Skip to content

පටුනට යන්න

යෞවනයෙනි දෙවිට ගෞරවය ගෙනෙන ඉලක්ක අත් කරගන්න

යෞවනයෙනි දෙවිට ගෞරවය ගෙනෙන ඉලක්ක අත් කරගන්න

යෞවනයෙනි දෙවිට ගෞරවය ගෙනෙන ඉලක්ක අත් කරගන්න

“දේවභක්තිය ඉලක්ක කරගෙන ව්‍යායාම් කරන්න.”—1 තිමෝති 4:7.

1, 2. (අ) පාවුල් තිමෝතිව අගය කළේ ඇයි? (ආ) අද දින සිටින යෞවන යෞවනියන් දෙවිට ගෞරවය ගෙනෙන ඉලක්ක අත්කර ගෙන සිටින්නේ කෙසේද?

‘ඔබේ කාරණා ගැන ඔහු මෙන් අවංක සැලකිල්ලක් දක්වන අන් කිසිවෙකු මට නැත. තම පියා සමඟ සිටින දරුවෙකු මෙන්, ඔහු ශුභාරංචියේ වැඩිදියුණුව තකා මා සමඟ වෙහෙස මහන්සි වී සේවයකළේය’. (ෆිලිප්පි 2:20, 22) පළමුවෙනි සියවසේ ෆිලිප්පි සභාවේ සිටි ක්‍රිස්තියානීන්ට ඉහත වදන් ලියද්දී, පාවුල් අගය කරන්නේ කාවද? තමා සමඟ සංචාරක සේවයේ හවුල් වන යෞවන තිමෝතිවයි. ඒ ආකාරයෙන් පාවුල්ට තිමෝති කෙරෙහි තිබූ විශ්වාසය සහ ඇල්ම ප්‍රකාශ කරද්දී, තිමෝතිට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද!

2 අද දිනත් දේවභක්තික ජීවිත ගත කරන එවැනි යෞවන යෞවනියන් දෙවිගේ සෙනඟට ඉමහත් ආශීර්වාදයක්! (ගීතාවලිය 110:3) ඔවුන් පුරෝගාමීන්, ඉදි කිරීම් අංශවල ස්වේච්ඡා සේවකයන්, බෙතෙල් පවුලේ සාමාජිකයන් හෝ විදේශ රටවලට ගොස් සේවය කරන පූර්ණ කාලීන සේවකයන් ලෙස දෙවිට සේවය කරමින් සිටිනවා. එමෙන්ම වෙනත් වගකීම් ඉටු කරන අතරතුර දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල ඉතාමත් උද්‍යෝගයෙන් හවුල් වන යෞවන යෞවනියන්වද බොහෝ සෙයින් අගය කළ යුතුයි. දෙවිට ගෞරවය ගෙනෙන ඉලක්ක අත් කරගන්න උත්සාහ කරන එවැනි යෞවන අය සිටින්නේ ඉතාමත් සතුටින්. ඊට හේතුව ඔවුන් “දේවභක්තිය ඉලක්ක කරගෙන ව්‍යායාම්” කරමින් සිටින නිසයි.—1 තිමෝති 4:7, 8.

3. මෙම ලිපිය තුළ සාකච්ඡා කරන ප්‍රශ්න මොනවාද?

3 ඔබත් යෞවන ක්‍රිස්තියානියෙක් හැටියට දෙවිගේ සේවය තුළ එවැනි ඉලක්ක තබා ඒවා අත් කරගන්න උත්සාහ කරමින් සිටිනවාද? ඒ සඳහා ඔබට උපකාර ලබාගත හැක්කේ කොහෙන්ද? ධනය රැස් කරගන්න කියා අන් අයගෙන් පැමිණෙන පීඩනවලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද? දෙවිව ගෞරවයට පත් කරන ඉලක්ක අත් කරගැනීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම සඳහා, තිමෝති තම ජීවිතය ගත කළ ආකාරය ගැන අපි සෝදිසි කර බලමු.

තිමෝතිගේ යොවුන් විය

4. ක්‍රිස්තියානියෙකු හැටියට තිමෝති ගත කළ ජීවිතය කෙටියෙන් විස්තර කරන්න.

