Skip to content

පටුනට යන්න

මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යය මගේ ජීවිතය හැඩගැස්වුවා

මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යය මගේ ජීවිතය හැඩගැස්වුවා

ජීවිත කතාව

මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යය මගේ ජීවිතය හැඩගැස්වුවා

ලිනෙට් පීටර්ස්

එදා ඔවුන් ආවේ අපිව ආරක්ෂිත ස්ථානයකට ගෙනි යන්නයි. ඉලක්කයට වෙඩි තියන්න පුළුවන්, තුවක්කුවක් ගත් කෙනෙක් ගොඩනැඟිල්ලක් උඩ හිටියා. සොල්දාදුවන්ද බිම දිගා වී තුවක්කු එල්ල කරගෙන හිටියා. අපි ඉක්මන් කරලා හෙලිකොප්ටරයට දුවද්දී පුළුවන් තරම් උත්සාහ කළේ සන්සුන්ව ඉන්නයි. ඒ මොහොතෙම අපිවත් අරගෙන ඒක එතනින් ඉවත් වුණා. ඊට විනාඩි දහයකට විතර පස්සේ ඒක මුහුදේ නවතා තිබූ නාවික හමුදාවේ නැවකට ගොඩ බැස්සුවා.

ඊළඟ දවසේ උදෙන්ම අපිට දැනගන්න ලැබුණා කැරලිකරුවන්, අපි ආරක්ෂාව සඳහා නැවතිලා හිටපු හෝටලයටත් බෝම්බ ගහලා කියලා. කාලයක් පුරා සියරා ලියොන් වල තිබූ කැරැල්ල දැන් යුද්ධයක්. අනතුරු ඇඟවීමක් දුන් සැනින් රට අත්හැර පලා යන්න කියලා අපි ඇතුළු සියලුම විදේශිකයන්ගෙන් ඉල්ලා සිටියා. මට ඒ වගේ තත්වයකට මුහුණ දෙන්න වුණේ ඇයි?

මම හැදී වැඩුණු රට ගයනාවයි. වර්ෂ 1950 ගණන්වල ඒ රටේ මම ගත කළේ හරිම සැහැල්ලු ජීවිතයක්. ඒ රටේ ගොඩක් දෙමව්පියන්ගේ ආශාව වුණේ ඒගොල්ලන්ගේ දරුවන් හොඳින් අධ්‍යාපන කටයුතු කරලා උසස් තැනකට එනවා දකින්නයි. මට තාම මතකයි, බැංකු ලිපිකරුවෙක් මගේ තාත්තාගෙන් මෙහෙම අහනවා. “ඇයි ඔයා ඔච්චර සල්ලි වියදම් කරලා ඔයාගෙ පුතාව ටියුෂන් පන්තිවලට අරින්නෙ?” එතකොට තාත්තා කිව්වා,“හොඳ තැනකට එන්නම් හොඳට ඉගෙනගන්නම ඕනෙ” කියලා. තාත්තා ඒ කාලේ හිතුවේ හොඳම අධ්‍යාපනය ලබන්න පුළුවන් හොඳ නමක් තියන ඉස්කෝලවල විතරයි කියලා. හැබැයි තාත්තා ඒ හිතපු විදිහ පස්සේ වෙනස් කරගත්තා.

මට වයස අවුරුදු 11දී තමයි අම්මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තෙ. එක දවසක් අම්මායි අපේ ගෙවල් ළඟ හිටපු කෙනෙකුයි රාජ්‍ය ශාලාවට ගියා. එදා ඒගොල්ලන් ඉගෙනගත්ත දේවල්වලින් තේරුම්ගත්තා සත්‍යය කියන්නෙ මේකයි කියලා. මගේ අම්මා පස්සේ තවත් කෙනෙක් එක්ක ඒ ඉගෙනගත්ත දේවල් ගැන කතා කළා. ඊට පස්සේ ඒ තුන්දෙනාම, ඩැෆ්නි හැරී සහ රෝස් කෆී කියන සහෝදරියන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මේ තුන්දෙනාම බව්තීස්ම වුණේ අවුරුද්දකටත් වඩා අඩු කාලයකිනුයි. ඉන් අවුරුදු පහකට පස්සේ මගේ තාත්තා සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට් පල්ලියෙන් ඉවත් වූ අතර ඔහුත් බව්තීස්ම වුණා.

