Skip to content

පටුනට යන්න

සභාව අපව ශක්තිමත් කරයි

සභාව අපව ශක්තිමත් කරයි

සභාව අපව ශක්තිමත් කරයි

“සභාව ගොඩනැඟෙමින් සාමකාමී කාලයක් උදා විය.”—ක්‍රියා 9:31.

1. “දෙවිගේ සභාව” සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න මොනවාද?

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී බිහි වූ “දෙවිගේ ඊශ්‍රායෙල්” කියා හඳුන්වනු ලබන නව ජාතිය යෙහෝවා දෙවි පිළිගත් අතර එහි මුල්ම සාමාජිකයන් වූයේ යේසුස්ගේ ගෝලයන්ගෙන් සමන්විත කණ්ඩායමක්. (ගලාති 6:16) මෙම කණ්ඩායම “දෙවිගේ සභාව” කියාද බයිබලයේ හඳුන්වා තිබෙනවා. (1 කොරින්ති 11:22) “දෙවිගේ සභාව” සංවිධානය වී ඇත්තේ කෙසේද? එය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? සභාව අපේ ප්‍රීතියට දායක වන්නේ කෙසේද? යන ප්‍රශ්න අපි මේ ලිපියේදී සලකා බලනවා.

2, 3. සභාව සැලැස්මකට අනුව ක්‍රියාත්මක වන බව යේසුස් පෙන්වා දුන්නේ කෙසේද?

2 තම අභිෂේක ලත් අනුගාමිකයන්ගෙන් සමන්විත මෙම සභාවේ පිහිටුවීම ගැන යේසුස් කලින්ම පවසා තිබූ බව අපි මීට පෙර ලිපියෙන් දැනගත්තා. ඔහු ඒ ගැන පේතෘස්ට පැවසූවේ මෙසේයි. “මේ පර්වතය මත මම මාගේ සභාව ගොඩනඟන්නෙමි. මිනී වළෙහි දොරටු එය පරාජය නොකරන්නේය.” (මතෙව් 16:18) ඒ වගේම පිහිටුවීමට යන සභාවේ අරමුණ හා එය සංවිධානය වන ආකාරය ගැන යම් තොරතුරු යේසුස් ගෝලයන්ට කලින්ම පැවසුවා.

3 මෙම සභාවේ සිටින ඇතැම් අය මූලිකත්වය ගෙන කටයුතු කරන බව ඔහු පැවසූ දේවලින් හා ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලි වුණා. ඔවුන් සභාවේ සිටින සෙසු සාමාජිකයන්ට සේවය කරන බවත් යේසු පැවසූ මේ දෙයින් පැහැදිලියි. “ජාතීන්ගේ පාලකයන් ලෙස හඳුන්වනු ලබන්නන් ඔවුන් කෙරෙහි අනිසි ලෙස බලය පවත්වන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන් කෙරෙහි ආධිපත්‍යය පතුරුවන බවත් ඔබ දන්නහුය. නමුත් ඔබ අතරේ එසේ නොවේ. ඔබ අතරෙහි උතුම් වන්න ඕනෑ කරන යමෙක් සිටී නම් ඔහු ඔබේ සේවකයා විය යුතුය. ඔබ අතරෙහි ප්‍රථමයා වන්න ඕනෑ කරන යමෙක් සිටී නම් ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතුය.” (මාක් 10:42-44) “දෙවිගේ සභාව” සකස් වී තිබෙන්නේ එක් එක්කෙනා තනි වී සිටින ආකාරයකින් නොව නමුත් විධිමත් සැලැස්මකට අනුව හොඳින් අදහස් හුවමාරු කර ගනිමින් සහයෝගයෙන් ක්‍රියා කරන පිරිසකගෙනුයි.

4, 5. සභාවට මඟ පෙන්වීම් අවශ්‍යය බව අප දන්නේ කෙසේද?

