Skip to content

පටුනට යන්න

සභාව යෙහෝවා දෙවිට ප්‍රශංසා කරයි

සභාව යෙහෝවා දෙවිට ප්‍රශංසා කරයි

සභාව යෙහෝවා දෙවිට ප්‍රශංසා කරයි

“මම මගේ සහෝදරයන්ට ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි. සභාව මැද ගී ගයමින් ඔබට ප්‍රශංසා කරන්නෙමි.”—හෙබ්‍රෙව් 2:12.

1, 2. ක්‍රිස්තියානි සභාවේ මූලික අරමුණ කුමක්ද?

ප්‍රේමණීය පවුලක සාමාජිකයෙක් වී සිටීමෙන් සුරක්ෂිතභාවයක් ලැබෙන අතර එය වරප්‍රසාදයක්. මෙවැනි සුරක්ෂිතභාවයක් අද්දකින ලොව පුරාම ව්‍යාප්ත වී සිටින පවුලක් ගැන බයිබලයේ කතා කර තිබෙනවා. ඒ පවුල නම් ක්‍රිස්තියානි සභාවයි. ඔබ ප්‍රේමණීය පවුලක සාමාජිකයෙකු වුණත් නැතත් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් නම් සභා සැලැස්ම මගින් දෙවි සපයා දී තිබෙන දේවල් ඔබ අගය කළ යුතු නැද්ද! ඔබ දැනටමත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විය හැකියි. එසේ නම් පවුලක සිටිනවා හා සමාන සුරක්ෂිතභාවයක් හා සුහද ඇසුරක් ඔබත් භුක්ති විඳිනවාට සැකයක් නැහැ.

2 ඒත් ක්‍රිස්තියානි සභාව තිබෙන්නේ සුහද ඇසුරක් භුක්ති විඳින්න පමණක්ම නෙමෙයි. උදාහරණයක් හැටියට මෙය විනෝද වීම සඳහා පිහිටුවා තිබෙන සමිතියක් හෝ සමාගමක් නෙවෙයි. ක්‍රිස්තියානි සභාවේ මූලික අරමුණ වන්නේ යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමයි. ඒ බව ගීතාවලිය 35:18හි සඳහන් මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “රැස්ව සිටින සමූහය මැද මම ඔබව පැසසුමට ලක් කරන්නෙමි. බොහෝ සෙනඟ මධ්‍යයේ මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.” එමෙන්ම ගීතාවලිය 107:31, 32හි අපිව මෙසේ දිරිගන්වා තිබෙනවා. “යෙහෝවාගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියාවන් ගැන මනුෂ්‍යයෝ ඔහුට ස්තුති කරත්වා. ඔවුහු ජන සමාගමේදී ඔහු උසස් කරමින් වැඩිමහල්ලන්ගේ ආසනයේදී ඔහුට ප්‍රශංසා කරත්වා.”

3. පාවුල් ක්‍රිස්තියානි සභාව ගැන පැවසුවේ කුමක්ද?

3 ක්‍රිස්තියානි සභාව පිහිටුවීමේ තවත් අරමුණක් ගැන පැහැදිලි කරමින් පාවුල් මෙසේ පැවසුවා. “එය සත්‍යයේ කණුවක්ද ආධාරකයක්ද වන ජීවමාන දෙවිගේ සභාවය.” (1 තිමෝති 3:15) මෙහිදී පාවුල් කතා කළේ කුමන සභාව ගැනද? සභාවල එකට එක්රැස් වී දෙවිට ප්‍රශංසා කිරීම ගැන බයිබලයේ පවසා තිබෙන්නේ කුමක්ද? එසේ කිරීම අපගේ ජීවිතයටත් අනාගතයටත් බලපාන්නේ කෙසේද? “සභාව” යන වචනය බයිබලයේ යොදා තිබෙන ආකාර කිහිපයක් ගැන දැන් අපි සලකා බලමු.

4. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ “සභාව”යන වචනය බොහෝ විට යොදා තිබෙන්නේ කෙසේද?

