Skip to content

පටුනට යන්න

‘ගොයම් පැහී’ තිබෙන කෙතක්

‘ගොයම් පැහී’ තිබෙන කෙතක්

‘ගොයම් පැහී’ තිබෙන කෙතක්

දකුණු අමෙරිකාවේ උතුරු කෙළවරේ වාජිටා නම් අර්ධද්වීපයක් පිහිටා තිබෙනවා. කොලොම්බියාවේ උතුරු කෙළවරේ හා වෙනිසූවෙලාවේ වයඹ දිගට වෙන්න පිහිටි එම අර්ධද්වීපයේ අධික අව් රශ්මියක් පවතින අතර වැසි ලැබෙන්නේ ඉතා කලාතුරකින්. ඇතැම් දවස්වල එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 43ක් තරම් ඉහළ අගයක් ගනී. මෙවැනි දේශගුණයක් පැවතියත් එහි වාසය කරන ජනයා වෙහෙස මහන්සි වී ගොවිතැන් කරනවා. මෙහි ගත කරන දුෂ්කර ජීවිතයට යම් සහනයක් ගෙන දෙන්නේ ඊසාන දිගින් හමන සුළං රැළියි. මෙම සුළං රැළි මගින් ගතට දැනෙන ප්‍රබෝධය විඳ ගන්නත් එහි පිහිටි අලංකාර මුහුදු වෙරළ තීරය හා ඒ අවට තිබෙන සිත්ගන්නාසුලු දර්ශන නරඹන්නත් සංචාරකයන් ඇඳී එනවා.

වායියූ කියා හඳුන්වන ඉන්දියානු සම්භවයක් ඇති ගෝත්‍රික ජන කොටසක් එම අර්ධද්වීපයේ වාසය කරනවා. වායියූ ජනයා 3,05,000 පමණ සිටින අතර ඔවුන්ගෙන් 1,35,000දෙනෙක් වාසය කරන්නේ කොලොම්බියාවෙයි. මෙම ගෝත්‍රික ජනයා කොලොම්බියාවේ වාසය කරන්නේ ස්පාඤ්ඤය විසින් එහි ජනපද පිහිටුවීමටත් පෙර සිටයි.

මේ ජන කොටසේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැන් කිරීම හා සතුන් ඇති කිරීමයි. මොවුන් ධීවර කර්මාන්තයේද නියැලෙන අතර අසල පිහිටි රටවල් සමඟ වෙළෙඳාම්ද කරයි. මේ ගෝත්‍රයේ ස්ත්‍රීන් විවිධ වර්ණ යොදා රෙදි විවීමට හරිම දක්ෂයි. මේවා සංචාරකයන් අතර ප්‍රසිද්ධයි.

මේ ජනයා අමුත්තන්ට සංග්‍රහ කිරීමට ලැදියි. එමෙන්ම අවංකයි. කෙසේවෙතත් බයිබලයේ සඳහන් විදිහට ඔවුන්ද ජීවත් වෙන්නේ “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක” කාලයකයි. (2 තිමෝති 3:1) මොවුන්ගේ ප්‍රධානතම ගැටලුව වන්නේ දිළිඳුකමයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට, අධ්‍යාපනය නොලැබීම, ළදරු මන්දපෝෂණය, වෛද්‍ය පහසුකම්වල හිඟය වැනි ගැටලු මෙන්ම ඇතැම් ප්‍රදේශවල අපරාධද සිදු වෙයි.

පසුගිය අවුරුදු ගණනාව පුරා ඇතැම් ක්‍රිස්තියානි ආගම් මෙම ජන කොටසට සේවය කිරීම සඳහා මිෂනාරිවරුන්ව යවා තිබෙනවා. මෙහි පිහිටි ගුරු විද්‍යාල හා නේවාසික පාසැල් තිබෙන්නේ ඔවුන්ගේ පාලනය යටතේයි. වායියූ ජනයාගෙන් බොහෝදෙනෙක් පිළිම නමස්කාරය හා ළදරුවන් බව්තීස්ම කිරීම වැනි ඇතැම් ක්‍රිස්තියානි ආගම්වල චාරිත්‍ර වැළඳගෙන තිබෙනවා. එහෙත් ඔවුන් තමන්ගේ ගෝත්‍රික විශ්වාසයන් හා මිථ්‍යා ඇදහිලි අත්හැර දමා නැහැ.