4 “දෙවිගේ සභාවේ” නායකයා වන යේසුස් පැවසුවේ ඔහුගේ මුල් ගෝලයන් හා ඔහුගෙන් ඉගෙන ගත් සමහරුන් සභාවේ විශේෂ වගකීම් දරන බවයි. ඉන් ප්‍රධානතම වගකීම වන්නේ යෙහෝවා දෙවි ගැන සභාවේ සිටින අයට ඉගැන්වීමයි. නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ඔහුගේ ගෝලයන්ට පෙනී සිටි එක් අවස්ථාවකදී පේතෘස්ගෙන් ඇසුවේ “යොහන්ගේ පුත් සීමොන්, ඔබ මට ප්‍රේම කරනවාද?” කියායි. “එසේය ස්වාමිනි; ඔබ කෙරෙහි මට සෙනෙහසක් තිබෙන බව ඔබ දන්නෙහිය” කියා පේතෘස් පිළිතුරු දුන්නා. එවිට යේසුස් “මාගේ බැටළු පැටවුන්ව පෝෂණය කරන්න . . . මගේ කුඩා බැටළුවන්ව රැකබලා ගන්න . . . මාගේ කුඩා බැටළුවන්ව පෝෂණය කරන්න” කියා පේතෘස්ට පැවසුවා (යොහන් 21:15-17) මෙය මොනතරම් භාර දූර වගකීමක්ද!

5 සභාවක සිටින ක්‍රිස්තියානි පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන්ව යේසුස් සමාන කළේ බැටළු රැළකටයි. ඔවුන්ට යෙහෝවා දෙවි ගැන ඉගැන්වීමත් නිසි මඟ පෙන්වීම් දෙමින් රැක බලා ගැනීමත් අවශ්‍යයි. එසේම යේසුස් ඔහුගේ සියලුම අනුගාමිකයන්ට අණ කළේ දෙවි ගැන අන් අයට කියා දෙමින් ඔවුන්ව ගෝලයන් කරන්න කියායි. රැළට එකතු වන අලුත් බැටළුවන්ටත් දෙවිගේ මේ පැවරුම ඉටු කරන ආකාරය ගැන දැනුවත් කිරීම කළ යුතු වුණා.—මතෙව් 28:19, 20.

6. “දෙවිගේ සභාව” පිහිට වූ මුල් අවධියේදී තිබූ සැලැස්ම කුමක්ද?

6 “දෙවිගේ සභාව” පිහිටුවීමෙන් පසු ඔහු ගැන ඉගෙන ගැනීමටත් එකිනෙකාගෙන් දිරිගැන්වීම් ලැබීමටත් එහි සාමාජිකයන් නිතිපතා එකට රැස් වුණා. “ඔවුහු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද, එකිනෙකා සමඟ බෙදාගැනීමෙහිද, ආහාර අනුභව කිරීමෙහිද, යාච්ඤාවෙහිද නොකඩවා නියැලී සිටියෝය.” (ක්‍රියා 2:42, 46, 47) බයිබලයේ සඳහන් වාර්තාවකට අනුව සුදුසුකම් ලත් පුරුෂයන්ව තෝරාගෙන සභාවේ සෙසු සාමාජිකයන්ට අවශ්‍ය වෙනත් උපකාර සැපයීමට විවිධ වගකීම් ඔවුන්ට පැවරුවා. ඔවුන්ව මෙලෙස තෝරා ගනු ලැබුවේ ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම නිසාවත් විශේෂ හැකියාවන් නිසාවත් නෙවෙයි. මොවුන් ‘ශුද්ධාත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණ’ අයයි. “ඇදහිල්ලෙන් හා ශුද්ධාත්මයෙන් පූර්ණ” මිනිසෙකු වූ ස්තේපන් මොවුන්ගෙන් කෙනෙක්. මෙලෙස සභාව සංවිධානය වීමේ ප්‍රතිඵලයක් ලෙස “දෙවිගේ වචනය දිගටම වැඩි වර්ධනය වූයේය. යෙරුසලමේ ගෝලයන්ගේ ගණන බොහෝ සේ වැඩි විය.”—ක්‍රියා 6:1-7.

