එකතු කරන ලද්දේ පොරොන්දුව ලැබූ වංශය පැමිණෙන තෙක් වරද පෙන්වා දෙන පිණිසය. . . . නීතිය අපව ක්‍රිස්තුස් ළඟට ගෙන යන අපේ උපදේශකයා බවට පත් වී තිබේ.” (ගලාති 3:19-24) මෝසෙස්ට දුන් නීතිය තුළ තිබූ සත්ව පූජාවලින් සංකේතවත් කළේ, මිනිස් වර්ගයා වෙනුවෙන් යෙහෝවා දෙවි ලබා දෙන වඩා උතුම් පූජාව වන ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වයි. දෙවිගේ එම ප්‍රේමණීය ක්‍රියාව ගැන සඳහන් කරමින් යේසුස් පැවසුවේ මෙයයි. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16.

මනුෂ්‍ය වර්ගයා කෙරෙහි සහ යෙහෝවා දෙවි කෙරෙහි ඇති ප්‍රේමය නිසා ආදම්ගෙන් පැවත එන්නන් සඳහා තමාගේ පරිපූර්ණ ජීවිතය පූජා කිරීමට යේසුස් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. (රෝම 5:12, 15) යේසුස් ඒ ගැන පැවසුවේ, “එලෙසම මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොව, සේවය කිරීමටත් බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීමටත්ය” කියායි. (මතෙව් 20:28) ආදම් කළ පාපය නිසා උරුම වූ පව්කාර තත්වයෙන් සහ මරණයෙන් මිනිසුන්ව මුදවාගැනීමට හැකි කිසිවෙක් මේ පොළොව මත සිටියේ නැහැ. (ගීතාවලිය 49:7, 8) එමනිසා යේසුස් “ඇතුල් වූයේ, එළුවන්ගෙවත් වස්සන්ගෙවත් ලේ රැගෙන නොව, තමාගේම ලේ රැගෙනය. සදහටම සරිලන සේ, ඔහු එක් වරක් ශුද්ධ ස්ථානයට ඇතුල් වී අප උදෙසා සදාකාල මිදීම ලබාගත්තේය” කියා පාවුල් විස්තර කළා. (හෙබ්‍රෙව් 9:12) දෙවි, යේසුස් වැගිරෙවූ රුධිරය පිළිගත් නිසා, ‘අපට විරුද්ධව සාක්ෂි දැරූ, අතින් ලියන ලද ලියවිල්ල මකා’ දැම්මා. එයින් අදහස් කරන්නේ දෙවි මෝසෙස්ට දුන් නීතිය හා එය යටතේ පැවති පූජා අහෝසි කර ‘සදාකාල ජීවනය නම් තෑග්ග’ ලබාගැනීමේ ප්‍රස්තාව උදා කළ බවයි.—කොලොස්සි 2:14; රෝම 6:23.

අද දින සිදු කරන පූජා

සත්ව පූජා සහ අනෙකුත් සියලුම පූජා තවදුරටත් අපගේ නමස්කාරයේ අංගයක් නොවේ. නමුත් අප විසින් ඔප්පු කළ යුතු වෙනත් පූජා තිබෙනවාද? ඔව්. යේසුස් ඔහුගේ මුළු ජීවිතයම ගත කළේ යෙහෝවා දෙවිට සේවය කිරීම සඳහායි. ඒ විතරක් නොවෙයි, අවසානයේදී තමන්ගේ ජීවිතය මිනිස් වර්ගයා වෙනුවෙන් පූජා කිරීමට තරම් ඔහු පරාර්ථකාමී වුණා. එමනිසයි ඔහුට මෙසේ කීමට හැකි වුණේ. “යමෙකුට මා අනුව එන්න ඕනෑ නම්, ඔහු තමාවම නොසලකා තම වධකණුව ගෙන, දිගටම මා අනුව ඒවා!” (මතෙව් 16:24) ඉන් අදහස් කරන්නේ යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට කැමති ඕනෑම කෙනෙක් යම් ආකාරයක පූජාවන් ඉදිරිපත් කළ යුතු බවයි. ඒවා මොනවාද?