4 තිමෝති හැදී වැඩුණේ රෝම පාලනය යටතේ තිබූ ගලාතිය නම් ප්‍රදේශයේ ලිස්ත්‍රාව කියන කුඩා නගරයේයි. යෞවන තිමෝති ක්‍රිස්තියානියෙක් බවට පත් වුණේ, ක්‍රිස්තු වර්ෂ 47දී පමණ පාවුල් එහි පැමිණ දේශනා කිරීමෙන් පසුව බව පෙනෙන්න තිබෙනවා. වැඩිකල් යන්න මත්තෙන් සෙසු ක්‍රිස්තියානීන් තුළ, තිමෝති සම්බන්ධයෙන් හොඳ හැඟීමක් ඇති වුණා. අවුරුදු දෙකකට පසුව පාවුල් නැවතත් ලිස්ත්‍රාවට පැමිණි විට තිමෝති ඇදහිල්ලේ ශක්තිමත්ව සිටින බව ඔහු දැක්කා. මේ නිසා තමා සමඟ සංචාරක සේවයේ හවුල් වෙන්න කියා පාවුල් ඔහුට ආරාධනා කළා. (ක්‍රියා 14:5-20; 16:1-3) පසු කාලෙකදී ඔහුට වඩාත් බරපතළ වගකීම් පවා විශ්වාසවන්තව බාර දෙනු ලැබුවා. සභාවන් බැහැදැක, ක්‍රිස්තියානීන්ව දිරිගැන්වීමේ කාර්යයද ඊට ඇතුළත් වුණා. ක්‍රි.ව. 65දී පාවුල් රෝමයේ සිරභාරයේ සිටියදී තිමෝතිට ලිපියක් ලිව්වා. ඒ වන විට තිමෝති එෆීස සභාවේ සේවය කරමින් සිටියේ වැඩිමහල්ලෙක් හැටියටයි.

5. දෙවන තිමෝති 3:14, 15ට අනුව ඉලක්ක අත් කරගන්න තිමෝතිට උපකාරවත් වූ දේවල් දෙක කුමක්ද?

5 තිමෝති, දෙවිගේ සේවය තුළ ඉලක්ක තබා ඒවා අත් කරගත්තා. ඒ සඳහා ඔහුට උපකාරවත් වූ දේවල් දෙකක් පාවුල් ඔහුට ලියූ දෙවෙනි ලිපියේ සඳහන් කරනවා. “ඔබ විසින් ඉගෙනගත්තාවූද, විශ්වාස කිරීමට ඔබව පෙලඹෙව්වාවූද දේවල්වල පවතින්න. ඔබ ඒවා ඉගෙනගත්තේ කාගෙන්දැයි ඔබ දන්නෙහිය. එසේම, ළදරු වියේ පටන් ඔබ ශුද්ධ ලියවිල්ල දැනගෙන සිටින බවත් ඔබ දන්නෙහිය.” (2 තිමෝති 3:14, 15) පාවුල් සඳහන් කළ ලෙස දෙවිට සේවය කිරීමේ ඉලක්කය අත් කරගන්න සෙසු ක්‍රිස්තියානීන්ගෙන් තිමෝතිට ලැබුණු සහය මොන වගේද කියා අපි මුලින්ම බලමු.

ඇදහිලිවන්තයන්ගේ සහයෝගය

6. තිමෝතිට ලැබුණේ කුමන ආකාරයේ පුහුණුවක්ද? එමෙන්ම ඔහු ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

6 තිමෝතිගේ පවුලේ සෑමදෙනාම දෙවිගේ නමස්කාරකයන් වුණේ නැහැ. යුදෙව්වන් වූ ඔහුගේ මව යූනිස් සහ ආච්චි ලොයිස් පමණයි දෙවිට සේවය කළේ. නමුත් ඔහුගේ පියා ග්‍රීක ජාතිකයෙක්. (ක්‍රියා 16:1) තිමෝතිගේ අම්මාත් ආච්චිත් ඔහුගේ ළදරු වියේ සිටම හෙබ්‍රෙව් ලියවිල්ල ගැන නිවැරදි අවබෝධයක් ඔහුට ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඔවුන් ක්‍රිස්තියානීන් වූ පසුව ක්‍රිස්තියානි ඉගැන්වීම් තේරුම්ගැනීමට සහ ඒවා විශ්වාස කිරීමට තිමෝතිට උපකාර කළ බවට සැකයක් නැහැ. තිමෝතිට ලැබුණු එම පුහුණුව ඔහුට ඉමහත් ප්‍රයෝජන ගෙන දුන්නා. ඒ ගැන පාවුල් කියන්නේ මෙසේයි. “ඔබ තුළ තිබෙන, කිසිදු කුහකකමකින් තොර ඔබේ ඇදහිල්ල මට මතක් වන්නේය. ඒ ඇදහිල්ල පළමුවෙන් ඔබේ ආච්චි වන ලොයිස් තුළද ඔබේ මව වන යූනිස් තුළද තිබුණේය. එය ඔබ තුළත් තිබෙන බව මට විශ්වාසය.”—2 තිමෝති 1:5.