පවුලේ දරුවන් දහදෙනාගෙන් වැඩිමහල්ම තුන්දෙනා, ඒ කියන්නේ මමයි මගේ සහෝදරියන් දෙන්නයි අපේ යෞවන කාලයේදී නිතරම ඩැෆ්නි සහ රෝස් හිටපු ගෙදර ගිහිල්ලා ඒ අයත් එක්ක ගොඩක් සතුටින් කාලය ගත කළා. අපි එහෙ ගියාම ඒගොල්ලන් දේශනා සේවයේ ගිහිල්ලා ලබපු අද්දැකීම්වලට ඇහුම්කන් දුන්නා. ඒ අය වෙහෙස නොබලා අනිත් අයගෙ ඇදහිල්ල ශක්තිමත් කිරීමෙන් ලබපු ප්‍රීතිය අපි දැක්කා. වෙනත් රටකට ගිහිල්ලා ශුභාරංචිය දේශනා කරන්න මා තුළ ආශාවක් ඇති වුණේ ඔවුන් නිසයි.

මගේ නෑයන් සහ පාසැල් යාළුවන් නිතරම හිතුවේ හොඳ අධ්‍යාපනයක් ලබාගෙන උසස් තැනකට එන එක ගැනයි. ඒත් පූර්ණ කාලීන සේවයේ යෙදෙන්න මට තිබූ ආශාව දිගටම තියාගන්න පුළුවන් වුණේ කොහොමද? මට ඕන තරම් අවස්ථා තිබුණා සංගීතය, නීතිය, වෛද්‍ය ක්ෂේත්‍රය හෝ වෙන මොනවා හරි ක්ෂේත්‍රයට යොමු වෙන්න. හැබැයි මගෙ දෙමව්පියන්ගේ කදිම ආදර්ශය නිසා මට හරි පාරේ යන්න පුළුවන් වුණා. ඒගොල්ලන් උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කළා විතරක් නෙවෙයි, ඉගෙනගත්ත දේට අනුව ජීවත් වුණා. ඒ වගේම අනිත් අයට යෙහෝවා දෙවි ගැන කියලා දෙන්නත් ඒගොල්ලන් කැප වෙලා වැඩ කළා. * මගේ දෙමව්පියන් නිතරම පූර්ණ කාලීන සේවකයන්ව අපේ ගෙදරට ආරාධනා කළා. ඒ සහෝදර සහෝදරියන් මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යයෙන් ලබපු ප්‍රීතිය මම දැක්කම, ඒ කාර්යය මගේ ජීවිතය කරගන්න මට තිබූ ආශාව තවත් වැඩි වුණා.

බව්තීස්ම වෙද්දි මට වයස අවුරුදු 15යි. උසස් අධ්‍යාපනය ඉවර කළ ගමන්ම මම පුරෝගාමී සේවය පටන්ගත්තා. බව්තීස්මය දක්වා දියුණු වෙන්න මම උපකාර කළ මුල්ම කෙනා ෆිලෝමිනායි. ඇය වැඩ කළේ රෝහලකයි. එයා යෙහෝවා දෙවිට පෙන්වපු ප්‍රේමය මම දැක්කම පූර්ණ කාලීන සේවයේ යෙදෙන්න මට තිබූ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වුණා. ටික කාලයකින් මට ආණ්ඩුවේ හොඳ රස්සාවක් ලැබුණත්, දිගටම පුරෝගාමී සේවයේ යෙදෙන්න මම තීරණය කළා.

මේ වෙද්දිත් විදේශීය රටවල්වලින් සහෝදර සහෝදරියන්ව අපේ රටට සේවය කරන්න එව්වා. ඔවුනුත් දිගටම අපිව බලන්න ආවා. ඔවුන්ගේ දිරිගන්වන අද්දැකීම්වලින් මම ලැබුවේ ලොකු සතුටක්. මේ හැමෝම මට වෙන රටක සේවය කරන්න තිබූ ආශාව තව තවත් වැඩි කළා. හැබැයි ඒක අත් කරගන්න එච්චර ලෙහෙසි වුණේ නැහැ. ඒත් 1969දී මට අදහාගන්න බැරි දෙයක් වුණා. ඒ මට නිව් යෝක් නගරයේ බෘක්ලින් වල තියෙන ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට එන්න කියලා ලැබුණු ආරාධනය නිසයි.