4 “සභාව” සඳහා භාවිත කර ඇති හෙබ්‍රෙව් වචනය (කාහල්) යොදාගෙන ඇති ආකාරය සලකා බැලීම වටිනවා. නමස්කාරය සඳහා ‘රැස්වෙන්න’ කියා ඊශ්‍රායෙල් ජාතියට පැවසූ අවස්ථාවේදී භාවිත කළේ එම වචනයයි. (ද්විතීය කතාව 4:10; 9:10) ස්වර්ගයේ සිටින දේවදූතයන් රැස්වන විටත් එම වචනය යොදාගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි නපුරු මිනිසුන් යම් දුෂ්ට අරමුණක් ඉටු කිරීම සඳහා එකතු වන විටත් එම වචනය භාවිත වෙනවා. (ගීතාවලිය 26:5; 89:5-7) නමුත් හෙබ්‍රෙව් ලියවිල්ලේ මේ වචනය වැඩියෙන්ම භාවිත කරන්නේ ඊශ්‍රායෙල්වරුන් සඳහායි. නිදසුනකට ඊශ්‍රායෙල් ජාතිය මහත් “සමූහයක්” වෙන බව පැවසූ විටද දෙවි යොදාගත්තේ එම වචනයයි. (උත්පත්ති 28:3; 35:11; 48:4) යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතිය තමාගේ විශේෂ සෙනඟ හැටියට තෝරාගත් විට ඔවුන්ව හඳුන්වනු ලැබුවේ “යෙහෝවාගේ සභාව “ ලෙසයි. මෙහිදී නැවතත් භාවිත කළේ එම හෙබ්‍රෙව් වචනයයි. (ගණන් කතාව 20:4, 5; නෙහෙමියා 13:2; යෝෂුවා 8:35–9:1; 1 සාමුවෙල් 17:47, 48; මීකා 2:5, 6. ) මෙම උදාහරණවලින් පැහැදිලි වන්නේ මෙම වචනය යම් විශේෂ අරමුණක් සඳහා එක්රැස් වූ සෙනඟක් හෝ සමූහයක් සඳහා භාවිත කරනු ලැබූ බවයි.

5. එක්ලීසියා යන වචනය ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ යොදාගෙන තිබෙන්නේ කෙසේද?

5 “සභාව සඳහා භාවිත කර ඇති ග්‍රීක වචනය (එක්ලීසියා) යොදා ඇති ආකාරය ගැන නිදසුනක් සලකා බලමු. පාවුල් එෆීසයේ සිටි විට ඔහුට විරුද්ධව දෙමේත්‍රියස් සමූහයක් උසිගැන්වූවා. එම අවස්ථාවේදී රැස්ව සිටි සමූහය හැඳින්වීමට භාවිත කලේ එම වචනයයි. (ක්‍රියා 19:32, 39, 41) මෙයින් පැහැදිලි වෙන්නේ එම වචනය පොදුවේ යම් අරමුණක් සඳහා රැස්ව සිටින පිරිසක් ගැන විස්තර කිරීමට යොදාගෙන ඇති බවයි. නමුත් මෙම වචනය වැඩියෙන් භාවිත කර තිබෙන්නේ ක්‍රිස්තියානි සභාව විස්තර කිරීමටයි. එමනිසා එය බොහෝ විට පරිවර්තනය කර ඇත්තේ “සභාව” ලෙසයි. ග්‍රීක ශුද්ධ ලියවිලිවල “සභාව” යන වචනය අඩුම තරමින් ආකාර හතරකින් යොදා තිබෙනවා.

අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් යුත් ‘දෙවිගේ සභාව’

6. දාවිත් සහ යේසුස් සභාවේදී කළේ කුමක්ද?

