Skip to content

පටුනට යන්න

ඔබට මඟ පෙන්වීමට දෙවිගේ වචනයට ඉඩහරින්න

ඔබට මඟ පෙන්වීමට දෙවිගේ වචනයට ඉඩහරින්න

ඔබට මඟ පෙන්වීමට දෙවිගේ වචනයට ඉඩහරින්න

“ඔබගේ වචන මාගේ පාදවලට පහනක්ය. මාවතට එළියක්ය.”—ගීතාවලිය 119:105.

1, 2. මිනිසුන්ගෙන් බහුතරයකට සාමය සහ ප්‍රීතිය සොයාගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි?

ඔබ ගමනක් යද්දී පාර වැරදුණ දවසක් ඔබට මතකද? එදා ඔබ කාගෙන් හරි පාර ඇහුවාද? සමහරවිට ඔබ යන්න අවශ්‍ය තැනට ළඟා වෙලා ඉන්න ඇති. ඒත් කොයි පාරෙන්ද හැරෙන්නෙ කියලා හරියටම දැනගෙන ඉන්න නැතිව ඇති. එහෙමත් නැතිනම් ඔබ සම්පූර්ණයෙන්ම වැරදි පාරක ගිහිල්ලා. මේ කුමන අවස්ථාවකදී වුණත් කළ හැකි හොඳම දේ නම් ප්‍රදේශය ගැන හොඳින් දන්න කියන කෙනෙක්ගෙන් ඒ ගැන විමසීමයි. ඔහුට පුළුවන් ඔබට නිවැරදි පාර පෙන්වන්න.

2 පොදුවේ බලද්දී මිනිස් වර්ගයාගෙන් බහුතරයක් සිටින්නේ අතරමං වූ තත්වයකයි. ඊට හේතුව ඔවුන් තම නිර්මාණකරු වන යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරමින් හිතුමනාපෙට තම ජීවිත ගත කිරීමයි. ඒ සම්බන්ධයෙන් මීට අවුරුදු 2,500 පමණ පෙර සිටි අනාගතවක්තෘ යෙරෙමියා පැවසුවේ මෙසේයි. “තමාගේ පාද යොමු කිරීම ගමන් යන මනුෂ්‍යයාට අයිති නැත.” (යෙරෙමියා 10:23) ඒ අනුව බලද්දී ඔවුන් සොයන සාමය සහ ප්‍රීතිය අත් කරගන්න නොහැකි වීමට හේතුව අපිට පැහැදිලියි. මඟ පෙන්වීම් දීමට සුදුසුකම් ඇති අයගේ උපකාරය පසෙක දමා තමන්ටම රිසි සේ කටයුතු කිරීමේ ප්‍රතිඵලය වෙන්නේ කලකිරීම පමණයි. ඉන් පැහැදිලි වෙන්නේ මිනිසාට මඟ පෙන්වීම් අත්‍යවශ්‍ය බවයි!

3. මිනිස් වර්ගයාට මඟ පෙන්වන්න සුදුසුම තැනැත්තා යෙහෝවා දෙවි වෙන්නේ ඇයි? එමෙන්ම ඔහු පොරොන්දු කරන්නේ කුමක්ද?

3 මිනිසුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් දීමට යෙහෝවා දෙවි තරම් සුදුසු කෙනෙක් තවත් නැහැ. ඒ ඇයි? වෙන කිසිවෙකුටවත් වඩා මිනිසුන් ගැන හොඳින්ම දන්නේ ඔහුයි. මිනිස් වර්ගයාට පාර වැරදුණේ කොතැනද කියාත් නැවතත් හරි පාරට එන්න කුමක් කළ යුතුද කියාත් දන්නේ දෙවි පමණයි. ඒ වගේම යෙහෝවා දෙවි අපගේ නිර්මාණකරු නිසා අපට හැමවිටම අවශ්‍ය හොඳම දේ දන්නේද ඔහු පමණයි. (යෙසායා 48:17) එමනිසා ගීතාවලිය 32:8හි සඳහන් වී ඇති මෙම පොරොන්දුව කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබන්න අපිට පුළුවන්. “ඔබට උගන්වන්නෙමි. ඔබ විසින් යා යුතු මාර්ගයේදී ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස් ඔබ කෙරෙහි යොමු කොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.” ඒ ගැන කිසිම සැකයක් නැහැ. අපට හොඳම මඟ පෙන්වීම් ලබා දීමට හැක්කේ යෙහෝවා දෙවිට පමණයි. නමුත් ඔහු එය කරන්නේ කොහොමද?

