Skip to content

පටුනට යන්න

ප්‍රේමණීය එඬේරුන්ට කැමැත්තෙන්ම යටත් වීම

ප්‍රේමණීය එඬේරුන්ට කැමැත්තෙන්ම යටත් වීම

ප්‍රේමණීය එඬේරුන්ට කැමැත්තෙන්ම යටත් වීම

“ඔබ අතරේ පෙරමුණ ගන්නාවූ අයට කීකරුව සිටින්න. යටත්ව සිටින්න.”—හෙබ්‍රෙව් 13:17.

1, 2. යෙහෝවා දෙවි සහ යේසුස් ප්‍රේමණීය එඬේරුන් බව පෙන්වන්නේ කුමන බයිබල් පදවලින්ද?

යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් යන දෙදෙනාම ප්‍රේමණීය එඬේරුන්. යෙසායා ඒ ගැන පුරෝකථනය කළේ මෙසේයි. “බලව, ස්වාමි වූ යෙහෝවා බලවන්තයෙකු මෙන් එන්නේයයි කියන්න. ඔහුගේ හස්තයද ඔහු උදෙසා ආණ්ඩු කරන්නේය. . . . ඔහු එඬේරෙකු මෙන් තමන් රැළට කවන්නේය. තමන් අතින් බැටළු පැටවුන් එක්කොට ගෙන තමන් ළයේ දරමින් කිරිදෙන බැටළුදෙනුන් හෙමින් දක්කා ගෙන යන්නේය.”—යෙසායා 40:10, 11.

2 එම අනාවැකිය මුලින්ම ඉටු වුණේ ක්‍රි.පූ. 537දී යුදෙව්වන්ගෙන් ඉතිරි කොටසක් යුදයට නැවත පැමිණීමත් සමඟයි. (2 ලේකම් 36:22, 23) යෙසායාගේ එම අනාවැකිය තවත් ආකාරයකින් ඉටු වුණා. එනම් අභිෂේක ලත් ඉතිරි අයව 1919දී උතුම් කෝරෙෂ් හෙවත් සයිරස් වන යේසුස් ක්‍රිස්තුස් විසින් ‘මහ බැබිලෝනියේ’ වහල්භාවයෙන් මුදවාගත් විටයි. (එළිදරව් 18:2; යෙසායා 44:28) යෙහෝවා දෙවි තමාගේ බැටළුවන්ව රැස් කිරීමට, රැකබලා ගැනීමට සහ පාලනය කිරීමට යොදාගන්නේ තම “හස්තය” වන යේසුස්වයි. යේසුස්ම ඒ ගැන පැවසුවේ මෙසේයි. “උතුම් එඬේරා මමය. මම මාගේ බැටළුවන් හඳුනමි. මාගේ බැටළුවෝද මාව හඳුනති.”—යොහන් 10:14.

3. යෙහෝවා දෙවි, තම බැටළුවන්ට සලකන ආකාරයෙන් ඔහුගේ ප්‍රේමණීය සැලකිල්ල දැකිය හැක්කේ කෙසේද?

3 යෙහෝවා දෙවි තම සෙනඟව ප්‍රේමණීයව රැකබලා ගන්නා ආකාරය ගැන යෙසායා 40:10, 11හි මනාව විස්තර කර තිබෙනවා. (ගීතාවලිය 23:1-6) යේසුස්ද පොළොව මත සේවය කරද්දී ඔහුගේ ගෝලයන්ට පමණක් නොව පොදුවේ සියලුදෙනා කෙරෙහිම ප්‍රේමණීය සැලකිල්ලක් දැක්වුවා. (මතෙව් 11:28-30; මාක් 6:34) තමාගේ රැළ වන සෙනඟව සූරාකමින් ඔවුන්ව නොසලකාහැරිය ඊශ්‍රායෙල්හි එඬේරුන්ව, නැතිනම් නායකයන්ව යෙහෝවා දෙවි සහ යේසුස් දැඩි ලෙස හෙළාදැක්කා. (එසකියෙල් 34:2-10; මතෙව් 23:3, 4, 15) යෙහෝවා දෙවි මෙවැනි දෙයක් පොරොන්දු කළා. “මම මාගේ රැළ ගලවන්නෙමි. උන් තවත් ගොදුරක් නොවන්නෝය. මම සිව්පාවුන් සහ සිව්පාවුන් අතරේ විනිශ්චය කරන්නෙමි. මම ඔවුන්ට එක එඬේරෙකු පත් කරන්නෙමි. ඔහු, එනම් මාගේ මෙහෙකරු වූ දාවිත් ඔවුන් පෝෂ්‍යය කරන්නේය. ඔහු ඔවුන් පෝෂ්‍යය කොට ඔවුන්ගේ එඬේරා වන්නේය.” (එසකියෙල් 34:22, 23) මෙම අන්තිම දවස්වල, යෙහෝවා දෙවි පොළොව මත සිටින ඔහුගේ සේවකයන් වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සහ “වෙනත් බැටළුවන්” කෙරෙහි “එක එඬේරෙකු” ලෙස උතුම් දාවිත් වන යේසුස් ක්‍රිස්තුස්ව පත් කර තිබෙනවා.—යොහන් 10:16.