බලාපොරොත්තු නොවු පැවරුමක්

එම 48වෙනි පුහුණු පාසැලට රටවල් 21කින් ආපු ශිෂ්‍යයන් 54දෙනෙක් සහභාගි වුණා. පාසැලට සහභාගි වූ අයගෙන් මමයි තවත් සහෝදරියන් 17දෙනෙක්ම තනිකඩ අයයි. ඒ පුහුණුව අවසන් වෙලා දැන් අවුරුදු 37ක් ගත වෙලා. ඒත් ඒ මාස පහේ සිදු වූ හැමදෙයක්ම මට අද ඊයේ වගේ මතකයි. වෙනත් රටක සේවය කරන්න පුහුණුවක් ලබන අය හැටියට බයිබලයේ ඉගැන්වීම්වලට අමතරව අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න තිබුණා. උදාහරණයකට මඟ පෙන්වීම්වලට කීකරු වෙන්නේ කොහොමද, අලුත් අලුත් විලාසිතා සම්බන්ධයෙන් සමබර ආකල්පයක් තියාගන්නේ කොහොමද සහ දුෂ්කර තත්වයන්වලදී පවා විඳදරාගෙන කටයුතු කරන්නේ කොහොමද කියලත් මම ඉගෙනගත්තා.

මගේ අම්මායි තාත්තායි රැස්වීම් අතපසු කරන්නෙ නැතිව යන එකේ වැදගත්කම ගැන නිතරම මට කාවැද්දුවා. අපෙන් කාට හරි අසනීපයක් නිසා රැස්වීමට යන්න බැරි වුණා කියන්නෙ, ඊළඟ දවසෙ තියෙන සංගීත ප්‍රසංගයට යන්න අවසර ලැබෙන්නෙත් නෑ කියන එකයි. මම ගිලියද් පාසැලට සහභාගි වූ කාලයේ රැස්වීම් යන එක සම්පූර්ණයෙන්ම ඇණ හිටියා. එක සිකුරාදා දවසක මාව රැස්වීම්වලට ගෙනිච්ච ශාඛා කාර්යාලයේ වැඩ කරන යුවළක් වන ඩාන් සහ ඩලෝරස් ඇඩම්ස්ව මට හම්බුණා. මට රැස්වීම් එන්න බැරි වුණේ ගිලියද් පාසැලෙන් දුන්න ගෙදර වැඩ ගොඩක් තිබුණ නිසා කියලා මම කිව්වා. ඉතින් දිව්‍යාණ්ඩු සේවා පාසැලටයි සේවා රැස්වීමටයි යන්න කොහෙන්ද වෙලාව කියලා මම ඒගොල්ලන්ට කිව්වා. මා එක්ක ටික වෙලාවක් ඒ ගැන කතා කළාට පස්සේ සහෝදර ඇඩම්ස් මෙහෙම කිව්වා. “ඔයාගෙ හෘදය සාක්ෂිය කියන විදිහට කරන්න.” ඒ කියපු දේ මම හොඳට හිතට ගත්තා. බැරිම වෙලාවකදී ඇරෙන්න, එදා ඉඳලා කවදාවත් මම රැස්වීම් අතපසු කළේ නැහැ.

පුහුණු පාසැල අතරමඟදී අපේ පැවරුම් ලැබෙන එක ගැන අපිට දැනගන්න ලැබුණා. මම නිතරම හිතුවා ගයනාවල සේවය සඳහා අවශ්‍යතාවය වැඩියෙන් තිබුණ හින්දා මාව එහෙට යවයි කියලා. හැබැයි මාව බටහිර අප්‍රිකාවේ සියරා ලියොන්වලට සේවය සඳහා යවන්න තීරණය කරලා තියෙනවා කියලා දැනගත්තාම මම හුඟක් සතුටු වුණා. වෙනත් රටකට ගිහිල්ලා සේවය කරන්න මට තිබූ ආශාව ඉටු කරගන්න යෙහෝවා දෙවි උපකාර කරපු එක ගැන මම කොච්චර නම් ස්තුතිවන්ත වෙනවාද!

