Skip to content

පටුනට යන්න

බලාපොරොත්තු ඉටු නොවන විට

බලාපොරොත්තු ඉටු නොවන විට

බලාපොරොත්තු ඉටු නොවන විට

විවාහයට පෙර දෙදෙනෙක් කදිමට ගැලපෙනවා කියා සිතුවද ඕනෑම විවාහ ජීවිතයක කලකිරීම් ඇති වන්න පුළුවන්. හොඳින් ගැලපෙනවා කියා සිතූ යුවළක් විවාහ වීමෙන් පසු ඔවුන් වෙනස් වෙන්නේ ඇයි?

එක් බයිබල් පරිවර්තනයක 1 කොරින්ති 7:28හි සඳහන් කර තිබෙන්නේ විවාහ වන අයට ජීවිතයේ “දුක හා වේදනාව” අද්දකින්න සිදු වන බවයි. (The New English Bible) මෙයට එක් හේතුවක් වෙන්නේ මිනිසුන්ට උරුම වී තිබෙන පාපයයි. (රෝම 3:23) ඊට අමතරව එක් කෙනෙක් හෝ දෙදෙනාම බයිබල් ප්‍රතිපත්ති අදාළ කර නොගැනීමත් එයට බලපෑ හැකියි. (යෙසායා 48:17, 18) සමහර අවස්ථාවලදී කෙනෙක් විවාහ වන්නේ ඕනෑවට වඩා බලාපොරොත්තු ඇතුවයි. ඒ නිසා වරදවා වටහා ගැනීම් ඇති විය හැකි අතර ඒවා බරපතළ ප්‍රශ්න දක්වා දුර දිග යා හැකියි.

ඉටු නොවන බලාපොරොත්තු

ඔබත් විවාහ ජීවිතයට පිවිසුණේ දහසක් බලාපොරොත්තු පොඳි බැඳගෙන විය හැකියි. ඔබ සිහින මැවූ ජීවිතය ගැන මොහොතක් කල්පනා කර බලන්න. ඔබ දැන් ගත කරන්නේ ඔබ බලාපොරොත්තු වූ ඒ ජීවිතයමද? එසේ නොවේ නම් කලකිරෙන්න එපා. බයිබල් ප්‍රතිපත්ති අදාළ කර ගැනීමෙන් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන්න ඔබට හැකි වෙයි. * (2 තිමෝති 3:16) ඒ අතරතුර ඔබ විවාහ වුණේ මොනවගේ බලාපොරොත්තු ඇතිවද කියාත් කල්පනා කරන්න කාලය ගන්න.

සමහර අය සිතන්නේ විවාහ ජීවිතය කියන්නේ ආදරයෙන් පිරී ඉතිරි ගිය සුරංගනා කතාවක් තරම් ලස්සන එකක් කියායි. ඔබේ සැමියා හෝ බිරිඳ නිතරම ඔබ සමඟ සිටිමින් කාලය ගත කරයි කියා හෝ යම් ප්‍රශ්න ගැටලු ඇති වෙන විට ඒවා වාද විවාද ඇති නොවී සාමකාමීව හා පහසුවෙන් විසඳ ගත හැකියි කියා ඔබ සිතුවා විය හැකියි. එසේම බොහෝදෙනෙක් සිතන්නේ විවාහ වූවාට පසු තමන්ට රිසි පරිදි තම පුරුෂයා හෝ භාර්යාව සමඟ ලිංගිකව හැසිරිය හැකි බවයි. කවදාවත් ඉටු නොවන එවැනි බලාපොරොත්තු ඇතුව සිටීම නිසා අවසානයේ අත් වන්නේ වේදනාව හා කලකිරීම පමණයි.—ගලාති 3.16.

