Skip to content

පටුනට යන්න

අඳුරු ලෝකයක බලාපොරොත්තුවේ එළියක්

අඳුරු ලෝකයක බලාපොරොත්තුවේ එළියක්

අඳුරු ලෝකයක බලාපොරොත්තුවේ එළියක්

‘මිනිසුන් අද්දකින ප්‍රශ්න ගැටලුවලින් ගොඩ එන්න එකිනෙකාට උපකාර කරන්න ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා අද සාමාන්‍ය මිනිසුන්ට හැකි වී තිබෙනවා’ කියා වර්ෂ 2006 මාර්තු මාසයේ කැනඩාවේ ඔටාවා නගරයේ පැවති සමුළුවකදී ඇ.එ.ජ. හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් පැවසුවා. මෙවැනි තත්වයක් 2004දී ඇති වූ සුනාමි ව්‍යසනයත් සමඟම ජාත්‍යන්තර ලෙස මිනිසුන් තුළ වර්ධනය වී තිබෙන බවත් අද මුළු ලෝකයේම ජනයා “එකිනෙකාට සහයෝගයෙන් කටයුතු කරන කාලයක” ජීවත් වන බවත් ඔහු පෙන්වා දුන්නා.

එවැනි ස්වාභාවික විපත් ඇති වන කාලයක මිනිසුන් එකට එකතු වී එකිනෙකාට උදව් කිරීම මගින් යහපත් අනාගතයක් ගොඩනැඟිය හැකිද? මෙසේ එකිනෙකා සහයෝගයෙන් කටයුතු කිරීම මගින් අනාගතයේදී සැබෑ සාමයක් හා සුරක්ෂිතභාවයක් ඇති වෙයි කියා බලාපොරොත්තු විය හැකිද?

බලාපොරොත්තුවේ උල්පත

ගෙවුණු අවුරුදු හයදාහක කාල පරාසය දෙස බලන විට පැහැදිලි වන්නේ මිනිසුන් නැවත නැවතත් එකිනෙකාගේ විශ්වාසය බිඳ දමා ඇති බවයි. “අධිපතීන් කෙරෙහිවත් පිහිට විය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාස නොකරන්න” කියා බයිබලයේ පවසා තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. (ගීතාවලිය 146:3) මේ ලෝකයේ සංවිධාන, මිල මුදල් හා පොරොන්දු කෙරෙහි අපේ බලාපොරොත්තු තැබුවොත් අපිට ඉතිරි වෙන්නේ කලකිරීම පමණයි. ඊට හේතුව “ලෝකයත් එහි ආශාවත් පහව යන” නිසයි.—1 යොහන් 2:17.

ගත වූ සියවස් ගණනාව පුරා ධර්මිෂ්ඨ අයගේ බලාපොරොත්තු ඉටු කළ එකම තැනැත්තා යෙහෝවා දෙවි පමණයි. ඔහුව බයිබලයේ හඳුන්වන්නේ “[ඉපැරණි] ඊශ්‍රායෙල් සෙනඟගේ බලාපොරොත්තුව” සහ ‘ඔවුන්ගේ මුතුන්මිත්තන් බලාපොරොත්තු තැබූ දෙවි’ ලෙසයි. (යෙරෙමියා 14:8; 17:13; 50:7, නව ලොව පරිවර්තනය, NW) බයිබලයේ අපව උනන්දු කර තිබෙන්නේ “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න” කියායි.—ගීතාවලිය 27:14, NW.