දෙවි පත් කළ පුරුෂයන්

7, 8. (අ) යේසුස්ගේ මුල්ම ගෝලයන් හා යෙරුසලමේ සිටි වැඩිමහල්ලෝ ක්‍රියා කළේ කවුරුන් ලෙසද? (ආ) සභාවන් ඔවුන්ගේ මඟ පෙන්වීම් අදාල කරගැනීමේ ප්‍රතිඵලය කුමක්ද?

7 සභාවේ සැලැස්මට අනුව මූලිකත්වය ගෙන ක්‍රියා කළේ යේසුස්ගේ මුල් ගෝලයන් පමණක් නෙවෙයි. තවත් අයත් ඔවුන්ට උපකාර කළා. එක් අවස්ථාවකදී පාවුල් හා බානබස් සිරියාවේ අන්තියෝකිය නම් නගරයට ගියා. මේ ගැන ක්‍රියා 14:27හි පවසන්නේ මෙසේයි. “ඔවුහු පැමිණ, සභාව රැස් කරවා, දෙවි ඔවුන් මාර්ගයෙන් සිදු කළ සියලු දේ ගැනත් . . . ඔවුන්ට දැන්වූහ.” ඇදහිලිවන්තයන් බවට පත් වූ අන්‍යජාතිකයන් චර්මඡේදනය විය යුතුද නැද්ද යන ප්‍රශ්නය පාවුල් හා බානබස් අන්තියෝකියේ සභාවේ සිටියදී මතු වුණා. මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා එම සභාවේ වැඩිමහල්ලන් පාවුල්ව හා බානබස්ව “යෙරුසලමේ සිටි ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන්” හමු වීමට යැව්වා. එවකට පාලක මණ්ඩලය ලෙස ක්‍රියා කළේ එම වැඩිමහල්ලනුයි.—ක්‍රියා 15:1-3.

8 “ප්‍රේරිතයෝ සහ වැඩිමහල්ලෝ මේ කාරණාව ගැන සලකා බලන්න රැස් වූ” අවස්ථාවේ එහි මූලිකත්වය ගත්තේ යේසුස්ගේ අර්ධ සහෝදරයෙක් වූ යාකොබ්. (ක්‍රියා 15:6) නමුත් ඔහු යේසුස්ගේ මුල්ම ගෝලයෙක් නෙවෙයි. ඔවුන් කරුණු කාරණා හොඳින් සලකා බලා දෙවිගේ උපකාරයෙන් ශුද්ධ ලියවිල්ලට එකඟව තීරණයක් ගත්තා. ඔවුන් ගත් මේ තීරණය අනිකුත් සභාවලටද දැන්නුවා. (ක්‍රියා 15:22-32) මේ තීරණය පිළිගෙන ඒ අනුව ක්‍රියා කළ නිසා ඒ සභාවල සිටි සහෝදර සහෝදරියන් දිරිගැන්වුණු අතර ඔවුන්ගේ ඇදහිල්ලද ශක්තිමත් වුණා. මේ සම්බන්ධයෙන් බයිබලයේ පවසන්නේ මෙසේයි. “එබැවින් සභාවන් දිගටම ඇදහිල්ලේ ස්ථිර වන්නත් දිනෙන් දින ගණනින් වැඩි වන්නත් විය.”—ක්‍රියා 16:5.

9. සුදුසුකම් අත් කරගෙන තිබෙන පුරුෂයන්ට තිබෙන වගකීම් මොනවාද?

