Skip to content

පටුනට යන්න

කුරිරුකම් කවදා හෝ අවසන් වෙයිද?

කුරිරුකම් කවදා හෝ අවසන් වෙයිද?

කුරිරුකම් කවදා හෝ අවසන් වෙයිද?

අද ලෝකයේ සිදුවන කුරිරුකම්වලට එක් ප්‍රධාන හේතුවක් වන්නේ මිනිසුන් තුළ තිබෙන ආත්මාර්ථකාමී ආශාවන් කියා බොහෝදෙනෙක් සිතනවා. අද සමාජයේ බහුතරයක් සිතන්නේ තමන් ගැන පමණයි. තමන්ට ඕනෑ දෙය ලබාගන්න ඕනෑම දෙයක් කරන්න බොහෝදෙනෙක් සූදානම්. කුරිරු දෙයක් වුණත් කරන්න ඔවුන් පසුබට වන්නේ නැහැ. මෙම ස්වභාවය පුද්ගලයන් වශයෙන් පමණක් නොව රටවල් වශයෙන්ද දැකිය හැකියි.

ජීවිතය මිල කළ නොහැකි උතුම් සම්පතක් ලෙස ඇතැම් අය සලකන්නේ නැහැ. සමහරුන් අනිත් අයට කුරිරු ලෙස සැලකීමෙන් සතුටක් පවා ලබනවා. තමන් කළ අපරාධ ගැන පාපොච්චාරණය කරන සමහරුන් පවසන්නේ තමන් එසේ කළේ හුදෙක් ආස්වාදයක් ලැබීමේ අරමුණින් පමණක් කියායි. තවත් බොහෝදෙනෙක් ප්‍රචණ්ඩ ක්‍රියා හා කුරිරුකම් ඇතුළත් දර්ශන තිබෙන චිත්‍රපට නරඹන්න මහත් රුචිකත්වයක් දක්වන බව එවැනි චිත්‍රපට ඉහළ ආදායම් ලැබීමෙන් පෙනී යනවා. විනෝදාස්වාදය සඳහා නියැලෙන විවිධ ක්‍රියාකාරකම්වලදී මෙන්ම ජන මාධ්‍යවලින් කුරිරුකම් ගැන නිතර නිතර අහන්න දකින්න ලැබෙන නිසා අද බොහෝදෙනෙකුට අනිත් කෙනා විඳින දුක් වේදනා දැනෙන්නේ නැහැ.

කුරිරුකම්වලට ගොදුරු වන බොහෝදෙනෙකුට එය මානසිකව බලපාන අතර තමන්ට සැලකූ ආකාරයට අනිත් අයට සලකන්නද එය හේතුවක් විය හැකියි. කුරිරුකම්වල ප්‍රතිඵලයක් හැටියට සිදු වන අපරාධ ගැන මෙක්සිකෝවේ විශ්ව විද්‍යාලයක උගන්වන නෝමි ඩෙයාස් මාරොක්කන් මෙසේ පවසනවා. ‘අප අවට සිදුවන බොහෝ දේවලින් අපව දිරිගන්වන්නේ නපුරු දේවල් කිරීමට නිසා මිනිසුන් සහසික ක්‍රියා කරන්න ඉගෙනගන්නවා කියා පැවසිය හැකියි.’ මේ නිසා කුරිරුකම්වලට ගොදුරු වූ අය අනිත් අයටත් සලකන්නේ කුරිරු ලෙසයි.

ඇතමුන් අනිත් අයට කුරිරු ලෙස සලකන්න බලපාන තවත් හේතුවක් වන්නේ මත් පැන් හා මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමයි. තවත් අය කුරිරු ක්‍රියා කරන්නේ ඔවුන් ජීවත් වන රටේ තිබෙන ආණ්ඩුව පොදු ජනයාගේ අවශ්‍යතා නිසි ලෙස ඉටු නොකරන නිසයි. මෙවැනි අයගෙන් සමහර දෙනෙක් ඊට විරෝධය දැක්වීමක් හැටියට කුරිරුකම් හා ත්‍රස්තවාදී ක්‍රියා කිරීමට පටන්ගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට බොහෝවිට මිය යන්නේ අහිංසක මිනිසුන්.