ජීවිතයට සහකරුවෙක් හෝ සහකාරියක් සිටීම ප්‍රීතියක් බව ඇත්තයි. (හිතෝපදේශ 18:22; 31:10; දේශනාකාරයා 4:9) ඒත් විවාහ වීමෙන් සියලුම ප්‍රශ්න ගැටලුවලින් මිදී ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකියි කියා සිතීම යථාර්ථවාදී දෙයක් නෙවෙයි. ජීවිතයේ සියලුම ප්‍රශ්නවලට විවාහය තුළින් සහනයක් ලබා ගත හැකියි කියා සිතනවා නම් එය ඉටු නොවන සුන්දර සිහිනයක් පමණයි.

බලාපොරොත්තු ගැන නොපවසන විට

ඔබ ඔබේ සහකාරයා හෝ සහකාරියගෙන් බලාපොරොත්තු වන හැම දෙයක්ම වැරදි දේවල් නෙවෙයි. සමහර බලාපොරොත්තු සාධාරණයි. මෙවැනි බලාපොරොත්තු ඉටු කර ගැනීමට උත්සහ කිරීමේදී යම් යම් ප්‍රශ්න ගැටලු මතු වෙන්න පුළුවන්. “මම දැකලා තියෙනවා අඹු සැමියන් එකිනෙකා එක්ක තරහෙන් ඉන්නවා. එක් කෙනෙක් බලාගෙන ඉන්නවා අනිත් තැනැත්තා තමන් බලාපොරොත්තු වන දේ ඉටු කරයි කියලා. ඒත් ඒ ගැන නොකියා හිතේ තද කරන් ඉන්න නිසා අනිත් කෙනා ඒ බව දන්නේවත් නැහැයි” කියා එක් විවාහ උපදේශකයෙක් පැවසුවා. මේ ගැන වඩාත් පැහැදිලිව තේරුම් ගන්න අපි මේ සිද්ධිය සලකා බලමු.

නයනා විවාහ වුණේ ඇගේ නිවසින් කිලෝ මීටර් සියයක් පමණ ඈත ප්‍රදේශයක ජීවත් වන කමල් සමඟයි. තැන්පත් ගති පැවතුම්වලින් යුත් ලැජ්ජාශීලී නයනාට වෙනත් ප්‍රදේශයකට හැඩගැසීම අභියෝගයක් බව විවාහයට පෙර සිටම ඇය දැන සිටියා. ඒත් ඇයට දැඩි විශ්වාසයක් තිබුණා ඒ තත්වයට මුහුණ දීමට කමල් ඇයට උදව් කරයි කියා. ඔහු තමන් ළඟම සිට ඒ පරිසරයට හැඩගැසීමට තමන්ට උපකාර කරයි කියා ඇය සිතුවා. ඒත් සිදු වුණේ එය නෙවෙයි. මිතුරන් හමු වන විට ඔහු නයනාව තනිකර දමා ඔවුන් සමඟ දිර්ඝ සාකච්ඡාවල යෙදුණා. මෙවැනි අවස්ථාවලදී නයනාට හැඟුණේ තමන් තනි වී ඇති බවයි. “කමල් මං ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැයි” කියා ඇය සිතුවා.

නයනා කමල්ගෙන් බලාපොරොත්තු වුණේ අසාධාරණ දෙයක්ද? ඇත්තෙන්ම නැහැ. ලැජ්ජාශීලී තැනත්තියක් වූ නයනාට ඕන වුණේ අලුත් පරිසරයට හුරු වෙන්න තමාගේ සැමියාගේ උපකාරය පමණයි. නමුත් ප්‍රශ්නය වුණේ ඇය කවදාවත් මේ බවක් කමල්ට පවසා නොතිබීමයි. මේ තත්වය දිගටම පැවතුණා නම් නයනාට කමල් කෙරෙහි ඇති වන කෝපය දිනෙන් දින වැඩි වන අතර ඔහු ඇගේ හැඟීම් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැති කෙනෙක් බව සිතන්නත් ඉඩ තිබුණා.

සමහර අවස්ථාවලදී ඔබේ සහකාරයා හෝ සහකාරියගෙන් බලාපොරොත්තු වන දේ ඉටු නොවන අවස්ථාවලදී ඔබත් කලකිරී ඇති. එවැනි අවස්ථාවලදී ඔබට කළ හැක්කේ කුමක්ද?