6 උදාහරණයකට ගීතාවලිය 22:22හි සඳහන් දාවිත්ගේ වචන යේසුස්ට අදාළ කරමින් පාවුල් මෙසේ පැවසුවා. “‘මම මගේ සහෝදරයන්ට ඔබේ නාමය ප්‍රකාශ කරන්නෙමි. සභාව මැද ගී ගයමින් ඔබට ප්‍රශංසා කරන්නෙමි’ යි ඔහු කියන්නේය. එබැවින්, . . . දෙවිට සම්බන්ධ කාරණාවලදී ඔහු දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙක් වීම සඳහා, හැම අතින්ම තමන්ගේ ‘සහෝදරයන්’ හා සමාන වන්නට ඔහුට යුතුව තිබිණ.” (හෙබ්‍රෙව් 2:12, 17) මෙහිදී යේසුස් “සභාව මැද” දෙවිට ප්‍රශංසා කළා කියා පවසනවා. දාවිත් දෙවිට ප්‍රශංසා කළේ පුරාණ ඊශ්‍රායෙලයේ සභාව මැද සිටයි. (ගීතාවලිය 40:9) ඒත් යේසුස් මෙය කළේ කළේ කුමන සභාව මැදදීද?

7. ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ සභාව යන්නෙන් මූලිකව අදහස් කරන්නේ කුමක්ද?

7 එම ප්‍රශ්නයට පිළිතුරු දැනගැනීම සඳහා හෙබ්‍රෙව් 2:12, 17හි සඳහන් වචනම අපට උපකාරවත් වෙනවා. එම සභාවේ සාමාජිකයන් යේසුස්ගේ “සහෝදරයන්” බවත් එහි සඳහන් වෙනවා. මෙහිදී යේසුස්ගේ සහෝදරයන් කියන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටයි. ‘ආබ්‍රහම්ගේ වංශයේ’ කොටසක් වන මොවුන් “ස්වර්ගීය කැඳවීමට පංගුකාරයන්” වෙනවා කියා බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 2:16–3:1; මතෙව් 25:40) මින් පැහැදිලි වන ආකාරයට ග්‍රීක ශුද්ධ ලියවිලිවල සභාව යන්නෙන් මූලිකවම අදහස් වන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සමූහයටයි. ගණනින් 1,44,000දෙනෙක් වන මොවුන්ව “ස්වර්ගයෙහි නම් ලියා ඇති කුලුඳුලන්ගේ සභාව” කියාද හඳුන්වා තිබෙනවා.—හෙබ්‍රෙව් 12:23.

8. ක්‍රිස්තියානි සභාව ගොඩනැඟීම ගැන යේසුස් කල්තියා පැවසුවේ කුමක්ද?

8 ක්‍රිස්තියානි සභාව පිහිටුවීම ගැන යේසුස් කල්තියා පැවසුවා. මේ බව ඔහු මිය යෑමට අවුරුද්දකට පමණ කලින් ඔහුගේ ගෝලයෙකුට පැවසූ මේ වදන්වලින් පෙනී යනවා. “මම ඔබට කියමි, ඔබ පේතෘස්ය. මේ පර්වතය මත මම මාගේ සභාව ගොඩනඟන්නෙමි. මිනී වළෙහි දොරටු එය පරාජය නොකරන්නේය.” (මතෙව් 16:18) මෙහි සඳහන් පර්වතය හෙවත් අත්තිවාරම වන්නේ යේසුස් කියා පේතෘස් මෙන්ම පාවුල්ද තේරුම් ගත්තා. අත්තිවාරමක් උඩ නිවසක් ගොඩනඟනවා හා සමානව අභිෂේක ලත් අය හෙවත් ක්‍රිස්තියානි සභාව ගොඩනඟා තිබෙන්නේ යේසුස් මතයි. මෙම ගොඩනැඟිල්ලේ “ජීවමාන ගල්” කියා හඳුන්වා තිබෙන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි. මොවුන්ව කැඳවාගෙන තිබෙන තැනැත්තාගේ “උතුම් ගතිගුණ ගැන සෑම තැනම ප්‍රකාශ කරන පිණිස . . . විශේෂ වස්තුවක් ලෙස තෝරාගත් සෙනඟක්” කියාද හඳුන්වනවා.—1 පේතෘස් 2:4-9; ගීතාවලිය 118:22; යෙසායා 8:14; 1 කොරින්ති 10:1-4.

9. ක්‍රිස්තියානි සභාව ආරම්භ වුණේ කවදාද?

