Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙන ගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න:

• උත්සහය අත් නොහැරිය මිත්‍රයා පිළිබඳව යේසුස් කී උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ලූක් 11:5-10)

අපි යාච්ඤා කළ යුත්තේ කුමන ආකල්පයකින්ද කියා මෙම උපමාව අපිට පැහැදිලි කරනවා. අපි විශේෂයෙන්ම දෙවිගේ බලය ඉල්ලා අඛණ්ඩව සහ අත්නෑර යාච්ඤා කළ යුතුයි. (ලූක් 11:11-13)—12/15, පිටු 20-2.

• වැන්දඹුව හා විනිශ්චයකරු පිළිබඳව යේසුස් කී උපමාවෙන් අපිට ගත හැකි පාඩම් මොනවාද? (ලූක් 18: 1-8)

යාච්ඤා කිරීමේ ඇති වැදගත්කම ඉන් කාවැද්දුවා. විනිශ්චයකරුට වඩා යෙහෝවා දෙවි වෙනස්. දෙවි ධර්මිෂ්ඨයි,අපිට උපකාර කරන්න ආශාවෙන් බලාගෙන සිටිනවා. වඩා වැදගත් දේ වන්නේ වැන්දඹුවට තිබුණා හා සමාන ඇදහිල්ලක් අපත් වර්ධනය කර ගැනීමයි.—12/15, පිටු 26-8.

• පාවුල් කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට ඔවුන්ගේ “සිත් විශාල කරගන්න”කියා පැවසුවේ ඇයි? (2 කොරින්ති 6: 11-13)

සමහර කොරින්තිවරුන්ට එකිනෙකාව අගය කොට සැලකීමේ යම් අඩුවක් තිබුණා. ඔවුන්ට පටු අදහස් තිබුණ අතර අන් අය සමඟ දේවල් බෙදාගන්නත් ඔවුන් අකමැති වුණා. සෙසු නමස්කාරකයන් කෙරෙහි අවංක අගය කිරීමක් තිබිය යුතු අතර අලුත් මිතුරන් ඇති කරගැනීමටත් උත්සහ කළ යුතුයි.—1/1, පිටු 9-11.

එළිදරව් 7:3හි සඳහන් මුද්‍රා කිරීම කුමක්ද?

දෙවි ක්‍රිස්තියානීන්ව තම බලයෙන් අභිෂේක කරන විට එය පළමු මුද්‍රාවයි. නමුත් එළිදරව් 7:3හි කතා කරන්නේ අවසන් මුද්‍රාව ගැනයි. ඔවුන්ට එය ලැබෙන්නේ පරීක්ෂා යටතේ දෙවිට සම්පූර්ණයෙන්ම විශ්වාසවන්තව සිටි බව ඔප්පු කළායින් පසුවයි—1/1, පිටු 30-1.

• සාමුවෙල් සම්බන්ධ බයිබල් වාර්තාවෙන් දෙමාපියන්ට ගත හැකි පාඩම කුමක්ද?

එක් දෙයක් නම් සාමුවෙල්ගේ දෙමාපියන් මෙන් ඔවුන්ද දරුවන්ට දේවවචනය කියා දිය යුතු බවයි. ඊට අමතරව පූර්ණකාලීනව යෙහෝවා දෙවිට සේවය කිරීමට දරුවන්ට උපකාර කිරීමටත් දෙමාපියන්ට හැකියි.—1/15, පිටු 16.

• යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින බව අපිට පෙන්වන්න පුළුවන් කොහොමද?

අපි “යෙහෝවා දෙවිගේ දවස පැමිණීම බලා සිටින්නේ” මහත් ආශාවෙන්. මන්ද ඒ කාලයේදී දෙවි සියලුම අභක්තික මිනිසුන්ව විනාශ කර දැමීමෙන් පසු අපට මහත් සැනසිල්ලක් ලැබෙන නිසයි. (2 පේතෘස් 3:7, 12) දුෂ්ටයන් මතට විනාශය ගෙනෙන්න යෙහෝවා දෙවි බලා සිටින්නේ ඉතාමත් උනන්දුවෙන්. නමුත් තමාගේ නාමයට මහිමය පැමිණෙන ආකාරයෙන් තම සෙනඟව ගලවාගැනීමට යෙහෝවා දෙවි කැමති වන නිසා, ඒ වන තෙක් ඔහුද බලා සිටිනවා. තම සේවකයන්ව ගලවාගැනීමට සුදුසුම කාලය කුමක්ද කියා දෙවි හොඳින්ම දන්න බව අප විශ්වාස කළ යුතුයි. එමෙන්ම ඒ කාලය පැමිණෙන තෙක් ඔහුව ප්‍රශංසාවට පත් කරන ක්‍රියාවල නියැලිය යුතුයි. (ගීතාවලිය 71:14, 15)—3/1, පිටු 17-18.

• නෝවා නැවට ඇතුල් කළේ පවිත්‍ර සතුන් සත්දෙනෙක්ද නැත්නම් ජෝඩු හතක්ද?

නෝවාට පැවසුවේ “පවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් සත් සත්දෙනෙකු බැගින්” ගන්න කියායි. (උත්පත්ති 7:1, 2) ‘සත් සත්දෙනෙක්’ යන්න මුල් හෙබ්‍රෙව් භාෂාවට අනුව අදහස් කරන්නේ “හත්දෙනා හත්දෙනා” යන්නයි. එසේ පැවසීමෙන් අදහස් කළේ නෝවා පවිත්‍ර සතුන් ජෝඩු සත බැගින් නැවට ගත්තා කියා නෙවෙයි. නෝවාට දෙවි පවිත්‍ර සතුන් හත්දෙනෙක් ගන්න කියා පැවසුවේ උන්ගෙන් හය දෙනෙක් එනම් ජෝඩු තුනක් උන්ගේ වර්ගයා බෝ කිරීම සඳහාත් ඉතිරි සතා පූජා කිරීම සඳහාත් බව පැහැදිලියි. (උත්පත්ති 8:20)—3/15, 31වන පිටුව.

• ක්‍රිස්තියානීන්ට පෙරමුණ ගන්නාවූ වැඩිමහල්ලන්ගේ ඇදහිල්ල දෙස‘හොඳින් බලන්න’ හැක්කේ කෙසේද?

එහිදී පාවුල් අපිට අවධාරණය කරන්නේ විශ්වාසවන්ත වැඩිමහල්ලන්ගේ හැසිරීමෙන් අත් වන ප්‍රතිඵල දෙස ‘හොඳින් බලන්න’ කියායි. නැතිනම් ඒ ගැන හොඳින් සැලකිලිමත් වෙමින් ඔවුන්ව අනුකරණය කරන්න කියායි. (හෙබ්‍රෙව් 13:7) අපි එසේ කරන්නේ බයිබලයේ එසේ කරන්න කියා අපෙන් ඉල්ලන නිසයි. ඒවගේම ඔවුන් දේවරාජ්‍යයට සම්බන්ධ කාරණාවලට මුල්තැන දෙන අතරම අපගේ යහපත වෙනුවෙන් ඔවුන් දක්වන සැලකිල්ලත් නිසා ඔවුන්ට කීකරු වෙන්න අපි පෙලඹෙනවා.—4/1, 28වන පිටුව.