කතා බහ කරන්න

බලාපොරොත්තු ඉටු නොවන විට සිතට දුකක් ඇති වෙනවා. (හිතෝපදේශ 13:12) ඒත් මේ සම්බන්ධයෙන් ඔබට යමක් කළ හැකි බව ඔබ දන්නවාද? හිතෝපදේශ 16හි 23වන පදය එක් බයිබලයක (Contemporary English Version) පරිවර්තනය කර තිබෙන්නේ “ඔබ ඥානවන්තව මෙන්ම අන් අයගේ සිත දිනාගන්න ආකාරයෙන් කතා කරනවා නම්, ඔවුන්ව දිනාගන්න ඔබට හැකි වෙයි” කියායි. ඔබ බලාපොරොත්තු වන යම් සාධාරණ දෙයක් ඔබේ සහකාරයා හෝ සහකාරිය අතින් ඉටු වී නැත්නම් ඔහු හෝ ඇය සමඟ ඒ ගැන විවෘතව කතා කරන්න.

මෙවැනි කතා බහක් සඳහා සුදුසු වේලාවක්, සුදුසු අවස්ථාවක් මෙන්ම සුදුසු වචනද තෝරා ගන්න. (හිතෝපදේශ 25:11) සන්සුන්ව හා ගෞරවනීය ලෙස කතා කරන්න. ඔබ කතා කරන්නේ ඔහුට හෝ ඇයට දොස් පැවරීමේ අදහසින් නොව ඔහුගෙන් හෝ ඇයගෙන් බලාපොරොත්තු වන දේ හා ඔබේ හැඟීම් පැවසීමට පමණක් බව මතක තබා ගන්න.—හිතෝපදේශ 15:1.

මෙලෙස විවෘතව කතා කළ යුත්තේ ඇයි? ඔබ ගැන සැලකිලිමත් වන සහකරුවෙකුට හෝ සහකාරියකට ඔබේ අවශ්‍යතාවන් තේරුම් ගන්න බැරිද? සමහර විට ඔහු හෝ ඇය කාරණා දෙස බලන්නේ වෙනත් කෝණයකින් විය හැකියි. නමුත් ඔබේ අදහස් ඔබ විවෘතව පවසනවා නම් ඒවා සැලකිල්ලට ගන්න ඔහු හෝ ඇය කැමති විය හැකියි. ඔබේ අවශ්‍යතා ගැන කතා බහ කිරීමෙන් අදහස් කරන්නේ ඔබේ විවාහය අසාර්ථක එකක් කියාවත් ඔහු හෝ ඇය කිසිම සැලකිල්ලක් නොදක්වන කෙනෙක් කියාවත් නෙවෙයි.

ඒ නිසා විවෘතව අදහස් හුවමාරු කිරීමට පසුබට නොවන්න. අපි කලින් සලකා බැලූ සිද්ධියේදී නයනාට මෙවැනි දෙයක් කමල්ට කියන්න තිබුණා. “මට අලුත් අය හුඟ දෙනෙක්ව අඳුන ගන්න එක අභියෝගයක් කියලා මම දන්නවා. මම මේ අයට හුරු වෙනකම් ඔයාට පුළුවන්ද මාත් එක්ක ඉඳලා මට උදව් කරන්න.”

‘ඇසීමට ඉක්මන් වෙන්න’

දැන් අපි මේ කාරණය දෙස වෙනත් කෝණයකින් බලමු. ඔබේ සහකාරයා හෝ සහකාරිය ඔබ වෙත පැමිණ ඔබෙන් බලාපොරොත්තු වූ යම් සාධාරණ දෙයක් ඔබ ඉටු කර නැති බව පැවසුවොත් ඔබ කළ යුත්තේ කුමක්ද? කළ යුතු හොඳම දේ සවන්දීමයි. නිදහසට කරුණු කියන්න උත්සහ කරන්න එපා. ඒ වෙනුවට ‘ඇසීමට ඉක්මන් වෙන්න. කතා කිරීමට ප්‍රමාද වෙන්න. උදහස් වීමටද ප්‍රමාද වෙන්න.’ (යාකොබ් 1:19; හිතෝපදේශ 18:13) පාවුල් ක්‍රිස්තියානීන්ට මෙසේ උනන්දු කළා. “එකිනෙකා තම තමාගේම ප්‍රයෝජනය නොව, අනික් තැනැත්තාගේ ප්‍රයෝජනය සොයාවා.”—1 කොරින්ති 10:24.