4, 5. දෙවිගේ වචනය අපිට මඟ පෙන්වන්නේ කෙසේද?

4 එක් ගීතිකාකරුවෙක් යෙහෝවා දෙවිට මෙසේ යාච්ඤා කළා. “ඔබගේ වචන මාගේ පාදවලට පහනක්ය. මාවතට එළියක්ය.” (ගීතාවලිය 119:105) බයිබලයේ වාර්තා වී ඇති දෙවිගේ සිහිගැන්වීම් සහ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන්, ජීවිත ගමනේදී අපි අද්දකින ගැටලු ජය ගන්නට හැකි වෙනවා. ඇත්තෙන්ම අපි දේවවචනය කියවා එහි මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා නම් යෙසායා 30:21හි වාර්තා වී ඇති මේ දේ අපිම අද්දකිනවා. “මාර්ගය මේය. එහි හැසිරෙන්නයයි කියන වචනයක් ඔබේ කනට ඔබ පස්සෙන් ඇසෙන්නේය.”

5 දෙවිගේ වචනය අපට ප්‍රයෝජනවත් වන ආකාර දෙකක් ගැන ගීතාවලිය 119:105හි පැහැදිලිව සඳහන් වෙනවා. පළමුවෙනි ආකාරය නම්, දෙවිගේ වචනය අපගේ පාදවලට පහනක් වීමයි. එදිනෙදා ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන විට, අපිට මඟ පෙන්වන්න බයිබලයේ ඇති උපදෙස්වලට අපි ඉඩහැරිය යුතුයි. එසේ කිරීමෙන් ඥානවන්ත තීරණ ගැනීමටත් මේ ලෝකයේ උගුල් මඟ හැරීමටත් අපිට හැකියි. දෙවනුව, දෙවිගේ වචනය අපගේ මාවතට එළියක් මෙන් ක්‍රියා කරනවා. එනම් අපට තේරීම් කිරීමට සිදු වන විට, සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුවට බාධා නොවන ආකාරයෙන් තීරණ ගැනීමට එය අපට උපකාර කරනවා. අපගේ ජීවන මාවතට දෙවිගේ වචනය මගින් මහත් ආලෝකයක් ලබා දෙන නිසා යම් තීරණයක ඇති හොඳ හෝ නරක ප්‍රතිවිපාක කල්තියාම හඳුනාගන්නත් අපිට හැකියි. (රෝම 14:21; 1 තිමෝති 6:9; එළිදරව් 22:12) දෙවිගේ වචනය අපගේ පාදවලට පහනක් සහ අපගේ මාවතට එළියක් වෙන්නේ කෙසේද කියා දැන් අපි සවිස්තරාත්මකව සලකා බලමු.

“මාගේ පාදවලට පහනක්ය”

6. දෙවිගේ වචනය අපගේ පාදවලට පහනක් වෙන්නේ කුමන අවස්ථාවලදීද?

6 සෑම දිනකම අපිට තීරණ ගැනීමට සිදු වෙනවා. එම තීරණවලින් සමහරක් සුළු ඒවා විය හැකියි. නමුත් සදාචාරය හා අවංකකම සම්බන්ධ කාරණාවලදී හෝ යුද්ධ සහ දේශපාලන කාරණාවලදී යම් බැරෑරුම් තීරණ ගැනීමට අපට සිදු වෙන්න පුළුවන්. එවැනි අභියෝගාත්මක අවස්ථාවක නිවැරදි තීරණය ගැනීමට අපි “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා භාවිතයෙන්ම පුහුණු කරන ලද වටහා ගැනීමේ හැකියාව” ඇතිව සිටින්න අවශ්‍යයි. (හෙබ්‍රෙව් 5:14) දේවවචනය ගැනත් එහි ඇති ප්‍රතිපත්ති ගැනත් නිවැරදි අවබෝධයක් ලබාගැනීමෙන් අපගේ හෘදය සාක්ෂිය පුහුණු කිරීමට හැකියි. එමගින් යෙහෝවා දෙවිව සතුටු කරන ආකාරයේ තීරණ ගන්න අපිට පුළුවන්.—හිතෝපදේශ 3:21.