9 ‘විශේෂ වස්තුවක් ලෙස තෝරාගත් සෙනඟකින්’ යුත් මෙම ක්‍රිස්තියානි සභාවේ ආරම්භය සිදු වුණේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදීයි. එදින යෙරුසලමේ රැස්ව සිටි ක්‍රිස්තියානීන්ට දෙවිගේ බලය ලැබුණු අතර දවස අවසානයේදී පේතෘස් යුදෙව්වන්ට හා යුදෙව් ආගම වැළඳගත් අයට යේසුස්ගේ මරණය ගැන ඉතා බලපෑමෙන් යුත් කතාවක් කළා. සවන් දුන් අයට එය කොතරම් බලපෑවාද කියනවා නම් එදින 3,000ක් පසුතැවිලි වී බව්තීස්ම වුණා. මෙසේ දවසින් දවස ක්‍රිස්තියානි සභාව වර්ධනය වුණා. (ක්‍රියා 2:1-4, 14, 37-47) ඉන්පසු දෙවිගේ සැබෑ ක්‍රිස්තියානි සභාව වුණේ ඊශ්‍රායෙල්වරුන් නොව, “දෙවිගේ ඊශ්‍රායෙල්” කියාද හඳුන්වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත කණ්ඩායමයි.—ගලාති 6:16; ක්‍රියා 20:28.

10. යේසුස් සහ සභාව අතර තිබෙන්නේ මොන වගේ බැඳීමක්ද?

10 ක්‍රිස්තියානි සභාවට යේසුස්ද ඇතුළත් වුණත් බයිබලයේ “ක්‍රිස්තුස් ගැනත් සභාව ගැනත්” කියා වෙන වෙනම සඳහන් කර තිබෙන්නේ ඇයි? ඒ යේසුස් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් යුත් සභාවේ හිස වන නිසයි. මේ ගැන පාවුල් පැවසුවේ දෙවි ‘සභාවේ සියලු දේ කෙරෙහි යේසුස්ව හිස ලෙස පත් කළා’ කියායි. (එෆීස 1:22, 23; 5:23, 32; කොලොස්සි 1:18, 24) අද දින පොළොවේ අභිෂේක ලත් අය ඉතිරි වී සිටින්නේ ටික දෙනෙක් වුණත් ඔවුන්ගේ නායකයා වන්නේ යේසුස් බවත් ඔහු ඔවුන්ට ප්‍රේම කරන බවත් අපිට ස්ථිරයි. යේසුස්ට ඔවුන් ගැන හැඟෙන ආකාරය ගැන එෆීස 5:25හි මෙසේ සඳහන් වෙනවා. ‘ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන්නේය.’ (එෆීස 5:25) යේසුස් මේ අයට ප්‍රේමය පෙන්වන්නේ තමන් මේ පොළොවේ සිටියදී කළාක් මෙන්ම ඔවුන්ද “දෙවිගේ නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තොල්වල පල වන ප්‍රශංසාව නමැති පූජාව නිතරම” ඔප්පු කරන නිසයි.—හෙබ්‍රෙව් 13:15.

“සභාව” යන වචනයේ වෙනත් අරුත්

11. ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ “සභාව” යන වචනයේ දෙවන අර්ථය කුමක්ද?

11 බයිබලයේ සභාව යන වචනය අභිෂේක ලත් අයගෙන් සමන්විත කණ්ඩායමට පමණක් නොව තවත් ආකාරයකින්ද යොදා ගන්නවා. උදාහරණයක් හැටියට පාවුල් කොරින්ති සභාවට මෙසේ ලිව්වා. “යුදෙව්වන්ටවත් ග්‍රීකයන්ටවත් දෙවිගේ සභාවටවත් බාධාවට හේතුවක් වීමෙන් වළකින්න.” (1 කොරින්ති 10:32) පුරාණ කොරින්ති සභාවේ සිටි කෙනෙක් යම් වැරදි දෙයක් කළා නම් එයින් බාධාවට පත් වුණේ එදා සිටි සමහර අය පමණයි. ඒත් ඒ තැනැත්තා කළ දෙයින් අද සිටින ක්‍රිස්තියානීන් බාධාවට පත් වෙන්නේ නැහැ. එම බයිබල් පදයේ “දෙවිගේ සභාව” කීමෙන් අදහස් කරන්නේ යම් නිශ්චිත කාලයක සිටි සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් යුත් කණ්ඩායමක් ගැනයි. මේ අනුව යෙහෝවා දෙවි සභාවට මඟ පෙන්වීම් ලබා දෙමින් ආශීර්වාද කරනවා කියද්දී ඊට යම් නිශ්චිත කාලයක සෑම තැනකම සිටින සියලුම ක්‍රිස්තියානීන් ඇතුළත් වෙනවා. එමෙන්ම දෙවිගේ සභාව තුළ ප්‍රීතිය හා සමඟිය තිබෙනවා කියා පවසන විට ඊට සියලුම සභා අයත් වෙනවා.