9 ඒත් සභාවල එදිනෙදා කටයුතු හැසිර වූ ආකාරය ගැන කුමක් කිව හැකිද? උදාහරණයකට ක්‍රීට් දුපතේ තිබූ සභා ගැන සලකා බලමු. එහි සිටි බොහෝදෙනෙක් නරක ගති පැවතුම් තිබූ අය වුණත් ඔවුන්ගෙන් සමහරක් වෙනස් වී සැබෑ ක්‍රිස්තියානීන් වුණා. (තීතස් 1:10-12; 2:2, 3) මෙම දූපතේ සභා කිහිපයක්ම තිබුණු අතර මේ හැම එකක්ම පිහිටියේ යෙරුසලමේ තිබූ පාලක මණ්ඩලයට බොහෝ දුරකින්. නමුත් එය එතරම් ප්‍රශ්නයක් නොවුණේ මෙම සභාවල එදිනෙදා කටයුතු මෙහෙයවීමට ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් අත් කරගෙන තිබූ “වැඩිමහල්ලන්” එම සභාවල සිටි නිසයි. ඔවුන් “සුවදායී වූ ඉගැන්වීමෙන් උනන්දු කිරීමටත්, ඊට විරුද්ධව කතා කරන අයට අවවාද කිරීමටත් හැකි” වැඩිමහල්ලන් හෙවත් අවේක්ෂකයන් වුණා. (තීතස් 1:5-9; 1 තිමෝති 3:1-7) ශුද්ධ ලියවිල්ලේ තිබෙන සුදුසුකම් අත් කරගෙන සිටි තවත් සමහරුන් සභා සේවකයන් ලෙසද ක්‍රියා කළා.—1 තිමෝති 3:8-10, 12, 13.

10. මතෙව් 18:15-17 අනුව බරපතළ ප්‍රශ්නයක් හැසිරවිය යුත්තේ කෙසේද?

10 පිහිටුවීමට යන සභාවේ එවැනි සැලැස්මක් ක්‍රියාත්මක වන බව මතෙව් 18:15-17 දක්වා ඇති යේසුස්ගේ වචනවලින් තේරුම් ගන්න පුළුවන්. එහිදී යේසුස් පැවසුවේ දෙවිගේ සේවකයන් දෙදෙනෙක් අතර යම් ප්‍රශ්නයක් පැන නැඟුණු විට නිර්දෝෂී තැනැත්තා වරද කළ තැනැත්තාව පෞද්ගලිකව හමු වී “ඔහුගේ වරද පෙන්වා දෙන්න” කියායි. ඒත් එමගින් කාරණය සමතයකට පත් වුණේ නැත්නම් මේ ප්‍රශ්නය ගැන දන්න සාක්ෂිකරුවන් එක් කෙනෙක් හෝ දෙදෙනෙක්ව කැඳවා ගෙන යන්න කියා පැවසුවා. එමගින්ද ගැටලුවට විසඳුමක් ලැබුණේ නැත්නම් යේසුස් පැවසුවේ මෙසේයි. “ඔහු ඔවුන්ට සවන් දෙන්නේ නැත්නම්, සභාවට දැනුම් දෙන්න. ඔහු සභාවට සවන් දෙන්නෙත් නැත්නම්, ඔහු ඔබට අන්‍යජාතිකයෙකු මෙන්ද බදු එකතු කරන්නෙකු මෙන්ද වේවා!” යේසුස් මෙය පැවසූ අවස්ථාවේදී ක්‍රිස්තියානි සභාව පිහිටුවා තිබුණේ නැති නිසා මෙය අදාළ වූයේ ඒ වන විට “දෙවිගේ සභාව” ලෙස සැලකූ යුදෙව්වන්ටයි. * කෙසේවෙතත් ක්‍රිස්තියානි සභාව පිහිටුවීමෙන් පසු යේසුස්ගේ මේ වදන් අදාළ වුණේ එම සභාවටයි. මෙයින් පැහැදිලි වුණේ අනාගතයේදී සභා සැලැස්මක් තිබෙන්නට යන බවයි. එහි අරමුණ වුණේ එක් එක් පුද්ගලයාගේ ඇදහිල්ල ශක්තිමත් කර ඔවුන්ට මඟ පෙන්වීමයි.

11. ගැටලු හැසිර වීමේදී වැඩිමහල්ලන් ක්‍රියා කළේ කෙසේද?