7. ක්‍රිස්තියානියෙකුට, තම රැකියා ස්ථානයේ සිටින අය සමඟ ආශ්‍රය කිරීමට පෙලඹිය හැකි අවස්ථාවක් විස්තර කරන්න.

7 ඔබ, යෙහෝවා දෙවිව සතුටු කරන්න අවංක උත්සාහයක් ගන්නා වැඩිහිටියෙක්ද? (හිතෝපදේශ 27:11) එසේ නම් එය මොන තරම් කදිම දෙයක්ද! නමුත් මෙහෙම හිතන්න. ඔබ ඇසුරට ප්‍රිය කෙනෙක් බව රැකියා ස්ථානයේ සේවකයන් දන්නා නිසා, වෙනත් අවස්ථාවලදීත් ඔබ ඔවුන් සමඟ එකතු වී විනෝද වෙනවාට ඔවුන් කැමති විය හැකියි. ඒ නිසා සමහරවිට ඔවුන් සමඟ සංගීත ප්‍රසංගයක් නැරඹීමට ආරාධනා කළා කියා හිතන්න . ඒ අය නම් හරිම ගුණ යහපත් අය කියා ඔබට හැඟෙන්න පුළුවන්. මෙවැනි තත්වයකදී ඔබ කරන්නේ කුමක්ද? එය පිළිගැනීමේ යම් අනතුරක් තිබෙනවාද? ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගැනීමට දෙවිගේ වචනය ඔබට උපකාරවත් වෙන්නේ කෙසේද?

8. ආශ්‍රිතයන්ව තෝරා ගැනීම සම්බන්ධයෙන්, හොඳින් සිතා බැලීමට අපට උපකාරවත් වන බයිබලයේ ඇති ප්‍රතිපත්ති මොනවාද?

8 ඊට අදාළ බයිබලයේ ඇති ප්‍රතිපත්ති කිහිපයක් සලකා බලන්න. ඒ සම්බන්ධයෙන් අපට මුලින්ම මතක් විය හැක්කේ 1 කොරින්ති 15:33හි සඳහන් දෙයයි. එහි පවසන්නේ “නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය” කියායි. ඉන් අදහස් කරන්නේ ඔබ දෙවිට නමස්කාර නොකරන අයගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී සිටිය යුතු බවද? බයිබලයේ එවැනි දෙයක් පවසන්නේ නැහැ. හේතුව, පාවුල්ද “සියලු ආකාරයේ පුද්ගලයන්ට” එනම් දෙවිට නමස්කාර නොකළ අයට පවා තම ප්‍රේමණීය සැලකිල්ල පෙන්වූ නිසයි. (1 කොරින්ති 9:22) ක්‍රිස්තියානීන් හැටියට අපි එකිනෙකා කෙරෙහි සැලකිල්ල දැක්විය යුතුමයි. යෙහෝවා දෙවිට නමස්කාර නොකරන අයද ඊට ඇතුළත්. (රෝම 10:13-15) අනෙක් අතට අපි ඔවුන්ගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වුණොත් ‘සියල්ලන්ටම යහපත්කම් කරන්න’ යන ආඥාවට කීකරු වී, උපකාර අවශ්‍ය විය හැකි අයට එය ලබා දෙන්නේ කොහොමද?—ගලාති 6:10.

9. රැකියා ස්ථානයේ කෙනෙකු සමඟ ඇසුරු කිරීමේදී අදාළ කරගත හැකි බයිබලයේ ඇති ප්‍රතිපත්ති මොනවාද?