‘කුරිරු දේවල් කරන්න මිනිසුන් ඉගෙනගෙන තිබෙන්නේ කාගේ හෝ බලපෑම් නිසාද? අද පවතින තත්වයට සැබෑ හේතුව කුමක්ද?’ කියා ඔබ සිතන්න පුළුවන්.

ඇත්තටම වගකිව යුත්තේ කවුද?

අද ලෝකයේ සිදුවන දේවල් කෙරෙහි සාතන් හෙවත් යක්ෂයා මහත් බලපෑමක් ඇති කරනවා කියා බයිබලයේ සඳහන් වෙනවා. එහි ඔහුව හඳුන්වා තිබෙන්නේ ‘මේ සමාජ ක්‍රමයේ දෙවියා’ කියායි. (2 කොරින්ති 4:4) ලෝකයේ කුරිරුතම මෙන්ම ආත්මාර්ථකාමීම තැනැත්තා වන්නේ ඔහුයි. යේසුස් ඔහුව හැඳින්වූයේ “මිනී මරන්නෙක්” සහ “බොරුවේ පියා” කියායි.—යොහන් 8:44.

මුල් මිනිස් යුවළ වන ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ දා පටන් මිනිසුන් සිටින්නේ සාතන්ගේ ප්‍රබල බලපෑම යටතේයි. (උත්පත්ති 3:1-17, 16-19) මුල් මිනිස් යුවළ දෙවිට අකීකරු වීමෙන් අවුරුදු 1,500කට පමණ පසුව, දෙවිට විරුද්ධව කැරලි ගැසූ දේවදූතයන් පිරිසක් මිනිස් ශරීර මූර්තිමත් කරගෙන පොළොවට පැමිණ ඔවුන් තෝරාගත් ස්ත්‍රීන් සමඟ ජීවත් වුණා. ඔවුන්ට බිහි වූ දරුවන්ව හැඳින්වූයේ නෙෆ්ලිම්වරුන් කියායි. ඒ දරුණු පුද්ගලයන් හුඟාක් කුරිරු දේවල් කළා. ඒවා නතර කරන්න හැකි වුණේ නෝවාගේ කාලයේ දෙවි විසින් ගෙනෙන ලද ලෝක ව්‍යාප්ත ජලගැල්මට පමණයි. (උත්පත්ති 6:4, 5, 17) ජලගැල්මත් සමඟ නෙෆ්ලිම්වරුන් සහමුලින්ම විනාශ වී ගියත් ඔවුන්ගේ පියවරුන් පොළොව අත් හැර දමා ගියා. මිනිසුන්ට නොපෙනෙන ලෙස අදත් ජීවත් වන ඔවුන්ව හඳුන්වන්නේ භූතයන් කියායි.—1 පේතෘස් 3:19, 20.

දෙවිට අකීකරු වූ දේවදූතයන්ගේ කුරිරු ස්වභාවය යේසුස් ජීවත් වූ කාලයේ සිටි භූතයෙක් වැහී තිබූ පිරිමි ළමයෙකුගේ සිද්ධියෙන් පෙනී යනවා. ඒ ළමයාට ආවේශ වී සිටි භූතයා ළමයාව විනාශ කර දැමීම සඳහා වරින් වර ඔහුව ගින්නටද වතුරටද වට්ටන්න උත්සාහ කළා. ළමයාව ගැහෙන්නත් සැලැස්සුවා. (මාක් 9:17-22) මින් පැහැදිලි වෙන්නේ එවැනි දේවල් කරන “දුෂ්ට ආත්ම සමූහයන්” ඔවුන්ගේ කුරිරු නායකයා වන යක්ෂයා මෙන් කුරිරු බවයි.—එෆීස 6:12.

අදත් භූතයන් කුරිරු දේවල් කරන්න මිනිසුන්ට බලපෑම් එල්ල කරනවා. එහි ප්‍රතිඵලයක් හැටියට මිනිසුන් තුළ ඇති වන ගතිලක්ෂණ ගැන බයිබලයේ මෙසේ පුරෝකථනය කර තිබෙනවා. “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙන බව දැනගන්න. මන්ද, මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන, . . . පුරසාරම් දොඩන, උඩඟු, . . . ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති අය වන්නෝය. එමෙන්ම ඔවුහු ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන, නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය.”—2 තිමෝති 3:1-5.