පොදුවේ ගත් කල මේ ජනයා භක්තිමත් පිරිසක් වන අතර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උගන්වන බයිබලයේ සඳහන් සත්‍යය ඉගැන්වීම් ගැන දැනගැනීමට කැමැත්තක් දක්වනවා. වාජිටා ප්‍රදේශයේ 1980 ගණන්වල මුල්භාගයේ සාක්ෂිකරුවන් සිටියේ හත්දෙනෙක් පමණයි. ඔවුන්ගෙන් තුන්දෙනෙක් ජීවත් වුණේ රියෝහාචා නම් එහි අගනුවරයි. එම ගෝත්‍රයට අයත් සාක්ෂිකරුවන්ට අමතරව තවත් ප්‍රචාරකයන් 20දෙනෙක් ස්පාඤ්ඤ භාෂාවෙන් එහි ශුභාරංචිය දේශනා කළා.

ශුභාරංචිය ඔවුන්ගේම භාෂාවෙන්

අගනුවර ජීවත් වන වායියූ ජනයාගෙන් වැඩිදෙනෙක් වායියූනයිකි නම් ඔවුන්ගේ මව් භාෂාවට අමතරව ස්පාඤ්ඤ භාෂාව දැන සිටියේ යම් තරමක් පමණයි. සාක්ෂිකරුවන් දේශනා කරන දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචියට මුලදී එතරම් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. තම භාෂාව කතා නොකරන අයත් සමඟ කතා කිරීමට ඔවුන් මැලිකමක් දක්වන බව සාක්ෂිකරුවන් තේරුම් ගත්තා. සාක්ෂිකරුවන් ඔවුන්ගේ නිවෙස්වලට ගිය විට වැඩිදෙනෙක් කතා කළේ ස්පාඤ්ඤ භාෂාවෙන් නොව ඔවුන්ගේ මව් භාෂාවෙන් නිසා මෙවැනි අවස්ථාවලදී සාක්ෂිකරුවන් කළේ ඊළඟ නිවසට යෑමයි.

කොලොම්බියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුන්ගේ ශාඛා කාර්යාලය විසින් 1994 අවසානයේදී විශේෂ පුරෝගාමී කණ්ඩායමක් එම ප්‍රදේශයේ ශුභාරංචිය දේශනා කිරීමට යවනු ලැබුවා. තමන්ට වායියූනයිකි භාෂාව උගන්වන්න කියා එම පුරෝගාමීන් වායියූ ගෝත්‍රික සාක්ෂිකරුවෙකුගෙන් ඉල්ලා සිටියා. මේ ගෝත්‍රයේ අයට ඔවුන්ගේම භාෂාවෙන් ශුභාරංචිය පැවසීම සඳහා ඒ පුරෝගාමීන් වචන කිහිපයක් කටපාඩම් කරගත්තා. මේ විදිහට ඒ අයට ඔවුන්ගේම භාෂාවෙන් කතා කරන විට ඔවුන් හොඳින් සවන් දෙන බව පෙනී ගියා. මේ පුරෝගාමීන් වරද්ද වරද්දා හෝ වායියුනයිකි භාෂාවෙන් කතා කරන විට ඔවුන් ඒ ගැන පුදුම වී සවන් දුන්නේ මහත් ආශාවෙන්. ටික වේලාවක් යන විට ගෙවැසියන් ඔවුන් දන්න විදිහට ස්පාඤ්ඤ භාෂාවෙන්ද කතා කරන්න පටන්ගන්නවා.

‘ගොයම් පැහී තිබේ’

සැබෑ ක්‍රිස්තියානීන් ජනයාව යේසුස්ගේ ගෝලයන් කිරීමේ කාර්යයේ නියැලී සිටිනවා. පාවුල් මෙය කෙතක වගා කිරීමට සමාන කළා. වැඩිදෙනෙක් වගා කටයුතුවල නියැලී සිටින නිසා වායියූ ජනයාට ඒ සමාන කිරීම තේරුම්ගන්න එතරම් අමාරු නැහැ. (1 කොරින්ති 3:5-9) වායියූ ජනයා දැන් ශුභාරංචිය පිළිගන්න වැඩි කැමැත්තක් දක්වන අතර ඔවුන්ව ‘ගොයම් පැහී තිබෙන’ කෙතකට සමාන කළ හැකියි.—යොහන් 4:35, පැරණි අනුවාදය.