12. “සභාව” යන වචනය බයිබලයේ සඳහන් කර තිබෙන තුන්වන ආකාරය කුමක්ද?

12 “සභාව” යන වචනය බයිබලයේ යොදාගෙන තිබෙන තුන්වන ආකාරය වන්නේ යම් ප්‍රදේශයක සිටින සියලුම සැබෑ ක්‍රිස්තියානීන්ව විස්තර කිරීම සඳහායි. “මුළු යුදයෙහිද ගලීලයෙහිද සමාරියෙහිද සභාව ගොඩනැඟෙමින් සාමකාමී කාලයක් උදා විය” කියා ක්‍රියා 9:31හි සඳහන් වෙනවා. මෙහි සඳහන් “සභාව” යන්නෙන් අදහස් කරන්නේ යුදයේ, ගලීලයේ සහ සමාරියේ සිටි ක්‍රිස්තියානීන්වයි. පෙන්තකොස්ත දවසේදී සහ ඉන්පසු විශාල පිරිසක් බව්තීස්ම වූ නිසා යෙරුසලමේ සභා බොහොමයක් තිබූ බව පෙනී යනවා. (ක්‍රියා 2:41, 46, 47; 4:4; 6:1, 7) හෙරොද් අග්‍රිපා රජ ක්‍රි.ව. 44දී මිය යන තුරු යූදා දේශය පාලනය කළ අතර ඔහු “සභාවේ සමහරුන්ට හිංසා පීඩා කරන්න පටන්ගත්” බව ක්‍රියා 12:1හි සඳහන් වෙනවා. මෙහි සභාව යන්නෙන් අදහස් කරන්නේ යෙරුසලමේ සිටි එක් කණ්ඩායමක් ගැන නෙවෙයි. මින් පෙනී යන්නේ 1 තෙසලෝනික 2:14හි සඳහන් වන පරිදි ක්‍රි.ව. 50වන විට යුදා දේශයේ සභා ගණනාවක් තිබූ බවයි.

13. බයිබලයේ “සභාව” යන වචනය යොදා තිබෙන තවත් ආකාරයක් නම් කරන්න.

13 සභාව යන වචනය යොදා ඇති හතරවන ආකාරය වන්නේ නිවසක හෝ වෙනත් ස්ථානයක තිබෙන යම් නිශ්චිත සභාවක් ගැන පැවසීමටයි. පාවුල් “ගලාතියේ සභාවන්ට” කියා පවසන විට එහි තිබුණේ එක් සභාවක් නෙවෙයි. එහි අන්තියෝකිය, ඉකෝනිය, දර්බය, ලිස්ත්‍රා යන නම්වලින් හැඳින්වූ සභා කිහිපයක්ම තිබුණා. මෙම එක් එක් සභාවල අවේක්ෂකයන් ලෙස සේවය කිරීමට සුදුසුකම් ලත් පුරුෂයන්ව පත් කර තිබුණා. (1 කොරින්ති 16:1; ගලාති 1:2; ක්‍රියා 14:19-23) ශුද්ධ ලියවිල්ලේ මේ සියලුම සභා හඳුන්වා තිබෙන්නේ “දෙවිගේ සභාවන්” කියායි.—1 කොරින්ති 11:16; 2 තෙසලෝනික 1:4.

14. කුඩා සභාවන් ගැන කුමක් කිව හැකිද?