විශේෂයෙන්ම අපි ජීවත් වන කාලය අන්තරාදායක කාලයක් බව බයිබලයේ සඳහන් අනාවැකිවලින් පෙනී යනවා. ඊට හේතුව වර්ෂ 1914දී දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටු වීමෙන් පසු යක්ෂයාව හා ඔහුගේ භූත සේනාව ස්වර්ගයෙන් පහ කර දමා තිබීමයි. මේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “පොළොවටත් මුහුදටත් දුක් වේ. මන්ද යක්ෂයා තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව දැන, ඔහු මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටින්නේය.”—එළිදරව් 12:5-9, 12.

එසේනම් අද පවතින තත්වය හොඳ අතට පත් කරන්න බැරිද? “තමන් කරන වැරදි දේවල් අත්හරින්න ඉගෙනගන්නත් මිනිසුන්ට පුළුවන්” කියා කලින් සඳහන් කළ ඩෙයාස් මාරොක්කන් පවසනවා. කෙසේවෙතත් යක්ෂයාගේ බලපෑම හාත්පස පැතිරී තිබෙන මේ කාලයේ කුරිරු පුද්ගලයෙකුට යහපත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්ද? ඔව්, පුළුවන්. තමන් සිතන හා ක්‍රියා කරන ආකාරය ගැන මඟ පෙන්වීම් ලබා දෙන්න ප්‍රබල බලයකට ඔහු ඉඩ දුන්නොත් ඔහුට වෙනස් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එවැනි බලයක් තිබෙනවාද? එසේනම් එය කුමක්ද?

වෙනසක්—කෙසේද?

මුළු මහත් විශ්වයේම තිබෙන ප්‍රබලතම බලය වන්නේ දෙවිගේ බලයයි. ඕනෑම භූත බලපෑමක් නැති කර දමන්න දෙවිගේ බලයට හැකියි. එමගින් ඇති කරන්නේ මිනිසුන්ට යහපත් බලපෑමක්. ප්‍රේමය හා කරුණාව වැනි යහපත් ගුණාංග ඇති කරගැනීමට දෙවිගේ බලයේ මඟ පෙන්වීමට අවනත වන මිනිසුන්ට හැකියි. දෙවිගේ බලයේ උපකාරය ලබාගැනීමට කැමති ඕනෑම කෙනෙක් ඔහුව සතුටු කරන දේවල් කළ යුතුයි. සුළු වශයෙන් හෝ කිසිම කුරිරු දෙයක් නොකළ යුතුයි. එමෙන්ම දෙවිගේ කැමැත්තට එකඟව තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම හැඩගස්වා ගැනීමත් අවශ්‍යයි. දෙවිගේ කැමැත්ත වන්නේ අපිට දෙවි පෙන්වා තිබෙන මාර්ගයේ හැකි උපරිමයෙන් ගමන් කිරීමයි. දෙවි අනිත් අයට සලකන ආකාරයට ඔබත් අනිත් අයට සැලකීමත් ඒ දේවල් අතරින් එක් දෙයක්.—එෆීස 5:1, 2; කොලොස්සි 3:7-10.