හිතෝපදේශ 3:5 සහ 6හි අපට මෙසේ පවසා තිබෙනවා. “ඔබේම බුද්ධියෙහි නොපිහිටා මුළු සිතින් යෙහෝවා විශ්වාස කරන්න; ඔබේ සියලු මාර්ගවලදී ඔහු සලකන්න; ඔහු ඔබේ මාවත් සමතලා කරන්නේය.” එවැනි උපදෙසක් කෙරෙහි අපට සම්පූර්ණ විශ්වාසය තැබීමට හැකි වන්නේ දෙවි කිසිදාක වෙනස් නොවන හා පොරොන්දු ඉටු කරන දෙවි කෙනෙක් නිසයි. (මලාකි 3:6; යාකොබ් 1:17) දෙවිට ඕනෑ කරන්නේ අපට යහපතක් වෙනවා දකින්නයි. අප සෑම විටම දේවවචනයේ අඩංගු උපදෙස් අදාල කර ගන්නවා නම් අපට මේ අඳුරු ලෝකයේ සාර්ථකව ගමන් කරන්න බලාපොරොත්තුවේ එළියක් ලැබෙනවා.—යෙසායා 48:17, 18.

දෙවිගේ මඟ පෙන්වීම මත සම්පූර්ණයෙන්ම රඳා සිටින කෙනෙකුට මෙම පොරොන්දුව මොන තරම් සැනසිල්ලක්ද! “භය නොවන්න; මක්නිසාද ඔබ සමඟ සිටිමි; තැති නොගන්න; මක්නිසාද මම ඔබේ දෙවිය; ඔබ ශක්තිමත් කරන්නෙමි; එසේය, ඔබට පිහිටුවන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නමැති දකුණතින් ඔබ උසුලන්නෙමි කීවෙමි.” (යෙසායා 41:10) යෙහෝවා දෙවිට සැබෑ ප්‍රේමයක් තිබෙන අය මෙම පොරොන්දුව ගැන මුළු සිතින්ම යාච්ඤා කිරීමෙන් හා මෙනෙහි කිරීමෙන් ලොකු සැනසිල්ලක් ලබනවා. එමගින් ඔවුන්ට තමන් එදිනෙදා මුහුණපාන කරදර හා ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න හැකි වෙනවා.

දරු දෙදෙනෙකුගේ මවක් වන ඇන්ඩ්‍රියා නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් මෙසේ පැවසුවා. “මට ජීවිතයේ ප්‍රශ්න ගැටලු ඇති වෙනකොට ඒවාට මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්නේ දෙවිට කරන යාච්ඤාව හා ඔහුගේ පොරොන්දු ගැන මෙනෙහි කිරීම නිසයි. මගේ ජීවිතයේ වටිනාම දෙය දෙවි සමඟ තිබෙන මගේ මිත්‍රත්වයයි කියා හිතන කොට එය මට නොසැලී කටයුතු කරන්න ලොකු උපකාරයක්.”

දෙවි කෙරෙහි ඔබේ විශ්වාසය ශක්තිමත් කරගන්න

දෙවි කෙරෙහි බලාපොරොත්තු තැබීමේ ඇති අවශ්‍යතාව ගැන එක් ගීතිකාකරුවෙක් පැවසුවේ මෙසේයි. “ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙන්නන්ට මහත් සමාදානය ඇත; පැකිළීමට කිසිවක් නැත.” (ගීතාවලිය 119:165) ඔබ දේවවචනය වුවමනාවෙන් අධ්‍යයනය කරනවා නම් එය ඔබේ සිත හා මනස ‘සැබෑ වූ, ගෞරවනීය වූ, ධර්මිෂ්ඨ වූ, නිර්මල වූ, ප්‍රේමය ඇති කරන්නාවූ, යහපත් කීර්තියක් ඇත්තාවූ, ගුණවත් වූ, ප්‍රශංසනීය වූ’ දේවලින් පිරෙන අතර ඔබේ සිතුවිලිද එමගින් ආරක්ෂා වෙනවා. ඔබ එවැනි දේවල් ඇසීමට, ඉගෙන ගැනීමට, පිළිගැනීමට හා ජීවිතයට ආදාල කර ගැනීමට වෙර දරනවා නම් “සමාදානයේ දෙවි ඔබ සමඟ සිටිනවා” නියතයි.—ෆිලිප්පි 4:8, 9.