11 අද දිනත් යම් ගැටලුවකට හෝ පාපයකට සම්බන්ධ කාරණයක් සභාවක හසුරුවන්නේ වැඩිමහල්ලන් විසිනුයි. යේසුස් කියු සභාව නියෝජනය කරන්නේ මොවුන් විසිනුයි. මෙය තීතස් 1:9හි ඇති ඔවුන්ගේ සුදුසුකම්වලට ඇතුළත්. “අඩු පාඩු සකස් කරන පිණිස” පාවුල් විසින් සභාවලට යැවූ තීතස් හා සමානව සියලුම වැඩිමහල්ලන්ටද පාපය උරුම වී තිබෙනවා. (තීතස් 1:4, 5) අද දිනත් වැඩිමහල්ලන් ලෙස සේවය කිරීමට පත් කරන අය කාලයක් පුරා විශ්වාසවන්තව දෙවිට සේවය කර තිබෙන අය විය යුතුයි. මේ නිසා සභාවේ ක්‍රියාත්මක වන එම සැලැස්මට අනුව පත් කර තිබෙන වැඩිමහල්ලන් අපට දෙන මඟ පෙන්වීම් විශ්වාස කිරීමට අපට හොඳ හේතු තිබෙනවා.

12. වැඩිමහල්ලන්ට සභාව කෙරෙහි තිබෙන වගකීම කුමක්ද?

12 එෆීසියේ සිටි වැඩිමහල්ලන්ට පාවුල් මෙසේ පැවසුවා. “තමන් ගැනත් මුළු රැළ ගැනත් අවධානයෙන් සිටින්න. ශුද්ධාත්මය විසින් ඔබව ඔවුන් අතරේ අවේක්ෂකයන් ලෙස පත් කර තිබෙන්නේ, දෙවි තමාගේම පුත්‍රයාගේ ලෙයින් මිලට ගත් තමාගේ සභාව එඬේරෙකු මෙන් රැකබලා ගැනීමටය.” (ක්‍රියා 20:28) එදා මෙන් අදත් අවේක්ෂකයන්ව පත් කර තිබෙන්නේ ‘දෙවිගේ රැළ රැකබලා ගැනීමටයි.’ (1 පේතෘස් 5:2, 3) ඔවුන් “මුළු රැළ” ශක්තිමත් කරමින් බැටළුවන්ට උපකාර කළ යුතුයි.

සභාව හැර නොයන්න

13. කලින් කලට සභාවක කුමන තත්වයන් ඇති විය හැකිද? ඒ ඇයි?

13 වැඩිමහල්ලන් ඇතුළුව සභාවේ සිටින සෑම කෙනෙක්ම පාපය උරුම කරගෙන සිටින නිසා කලින් කලට සිත් රිදවීම් හෝ යම් යම් ගැටලු ඇති විය හැකියි. පළවෙනි ශත වර්ෂයේ යේසුස්ගේ මුල් ගෝලයන්ගේ කාලයේදී පවා මෙවැනි තත්වයන් සභාවල තිබුණා. (ෆිලිප්පි 4:2, 3) අවේක්ෂකයෙක් හෝ සභාවේ වෙනත් කෙනෙක් සිත පෑරෙන ආකාරයෙන් අකාරුණික යමක් කීමට හෝ සම්පූර්ණ ඇත්ත නොකියන්න හෝ ඉඩ තිබෙනවා. ඒ වගේම සභාවේ ශුද්ධ ලියවිල්ලට පටහැනි දෙයක් සිදු වෙන බව වැඩිමහල්ලන් දැනගෙන සිටියත් ඔවුන් එය නිවැරදි කරන්න කිසි ක්‍රියා මාර්ගයක් ගන්නේ නැහැයි කියා අපට සිතෙන්න පුළුවන්. ශුද්ධ ලියවිල්ලට එකඟව එම කාරණය වැඩිමහල්ලන් හසුරුවා තිබෙනවා හෝ හසුරුවමින් සිටිනවා විය හැකියි. ඇත්තටම සිදු වී තිබෙන දෙය සම්පූර්ණයෙන් අප නොදන්නවා වෙන්න පුළුවන්.කෙසේවෙතත් ශුද්ධ ලියවිල්ලට පටහැනි දෙයක් සභාවේ සිදු වෙනවා නම් මේ ගැන සලකා බලන්න. යෙහෝවා දෙවිට අයිති සභාවක් වූ කොරින්ති සභාවේ යම් කාලයක් බරපතළ වරදක් සිදුවෙමින් තිබුණා. නමුත් දෙවි නියමිත කාලයේදී එම වරද නිවැරදි කිරීමට යම් නිශ්චිත පියවර ගත්තා. (1 කොරින්ති 5:1, 5, 9-11) ‘ඒ කාලයේදී කොරින්ති සභාවේ මම හිටියා නම් මම කෙසේ ක්‍රියා කරාවිද?’