යෙහෝවා දෙවිගෙන් ලද තෑගි

4, 5. (අ) පොළොව මත සිටින ඔහුගේ සෙනඟට යෙහෝවා දී ඇත්තේ කුමන වටිනා ත්‍යාගයද? (ආ) තම සභාවට යේසුස් දී ඇති ත්‍යාගය කුමක්ද?

4 යෙහෝවා දෙවි ‘එක එඬේරෙක්’ වන යේසුස්ව පත් කිරීමෙන් ක්‍රිස්තියානි සභාවට අගනා ත්‍යාගයක් දුන්නා. මෙම ස්වර්ගික නායකයා ගැන යෙසායා 55:4හි පුරෝකථනය කළේ මෙසේයි. “බලව, මම ඔහු වර්ගයන්ට සාක්ෂියක් කොටද වර්ගයන්ට නායකයෙකු සහ විධානකරන්නෙකු කොටද දුනිමි.” අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව සහ ‘මහත් සමූහයේ’ සාමාජිකයන්ව එක් රැස් කරන්නේ සියලුම ජාතීන්ගෙන්, ගෝත්‍රයන්ගෙන්, ජනයාගෙන් සහ භාෂාවන්ගෙනුයි. (එළිදරව් 5:9, 10; 7:9) මෙසේ ‘එක එඬේරෙක්’ වන යේසුස් ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ ඔවුන් “එක රැළක්” බවට පත් වෙනවා.

5 යේසුස්ද පොළොව මත තිබෙන ඔහුගේ සභාවට අගනා තෑග්ගක් ලබා දී තිබෙනවා. එය නම් යෙහෝවා දෙවි සහ යේසුස් මෙන් මෘදුකමින් තම රැළ රැකබලා ගන්නා විශ්වාසවන්ත එඬේරුයි. එෆීසයේ ක්‍රිස්තියානීන්ට ලියූ තම ලිපියේදී පාවුල් මෙම ත්‍යාගය ගැන මෙසේ සඳහන් කළා. “‘ඔහු ඉහළට නැඟුණු කල, වහලුන්ව ගෙන ගොස් පුරුෂයන්ව තෑගි වශයෙන් දුන්නේය.’ ඔහු සමහරුන්ව ප්‍රේරිතයන් ලෙසද, සමහරුන්ව අනාගතවක්තෘවරුන් ලෙසද, සමහරුන්ව එවැන්ජලිස්තවරුන් ලෙසද, සමහරුන්ව එඬේරුන් ලෙසද ගුරුවරුන් ලෙසද දුන්නේය. ඔවුන්ව දී ඇත්තේ ශුද්ධ තැනැත්තන්ව නිවැරදි මාර්ගයට ගෙන ඒම සඳහාත්, සේවය සඳහාත්, ක්‍රිස්තුස්ගේ ශරීරය වර්ධනය කිරීම සඳහාත්ය.”—එෆීස 4:8, 11, 12.

6. එළිදරව් 1:16, 20හි වැඩිමහල්ලන් ලෙස සේවය කරන අභිෂේක ලත් සාමාජිකයන්ව විස්තර කර තිබෙන්නේ කෙසේද? එමෙන්ම වෙනත් බැටළුවන්ට අයත් වැඩිමහල්ලන් ගැන කුමක් කිව හැකිද?