යෙහෝවා දෙවි අනිත් අයගේ යහපත ගැන නිතරම සැලකිලිමත් වන දෙවි කෙනෙක්. ඔහු කිසිම කෙනෙකුට අයුක්තියක් අසාධාරණයක් කවදාවත් කර නැහැ. සතුන්ට පවා කරුණාව දක්වනවා. යෙහෝවා දෙවි එවැනි කෙනෙක් බව ඔහු ක්‍රියා කරන ආකාරය ගැන හොඳින් ඉගෙනගන්න විට ඔබ තේරුම් ගනීවි. * (ද්විතීය කතාව 22:10; ගීතාවලිය 36:7; හිතෝපදේශ 12:10) යෙහෝවා දෙවි කුරිරුකම් මෙන්ම ඒවා කරන අයවද හෙළා දකිනවා. (හිතෝපදේශ 3:31, 32) තම පෞද්ගලිකත්වය වෙනස් කරගනිමින් සැබෑ ක්‍රිස්තියානි මාර්ගයේ ගමන් කරන්න කියා ඔහු අපගෙන් ඉල්ලා සිටිනවා. එසේ ජීවත් වන අය අනිත් අය තමන්ට වඩා උතුම්කොට සලකමින් ඔවුන්ට ගරු කරනවා. (ෆිලිප්පි 2:2-4) සැබෑ ක්‍රිස්තියානියෙකුගේ ගතිලක්ෂණවලට “දයානුකම්පාවෙන් යුත් ගැඹුරු සෙනෙහසද, කරුණාවන්තකමද, යටහත් පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද” අයත් වෙනවා. ප්‍රේමයද අපි වර්ධනය කළ ගත යුතු අත්‍යවශ්‍ය ගුණාංගයක්. “මන්ද එය එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි.” (කොලොස්සි 3:12-14) ලෝකයේ ජීවත් වන සෑම මිනිසෙක් තුළම එවැනි ගුණාංග තිබුණා නම් මේ ලෝකයේ මොනතරම් ලස්සන තැනක් වෙයිද!

තමන් අත් හැරිය වැරදි දේවල් නැවත කවදාවත් නොකර සිටින්න පුද්ගලයෙකුට හැකිද කියා ඔබ සිතන්න පුළුවන්. මාටින්ගේ * අද්දැකීම ගැන සලකා බලමු. කාලයක් මාටින් තමන්ගේ භාර්යාවට කෑ ගසා බැණ වඳිමින් ඇයට තදින් පහර දුන්නා. දරුවන් බලා සිටියත් ඔහු ඒ ගැන සිතුවේ නැහැ. දවසක් ඔහු මොනතරම් දරුණු විදිහට හැසිරුණාද කියනවා නම් දරුවෝ ටික උපකාර ඉල්ලා අසල්වැසියන්ගේ ගෙවල්වලට දිව්වා. කාලෙකට පස්සේ මේ පවුලේ අය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලයේ තිබෙන දේ ගැන ඉගෙනගන්න පටන් ගත්තා. තමන්ගේ ජීවිතයේ වෙනස්කම් කළ යුතු බවත් අනිත් අයට සැලකිය යුත්තේ කොහොමද කියාත් මාටින් බයිබලයෙන් ඉගෙනගත්තා. ජීවිතයේ වෙනස්කම් කරන්න ඔහුට පුළුවන් වුණාද? මේ ගැන ඔහුගේ භාර්යාවගෙන්ම අසා බලමු. “ඉස්සර නම් මගේ මහත්තයාට තරහ ගියාම හැසිරෙන්නේ දරුණු විදිහටයි. මේ හින්දා කාලයක් තිස්සේ අපේ පවුල අවුල් වෙලයි තිබුණේ. මාටින්ට හොඳ පුද්ගලයෙක් වෙන්න උපකාර කරපු යෙහෝවා දෙවිට මම හුඟාක් ස්තුතිවන්ත වෙනවා. දැන් එයා හොඳ පියෙක් වගේම හොඳ ස්වාමිපුරුෂයෙක්.”

මෙය එක් සැබෑ සිද්ධියක් පමණයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය ඉගෙනගන්න ලොව පුරා සිටින මිලියන ගණනක් කලින් කළ කුරිරු දේවල් අත් හැර තිබෙනවා. මින් පෙනී යන්නේ කුරිරුකම් නැති කර දැමිය හැකි බවයි.