14, 15. සමහරුන් යේසුස්ව හැර දමා ගියේ ඇයි? අපට මෙයින් ඉගෙන ගත හැකි පාඩම කුමක්ද?

14 සභාවක ඇති විය හැකි තවත් තත්වයක් ගැන දැන් සලකා බලමු. යම් කෙනෙකුට ශුද්ධ ලියවිල්ලේ සඳහන් ඉගැන්වීමක් පිළිගැනීමට හෝ වටහා ගැනීමට අපහසු විය හැකියි. ඔහු මේ ගැන බයිබලයෙන් මෙන්ම සභාවේ තිබෙන වෙනත් ප්‍රකාශනවලින් තොරතුරු සොයා බලන්න ඇති. එසේත් නැත්නම් බයිබලය ගැන අවබෝධයක් තිබෙන සභාවේ සිටින වෙනත් අයගෙන් හෝ වැඩිමහල්ලන්ගෙන් උපකාරය ලබා ගෙන ඇති. ඒ වුණත් ඔහුට තවමත් එය පිළිගන්න හා වටහා ගන්න අපහසු නම් කුමක් කළ හැකිද? මෙවැනිම දෙයක් යේසුස් මිය යෑමට අවුරද්දකට කලින් සිදු වුණා. එම අවස්ථාවේදී යේසුස් පැවසුවේ ඔහු “ජීවනයේ ආහාරය”වන නිසා සදාකාල ජීවනය ලබන්න හැකි වන්නේ ‘මනුෂ්‍ය පුත්‍රයාගේ මාංසය කන්නාවූ රුධිරය බොන්නාවූ’ කෙනෙකුට පමණක් බවයි. මෙය ඇසු ඔහුගේ ගෝලයන්ගෙන් සමහර දෙනෙකුට මෙය ලොකු කම්පනයක් වුණා. මෙහි තේරුම වටහා ගැනීමට උත්සහ කරනවා වෙනුවට හෝ දෙවි නියමිත කාලයේදී දේවල් එළිදරව් කරයි කියා විශ්වාස කරනවා වෙනුවට බොහෝ දෙනෙක් “[යේසුස්ව] අත්හැර” ගියා. (යොහන් 6:35, 41-66) අපි එතන සිටියා නම් අපි කුමක් කරයිද?

15 අද දිනත් සමහරුන් තමන්ට තනිම දෙවිට සේවය කරන්න පුළුවන් කියා සිතා සභාව සමඟ ඇසුරු කිරීම නතර කර දමා තිබෙනවා. යම් දේවල් නිසා සිත් රිදවීම් ඇති වී තිබෙන නිසා හෝ සභාවේ යම් කාරණයක් නිවැරිදි කර නැතැයි කියා සිතන නිසා හෝ යම් ඉගැන්වීමක් පිළිගැනීමට නොහැකි නිසා හෝ සමහරුන් සභාව හැර යන්න පුළුවන්. ඔවුන් කරන දෙය සාධාරණද? දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගත යුත්තේ අපි එක් එක්කෙනා පෞද්ගලිකව බව ඇත්තයි. ඒත් මුල් සියවසේදී මෙන් අද දිනත් දෙවි ලෝක ව්‍යාප්තව සභා සැලැස්මක් ඇති කර තිබෙන බව අපි අමතක නොකළ යුතුයි. දෙවි එදා තිබූ සභා සැලැස්මට ආශිර්වාද කළ බව සභාවට සේවය කිරීම සඳහා සුදුසුකම් ලත් පුරුෂයන්ව වැඩිමහල්ලන් සහ සභා සේවකයන් ලෙස පත් කිරීමෙන් පෙනී යනවා. සභාව ප්‍රයෝජන ලබන එම සැලැස්ම අදත් ක්‍රියාත්මක වෙනවා.