දශක ගණනක ජීවිත අද්දැකීම් තිබෙන ජෝන් නම් තැනැත්තා මෙසේ පැවසුවා. “මම අනාගතය දිහා බලන විදිහ වෙනස් කරගන්න නම් මගේ පෞද්ගලිකත්වයත් මම හිතන ආකාරයත් වෙනසක් කරන්න ඕන කියලා මම තේරුම් ගත්තා. එහෙම කරනවා නම් විතරයි නොපෙනෙන දෙවි සමඟ මට කිට්ටු මිත්‍රත්වයක් පවත්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම දෙවි සිතන ආකරයට හිතන්න පුළුවන් වෙන්නේ දේවවචනය කියවනවා නම් හා මෙනෙහි කරනවා නම් විතරයි.”

දේවවචනයේ තිබෙන උපදෙස් අපේ ජීවිතයට අදාල කරගන්නවා නම් එදිනෙදා ජීවිතයේ අපට දිගටම එල්ල වෙන නරක දේවලින් ආරක්ෂා වීමට හැකි වෙනවා. බයිබලයේ තිබෙන උපදෙස් පිළිපැදීමෙන් අපේ පවුල් ශක්තිමත් කරගත හැකි අතර කනස්සල්ලද අවම කරගන්න පුළුවන්. දෙවි අපට මෙසේ පොරොන්දු වී තිබෙනවා. ‘යෙහෝවා කෙරෙහි සම්පූර්ණ සිත් ඇති සියල්ලන් උදෙසා ඔහු බලවත් බව පෙන්වන්නේය.’ (2 ලේකම් 16:9) දෙවි කොතරම් හොඳින් කාරණා හසුරුවනවාද කියනවා නම් අපිට බයවීමට කිසිම හේතුවක් නැහැ.

මිනිසුන් විශාල පිරිසක් ඝාතනයට ලක් වූ දරුණු යුද්ධයක් පවතින ප්‍රදේශයක ජීවත් වන ෆිනිහාස් නම් තැනැත්තා මෙහෙම කියනවා. “මං මගේ සම්පූර්ණ විශ්වාසය යෙහෝවා දෙවි කෙරෙහි තබන්න ඉගෙන ගෙන තිබෙනවා. බොහෝ උවදුරුවලින් මට බේරෙන්න පුළුවන් වුණේ බයිබල් ප්‍රතිපත්තිවලට කීකරු වුණ නිසයි.” ඔබ ඇත්තටම යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබනවා නම් පවුරක් මෙන් පෙනෙන පීඩාවලින් ජයගන්න ඔබට හැකි වෙනවා. (ගීතාවලිය 18:29) දෙමාපියන්ට කිට්ටු දරුවෙකුට ලෙඩක් දුකක් හැදුනාම ඒ දරුවා සම්පූර්ණයෙන්ම දෙමාපියන් කෙරෙහි විශ්වාසය තබන නිසා දරුවාට ලොකු ආරක්ෂාවක් දැනෙනවා. යෙහෝවා දෙවි ඔබට ආරාධනා කරන්නේත් එවැනි විශ්වාසයක් ඔහු කෙරෙහි තබන්න කියායි. එවිට ඔබටත් එවැනි ආරක්ෂාවක් දැනේවි.—ගීතාවලිය 37:34.

සැබෑ බලාපොරොත්තුවක්

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ පැවසුවා. “එහෙයින් ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටය: ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා’” (මතෙව් 6:9, 10) එම දේවරාජ්‍යයේ රජ යේසුස් ක්‍රිස්තුස්. මනුෂ්‍යවර්ගයාව පාලනය කිරීමට දෙවි සතු අයිතිය ඔහු ක්‍රියාවට නඟන්නේ එම රාජ්‍යය හෙවත් පාලනය මගිනුයි.—ගීතාවලිය 2:7-12; දානියෙල් 7:13, 14.