වායියූ ගෝත්‍රයට අයත් මානයුරෙ නම් ප්‍රදේශයේ පදිංචි නීල් උපතින්ම ඇති වූ ආබාධයක් නිසා අපහසුතාවලට මුහුණ දෙනවා. මෙයට දෙවිට දොස් නැඟු ඔහු දවසක් සියදිවි හානි කරගන්න පවා උත්සාහ කළා. එක් සාක්ෂිකරුවෙක් ඔහුගේ රැකියාව සඳහා විවිධ ප්‍රදේශවලට ගමන් කළ අවස්ථාවලදී ඒ ප්‍රදේශවල ගෙයින් ගෙට සේවයේ හවුල් වුණා. ඔහුට නීල්ව හමු වුණේ එසේ සේවය කරන එක් අවස්ථාවකදීයි. ඔහු දේවරාජ්‍යය ගැන නීල් සමඟ කතා කළා. ඒ වන විට නීල්ගේ වයස අවුරුදු 14යි. බයිබලය ගැන දැනගැනීමට උනන්දුවක් නීල්ට තිබූ බව දුටු ඒ සාක්ෂිකරුවා ඔහුත් සමඟ බයිබල් පාඩමක් කරන්න පටන්ගත්තා. යෙහෝවා දෙවිගේ ප්‍රේමය ගැනත් වෙනත් යහපත් ගුණාංග ගැනත් ඉගෙනගන්න විට නීල්ට දැනුණේ මහත් ප්‍රීතියක්. තමන්ගේ ආබාධයට දෙවිට දොස් කීම සාධාරණ නැහැ කියා ඔහු තේරුම් ගත්තා. කිසිම කෙනෙක් අසනීපයකින් පෙළෙන්නේ නැති කාලයක් උදා කරමින් දෙවි මේ පොළොව පාරාදීසයක් කරන බවට දී තිබෙන පොරොන්දුව ඔහු දැනගත් විට ඔහුට දැනුණේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් මහත් ප්‍රීතියක්.—යෙසායා 33:24; මතෙව් 6:9, 10.

ඒ කාලයේදී නීල්ගේ පවුලේ අය තවත් පවුලක් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබුණා. නීල්ගේ පවුලේ අය ආරක්ෂාව පතා ඔවුන්ගේ ගෝත්‍රයේ අය කරන යම් චාරිත්‍ර ඉටු කළා. ඒ අවස්ථාවේදී සිදු වූ දෙය නීල් විස්තර කළේ මෙසේයි. “මම දැන් සැබෑ දෙවි වන යෙහෝවා කෙරෙහි ඇදහිල්ල තබා තිබෙන කෙනෙක් කියලා මගේ පවුලේ අයට, විශේෂයෙන්ම පවුලේ අය මහත් ගෞරවයෙන් සලකන වැඩිහිටියන්ට කියන්න මට මුලදී බයක් දැනුණා.” නීල් දැන් බයිබලයට පටහැනි දේවල් කරන්නෙ නැති බවත් භූතයන් හා සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍රවලට හවුල් වෙන්නේ නැති බවත් දැනගත් විට ඔහුගේ දෙමාපියන් කෝපයට පත් වුණා. පසුව නීල් අගනුවර පදිංචියට ගොස් එහි සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කරන්න පටන්ගත්තා. ටික කලකට පසු ඔහු බව්තීස්ම වුණා. ඔහුව 1993දී සභා සේවකයෙකු හැටියට පත් කරනු ලැබූ අතර ඉන් අවුරුදු තුනකට පසුව ඔහු ස්ථාවර පුරෝගාමීයෙක් හැටියට සේවය කරන්න පටන්ගත්තා. ඔහුව 1997දී වැඩිමහල්ලෙකු හැටියට පත් කරනු ලැබු අතර 2000දී විශේෂ පුරෝගාමීයෙකු වීමෙන් පසු ඔහු වැඩි සේවයක් කරන්න පටන්ගත්තා.