7. යෞවනයින් බොහෝදෙනෙකුට ආශීර්වාදයක් වී ඇත්තේ කුමක්ද? එය ඔවුන්ට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

7 තිමෝතිට මෙන් අද දින සිටින බොහෝ යෞවන අයටත් දෙවිට නමස්කාර කරන දෙමව්පියන් හෝ ආච්චිලා සීයලා සිටීම ඇත්තෙන්ම ආශීර්වාදයක්. සමීරා කියන යෞවනියගේ අද්දැකීම සලකා බලන්න. තම යෞවන කාලයේදී දෙමව්පියන් සමඟ කළ සාකච්ඡාවන් ඇයට තාමත් මතකයි. ඇය පවසන්නේ “මගේ අම්මායි තාත්තායි, යෙහෝවා දෙවිව සතුටට පත් කරන ආකාරයෙන් කටයුතු කරන්න මට ඉගැන්නුවා. ඔවුන් මට නිතරම කිව්වේ, දේශනා සේවයට ජීවිතයේ මුල් තැන දෙන්න කියලයි.” ඇය තවදුරටත් කිව්වේ “ඔවුන් පූර්ණ කාලීන සේවය කරන්න මාව පෙලඹෙව්වා” කියායි. සමීරා, ඇගේ දෙමව්පියන්ගේ මඟ පෙන්වීම් පිළිගෙන කටයුතු කළ නිසා ඇය අද ඇගේ රටේ ශාඛා කාර්යාලයේ සේවය කරමින් ඉන්නවා. ඔබගේ දෙමව්පියනුත් දෙවිට ගෞරවය ගෙන දෙන ඉලක්ක තබාගන්න කියා ඔබව දිරිගන්වනවා නම් එය හොඳින් හිතට ගන්න. හේතුව, ඔවුන් එසේ කියන්නේ ඔබ දෙවිට සේවය කරමින් ඔබේ ජීවිතය සතුටින් ගත කරනවා දකින්න ඔවුන් ආශාවෙන් සිටින නිසයි.—හිතෝපදේශ 1:5.

8. ඇදහිල්ල ශක්තිමත් කරන අයගේ ආශ්‍රයෙන් තිමෝති ප්‍රයෝජන ලැබුවේ කෙසේද?

8 ක්‍රිස්තියානීන් සමඟ ගොඩනංවන ඇසුරක් භුක්ති විඳීමද ඔබට ඉතා වැදගත්. එදා තිමෝතිගේ සභාවේ සිටි ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සහ කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටා තිබුණු ඉකෝනිය සභාවේ සිටි ක්‍රිස්තියානීන්ද තිමෝතිව ඉතා හොඳින් දැන හඳුනා ගෙන සිටියා. (ක්‍රියා 16:1, 2) ඒ වගේම ඉතාමත් උද්‍යෝගීමත් පුද්ගලයෙක් වූ පාවුල්ගේ ආශ්‍රයද ඔහුට හොඳ බලපෑමක් වුණා. (ෆිලිප්පි 3:14) තිමෝතිට ලැබුණු මඟ පෙන්වීම් ඔහු කැමැත්තෙන්ම පිළිගත් බවත් ශක්තිමත් ඇදහිල්ලක් තිබූ අයගේ ආදර්ශ අනුකරණය කළ බවත් පාවුල් ඔහුට ලියූ ලිපිවලින් දැකගන්න තිබෙනවා. (1 කොරින්ති 4:17; 1 තිමෝති 4:6, 12-16) ඒ නිසයි පාවුල් මෙහෙම කිව්වේ. “ඔබ, මගේ ඉගැන්වීමද, මගේ ජීවන මාර්ගයද, මගේ අරමුණද, මගේ ඇදහිල්ලද, මගේ මහත් ඉවසිල්ලද, මගේ ප්‍රේමයද, මගේ විඳදරාගැනීමද හොඳින් නිරීක්ෂණය කළෙහිය.” (2 තිමෝති 3:10) තිමෝති, පාවුල්ගේ ආදර්ශය හොඳින් අනුකරණය කළා. ඒ හා සමානව ඔබත්, සභාවේ සිටින යෙහෝවා දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් තිබෙන අයව කිට්ටුවෙන් ඇසුරු කරන්න. එවිට දෙවිට සේවය කිරීමේ ඉලක්කය අත් කරගන්න ඔබට උපකාර කිරීමට ඔවුන්ට හැකියි.—2 තිමෝති 2:20-22.