6 යෙහෝවා දෙවි සහ යේසුස් එම ‘තෑගි වශයෙන් දුන් පුරුෂයන්’ වන වැඩිමහල්ලන්ව තම බලය තුළින් පත් කර තිබෙන්නේ තම රැළ මෘදුකමින් යුතුව රැකබලා ගැනීමටයි. (ක්‍රියා 20:28, 29) මුල් සියවසේ, එම වැඩිමහල්ලන්ට අයත් වුණේ අභිෂේක ලත් ක්‍රිස්තියානි පුරුෂයන් පමණයි. එම වැඩිමහල්ලන්ව එළිදරව් 1:16, 20හි සංකේතාත්මක ලෙස දක්වා තිබෙන්නේ යේසුස්ගේ දකුණතේ තිබෙන “තාරකා”, නැතිනම් සිටින “දූතයන්” ලෙසයි. ඉන් අදහස් කරන්නේ ඔවුන් යේසුස්ගේ පාලනය යටතේ සිටින බවයි. අභිෂේක ලත් වැඩිමහල්ලන්ගේ සංඛ්‍යාව අඩු වෙමින් තිබෙන නිසා දැන් සභාවල සිටින වැඩිමහල්ලන්ගෙන් වැඩිදෙනෙක්, වෙනත් බැටළුවන්ට අයිති අයයි. එම වැඩිමහල්ලන්ව පත් කරනු ලබන්නේ දෙවිගේ බලයේ මඟ පෙන්වීම මත පාලක මණ්ඩලය විසින් පත් කර ඇති නියෝජිතයන් විසිනුයි. ඔවුන්ව දෙවිගේ බලයෙන් පත් කරන නිසා ඔවුන්ද යහපත් එඬේරා වන යේසුස් ක්‍රිස්තුස්ගේ මඟ පෙන්වීම යටතේ සිටිනවා කියා කිව හැකියි. (යෙසායා 61:5, 6) අපගේ සභාවල සිටින වැඩිමහල්ලන්ද සභාවේ හිස වන ක්‍රිස්තුස්ට යටත්ව සිටින නිසා ඔවුන් අපගේ පූර්ණ සහයෝගය ලැබීමට වටිනවා.—කොලොස්සි 1:18.

කීකරුකම සහ යටත්කම පෙන්වීම

7. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් කෙරෙහි අපිට තිබෙන්න අවශ්‍ය ආකල්පය ගැන පාවුල් පැවසුවේ කුමක්ද?

7 සභාව තුළ වගකීම් දැරීමට පත් කර ඇති එඬේරුන්ට කීකරුකම සහ යටත්කම දැක්වීම, ස්වර්ගයේ සිටින එඬේරුන් වන යෙහෝවා දෙවි සහ යේසුස් අපගෙන් බලාපොරොත්තු වෙනවා. (1 පේතෘස් 5:5) දෙවිගේ බලයෙන් පෙලඹුණු පාවුල් මෙසේ ලිව්වා. “දෙවිගේ වචනය ඔබට පැවසුවාවූ, ඔබ අතරේ පෙරමුණ ගන්නාවූ අයව සිහි කරන්න. ඔවුන්ගේ හැසිරීමෙන් අත් වන ප්‍රතිඵලය දෙස හොඳින් බලා ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරන්න. ඔබ අතරේ පෙරමුණ ගන්නාවූ අයට කීකරුව සිටින්න. යටත්ව සිටින්න. මන්ද ඔවුහු ඔබ ගැන ගණන් දිය යුතු අය හැටියට ඔබව රැකබලා ගන්නෝය. එවිට ඔවුන්ට එය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වන්නේය. මන්ද, ඔවුන් එය සුසුම්ලමින් කළොත් ඔබට හානිදායක වන්නේය.”—හෙබ්‍රෙව් 13:7, 17.

8. ‘හොඳින් බලන්න’ කියා පාවුල් අපෙන් ඉල්ලා සිටින්නේ කුමක් දෙසද? අප “කීකරු” විය යුත්තේ කෙසේද?