14 සමහර අවස්ථාවලදී ක්‍රිස්තියානීන් රැස්වීම් පවත්වනු ලැබුවේ නිවෙස්වලයි. ඒවා කුඩා කණ්ඩායම් වුණත් ඒවාද හැඳින්වූයේ ‘සභාවක්’ ලෙසයි. එවැනි සභාවන් ප්‍රිස්කා, අකිලා, නිම්ෆා හා ෆිලමොන් යන අයගේ නිවෙස්වල පැවැත්වූ බව අපි අසා තිබෙනවා. (රෝම 16:3-5; කොලොස්සි 4:15; ෆිලෙමොන් 2) පළමුවන සියවසේ තිබූ මේ කුඩා සභාවන්ටද යෙහෝවා දෙවි ආශීර්වාද කළා. අද දිනත් ඒ හා සමානව ක්‍රිස්තියානි රැස්වීම් නිවෙස්වල පවත්වනවා. මෙම කුඩා සභාවලටද දෙවිගේ ආශීර්වාදය තිබෙන බව දැන සිටීම මහත් දිරිගැන්වීමක්.

සභා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරයි

15. පළමු සියවසේ ඇතැම් සභාවලට ලැබුණු දීමනා මොනවාද?

15 ගීතාවලිය 22:22හි සඳහන් වදන් ඉටු කරමින් යේසුස් සභා මැද දෙවිට ප්‍රශංසා කළ බව අපි කලින් සලකා බැලුවා. (හෙබ්‍රෙව් 2:12) ඒ හා සමානව ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන්ද එසේ කළා. පළමුවන සියවසේදී දෙවිගේ බලය ලැබූ ඔවුන් යේසුස්ගේ සහෝදරයන් බවට පත් වූ අතර ඔවුන්ට විශේෂ දීමනා දෙවි ලබා දුන්නා. මේ නිසා ඔවුන්ගෙන් සමහරුන්ට ප්‍රඥාවන්තව කතා කිරීමට, සුව කිරීමට, අනාවැකි කීමට මෙන්ම විවිධ භාෂා කතා කිරීමටද හැකියාව ලැබුණා.—1 කොරින්ති 12:4-11.

16. දෙවිගෙන් ලැබුණු දීමනාවල එක් අරමුණක් වූයේ කුමක්ද?

16 විවිධ භාෂා කතා කිරීමේ දීමනාව ගැන සඳහන් කරමින් පාවුල් මෙසේ පැවසුවා. “මම ආත්මයේ දීමනාවෙන් ප්‍රශංසා ගී ගයමි. එමෙන්ම මාගේ සිහිකල්පනාවෙන්ද ප්‍රශංසා ගී ගයමි.” (1 කොරින්ති 14:15) සිහිකල්පනාවෙන් ප්‍රශංසා කරනවා කීමෙන් පෙනී යන්නේ තමන් පවසන දේවල් අන් අයට තේරුම්ගැනීමට හැකි විය යුතු බවයි. දෙවිගේ බලය මගින් යම් දීමනා ලැබූ අයගෙන් පාවුල් ඉල්ලා සිටියේ තමන් අයත් “සභාව ගොඩනැංවීම උදෙසා ඒ දීමනාවලින් පිරී සිටින්න උත්සාහ කරන්න” කියායි. (1 කොරින්ති 14:4, 5, 12, 23) මින් පෙනී යන්නේ පාවුල්ගේ එකම අරමුණ වුණේ යෙහෝවා දෙවිට සභාවේදී ප්‍රශංසා කිරීමයි.යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම සඳහා සෑම සභාවකටම තිබුණ ප්‍රස්තා ගැන පාවුල් උනන්දු වූ බව එයින් පැහැදිලි වෙනවා.

17. සභාවට අයත්ව සිටීමෙන් ලැබෙන්නේ මොනවාද?

