Skip to content

පටුනට යන්න

පාවුල් සමඟ බෙරීයයට යමු

පාවුල් සමඟ බෙරීයයට යමු

පාවුල් සමඟ බෙරීයයට යමු

පාවුල් හා සීලස් ක්‍රි.ව. 50දී තෙසලෝනිකයේ සාර්ථක ලෙස සාක්ෂි දැරීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙක් ඇදහිලිවන්තයන් බවට පත් වුණා. එහෙත් ඊට ඊර්ෂ්‍යා වූ මැර පිරිසක් ඔවුන්ට එරෙහිව නැඟී සිට මහත් කෝලහාලයක් කළ නිසා ඔවුන් වහාම තෙසලෝනිකයෙන් පිට වී බෙරීයයයට යෑමට තීරණය කළා. ඔවුන් එවැනි තීරණයක් ගත්තේ අලුතින් පිහිටුවන ලද ක්‍රිස්තියානි සභාව ගැනත් ඔවුන්ගේ ආරක්ෂාව ගැනත් සැලකිල්ලට ගෙනයි.

බෙරීයය පිහිටා තිබෙන්නේ තෙසලෝනකියේ සිට කිලෝ මීටර් 65ක් නිරිත දිගින් හා ඒජියන් මුහුදේ සිට කිලෝ මීටර් 45ක් දුරකින්. එමෙන්ම මෙම නගරය ගස්වැල් ගහනව වැඩී තිබෙන වර්මියෝ කන්දේ නැඟෙනහිර පාමුල පිහිටා තිබෙන නිසා දුර තියාම මේ නගරය පිහිටි ස්ථානය හඳුනාගත හැකියි. ප්‍රසිද්ධ කන්දක් වන ඕලිම්පස් කන්ද පිහිටා තිබෙන්නේ මේ නගරයට දකුණු දෙසින්. ඉපැරණි ප්‍රබන්ධ කතාවකට අනුව මේ කන්ද පුරාණ ග්‍රීක මිනිසුන් ඇදහු ප්‍රධාන දෙවිවරුන්ගේ වාසය භූමිය ලෙස සලකනු ලැබුවා.

බෙරීයය කියන්නේ පාවුල් සාක්ෂි දැරීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙක් සැබෑ ක්‍රිස්තියානීන් බවට පත් වූ නගරයක් නිසා බයිබලය හදාරන අය ඒ නගරය ගැන තොරතුරු දැනගැනීමට උනන්දුවක් දක්වනවා. (ක්‍රියා 17:10-15) දැන් අපි මේ නගරයේ ඉතිහාසය ගැනත් පාවුල් එහිදී කළ දේශනා කිරීම ගැනත් සලකා බලමු.

මුල් ඉතිහාසය

බෙරීයය නගරය බිහි වූ ආකාරය ගැන නිශ්චිත තොරතුරු සොයාගැනීමට නැහැ. මෙහි මුල් වැසියන් වූයේ මැසිඩෝනියානුවන් විසින් ක්‍රි.පූ. හත්වන සියවසේදී කුඩා ආසියාවේ පිහිටි ඉපැරණි ෆ්‍රිජිය (වර්තමානයේ තුර්කිය) නම් දේශයෙන් පිටුවහල් කළ ගෝත්‍රික ජනයා කියා සිතිය හැකියි. ඉන් සියවස් තුනකට පසු, මහ ඇලෙක්සැන්ඩර් දේශ බොහොමයක් අත්පත් කරගැනීමත් සමඟම මැසිඩෝනියාව ධනවත් මෙන්ම ප්‍රබල දේශයක් බවට පත් වුණා. සියුස්, අර්තේමිස්, ඇපලෝ, ඇතීනා හා වෙනත් ග්‍රීක දෙවි දේවතාවුන් වෙනුවෙන් සිද්ධස්ථාන එහි සාදා තිබුණා.

සියවස් ගණනාවක් පුරා බෙරීයය එහි “අවට ප්‍රදේශය හා ග්‍රීසියේ උතුරු ප්‍රදේශය පුරා වැදගත් කාර්යයක් ඉටු කළා” කියා එක් ඉතිහාස පොතක සඳහන් වෙනවා. මැසිඩෝනියානු රාජ පෙළපතේ අවසන් රජ වූ ඇන්ටිගොනිස්ගේ පාලන සමයේදී (ක්‍රි.පූ. 306-168) බෙරීයය ඉතා වැදගත් නගරයක් බවට පත් වුණා. අවසානයේදී රෝමවරුන් අතින් මේ රාජ පෙළපත පරාජය වුණා.