8 එහිදී පාවුල් අපෙන් ඉල්ලා සිටින්නේ විශ්වාසවන්ත වැඩිමහල්ලන්ගේ හැසිරීමෙන් අත් වන ප්‍රතිඵල දෙස ‘හොඳින් බලන්න’ නැතිනම් ඒ කෙරෙහි හොඳ අවධානයක් දී ඔවුන්ව අනුකරණය කරන්න කියායි. ඒ වගේම පත් කර ඇති වැඩිමහල්ලන් දෙන මඟ පෙන්වීම්වලට කීකරුව යටත් වන්න කියාද ඔහු තවදුරටත් උපදෙස් දෙනවා. බයිබල් විශාරදයෙක් වන ආර්. ටී ෆ්‍රාන්ස් විස්තර කරන්නේ “කීකරුව සිටින්න” කියා මෙහි පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය, “සාමාන්‍යයෙන් ‘කීකරුකම’ විස්තර කිරීමට යොදාගන්නා වචනය නොවෙයි. ඒ වෙනුවට එහි යොදාගෙන තිබෙන වචනය පරිවර්තනය කළ විට එහි තේරුම වෙන්නේ, කෙනෙක් කීකරු වීමට ‘පෙලඹෙනවා’ යන්නයි. ඉන් අදහස් කරන්නේ ඔහු ඔවුන්ගේ නායකත්වය කැමැත්තෙන්ම පිළිගන්නා බවයි.” වැඩිමහල්ලන්ට කීකරු වෙන්න කියා දෙවි ඔහුගේ වචනය තුළින් මඟ පෙන්වා තිබෙනවා. ඒ වගේම දේවරාජ්‍යය හා සම්බන්ධ කටයුතුවලට ඔවුන් දක්වන උනන්දුවත් අප සෑම කෙනෙකුගේම යහපත වෙනුවෙන් ඔවුන් දක්වන පෞද්ගලික සැලකිල්ලත් නිසා අපි ඔවුන්ට කීකරුකම දැක්වීමට පෙලඹෙනවා. ඇත්තෙන්ම ඔවුන්ගේ මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම කීකරු වෙනවා නම් අපි ඉන් ප්‍රීතිය අද්දකිනවා.

9. කීකරු වෙනවාට අමතරව ‘යටත් වීම’ අවශ්‍ය ඇයි?

9 යම් කාරණාවලදී වැඩිමහල්ලන් අපිට ලබා දෙන මඟ පෙන්වීම් පිළිගැනීමට අමාරුයි කියා සිතෙන විට අපි කුමක් කළ යුතුද? යටත්කම අවශ්‍ය වන්නේ එවැනි අවස්ථාවලදීයි. ලබා දෙන මඟ පෙන්වීම්වලට එකඟ වීමට හැකි නම්, ඒවා අපිට පිළිගත හැකි තත්වයක තිබෙනවා නම් ඊට කීකරු වෙන එක අපහසු දෙයක් නොවෙයි. නමුත් යම් මඟ පෙන්වීමක් දුන්නේ ඇයි කියා හරියටම තේරුම්ගැනීමට අපිට නොහැකි අවස්ථාවලදී පවා අපි එය පිළිගන්නවා නම් ඉන් පෙන්වන්නේ අපි ඇත්තටම යටත් වෙන බවයි. පේතෘස් පවා එක් අවස්ථාවකදී එවැනිම යටත්කමක් පෙන්වුවා.—ලූක් 5:4,5.

සහයෝගය දැක්විය යුතු වීමට හේතු හතරක්

10, 11. වැඩිමහල්ලන් එදා සිටි ක්‍රිස්තියානීන්ට ‘දෙවිගේ වචනය පැවසුවේ’ කෙසේද? එමෙන්ම අද එය කරන්නේ කෙසේද?

10 ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට අපි කීකරු විය යුතු හේතු හතරක් කලින් සඳහන් කළ හෙබ්‍රෙව් 13:7 සහ 17හි සඳහන් වෙනවා. ඉන් පළමු හේතුව වන්නේ ඔවුන් අපට ‘දෙවිගේ වචනය පැවසීමයි.’ යේසුස් සභාවට “පුරුෂයන්ව තෑගි වශයෙන්” දුන්නේ “ශුද්ධ තැනැත්තන්ව නිවැරදි මාර්ගයට ගෙන ඒම” සඳහා බව ඔබට මතකද? (එෆීස 4:11, 12) යේසුස්, තම විශ්වාසවන්ත වැඩිමහල්ලන්ව යොදාගෙන පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන්ගේ ආකල්ප සහ හැසිරීම් නිවැරදි කළා. එම වැඩිමහල්ලන්ගෙන් සමහරුන්ව, සභාවලට අවශ්‍ය මඟ පෙන්වීම් ඇතුළත් ලිපි ලිවීමට පවා යොදාගනු ලැබුවා. මුල් ක්‍රිස්තියානි සභාවට මඟ පෙන්වීමටත් එය ශක්තිමත් කිරීමටත් යේසුස් එම පුරුෂයන්ව යොදාගත්තා.—1 කොරින්ති 16:15-18; 2 තිමෝති 2:2; තීතස් 1:5.