“ශුද්ධ ලියවිල්ල” අධ්‍යයනය කරන්න

9. දේවභක්තිය ඉලක්ක කරගෙන ව්‍යායාම් කිරීම සඳහා ඔබ කළ යුතු තවත් දෙයක් වන්නේ කුමක්ද?

9 ඉලක්ක තබා ඒවා අත් කරගැනීමට ක්‍රිස්තියානි ඇසුර පමණක් ප්‍රමාණවත්ද? නැහැ. ඒ සඳහා තිමෝති මෙන් “ශුද්ධ ලියවිල්ල” ගැඹුරින් අධ්‍යයනය කිරීමද ඉතාමත් වැදගත්. නමුත් එලෙස අධ්‍යයනය කිරීමට ඔබ එතරම් ඇල්මක් නොදක්වනවා විය හැකියි. නමුත් තිමෝතිට “දේවභක්තිය ඉලක්ක කරගෙන ව්‍යායාම්” කිරීමට සිදු වූ බව ඔබට මතකද? මලල ක්‍රීඩකයන්, ඔවුන්ගේ ඉලක්ක අත් කරගන්න නම් මාස ගණනාවක් පුරා ඉතා වෙහෙස කර වූ පුහුණුවීම්වල යෙදිය යුතුයි. ඒ හා සමානව දෙවිගේ සේවය තුළ යම් ඉලක්ක අත් කරගැනීම සඳහා අපි අපේ ආශාවන් පසෙක දමා දිගටම දැඩි වෑයමක් දරන්න අවශ්‍යයි. (1 තිමෝති 4:7, 8, 10) නමුත් ‘දේවවචනය අධ්‍යයනය කිරීමෙන් මගේ ඉලක්ක අත් කරගන්නේ කොහොමද?’ කියලා ඔබ අහන්න පුළුවන්. දැන් අපි බලමු එම අධ්‍යයනය ඔබට උපකාරවත් වන ආකාර තුනක්.

10, 11. දේවසේවය තුළ ඉලක්ක තබාගැනීම සඳහා ශුද්ධ ලියවිලි ඔබට උපකාර කරන්නේ කෙසේද? ඒ සඳහා උදාහරණයක් දෙන්න.

10 පළමුව, දෙවිට සේවය කිරීම සඳහා ඔබ තුළ පෙලඹවීමක් ඇති කිරීමට දෙවිගේ වචනයට හැකියි. යෙහෝවා දෙවිගේ පෞද්ගලිකත්වය ගැනත් ඔහු අපි වෙනුවෙන් ප්‍රේමය පෙන්වා ඇති ශ්‍රේෂ්ඨතම ආකාරය ගැනත් අනාගතයේදී ඔහු අපි වෙනුවෙන් අරමුණු කර තිබෙන්නේ කුමක්ද කියාත් දේවවචනයේ සඳහන් වී තිබෙනවා. (ආමොස් 3:7; යොහන් 3:16; රෝම 15:4) අපි යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගන්න විට ඔහුට තව තවත් ප්‍රේම කරන්න නැඹුරු වෙනවා. ප්‍රතිඵලය ලෙස අපගේ ජීවිත ඔහුට කැප කරන්න අපි පෙලඹෙනවා.

11 සත්‍ය නමස්කාරය කෙරෙහි ගැඹුරු අගයක් වර්ධනය කරගැනීමට බොහෝ යෞවන අයට උපකාර වී තිබෙන්නේ, නිතිපතා බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කිරීමයි. උදාහරණයකට දෙවිට නමස්කාර කරන පවුලක හැදී වැඩුණත් දෙවිගේ සේවය තුළ ඉලක්ක තබා කටයුතු නොකළ අර්ඩෙල් කියන දේ සලකා බලන්න. “මගේ අම්මායි තාත්තායි මාව රැස්වීම්වලට අරගෙන ගියත් මම කවදාවත් බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කළේවත් රැස්වීම්වලදී උගන්වපු කිසි දෙයකට ඇහුම්කන් දුන්නේවත් නැහැ.” නමුත් ඇගේ අක්කා බව්තීස්ම වුණාට පස්සේ, සත්‍ය නමස්කාරය ගැන ගැඹුරින් හිතන්න අර්ඩෙල් පෙලඹුණා. දැන් ඇය මෙහෙම කියනවා. “මම මුළු බයිබලයම කියවන්න පටන්ගත්තා. මම ඒ ඒ දවසට කියවන කොටසින් ඉගෙනගත්තේ මොනවාද කියලා පොතක සටහන් කෙරුවා. ඒ සටහන් මා ළඟ තාම තියනවා. ඒ විදිහට අවුරුද්දකින් මම මුළු බයිබලයම කියවලා ඉවර කෙරුවා.” එහි ප්‍රතිඵලයක් හැටියට ඇගේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කරන්න අර්ඩෙල් පෙලඹුණා. දැන් ඇය බරපතළ ශාරීරික ආබාධයකින් පෙළුණත් පූර්ණ කාලීනව දෙවිට සේවය කරමින් සිටිනවා.