රෝමවරුන් මැසිඩෝනියානු රජ වූ Vවන ෆිලිප්ව ක්‍රි.පූ. 197 දී පරාජය කළ විට රෝමය මධ්‍යධරණි ප්‍රදේශයේ නැඟෙනහිර කොටසේ ප්‍රධාන බලවේගය වූවා කියා එක් පොතක සඳහන් වෙනවා. (Encyclopædia Britannica) ක්‍රිස්තු පූර්ව168දී බෙරීයයට දකුණින් පිහිටි පිඩ්නා නම් ප්‍රදේශයේදී රෝම සෙන්පතියෙක් වූ පර්සියස් මැසිඩෝනියාවේ අවසන් පාලකයාව පරාජය කළා. බයිබලයේ කලින් සඳහන් කළ ආකාරයට රෝමය විසින් ග්‍රීසිය පරාජය කළා. (දානියෙල් 7:6, 7, 23) ඒ සටනින් පසු රෝමයට යටත් වූ මුල්ම මැසිඩෝනියානු නගරවලින් එකක් වූයේ බෙරීයයයි.

ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේදී රෝම හමුදාපති පොම්පෙයි සහ ජුලියස් සීසර් අතර සටන සිදු වුණේ මැසිඩෝනියාවෙයි. ඒ කාලයේ පොම්පෙයි ඔහුගේ හමුදා රැස් කර තැබුවේ බෙරීයය නගරයේයි.

රෝම අධිරාජ්‍යය යටතේ නගරය ලැබූ දියුණුව

රෝම පාලනය යටතේ බෙරීයය නගරයේ මාර්ග වැඩි දියුණු කළා. මාර්ගය දෙපස සාදා තිබූ කුළුණු මාර්ගයේ අලංකාරය තවත් වැඩි කළා. නගරයේ පොදු නාන ස්ථාන සාදා තිබුණා. එමෙන්ම රඟහල්, පුස්තකාල හා ග්ලැඩියේටර්වරුන් කියා හැඳින්වූ සටන්කාමීන් සඳහා සටන් භූමි මේ නගරයේ තනා තිබුණා. පානීය ජලය නළ මගින් ලබාගත හැකි වූ අතර නගරය පුරා හොඳින් සැලසුම් කළ ජල ප්‍රවාහ පද්ධතියක්ද තිබුණා. වෙළෙඳ නගරයක් බවට ප්‍රසිද්ධියක් ඉසුලූ බෙරීයය නගරයට වෙළෙඳුන්, කලාකරුවන්, ක්‍රීඩකයන් පැමිණියා. තරඟ නැරඹීම සඳහාද විශාල පිරිසක් පැමිණියා. නගරය පුරා විවිධ ආගම්වලට අයත් සිද්ධස්ථාන තනා තිබුණු නිසා වෙනත් දේශවලින් පැමිණි අයට තමන් අදහන දෙවිවරුන්ට නමස්කාර කිරීමට මේ නගරයේදී හැකි වුණා කියා සිතිය හැකියි. මේ නගරය බොහෝ ආගම් අදහන අය ගැවසෙන ස්ථානයක් බවට පත් වුණේ ඒ නිසයි.