ඔබ ඒ තත්වයේ සිටියා නම් ඔබ කුමක් කරාවිද කියා කල්පනා කර බැලීමෙන් ඔබට ඔහුව හෝ ඇයව පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වෙයි. ‘ස්වාමිපුරුෂයෙනි, ඔබත් දැනගැන්මට අනුව ඔවුන් [භාර්යාවරුන්] සමඟ වාසය කරන්න’ කියා බයිබලයේ අවවාද කර තිබෙනවා. වෙනත් පරිවර්තනයක (J. B. Phillip’s translation) එය දක්වා තිබෙන්නේ “ඔබේ භාර්යාව තේරුම් ගෙන ජිවත් වෙන්න “ කියායි. (1 පේතෘස් 3:7) මෙය භාර්යාවන්ටත් අදාළයි.

ඔබ දෙදෙනා අතර කොතරම් හොඳ ගැලපීමක් තිබුණත් යම් කාරණයක් දෙස බලන්නේ දෙවිදිහකට විය හැකියි. (“එකම දර්ශනයක් විවිධ ආකාරවලින් දැකීම” යන මාතෘකාවෙන් යුත් කොටුව බලන්න.) මෙය ඇත්තෙන්ම ආශිර්වාදයක්! එයට හේතුව කාරණයක් දෙස අනිත් කෙනා බලන ආකාරයෙන් බලන්න ඔබටත් හැකි වන නිසයි. විවාහ වන දෙදෙනාගේ පවුල් පසුබිම් හා සංස්කෘතිය එකිනෛකට වෙනස් වෙන්න පුළුවන්. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ගේ බලාපොරොත්තුත් වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණත් දෙදෙනා අතර තිබෙන ප්‍රේමයට එය බාධාවක් නෙවෙයි.

උදාහරණයක් ලෙස ක්‍රිස්තියානී ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් පවුලේ හිස සම්බන්ධයෙන් බයිබල් ප්‍රතිපත්තිය ගැන හොඳින් දැන සිටිනවා විය හැකියි. (එෆීස 5:22, 23) නමුත් ඔබේ පවුල තුළ ඔබ මූලිකත්වයක් හොබවන්නේ කෙසේද? එමෙන්ම එයට යටත් වීම පෙන්වන්නේ කෙසේද? ඔබ දෙදෙනාම බයිබල් ප්‍රතිපත්ති මගින් මඟ පෙන්වීම් ලැබීමට හා ඒවා අදාළ කර ගැනීමට දැඩි වෑයමක් දරනවාද?

එදිනෙදා ජීවිතයේ කාරණා සම්බන්ධයෙන්ද ඔබ දෙදෙනාට විවිධ අදහස් තිබෙන්න පුළුවන්. ගෙදර දොරේ සමහර වැඩ කටයුතු කරන්නේ කවුද? ඔබ නැදෑ හිතමිතුරන්ව බලන්න යන්නේ කුමන දවස්වලදීද? ඒ සඳහා කොපමණ කාලයක් වැය කරනවාද? ක්‍රිස්තියානී යුවළක් හැටියට ජීවිතයේ මුල් තැන දේවරාජ්‍යය හා සම්බන්ධ කාරණාවලට දෙන බව පෙන්විය හැක්කේ කෙසේද? (මතෙව් 6:33) මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කළේ නැත්නම් අපි ණය වෙන්න පුළුවන්. ඒත් අරපිරිමැස්මෙන් මුදල් පාවිච්චි කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙවැනි කාරණා විවෘතව හා ගෞරවනීය ලෙස සාකච්ඡා කිරීමෙන් ඔබ දෙදෙනා මහත් ප්‍රයෝජන ලබනවා නිසැකයි.