කලින් අප සාකච්ඡා කළ පරිදි මිනිසුන් අද්දකින බියෙන් පැහැදිලි වන්නේ මේ අඳුරු පිළිවෙලට දෙවිගේ මැදහත් වීම අවශ්‍ය බවයි. දෙවි ඉක්මණින්ම එලෙස මැදහත් වෙන බව දැන ගන්නට ලැබීම අපට මොන තරම් සතුටක්ද! පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා දෙවි බව ඔප්පු කරමින් දෙවිගේ නාමය නිදොස් කිරීමේ අධිකාරිය පවරා තිබෙන්නේ දැන් දේවරාජ්‍යයේ රජ ලෙස පත් වී සිටින යේසුස් ක්‍රිස්තුස්ටයි. (මතෙව් 28:18) ඉක්මණින්ම දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන අතර කනස්සල්ලට හා බියට හේතු වන සියලුම දේවල් ඉවත් කරන්න යනවා. අප අද්දකින බියෙන් අපව මුදවා ගැනීමට එම රාජ්‍යයේ පාලකයා හැටියට යේසුස් ක්‍රිස්තුස්ට හැකි බව යෙසායා 9:6හි [NW] පවසා තිබෙනවා. ඔහුව එහි හඳුවන්නේ “සදාකාල පියාණෝය” “උතුම් උපදේශකයාණෝ” සහ “සමාදානයේ කුමාරයා” කියායි.

යේසුස්ව “සදාකාල පියාණෝ” කියා හඳුන්වා තිබීමෙන් පැහැදිලි වන්නේ ඔහු සතු බලය හා අධිකාරියයි. ඒ වගේම ඔහුගේ ජීවිත පූජාව තුළින් දෙවිට කීකරු ජනයාට මේ පොළොවේ සදාකාල ජීවිතය ලබා දීම සඳහා ඔහුට තිබෙන ආශාවත් මින් පැහැදිලි වෙනවා. මෙම ජනයා මුල් මිනිසා වූ ආදම්ගෙන් උරුම කරගත් පාපයෙන් නිදහස් වෙන බව ඉන් අදහස් කරනවා. (මතෙව් 20:28; රෝම 5:12; 6:23) මිය ගිය බොහෝදෙනෙකුව නැවත නැඟිටුවීමටත් දෙවි ඔහුට දී තිබෙන අධිකාරිය පාවිච්චි කරනවා.—යොහන් 11:25, 26.

යේසුස් පොළොවේ සිටියදී “උතුම් උපදේශකයාණෝ” බව ඔප්පු වුණා. දේවවචනය ගැන යේසුස්ට තිබුණු මනා දැනුම මෙන්ම මිනිසුන් සිතන ආකාරය ගැන තේරුම් ගැනීමට ඔහුට තිබුණු හැකියාව නිසාත් මිනිසුන් එදිනෙදා මුහුණු දුන් ප්‍රශ්න විසඳන්න ඔහුට හැකි වුණා. යේසුස් ස්වර්ගයේ රජ වූ දා පටන් “උතුම් උපදේශකයාණෝ” ලෙස ක්‍රියා කරමින් මිනිසුන්ට දෙවි තොරතුරු දැනුම් දීමට යොදාගන්න ප්‍රධාන තැනැත්තා වී තිබෙනවා. බයිබලයේ සඳහන් යේසුස්ගේ උපදෙස් සෑමවිටම ප්‍රඥාවන්තයි. එමෙන්ම නිවැරදියි. ඔහුගේ මෙම උපදෙස් ඉගෙන ගැනීමෙන් හා විශ්වාස කිරීමෙන් ජිවිතයේ අවිනිශ්චිතභාවයෙන් මිදෙන්නත් අනවශ්‍ය ලෙස බියවීමෙන් වැළකීමටත් ඔබට හැකි වෙනවා.

යෙසායා 9:6හි යේසුස්ව “සමාදානයේ කුමාරයා” කියාද හඳුන්වනවා. දේශපාලනමය, සමාජීය හා ආර්ථික වශයෙන් බෙදී සිටින අයව එක් කිරීමට ඔහු තම බලය යොදා ගන්නවා. ඔහු මෙය කරන්නේ සියලු ජනයා දේවරාජ්‍යයේ පාලනය යටතට ගෙන ඒම මගිනුයි.—දානියෙල් 2:44.