බෙරීයේ විසූ ඇතැමුන් මිය ගිය රෝම පාලකයන්ව දෙවිවරුන් ලෙස ඇදහුවා. බෙරීයේ වැසියන් ග්‍රීසියේ මහ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට නමස්කාර කළ නිසා එය ඔවුන්ට අමුතු දෙයක් වුණේ නැහැ. එක් ග්‍රීක පොතක මෙසේ සඳහන් වෙනවා. ‘ග්‍රීකවරුන් කලින් ඔවුන්ගේ අධිරාජ්‍යය පැවති සමයේදී ඔවුන්ගේ රජවරුන්ව සැලකුවේ දෙවිවරුන් ලෙසයි. මේ නිසා රෝම අධිරාජ්‍යයේ යටතේ සිටින විට ඔවුන් රෝමයේ රජවරුන්ටද ගරු කළේ දෙවිවරුන්ට සමානවයි. ඔවුන්ගේ කාසිවල තිබූ අධිරාජ්‍යයාගේ රූපය සකස් කර තිබුණේ ඔහු දෙවි කෙනෙක්ව නියෝජනය කරන ආකාරයටයි. ජනයා රජවරුන්ව දෙවිවරුන් මෙන් සලකමින් ඔවුන් වෙනුවෙන් ප්‍රශංසා ගී ගායනා කළා.’ නමස්කාරය සඳහා පූජාසන හා සිද්ධාස්ථාන තනා තිබූ අතර ඒවායේදී පූජා ඔප්පු කළා. අධිරාජ්‍යයාව දෙවි කෙනෙක් මෙන් සලකා ඔහු වෙනුවෙන් පැවැත්වූ විශේෂ ආගමික උත්සවවලට ඔහුද සහභාගි වුණා.

බෙරීයය නගරයේ බොරු නමස්කාරයේ මධ්‍යස්ථානයක් වීමට හේතුව කුමක්ද? ඊට ප්‍රධානතම හේතුව එය මැසිඩෝනියාවේ විවිධ නගරවලින් පැමිණි නියෝජිතයන් එක්රැස් වූ ස්ථානයක් වූ නිසයි. එම නියෝජිතයන් බෙරීයය නගරයේදී නිතර පවත්වන ලද එක්රැස්වීම්වලදී (කැනොන්) නගරයේ හා රෝම අධිරාජ්‍යය යටතේ තිබූ පළාත්වල විවිධ කාරණා සලකා බැලුවා. මෙම එක්රැස්වීම්වල එක් ප්‍රධාන කාර්යයක් වුණේ මිය ගිය අධිරාජ්‍යයන් දෙවිවරුන් මෙන් සලකා කරන නමස්කාරය ගැන සොයා බැලීමයි.

පාවුල් හා සීලස් තෙසලෝනිකයෙන් පලා ගොස් පැමිණියේ මෙවැනි වාතාවරණයක් තිබූ බෙරීයය නගරයටයි. ඒ කාලය වන විට මේ නගරය සියවස් දෙකක කාලයක සිට පැවතුණේ රෝමයේ පාලනය යටතේයි.

බෙරීයේ වැසියන්ට ශුභාරංචිය ලැබෙයි

පාවුල් බෙරීයේ ශුභාරංචියේ දේශනා කළේ එහි තිබූ සිනගෝගයකදීයි. ජනයා ඔහුට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? මේ ගැන බයිබල් වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. එහි සිටි යුදෙව්වන් “තෙසලෝනිකයේ සිටි අයට වඩා උදාර ගතිගුණ තිබිණ. මන්ද ඔවුහු මහත් උනන්දුවකින් වචනය පිළිගෙන, මේ දේවල් සැබෑදැයි බලන පිණිස දිනපතා ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කළෝය.” (ක්‍රියා 17:10, 11) “උදාර ගතිගුණ” තිබූ මොවුන් ඔවුන්ගේම මතිතාන්තරවල එල්බගෙන සිටියේ නැහැ. ඔවුන් අලුත් දේවලට සවන් දුන්නත් ඒවා දෙස බැලුවේ සැකයෙන් නොවෙයි. එමෙන්ම ඒ ගැන කෝපයට පත් වුණේද නැහැ. ඔවුන් පාවුල් පැවසූ දේවල් ප්‍රතික්ෂේප නොකර විවෘත මනසකින් ඔහුට හොඳින් සවන් දුන්නා.

පාවුල් ඉගැන්වූ දේවල් සත්‍යය බව ඔවුන් විශ්වාස කළේ ඇයි? බයිබල් විශාරදයෙකු වන මැතිව් හෙන්රි සඳහන් කළ පරිදි පාවුල් ශුද්ධ ලියවිලි යොදාගනිමින් ඔවුන්ට තහවුරු කළ සත්‍යයන් ඔවුන්ද තමන් සතුව තිබූ ශුද්ධ ලියවිලි යොදා ගනිමින් පරීක්ෂා කර බැලුවා.

