Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

කැෆේන් අඩංගු කෑම හා බීම ගැනීමෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වැළකී සිටිය යුතුද?

කැෆේන් අඩංගු තේ, කෝපි, කෝලා වැනි බීම වර්ග මෙන්ම චොක්ලට්ද භාවිතයට ගැනීම බයිබලයේ තහනම් කර නැහැ. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ඥානවන්ත තීරණයක් ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති එහි පෙන්වා දී තිබෙනවා. සමහර මිනිසුන් කැෆේන් අඩංගු කෑම බීම ගැනීමෙන් වැළකී සිටින්නේ ඇයි කියා අපි මුලින්ම සලකා බලමු.

සමහරුන් කැෆේන් ගැනීමෙන් වැළකී සිටීමට ප්‍රධානතම හේතුව වන්නේ එය මනසට උත්තේජනයක් ලබා දෙමින් කෙනෙකුගේ මානසික ස්වභාවය වෙනස් කරන නිසයි. කෙනෙක් දිගටම කැෆේන් ගැනීමෙන් එයට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඖෂධවේදීන් සඳහා වූ එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “දිගු කාලයක් පුරා කැෆේන් අඩංගු කෑම බීම වැඩියෙන් ගත්තොත් එය ශරීරයට නැතුව බැරි දෙයක් බවට පත් වෙනවා. මෙය ශරීරයට කොතරම් අවශ්‍යය කරනවාද කියනවා නම් කෙනෙක් කැෆේන් ගැනීම නතර කළ විට හිසරදය, කෝපය, කනස්සල්ල හා ක්ලාන්තය වැනි දෑ අද්දැකිය හැකියි.” කැෆේන් අඩංගු බීම හා කෑම වර්ග ගැනීම එකපාරටම නතර කළ විට ඇති වන ලක්ෂණ, වෙනත් මත් ද්‍රව්‍යයන් ගෙන නතර කළ විට ඇති වන ලක්ෂණවලට සමාන බව එක් පොතක සඳහන් වෙනවා. (Diagnostic and Statistical Manual of Mental Disorders) මේ හේතු නිසා එවැනි දෙයකට ඇබ්බැහි වීම වැරදි බව සිතන සමහර සාක්ෂිකරුවන් ආත්ම දමනයෙන් යුතුව ක්‍රියා කිරීමට තීරණය කරන්න පුළුවන්.—ගලාති 5:23.

කැෆේන් ගැනීම පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට පමණක් නොව නූපන් දරුවෙකුගේ සෞඛ්‍යයට පවා බලපෑ හැකි බව සමහරුන් විශ්වාස කරනවා. ‘තමන්ගේ මුළු ජීවිතයෙන්’ දෙවිට ප්‍රේම කිරීමට අණ කර තිබෙන නිසා සැබෑ ක්‍රිස්තියානීන් ඔවුන්ගේ ජීවිත කාලය කෙටි කරන කිසිම දෙයක් ගන්නේ නැහැ. ඒ වගේම තම අසල්වැසියාට ප්‍රේම කරන්න කියාද අණ කර තිබෙන නිසා ක්‍රිස්තියානීන් නූපන් දරුවෙකුගේ ජීවිතයට හානි පමුණුවන දේවලින් වැළකී සිටිනවා.—ලූක් 10:25-27.

අපේ සෞඛ්‍යයට බලපාන මෙවැනි කාරණා ගැන අප සැලකිලිමත් විය යුතුද? කැෆේන් ගැනීම නොයෙක් ලෙඩ රෝගවලට බලපාන බව පැවසූවත් හැමෝම එය අනුමත කරන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කර තිබෙන සමහර අයගේ මතය නම් කැෆේන් ශරීරයට හිතකර බවයි. වර්ෂ 2006 ටයිම් සඟරාවේ මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා. “කැෆේන් සම්බන්ධයෙන් කළ මුල් පරීක්ෂණවලින් පසු එළඹුණු නිගමනය නම් එය මූත්‍රාශයේ පිළිකාවලට, අධි රුධිර පීඩනයට හා වෙනත් රෝග ඇති වීමට හේතු වන බවයි. ඒත් මෑතකදී කළ පරීක්ෂණයකින් එම නිගමන වැරදි බව පමණක් නොවෙයි ඉන් අත් විය හැකි ප්‍රයෝජන ගැනත් සොයා ගෙන තිබෙනවා. අක්මාවේ රෝග, පාකින්සන් රෝගය, දියවැඩියාව, ඇල්සයිමර්ස් රෝගය (අමතක වීමේ රෝගය) පිත්තාශයේ ගල් ඇතිවීම හා ආතතියට මෙන්ම සමහර පිළිකාවලටද කැෆේන් ගැනීම හිතකර විය හැකි බව පෙනෙනවා.” කැෆේන් සම්බන්ධයෙන් එක් සඟරාවක වාර්තා වුණේ මෙසේයි. “වැදගත්ම දේ නම් සීමාවක් ඇතුව ගැනීමයි.”

සෑම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකුම කැෆේන් සම්බන්ධයෙන් තිබෙන අලුත්ම තොරතුරු හා එයට අදාළ බයිබල් ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන පෞද්ගලික තීරණයක් ගත යුතුයි. තමන්ගේ නූපන් දරුවාට කැෆේන් ගැනීමෙන් යම් බලපෑමක් ඇති විය හැකියි කියා සිතනවා නම් ගැබිණි මවක් කැෆේන් අඩංගු කෑම බීම නොගෙන ඉන්න තීරණ කළ හැකියි. සාක්ෂිකරුවෙකුට තමන් නිතිපතා ගන්න කැෆේන් අඩංගු දෙයක් අහිමි වූ විට නුරුස්සන ගතියක් ඇති වෙනවා නම් හෝ අසනීප ගතියක් දැනෙනවා නම් කැෆේන් ගැනීම තාවකාලිකව හෝ නතර කිරීම සුදුසු විය හැකියි. (2 පේතෘස් 1:5, 6) අනිත් අය එවැනි තීරණවලට ගරු කළ යුතු අතර තමන්ගේ මතය අනුන් මත පැටවීමට උත්සහ නොකළ යුතුයි.

ඔබ කැෆේන් අඩංගු කෑම බීම ගැන කුමන තීරණයක් ගත්තත් පාවුල් දුන් මේ උපදෙස මතක තබා ගන්න. “එබැවින්, ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත්, දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න.”—1 කොරින්ති 10:31.