16. යමෙක් සභාව අත් හැර යෑමට පෙර ඔහු කල්පනා කර බැලිය යුත්තේ කුමක්ද?

16 දෙවි පිහිටුවා තිබෙන සැලැස්ම වන්නේ සභාව සමඟ එක් වී ඔහුට නමස්කාර කිරීමයි. ඒත් යමෙක් දෙවිට නමස්කාර කිරීම සඳහා සභාව අවශ්‍ය නැහැයි කියා සිතෙනවා නම් හෝ සභාවට නොපැමිණ සභාවේ කිහිපදෙනෙක්ව පමණක් ආශ්‍රය කරනවා නම් එයින් අදහස් කරන්නේ ඔහු දෙවිගේ සැලැස්ම ප්‍රතිප්ෂේප කරන බවයි. යමෙක් තමන්ට කැමති ආකාරයට දෙවිට නමස්කාර කරනවා නම් වැඩිමහල්ලන් හා සභා සේවකයන්ව පත් කර සභා සැලැස්මක් ඇති කිරීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද? පාවුල් පැවසූ පරිදි “[යේසුස්] තුළ මුල් ඇද වර්ධනය” වීමට සභාවත් සමඟ ඇසුරු නොකරන කෙනෙකුට නොහැකියි. කොලොස්සි සභාවට යැවූ එම වදන් අඩංගු ලිපිය ලවොදීසය සභාවටද යවන්න කියා පාවුල් උපදෙස් දුන්නා. යමෙක් සභාවට පැමිණියේ නැත්නම් ඔහුට එම ලිපියෙන් ප්‍රයෝජන ගන්න නොහැකි වුණා. අද දිනත් සභා සැලැස්ම තුළින් වර්ධනය ලබන්නේ සභාවට පැමිණ ඉන් ලැබෙන උපදෙස්වලට ඇහුම්කන් දෙන අය පමණයි.—කොලොස්සි 2:6, 7; 4:16.

සත්‍යයේ කණුවක් හා ආධාරකයක්

17. පළමුවන තිමෝති 3:15 සභාව ගැන පවසා තිබෙන්නේ කුමක්ද?

17 වැඩිමහල්ලෙක් වූ තිමෝතිට පාවුල් විසින් යවන ලද පළමු ලිපියේ වැඩිමහල්ලන්ට හා සභා සේවකයන්ට තිබිය යුතු සුදුසුකම් ගැන සඳහන් කළා. ඒ සමඟම පාවුල් “ජීවමාන දෙවිගේ සභාව” “සත්‍යයේ කණුවක්ද ආධාරකයක්ද” බව පැවසුවා. (1 තිමෝති 3:15) පළමුවෙනි සියවසේ සිටි අභිෂේක ලත් අයගෙන් සමන්විත මුළු සභාව සත්‍යයේ කණුවක් වුණා. එක් එක්කෙනා සත්‍යය ඉගැන්වීම් ගැන අවබෝධයක් ලැබු ප්‍රධානතම මාර්ගය වූයේ ක්‍රිස්තියානී සභාවයි. ඔවුන් සත්‍යය ඉගෙනගත්තේත් ඒවා තමන්ටම තහවුරු කරගත්තේත් සභාව මාර්ගයෙනුයි. ඒ වගේම ඔවුන් එක් එක්කෙනා සභාව මාර්ගයෙන් ශක්තියක්ද ලැබුවා.