9 රැකියා ස්ථානයේ සෙසු සේවකයෙකු සමඟ සුහද වීමත් ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමත් අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. එවැනි තත්වයකදී අදාළ කරගත හැකි තවත් මඟ පෙන්වීමක් නම්, “නොඇදහිලිකරුවන් සමඟ එක් නොවන්න” යන ප්‍රතිපත්තියයි. (2 කොරින්ති 6:14) මෙහි සඳහන් “එක් නොවන්න” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? සමහර බයිබල් පරිවර්තනවල එය “නොගැළපෙන සම්බන්ධකම්වලින් නොබැඳෙන්න” හෝ “නුසුදුසු සම්බන්ධතා ඇති කරගැනීමෙන් වළකින්න” ලෙසත් පරිවර්තනය කර තිබෙනවා. ඒ අනුව බලද්දී, රැකියා ස්ථානයේ සෙසු සේවකයෙක් සමඟ කරන ආශ්‍රය නුසුදුසු එකක් වෙන්නේ කුමන අවස්ථාවේදීද? මේ සම්බන්ධයෙන් ඔබට මඟ පෙන්වීමට දෙවිගේ වචනයට හැකියි.

10. (අ) යේසුස් තමාගේ කිට්ටු මිත්‍රයන් කරගත්තේ කාවද? (ආ) ආශ්‍රිතයන්ව තෝරා ගැනීම සම්බන්ධයෙන් හොඳ තීරණයක් ගන්න උපකාරවත් වන ප්‍රශ්න මොනවාද?

10 මේ සම්බන්ධයෙන් යේසුස්ගේ ආදර්ශය සලකා බලන්න. මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිටම ඔහු මිනිස් වර්ගයාට ප්‍රේම කළා. (හිතෝපදේශ 8:31) මේ පොළොවට පැමිණියාට පසුව ඔහු තම අනුගාමිකයන් සමඟ ඉතා කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත්තා. (යොහන් 13:1) ඒ විතරක් නොවෙයි, ආගමික නායකයන් විසින් නොමඟ යැවූ පුද්ගලයෙකුව දුටු විට යේසුස්ට ඔහු කෙරෙහි ‘ප්‍රේමයක් ඇති වුණා.’ (මාක් 10:17-22) ඒ වුණත් තමාගේ කිට්ටු මිතුරන්ව තෝරාගැනීම සම්බන්ධයෙන් ඔහු ඉතා සැලකිලිමත් වුණා. තමාගේ පියාගේ කැමැත්ත කිරීමට උනන්දුවක් නොදැක්වූ අයව ඔහු කිසි දිනක තම කිට්ටු මිතුරන් කරගත්තේ නැහැ. එක් අවස්ථාවකදී යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. “මා ඔබට අණ කරන දේ ඔබ කරනවා නම් ඔබ මාගේ මිත්‍රයෝ වන්නහුය.” (යොහන් 15:14) රැකියා ස්ථානයේ සෙසු සේවකයෙක් ඔබ සමඟ හොඳින් පෑහී කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඒ වුණත් මෙම ප්‍රශ්න ගැනත් සිතා බලන්න. ඔහු හෝ ඇය, යේසුස් අණ කළ දේවල් කිරීමට කැමැත්තෙන් සිටිනවාද? යේසුස්, නමස්කාර කරන්න කියා පැවසූ තැනැත්තා ගැන ඉගෙනගන්න ඔහුට හෝ ඇයට ඕනෑකමක් තිබෙනවාද? ඔහුට හෝ ඇයට තිබෙන්නේ ඔබට තිබෙනවා හා සමාන සදාචාර ප්‍රතිපත්තිද? (මතෙව් 4:10) ඉහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට ඔබට පුළුවන් කොහොමද? ඒ ඔබ බයිබලයේ ඇති ප්‍රතිපත්ති ක්‍රියාවට නඟන විට ඊට ඔවුන් දක්වන ප්‍රතිචාරයෙනුයි.

11. බයිබලයේ සඳහන් ප්‍රමිති මගින් මඟ පෙන්වීම් ලැබිය යුතු අවස්ථා මොනවාද?

