Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ක්‍රිස්තියානීන්ව ස්වර්ගික ජීවිතය සඳහා තෝරාගැනීම අවසන් වන්නේ කවදාද?

බයිබලයේ ඊට කෙළින්ම පිළිතුරක් සපයන්නේ නැහැ. නමුත් ස්වර්ගික ජීවිතයක් සඳහා ක්‍රිස්තියානීන්ව තෝරාගැනීම (අභිෂේක කිරීම) ආරම්භ වුණේ ක්‍රිස්තු වර්ෂ 33දී බව අපි දන්නවා. (ක්‍රියා 2:1-4) යේසුස්ගේ මුල් ගෝලයන්ගේ අභාවයත් සමඟම “තිරිඟු” ලෙස හැඳින්වූ සැබෑ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් අතර “කිරිඳි” නම් වූ බොරු ක්‍රිස්තියානීන්ද ‘වැඩුණා.’ (මතෙව් 13:24-30) නමුත් 1800 ගණන්වල අගභාගයේදී එම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් නැවතත් ක්‍රියාශීලී වෙන්න පටන්ගත්තා. ඉන්පසු 1919දී අභිෂේක ලත් අයගේ අවසන් සාමාජිකයන් ඇතුළු මුළු “පොළොවේ අස්වැන්න” නෙළීම ආරම්භ වුණා.—එළිදරව් 14:15, 16.

එක්දහස් අටසිය ගණන්වල අවසානයේ සිට 1931 දක්වා මූලික අවධානය දෙනු ලැබුවේ අභිෂේක ලත් සාමාජිකයන්ගේ ඉතිරිව සිටින අයව එක්රැස් කිරීමේ කාර්යයටයි. එවකට සිටි බයිබල් ශිෂ්‍යයන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යන නාමය වැලඳගත්තේ 1931 වර්ෂයේදීයි. එම සුවිශේෂී නාමය යේසුස්, මතෙව් 20:1-16හි සඳහන් කළ උපමාවේ වැඩකරුවන්ට දුන් ‘ඩිනාරියට’ යොමු දැක්වූ බව 1933 නොවැම්බර් 15 මුරටැඹ කලාපයේ සඳහන් වුණා. එම උපමාවේ සඳහන් වන පැය 12, වර්ෂ 1919 සිට 1931 දක්වා ඇති වර්ෂ 12ට සමානයි කියා එම බයිබල් ශිෂ්‍යයන් මුලින් සිතුවා. ඒ අනුව වසර ගණනාවක් පුරා ඔවුන් විශ්වාස කළේ ස්වර්ගික ජීවිතයක් සඳහා ක්‍රිස්තියානීන්ව තෝරාගැනීම වර්ෂ 1931දී අවසන් වුණා කියායි. එමෙන්ම එම සාමාජිකයන්ගේ ‘අන්තිමයන්ව’ තෝරාගනු ලැබුවේ 1930 සහ 1931දී කියාත් ඔවුන් නිගමනය කළා. (මතෙව් 20:6-8) නමුත් ඉහත සඳහන් කළ උපමාව ගැන ඔවුන්ට තිබූ අවබෝධයේ යම් සකස් කිරීමක් 1966දී කළා. එනම් එම උපමාව සහ ක්‍රිස්තියානීන්ව තෝරාගැනීමේ කාර්යයේ අවසානය අතර කිසිම සම්බන්ධයක් නැති බවයි.

එළිදරව් 7:9-15හි සඳහන් “මහත් සමූහය” සෑදී තිබෙන්නේ යේසුස් සඳහන් කළ ‘වෙනත් බැටළුවන්ගෙන්’ බව දෙවිගේ සේවකයන් 1935දී පැහැදිලිව තේරුම්ගත්තා. ඔවුන් මෙම “අන්තිම දවස්වල” ජීවත් වන අතර ඔවුන් කණ්ඩායමක් ලෙස දැන් පවතින දුෂ්ට සමාජයේ විනාශයෙන් බේරී මේ පොළොව මත ජීවත් වීමට නියමිතයි. (යොහන් 10:16; 2 තිමෝති 3:1; එළිදරව් 21:3, 4) ඒ නිසා එම වර්ෂයේ සිට මූලික අවධානය දුන්නේ මහත් සමූහයේ අයව එක්රැස් කිරීමේ කාර්යයටයි. වර්ෂ 1966න් පසුව දෙවිගේ සේවකයන් හිතුවේ ස්වර්ගික ජීවිතයක් සඳහා ක්‍රිස්තියානීන්ව තෝරාගැනීම 1935දී අවසන් වුණා කියායි. වර්ෂ 1935න් පසුව බව්තීස්ම වූ සියලුදෙනාම වගේ පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටි නිසා ඔවුන් සිතූ දේ නිවැරදි බව පෙනෙන්න තිබුණා. ඒ අනුව 1935න් පසුව ක්‍රිස්තියානියෙකුව ස්වර්ගික ජීවිතයකට කැඳවනු ලැබුවා නම්, එසේ කරන්නේ ඇදහිල්ල අත්හැර ගිය අභිෂේක ලත් ක්‍රිස්තියානියෙකුගේ අඩුව පිරවීම සඳහා බව විශ්වාස කරනු ලැබුවා.