17 අද දිනත් දෙවි සභාවලට විවිධ ආකාරවලින් උපකාර කරනවා. පොළොවේ ඉතිරි වී සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට දෙවි ආශීර්වාද කරන බව දෙවිගේ සෙනඟට ලැබෙන බයිබලය මත පදනම් ප්‍රකාශනවලින් පෙනී යනවා. (ලූක් 12:42) දෙවි සමස්ත සහෝදර සංගමයට පමණක් නොව අපි අයත් සභාවටද ආශීර්වාද කරනවා. දිරිගන්වසුලු අදහස් ඉදිරිපත් කිරීමටත් අපේ ක්‍රියාවලින් දෙවිව ප්‍රශංසාවට පත් කිරීමටත් ප්‍රස්තා උදා කර දෙන්නේ අප අයත් සභාවයි. සභාවේදී පමණක් නොව වෙනත් අවස්ථාවලදීද දෙවිට ප්‍රශංසා කිරීමට අපිට උපකාර කරන අධ්‍යාපනය හා පුහුණුවද අපි ලබන්නේ සභාව මගිනුයි.

18, 19. දෙවිට ලැදි ක්‍රිස්තියානීන් තමන් අයත් සභාවේ කරන්නේ කුමක්ද?

18 පාවුල් ෆිලිප්පියේ සහ මැසිඩෝනියාවේ ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ ‘දෙවිගේ තේජස හා ප්‍රශංසාව පිණිස යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ලැබෙන ධර්මිෂ්ඨ පලවලින් ඔබ පූර්ණ වන්න’ කියායි. ඒ සඳහා ඔහු ‘නොකඩවා ඔවුන් උදෙසා යාච්ඤා කළා.’ යේසුස් කෙරෙහි තිබූ ඔවුන්ගේ ඇදහිල්ල ගැනත් ඔවුන් සතු බලාපොරොත්තුව ගැනත් වෙනත් අයට කතා කිරීම ඔවුන් දෙවිට කළ ප්‍රශංසාවට ඇතුළත් වුණා. (ෆිලිප්පි 1:9-11; 3:8-11) මේ නිසයි පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ගෙන් මෙසේ ඕනෑකමින් ඉල්ලා සිටියේ. “අපි ඔහු මාර්ගයෙන් දෙවිගේ නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තොල්වල පල වන ප්‍රශංසාව නමැති පූජාව නිතරම දෙවිට ඔප්පු කරමු.”—හෙබ්‍රෙව් 13:15.

19 ඔබත් යේසුස් මෙන් “සභාව මැද” දෙවිට ප්‍රශංසා කිරීමෙන් මහත් ප්‍රීතියක් ලබනවාද? එමෙන්ම තවමත් දෙවි ගැන නොදන්නා අයට ඔහු ගැන පැවසීමෙන් ඔහුව ප්‍රශංසාවට පත් කරනවාද? (හෙබ්‍රෙව් 2:12; රෝම 15:9-11) මෙම ප්‍රශ්නවලට අප දෙන පිළිතුරු බොහෝදුරට රඳා පවතින්නේ අප අයත් සභාව ගැන අපට හැඟෙන ආකාරය මත හා එය දෙවිගේ අරමුණට සම්බන්ධ වන ආකාරය අප තේරුම්ගෙන තිබීම මතයි. යෙහෝවා දෙවි අප අයත් සභාවට මඟ පෙන්වන ආකාරය ගැනත් සභාව අපේ ජීවිතයට බලපාන ආකාරය ගැනත් අපි ඊළඟ ලිපියේදී සලකා බලමු.

ඔබට මතකද?

• අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත “දෙවිගේ සභාව” ආරම්භ වුණේ කෙසේද?

• “සභාව” යන වචනය බයිබලයේ යොදා තිබෙන තවත් ආකාර තුනක් නම් කරන්න

• දාවිත්, යේසුස් හා පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් සභාවේදී කරන්න ආශා කළේ කුමක්ද? මෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

යේසුස් අත්තිවාරම වූයේ කුමන සභාවේද?

[23වන පිටුවේ පින්තූරය]

මුල් සියවසේ විවිධ ප්‍රදේශවල තිබූ කණ්ඩායම් ‘දෙවිගේ සභා’ ලෙස හැඳින්වූවා

[24වන පිටුවේ පින්තූරය]

බෙනින් රටේ ක්‍රිස්තියානීන් මෙන් සභා මැද යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න අපිටත් පුළුවන්