12, 13. (අ) බයිබලය අධ්‍යයනය කිරීම, යෞවන කෙනෙකුට උපකාර කරන්නේ ඔහුගේ ජීවිතයේ කුමන දේවල් සකස් කරගැනීමටද? ඒ කොහොමද? (ආ) දෙවිගේ වචනයේ ඇතුළත් ප්‍රඥාව ගැන උදාහරණ කිහිපයක් සඳහන් කරන්න.

12 දෙවනුව, ඔබගේ පෞද්ගලිකත්වයේ අවශ්‍ය වෙනස්කම් කරගැනීමට එය ඔබට උපකාර කරයි. “ශුද්ධ ලියවිල්ල” ගැන පාවුල් තිමෝතිට කිව්වේ මෙහෙමයි. එය “ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය. එමගින් දෙවිගේ මිනිසා පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව සිටිනු ඇත.” (2 තිමෝති 3:16, 17) නිතරම දේවවචනය කියවා ඒ ගැන මෙනෙහි කිරීමෙන් හා එය අපගේ ජීවිතයට අදාළ කරගැනීම තුළින්, අපගේ පෞද්ගලිකත්වයේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට අපි දෙවිගේ බලයට ඉඩ හරිනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ඔබව තවත් අලංකාර කළ හැකි නිහතමානීකම, උත්සාහවන්තකම, කඩිසරකම වගේම සෙසු සහෝදරයන් කෙරෙහි අව්‍යාජ ප්‍රේමය වැනි ගුණාංග වර්ධනය කරගැනීමට ඔබට හැකි වෙනවා. (1 තිමෝති 4:15) තිමෝති තුළත් එම ගුණාංග වර්ධනය වී තිබුණු නිසා පාවුල්ටත් සභාවේ සිටි සෙසු අයටත් ඔහු ඉතාමත් වටිනා සහෝදරයෙක් වුණා.—ෆිලිප්පි 2:20-22.

13 තුන්වෙනුව, එය අපගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය ප්‍රඥාව ලබා දෙනවා. (ගීතාවලිය 1:1-3; 19:7; 2 තිමෝති 2:7; 3:15) එනම් හොඳ මිතුරන්ව තෝරාගැනීම සහ සුදුසු විනෝදාංශ තෝරාගැනීම සම්බන්ධයෙන්ද අවශ්‍ය මඟ පෙන්වීම් සපයනවා. එමෙන්ම ජීවිතයේ පැනනඟින ඕනෑම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ප්‍රඥාවද එය ලබා දෙයි. (උත්පත්ති 34:1, 2; ගීතාවලිය 119:37; 1 කොරින්ති 7:36) දෙවිගේ සේවය හා සම්බන්ධව ඔබ තබන ඉලක්ක අත් කරගන්නට නම් දැන් ඥානවන්ත තීරණ ගැනීම කොතරම් වැදගත්ද!

“යහපත් සටනෙහි සටන් කරන්න”

14. ඉලක්ක අත් කරගැනීම එතරම් පහසු දෙයක් නොවන්නේ ඇයි?

14 ඥානවන්තම දේ වන්නේ යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන ආකාරයේ ඉලක්ක තැබීමයි. නමුත් එය හැමවිටම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඊට බොහෝ අභියෝග ඇති වෙනවා. ජීවිතයේ සාර්ථකත්වයට සහ සන්තෝෂයට එකම මඟ උසස් අධ්‍යාපනයක් සහ ඉහළ වැටුපක් සහිත රැකියාවක් ලබාගැනීම කියා, සම වයසේ මිතුරන්, නෑදෑයන් සහ ගුරුවරුන් ප්‍රකාශ කළ හැකියි. (රෝම 12:2) නමුත් දෙවි දෙන “සදාකාල ජීවනය තදින් අල්ලාගන්න” පුළුවන් වන ලෙස ‘ඇදහිල්ලේ යහපත් සටනෙහි සටන් කිරීමට’ තිමෝතිට මෙන් ඔබටත් සිදු විය හැකියි.—1 තිමෝති 6:12; 2 තිමෝති 3:12.