යේසුස්ව අනුගමනය කරන කෙනෙක් ඔහුගේ ජීවිතයේ මුල් තැන දෙන්නේ දෙවි ඔහුගෙන් බලාපොරොත්තු වන දේ ඉටු කිරීමටයි. එමනිසා ඔහුගේ පෞද්ගලික ආශාවන් ඔහු පසෙකට දමනවා. එය දෙවිට කළ හැකි එක් ආකාරයක පූජාවක්. එය පාවුල් විස්තර කරන්නේ මෙසේයි. “එබැවින් සහෝදරයෙනි, ඔබේ ශරීර ජීවමාන වූද, ශුද්ධ වූද, දෙවිට පිළිගත හැකි වූ පූජාවක් ලෙසද, ඔබේ කල්පනා ශක්තිය භාවිත කර පරිශුද්ධ සේවයක් ලෙසද ඔප්පු කරන මෙන් දෙවිගේ දයානුකම්පාව නිසා මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි. තවද, මේ සමාජ ක්‍රමයට අනුව හැඩගැසීමෙන් වැළකී, දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්දැයි තමුන්ටම ඔප්පු කරගන්නා පිණිස, ඔබේ මනස අලුත් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න.”—රෝම 12:1, 2.

තවදුරටත්, යෙහෝවා දෙවිට අපි කරන ප්‍රශංසාද ඔහුට පිරිනමන පූජාවක් හැටියට සැලකිය හැකි බව බයිබලයේ පෙන්වනවා. අනාගතවක්තෘ හොෂෙයා තොල්වල පූජාවන් සමාන කළේ, “ගොනුන්” පූජා කිරීමක් හැටියටයි. ඉන් අදහස් කළේ අපගේ තොල්වලින් යෙහෝවා දෙවිට කරන ප්‍රශංසාවන් ඔහු සලකන්නේ අපි ඉදිරිපත් කරන ඉතා වටිනා පූජාවක් ලෙසයි. (හොෂෙයා 14:2) පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ “දෙවිගේ නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තොල්වල පල වන ප්‍රශංසාව නමැති පූජාව නිතරම දෙවිට ඔප්පු කරමු” කියායි. (හෙබ්‍රෙව් 13:15) ඊට එකඟ වෙමින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය දේශනා කිරීමේ සහ මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යයේ කඩිසරව යෙදෙනවා. (මතෙව් 24:14; 28:19, 20) එයාකාරයෙන් ඔවුන් ලොව පුරා දිවා රෑ දෙකේම දෙවිට ප්‍රශංසාව නමැති පූජාව ඔප්පු කරමින් සිටිනවා.—එළිදරව් 7:15.

ශුභාරංචිය දේශනා කරන අතරම අන් අයගේ යහපත වෙනුවෙන් දේවල් කිරීමත් දෙවිව ප්‍රසන්න කරන ආකාරයේ පූජාවක්. “යහපත කිරීමටද අනුන් සමඟ දේවල් බෙදා හදා ගැනීමටද අමතක නොකරන්න. මන්ද, එවැනි පූජා ගැන දෙවි සතුටු වන්නේය” කියා පාවුල් පැවසුවා. (හෙබ්‍රෙව් 13:16) එවන් පූජා මගින් යෙහෝවා දෙවිව සතුටු කිරීමට නම් ඒවා ඉදිරිපත් කරන අය දෙවි අනුමත කරන ආකාරයේ ජීවිතයක් ගත කිරීම අවශ්‍යයි. ඒ ගැන පාවුල් උනන්දු කළේ මෙසේයි. “ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියට ඔබින ලෙසම හැසිරෙන්න.”—ෆිලිප්පි 1:27; යෙසායා 52:11.

එදා මෙන් අදත් දෙවිට කරන සැබෑ නමස්කාරයේ අංගයක් ලෙස ඉදිරිපත් කරන පූජාවන් මගින් මහත් සන්තෝෂයක් සහ යෙහෝවා දෙවිගෙන් ආශීර්වාදද ලබාගත හැකියි. එමනිසා යෙහෝවා දෙවිව සතුටු කරන පූජාවන් ඔප්පු කිරීමට අපට කළ හැකි සෑම දෙයක්ම කරමු!

[18වන පිටුවේ පින්තූරය]

‘ඔවුහු තමන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද කානාන්හි රූපවලට පූජා කරනු ලැබූවා’

[20වන පිටුවේ පින්තූර]

ශුභාරංචිය දේශනා කරන අතරම අන් අයගේ යහපත වෙනුවෙන් දේවල් කිරීමෙනුත් සැබෑ ක්‍රිස්තියානීන් දෙවිට ප්‍රසන්න ආකාරයේ පූජාවන් ඉදිරිපත් කරනවා