11 දෙවිගේ වචනය අපගේ පාදවලට පහනක් වන තවත් අවස්ථා බලමු. රැකියාවක් සොයාගැනීමේ දැඩි අවශ්‍යතාවයකින් සිටි ක්‍රිස්තියානියෙකුට රැකියාවක් ලැබෙනවා කියා සිතන්න. නමුත් ඒ වෙනුවෙන් බොහෝ කාලයක් සහ ශ්‍රමයක් වැය කරන්න ඔහුට සිදු වෙනවා. ප්‍රතිඵලයක් හැටියට ඔහුට රැස්වීම් බොහොමයකට පැමිණීමට නොහැකි වන අතර නමස්කාරය හා සම්බන්ධ වෙනත් ක්‍රියාකාරකම්ද ඔහුට අතපසු විය හැකියි. (ගීතාවලිය 37:25) තවත් ක්‍රිස්තියානියෙක් බයිබලයට පටහැනි විනෝදාංශ ඇතුළත් දේවල් නැරඹීමට නැඹුරුවාවක් දක්වන්න පුළුවන්. (එෆීස 4:17-19) එමෙන්ම සෙසු ක්‍රිස්තියානියෙකු කළ කී දෙයක් නිසා තවත් කෙනෙකුගේ සිත රිදෙන්න පුළුවන්. (කොලොස්සි 3:13) ඒ කුමන අවස්ථාවකදී වුණත් අපි බයිබලයේ ඇති ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් දෙවිගේ වචනය අපගේ පාදවලට පහනක් කරගත යුතුයි. අපි එසේ කරනවා නම් ජීවිතයේ ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට අපිට හැකි වන බව නිසැකයි. ඊට හේතුව දෙවිගේ වචනය “ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්” වන නිසයි.—2 තිමෝති 3:16.

‘මාගේ මාවතට එළියක්ය’

12. දෙවිගේ වචනය අපගේ මාවතට එළියක් වෙන්නේ කෙසේද?

12 ගීතාවලිය 119:105ට අනුව, අපගේ මාවත ආලෝකවත් කරන්නත් දෙවිගේ වචනයට පුළුවන්. එනම් අනාගතයේ සිදු වන දේවල් ගැන අවබෝධයක් ලබා දෙන්න ඊට හැකියි. දැන් පොළොව මත දුෂ්ට තත්වයක් පවතින්නේ ඇයි කියාත් අවසානයේදී සිදු වෙන්නේ කුමක්ද කියාත් එමගින් ඉතාමත් පැහැදිලිව පෙන්වා දෙනවා. අපි ජීවත් වන්නේ “අන්තිම දවස්වල” බව අපි හොඳින්ම දන්නවා. (2 තිමෝති 3:1-5) අනාගතයේ සිදුවීමට නියමිත දේ අපි දන්නා නිසා, අපි දැන් ජීවත් වන ආකාරයට එය බලපෑ යුතුයි. පාවුල් ඒ ගැන ලිව්වේ “මේ සියල්ල මෙසේ නැති වී යෑමට තිබෙන හෙයින්, ඔබ කෙබඳු අය විය යුතුදැයි සිතා බලන්න. ශුද්ධ වූ හැසිරීමෙහි නිරත වෙමින්ද දේවභක්තික ක්‍රියා කරමින්ද, යෙහෝවාගේ දවස පැමිණීම බලා සිටිමින්, එය මනසෙහි ප්‍රමුඛව තබාගන්න” කියායි.—2 පේතෘස් 3:11, 12.

13. ඉතිරිව ඇත්තේ කෙටි කාලයක් බව දැන සිටීම, අපි සිතන සහ ජීවත්වන ආකාරයට බලපෑ යුත්තේ කෙසේද?

13 මේ ‘ලෝකයත් එහි ආශාවත් පහව යන බව’ අපි සිතන ආකාරයෙන් සහ ජීවත් වන ආකාරයෙන් දිස් විය යුතුයි. (1 යොහන් 2:17) බයිබලයේ මඟ පෙන්වීම් අදාළ කරගෙන අනාගතය සම්බන්ධයෙන් ඥානවන්ත තීරණ ගැනීමට අපිට හැකියි. උදාහරණයකට යේසුස් පැවසූ දේ සලකා බලන්න. “එබැවින් පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ.” (මතෙව් 6:33) අද දින යෞවනයන් බොහෝදෙනෙක් යේසුස්ගේ එම වචන කෙරෙහි දැඩි විශ්වාසයක් තබා පූර්ණ කාලීන දේවසේවයේ හවුල් වෙනවා. එවැනි යෞවනයන්ව ඇත්තෙන්ම අගය කළ යුතුයි! තවත් අය පවුල් වශයෙන් තම ගම රට අත්හැර ගොස්, අවශ්‍යතාවය වැඩි ප්‍රදේශවල සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වී තිබෙනවා.

14. තම සේවය වැඩි කිරීමට එක් පවුලක් කළේ කුමක්ද?