11 අද දිනත් යේසුස්, ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව’ නියෝජනය කරන පාලක මණ්ඩලය තුළින් සහ වැඩිමහල්ලන් තුළින්ද අපට මඟ පෙන්වනවා. (මතෙව් 24:45) “ප්‍රධාන එඬේරා” වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි අපට තිබෙන ඉමහත් ගෞරවය නිසා පාවුල්ගේ මෙම උපදෙසට අපි කීකරු වෙනවා. ‘ඔබ අතරේ වෙහෙසී වැඩ කරන, ස්වාමීන් තුළ ඔබ කෙරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන, ඔබට දැනමුතුකම් දෙන අයට සැලකිල්ල දක්වන්න.’—1 පේතෘස් 5:4; 1 තෙසලෝනික 5:12; 1 තිමෝති 5:17.

12. වැඩිමහල්ලන් ‘අපව රැකබලා ගන්නේ’ කෙසේද?

12 ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට අපගේ සහයෝගය දැක්විය යුතු දෙවන හේතුව නම් ‘ඔවුන් අපව රැකබලා ගැනීමයි.’ දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වයට හානි පමුණුවන ආකාරයේ ආකල්පයක් හෝ හැසිරීමක් අප තුළ දුටු විගස අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමට ඔවුන් නිතරම සූදානම්. (ගලාති 6:1) “රැකබලා ගැනීම” යන්නට ඇති ග්‍රීක වචනය පරිවර්තනය කළ විට එහි තේරුම් වන්නේ “නිදා නොගෙන සිටීම” යන්නයි. එක් බයිබල් විශාරදයෙකුට අනුව ඉන් “අදහස් වන්නේ එඬේරාගේ නිරන්තර අවධානයයි.” අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට උපකාර කරනවාට අමතරව අපගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමේදී ඔවුන්ට සමහරවිට නිදිමැරීමට පවා සිදුවිය හැකියි. ඒ නිසා “බැටළුවන්ගේ උතුම් එඬේරා” වන යේසුස් මෙන් අප කෙරෙහි ප්‍රේමණීය සැලකිල්ලක් දැක්වීමට තම උපරිමයෙන් වෙහෙස වන වැඩිමහල්ලන් සමඟ අපි සහයෝගයෙන් කටයුතු කළ යුතු නොවේද?—හෙබ්‍රෙව් 13:20.

13. වැඩිමහල්ලන් සහ සියලුම ක්‍රිස්තියානීන් ගණන් දිය යුත්තේ කාටද? එමෙන්ම කුමන ආකාරවලින්ද?

13 අපි ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට සහයෝගය දැක්විය යුතු තුන්වන හේතුව වන්නේ ඔවුන් අපි ගැන “ගණන් දිය යුතු අය හැටියට” අපව රැකබලා ගැනීමයි. තමුන් සේවය කරන්නේ ස්වර්ගික එඬේරුන් වන යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් යටතේ බව මෙම වැඩිමහල්ලන් මතක තබාගන්නවා. (එසකියෙල් 34:22-24) බැටළුවන්ගේ හෙවත් සෙනඟගේ අයිතිකරු යෙහෝවා දෙවි වන අතර ඔවුන්ට “ආදරෙන්” සැලකීම දෙවි වැඩිමහල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම දෙවි තම සේවකයන්ව “තමාගේම පුත්‍රයාගේ ලෙයින් මිලට ගත්” නිසා, ඔවුන්ට සලකන ආකාරය ගැන වැඩිමහල්ලන් දෙවිට ගණන් දිය යුතුයි. (ක්‍රියා 20:28, 29) ඒ අනුව බලන විට අප සියලුදෙනාම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට දක්වන ප්‍රතිචාරය ගැන ඔහුට ගණන් දිය යුතුයි. (රෝම 14:10-12) අපි වැඩිමහල්ලන්ට කීකරු වීමෙන් පෙන්වන්නේ සභාවේ හිස වන ක්‍රිස්තුස්ට යටත් වන බවයි.—කොලොස්සි 2:19.

14. ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට “සුසුම්ලමින්” සේවය කිරීමට හේතු විය හැක්කේ කුමක්ද? එහි ප්‍රතිඵල කුමක් විය හැකිද?

14 අපි වැඩිමහල්ලන්ට කැමැත්තෙන්ම යටත් විය යුතු හතරවන හේතුව පාවුල් මෙසේ ගෙනහැර දක්වනවා. “ඔවුන්ට එය සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් කිරීමට හැකි වන්නේය. මන්ද, ඔවුන් එය සුසුම්ලමින් කළොත් ඔබට හානිදායක වන්නේය.” (හෙබ්‍රෙව් 13:17) ඉගැන්වීම, එඬේර බැහැදැකීම්, දේවසේවයේ පෙරමුණ ගැනීම, තමන්ගේම පවුලේ අයගේ අවශ්‍යතාවන් පිරිමැසීම, සභාවේ ප්‍රශ්න ගැටලු හැසිරවීම වැනි බරපතළ වගකීම් දැරීමෙන් විශාල කාර්යභාරයක් මෙම වැඩිමහල්ලන් ඉටු කරනවා. (2 කොරින්ති 11:28, 29) අපි ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකළොත් ඉන් අමතර බරක් ඔවුන් පිට පැටවෙනවා. එය ඔවුන්ගේ ‘සුසුම්ලෑමට’ හේතු විය හැකියි. එපමණක් නොවෙයි, යෙහෝවා දෙවිද ඒ ගැන අසතුටු වන අතර එය අපටද හානිදායක විය හැකියි. නමුත් අනෙක් අතට අපි ඔවුන්ට නිසි ගෞරවය සහ සහයෝගය දැක්වීම, ඔවුන්ට ප්‍රීතියෙන් රැළ රැකබලා ගැනීමට හැකි කරවයි. ඒ මගින් සභාව තුළ ඇති එක්සත්කම වැඩි වන අතර ප්‍රීතියෙන් යුතුව ශුභාරංචිය දේශනා කිරීමටද හැකි වෙයි.—රෝම 15:5, 6.

අපගේ යටත්කම පෙන්වීම

15. අපගේ කීකරුකම සහ යටත්කම පෙන්විය හැක්කේ කෙසේද?

15 වැඩිමහල්ලන්ට අපගේ සහයෝගය දැක්විය හැකි ආකාර බොහොමයක් තිබෙනවා. අප සේවය කරන බලප්‍රදේශයේ තත්වයන්ට අනුව වේලාව හෝ ස්ථානය, නැතිනම් සේවයේ යෑමට පෙර පවත්වන රැස්වීමේ යම් වෙනස්කම් සිදු කළ හැකියි. සමහරවිට ඊට අනුව සකස් වීමට ඔබට සිදුවෙයි. එය කිරීමට ඔබ සූදානම්ද? එම සැලසුම්වලට අපගේ සහයෝගය දක්වමු. එසේ කළොත් අපි නොසිතන ආකාරයේ ආශීර්වාද ලැබෙයි. සේවා අවේක්ෂක ඔබගේ පොත් පාඩම් කණ්ඩායම බැහැදකින විට කුමක් කළ හැකිද? එම සතිය තුළ අපගේ උපරිමයෙන් සේවයේ හවුල් වීමට උත්සාහ කරමු. දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පැවරුමක් ඔබට මෑතකදී ලැබුණාද? එය සූදානම් වී හොඳින් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන්න. රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීම යෙදී ඇත්තේ ඔබගේ පොත් පාඩම් කණ්ඩායමට බව පොත් පාඩම් අවේක්ෂක දැනුම් දුන්නාද? අපගේ තත්වයන්ට අනුව ඊට උපරිම සහයෝගය ලබා දෙමු. එවැනි බොහෝ ආකාරවලින් යෙහෝවා දෙවි සහ යේසුස් පත් කර ඇති එඬේරුන්ට අපගේ යටත්කම පෙන්වමු.

16. සපයා ඇති මඟ පෙන්වීම්වලට එකඟව වැඩිමහල්ලෙක් කටයුතු නොකරන විට, අපි ක්‍රියා කළ යුත්තේ කෙසේද?