කුරිරුකම් ළඟදීම නිම වෙයි

නුදුරු අනාගතයේදී දේවරාජ්‍යය මගින් මුළු ලෝකයම පාලනය කිරීමට නියමිතයි. සැබෑ ආණ්ඩුවක් වන දේවරාජ්‍යය දැනටමත් ස්වර්ගයේ පිහිටුවා තිබෙන අතර එහි පාලකයා වන්නේ දයානුකම්පාවෙන් පූර්ණ කෙනෙක් වන යේසුස්. දැනටමත් එම පාලනය මගින් සියලුම කුරිරුකම්වලට වගකිව යුත්තා වන සාතන් හා ඔහුගේ භූතයන්ව ස්වර්ගයෙන් පහකර දමා තිබෙනවා. වැඩිකල් නොගොස් දේවරාජ්‍යය මගින් පොළොවේ සිටින සාමයට ලැදි එහි යටත්වැසියන්ගේ සියලු අවශ්‍යයතා සපුරාලනු ලබනවා. (ගීතාවලිය 37:10, 11; යෙසායා 11:2-5) අද ලොව පුරා තිබෙන සියලුම ගැටලුවලට එකම විසඳුම දේවරාජ්‍යයි. එම පාලනය මේ ලෝකයේ පිහිටුවන තෙක් ඔබත් ආශාවෙන් බලා සිටිනවා ඇති. එහෙත් ඒ අතරතුරේදී ඔබ කාගේ හෝ කුරිරුකමකට ගොදුරු වුණොත් කළ හැක්කේ කුමක්ද?

තමන්ට කළ කුරිරුකම්වලට පළිගන්න යෑමෙන් සිදු වන්නේ තවත් කුරිරුකම් වැඩි වීමයි. බයිබලයේ අපව දිරිගන්වා තිබෙන්නේ “එකිනෙකා ගත කරන ජීවිතයට අනුව ලැබිය යුතු ප්‍රතිඵල ඔවුන්ට ලබා දෙන” යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න කියායි. (යෙරෙමියා 17:10, නව ලොව පරිවර්තනය, NW) (“කුරිරුකම්වලට මුහුණ දිය හැකි අයුරු” නමැති කොටස බලන්න) සමහර විට ඔබ කුරිරු පුද්ගලයෙකුගේ ක්‍රියාවක් නිසා දුක් විඳිනවා ඇති. (දේශනාකාරයා 9:11) කුරිරුකම් නිසා ඇති වන වේදනා පමණක් නොවෙයි, මරණය පවා නැති කර දමන්න දෙවිට පුළුවන්. කුරිරුකම්වලට ගොදුරු වීම නිසා මිය ගොස් සිටින, දෙවි මතක තබාගෙන සිටින අයව නැවත ජීවත් කරවන බවට ඔහු පොරොන්දු වී තිබෙනවා.—යොහන් 5:28, 29.

අපි කවුරුත් යම් දවසක කුරිරුකම්වලට ලක් විය හැකියි. ඒ වුණත් දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් ඇතුව සිටිමින් ඔහුගේ පොරොන්දු ගැන නොසැලෙන විශ්වාසයක් අපිට තිබෙනවා නම් අපිට මහත් සැනසිල්ලක් ලබන්න පුළුවන්. සාරා මුහුණ දුන් දෙය ගැන සලකා බලන්න. තම පුතුන් දෙදෙනාව හදාවඩා ගැනීමට ඇයට සිදු වුණේ තනිවමයි. දුක් මහන්සි වී පුතුන් දෙනාව රැකබලා ගත් ඇය ඔවුන් දෙදෙනාට හොඳට ඉගැන්වූවා. ඒත් ඇය වයසට ගියාට පස්සේ ඇගේ පුතුන් දෙන්නා ඇයට සැලකුවේ නැහැ. කෑම බීම බෙහෙත් හේත් ඇයට ලබා දුන්නේ නැහැ. ඇයව නොසලකා හැරියා. කෙසේවෙතත් දැන් යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන සාරා මෙසේ පවසනවා. “දරුවෝ සලකන්නේ නැති එක ගැන මට දුකක් දැනෙනවා. ඒත් යෙහෝවා දෙවි මාව අත් හැරලා නැහැ. මගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් මාර්ගයෙන් දෙවි මට උපකාර කරනවා. එයාලා හැම තිස්සේම මගේ දුක සැප හොයලා බලනවා. මට හොඳටම විශ්වාසයි, යෙහෝවා දෙවි මගේ ගැටලුව විතරක් නෙමෙයි, ඔහුගේ බලය ගැන විශ්වාස තබලා තියෙන, ඔහුගේ ආඥා පවත්වන හැම කෙනෙකුගේම ප්‍රශ්න ළඟදීම විසඳනවා කියලා.”