දැන් අපි ටෙරීසාගේ අද්දැකීම සලකා බලමු. වායියූ ගෝත්‍රයට අයත් ඇය සාක්ෂිකරුවන් සමඟ බයිබලය ගැන ඉගෙනගත්තා. ඇය කාලයක සිට ඩැනියෙල් නම් පුරුෂයා සමඟ එකට ජීවත් වෙමින් සිටිනවා. ඇගේ ආගමික විශ්වාසයන් ගැන ඔහු ඇයව සම්චලයට ලක් කළා. ඒ වගේම ඇයටත් දරුවන් තුන්දෙනාටත් ඔහු පහර දුන්නා. කලකට පසු ඔහු තරීසා සමඟ බයිබලය ගැන ඉගෙනගන්න කැමති බව පැවසුවත් ඔහු මිතුරන් සමඟ නිතර මත් පැන් පානය කරන්න ගියා. සමහර අවස්ථාවලදී දවස් දෙක තුනේ මෙසේ කළා. මේ නිසා පවුලේ ආර්ථික මට්ටම දවසින් දවස පහත වැටුණා. කොහොමවුණත් තරීසා බයිබලය ගැන ඉගෙනගැනීමවත් ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමවත් අත් හැරියේ නැහැ. මෙය දුටු ඩැනියෙල් බයිබලය ගැන ඉගෙනගැනීමේ වැදගත්කම තේරුම් ගත්තා. දවසක් ඔවුන්ගේ එක් දරුවෙක් විශාල උණු වතුර හැළියකට වැටිලා මිය ගියා. තමන්ගේ පුතා මේ විදිහට මිය යෑම ගැන තරීසා සිටියේ මහත් දුකෙන්. ඒ විතරක් නෙමෙයි, බයිබලයට එකඟ නැති අවමඟුල් චාරිත්‍ර වාරිත්‍ර පවත්වන්න කියා ඇගේ මිතුරන්ගේ හා පවුලේ අයගේ දැඩි බලපෑම්වලට මුහුණ දෙන්නත් ඇයට සිදු වුණා.

ඒ ප්‍රදේශයේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ අයගෙන් මේ දුෂ්කර කාලය තුළ ඒ යුවළට මහත් දිරිගැන්වීමක් හා සැනසිල්ලක් ලැබුණා. අවමංගල්‍යයෙන් පසු සාක්ෂිකරුවන් ඔවුන්ව සනසන්න නිතර පැමිණියා. මොවුන් අතර තිබෙන සැබෑ ක්‍රිස්තියානි ප්‍රේමය දුටු ඩැනියෙල්ද දෙවි ගැන ඉගෙනගනිමින් ඔහු සමඟ මිත්‍රත්වයක් ඇති කර ගන්න පටන් ගත්තා. ඩැනියෙල් මත්පැන් පානය කිරීමත් ටෙරීසාට හිරිහැර කිරීමත් නතර කළා. ඩැනියෙල් හා ටෙරීසා නීත්‍යානුකූලව විවාහ වූ අතර ඩැනියෙල් තම පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන්න පටන්ගත්තා. ඔවුන් දෙවි ගැන හොඳින් ඉගෙනගෙන පසුව 2003දී බව්තීස්ම වුණා. දැන් මොවුන් දෙදෙනාම තවත් කිහිපදෙනෙකුට බයිබලය ගැන උගන්වනවා.ටටෙරීසා ඇගේ නෑදෑයන්ට දුන් කදිම සාක්ෂිය නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සවන් දීමට ඔවුන්ද කැමැත්තක් දක්වනවා. ඩැනියෙල්ගේ ඥාති පුතෙක් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් හැටියට සේවය කරන අතර ඔහුගේ තවත් ඥාති දූවරුන් දෙදෙනෙක් බයිබලය ගැන ඉගෙනගනිමින් සිටිනවා. ඔවුන් සභා රැස්වීම්වලටද පැමිණෙනවා. අනතුරකින් පුතෙකු අහිමි වී සිටින ටෙරීසාගේ නෑනාත් ඇගේ පවුලේ අයත් බයිබලය ගැන ඉගෙනගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා.

දැන් ඔවුන්ගේම භාෂාවෙන් දෙවි ගැන ඉගෙනගන්න පුළුවන්

වර්ෂ 1998දී වායියූනයිකි භාෂාවෙන් පොළොව මත ජීවිතය සදාකල් භූක්ති විඳින්න! * නමැති විවරණිකාව පළ කළා. බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා එය බොහෝ සේ යොදාගනු ලබනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් පළ කරන පොත් පත් සඟරා ඒ භාෂාවට පරිවර්තනය කිරීම සඳහා සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුව පුහුණු කිරීමට 2003දී පියවර ගනු ලැබුවා. එහි අගනුවර සිටින මෙම පරිවර්තන කණ්ඩායම කඩිසරව වැඩ කිරීම නිසා තවත් විවරණිකා ඒ භාෂාවෙන් පළ කිරීමට හැකි වී තිබෙනවා. මේ නිසා ඒ භාෂාව කතා කරන බොහෝ දෙනෙකුට දෙවි ගැන නිවැරදි දැනුම ලබාගැනීමට දැන් හැකියි.