ඉගෙනගන්න ගොඩක් දේවල්

සියරා ලියොන් රටේ අලංකාරය වැඩි කරන කඳුයායන්, සුන්දර මුහුදු වෙරළවල් දැක්කම ඒක මොන තරම් ලස්සන රටක්ද කියලා මට හිතුණා. නමුත් එහි ජීවත් වෙන ගුණ යහපත් මිනිස්සු, රටේ අලංකාරය ඊටත් වඩා වැඩි කළා. ඒ නිසා ඒ රටේ හිටපු විදේශිකයන්ට දැනුණේ ඔවුන් තමන්ගේම රටේ ඉන්නවා වගෙයි. තම පවුලේ අයව නිතරම දකින්න ලැබෙන්නේ නැති එකෙන් ඇති වන පාළුවෙන් ගොඩ එන්න වෙනත් රටවල්වලින් ඇවිල්ලා හිටපු සාක්ෂිකරුවන්ටත් පුළුවන් වුණා. ඒ රටේ මිනිස්සු හරි කැමතියි, ඒ අයගේ චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතිය ගැන කතා කරන්න. ක්‍රියෝ කියන ඒ අයගේ භාෂාව විදේශිකයන්ට උගන්වන්නත් හරිම ආසාවෙන් ඉන්නේ.

ක්‍රියෝ භාෂාව කතා කරන අයට ලස්සන ප්‍රස්තා පිරුළු තියෙනවා. එකක් තමයි, වැඩ කරන්නේ වඳුරෝ, හැබැයි කන්නේ බැබූන්ලා. ඒකෙ තේරුම මහන්සි වෙන්නේ එක්කෙනෙක්. ඒ වුණත් ඒකෙ ප්‍රතිඵල භුක්ති විඳින්නේ තව කෙනෙක් කියන එකයි. අද ලෝකයේ තියෙන අයුක්තිය අසාධාරණය සම්බන්ධයෙන් ඒක කොයි තරම් ගැළපෙන කියමනක්ද!—යෙසායා 65:22.

ශුභාරංචිය දේශනා කිරීමේ හා මිනිසුන්ව ගෝලයන් කිරීමේ ප්‍රීතිය මම දිගටම අද්දැක්කා. බයිබලය ගැන උනන්දුවක් නොදක්වපු කෙනෙකුව මුණගැහුණේ කලාතුරකින්. ඉතින් විදේශීය රටවලින් ඇවිල්ලා යෙහෝවා දෙවිට සේවය කරන සාක්ෂිකරුවන් අවුරුදු ගණනාවක් පුරා, බාල මහලු හැමෝටම සත්‍යයට එන්න උදව් කරලා තියෙනවා.

මේ රටේ මාත් එක්ක මුලින්ම එකට සේවය කළ සහෝදරිය තමයි අර්ලා සෙන්ට් හිල්. එයා මහන්සි බලන්නේ නැතිව සේවය කරපු සහෝදරියක්. අපි නැවතිලා හිටපු නිවසේ තිබූ වැඩ කටයුතු ඇය හරිම උනන්දුවෙන් කළත් ඒක දෙවෙනි වුණේ දේශනා සේවයට පමණයි. ඇයගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. අහල පහල අයත් එක්ක පෑහී කටයුතු කිරීම, අසනීප වී සිටින සහෝදරයන්ව බලන්න යන එක සහ නැවත බැලීම්වලට යන එකේ වැදගත්කම වගේම කෙනෙක් මැරුණාම, ඒ ගෙදර අයට උදව් කරන්නේ කොහොමද කියලත් මම එයාගෙන් ඉගෙනගත්තා. එයා මට කියපු තවත් දෙයක් තමයි, සේවය කරන ප්‍රදේශයේ ඉන්න සහෝදර සහෝදරියන්ගේ ගෙවල්වලට පොඩි වෙලාවකට හරි ගොඩ වෙලා යන්න කියන එක. මම එහෙම කරපු නිසා වැඩි කල් යන්න ඉස්සරවෙලා මටම කියලා ගොඩක් දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සහ යාළුවන් ඇති කරගන්න පුළුවන් වුණා. මට තේරුණේ මම දැන් මගේම රටේ ඉන්නවා වගේ කියලයි.—මාක් 10:29, 30.

මාත් එක්ක සේවය කරපු විදේශික සාක්ෂිකරුවනුත් මගේ කිට්ටුම යාළුවෝ වුණා. ඒ අය අතර කාමරේ මාත් එක්ක එකට හිටපු ආඩ්නා බර්ඩ්, සියරා ලියොන් රටේ 1978 ඉඳලා 1981 වෙන කල් සේවය කරලා තිබුණා. සහෝදරී ෂෙරිල් ෆර්ගසන් තමයි මාත් එක්ක පහුගිය අවුරුදු 24 පුරාම එක ගෙදර හිටියේ.