14 අමෙරිකා එක්සත් ජනපදයේ සිට සේවය කිරීම සඳහා දකුණු අමෙරිකාවට තම පදිංචිය මාරු කළ එක් පවුලකගේ අද්දැකීම සලකා බලන්න. ඔවුන් ගිය සභාවේ සිටි ප්‍රචාරකයන් ගණන 130ක් වූ අතර එම නගරයේ ජනගහනය 50,000ක් පමණ වුණා. කොහොමනමුත් වර්ෂ 2006 අප්‍රියෙල් 12 වෙනිදා පැවැත්වූ ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට 1300දෙනෙක් පමණ පැමිණියා! ඉන් පැහැදිලි වන්නේ ගොයම හොඳින් පැසී තිබෙන බවයි. ඊට මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත එම යුවළටත් ඔවුන්ගේ දුව සහ පුතාටත් බයිබල් පාඩම් 30ක් ආරම්භ කිරීමට හැකි වුණා. (යොහන් 4:35) ඒ ගැන එම පියා පවසන්නේ මෙසේයි. “මේ සභාවට උපකාර කරන්න වෙනත් රටවල්වලින් සහෝදර සහෝදරියන් 30ක් විතර ඇවිල්ලා ඉන්නවා. ඒ අයගෙන් 20ක් එක්සත් ජනපදයෙන්ද, අනිත් අය බහමාස්, කැනඩාව, ඉතාලිය, නවසීලන්තය සහ ස්පාඤ්ඤයෙන් ඇවිත් ඉන්න අයයි. සේවය සඳහා මේ හැමදෙනා තුළම තිබුණු උද්‍යෝගය සභාවේ අනිත් අයටත් හොඳ බලපෑමක් වුණා.”

15. ඔබේ ජීවිතයේ මුල් තැන යෙහෝවා දෙවිට දීමෙන් පෞද්ගලිකව ලබා ඇති ආශීර්වාද මොනවාද?

15 අප අතර සිටින බොහෝදෙනෙකුට එලෙස වෙනත් රටකට ගොස් සේවය කිරීමට නොහැකි විය හැකියි. නමුත් දැනටමත් එසේ කරන අය මෙන්ම ඒ සඳහා සැලසුම් කරන අයට බොහෝ ආශීර්වාද ලැබෙන බව නිසැකයි. ඔබ කොතැනක යෙහෝවා දෙවිට සේවය කළත් එය ඔබේ මුළු ශක්තියෙන්ම කරනවා නම් එයින් ඔබ ප්‍රීතිය අද්දකිනවා නොඅනුමානයි. ඔබේ ජීවිතයේ මුල් තැන දෙවිට දෙනවා නම්, “ඔබට ඇති තරම් ආශීර්වාද කරන්නෙමි” කියා ඔහු පොරොන්දු කර තිබෙනවා.—මලාකි 3:10, නව ලොව පරිවර්තනය, NW.

යෙහෝවා දෙවි දෙන මඟ පෙන්වීමෙන් ලැබෙන ප්‍රයෝජන

16. දෙවිගේ වචනයෙන් මඟ පෙන්වීම් ලබාගැනීමෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

16 දේවවචනය අපිට මඟ පෙන්වන ආකාර දෙකක් ගැන අපි මෙතෙක් සාකච්ඡා කළා. එහි ඇති මඟ පෙන්වීම් අපගේ පාදවලට පහනක් මෙන් ක්‍රියා කරනවා. එමගින් අපගේ ජීවිත ගත කළ යුතු ආකාරය මෙන්ම අපට තීරණ ගැනීමට සිදු වන විට ඊට අවශ්‍ය මඟ පෙන්වීම්ද සපයනවා. ඒ වගේම දෙවිගේ වචනය අපගේ මාවතට එළියක් මෙන් ක්‍රියා කරනවා. ඉන් අදහස් කරන්නේ, අනාගතයේ සිදු වන්නේ කුමක්ද කියා පැහැදිලිව තේරුම්ගැනීමට අපට උපකාර කිරීමයි. ඒ නිසා අපිට පේතෘස්ගේ මෙම උපදෙස සිහියේ තබාගෙන කටයුතු කරන්න පුළුවන්. “ක්‍රියාකාරකම් සඳහා මනසින් ශක්තිමත් වන්න. පූර්ණ සිහිකල්පනාව ඇතිව සිටින්න. යේසුස් ක්‍රිස්තුස් එළිදරව් වීමේදී ඔබ වෙතට ගෙන එනු ලැබීමට නියමිත මහත් කරුණාව කෙරෙහි ඔබේ බලාපොරොත්තුව තබන්න.”—1 පේතෘස් 1:13.