බෙරීයයවරුන් ශුද්ධ ලියවිලි පරීක්ෂා කර බැලුවේ නිකං මතු පිටින් කියවා බැලීමෙන් නොවෙයි. ඔවුන් ඒ සඳහා දිනපතා සෑහෙන කාලයක් වැය කළා. ඔවුන් ශුද්ධ ලියවිලි අධ්‍යයන කිරීම සබත් දවස්වලට පමණක් සීමා කළේ නැහැ.

එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද කියා සිතා බලන්න. බෙරීයේ සිටි යුදෙව්වන්ගෙන් බොහෝදනෙක් ඇදහිලිවන්තයන් බවට පත් වුණා. යුදෙව් ආගම් වැළඳගත් වෙනත් ජාතිකයන්ද ඇතුළුව ග්‍රීකවරුන් බොහෝදෙනෙක්ද සැබෑ ක්‍රිස්තියානීන් බවට පත් වුණා. එහෙත් තෙසලෝනිකයේ සිටි යුදෙව්වන්ට ඒ ගැන ආරංචි වූ විට ‘සමූහයන්ව අවුස්සා කැලඹීමක් ඇති කිරීමට’ ඔවුන් බෙරීයයටත් පැමිණියා—ක්‍රියා 17:4, 12, 13.

බෙරීයය හැර යෑමට පාවුල්ට සිදු වුණා. ඒත් ඔහු ගිය සැම තැනකම ශුභාරංචිය දේශනා කළා. මේ වතාවේදී ඔහු නැවෙන් ගියේ ඇතැන්ස් නගරයටයි. (ක්‍රියා 17:14, 15) කොහොමවුණත් තමන් බෙරීයේ දේශනා කිරීමේ ප්‍රතිපලයක් හැටියට එහි සිටි සමහරුන් සැබෑ ක්‍රිස්තියානීන් වීම ගැන ප්‍රීති වීමට ඔහුට හැකි වුණා. මේ කාලයේදීත් බෙරීයේ බොහෝ සාක්ෂිකරුවන් සිටිනවා.

“සියල්ල සෝදිසි කර බලා යහපත් දේ තදින් [අල්ලාගැනීම]” සඳහා ශුද්ධ ලියවිලි හොඳින් පරීක්ෂා කර බලන ජනයා මේ කාලයෙත් බෙරීයයේ සිටිනවා. (1 තෙසලෝනික 5:21) මේ නගරයේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා දෙකක් පාවුල් කළාක් මෙන් බයිබලයේ සඳහන් පණිවිඩය සාර්ථක ලෙස අන් සමඟ බෙදා ගන්නවා. සැබෑ දෙවි වන යෙහෝවා ගැන දැනගැනීමට කැමති සියලුදෙනාටම උපකාර කිරීමට බයිබලයට මහත් බලයක් තිබෙන බව ඔවුන් දන්නවා. (හෙබ්‍රෙව් 4:12) සාක්ෂිකරුවන් එවැනි අවංක පුද්ගලයන්ව සොයමින් ඔවුන්ට ශුද්ධ ලියවිල්ලේ සඳහන් කාරණා තර්කානුකූලව පහදා දෙනවා.

[13වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

පාවුල්ගේ දෙවන මිෂනාරී ගමනින් කොටසක්

මිසියාව

ත්‍රෝවස

නෙයපොලිසය

ෆිලිප්පිය

මැසිඩෝනියාව

අම්ෆිපොලිසය

තෙසලෝනිකය

බෙරීයය

ග්‍රීසිය

ඇතන්ස්

කොරින්තිය

ඇකේයාව

ආසියාව

එෆීසය

රෝඩ්ස්

[13වන පිටුවේ පින්තූරය]

මහ ඇලෙක්සැන්ඩර්ව ග්‍රීක දෙවිවරයෙක් ලෙස දක්වා තිබෙන රිදී කාසියක්

[හිමිකම් විස්තර]

Coin: Pictorial Archive (Near Eastern History) Est.

[14වන පිටුවේ පින්තූරය]

බෙරීයේ (වේරොයියා) යුදෙව් ජනපදයට ඇතුල් වන දොරටුවක්

[15වන පිටුවේ පින්තූරය]

වර්තමානයේ බෙරීයේ (වේරොයියා) දැකිය හැකි පැරණි සිනගෝගයක්