වර්ෂ 2001 සිට දිස්ත්‍රික් සමුළුවේ සමහර කතා ඒ භාෂාවට පරිවර්තනය කරනු ලබනවා. මේ විදිහට සමුළුවලදී තමන්ගේම භාෂාවෙන් සමහර කතාවලට සවන් දෙන්න ලැබීමෙන් බයිබලය ගැන ඉගෙනගන්න වායියූ ගෝත්‍රයට අයත් අයට තමන්ගේ ඇදහිල්ල ශක්තිමත් වී තිබෙනවා. තමන්ගේ භාෂාවෙන් නාට්‍යය ඉදිරිපත් කරන දවස පැමිණෙන තෙක් ඔවුන් බලා සිටින්නේ මහත් ආශාවෙන්.

සරුසාර කෙතක්

යුරේබියා කියන්නේ අගනුවරට ඊසාන දිගින් කිලෝ මීටර් 100ක් පමණ දුරින් පිහිටි නගරයක්. ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වන අය 16දෙනෙක් එහි තිබෙන සභාවේ සිටිනවා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ගම්බද ප්‍රදේශවලට ගොස් දේශනා කිරීමට මහත් වෑයමක් දරනවා. මේ ගැන එම සභාවේ වැඩිමහල්ලෙක් මෙසේ පැවසුවා. “අපි කුඩා ජනෙල් තිබෙන වහලය පහත ගෙවල් කිහිපයක් තිබෙන ප්‍රදේශයකට ගියා. මේ හැම නිවසකම ඉදිරිපිට කුඩා මඩුවක් තිබෙනවා. ඒ මඩුවේ වහලය උඩ මෝරපු දිග පතොක් දෙකට පලා වහලයට දමා තිබුණු නිසා මේ මඩුව ඇතුලේ සිටීමෙන් නිවෙස්වල අයටත් අමුත්තන්ටත් දැඩි අව් රශ්මියෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. හුඟදෙනෙක් බයිබලය ගැන ඉගෙනගන්න දක්වන උනන්දුව දකින විට අපිට දැනුණේ මහත් ප්‍රීතියක්. ඒ අයට බයිබලය ගැන උගන්වන්න අපි නැවත ඔවුන්ව හමුවෙන්න ගියා. ඔවුන්ගෙන් හුඟදෙනෙකුට කියවන්න හා ලියන්න බැහැ. අත් හැර දමා තිබෙන පාසැල් ගොඩනැඟිල්ලක් ගැන ඔවුන් අපිට කිව්වා. කියවන්න හා ලියන්න උගන්වන පන්ති පැවැත්වීම සඳහාත් බයිබලය ගැන උගන්වන්නත් එහි පන්ති කාමර පාවිච්චි කරන්න එය භාර තැනැත්තා අපිට අවසර ලබා දුන්නා. වායියූ ගෝත්‍රයට අයත් හයදෙනෙක් කියවන්න හා ලියන්න ඉගෙනගෙන බයිබලය හොඳින් අධ්‍යයනය කරනවා. මේ අය දක්වන උනන්දුව හා අගය කිරීම නිසා අපි රැස්වීම් පවත්වන්නත් අදහස් කරගෙන සිටිනවා.”

සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් වායියූනයිකි භාෂාව ඉගෙනගෙන තිබෙනවා. ඔවුන් ඒ භාෂාව කතා කරන අයට ලොකු සහයක් ලබා දෙනවා. වාජිටා නම් අර්ධද්වීපයේ තිබෙන සභා අටක් හා කණ්ඩායම් දෙකක් දැන් ඒ භාෂාවෙන් රැස්වීම් පවත්වනවා.

යෙහෝවා දෙවි ඔවුන්ගේ වෑයම්වලට ආශීර්වාද කර තිබෙන බව පැහැදිලියි. වායියූ ජනයා ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන බව පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. සැබෑ දෙවිට නමස්කාර කිරීමට උනන්දුවක් දක්වන තව බොහෝදෙනෙක් යේසුස්ගේ ගෝලයන් වෙයි කියා සිතිය හැකියි. ගොයම් ‘පැහී තිබෙන’ කෙතකට සමාන කළ හැකි මේ ප්‍රදේශයේ ජනයාට දෙවි ගැන දැනගැනීම සඳහා යෙහෝවා දෙවි තවත් දේවසේවකයන් එවන බව නිසැකයි.—මතෙව් 9:37, 38.

[පාදසටහන]

^ 18 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

[16වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

වෙනිසුවෙලා

කොලොම්බියා

වාජිටා

මානයුරෙ

රියෝහාචා

යුරේබියා

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Wayuu camp below: Victor Englebe