දේවරාජ්‍යය යටතේ මුළු පොළොවෙම සාමාදානය පවතිනවා. ඔබට මෙය ගැන නිසැක විය හැක්කේ යෙසායා 11:9හි මෙසේ සඳහන් වී තිබෙන නිසයි. “මාගේ මුළු ශුද්ධ කන්දේදී ඔවුහු [දේවරාජ්‍යයේ යටත්වැසියෝ] හිංසා නොකරන්නෝය; විනාශ නොකරන්නෝය; මක්නිසාද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරෙන්නේය.” අවසානයේදී සියලුම ජනයා දෙවි ගැන නිවැරදි දැනුම ලබාගෙන ඔහුට කීකරුව ජීවත් වෙයි. එවැනි ජීවිතයක් ලබන්න ඔබත් කැමති නම් ‘යෙහෝවා දෙවි ගැන දැනගන්න’ ප්‍රමාද නොවන්න.

ඇදහිල්ල ශක්තිමත් කරන හා සදාකාල ජීවිතයට මඟ පාදන, දෙවි පිළිබඳ දැනුමෙන් ඔබටත් ප්‍රයෝජන ගත හැකියි. ඒ සඳහා ඔබ වර්තමානයේ සිදුවන දේවල් හා අනාගතයේ සිදුවන දේවල් ගැන බයිබලයේ සඳහන් දේ නිවැරදිව තේරුම්ගැනීම අවශ්‍යයි. ඒ නිසා අප ඔබට දිරිගන්වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොමිලේ පවත්වන බයිබල් පාඩමෙන් ප්‍රයෝජන ගන්න කියායි. මෙසේ කිරීමෙන් ඔබට පීඩා කරදරවලින් පිරී මේ අඳුරු ලෝකයේ දීප්තිමත් බලාපොරොත්තුවක් ඇතිව ජීවත් වෙන්න හැකි වෙනවා නිසැකයි.

[7වන පිටුවේ පින්තූරය]

දේවරාජ්‍ය යටතේ අනාගතය දීප්තිමත් වන්නේ . . .

දේවරාජ්‍යයේ රජු ලෙස යේසුස්ට මුළු විශ්වයම පාලනය කිරීමට හැකියාව හා බලය දී තිබෙනවා. (මතෙව් 28:18) ඔහු පොළොවේ පරිසරය මිනිස් වාසය සඳහා සුදුසු තත්වයට පත් කරන අතර ලෙඩ රෝග හා වසංගත නැති කර දමනවා. යේසුස් මේ පොළොවේ සිටියදී කළ බලවත් ක්‍රියාවලින් ඔප්පු කර පෙන්නුවේ ඔහුගේ රාජ්‍ය පාලනය යටතේ ඒ සියල්ල මහ පරිමාණයෙන් කරන්න ඔහුට හැකියාව තිබෙන බවයි. මේ අනුව ඔහු විශ්වාසවන්ත මෙන්ම සෑම අතින්ම පරිපූර්ණ පාලකයෙක් වෙනවාට සැකයක් නැහැ. ඔබ වඩාත් ඇලුම් කරන්නේ දේවරාජ්‍යයේ රජුගේ පහත සඳහන් කුමන ගුණාංගද?

ළං විය හැකියි.මාක් 10:13-16.

සාධාරණයි. අපක්ෂපාතීයි.මාක් 10:35-45.

විශ්වාසවන්තයි. පරාර්ථකාමීයි.මතෙව් 4:5-7; ලූක් 6:19.

ධර්මිෂ්ඨයි. යුක්තිසහගතයි.යෙසායා 11:3-5; යොහන් 5:30; 8:16.

අනුන් ගැන සැලකිලිමත්. නිහතමානියි.—යොහන්. 13:3-15.

[4වන පිටුවේ පින්තූරය]

බයිබලය කියවීම හා මෙනෙහි කිරීම දෙවි කෙරෙහි බලාපොරොත්තුවක් ඇති කරයි