18. සභා රැස්වීම් මෙතරම් වැදගත් වන්නේ ඇයි?

18 මේ කාලයේදීත් සභාව “සත්‍යයේ කණුවක්ද ආධාරකයක්ද” ලෙස ක්‍රියා කරනවා. දෙවිගේ සමඟ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමටත් දෙවිගේ කැමැත්ත කිරීමට සූදානම්ව සිටීමටත් නිතිපතා රැස්වීම්වලට පැමිණීම හා සහභාගි වීම අත්‍යවශ්‍යයි. එවැනි රැස්වීම්වලදී පැවසිය යුතු දේවල් ගැන පාවුල් කොරින්තියේ තිබූ සභාවට ලියා යැව්වා. එහිදී පවසන දේවලින් පැමිණ සිටින අය ‘ගොඩනැංවීමට’ නම් ඒවා පැහැදිලිව හා තේරුම් ගත හැකි ආකාරයෙන් පැවසිය යුතු බව ඔහු සඳහන් කළා. (1 කොරින්ති 14:12, 17-19) අද දින සභාවල ක්‍රියාත්මක වන සැලැස්ම ඇති කර තිබෙන්නේ යෙහෝවා දෙවි බවත් ඔහු එයට සහය ලබා දෙන බවත් අප පිළිගන්නවා නම් අපටත් සභාව මගින් ශක්තියක් ලබන්න පුළුවන්.

19. සභාවට ණයගැතියි කියා ඔබට හැඟී යා යුත්තේ ඇයි?

19 ඇත්තටම අපිට සභාව මාර්ගයෙන් ශක්තියක් ලැබිය හැක්කේ සභාව සමඟ ක්‍රියාශීලීව සේවය කරනවා නම් පමණයි. බොරු ඉගැන්වීම්වලින් මුලා නොවී සිටීමට අපට හැකි වී තිබෙන්නේ ක්‍රිස්තියානි සභාව නිසයි. ලොව පුරාම දේවරාජ්‍යය පිළිබඳව ශුභාරංචිය දේශනා කිරීම සඳහා දෙවි යොදා ගන්නේත් සභාවයි. ක්‍රිස්තියානි සභාව මාර්ගයෙන් යෙහෝවා දෙවි බොහෝ දේ ඉටු කර තිබෙන බවට කිසිම සැකයක් නැහැ.—එෆීස 3:9, 10.

[පාදසටහන]

^ 10 ඡේ. බයිබල් විශාරදයෙක් වන ඇල්බට් බාන්ස් මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙසේයි. මෙහිදී යේසුස් “සභාවට දැනුම් දෙන්න” කියා දුන් මඟ පෙන්වීමෙන් අදහස් කළේ “යුදෙව් සිනගෝගවල එවැනි කාරණා හැසිර වීමට අධිකාරිය තිබූ වැඩිමහල්ලන්ට එවැනි කාරණා විනිශ්චය කළ හැකියාව තිබූ බවයි.”

ඔබට මතකද?

• දෙවි සභා සැලැස්මක් ඇති කර තිබෙන බව අප දන්නේ කෙසේද?

• වැඩිමහල්ලන් අඩු පාඩුකම් තිබෙන අය වුණත් සභාව වෙනුවෙන් ඔවුන් කරන්නේ මොනවාද?

• ඔබ අයත් සභාව මාර්ගයෙන් ඔබ ශක්තිය ලබන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

යෙරුසලමේ සිටි යේසුස්ගේ මුල් ගෝලයන් සහ වැඩිමහල්ලන් පාලක මණ්ඩලය ලෙස සේවය කළා

[28වන පිටුවේ පින්තූරය]

වැඩිමහල්ලන්ට සහ සභා සේවකයන්ට සභාවේ පැවරී තිබෙන වගකීම් හොඳින් ඉටු කිරීම සඳහා මඟ පෙන්වීම් ලැබෙනවා