ඔබ බලාපොරොත්තු වූ යම් දේවල් තවමත් ඉටු නොවුණත් මෙසේ කතා බහ කර දේවල් විසඳා ගැනීමෙන් ඔබේ පවුල් ජීවිතය වඩාත් ප්‍රීතිමත් එකක් වේවි. ඒ වගේම පාවුල් දුන් මේ උපදෙස වඩාත් හොඳින් ඔබේ ජීවිතයට අදාළ කිරීමටත් හැකි වේවි. යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්, එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න.”—කොලොස්සි 3:13.

[පාදසටහන]

^ 5 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ විවාහක යුවළයන්ට බොහෝ ප්‍රයෝජනවත් උපදෙස් අඩංගු වෙයි.

[11වන පිටුවේ කොටුව/පින්තූරය]

එකම දර්ශනයක් විවිධ ආකාරවලින් දැකීම

“දැකුම්කලු දර්ශනයක් නරඹන සංචාරකයන් පිරිසක් සිතින් මවා ගන්න. කණ්ඩායමේ සිටින සියලු දෙනාම දකින්නේ එකම දර්ශනය වුණත් ඔවුන් එකිනෙකා එය දකින්නේ වෙනස් ආකාරයටයි. එයට හේතුව එකම ස්ථානයේ සිට ඔවුන් ඒ දෙස බලන්නේ නැති නිසයි. ඒ වගේම හැම දෙනාම බලා සිටින්නේ එම දර්ශනයේ එකම තැන දෙස නොවෙයි. එක් එක් තැනැත්තා ඔවුන් ආස කරන විවිධ තැන් දෙස බලනවා. විවාහ ජීවිතයේදීද මෙය සත්‍යයක්. දෙදෙනෙක් අතර කොතරම් හොඳ ගැලපීමක් තිබුණත් යම් කාරණයක් දෙස ඔවුන් බලන්නේ දෙවිදිහකට විය හැකියි . . . නමුත් කතා බහ කිරීම තුළින් මත භේද විසඳා ගෙන එක මාංසයක් මෙන් ක්‍රියා කළ හැකියි. මේ නිසා කතා බහ කිරීමට කාලය ගන්න.”—1993,අගෝස්තු 1 මුරටැඹ කලාපයේ 4වෙනි පිටුව.

[11වන පිටුවේ කොටුව]

ඔබට කළ හැකි දේ

• ඔබ ඔබේ සැමියාගෙන් හෝ බිරිඳගෙන් බලාපොරොත්තු වන දේවල් ගැන නැවත සිතා බලන්න. ඒවා ඉටු කරගත හැකි දේවල්ද? ඔබ ඕනෑවට වඩා ඔහුගෙන් හෝ ඇගෙන් දේවල් බලාපොරොත්තු වෙනවාද?ෆිලිප්පි 2:4; 4:5.

• ඉටු නොවන බලාපොරොත්තු ඇත්නම් ඒවා ඉවතලන්න. උදාහරණයකට “අපි අතර කවදාවත් එකඟ නොවීම් ඇති වෙන්නේ නැහැයි” කියා සිතනවාට වඩා, එවැනි දේවල් ඇති වන විට සාමාකාමීව විසඳා ගන්න බව සිතා ගන්න.එෆීස 4:32.

• ඔබ බලාපොරොත්තු වන දේවල් ගැන කියන්න. එකිනෙකාට ගෞරවය හා ප්‍රේමය පෙන්විය හැකි ප්‍රධානතම ආකාරය වන්නේ කතා බහ කර ගැටලු විසඳා ගැනීමයි.එෆීස 5:33.

[9වන පිටුවේ පින්තූරය]

ඔබේ සහකාරිය හෝ සහකාරයා පවසන දේ ‘ඇසීමට ඉක්මන් වන්න’