16 සමහර අවස්ථාවලදී වැඩිමහල්ලෙක් විශ්වාසවන්ත දාසයා සහ ඔවුන්ව නියෝජනය කරන පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම්වලට එකඟව කටයුතු නොකරනවා විය හැකියි. නමුත් දිගින් දිගටම එසේ කළොත් “[අපේ] ජීවිතවල එඬේරාද අවේක්ෂකද” වන යෙහෝවා දෙවිට ගණන් දීමට ඔහුට සිදුවෙයි. (1 පේතෘස් 2:25) නමුත් වැඩිමහල්ලෙකුගේ එවන් වැරදි ක්‍රියාවක්, අප විසින් ඔවුන්ට විරුද්ධව කැරලි ගැසීමට හේතුවක් කර නොගත යුතුයි. මන්ද, අකීකරු අයට සහ කැරලිකරුවන්ට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ නැහැ.—ගණන් කතාව 12:1, 2, 9-11.

කැමැත්තෙන්ම දක්වන සහයෝගයට දෙවිගේ ආශීර්වාද

17. වැඩිමහල්ලන්ව අපි සැලකිය යුත්තේ කෙසේද?

17 වැඩිමහල්ලන් ලෙස තමා පත් කර ඇති මිනිසුන් දුර්වල පව්කාර අය බව යෙහෝවා දෙවි දන්නවා. එසේ වුණත් තම බලයෙන් එම පුරුෂයන්ට මඟ පෙන්වන යෙහෝවා දෙවි පොළොව මත සිටින තම සෙනඟව රැකබලා ගන්නවා. “සාමාන්‍යය ඉක්මවූ බලය අපගෙන් නොව දෙවිගෙන් ලැබෙන බව” වැඩිමහල්ලන් සහ අප සියලුදෙනාම තේරුම්ගන්නවා. (2 කොරින්ති 4:7) අපගේ ප්‍රේමණීය වැඩිමහල්ලන්ව යොදාගනිමින් යෙහෝවා දෙවි අපිට උපකාර කරන ආකාරය ගැන අපි ඔහුට ස්තුතිවන්ත විය යුතුයි. එමනිසා ඔවුන්ට අපගේ පූර්ණ සහයෝගය ලබා දිය යුතුයි.

18. අවේක්ෂකයන්ට යටත්කම දැක්වීමෙන් අපි පෙන්වන්නේ කුමක්ද?

18 යෙහෝවා දෙවි බලාපොරොත්තු වන ආකාරයේ සේවයක් පිරිනැමීමට අවේක්ෂකයන් වෙහෙසී වැඩ කරනවා. ඒ ගැන යෙරෙමියා 3:15හි මෙසේ කියවීමට තිබෙනවා. “මම දැනගැන්මෙන්ද තේරුමෙන්ද ඔබ පෝෂ්‍ය කරන්නාවූ මාගේ සිත හැටියට වූ එඬේරුන් ඔබට දෙන්නෙමි.” අප අතර සිටින වැඩිමහල්ලන් ඊට අනුකූල වෙමින් ඉගැන්වීමෙන් සහ රැළ රැකබලා ගැනීමෙන් පිරිනමන සේවය ප්‍රශංසනීයයි. ඔවුන්ට අපගේ පූර්ණ සහයෝගය දැක්වීමෙන්, කීකරු වීමෙන් සහ යටත් වීමෙන් ඔවුන් වෙහෙස වී කරන සේවය අගය කරන බව පෙන්වමු. එසේ කිරීමෙන් අපි පෙන්වන්නේ අපගේ ස්වර්ගික එඬේරුන් වන යෙහෝවා දෙවිව සහ යේසුස් ක්‍රිස්තුස්ව අගය කරන බවයි.

පුනරීක්ෂණ ප්‍රශ්න

• යෙහෝවා දෙවි සහ යේසුස් ප්‍රේමණීය එඬේරුන් බව පෙන්වා ඇත්තේ කෙසේද?

• කීකරු වෙනවාට අමතරව යටත්කම පෙන්වීම අවශ්‍ය ඇයි?

• අපගේ යටත්කම පෙන්විය හැකි ආකාර මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[27වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ක්‍රිස්තුස්ගේ නායකත්වයට යටත්කම පෙන්වනවා

[29වන පිටුවේ පින්තූර]

යෙහෝවා දෙවි පත් කර ඇති එඬේරුන්ට අපගේ යටත්කම පෙන්විය හැකි බොහෝ ආකාර තිබෙනවා