15. තිමෝති කුමන අභියෝගයකට මුහුණ දෙන්න ඇද්ද?

15 සත්‍ය නමස්කාරකයන් නොවන පවුලේ සාමාජිකයන් ඔබගේ තීරණයට එරෙහි වන විට තත්වය වඩාත් දුෂ්කර කරවයි. තිමෝතිටත් එවැනි තත්වයකට මුහුණ දෙන්න සිදු වෙන්න ඇති. එක් පොතක පෙන්වා දෙන පරිදි, පෙනෙන විදිහට තිමෝති “අයත්ව සිටියේ උගත් සහ ධනවත් පවුලකටයි.” එමනිසා තිමෝති හොඳ අධ්‍යාපනයක් ලබාගෙන, තමා සමඟ ව්‍යාපාරවල හවුල් වෙයි කියා ඔහුගේ පියා බලාපොරොත්තු වෙන්න ඇති. * නමුත් ඊට වෙනස්ව තිමෝති, යම් ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් පාවුල් සමඟ සංචාරක සේවයේ හවුල් වෙන්න යනවා කියා දැනගත් විට ඔහුගේ පියා ඊට කෙසේ ප්‍රතිචාරය දක්වන්න ඇද්ද!

16. තම පියාගෙන් පැමිණි විරුද්ධවාදිකම් මැද යෞවනයෙක් කටයුතු කළ ආකාරය විස්තර කරන්න.

16 අද දින සිටින ක්‍රිස්තියානි යෞවන යෞවනියන්ද එවැනි අභියෝගවලට මුහුණ දෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක සේවය කරන මැතිව්ගේ අද්දැකීම සලකා බලන්න. “මම පුරෝගාමී සේවය පටන්ගත්ත නිසා මගේ තාත්තා ඒ ගැන හොඳටම කලකිරුණා. පුරෝගාමී සේවය කරගෙන යන්න අවශ්‍ය මුදල් හොයාගන්න මම අර්ධ කාලීන රැකියාවක් පටන්ගත්තා. එතකොට තාත්තා හිතුවේ මට ඉගැන්නුව එකෙන් ‘කිසි පලක් නැහැ’ කියලයි. ඒ විතරක් නෙවෙයි, මම හොඳ රස්සාවක් කෙරුවා නම් හොඳට සල්ලි හොයන්නත් පුළුවන් කියන එක මතක් කර කර මට බනින්නත් පටන්ගත්තා.” මැතිව් ඒ තත්වයත් සමඟ කටයුතු කෙරුවේ කොහොමද? ඔහු ඒ ගැන මතක් කරන්නේ මෙහෙමයි. “මම කාලසටහනකට අනුව දිගටම බයිබලය කියෙව්වා වගේම යෙහෝවා දෙවිට නොකඩවා යාච්ඤා කෙරුවා. විශේෂයෙන්ම මගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්න එන අවස්ථාවලදී මම වැඩි වැඩියෙන් එහෙම කෙරුවා.” මැතිව්ගේ ඒ දැඩි වෑයමට මහඟු ආශීර්වාද ලැබුණා. කාලයත් එක්කම ඔහුගේ පියාත් එක්ක නැවතත් හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන් වුණා. යෙහෝවා දෙවිට තව තවත් ළං වෙන්නත් මැතිව්ට හැකි වුණා. ඔහු ඒ ගැන කියන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවි මට අවශ්‍ය දේවල් සපයලා, දිරිගැන්නුවා වගේම ඉක්මන් වෙලා වැරදි තීරණ ගැනීමෙන්ද මාව ආරක්ෂා කෙරුවා. මම දෙවිගේ සේවයේ ඉලක්ක තියලා කටයුතු කෙරුවේ නැත්නම් මේ ආශීර්වාදවලින් එකක්වත් මට අද්දකින්න ලැබෙන්නේ නැහැ.”