17. දෙවිගේ මඟ පෙන්වීම් පිළිපැදීමට, බයිබලය අධ්‍යයනය කිරීම උපකාරවත් වෙන්නේ කෙසේද?

17 යෙහෝවා දෙවි අපිට මඟ පෙන්වීම් සපයන බවට නම් කිසිම සැකයක් නැහැ. නමුත් ඔබ ඒවා පිළිගන්න කැමතිද? යෙහෝවා දෙවි ඔබට දෙන මඟ පෙන්වීම් අවබෝධ කරගැනීම සඳහා ඔහුගේ වචනය වන බයිබලයෙන් කොටසක් දිනපතා කියවන්න අධිෂ්ඨාන කරගන්න. එමෙන්ම ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්න. යම් කාරණා සම්බන්ධයෙන් යෙහෝවා දෙවිට හැඟෙන්නේ කෙසේද කියාත් තේරුම්ගන්න උත්සාහ කරන්න. ඔබ කියවූ කොටසෙහි ඇති තොරතුරු අදාළ කරගන්නේ කෙසේද යන්න ගැන සිතා බලන්න. (1 තිමෝති 4:15) ඔබට යමක් පෞද්ගලිකව තීරණය කරන්න සිදු වන විට “කල්පනා ශක්තිය” භාවිත කරන්න.—රෝම 12:1.

18. අපි දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්නා විට ඉන් ලබන ආශීර්වාද මොනවාද?

18 දෙවිගේ වචනයේ ඇති ප්‍රතිපත්ති මගින් අපි මඟ පෙන්වීම් ලබනවා නම්, ජීවිතයේ නිවැරදි තීරණ ගැනීමට අපිට අවශ්‍ය ප්‍රඥාව ලබා දීමට ඒවාට හැකියි. බයිබලයේ සඳහන් වී ඇති යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්, “අද්දැකීම් අඩු තැනැත්තාට ප්‍රඥාව” ලබා දෙන බවට කිසිම සැකයක් නැහැ. (ගීතාවලිය 19:7, NW) එසේ අපිට මඟ පෙන්වීමට දෙවිගේ වචනයට ඉඩහරිනවා නම්, යහපත් හෘදය සාක්ෂියක් ඇතිව සිටීමට සහ දෙවිව සතුටු කිරීමෙන් ලබන ප්‍රීතිය අද්දකින්නද අපිට හැකි වෙනවා. (1 තිමෝති 1:18, 19) සෑම දවසකම අපි දෙවිගේ වචනයේ සඳහන් මඟ පෙන්වීම් ලබාගන්නවා නම්, සදාකාල ජීවනය නමැති උතුම්ම ත්‍යාගය දෙවි අපිට ලබා දෙනවා.—යොහන් 17:3.

ඔබට මතකද?

• අපට මඟ පෙන්වන්නට යෙහෝවා දෙවිට ඉඩහැරීම වැදගත් දෙයක් වෙන්නේ ඇයි?

• දෙවිගේ වචනය අපගේ පාදවලට පහනක් වෙන්නේ කෙසේද?

• දෙවිගේ වචනය අපගේ මාවතට එළියක් වෙන්නේ කෙසේද?

• දෙවිගේ මඟ පෙන්වීම් අනුගමනය කිරීමට, බයිබලය අධ්‍යයනය කිරීම උපකාරවත් වෙන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

නොඇදහිලිකරුවෙකු සමඟ ඇසුරු කිරීම අනතුරුදායක දෙයක් වෙන්නේ කුමන අවස්ථාවේදීද?

[16වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ කිට්ටු මිත්‍රයන් වුණේ යෙහෝවා දෙවිගේ කැමැත්ත කළ අය පමණයි

[17වන පිටුවේ පින්තූර]

අපි දේවරාජ්‍යයට මුල් තැන දෙන බව අපි ජීවත් වන ආකාරයෙන් පෙන්වනවාද?