යුද්ධය නිසා පැමිණි පරීක්ෂා

සියරා ලියොන්වල 1997දී ශාඛා කාර්යාලය කැප කරලා මාසයක් විතර ගියාට පස්සේ, අපිට මේ රටෙන් පිට වෙන්න කියලා බල කළා. ඊට අවුරුදු හයකට ඉස්සරවෙලා ලයිබීරියාවේ තිබූ යුද්ධය නිසා සියරා ලියොන්වලට පලා ඇවිත් තිබුණු සහෝදරයන්ගේ ඇදහිල්ල දැකලා අපි පුදුම වුණා. සමහරුන් පලා ආවේ හිස් අතින් වුණත් ඒගොල්ලන් හැමදාම දේශනා සේවයේ හවුල් වුණා. දෙවි කෙරෙහිත් මිනිසුන් කෙරෙහිත් ඔවුන්ට තිබුණු ප්‍රේමය දැක්කාම අපිට දැනුණේ පුදුම සතුටක්.

අපි ගිනියාවේ සිටියේ සරණාගතයන් හැටියටයි. යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාස කරමින් ලයිබීරියාවේ හිටපු සහෝදරයන් වගේ දේවරාජ්‍යය මුල් තැනට තබා කටයුතු කරන්න අපිත් අධිෂ්ඨාන කරගත්තා. අවුරුද්දකට විතර පස්සේ අපි සියරා ලියොන්වලට ආපහු ආවත් මාස හයකට පස්සේ යුද්ධය පටන්ගත් නිසා, අපිට ආපහු ගිනියාවට යන්න සිද්ධ වුණා.

වැඩි කල් යන්න ඉස්සරවෙලා දැනගන්න ලැබුණා, කිසී වල තිබුණ අපේ ගේ යුද්ධ කරපු එක කණ්ඩායමක් අල්ලගෙන, අපිට අයිති දේවල් විනාශ කරලා කියලා. ඒ ගැන දුක් වෙනවා වෙනුවට ජීවත් වෙලා ඉන්න එක ගැන අපි සතුටු වුණා. අපිට වැඩිය බඩු මුට්ටු තිබුණේ නැති වුණත්, තිබුණු දේවලින් සෑහීමට පත් වුණා.

දෙවෙනි වතාවට ගිනියාවට ගියාට පස්සේ මමත් ෂෙරිලුත් එහෙම නතර වුණා. ඒ කියන්නේ අපිට ප්‍රංශ භාෂාව ඉගෙනගන්න වුණා කියන එකයි. මාත් එක්ක සේවය කරපු සමහරක් අය ඒ ඒ දවසේ ඉගෙනගත්ත වචන එදාම පාවිච්චි කරන්න පටන්ගත්තා. එකක් දෙකක් වරදින එක එයාලට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මම නම් ඒකට එච්චර කැමති වුණේ නැහැ. වචන වරද්ද වරද්ද කතා කරන එක මට නම් පෙන්නන්න බැහැ. ඉතින් මම ප්‍රංශ භාෂාව කතා කළේ අත්‍යවශ්‍යම වෙලාවකදී විතරයි. ඒක මට හරි කරදරයක් වුණා. නමුත් මම මෙහෙ ඉන්නේ යෙහෝවා දෙවි ගැන අනිත් අයට කියලා දෙන්නයි කියන එක නිතර නිතර මතක් කරගන්න මට සිද්ධ වුණා.

මම වචන වරද්දලා කතා කරද්දි සභාවේ හිටපු පොඩි ළමයි කිසිම බයක් නැතිව මාව නිවැරදි කළා. ඒ වගේම අනිත් අය කතා කරනවා අහගෙන ඉඳලත් මම ටිකෙන් ටික ඒ භාෂාව ඉගෙනගත්තා. ඒත් එක්කම වගේ යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් වෙලාවට ඕන කරපු දෙයක් ලැබුණා. මුලින්ම දේවසේවයේදී පොත් පත් ඉදිරිපත් කරන ආකාරය ගැන යෝජනා අපගේ රාජ්‍ය සේවාවේ පළ වුණා. නමුත් 2001 සැප්තැම්බර් මාසයේ ඉඳලා විවිධ ආගම්වල ඉන්න මිනිස්සුන්ට සඟරා හඳුන්වා දෙන්නේ කොහොමද කියලාත් ඒකෙ පළ වෙන්න පටන්ගත්තා. දැන් මට මගේ මව් භාෂාව තරම්ම ප්‍රංශ භාෂාව බැරි වුණත් බය නැතුව සාක්ෂි දරන්න පුළුවන්.