දෙවිගේ සේවය තුළ ඉලක්ක තබන්න

17. පූර්ණ කාලීන සේවයේ යෙදෙන්න සැලසුම් කරන අයව අධෛර්යට පත් විය හැක්කේ කුමක් නිසාද? (මතෙව් 16:22)

17 සෙසු ක්‍රිස්තියානියෙක් එතරම් සිතන්නේ බලන්නේ නැතිව ඔබට මෙසේ කියන්න පුළුවන්. ‘ඔයා පුරෝගාමී සේවයද කරන්නේ? රස්සාවක් කරන්න එහෙම අදහසක් නැද්ද? ඒ පැත්ත ගැනත් ටිකක් හිතුවොත් හොඳයි නේද?’ එය හොඳ උපදෙසක් මෙන් පෙනෙන්න පුළුවන්. නමුත් ඔබ එම උපදෙස පිළිගත්තොත් දෙවිට ගෞරවය ගෙනෙන ඉලක්ක ඔබ අත්කර ගන්නවා කියා කිව හැකිද?

18, 19. (අ) දෙවිගේ සේවය හා සම්බන්ධ ඉලක්කවලට ඔබේ අවධානය යොමු කරන්නේ කොහොමද? (ආ) යෞවන කෙනෙක් හැටියට ඔබ දේවරාජ්‍යය වෙනුවෙන් කරමින් සිටින්නේ කුමන ආකාරයේ කැප කිරීම්ද?

18 තිමෝතිගේ කාලයේ සිටි සමහරුන්ටත් එවැනිම ආකල්පයක් තිබුණා. (1 තිමෝති 6:17) දේවසේවය කිරීමට තිමෝතිට තිබූ ඉලක්කය දිගටම තබාගන්න කියා පාවුල් උපදෙස් දුන්නේ මේ ආකාරයටයි. “හේවායෙකු ලෙස සේවය කරන කිසිවෙක්, ඔහුව හේවායෙකු ලෙස බඳවාගත් තැනැත්තාගේ අනුමැතිය දිනාගන්නා පිණිස, මේ ජීවිතයේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වන්නේ නැත.” (2 තිමෝති 2:4) පොදු ජනයා මෙන් බාහිර දේවල් අත් කරගැනීමට තම මනස යොමු කරන්න සේවයේ නිරත වන හමුදා භටයෙකුට නොහැකියි. ඔහුගේ ජීවිතයත් සෙසු ජනයාගේ ජීවිතයත් රැකෙන්නේ තම සෙන්පතියා දෙන නියෝග ඔහු පිළිපදින්න සූදානමින් සිටියොත් පමණයි. ඒ හා සමානව ඔබත් ක්‍රිස්තුස් යටතේ සිටින සෙබළෙකු ලෙස මේ ලෝකයේ ධන සම්පත් අත් කරගැනීමට වෑයම් නොකළ යුතුයි. ජීවිත ගලවන ඔබේ සේවයේ පූර්ණ ආකාරයෙන් හවුල් වෙන්න ඔබට හැකි වෙන්නේ එවිට පමණයි.—මතෙව් 6:24; 1 තිමෝති 4:16; 2 තිමෝති 4:2, 5.

19 සැප පහසු ජීවිතයක් ගත කරන්න උත්සාහ කරනවා වෙනුවට දෙවිගේ සේවය සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න. එක් පරිවර්තනයකට අනුව 2 තිමෝති 2:3හි අදහස වෙන්නේ “සැප පහසු ජීවිතයක් නොසොයා, යේසුස් ක්‍රිස්තුස්ගේ හේවායෙකු මෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින්න” යන්නයි. (English Bible in Basic English) දුෂ්කර තත්වයන් යටතේ පවා ඇති දෙයින් සතුටු වෙන්නේ කෙසේද කියා පාවුල්ගෙන් තිමෝති ඉගෙනගත්තා. (ෆිලිප්පි 4:11, 12; 1 තිමෝති 6:6-8) ඔබටත් එයම කරන්න පුළුවන්. ඔබත් දේවරාජ්‍යය වෙනුවෙන් ඔබේ ආශාවන් කැප කරන්න කැමැත්තෙන් ඉන්නවාද?

දැනුත් මතුවටත් ආශීර්වාද

20, 21. (අ) දෙවිගේ සේවය තුළ ඉලක්ක තබා, ඒවා අත් කරගැනීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද? (ආ) ඔබගේ අධිෂ්ඨානය කුමක්ද?