අභිෂේක ලත් ක්‍රිස්තියානියෙක් ඇදහිල්ල අත්හැර ගිය විට ඔහුගේ අඩුව පිරවීමට තව කෙනෙකුව යෙහෝවා දෙවි තෝරාගන්නා බව පැහැදිලියි. (රෝම 11:17-22) ඒ වුණත් එලෙස සත්‍යය අත්හැර යන අභිෂේක ලත් අයගේ සංඛ්‍යාව ඉතාමත් අල්පයි. අනිත් අතට 1935න් පසුව බව්තීස්ම වූ සමහර ක්‍රිස්තියානීන්ට, දෙවිගේ බලයේ මඟ පෙන්වීම තුළින් තමන්ට ස්වර්ගික කැඳවීමක් තිබෙනවා කියා අවබෝධ වී තිබෙනවා. (රෝම 8:16, 17) එයින් පැහැදිලි වන්නේ ක්‍රිස්තියානීන්ව ස්වර්ගික ජීවිතයක් සඳහා තෝරාගැනීම හරියටම අවසන් වන්නේ කවදාද කියා අපිට නිශ්චිතව කියන්න බැරි බවයි.

එමනිසා තමන්ට ස්වර්ගික කැඳවීමක් තිබෙනවා කියා ස්ථිර විශ්වාසයකින් සිටින ක්‍රිස්තියානියෙකු යේසුස්ගේ මරණය සිහි කිරීම සිදු කරන අවස්ථාවේදී රොටි සහ වයින් ගන්නා විට අප කුමක් කළ යුතුද? අපි ඔහුව හෝ ඇයව විනිශ්චය නොකළ යුතුයි. ඊට හේතුව නම් එය ඔහු හා යෙහෝවා දෙවි අතර ඇති පෞද්ගලික කාරණයක් වන නිසයි. (රෝම 14:12) නමුත් අභිෂේක ලත් ක්‍රිස්තියානියෙක් කිසි විටෙකත් තමන්ට වැඩි අවධානයක් ලබාගැනීමට උත්සාහ කරන්නේ නැහැ. මහත් සමූහයට අයත් අද්දැකීම් ලත් සාමාජිකයන්ට වඩා තමන්ට වැඩි දැනුමක් තිබෙනවා කියාවත් දෙවිගේ බලයෙන් වැඩි කොටසක් තමන්ට ලැබෙනවා කියාවත් ඔවුන් සිතන්නේ නැහැ. අන් අය තමන්ට සේවය කළ යුතුයි කියා හෝ තමන් අභිෂේක ලත් අය නිසා තමන් සභාවේ සිටින වැඩිමහල්ලන්ටත් වඩා ඉහළින් සිටිනවා යන ආකල්පයවත් ඔවුන් දරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් නිහතමානීව මතක තබාගන්නා දෙයක් නම් පළමුවෙනි සියවසේ සිටි සමහර අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වැඩිමහල්ලන් හෝ සභා සේවකයන් ලෙස සේවය කිරීමට තරම් සුදුසු නොවූ බවයි. (1 තිමෝති 3:1-10, 12, 13; තීතස් 1:5-9; යාකොබ් 3:1) ඇත්තෙන්ම එදා සිටි සමහර අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට එතරම් ශක්තිමත් ඇදහිල්ලක් තිබුණේවත් නැහැ. (1 තෙසලෝනික 5:14) මීට අමතරව අභිෂේක ලත් සහෝදරියන් සිටියත් ඔවුන් සභාවේ ඉගැන්වීම් කටයුතුවල හවුල් වුණේ නැහැ.—1 තිමෝති 2:11, 12.

අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා වෙනත් බැටළුවන්ට අයත් සාමාජිකයන්ද උත්සාහ කරන්නේ ඇදහිල්ල තුළ ශක්තිමත්ව සිටිමින් යෙහෝවා දෙවිව ප්‍රසන්න කරන ගුණාංග වර්ධනය කරගෙන සභාවන්වල වැඩි දියුණුව උදෙසා වෙහෙස වී සේවය කරන්නයි. මේ කණ්ඩායම් දෙකම, පාලක මණ්ඩලයෙන් ලැබෙන උපදෙස් සහ මඟ පෙන්වීම් පිළිගනිමින් දේවරාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරමින් මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යයෙහි උනන්දුවෙන් හවුල් වෙමින් සිටිනවා. යෙහෝවා දෙවිගේ නියමිත කාලයේදී තමන්ව ස්වර්ගික ජීවිතයට කැඳවන තුරු අභිෂේක ලත් ක්‍රිස්තියානීන් පොළොව මත එම කාර්යයෙහි නිරත වන්නේ ඉතා සතුටිනුයි.