එක කාලයකදී අපි නැවතිලා හිටපු ගෙදර සාක්ෂිකරුවන් 17ක් හිටියා. ඒත් ඒ අය එක්ක එකට ඉන්න එක මට ඒ තරම් ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මම කොහොමත් හැදී වැඩුණේ ලොකු පවුලකයි. අවුරුදු 37ක් පුරා වෙනත් රටක මම කරන මේ සේවයේදී විවිධ සාක්ෂිකරුවන් 100කටත් වඩා වැඩි සංඛ්‍යාවක් එක්ක එකට වාසය කරලා තියෙනවා. එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරන මෙතරම් සාක්ෂිකරුවන් පිරිසක් එක්ක සේවය කරන්න ලැබුණු එක සහ ඔවුන්ව හඳුනාගන්න හැකි වුණු එක මොන තරම් වරප්‍රසාදයක්ද! යෙහෝවා දෙවිගේ සේවකයෙක් හැටියට සේවය කරන්න ලැබීමත් මිනිසුන් ඔහුගේ නමස්කාරකයන් බවට පත් වෙනවා දැකීමත් මොන තරම් ප්‍රීතියක්ද!—1 කොරින්ති 3:9.

වෙනත් රටක සේවය කළ එම අවුරුදු ගණනාව පුරා මගේම පවුලේ සහෝදර සහෝදරියන්ගේ විවාහ උත්සව වැනි, ජීවිතයේ වැදගත් අවස්ථාවන්වලට සහභාගි වෙන්න මට බැරි වෙලා තියෙනවා. ඒ අයගේ දරුවන්ව දකින්නත් මම හරි ආසයි. ඒත් මට ඒ අයව නිතරම දකින්න ලැබෙන්නෙ නැහැ. වෙනත් රටක සේවය කරන මටත් ඒ සඳහා මාව දිරිගන්වපු මගේ පවුලේ අයටත් විශාල පරිත්‍යාගයක් කරන්න සිදු වෙලා තියෙනවා.

ඒ වුණත් වෙනත් රටක සේවය කරන අතරේදී බොහෝවිට මට මුලින් අහිමි වූ බොහෝ දේවල් දැන් මට ලැබිලා තියෙනවා. මම තනිකඩව හිටියත් සත්‍යය තුළ මට ගොඩක් දරුවන් ඉන්නවා. ඒ මම බයිබලය පාඩම් කරපු අය විතරක් නෙවෙයි. මට ගොඩක් කිට්ටු වුණු අයත් ඒ අතර ඉන්නවා. ඒ වගේම මම බයිබලය පාඩම් කරපු අයගේ දරුවන්ගේ දරුවොත් ලොකු මහත් වෙලා සත්‍යය තුළ ගමන් කරනවා මම දැකලා තියෙනවා. ඔවුන්ගෙන් සමහරදෙනෙක් මම වගේම, ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගෙන තියෙන්නේ මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යය මගිනුයි.

[පාදසටහන]

^ 9 ඡේ. මගෙ අම්මා අවුරුදු 25කටත් වඩා කාලයක් පුරා පුරෝගාමියෙක් හැටියට සේවය කළ අතර තාත්තා විශ්‍රාම ගියාට පස්සේ උපකාරික පුරෝගාමියෙක් හැටියට සේවය කළා.

[15වන පිටුවේ සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

බටහිර අප්‍රිකාවේ සියරා ලියොන්වල සේවය කරන්න මට පැවරුමක් ලැබුණා

ගිනියාව

සියරා ලියොන්

[13වන පිටුවේ පින්තූරය]

සේවය සඳහා වෙනත් රටකින් පැමිණි සාක්ෂිකරුවන් සමඟ 1950 ගණන්වලදී ප්‍රීතිමත් ඇසුරක් භුක්ති වින්ඳ මගේ සහෝදරියන් දෙදෙනා

[14වන පිටුවේ පින්තූරය]

හතලිස්අටවන ගිලියද් පාසැලට සහභාගි වූ ශිෂ්‍යයන් සමඟ

[16වන පිටුවේ පින්තූරය]

සියරා ලියොන්හි නව ශාඛා කාර්යාලය කැප කළ අවස්ථාවේදී