20 අවුරුදු 15ක් පුරා තිමෝති, පාවුල්ව ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළා. උතුරු මධ්‍යධරණී ප්‍රදේශය පුරා කළ දේශනා සේවයේ ප්‍රතිඵලයක් හැටියට නවක සභාවන් බිහි වන ආකාරය ඔහු දැක්කා. ඔහු ඉන් මහත් තෘප්තියක් ලැබුවා. නමුත් තිමෝති සැප පහසු ජීවිතයක් ගත කරන්න උත්සාහ කළා නම්, ඔහුට එය අද්දකින්න ලැබෙන්නේ නැහැ. දෙවිගේ සේවය හා සම්බන්ධ ඉලක්ක අත් කරගැනීමෙන් මිල කළ නොහැකි මහත් ආශීර්වාද ලබන්න ඔබටත් පුළුවන්. ඉන් ඔබ යෙහෝවා දෙවිට තව තවත් ළං වන අතර සෙසු ක්‍රිස්තියානීන්ගේ ආදරය සහ ගෞරවයත් ලබන්න හැකි වෙනවා. ධන සම්පත් සෙවීම නිසා ඇති වෙන මහත් කලකිරීම සහ වේදනාව වෙනුවට, නොමසුරුව දීම තුළින් කල් පවතින සන්තෝෂයක් ලැබෙනවා. ඒ සියල්ලටම වඩා “සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට” එනම්, පාරාදීස පොළොවේ සදාකාල ජීවිතය ලබන්නත් ඔබට හැකි වෙනවා.—1 තිමෝති 6:9, 10, 17-19; ක්‍රියා 20:35.

21 ඔබ තවමත් දේවභක්තිය ඉලක්ක කරගෙන ව්‍යායාම් කිරීම සඳහා සැලසුම් කර නැතිනම්, අපි ඔබට ඉතාමත් ආදරයෙන් ඇරයුම් කරන්නේ ඒ සඳහා ඉක්මනින්ම පියවර ගන්න කියායි. ඔබේ එම ඉලක්ක අත් කරගැනීමට උපකාර කළ හැකි තත්වයක සිටින ක්‍රිස්තියානීන්ව වැඩි වැඩියෙන් ඇසුරු කරන්න. දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමට මුල් තැන දෙන්න. සැප පහසු ජීවිතයක් ගත කිරීමට මුල් තැන දෙන මේ ලෝකයේ ආකල්පවලට විරුද්ධ වන්න. ඒ අතරම “භුක්ති විඳීම සඳහා අපට බහුල ලෙස සියල්ල ලබා දෙන” අපගේ දෙවි යෙහෝවා ඔබට දැනුත් මතුවටත් ඉමහත් ආශීර්වාද තබා තිබෙනවා. ඔබ ඒවා අද්දකින්නේ දෙවිට ගෞරවය ගෙන දෙන ඉලක්ක තබා ඒවා අත් කරගත්තොත් පමණයි.—1 තිමෝති 6:17.

[පාදසටහන]

^ 15 ඡේ. ග්‍රීක ජාතිකයන් අධ්‍යාපනය මහත් ඉහළින් සැලකුවා. තිමෝතිගේ සමකාලීනයෙක් වූ ප්ලූටාක් මෙවැනි දෙයක් වාර්තා කළා. “හැම අතින්ම යහපත් ජීවිතයක් ගත කිරීමට රහස නම් හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමයි. මගේ මතයට අනුව යමෙක් ශිෂ්ටසම්පන්න වන්නේත් සතුට අද්දකින්නේත් ඒ තුළිනුයි. වෙනත් දේවලින් යම් වාසි ප්‍රයෝජන ලබාගන්න හැකි වුණත් ඒවා එතරම් වටිනාකමක් නැති තාවකාලික ඒවායි. ඒ නිසා ඒවාට වැඩි අවධානයක් යොමු කිරීමට නොවටී. අනෙකුත් ඒවා එතරම් වැදගත් දේවල් නොවෙයි.”—Moralia I, “The Education of Children.”

ඔබට මතකද?

• යෞවන අයට තම ඉලක්ක අත් කරගැනීමට උපකාර ලැබිය හැක්කේ කොහෙන්ද?

• උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් ඇයි?

• සැප පහසු ජීවිතයක් කරන්න යන ලෝකයේ ආකල්පය ප්‍රතික්ෂේප කරන්න යෞවන අයට හැක්කේ කෙසේද?

• දෙවිට කරන සේවය තුළ ඉලක්ක තබාගැනීමෙන් ලබන ආශීර්වාද මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[24වන පිටුවේ පින්තූරය]

තිමෝති කදිම ඉලක්ක තබා, ඒවා අත් කරගත්තා

[25වන පිටුවේ පින්තූර]

තම ඉලක්ක අත් කරගන්න තිමෝතිට උපකාරවත් වූ දේවල් මොනවාද?

[26වන පිටුවේ පින්තූර]

ඔබ දෙවිට කරන සේවය තුළ ඉලක්ක තබා කටයුතු කරමින් සිටිනවාද?