Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ක්‍රිස්තියානි සභාවෙන් උපකාර ලැබීමට නම් වැන්දඹුවක් ‘එක ස්වාමිපුරුෂයෙකුට භාර්යාවක්ව’ සිටිය යුතුයි කියා පාවුල් සඳහන් කළා. ඉන් අදහස් කරන්නේ කුමක්ද?—1 තිමෝති 5:9.

පාවුල් මෙහිදී කතා කරන්නේ වැන්දඹුවක් ගැනයි. ඒ නිසා ‘එක ස්වාමිපුරුෂයෙකුට භාර්යාවක්ව’ සිටීම යන ප්‍රකාශය අදාළ වෙන්නේ, වැන්දඹුවක් වීමට කලින් ඇය සිටි තත්වයටයි. මින් අදහස් වෙන්නේ එම වැන්දඹුව කලින් එක් වතාවක් පමණක් විවාහ වී සිටිය යුතු බවද? නැතිනම් පාවුල්ගේ ප්‍රකාශයෙන් වෙනත් දෙයක් අදහස් වෙනවාද? *

සමහරු කියන්නේ පාවුල් එම ප්‍රකාශයෙන් අදහස් කළේ එක වරක් පමණක් විවාහ වී සිට, පසුව වැන්දඹුවන් වූ අය ගැන කියලයි. බොහෝ සංස්කෘතීන්වල වැන්දඹුවක් වූ පසු විවාහ නොවී සිටින ස්ත්‍රීන්ව සලකන්නේ ගුණවත් අය හැටියටයි. නමුත් පාවුල් පසුව සඳහන් කළ දේවල් සමඟ එම අදහස එකඟ වන්නේ නැහැ. උදාහරණයකට කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට ඔහු පැවසුවේ, ‘තමන් කැමති කෙනෙකු සමඟ විවාහ වීමට ඇය නිදහස්ව සිටින්නීය. නමුත් ස්වාමීන් තුළ පමණක්’ කියායි. (1 කොරින්ති 7:39, 40; රෝම 7:2, 3) ඒ වගේම ඔහු සිතුවේ වැන්දඹුවකට නැවත විවාහ නොවී සිටීමට හැකි නම් එයද ඇගේ යහපතට හේතු වන බවයි. මීට අමතරව ඔහු තිමෝතිට ලියූ ලිපියේ මෙවැනි දෙයක්ද සඳහන් කළා. “යෞවන වැන්දඹුවන් විවාහ වනවාට . . . මම කැමැත්තෙමි.” (1 තිමෝති 5:14) එලෙස විවාහ වීමට වැන්දඹුවක් තීරණය කළහොත් ඒ සම්බන්ධයෙන් ඇයව විවේචනය නොකළ යුතුයි.

එසේනම් පාවුල් තිමෝතිට කියූ ප්‍රකාශයේ තේරුම කුමක්ද? ‘එක ස්වාමිපුරුෂයෙකුට භාර්යාවක්ව’ යන ප්‍රකාශය සඳහන් වන්නේ මෙම පදයේ පමණයි. මුල් ග්‍රීක ලියවිල්ලේ සඳහන් පරිදි එහි අදහස වන්නේ “එක මිනිසෙකුගේ ස්ත්‍රියක්” යන්නයි. එය පාවුල් තමාගේ ලියවිලිවල කිහිප වතාවක්ම සඳහන් කළ “එක් භාර්යාවකට ස්වාමිපුරුෂයෙකුව” යන ප්‍රකාශයට සමානයි. (1 තිමෝති 3:2, 12; තීතස් 1:6) ක්‍රිස්තියානි අවේක්ෂකයන් සහ සභා සේවකයන්ගේ සුදුසුකම් ලැයිස්තුවේ එම ප්‍රකාශය සඳහන් කළා. එමගින් ක්‍රිස්තියානි සභාවේ වගකීම් දැරීමට සුදුසුකම් ලබන පුරුෂයෙක් විවාහක කෙනෙක් නම් ඔහු තම භාර්යාවට විශ්වාසවන්ත මෙන්ම පක්ෂපාත කෙනෙක් විය යුතු වෙනවා. ඒ වගේම සදාචාර ලෙස නිදොස් කෙනෙක්ද විය යුතුයි. * ඒ හේතුව නිසා 1 තිමෝති 5:9හි සඳහන් ප්‍රකාශයත් එම අදහසටම එකඟ වන බව කිව හැකියි. වැන්දඹුවක් ක්‍රිස්තියානි සභාවෙන් උපකාර ලැබීමට නම් ස්වාමිපුරුෂයා ජීවත්ව සිටියදී ඇය ඔහුට විශ්වාසවන්තවූ පක්ෂපාතවූ කෙනෙක් විය යුතු අතර සදාචාර ලෙස නිදොස් කෙනෙක්ද විය යුතු වුණා. ඒ වගේම පාවුල් සඳහන් කළ අනෙක් සුදුසුකම්ද ඒ වැන්දඹුවට තිබිය යුතු වුණා.—1 තිමෝති 5:10.

[පාදසටහන්වල]

^ 3 ඡේ. මුල් ක්‍රිස්තියානීන් ජීවත් වූ කාලවලදී, බහුපුරුෂ සේවනය හෙවත් එක් භාර්යාවකට පුරුෂයන් කිහිපදෙනකු සිටීම, පොදුවේ පිළිගැනුණේ නැහැ. ඒ නිසා පාවුල් තිමෝතිට ලිව්වේ ඒ ගැන කියාවත් එහි නියැලුණු කෙනෙකුව ඔහු දැඩි සේ හෙළාදකිනවා කියාවත් සිතිය නොහැකියි.

^ 5 ඡේ. මේ ගැන තවදුරටත් සලකා බැලීමට 1996 ඔක්තෝබර් 15 මුරටැඹ කලාපයේ 17වන පිටුව බලන්න. එමෙන්ම 1980 සැප්තැම්බර් 15 මුරටැඹ කලාපයේ 31වන පිටුවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” යන ලිපියද බලන්න.—සිංහලෙන් නැත.