සාරා සහෝදර සහෝදරියන් කියා පැවසුවේ කා ගැනද? ඒ අය නම් ඇය සමඟ ඇසුරු කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ඔවුන් කරුණාවෙන් හා දයාවෙන් පිරි ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයක් මෙන් ක්‍රියා කරන සෙනඟක්. (1 පේතෘස් 2:17) දෙවි ළඟදීම සියලුම කුරිරුකම් සම්පූර්ණයෙන්ම නැති කර දමනවා කියා ඔවුන් විශ්වාස කරනවා. කුරිරුකම්වලට වගකිව යුත්තා වන යක්ෂයා මෙන්ම ඔහු වගේ කුරිරු දේවල් කරන සියලුදෙනාවම දෙවි සම්පූර්ණෙන්ම විනාශ කර දමනවා. එක් ලේඛකයෙක් අපේ කාලය හැඳින්වූයේ “කුරිරු යුගයක්” කියායි. මේ යුගය නිමා වන කාලය වැඩි ඈතක නොවෙයි. ඒ කාලයේ ජීවත් වෙන්න ඔබත් කැමතිද? එසේනම් ඒ ගැන තවත් දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමුවන්න.

[පාදසටහන්වල]

^ 16 ඡේ. දෙවිගේ ගුණාංග හා පෞද්ගලික්තවය ගැන තව බොහෝ කරුණු දැනගැනීම සඳහා යෙහෝවාට ළං වන්න නමැති පොත බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

^ 17 ඡේ. සමහර නම් සැබෑ නම් නෙවෙයි.

[6වන පිටුවේ කොටුව]

“කුරිරුකම්වලට මුහුණ දිය හැකි අයුරු”

කුරිරුකම්වලට මුහුණ දිය යුතු ආකාරය ගැන ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් බයිබලයේ සපයා තිබෙනවා. එම ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් ඔබට ක්‍රියාවට නැඟිය හැකි ආකාරය සලකා බලන්න.

“නපුරට ප්‍රතිඵල දෙන්නෙමියි නොකියා යෙහෝවා දෙස බලා සිටින්න; ඔහුද ඔබ ගලවන්නේය.”—හිතෝපදේශ 20:22.

“යම් පළාතක දුප්පත් අයට පීඩා කරනවා හෝ යුක්තිය හා ධර්මිෂ්ඨකම බලහත්කාරයෙන් යටපත් කරනවා හෝ ඔබ දකින්නෙහි නම් ඒ ගැන පුදුම නොවන්න. මන්ද, එහි ආණ්ඩුකාරයාටත් වඩා බලවත් තැනැත්තෙක් ඒ ගැන බලා සිටියි.”—දේශනාකාරයා 5:8, NW.

“මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය.”—මතෙව් 5:5.

“අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය. නීතියෙත් අනාගතවාක්‍යයෙත් හරය මෙයයි.”—මතෙව් 7:12.

“කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න. සියලුදෙනා ඉදිරියෙහි යහපත්ව තිබෙන දේවල් කරන්න සිතෙහි තබාගන්න. පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න. ප්‍රේමණීය තැනැත්තෙනි, පළි නොගෙන දෙවිගේ උදහසට ඉඩහරින්න. මන්ද, “පළිගැනීම මගේය. මම විපාක දෙන්නෙමි කියා යෙහෝවා කියන්නේය” යි ලියා තිබේ.”—රෝම 12:17-19.

“ක්‍රිස්තුස් ඔබ උදෙසා දුක් විඳ, ඔබ ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, ඔබට ආදර්ශයක් දුන්නේය. . . . ඔහුට නිග්‍රහ කරද්දී, ඔහු නිග්‍රහ කළේ නැත. ඔහු වධ විඳිද්දී, තර්ජනය නොකර, ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තැනැත්තාට තමන්වම භාර දුන්නේය.”—1 පේතෘස් 2:21-23.

[7වන පිටුවේ පින්තූර]

යෙහෝවා දෙවි කුරිරුකම් අත් හැර දැමීමට බොහෝදෙනෙකුට උගන්වා තිබෙනවා